26 April, 2024

Blog

කොරියානු සිහිනය: කොරියානු රැකියා වල කවුරුත් කතා නොකරන අඳුරු පැතිකඩ

පියුමි ෆොන්සේකා

පියුමි ෆොන්සේකා

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුමෙන් මෘත දේහයක් රැගෙන එනු දුටුවෙමු. ඒ දකුණු කොරියාවේ බෝට්ටු අනතුරකින් දියේ ගිලී මියගිය විසිහතර හැවිරිදි ගනුෂ්ක මදුමාල්ගේ දේහයයි. කිසි දිනෙක ශ්‍රී ලංකා මුහුදේ පිහිනා නොතිබුණු මදුමාල් කොරියාවේ ධීවර යාත්‍රාවක සේවය කරමින් සිටියේය. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ජීවිතාරක්ෂක කබායක් පවා පැළඳ සිට නැත.

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික නුපුහුණු කම්කරුවන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අහිතකර වෘත්තීය තත්ත්ව හා භයානක සේවා කොන්දේසි යටතේ වැඩ කරමින් සිටින අතර එහි ප්‍රථිපලයක් වශයෙන් මාරාන්තික වෘත්තීය තුවාල ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටලු හටගෙන ඇති බව ඬේලිමිරර් පුවත්පතේ නවතම ගවේශණාත්මක විශේෂාංගය වන ‘අක්ෂි’ මගින් අනාවරණය කරගෙන ඇත.

දකුණු කොරියාවේ විශාලතම විදේශ කේන්ඳ්‍රීය කාර්මික ප්‍රදේශය වන අන්සාන් හි ශ්‍රී ලාංකික කම්කරුවන් ඬේලිමිරර් පුවත්පතට පැවැසුවේ සමහර ශ්‍රී ලාංකික කම්කරුවන් බර උපකරණ කඩා වැටීමෙන් මරණයට පත්ව ඇති බවයි. තවත් කම්කරුවන් පිරිසක් මදුමාල් මෙන් මුහුදේ ගිලී මිය ගොස් ඇත. තවත් සමහරක් බර යන්ත්‍ර යට සිරවී මරණයට පත්ව ඇත.

කෙසේ වෙතත්, අපේ නිරීක්ෂණය වූයේ දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ ඇත්තේ ඉතා සීමිත වාර්තාකරණයක් බවයි. තවද කොරියාවේ නුපුහුණු ශ්‍රී ලාංකික කම්කරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොරියාවේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය විසින් රැස් කරන ලද දත්ත අතර පැහැදිලි විෂමතාවයක් ද අපට දක්නට ලැබුණි.

කොරියන් ‘වොන්‘ සොයා

නිෂ්පාදන, ධීවර, ඉදිකිරීම්, කෘෂිකාර්මික හා පශු සම්පත් වැනි අංශවල අඩු නිපුණතා සහිත රැකියා පිරවීම සඳහා කොරියාව රටවල් 16 ක් සමඟ රැකියා බලපත්‍ර පද්ධතිය (ඊපීඑස්) යටතේ ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම රැකියා අපිරිසිදු, දුෂ්කර හා භයානක අතර මෙම රැකියා වල අඩු වැටුප් හා දුර්වල සේවා කොන්දේසි හේතුවෙන් කොරියානුවෝ මෙම රැකියා වල නිරත නොවෙති. මේ වන විට නිල වාර්තාවලට අනුව කොරියාවේ සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 2.4 ක් සිටින අතර පසුගිය වසර 10 තුළ එම සංඛ්‍යාව දෙගුණ වී තිබේ.

වයස අවුරුදු 18-39 අතර ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන්ට දකුණු කොරියාව යනු ඔවුන්ගේ මව්බිමේ උපයන මුදලට වඩා ශ්‍රී ලංකා රුපියල්  200 000 – 400 000 ක් පමණ උපයා ගත හැකි අවස්ථාවකි. ඊපීඓස් යටතේ, අයදුම්කරුවන් තෝරා ගනු ලබන්නේ කොරියානු භාෂාවෙන් ඔවුන්ගේ ප්‍රවීණතාවය මත ය. භාෂා ප්‍රවීණතා පරීක්ෂණයෙන් සමත් වූවන් සඳහා වැඩ කරන වීසා බලපත්‍ර (ඒ.9 වීසා) නිකුත් කරනු ලබන අතර එමඟින් වසර හතරක් සහ මාස 10 ක් දක්වා වැඩ කිරීමට අවස්ථාව ලබා දේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවට අනුව, ඊපීඑස් හි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක සංඛ්‍යාව 22,000 කට වඩා වැඩිය. කෙසේ වෙතත්, නීති විරෝධිව කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් භයානක ලෙස වැඩිවන බැවින් මෙම සංඛ්‍යා නිරවද්‍ය නොවේ.

අපිරිසිදු, දුෂ්කර හා භයානක රැකියා

කොරියාවේ ජෙජු-ඩෝ හි ධීවරයෙකු වන සම්පත් (29) ඔහුගේ පළමු රැකියාවෙහි සේවා කොන්දේසි දරාගත නොහැකි වූ විට, ඔහුගේ කුරිරු සේවායෝජකයාගේ ග්‍රහණයෙන් මිදී අවිධිමත් සේවකයෙකු වීම හැර ඔහුට වෙනත් විකල්පයක් නොතිබුණි. කොරියානු හාම්පුතුන් තවමත් අවිධිමත් සේවකයින් බඳවා ගන්නේ ඔවුන්ගේ නීතිවිරෝධී තත්ත්වය නිසා ඔවුන් වැඩකරන පරිසරයට එරෙහිව විරෝධතා දැක්වීම අඩු වනු ඇතැයි කියන සිතුවිල්ලෙනි.

ඊපීඑස් යටතේ, සංක්‍රමණික සේවකයින්ට රැකියාව වෙනස් කළ හැක්කේ වසර තුනක කාලය තුළ උපරිම තුන් වතාවක් පමණි. මීට අමතරව, රැකියා ස්ථානයක් හැර දමා මාස 3 ක් ඇතුළත රැකියා වෙනස් කිරීම සහ නව රැකියා සොයා ගැනීම සඳහා කම්කරුවන් තම සේවායෝජකයින් විසින් අත්සන් කරන ලද නිදහස් කිරීමේ පෝරමයක් ලබා ගත යුතුය. එසේ නොවුවහොත්, ඔවුන්ගේ නෛතික තත්ත්වය අහිමි වන අතර ඔවුන් අත්ඩංගුවට ගැනීමට යටත් වේ. කොරියානු ආගමන විගමන කාර්යාලයට අනුව, නීතිවිරෝධී සංක්‍රමණික කම්කරුවන් 380,000 ක් කොරියාවේ රැඳී සිටින බවට ගණන් බලා තිබේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ වාර්තා වලට අනුව නීතිවිරෝධී ශ්‍රී ලාංකික කම්කරුවන් 3821 ක් සිටියද, සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩි ය. සම්පත්ට ඔහුගේ පළමු සේවායෝජකයාගෙන් නිදහස් කිරීමේ පෝරමයක් ලබා ගැනීමට නොහැකි විය. වර්තමාන සේවා ස්ථානය වන ධීවර යාත්‍රාව තුළ ඇති අයහපත් ප්‍රතිකාර හා ඔහුගේ ජීවිතයට ඇති අවදානම කලින් තිබූ ස්ථානයට සමාන බව ඔහු පැවසීය. ඔහුට වෙනත් විකල්පයක් නොතිබුණි. ඔහුගේ එකම ආදායම් මාර්ගය මත මුළුමනින්ම යැපෙන, ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ පවුලට මුදල් යැවීම සඳහා ඔහු දුෂ්කරතා දරාගෙන රැකියාවේ නිරත වෙයි. ඔහු මෙසේ පැවැසීය. “මගේ පවුලේ අය ආපසු ගෙදර එන විට මා ගැන බොහෝ බලාපොරොත්තු තියෙනවා. ඒ නිසා මගේ පවුලේ අය වෙනුවෙන් දුෂ්කරතා දරාගන්න මම තීරණය කළා.”

සම්පත්ට ඔහුගේ පළමු සේවායෝජකයාගෙන් නිදහස් කිරීමේ පෝරමයක් ලබා ගැනීමට නොහැකි විය. වර්තමාන සේවා ස්ථානය වන ධීවර යාත්‍රාව තුල ඇති අයහපත් ප්‍රතිකාර හා ඔහුගේ ජීවිතයට ඇති අවදානම කලින් තිබූ ස්ථානයට සමාන බව ඔහු පැවසීය. ඔහුට වෙනත් විකල්පයක් නොමැත. ඔහුගේ එකම ආදායම් මාර්ගය මත මුළුමනින්ම යැපෙන ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ පවුලට මුදල් යැවීම සඳහා ඔහු දුෂ්කරතා දරාගෙන රැකියාවේ නිරත වෙයි. ඔහු මෙසේ පැවසීය, “මගේ පවුලේ අය ආපසු ගෙදර එන විට මා ගැන බොහෝ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ නිසා මගේ පවුලේ අය වෙනුවෙන් දුෂ්කරතා දරාගන්න මම තීරණය කළා.”

“මා වැනි සාමාන්‍ය පිහිනුම් පුළුවන් කෙනෙකුට පවා කොරියානු මුහුදට හුරුවීම ඉතා අපහසුයි. ජීවිතාරක්‍ෂක කබා නොමැතිව යාත්‍රා කිරීම අපගේ කම්කරුවන්ගේ ජීවිත අනතුරේ හෙළනවා. මගේ සේවායෝජකයා අපට ජීවිතාරක්‍ෂක කබා පැළඳීමට ඉඩ නොදෙන්නේ ඔහු ලයිෆ් ජැකට් පැළඳීම අපට සුවපහසු ලෙස ගමන් කිරීමට හා කාර්‍යක්‍ෂමව වැඩ කිරීමට අපහසු යැයි සිතන නිසා යැයි සම්පත් කියා සිටියේය.

ඔහුගේ කොන්ත්‍රාත්තුව සහ සැබෑ වැඩ අතර විෂමතා ඔහු අපට වාර්තා කළේය. “මට දිගු පැය හා රාත්‍රී වැඩ මුර වැඩ කිරීමට වෙලා තියනව. මට තේ හදන්නත් වෙනවා. අතුපතු ගා පිරිසිදු කිරීම කිරීමටත් බල කරනවා. අපි කොරියාවට ආවේ වහලුන් ලෙස වැඩ කිරීමට නොවේ. අපට වැටුප් ගෙවන සේවාවක් අපි කරනවනේ.”

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්‍යාංශයේහි කොරියානු අංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ අවිධිමත් කම්කරුවන් වඩා සූරාකෑමට ලක්විය හැකි බවයි. සම්පත් වැනි අවිධිමත් කම්කරුවන්ට ගැටලුවක් හමුවේ කම්කරු නිලධාරීන් සහ පොලීසිය ඇතුළු කොරියානු රජයේ බලධාරීන් වෙත යාමට නොහැකි වන්නේ ඔවුන් අතඩංගුවට ගෙන පසුව පිටුවහල් කළ හැකි බැවිනි.සේවක ආරක්‍ෂාව ගැන නොතැකීම

මෙම රැකියාවල නියුතු කම්කරුවන්ට වේදනාව හා අධික ලෙස බර පැටවීම, තාපය, ශබ්දය සහ භයානක රසායනික ද්‍රව්‍ය, අපහසුතා සහිත ඉරියව් වැනි උපද්‍රවයන්ට නිරාවරණය වීමට සිදු වේ. නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා කොරියානු සේවා යෝජකයින් විසින් කම්කරුවන්ගේ ආරක්‍ෂාව නොතකා සිටින ආකාරය ගැන අන්සාන් හි ශ්‍රමිකයෙකු වන රසික ගමගේ පැහැදිලි කළේය. භෞතික පරිසරය හඳුනා ගැනීම සඳහා කර්මාන්තශාලා වල විශාල හා පහසුවෙන් ළඟා විය නොහැකි යන්ත්‍රවල සංවේදක සහ පාලක පිහිටුවා ඇත. ආරක්‍ෂාව සහ සේවා ස්ථානයේ අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් සංවේදක සහ පාලකයන් වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. බොහෝ අවස්ථාවන්හීදී, සංවේදක සම්පූර්ණයෙන් භාවිතා කිරීම යනු තුවාල හා අනතුරු සිදුවීමට පෙර වළක්වා ගැනීමයි.රසික කියා සිටියේ බොහෝ කර්මාන්තශාලා හිමියන් නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවිය යුතු නිසා එම සංවේදක සහ පාලක ඉවත් කිරීමට උපදෙස් දී ඇති බවයි. “ළඟ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරන මගේ කිට්ටු මිතුරෙකුගේ අත් දෙකම යන්ත්‍රයකට අහු උනා. උණු වතුර නළයක් ඔහු මතට වැටීමෙන් මගේ තවත් මිතුරෙකුට දරුණු පිළිස්සුම් තුවාල සිදුවුනා. දිගු කෙස් ඇති තවත් පිරිමි ළමයෙක් ඔහුගේ කොණ්ඩය යන්ත්‍රයකට හසු වී ඔහුගේ හිස්කබලත් සමගම එළියට ආවා. ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගියා. මේ පිරිසම අවුරුදු විසි ගණන්වල තරුණයන්,” ඔහු සිහිපත් කළේය.තවත් ශ්‍රී ලාංකික සේවකයෙක්, නිර්නාමිකව අදහස් දක්වමින් කියා සිටියේ ලියාපදිංචි නොවූ සංක්‍රමණික සේවකයන්ට වන්දි හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට  තමන්ට කිසිදු බැඳීමක් නොමැති බව සේවා යෝජකයන් පවසන බවයි. “ඔවුන් හුදෙක් කම්කරුවන්ට තර්ජනය කරන අතර ඔවුන් නීති විරෝධී ලෙස රැඳී සිටීම බලධාරීන්ට වාර්තා කරන බවට බය කරනවා.”

සංක්‍රමණික සේවකයින්ට සහය සැපයීම සඳහා කොරියානු සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් රට පුරා යොදවා ඇති බව පවසයි. කෙසේ වෙතත්, අන්සාන් හි නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ සේවය කරන චරිත් (24) චෝදනා කළේ ඔවුන්ට කිසිදු නිලධාරියෙකුගෙන් අපේක්‍ෂිත සහාය නොලැබෙන බවයි.

“අපේ මිනිසුන්ගේ මරණ මාධ්‍යවල පවා වාර්තා වෙන්නේ නැහැ. කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරීන් අපගේ ගැටලු විසඳීමට වැඩි සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. අපි ප්‍රශ්න කතා කිරීමට පටන් ගත්තම කොරියානු රජය ශ්‍රී ලාංකිකයන් සඳහා වන කෝටාව කප්පාදු කරනු ඇතැයි බියෙන් අපේ රජය අපේම මිනිසුන්ගේ මෙම මරණ හා ගැටලු විසඳීමට උනන්දු වෙන්නේ නැහැ. ඔවුන් නිශ්ශබ්දව සිටින්නේ ඒ නිසයි,” චරිත් පැමිණිලි කළේය.

ඔවුන්ගේ දේපළ සහ වෙනත් වත්කම් උකස් කිරීමෙන් පසු, ඔවුන්ට කොරියාවට පැමිණීම පහසු වුණේ නැත. ඔවුන්ගේ ස්ථාවරය නම්, එහි සේවා පරිසර කෙතරම් භයානක වුවත්, ශ්‍රී ලංකාවට ආපසු යාම විකල්පයක් නොවන බවයි.

පිටත්වීමට පෙර පුහුණුවීමේ ගැටළු

කොරියාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සම්බන්ධයෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රැකියා සඳහා අදාළ වෘත්තීය පුහුණුව හා දැනුම නොමැතිකමයි.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු, අලෙවිකරණ හා බඳවා ගැනීමේ) මංගල රන්දෙනිය මහතා පැවසුවේ නිපුණතා පරීක්‍ෂණයෙන් පසුව කාර්‍යාංශය විසින් දින 10 ක නේවාසික පූර්ව පිටත්වීමේ පුහුණුවක් ලබා දෙන බවයි. දැනට පවතින පුහුණු වැඩසටහන මගින් කම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය තීරණය කිරීම කරන බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, පුහුණු වැඩසටහනේ වෙනසක් සඳහා කම්කරුවන් අතර වැඩි වැඩියෙන් ඉල්ලීමක් පවතී. ඔවුන් ගේ ඉල්ලීම වන්නේ අදාල පුහුණුවේ කාලය දීර්ඝ කර රැකියාවට ප්‍රතිසංස්කරණය විය යුතු බවයි.
අහඹු ලෙස තෝරා ගත් කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු අතර අක්‍ෂි විසින් සිදු කරන ලද අන්තර්ජාල සමීක්‍ෂණයකදී  පූර්ව පිටත්වීමේ පුහුණුව කොරියාවේ ඔවුන්ගේ සැබෑ රැකියා සඳහා උපකාරී නොවූන බවට 68% ක් ප්‍රතිචාර දැක්වූ අතර 32% ක් පැවසූයේ උපකාරී වූ බවයි.

විවාහයෙන් පසු මේ වන විට කොරියානු පුරවැසියෙකු වන ශ්‍රී ලාංකික ශ්‍රමික ඉන්දුනිල් සෞම්‍යමන්ත්‍රී කියා සිටියේ කාර්‍යාංශය  විසින් සපයනු ලබන පුහුණුව හමුදා පාසලකට ඇතුළත් වීමට කම්කරුවන් පුහුණු කරනු ලබන ස්වරූපය ගනිමින් හමුදා  පුහුණුවකට බෙහෙවින් සමාන බවයි. “පුහුණුව අපේ රැකියා සඳහා ප්‍රයෝජනයක් නැහැ. ධීවර අංශය සම්බන්ධයෙන් ගත් කල, ලබා දෙන පුහුණුව නිෂ්ඵලයි,” ඉන්දුනිල් පැවසීය.

“ශ්‍රී ලංකාවේ සිටින විට කිසි දිනෙක මුහුදට බැස නැති මේ වන විට කොරියාවේ ගැඹුරු මුහුදේ ධීවර යාත්‍රාවල සේවය කරන බොහෝ තරුණයන් ඉන්නවා. කොරියාවේ වැඩ කිරීමට සහ ජීවත් වීමට සහ භාෂාව පිළිබඳ මූලික ශාරීරික පුහුණුවක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ,” ඉන්දුනිල් පැවසීය. අක්‍රමවත්/  නීත්‍යානුකූල නොවන කම්කරුවන් අඩු කිරීම සඳහා බලධාරීන් ඔවුන්ට එරෙහි නීත්‍යානුකූල ක්‍රියාමාර්ගවලට අමතරව ශ්‍රම ආරක්‍ෂාව වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු බව ඉන්දුනිල්ගේ අදහසයි.

රජයේ දත්තවල සීමාවන් සහ පරස්පරතාකොරියා ටයිම්ස් පුවත්පතට අනුව, පසුගිය දශකය තුළ සංක්‍රමණික කම්කරුවෝ 6000 කට ආසන්න සංඛ්‍යාවක් කොරියාවේ මිය ගියහ. කොරියාවේ වෘත්තීය සුරක්‍ෂිතතා සහ සෞඛ්‍ය ඒජන්සිය (කොෂා) විසින් නිකුත් කරන ලද 2018 වාර්‍ෂක වාර්තාව ද සංක්‍රමණික සේවකයන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යන බව පිළිගෙන තිබේ. කොෂා ප්‍රකාශ කළේ කොරියාවේ විදේශීය ශ්‍රමිකයින්ගේ සීීග්‍ර ගලා ඒම සහ සේවා ස්ථානවල දුර්වල සේවා කොන්දේසි කාර්මික අනතුරු ඉහළ යෑමට හේතු වන බවයි.

මේ අතර, කොරියාවේ ශ්‍රී ලාංකික කම්කරුවන් පිළිබඳව කාර්‍යාංශය, විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය විසින් රැස් කරන ලද දත්තවල පැහැදිලි විෂමතාවයක් අප නිරීක්‍ෂණය කලෙමු. කොරියාවේ මියගිය කම්කරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳ කාර්‍යාංශයේ දත්ත කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය සහ විදේශ අමාත්‍යාංශය විසින් සපයන ලද සංඛ්‍යා සමඟ සැසඳෙන්නේ නැත.කම්කරුවන් කියා සිටින්නේ සත්‍ය සංඛ්‍යා ඉතා ඉහළ බවයි. සඳහන් කළ පරිදි, විදේශ රැකියා කාර්‍යාංශය මියගිය සංක්‍රමණික සේවකයන් පිළිබඳ දත්ත සමුදාය පවත්වා ගෙන යන්නේ මියගිය සේවකයන් පිළිබඳ වන්දි ඉල්ලා සිටින ඥාතීන්ගේ සංඛ්‍යාව මතය. එම පද්ධතියෙන් පිටත වෙනත් දත්ත ඔවුන් සතු නොවේ. එබැවින්, කොරියාවේ සිදුවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මරණ සංඛ්‍යාව සත්‍ය වශයෙන්ම නිශ්චය කිරීමට ක්‍රමයක් නොමැත. කාර්‍යාංශය ලේඛනගත නොකළ මියගිය සංක්‍රමණික සේවකයන්ට වන්දි ලබා නොදෙන බැවින් පවතින දත්ත සමුදාය ද සීමිතය.

2019 දී රැකියා ස්ථානවල සිදු වූ අනතුරු 4 ක් පමණක් කාර්‍යාංශයට වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ලේඛන වලට අනුව ශ්‍රී ලාංකික කම්කරුවන් 34 දෙනෙකු කොරියාවේ රෝහල් ගත කර තිබේ. කොරියාවේ ශ්‍රී ලාංකික කම්කරුවන් සම්බන්ධ මත්පැන් ආශ්‍රිත අනතුරු සැලකිය යුතු සංඛ්‍යාවක් පැවතුනත්, රෝහල් ගත කර ඇති ඉතිරි සිදුවීම් 30ම මත්පැන් භාවිතය හා සම්බන්ධයක් තිබේද යන්න සැක සහිතය.

ශ්‍රී ලංකාවේ එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ කම්කරුවන් මුලින් ගිවිසුම් අත්සන් කර සේවා ස්ථාන වෙත පිටත් කර යැවීමෙන් පසු ඔවුන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට යාන්ත්‍රණයක් නොමැති බවයි.“ලොකුම ගැටලුව නම්, ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්‍යාංශය විසින් පත් කරන ලද බලයලත් නිලධාරීන් කිසි විටෙකත් කොරියාවේ කුඩා ගම්මානවලට ගොස් අපගේ කම්කරුවන් සමඟ රැස්වීමක් පවත්වා ඔවුන් මුහුණ දෙන තත්වයන් පරීක්‍ෂා කර නොබැලීමයි. ඔවුන් ජංගම හමුවීම් සංවිධානය කරන්නේ විශාල නගරවල පමණි. එබැවින් විශාල නගරවලට පැමිණීමට නොහැකි කම්කරුවන්ගේ ගැටළු කිසි විටෙකත් වාර්තා නොවේ. තවත් ගැටළුවක් වන්නේ රැකියා කොන්ත්‍රාත්තු උල්ලංඝණය කරන කොරියානු සේවා යෝජකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමයි. ඒ වෙනුවට, ලේඛනගත නොකළ කම්කරුවන්ගේ ඇපකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කාර්‍යාංශය තීරණය කර තිබේ, ”හඳුන්නෙත්ති පැවසීය.

සංක්‍රමණික සේවකයෙකු කොරියාවෙන් පිටත්ව ගිය පසු, පුද්ගලයන් ප්‍රතිලාභ පිරිවැය රක්‍ෂණය, පිටත්වීමේ සහතික රක්‍ෂණය, අනතුරු රක්‍ෂණය සහ ඇප රක්‍ෂණය නමැති රක්‍ෂණ යෝජනා ක්‍රම හතරක්, සඳහා සුදුසුකම් ලබයි. හදිසි අනතුරක් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම දුෂ්කර වන්නේ ඇයි දැයි ශ්‍රී ලංකා කම්කරුවන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ භාෂා දුෂ්කරතා, යෝජනා ක්‍රම පිළිබඳ ඇති අඩු අවබෝධය සහ අනතුරු වසන් කිරීමට උත්සාහ කරන වගකීම් විරහිත සේවා යෝජකයන් ඊට හේතු බවයි.

කම්කරුවන්ගේ හිමිකම් ගැන කටයුතු සඳහා කොරියානු රජය විසින් පත් කරන ලද සුභසාධන නිලධාරි අයිරාංගනී රාජපක්‍ෂ කියා සිටියේ සමහර කොරියානු සේවා යෝජකයින් සිදුවිය හැකි අවාසි හේතුවෙන් විදේශ ශ්‍රමිකයින්ට සිදුවන වෘත්තීය තුවාල බලධාරීන්ට වාර්තා කිරීමට මැලිකමක් දක්වන බවයි.

කොරියානු නීතිය යටතේ සේවා යෝජකයින් කාර්මික අනතුරු සංඛ්‍යාවට සාපේක්‍ෂව රැකියා රක්‍ෂණ ක්‍රමයට වැඩි ගෙවීම් කළ යුතු බව ඇය පැවසුවාය. ඔවුන් වැඩි වශයෙන් වෘත්තීය අනතුරු ඇති බවට සලකුණු කළහොත්, ඔවුන්ට අවාසි වන නිසා එම අනතුරු වසන් කිරීමට ඔවුන් උත්සහ දරන බව ඇය පවසයි.

නීතිවිරෝධී කම්කරුවන්ගේ වැඩි වීම

කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවයේ ශ්‍රී ලංකා නියෝජිත කිම් වොන් සියොක් ප්‍රකාශ කළ පරිදි නීති විරෝධී ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ අනුපාතය වැඩි වෙමින් පවතින අතර එය දැනටමත් 17% ක් පමණ වේ.

“කොරියානු රැකියා වීසා බලපත්‍ර නියමිත කාල සීමාව ඉක්මවා නොයවා භාවිතා නොකරන ලෙස බලධාරීන් බොහෝ විට කම්කරුවන්ට අනතුරු අඟවනවා. ශ්‍රී ලාංකිකයන් විසින් කොරියානු රැකියා වීසා නීති රීති අනිසි ලෙස භාවිතා කිරීම කොරියාවේ අනාගත රැකියා අපේක්‍ෂිත තරුණයන්ට අහිතකර ලෙස බලපානවා,” කිම් වොන් සියොක් මහතා පවසා සිටියේය.

මේ අතර, කොරියාවේ නීතිවිරෝධී ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්‍යාංශය ශ්‍රී ලංකාවේදී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ. විදේශ රැකියා කාර්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නෛතික, විමර්ශන) කීර්ති මුතුකුමාරණ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් නව සේවකයින් බඳවා ගැනීමට කොරියානු සේවා යෝජකයින්, අනුග්‍රාහකයින් සහ රජය අදිමදි කරන තත්වයක් උදා විය හැකි බවයි. “එබැවින්, කොරියාවේ රැකියා ස්ථාන වෙනස් කළ අයට එරෙහිව සිවිල් නඩු පැවරීමට අපි තීරණය කරල තියෙනවා. කඩුවෙල දිසා අධිකරණයේ දැනටමත් නඩු 100 කට වැඩි ප්‍රමාණයක් ගොනු කර තිබෙනවා,” ඔහු පැවසීය.

වෙනත් ගැටළු

විමර්ශනය අතරතුර, කොරියාවේ ශ්‍රී ලාංකික කම්කරුවන් මුහුණ දෙන තවත් ගැටළු කිහිපයක් අපි සොයා ගත්තෙමු.

ශිෂ්‍ය වීසා අනිසි ලෙස භාවිතා කිරීම: කොරියානු රජය විසින් පවත්වාගෙන යනු ලබන දත්ත වලට අනුව, මුලින් දකුණු කොරියාවට ජාත්‍යන්තර සිසුන් ලෙස ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ජාතිකයෝ 11,000 ක් පමණ වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස රට තුළ සිටිති. දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජික දිලීප අපට පැවසුවේ රැකියා ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් ශිෂ්‍ය වීසා බලපත්‍ර භාවිතය නතර කළ යුතු බවයි.

“මෙම අර්බුදයට රැකියා නියෝජිතයන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. ශිෂ්‍ය වීසා මත පැමිණෙන බොහෝ දෙනා දකුණු කොරියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රවලට අදාළ නීති රීති දන්නේ නැහැ. වංචනික ශිෂ්‍ය වීසා බලපත්‍ර මත දකුණු කොරියාවට පැමිණීමෙන් පසු ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් අසරණ වී ඉන්නවා,” දිලීප කියා සිටියේය.

අධික මත්‍පැන් පානය:
 ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සේවකයන්ට එරෙහිව කොරියානු අධිකරණවල නඩු ගණනාවක් විභාග වෙමින් පවතින බව අපට නිරීක්ශණය විය. මේ වසරේදී ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු අත් අඩංගුවටගෙන ඇති අතර කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ වාර්තාවට කිහිප දෙනෙකුට සිර දඬුවම් පවා නියම කර තිබේ. වඩාත් කනස්සල්ලට කරුණ වන්නේ අත් අඩංගුවටත්  ගැනීම් බොහොමයක් මත්පැන් පානය කළ සිදුවීම් හා සම්බන්ධ වීමයි. බීමතින් රිය පැදවීම, ලිංගික අතවර කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනීමැරීම යන චෝදනා ඇතුළත් ය.

බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තමන් උපයන මුදලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සෑම මසකම මත්පැන් හා මධ්‍යසාර සම්බන්ධ වියදම් සඳහා වැය කරන බව අන්සාන්හි කර්මාන්තශාලා සේවක රසික ගමගේ පැවසීය. “බොහෝ කොරියානුවන් මෙන් අපේ අයත් වැඩිපුර තෝරන්නේ සෝජු  කියන බීම.. වැඩ ආරම්භ කිරීමට පෙර මත්පැන් පානය කිරීම මෙහි සාමාන්‍ය පුරුද්දක්.”

රෙඩ් ස්ට්‍රීට්: ඔවුන්ගේ සුපුරුදු ලිංගික සහකරුවන්ගෙන් සහ ඔවුන්ගේ ප්‍රජාවන්ගෙන් සහ පවුල් වලින් බැහැරව සිටින පුද්ගලයින් තුළ අවදානම් සහගත ලිංගික හැසිරීම් වැඩි වී ඇත. කොරියාවට සංක්‍රමණය වීමෙන් පසු සමහර ශ්‍රී ලාංකිකතරුණයන් ලිංගාශ්‍රිත රෝග වලට ආසාදනය වී ඇති බව විදේශ රැකියා කාර්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුතුකුමාරණ මහතා පවසයි. කොරියාවේ නිෂ්පාදන අංශයේ සේවකයෙකු වන දනුෂ්ක අපට අදහස් දක්වමින්, “කොරියාවේ රතු වීදිවලට ස්වේච්ඡාවෙන් යන අයට අමතරව, ගිනිකොනදිග ආසියාවේ කාන්තාවන් සම්බන්ධ වී කරන ජාවාරම්වලට ගොදුරු වූ ශ්‍රී ලාංකික පිරිමි ළමුන් මට හමු වෙලා තියනවා. ඔවුන් ගොදුරු බවට පත්වන අතර එම කාන්තාවන් විසින් ඔවුන්ගෙන් කප්පම් ලබා ගන්නවා.”කම්කරුවන් මුහුණ දෙන ඉහත සඳහන් කරුණු පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා කියා සිටියේ සංක්‍රමණය වීමට පෙර ඔවුන්ගේ අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු තබා සිටි කම්කරුවන් පසුව වැඩි කාලයක් කොරියාවේ රැඳී සිටීමට නැඹුරු වන බවයි. වෙහෙස මහන්සියෙන් උපයා ගත් මුදල විවිධ දේ සඳහා නාස්ති කරන ඔවුන්, දුෂ්කර රැකියා වල අනතුරු වලින් තුවාල ලබා අවසානයේ නැවත රැකියාවක් කර ගැනීමට තරම් සුදුසුකම් නොමැති ආබාධිත පිරිසක් ලෙස මව්බිමට පැමිණෙන බවයි.

අක්‍ෂි වාර්තා චිත්‍රපටය නරඹන්න – කොරියානු සිහිනය*අක්‍ෂි යනු ඩේලිමිරර් හි අළුතින් දියත් කරන ලද මාසික ගවේෂණ විශේශාංගය වන අතර එහි අරමුණ ගවේෂණාත්මක පුවත්පත් කලාව හරහා මහජනයා සමඟ සම්බන්ධ වීමයි. වාර්තා නොවූ වෙනත් ගැටළු ඔබ දන්නේ නම් අක්‍ෂි සදහා අපට ලියන්න dmeyelk@gmail.com   හෝ නියෝජ්‍ය කර්තෘ –  ගවේෂණ  , ඩේලිමිරර්, විජය පුවත්පත්, අංක 8, හුනුපිටිය හරස් පාර, කොළඹ 02, ශ්‍රී ලංකාව.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.