25 April, 2024

Blog

බෙදුණු ජාතිවාදයෙන් එකතුවූ ජාතිකවාදයට

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

සියලුම මනුෂ්‍යයෝ මමත්වයෙන් යුක්ත වෙති. ගෝත්‍රවාදයද ජාතිවාදයද මමත්වයේ දිගුවන් වේ. ගෝත්‍රවාදය යනු සිය ගෝත්‍රයේ ද ජාතිවාදය යනු සිය ජනවර්ගයේද අභිවෘධිය අනෙක් කණ්ඩායම් වලට වඩා ඉහලින් තැබීමයි. ජාතිකවාදය යනු සිය දේශයේ අභිවෘද්ධිය අනෙකුත් දේශයන්ට වඩා ඉහලින් තැබීමයි. ඒ අර්ථයෙන් අපි සියල්ලෝම ජාතිකවාදීහු වෙමු. කිසිම දේශපාලන නායකයකුට ජාතිකවාදියකු නොවී කිසිම රටක රාජ්‍ය නායකත්වයට පත්විය නොහැක. 

මෑතක සිට ලංකාවේ ජාතිවාදීන් තමන් ජාතිකවාදීන් යයි කියා ගනිති. එහි තේරුම ඔවුන් ජාතිකවාදීන් බවට රූපාන්තරණය වීම නම් එය පැසසුම් කටයුත්තකි. එසේ නොමැතිව එය තමන්ගේ ජාතිවාදිත්වය ආවරණය කර ගැනීමට පාවිච්චිකරන්නේ නම් එය වංචනික කටයුත්තකි.

අතීතයේදී 19 වන ශත වර්ෂයට පෙර මෙරට ජාතිවාදීහු නොසිටියහ. අතීතයේ සිටියේ ජාතිකවාදීහු ය. ලංකා ඉතිහාසය ගැන බොහෝ දෙනකු සිතා සිටින්නේ ඉතිහාසය පුරා සිංහලයන් සහ ද්‍රවිඩයන් අතර යුද්ධ ඇති වූ බවයි. යුද්ධ ඇති වූයේ රජවරුන් අතර බවත් බලය උදෙසා බවත් වර්තමානයේ මෙන් ජනවර්ග ගැටලුවක් එකල නොතිබූ බවත් ඉතිහාසය හදාරන්නකුට පැහැදිලි වේ.

නුවර යුගයේ සිංහල දෙමළ සහ මුස්ලිම් ජාතින් සමගියෙන් ජිවත්වුහ. පළමුවන විමලධර්මසුරිය රාජ්‍යත්වයට පෙර පෘතුගීසින්ට අයිතිව තිබු ගෝවේ ද කලක් සිටියේය. නුවර රාජ සභාවේ බටහිර ජාතිකයන් ද සිටි අතර අන්තර් ජාතික සම්බන්ධතා රජ සභාවේ සිටි මුස්ලිම්වරු හරහා ද සිදු විය. මුස්ලිම්වරුන් දළදා මාලිගාවේ රාජකාරියද කළහ.

දහනව වන සියවසේ අග භාගයේ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයට හේතු වූයේ රාජ්‍යය විසින් බලය පාවිච්චි කර වැඩි දෙනා ගේ ආගම වූ බුද්ධාගම මැඩලීමයි. එවකට ආරම්භ කළ කොළඹ ආනන්ද මහා විද්‍යාලය ආරම්භ වූයේ බෞද්ධ ඉංග්‍රීසි පාසලක් වශයෙනි. ජනවර්ග ප්‍රශ්ණයක් එවකට නොතිබුණි.

අනගාරික ධර්මපාල නිදහස සඳහා පෙරට ආවේ මේ යුගයේදීය. රට නිදහස් කර ගැනීමට අමතරව අනගාරික ධර්මපාලට ප්‍රශ්න දෙකක් තිබුණි. එකක් රටේ වෙළෙඳ අධිපත්‍යය බහුතරය වන සිංහලයන් අත නොපැවතීමයි. එය ඔහුගේ ජාතිවාදයට හේතුවිය. අනෙක ස්වදේශිකයන් නව කර්මාන්ත කෙරෙහි උනන්දු නොවීමයි. එය ඔහුගේ ජාතිකවාදයට හේතුවිය. මෙම ජාතිකවාදය අභිබවා ජාතිවාදය ඉස්මතුවීම වර්තමානයේ ජනවාර්ගික සහ ආගමික ප්‍රශ්න වල මූල බිජයයි. ජාතිවාදියකු වන ගුණදාස අමරසේකර අනගාරික ධර්මපාල ගෙන් ඇරඹි ව්‍යාපාරය සූත්‍ර ගත කිරීමේදී ධර්මපාලගේ ජාතිකවාදී ප්‍රවේශය අතහැර දැමිය. 

විසිවන සියවසේ මුලභාගයේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ පී. ද එස්. කුලරත්න යුගයේදී දෙමළ සහ මුස්ලිම් ගුරුවරු ද විදුහලේ ඉගැන්වුහ. එවැනි ගුරුවරයකු වූ ටි. බි. ජයාට සහිරා විද්‍යාලයේ විදුහල්පති ධුරය බාරගන්නා ලෙස කෙරුණ ආරාධනය පිළිගන්නා ලෙස කී කුලරත්න ඔහුට සහායට ආනන්දයේ ගුරු පිරිසක්ද සහිරා විද්‍යාලයට යැවිය.

ආනන්දයට ජාතිවාදය රැගෙන ආවේ එල්. එච්. මෙත්තානන්දයි. එවකට මුළු රටම විවිධ ජනවර්ග වලට බෙදීම ඇරඹි තිබිණ. ජාතික නායකයන්ට මේ ප්‍රවාහය වැළැක්වීමේ හැකියාවක් නොවිය. පසුව බණ්ඩාරනායක මේ ප්‍රවාහයට නායකත්වය දුන්නේය. ජනවර්ග අතර සහයෝගිතාවද රටේ ආර්ථිකයද විනාශ කිරීමට මඟ පැදු බණ්ඩාරනායක කළ විශිෂ්ට තම ක්‍රියාව වූයේ රටේ පෑගී සිටි නිර්ප්‍රභූ පොදු ජනයා ඉහලට නැංවීමයි. අවාසනාවකට එය සිංහලයන්ට පමණක් සිමා විය.

ඉන් පසුව ජාතිවාදය සෑම දේශපාලන පක්ෂයක් විසින්ම පාවිච්චි කරන ලදී. ලිබරල්වාදයද මාක්ස් වාදයද ජාතිවාදය ප්‍රතික්ෂේප කරයි. මෙරට ලිබරල්වාදීන්ද මාක්ස්වාදීන් ද ජාතිවාදයට යටවීම රටේ අභාග්‍යයයි. ඇන්. ඇම්. පෙරේරා නායකත්වය දුන් ලංකා සමසමාජ පක්ෂයේ සිට ලංකා කොමියුනිස්ට් පක්ෂයද පසුව ජනතා විමුක්ති පෙරමුණද ජාතිවාදයට යටවූහ. ජනතා විමුක්ති පෙරමුණ තවම එයින් නිදහස් වී නැත. ලිබරල් අදහස් දැරූ දේශපාලනඥයන් අතර ජාතිවාදයට යට නොවූයේ රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග යි. රනිල් වික්‍රමසිංහ ජාතිවාදයට යට නොවීම නිසා විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධන යුගයේද ඉන් පසුව ද දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂය සතුව තිබූ ජාතිවාදය වාමාංශිකවූ ද බණ්ඩාරනායකගේ දේශපාලන දරුවකු වූ ද මහින්ද රාජපක්ෂ විසින් අත්පත් කර ගන්නා ලදී. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කර ඇති දෙමළ ජාතිකයන් නිදහස් නොකරන්නේ රාජ්‍යය ජාතිවාදී නිසාය. එසේ නොමැති නම් ජාතිවාදී වන ඡන්ද දායකයන්ට බියෙනි. රනිල් වික්‍රමසිංහ 2001 දී නිර්භීත වූ නිසා ඊළඟ මැතිවරණයෙන් ඔහු පරාජය කරන ලදී. එබැවින් 2015 දී ඔහු නිර්භීත නොවිය. නිර්භීත බවක් ප්‍රදර්ශනය කළ අනෙක් දේශපාලනඥයා චම්පික රණවක යි. සිංහල බෞද්ධ ජාතිවාදී ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ පරිසරය පිලිබඳ ඇමැති ධුරය ගත් ඔහු ශබ්ද දුෂණයට එරෙහි එනම් පන්සල් වල සිටින ශබ්ද විකාශන යන්ත්‍ර මත යැපෙන භික්ෂූන්ට එරෙහි පියවර ගැනීමට මැලි නොවිය. බණ්ඩාරනායකට මෙම ශක්තිය තිබුනේ නම් රට මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් නොවනු ඇත.

අරගලය කළ තරුණ තරුණියෝ ජාතිවාදය ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ දර්ශනය සමාජයේ ස්ථාපිත වූයේ නැත. දැන් රාජ්‍යය විසින් ඔවුන් මර්දනය කරනු ලැබේ. රටේ වර්තමාන අවශ්‍යතාව වන්නේ ලිබරල් වාදීන් ද මාක්ස්වාදීන් ද ඒ දෙකටම අයත් නොවන්නන් ද විසින් ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමයි. එවිට අපේ ප්‍රශ්ණ බොහොමයක් විසඳා ගැනීමට අත්තිවාරම වැටෙනු ඇත. යම් හෙයකින් නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩන්ට අපේ රටේ රාජ්‍ය නායක ධුරය දුන හොත් ඉතා කෙටි කාලයකින් ඇය විසින් මේ ප්‍රශ්ණ අපට විසඳා දෙනු ඇත.

කළ යුතු දෑ සරලය. රජය විසින් දකුණු අප්‍රිකානු ආකෘතියේ සංහිඳියා කොමිසමක් පත් කරන බව ජිනීවා හිදී ප්‍රකාශ කර ඇත. එය කළ යුතුව තිබුනේ යුද්ධය අවසන්වූ විගසයි. එහි අවශ්‍යතාව කල් ඉකුත් වෙමින් පවතී. යහපාලන රජය විසින් නිදහස් දිනයේ ජාතික ගීය දෙමළෙන්ද ගැයූ විට  එයට ප්‍රතිචාර දැක්වූ එවකට උතුරේ ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් නාග විහාරයට ගියේය. ජාතික ගීය දෙමළෙන් ගයා සියලු ප්‍රශ්ණ විසඳිය හැකි යයි මම නොකියමි.ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ රජයේද ජනතාව ගේද ආකල්ප වල වෙනසකි. ඒ සඳහා ජාතිවාදීන් නියම ජාතිකවාදීන් විය යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.