20 April, 2024

Blog

සිංහල ජන විඥාණය සහ දෙමළ ජාතික ප්‍රශ්ණය

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

ප්‍රජාතන්ත්‍රවාදය යනු වැඩි දෙනාගේ කැමැත්තයි. එනමුත් බහුතරය සුළුතරයේ අවශ්‍යතාවයන් පාගා දැමීමට කටයුතු කරන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ ඒකාධිපතිත්වයක් දක්වා පිරිහෙනු ඇත.ශ්‍රී ලංකාව බොහෝ කාලයක් මෙම තත්වයේ සිටි අතර පසුගිය ආණ්ඩු කාලයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය කර යාමට උත්සාහයක් ගනු ලැබූ අතර පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් අත්පත් කර ගත නොහැකි විය.

පසුගිය මැතිවරණ ප්‍රතිඵලය වාර්ගිකත්වය මත පදනම් වූ එකක් විය. දෙමළ සහ මුස්ලිම් ජනතාව සිය ජන වර්ග වලින් ඉදිරිපත්වූ අන්තවාදී අපේක්ෂකයන්ට සිය ඡන්දය නොදුන් අතර ඔවුන් ඡන්දය දුන්නේ සිංහල බෞද්ධ අපේක්ෂකයකුටය. පසුගිය ජනාධිපතිවරණයේදීද තත්ත්වය මෙසේම විය. මෙවර එම ප්‍රවනතාව ඉදිරියට ගියේ තත්ත්වය තව දුරටත් ධ්‍රැවීකරණය වෙමිනි. මෙවර මැතිවරණය ව්‍යාපාරය ගෙනගියේ ජාතික ආරක්ෂාව පදනම් කරගෙනය. ආරක්ෂා වන්නේ කවරකුගෙන්ද? විදේශීය සතුරකු ගෙන් නොවේ. මෙරට ජිවත්වන ජන කොටස් වලිනි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම මොහොතේදී ජාතික ආරක්ෂාව සඳහා වැදගත්ම කොන්දේසිය වන්නේ ජාතීන් අතර සමගිය සහ අන්‍යෝන්‍ය අවබෝධයයි. වෙනස් දිසාවන්ට ධ්‍රැවීකරණය නොවේ. එබැවින් දැනට ප්‍රචලිත ජනතා මතවාදය නිවැරදි එකක් නොවේ.

ජනාධිපතිවරයා තමා තමන්ට ඡන්දය දුන් ජනතාවගේ පමණක් නොව සමස්ත ජනතාවගේම ජනාධිපතිවරයා බව කියා සිටියේය. එමෙන්ම ඔහු තමන් දෙමළ ජනතාවගේ දේශපාලනික අවශ්‍යතාවයන්ට ආමන්ත්‍රණය නොකරන බවද එයට පරිබාහිරව එම පෙදෙස් ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද කීය. ඒ මගින් ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා වියැකී යනු ඇතැයි ඔහු කල්පනා කරයි. මේ පියවරට හේතුව වශයෙන් ඔහු දක්වන්නේ දෙමළ ජනතාවට අදාලව දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා දකුණ විරුද්ධ වීමයි. උතුර සංවර්ධනය කිරීමට දකුණේ කිසිවකු විරුද්ධ නොවනු ඇතැයි ඔහු කියයි. වෙනත් වචන වලින් කියන්නේ නම ප්‍රශ්නයේ මුල ආර්ථික ප්‍රශ්ණ යයි ඔහු සිතන සෙයකි.

එය එසේ නොවේ. හොංකො ජනතාව සිය ආර්ථික වෘද්ධියට වන හානිය නොතකා චීනය විසින් බලාත්මක කිරීමට උත්සාහ ගත් උදර්පණ නීතියට එරෙහිව උද්ඝෝෂණ කරති. ස්කොට්ලන්තය අසමමිතික බලය බෙදීමක් භුක්තිවිඳින අතර අවශ්‍ය නම් සිය කැමැත්තෙන් වෙන්වී යාමට ඇති අයිතියද භුක්ති විඳිති. ස්පාඤ්ඤයේ දල ජාතික නිෂ්පාදනයෙන් 19% ක් උපයා දෙන කැටලෝනියාව, මධ්‍යම ආණ්ඩුවට තමන් දායක වන ප්‍රමාණයට වඩා මධ්‍යම ආණ්ඩුව තමන්ගෙන් බදු වශයෙන් අයකර ගන්නා බව සිතයි.  

එබැවින් මූලික හේතුව ආර්ථික කරුණු නොවේ. අනෙක් අතට ආර්ථික තත්ත්වය වැඩි දියුණු වන විට දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් වඩාත් අපහසු වනු ඇත. ජනාධිපතිවරයා නොපවසන කාරණය වන්නේ දකුණේ ජනතාව එම තත්ත්වයට පත්කිරීමට ඔහු නියෝජනය කරණ දේශපාලන බලවේගය හිතා මතාම කටයුතු කර එයින් දේශපාලන වාසියක් ලබා ගෙන ඇති බවයි. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සිට විපක්ෂ දේශපාලන පක්ෂ මේ ආකාරයට කටයුතු කර ඇත. මේ ප්‍රවාහයට විරුද්ධව කටයුතු කලේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ පමණි. ඔවුන්ගේ වෙනත් අඩුපාඩු කම් බොහෝ තිබුණි. එනමුත් මෙම ප්‍රශ්නයෙන් අයුතු දේශපාලන වාසි ලබා ගැනීමට ඔවුන් කටයුතු කලේ නැත.

මේ සඳහා හොඳම අවස්ථාව ලැබුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ටය. යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් සාමය රැගෙන ඒමට ඔහුට අවස්ථාව තිබුණි. ඉතාමත් අවාසනාවන්ත ලෙස ඔහු එම අවස්ථාව පැහැර හැරියේය. ඊශ්රාලයේ හිටපු අගමැති යිට්ෂාක් රබින් 1967 සය දින යුද්ධයට අණදුන් සෙන්පතියාය. එනමුත් අගමැති වශයෙන් පලස්තීනය සමඟ සාම ගිවිසුමක්  ඔහු විසින් ඇතිකර ගන්නා ලදී. ඒ වෙනුවෙන් ඔහුට නොබෙල් සාම ත්‍යාගය ද ලැබුණි. පසුව මේ ගිවිසුමට විරුද්ධ වූවකු විසින් ඔහු ඝාතනය කරණ ලදී. ඉන්දියානු නිදහස සහ විශේෂයෙන් ජාතික සමගිය වෙනුවෙන් නායකත්වය දුන් මහත්මා ගාන්ධිද  ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් ඝාතනය කරණ ලදී. සමහර විට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනතා අප්‍රසාදයට පත් නොවීම නොබෙල් ත්‍යාගයට වඩා උසස් කොට සලකන්නට ඇත.

නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය එය නොවේ. ඉතිහාසය අපට වෙනත් පාඩමක් කියා දෙයි. ශත වර්ෂ ගණනාවක් තුළ මෙරට ඉතිහාසයේ ජන වාර්ගික ගැටුම් ඇතිවේ නොමැත. ගැටුම් ඇතිවුයේ රජුන් සහ කුමාරවරුන් අතරය. ඔවුන් සැලකිලිමත් වූයේ බලය පිලිබඳවය. ජනවර්ගය පිළිබඳව නොවේ. එළාරගේ හමුදාවේ සිංහලයෝ බොහෝ දෙනෙක් සිටියහ. දහතුන්වන සියවසේ අපේ  ශිෂ්ඨාචාරය විනාශ කළ මාඝ දෙමළ ජාතිකයෙකු නොවේ. සිංහල රජවරු සොලී ආක්‍රමණිකයන්ට එරෙහිව  පාණ්ඩ්යයන් ගේ ආධාර ලබා ගත්හ. දෙපිරිසම දකුණු ඉන්දියානු ජාතිකයෝ වෙති.

සිංහලයෝ සහ මුස්ලිම්වරු ශත වර්ෂ දහයකට අධික කාලයක් මෙරට සහජීවනයෙන් සිටියහ. සිංහල රජ වරුන්ගේ කාලයේ මුස්ලිම්වරු මෙරට රාජ සභාවේ විදේශ කටයුතු සහ වෙළෙඳාම පිළිබඳව උපදේශකයන් ලෙසද පරිපාලන නිලධාරීන් ලෙසද බෞද්ධ විහාරස්ථාන වලට අනුබද්ධව ද සේවය කළහ. ඔවුන්ට එරෙහිව බටහිර ආක්‍රමණිකයන්ගෙන් ඇතිවූ බලපෑමෙන්  ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඔවුන් උඩරට රාජධානිය තුළ පදිංචි කරණ ලද්දේ රජවරුන් විසිනි.  

මෙම තත්ත්වය වෙනස් වූයේ දහනව වැනි සියවසේ ඇතිවූ බෞද්ධ පුනරුදය සමඟිනි. අවාසනාවන්ත ලෙස එය දෙමළ සහ මුස්ලිම් ජන වර්ග වලට එරෙහිව කරණ අරගලයක් බවටද පත් විය. මෙරට ජනවාර්ගික නොසන්සුන් තාවයේ ආරම්භය එයයි.

මෙය දේශපාලන ව්‍යාපාරයකි. මෙම දේශපාලන ව්‍යාපාරය ඉහත  දැක්වූ පරිදි  එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සිට විපක්ෂ දේශපාලන පක්ෂ විසින් බලය ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස ඉදිරියට ගෙන ගොස් ඇත. චන්ද්‍රිකා කුමාරතුංග මෙම පිළිවෙත වෙනස් කළාය. ඇය ආණ්ඩු බලයේ සිටියදී ඇති කළ සුදු නෙලුම් වැනි ව්‍යාපාර වලින් දුෂණය වී තිබුණු සිංහල ජන මනස බොහෝ දුරට වෙනස් කරණ ලදී. රනිල් වික්‍රමසිංහ කිසි දාක බලය ලබා ගැනීම වෙනුවෙන් මේ ප්‍රශ්නය පාවිච්චි කර නැත. 

එබැවින් මහින්ද රාජපක්ෂට ජනතා අප්‍රසාදයට ලක් නොවී මේ රට ඉදිරිගාමී ලෙස විශාල පරිවර්තනයකට පත් කිරීමේ අවකාශය තිබුණි. එය නැතිවීම රටේද ඔහුගේද අවාසනාවකි.

මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටද එවැනි අවස්ථාවක් ලැබී තිබේ. එය මහින්ද රාජපක්ෂට ලැබුනා වැනි අනගි අවස්ථාවක් නොවේ. මක්නිසාද යත් පසුගිය මැතිවරණය සිංහල ජාතික හැඟීම්ද  අවුස්සා ලත් ජයග්‍රහණයක් බැවිනි. ජයග්‍රහණයට වෙනත් හේතුද විය. බණ්ඩාරනායක මෙවැනි ජයග්‍රහණයක් ලද පසු දෙමළ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්නට යාමේදී භික්ෂු බලවේගයට එරෙහිව නොසැලී සිටින්නට ඔහුට නොහැකි විය. ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ගෝඨාභය රාජපක්ෂ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවේ. භික්ෂුන් විසින්ම ඉල්ලනු ලැබූ දැඩි පාලකයෙකි. එබැවින් ඔහුට අවශ්‍ය නම් තත්වය වෙනස් කළ හැක.

මෙරට දෙමළ ජනතාවට ලැබුන එකම දේශපාලන සහනය වන පළාත් සභා නීතිගත කළේ  සිය අගමැතිවරයා ගේ සහ  ප්‍රබල ඇමතිවරුන් ගණනාවක ගේ විරුද්ධතාවය ද සමස්ත දෙමළ නොවන පක්ෂවල විරුද්ධත්වයද නොතකා රට පුරා ඇඳිරි නිතිය පනවා ඉන්දීය අගමැති වරයාට රයිපල් ප්‍රහාරයක්ද එල්ල කරමින් තනි පුද්ගලයකුගේ අභිමතයට අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම නිසාය.

දේශපාලන විසඳුමකට සිංහලයන් විරුද්ධ වන්නේ අනියත බියක් නිසාය. එය සාධාරණ නොවේ. ඉන්දියාව නිදහස ලබන විට දකුණු දිග ප්‍රාන්ත වල දේශසීමා සකස් වී තිබුනේ යටත් විජිත යුගයේ තිබූ ආකාරයට සහ මහාරාජා වරුන් ගෙන් අත්පත් කරගත් ප්‍රදේශ අනුවය. මැඩ්රාස් ප්රෙසිඩෙන්සි ප්‍රාන්තය බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවති අතර මයිසූර්, හයිද්‍රබාද් සහ ට්‍රිවන්කෝ-කොචින් යන ප්‍රාන්ත මහාරාජා වරුන් ගෙන් අත්පත් කර ගන්නා ලදී. මෙම දේශ සීමා බෙදීම් ජන වර්ග සහ භාෂාව අනුව පදනම් නොවීය. පසුව දකුණු ප්‍රාන්ත වලට සහ විශේෂයෙන් දෙමළ භාවිතා කරණ ප්‍රදේශ වලට වෙනම රාජ්‍යයක් අවශ්‍යයයි බලවත් ඉල්ලීමක් ඇතිවිය.

ජන වර්ග අනුව ප්‍රාන්ත බෙදන ලෙස ඇතිවූ බලපෑම මත 1953 දී සහ 1956 දී තෙලිඟු භාෂාව භාවිතා කරණ කොටස් සඳහා අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රන්තයද, මලයාලම් භාෂාව භාවිතා කරණ කොටස් සඳහා කේරලය ද කන්නඩ භාෂාව භාවිතා කරණ කොටස් සඳහා කර්ණාටක ප්‍රාන්තය ද දෙමළ භාෂාව භාවිතා කරණ කොටස් සඳහා තමිල් නාඩු ප්‍රන්තයද ඇති කරණ ලදී. ඉන් පසුව වෙනම රාජ්‍ය සංකල්පය අනුක්‍රමයෙන් වියැකී ගියේය.

එබැවින් තමන්ගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කර ගත හැකි පරිදි බලයක් ලැබුන විට ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ නැත. වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ තමන්ගේ වාර්ගික දේශපාලන අභිලාෂයන් සිය රටේ දී සාක්ෂාත් කර ගත නොහැකි වන විටය. සිංහල ජනතාවට මේ සරල සත්‍යය පහදා දිය යුතුය. දේශපාලන පක්ෂ මේ කාර්යයට දායක කර ගත නොහැක.

එබැවින් මෙය සංවේදී පුරවැසියන්ගේද සිවිල් සමාජයේ ද කාර්ය භාරයයි. මේ අවස්ථාවේදී දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වන ක්‍රියා දාමයේ දී  රටේ භූමියේ අඛණ්ඩතාවට අනතුරක් නොමැතිබව සිංහල ජනතාවට පහදා දිය යුතුය. එමෙන්ම මෙම කාර්යය කිරීමෙන් තොරව ආර්ථික සමෘධියෙන් පමණක් අර්බුද වලින් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් මෙය කිරීමෙන් සිංහල ජනතාවට ද්‍රෝහී වීමක් සිදු නොවන බවත් ජනාධිපතිවරයාට වටහා දිය යුතුය.

මෙම ගමන අතිශය දුෂ්කර ගමනකි. එනමුත් පවතින දේශපාලන වාතාවරණය අනුව මෙම ගමන යාමට හැකි එකම කොටස මෙරට සිවිල් සමාජය යයි මම සිතමි. 

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    දෙමළ ජනයා සැබෑවටම ඉල්ලන්නේ කුමක්ද කියා පැහැදිලි කිරීමක් ලබාදිය හැකිද ? කරුණාකර මේ පිළිබඳ දැනුමක් ඇති අයෙක් පැහැදිලි කිරීමක් ලබාදෙන්න.

    • 0
      1

      මා අදහස් කරණ ආකාරයට පහත සඳහන් කාරනා දෙකයි.
      1. රාජ්‍යය සියළුම පුරවැසියන්ට සමානව සැලකිය යුතුය. මේ සම්බන්ධ ප්‍රධාන කරුණ වන්නේ දෙමළ ජනයාට සිය භාෂාවෙන් රාජ්‍යය සමඟ ගණුදෙනු කළ හැකි වීමයි. දෙමළ භාෂාවෙන් යවන ලිපි වලට දෙමළ භාෂාවෙන් පිළිතුරු ලැබීමට ඇති අයිතියයි. උසාවියක තමන් නොදන්නා භාෂාවකින් කටයුතු කරණ විට එහි පරිවර්තනයක් ලබා ගැනීමේ අයිතියයි. තවත් නොයෙක් උදාහරණ දැක්විය හැක.මෙය බොහෝ අවස්ථා වලදී උල්ලංඝනය වේ.
      නිදර්ශනය -1 කැනඩාව ද්වි භාෂා රටකි. එහි ප්‍රංශ බහුතරය ක්විබෙක් ප්‍රාන්තයේ ජිවත් වෙති. ඉංග්‍රීසි කථා කරණ බහුතරය අනෙක් ප්‍රාන්ත වල ජිවත් වෙති. කැනඩා රාජ්‍යය ඔවුන් සියළු දෙනා සමඟ ඔවුන්ගේ භාෂාවෙන් කටයුතු කරයි.
      නිදර්ශනය 2- පළමුවන විජයබාහු 11 වන සියවසේදී සොලී ආක්‍රමණිකයන්ට එරෙහිව ඉතාම තීරණාත්මක සටනක් කර රට එක් සේසත් කළේය. ඔහුට එහිදී ද්‍රවිඩ ජාතික වේලෙක්කාර භටයෝ සහයෝගය දුන්හ. ඔවුන්ගේ දැන ගැනීම සඳහා විජයබාහු රජු දෙමළෙන් සෙල් ලිපියක් කර වුයේය. එහිදී රාජ්‍යය වැසියන් සමඟ කටයුතු කලේ ඔවුන්ගේ භාෂාවෙනි.
      2. ඔවුන්ගේ දේශපාලන අභිලාෂ සාක්ෂාත් කර ගැනීම. එනම් දෙමළ බහුතරය සිටින පළාත් වල පාලනය ඔවුන් විසින් තෝරා පත් කර ගන්නා ලද නියෝජිතයන් මගින් කිරීම. මෙම කාරණය දෙමළ නොවන අනෙක් සිංහල පළාත් සඳහාද අදාලවේ. නව ව්‍යවස්ථාවක් සාදා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ ඇතිවූ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මහා ඇමතිවරු තමන්ට මිට වඩා වැඩි බලතල ඉල්ලා සිටි අතර ආණ්ඩුකාර වරයාට ඇති අසීමිත බලතල අඩු කරණ ලෙස ඉල්ලා සිටියහ. මේ සඳහා යම් සාකච්ඡාවක් සිදුවූ අතර තව දුරටත් මේ ගැන සාකච්ඡා කළ හැක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.