6 July, 2020

Blog

පීඩිත ජනවර්ග වලට එරෙහිව ලද ජයග්‍රහණය

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

නව ජනාධිපති තුමා සිය ඉදිරි ගමන් මඟ සංකේතවත් කරමින් රුවන්වැලි සෑය අබියස දිවුරුම් දුන්නේය.  තමන්ට ඡන්දය නොදුන් ජනතාවද ඇතුළු මෙරට සියළු පුරවැසියන්ගේ ජනාධිපති වන බව ජාතිය අමතා කළ කථාවේදී ද එයට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී කළ කෙටි කථාවේදී ද ඔහු සඳහන් කළේය. එමෙන්ම තමන්ට සිංහලයන්ගේ ඡන්ද වලින් පමණක් දිනිය හැකි බව තමන් දැන සිටි බවද ඔහු කීය. නව ජනාධිපති තුමාගේ වගකීම වන්නේ මෙරට පවතින ජනවාර්ගික නොසන්සුන්තාව සමනය කිරීමට පියවර ගැනීමයි. 

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙවන මනාපයද  ගණන්  කිරීමට සිදුවනු ඇතැයි කී අනාවැකි අසත්‍ය විය. ගෝඨාභය රාජපක්ෂට එය පහසු ජයග්‍රහණයක් විය. වෙනම තරඟ නොකර වර්ෂ 2015 දී මෙන් එක්ව තරඟ කරණ ලෙස කරණ ලද ඉල්ලීම් ද විය. ලක්ෂ 13 ක් වූ රාජපක්ෂගේ වැඩි ඡන්ද සංඛ්‍යාව දිසානායක ලබාගත් ලක්ෂ හතරක් වූ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් තුන් ගුණයටත් වැඩිය. එබැවින් එක්ව තරඟ කළත් එයින් ලැබෙන සහක්‍රියාකාරක ප්‍රතිලාභය එතරම් වැඩි වීමට ඉඩක් නොමැත. වෙනත් විකල්ප තරඟකරුවන්ද පවතින දේශපාලන අවකාශය තුළ මෙරට තෙවන බලවේගයකට හිස එසවීම අසීරු බව අවබෝධ කර ගන්නට ඇත. වර්ෂ 2010 දී යුද්ධ අවසානයෙන් පසුව පවතී ජනාධිපති වරණයේදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කලේ දෙමළ සහ මුස්ලිම් ජන වර්ග වල සහයෝගය නොමැතිවය. මෙම අවස්ථාවේදී එම දෙයම සිදුවිය. ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර  තිබුණි. 

වර්ෂ 2015 ජනාධිපතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත් වල දෙමළ ජනතාවද බටහිර වෙරළ තීරුවේ ක්‍රිස්තියානි ජනතාවද  නුවර එළියේ සහ මහනුවර උඩරට දෙමළ සහ මුස්ලිම් ජනතාවද කොළඹ සහ මහනුවර නාගරික ජනතාවද සිය බල ප්‍රදේශය වූ පොළොන්නරුවේ ජනතාවද මෛත්‍රිපාල සිරිසේනට සහාය දැක්වුහ. දිවයිනේ ඉතිරි පළාත් වල ජනතාව මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වුහ. එනමුත් ජයග්‍රහණය සඳහා දිවයිනේ ඉතිරි පළාත් වලින් සෑහෙන සහයෝගයක් ලබා ගැනීමට සිරිසේන සමත් විය.

මෙම ජනාධිපතිවරණයේදී ද දෙමළ සහ මුස්ලිම් ජනතාව සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වුහ. උඩරට දෙමළ ජනතාවගේ ඡන්ද වල යම් බෙදීමක් දක්නට ලැබුණි. බටහිර වෙරළ තීරුවේ ක්‍රිස්තියානි ඡන්ද ගෝඨාභය රාජපක්ෂට ලැබුන අතර ප්‍රේමදාස කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කද පරාජය විය. ප්‍රේමදාස විසින් දුගී ජනතාවගේ අභිවෘද්ධිය සඳහා කළ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුට දුගී ජනතාවගේ සහයෝගය ලැබෙනු ඇතැයි අභිලාෂයක් විය. එය නිවැරදි නොවිය. එමෙන්ම සමාජයේ කුල ධුරාවලියේ පිඩිත කුල වලින් ඔහුට සහයෝගයක් ලැබෙනු ඇතැයි තිබූ බලාපොරොත්තුවද සඵල නොවීය.

රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා බදු වැඩි කිරීම අවශ්‍ය වූ යුගයක බදු වැඩි කිරීම මගින් මෙම ආණ්ඩුව ව්‍යාපාරික ප්‍රජාවගේ ප්‍රසාදය බිඳගත් බැවින් ඔවුන්ගේ සහයෝගය නොලැබුණත් රටපුරා වෙසෙන ග්‍රාමීය ජනතාවගේ මූලික ප්‍රශ්නය වූයේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛව ඒහා සම්බන්ධ කරුණුය. 

ජාතික රාජ්‍ය සංකල්පය මෑතකදී ඇතිවූවකි. ඉන්දියාව එයට අනුගත වූයේ නිදහස් අරගලය මෙහෙයවූ නායකයන්ගේ දුර දැකීම නිසාය. මෙරට බහුතරය වන සිංහල බෞද්ධයන්ගේ ජාතිය පිලිබඳ හැඟීම ඔවුන්ගේ කුලකයට සිමාවේ. මෙරට වෙසෙන වෙනත් ජනවර්ග පිටස්තරයන් ලෙස ඔවුහු සලකති. 

එනමුත් ඉතිහාසය අපට වෙනත් පාඩමක් කියා දෙයි. ශත වර්ෂ ගණනාවක් තුළ මෙරට ඉතිහාසයේ ජන වාර්ගික ගැටුම් ඇතිවේ නොමැත. ගැටුම් ඇතිවුයේ රජුන් සහ කුමාරවරුන් අතරය. ඔවුන් සැලකිලිමත් වූයේ බලය පිලිබඳවය. ජනවර්ගය පිළිබඳව නොවේ. එළාරගේ හමුදාවේ සිංහලයෝ බොහෝ දෙනෙක් සිටියහ. දහතුන්වන සියවසේ මෙරට ශිෂ්ඨාචාරය විනාශ කළ මාඝ දෙමළ ජාතිකයෙකු නොවේ. සිංහල රජවරු සොලී ආක්‍රමණිකයන්ට එරෙහිව  පාණ්ඩ්යයන් ගේ ආධාර ලබා ගත්හ. දෙපිරිසම දකුණු ඉන්දියානු ජාතිකයෝ වෙති.

සිංහලයෝ සහ මුස්ලිම්වරු ශත වර්ෂ දහයකට අධික කාලයක් මෙරට සහජීවනයෙන් සිටියහ. සිංහල රජ වරුන්ගේ කාලයේ මුස්ලිම්වරු මෙරට පරිපාලන නිලධාරීන් ලෙසද බෞද්ධ විහාරස්ථාන වලට අනුබද්ධව ද සේවය කළහ. ඔවුන්ට එරෙහිව බටහිර ආක්‍රමණිකයන්ගෙන් ඇතිවූ බලපෑමෙන්  ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඔවුන් උඩරට රාජධානිය තුළ පදිංචි කරණ ලද්දේ රජවරුන් විසිනි.  

මෙම තත්ත්වය වෙනස් වූයේ දහනව වැනි සියවසේ ඇතිවූ බෞද්ධ පුනරුදය සමඟිනි. අවාසනාවන්ත ලෙස එය දෙමළ සහ මුස්ලිම් ජන වර්ග වලට එරෙහිව කරණ අරගලයක් බවටද පත් විය. මෙරට ජනවාර්ගික නොසන්සුන් තාවයේ ආරම්භය එයයි.

මෙය ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින්ද විශද වේ. සියළුම දිස්ත්‍රික්ක වල ඡන්දය දීමේ ප්‍රතිශතය 2015 ට වඩා වැඩිය. යාපනය, වන්නිය, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක වල ජනතාව 2015 දී සිරිසේනට දුන් ඡන්ද වලට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ප්‍රේමදාසට දුන්හ. ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක වල පිළිවෙලින් සේරුවිල සහ අම්පාර යන මැතිවරණ කොට්ඨාශ තුළ වැඩිපුර සිංහලයෝ වෙසෙති. මෙම කොට්ඨාශ දෙක 2015 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් රාජපක්ෂ ජයග්‍රහණය කළේය. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුනේ ආසනයේ  එක්සත් ජාතික පක්ෂ ඡන්ද 2015 ට සාපේක්ෂව  2019 දී රාජපක්ෂ විසින් අත් කරගෙන ඇත. උතුරේ සිවාජිලිංගම් ට සහ නැගෙනහිර හිස්බුල්ලා ට කිසිම සහායක් ලබාගත නොහැකි විය.  තොන්ඩමන් රාජපක්ෂ සමඟ සිටීම හේතු කොටගෙන නුවර එළියේ ප්‍රේමදාස ගේ බහුතරය අඩුවිය. මහනුවර හාරිස්පත්තුව සහ කළුතර බේරුවල යන මුස්ලිම් ප්‍රජාව වැඩි ආසන දෙකෙහි බලය ප්‍රේමදාස ට නොලැබුණි. පාත දුම්බර, හේවාහැට, මහනුවර, උඩුනුවර, ගම්පොල සහ නාවලපිටිය යන මහනුවර දිස්ත්‍රික් ආසන 2015 සාපේක්ෂව අඩු ඡන්ද ප්‍රතිශතයකින් රැක ගැනීමට ප්‍රේමදාස සමත් වූ නමුත් ඔහුට දිස්ත්‍රික්කය අහිමි විය. 

මිගමුව සහ වත්තල යන ආසන හැර ක්‍රිස්තියානි බහුතරයක් සහිත බටහිර වෙරළ තීරුවේ ආසන රාජපක්ෂට හිමිවිය. එම ආසන දෙකේද ප්‍රේමදාසට ලැබුන ඡන්ද ප්‍රතිශතය 2015 ට වඩා අඩු විය. මෙය දේශපාලනිකව සැලසුම් කරණ ලදැයි සිතිය හැකි පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵලයකි. කොළඹ නගරයේ බලය රැක ගැනීමට ප්‍රේමදාස සමත් වූ අතර දිස්ත්‍රික්කයේ බලය ඔහුට අහිමි විය.

සිංහල බෞද්ධ බහුතරය සහිත දිවයිනේ අනෙක් පළාත් වල බලය රාජපක්ෂට හිමි විය. වර්ෂ 2015 මැතිවරණයට සාපේක්ෂව ඔහුගේ ඡන්ද ප්‍රතිශතය එම පළාත් වල වැඩි විය. සියළුම දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය 2015 ට සාපේක්ෂව වැඩි විය.

මෙය අයහපත් ප්‍රවණතාවයකි. මක්නිසාද යත් ජනතාව තනි තනිව දේශපාලන තීන්දු නොගෙන ජන වර්ග අනුව දේශපාලන තීන්දු ගන්නා බව පෙනෙන්නට ඇති බැවිනි. විපක්ෂ නායක වරයා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන සඳහන් කරමින් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව කීය. එය අතුරු සංශෝධනයකි. සමස්ත ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ඔහුද ඇතුළත් වර්තමාන පාර්ලිමේන්තුව බොහෝ දුර ගොස් ඇත.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර ගත හැක්කේ හමුදා ශක්තිමත් කිරීමෙන් නොව ජන වර්ග අතර සහජීවනය ඇති කිරීමෙනි. ජනතාව ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ නම් ජන වර්ග අතර ගැටුම් ඇතිකර නොගැනීමට ඔවුන් සැලකිලිමත් විය යුතුය. වර්ෂ 2015 ජනාධිපතිවරණයේ ජනවාර්ගික බෙදීමක් සනිටුහන් වූ අතර මෙවර එය ස්ථාපිත වී තිබේ. නව ජනාධිපති තුමා සහ අප සියළු දෙනා ගේම කාර්ය භාරය වන්නේ ප්‍රමාද නොවී මෙම තත්ත්වය සමනය කර ගැනීමයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.