25 April, 2024

Blog

ලංකාවේ බැංකු අස්ථාවරද?

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය මෙරට බැංකු පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. මේ තත්ත්වය ආරම්භ වූයේ කොවිඩ් හේතුවෙන් රට වසා තැබූ කාලයේ සිටය. ඒ යුගයේ ව්‍යාපාර වලට ආදායම් අඩු වීම නිසා ගත්  ණය ගෙවා ගැනීමට අපහසු වූ අතර වර්තමානයේ මේ අවුරුද්දේ අනුක්‍රමයෙන් වැඩි වන්නට වූ උද්ධමන අනුපාතය සහ එය පාලනය කිරීමට ඉහල නංවන ලද පොලි අනුපාත නිසා ව්‍යාපාරිකයන් විසින් ගන්නා ලද ණය ගෙවීමේ අපහසුතාවක් වර්ධනය වෙමින් පවතී.

පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අනුක්‍රමයෙන් අඩුවන පසුබිමක වෙළෙඳ ව්‍යාපාර වල පිරිවැටුම ද අඩුවේ. ආර්ථිකය හැකිලී යන මෙවැනි වකවානුවක එහි බලපෑම බැංකු වලටද දැනේ. ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ස්වෛරී විදේශ බැඳුම්කර වල මෙරට බැංකු ද ආයෝජනය කර තිබේ. ආණ්ඩුව එම බැඳුම්කර වල මුදල් ආපසු ගෙවීම අත්හිටවා ඇති බැවින් අදාල බැංකු වලට ඒ සඳහා ලිපියේ පසුව විස්තර කෙරෙන ණය ඇතුළු වත්කම් වල අගය හීන වීම වෙනුවෙන් ප්‍රතිපාදන කිරීමටද සිදුව ඇත.

ආණ්ඩුව මේ දිනවල විදේශ ණය හිමියන් සමඟ සාකච්ඡා පවත්වා ගෙන යන අතර එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. ප්‍රතිව්‍යුහගත කිරීමට ණය ගෙවිය යුතු කාල සීමාව දීර්ඝ කිරීම සහ ගත් ණයෙන් කොටසක් කැප හැරීමද ඇතුලත්වේ. මෙම සාකච්ඡා සාර්ථකව කෙරීගෙන යන බව ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේය. 

මේ ණය සම්බන්ධ සාකච්ඡා වලදී ණය හිමියන් ඉල්ලා සිටින එක කොන්දේසියක් වන්නේ සියළුම ණය හිමියන්ට සමානව සලකන ලෙසයි. මේ කොන්දේසිය සමාගමක් ඈවර කිරීමේ දීද බලපැවැත්වේ. එහි අතුරු කොන්දේසියක් වන්නේ සමහර ණය වලට අනෙක් ණය වලට වඩා ප්‍රමුඛතාවක් ලැබේ. උදාහරණයක් වශයෙන් සේවක වැටුප් සහ අර්ථසාධක මුදල් අනෙකුත් ණය හිමියන්ට ගෙවීමට පෙර පියවිය යුතුය.

මේ ප්‍රශ්ණයේදී චීනය සහ දේශීය ණය අනෙක් ණය වලට අසමානව සැලකීමේ විභවයක් තිබේ. තමන් විසින් දුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව එම ණය පියවීම සඳහා තවත් ණය දිය හැකිය යන චීනයේ ස්ථාවරය වෙනස් වී ඇත්දැයි නොදනිමි. එමෙන්ම යම් හෙයකින් දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවුවහොත් දැනටද එක්තරා ප්‍රමාණයකට අර්බුදයකට ගොස් ඇති මෙරට බැංකු පද්ධතිය තවදුරටත් අර්බුදයකට යනු ඇත. එයට හේතුව වන්නේ ආණ්ඩුවට දේශීය වහයෙන් ණය දී  ඇත්තේ ප්‍රධාන වශයෙන්ම මෙරට බැංකු පද්ධතිය විසින් වීමයි.

මෙම ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කලකට ඉහත ප්‍රකාශ කළේ දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවුවහොත් මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමට ආණ්ඩුවට මුදල් යෙදවීමට සිදුවනු ඇති බවයි. මේ සඳහා යෙදවීමත ආණ්ඩුවට මුදල් නොමැති නිසා භාණ්ඩාගාර බිල්පත් මහා බැංකුව විසින් මිලදී ගැනීම හරහා මුදල් අච්චු ගැසීමට ආණ්ඩුවට සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ උද්ධමනය තවත් වටයකින් ඉහල යාමයි. 

එබැවින් මේ ක්‍රියාදාමය හරහා බැංකු පද්ධතිය බිඳ නොවැටෙනු ඇත. වියහැකි නරකම ප්‍රතිඵලය වන්නේ උද්ධමනය දරා ගත නොහැකි මට්ටමකට ඉහල යාමයි. එනමුත් ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව හිතුමතේ මුදල් අච්චු ගැසීමේ හැකියාවක්ද නැතිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දීමට එකඟ වී ඇති ණය මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.9 ක මුදලකි. එයද ලැබෙන්නේ වාරික වශයෙනි. පසුගිය වසරේ අපි ඩොලර් බිලියන හතරක පමණ මුදලක් රුපියල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා වැය කර ඇත්තෙමු. එයට සාපේක්ෂව මුල්‍ය අරමුදලේ ණය මුදල විශාල එකක් නොවේ.

එබැවින් ආණ්ඩුව වහ වහා රාජ්‍ය වියදම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල යුතුය.

මෙරට බැංකු අර්බුදයකට ගොස් ඇතත් මූල්‍යමය වශයෙන් ස්ථාවර මට්ටමක පවතී. එබැවින් බැංකු වල මුදල් තැන්පත් කිරීමට කිසිවකු බිය විය යුතු නැත. මේ සමඟ ඇති වගුවේ ලංකාවේ විශාලතම බැංකු වන ලංකා බැංකුවේද මහජන බැංකුවේද කොමර්ෂල් බැංකුවේද හැටන් නැෂනල් බැංකුවේද ආදායම් ප්‍රකාශ වල දල සටහනක් 2022 ජුනි 30 වන දිනෙන් අවසන්වූ කාර්තුව සඳහාද 2022 මාර්තු 31 වන දිනෙන් අවසන්වූ කාර්තුව සඳහාද 2021 වර්ෂය සඳහාද 2020 වර්ෂය සඳහාද ඉදිරිපත් කර ඇත.

මෙහි සියළුම ගණන් රු. බිලියන වලින් දක්වා ඇත. වර්ෂ 2021 දී රු. බිලියන 43 ක ලාභයක් ලැබූ ලංකා බැංකුව මේ වසරේ ජුනි 30 දිනෙන් අවසන් වූ මාස තුන සඳහා රු. බිලියන 12 ක ලාභයක් ලබා ඇත.එමෙන්ම 2021 දී රු. බිලියන 30 ලාභ ලැබූ මහජන බැංකුව අදාල මාස තුන සඳහා රු. බිලියන 3 ක්ද 2021 දී රු. බිලියන 19 ක් ලාභ ලැබූ හැටන් නැෂනල් බැංකුව අදාල මස තුන සඳහා රු. බිලියන 5 ක්ද ලාභ ලබා ඇත. කොමර්ෂල් බැංකුවේ 2021 දී රු. බිලියන 32 ක් වූ ලාභය අදාල මාස තුන සඳහා රු. බිලියන 3ක පාඩුවක් පෙන්වන නමුත් මේ වසරේ මුල් මාස හය සඳහා රු. බිලියන 13ක් ලාභයක් පෙන්නුම් කරයි.

මෙහි ප්‍රශ්ණය වන්නේ impairment හෙවත් ණය ඇතුළු වත්කම් වල අගය හීන වීම වෙනුවෙන් කර ඇති ප්‍රතිපාදනයි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත – 9 අනුව ණය කරුවකුට දී ඇති ණයක් ආපසු ලබාගත නොහැකි තත්ත්වයට පත්වීමට පෙර යම් නිර්ණායක අනුව එම ණය ආපසු නොලැබීමට යම් ශක්‍යතාවක් තිබේ නම් ඒ සඳහා මූල්‍ය වාර්තා වල ප්‍රතිපාදන කළ යුතුය. යම් හෙයකින් එම ණය ආපසු ලැබෙන්නේ නම් ඒ අවස්ථාවේදී එම ප්‍රතිපාදනය ආපසු හැරවිය හැක. මෙම අගය සියළුම බැංකු වල අනුක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ ණය කරුවන් මුහුණ දෙන අර්බුද කාරී තත්ත්වය නිසාය. 

මෙම තත්වය යටතේත් බැංකු පද්ධතිය ස්ථාවරව පවතී. ඉදිරියේදී එන අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට ශක්තිමත් ප්‍රාග්ධනයක් වගුවේ දක්වා ඇති පරිදි සෑම බැංකුවකටම ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.