20 April, 2024

Blog

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රනිල් වික්‍රමසිංහ නව ලිබරල්ද?

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රාජ්‍ය වලට ණය දීමේදී එම රාජ්‍ය විසින් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යයි නිර්දේශ කරන බවත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුගමනය කරනු ලබන්නේද නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් බවත් කියනු ලැබේ.

සම්භාව්‍ය සහ නිර්බාධ ආර්ථික විද්‍යාඥයන් සරල විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් නිර්දේශ කළ අතර වෙළෙඳපොළ සම්බන්ධ ආණ්ඩුවේ මැදහත් වීම් නොඉවසූහ. බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මේනාර්ඩ් කේන්ස් (1883-1946) නිර්බාධ ආර්ථිකය කිසිවක් නොකරන ප්‍රතිපත්තියක් යයි විවේචනයට ලක් කළේය.

වර්ෂ 1930 ගණන් වල ඇතිවූ ලෝක ආර්ථික අවපාතය යුගයේ දක්ෂිණාංශික සහ වාමාංශික ආර්ථික විද්‍යාඥයන් අතර වාද විවාද ඇතිවූ අතර කේන්ස් විසින් අර්බුදයට විසඳුමක් ලෙස ආර්ථිකයට රාජ්‍ය සහභාගිත්වයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරිපත් කරන ලද මද මාවතේ ආර්ථික න්‍යාය බොහෝ රටවල් විසින් අනුගමනය කරන ලදී. නව ප්‍රජාතන්ත්‍රවාදී  රාජ්‍යයන් ගේ බිහිවීම හේතුවෙන් මෙය සුබසාධක ලිබරල්වාදයක් බවට පරිවර්තනය විය. මෙයට එරෙහිව පැරණි ආර්ථික ලිබරල් වාදය ප්‍රවර්ධනය කිරීම නව ලිබරල් වාදය ලෙස හඳුනාගනු ලැබිණ.

වර්ෂ 1979 දී බ්‍රිතාන්‍ය අගමැති වූ මාගරට් තැචර් සහ වර්ෂ 1981 දී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවූ රොනල්ඩ් රේගන් විසින් එම රටවල් වල පැරණි ආර්ථික ලිබරල් වාදය වූ නිර්බාධ වෙළෙඳ පොළ ආර්ථිකයට වැඩි බරක් තබා ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති නව ලිබරල් වාදයේ ප්‍රයෝගික භාවිතය ලෙස හඳුන්වනු ලැබිණ. එය පැරණි ආර්ථික ලිබරල් වාදයේම නව මුහුණුවරකි.මේ යටතේ  ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා රාජ්‍යය වඩාත් ශක්තිමත් විය යුතු බැවින් එය පැරණි ආර්ථික ලිබරල් වාදයට වෙනස් වේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමට එක හේතුවක් එය විය.

නව ලිබරල් වාදයේ ප්‍රධාන අංග වන්නේ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය හරහා ආර්ථිකයේ රාජ්‍ය සහභාගිත්වය අවම කිරීම, වෙළෙඳ සම්බාධක අඩුකර ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, භාණ්ඩ සහ සේවා වල මිල පාලන  ඉවත් කිරීම, ප්‍රාග්ධන වෙළෙඳපොළ නිදහස් කිරීම, ආදායම් බදු සහ සමාගම් බදු අඩුකිරීම සහ සුබසාධන වියදම් අඩුකිරීම  වැනි කරුණුයි. මෙයට එරෙහි සමාජවාදී ආර්ථික ක්‍රමයන්හි ප්‍රධාන අංග වන්නේ ආර්ථිකයේ රාජ්‍ය සහභාගිත්වය උපරිම කිරීම, වෙළෙඳ සම්බාධක මගින් රට තුලට ගෙනෙන ආනයන සීමා කිරීම, මිල පාලනය මගින් ජනතාවට සහන මිලට  භාණ්ඩ සහ සේවා ලබා ගැනීමට සැලැස්වීම, ප්‍රාග්ධන වෙළෙඳපොළට සීමා පැනවීම, ධනපතියන්ට වැඩි බදු පැනවීම සහ සුබසාධන වියදම් අඩුකිරීම  වැනි කරුණුයි.

ජාත්‍යන්තර මූූල්‍ය අරමුදල එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂිකාව වූ ක්‍රිස්ටීන් ලෙගාර්ඩි යටතේ  තමන් ණය දෙන රටවල ආන්තික ජනතා කොටස් දුගී භාවයෙන් පෙලීම වැළැක්වීම සඳහා යම් සහන නිර්දේශ කරන ලදී. ඇත්ත වශයෙන්ම මූූල්‍ය අරමුදල මුල සිටම විරුද්ධ වූයේ ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාවට පොදුවේ ලබා දෙන සහන දුප්පතුන් විසින්ද ධනවතුන් විසින්ද එකසේ භුක්ති විඳීමට යි. ඉන්ධන සහ විදුලිය සඳහා ලබාදුන් සහන එවැනි ඒවාය. කෙසේවෙතත් මූූල්‍ය අරමුදලේ නව කළමනාකාර අධ්‍යක්ෂිකාව වන ක්‍රිස්ටලිනා ජෝර්ජිවා විසින් දුගී ජන කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කර ඇත. ඔවුන් ගැන නොසැලකුව හොත් සම්පුර්ණ ආර්ථික ක්‍රමයම කඩා වැටීමට ඉඩ ඇති බවට ඇය අනතුරු අඟවා තිබුණි. ඒ අනුව මූූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සමාජ ආරක්ෂණ දැලක් පිළිබඳව අවධාරණය කර තිබුණි. මෙය නව ලිබරල් වාදී චින්තනයට පටහැනිය. 

බ්‍රිතාන්‍යයේ මෑතකදී ඇතිකළ නව ලිබරල් වාදී ප්‍රතිසංස්කරණයක් නම් අගමැතිනි ලිස් ට්‍රස් විසින් ධනපතියන්ට සහන සලසමින් බදු විශාල ප්‍රමාණයකින් අඩු කිරීමයි. මෙයට විදේශ මුදල් වෙළෙඳපොළ ප්‍රතිචාර දැක්වුයේ පවුමේ අගය පහතට හෙළිමෙනි.  මූූල්‍ය අරමුදල එම ක්‍රියාව විවේචනය කරමින් සැප්තැම්බර් 27 වන දින නිවේදනයක් නිකුත් කළ අතර මූූල්‍ය අරමුදලේ ස්ථාවරය වූ  එම විවේචනය නව ලිබරල් චින්තනයට පටහැනිය.

නව ලිබරල්වාදී අංග මෙරට ආර්ථිකයේ  ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ ජේ. ආර්. ජයවර්ධන විසින් ආර්ථිකය විවෘත කිරීමත් සමඟය. සංවෘත ආර්ථිකයකින් හෙම්බත්ව සිටි මෙරට ජනතාවට එය සහනයක් විය. ඔහු බලයට පත්වූයේ මාගරට් තැචර් ට සහ රොනල්ඩ් රේගන් ට පෙර වූ අතර ඩෙන්ග් ෂියාවෝ පින්ග් විසින් චීන ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමටද පෙරය. එකල ඇතිවූ පුද්ගලීකරණයේ වරද වූයේ බොහෝ ආයතන කිසිම විනිවිද භාවයකින් තොරව හිත මිතුරන්ට පැවරීමයි.

රනිල් වික්‍රමසිංහ වර්ෂ 2001 දී අගමැති වූ විට රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළේය.  වර්ෂ 2002 දී ඔහු විසින් ඉදිරිපත් කළ Regaining Sri Lanka වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට මෙරට සමාජවාදීන් බලවත් ලෙස විරුද්ධ වූ අතර ජනතාව ද එයට අනුමැතිය දුන්නේ නැත. එම වැඩ සටහනේ ප්‍රධාන අංග වූයේ ඵලදායිතාව ඉහල නැංවීම හරහා ආර්ථික වර්ධනයක් ඇතිකිරීමත් රටේ දිළිඳු බව අඩුකිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමත්ය. ඵලදායිතාව ඉහල නැංවීමේ ප්‍රධානතම අංගය වූයේ අකාර්යක්ෂම රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම සහ රජයේ දෙපාර්තමේන්තු කාර්යක්ෂම තත්ත්වයට පත් කිරීමයි. දිළිඳු බව අඩු කිරීම ජනසවිය සහ සමෘධි හරහා දේශපාලනීකරණය වීම පිලිබඳ විවේචනයක්ද එහි වෙයි.

වර්ෂ 2015 දී රනිල් වික්‍රමසිංහ Regaining Sri Lanka වැඩ සටහන ඉදිරිපත් කළේ නැත. ඔහු අගමැති වූ පසුව 2016 දෙසැම්බර් මස  ලංකා බැංකුව විසින් එය සතු සෙලාන් බැංකුවේ කොටස්, කොටස් වෙළෙඳපොළ හරහා විකිණු පසුව රනිල් වික්‍රමසිංහ එයට මැදහත් වී රජයේ පිළිවෙත රජය සතු සම්පත් විකිණීම නොවන බව සඳහන් කරමින් එම ගනුදෙනුවට රජයේ අනුමැතිය ලබා නොගත් බව පවසා එය අවලංගු කළේය.පසුව කොටස් වෙළෙඳපොළ විසින් ගනුදෙනුව ආපසු හරවන ලදී. එනමුත් ඔහු විසින් දීර්ඝ කාලින බදුකර යටතේ රාජ්‍ය සම්පත් තාවකාලිකව පුද්ගලික අංශයට පවරා දී ඇත. හම්බන්තොට වරාය එවැන්නකි. මෙම යුගයේදී ඔහු ආදායම් බදු වැඩි කිරීමට පියවර ගත් අතර එය නව ලිබරල් චින්තනයට පටහැනිය. 

රජයේ සම්පත් පුද්ගලික අංශයට විකිණීම නව ලිබරල් වාදය නම් චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීම මගින් ද මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය තිබූ බිම විකිණීම මගින්ද නව ලිබරල් වාදීහු වෙති. එමෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ ආදායම් බදු අනුක්‍රමයෙන් අඩුවූ අතර ගෝඨාභය රාජපක්ෂ විසින් වර්ෂ 2019 දී විශාල ප්‍රමාණයකින් ආදායම් බදු අඩු කරන ලදී. මේවා නව ලිබරල් චින්තනයට අනුකූලය.

අප අද වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ එ්ම සඳහා ප්‍රයෝගික තත්ත්වයන් යටතේ නව ලිබරල් වාදය විසින් අනුමත කරන ලද  ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අපට බල කෙරී ඇත. ඒ අනුව දැන් ඉන්ධන සඳහා රජය දුන් සහනාධාර ඉවත් කර ඇති අතර මිල සූත්‍රය ක්‍රියාත්මක වේ. මිල සුත්‍රයේ අන්තර්ගත වන ඛනිජ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාව සම්බන්ධ පිරිවැය ඉවත් කිරීම   එය ප්‍රතිසංවිධානය කිරීම හරහා සිදුවනු ඇත. මේ අනුව තවත් බොහෝ රාජ්‍ය සංවිධාන ද ප්‍රතිසංවිධානය වනු ඇත. එයට අමතර වශයෙන් ආදායම් බදු වැඩිවනු ඇති අතර එය නව ලිබරල් චින්තනයට පටහැනි වේ.

මෙම වැඩ පිළිවෙල දෘෂ්ටිවාද වලින් තොරව ක්‍රියාත්මක කළ හැකි ප්‍රයෝගිකවාදී එකකි. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ එවැන්නකි. ශ්‍රී ලංකාවේ නව ලිබරල් වාදය යන යෙදුම යෙදෙන්නේ අවඥා සහගත ස්වරුපයකිනි. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නව ලිබරල් ප්‍රතිපත්තියක් වන අතර සමාජ ආරක්ෂණ දැලක් ඇති කිරීම සමාජවාදී ප්‍රතිපත්තියකි. මේ සියලු මතවාද වලින් අපට සුදුසු දේවල්  තෝරාගෙන ක්‍රියාත්මක කිරීමට අපට හැකි විය යුතුය. චීනය විසින් අනුගමනය කළ මෙවැනි වැඩ පිළිවෙලක් නිසා එරට අද ලෝකයේ ආර්ථික බලවතකු වී ඇති අතර එරට පැතිරී තිබු දරිද්‍රතාව විශාල වශයෙන් පහත දමා ගැනීමට සමත් වී ඇත. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.