19 April, 2024

Blog

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ අභියෝග

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

විශාල බලයක් සහිතව අලුතෙන් පත් වෙමින් සිටින බව පෙනෙන නව ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන මූලික ගැටළුව වන්නේ ආර්ථික අර්බුදයයි. කොවිඩ් හේතුවෙන් බරපතල තත්ත්වයකට පැමිණ ඇති ආර්ථිකය ඊට පෙරද පැවතියේ අනතුරුදායක තත්ත්වයකය. 

මෙරට මුහුණදෙන ආර්ථික ගැටළුවට නිදහසෙන් පසු මෙරට පාලනය කළ සියළුම දේශපාලන පක්ෂද පාර්ලිමේන්තුවේ සිටි විරුද්ධ පක්ෂද මෙරට ජීවත්වූ මැතිවරණ වලදී ඡන්ද බලය පාවිච්චි කළ සියළු ජනතාවද වග කිව යුතු වෙයි. විමානය සෑදෙන්නේ පෙරේතයා ගේ හැටියට යයි කියමනක් තිබේ.එබැවින්  ජනතාවට මේ වගකීමෙන් මිදිය නොහැක. වර්ෂ 1977 සිට ඡන්දය පාවිච්චි කළ පුරවැසියෙක් වශයෙන් එම වගකීමට මමද බැඳී සිටිමි. මේ ලිපිය ලියැවෙන්නේ එම දෘෂ්ටි කෝනයෙනි.

නිදහසෙන් පසුව වර්ෂ දෙකක හැර මෙරට රාජ්‍ය අයවැයේ හිඟයක් තිබුණි. එනම් රාජ්‍යයේ වියදම් ලැබෙන ආදායමට වඩා වැඩි වීමයි. මෙම හිඟය පියවා ගන්නේ දේශීය සහ විදේශීය ණය වලිනි. එම වැඩිපුර කරණ වියදම් ප්‍රාග්ධන වියදම් වන්නේ නම් සහ එම ආයෝජනයන් ගෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබී ආර්ථිකය ප්‍රසාරණය වන්නේනම් එය ලාභදායි කටයුත්තකි. මක්නිසාද යත් ණය ගෙවන විට එහි බරක් නොදැනෙන බැවිනි. එසේ නොමැතිව වැඩිපුර කරණ වියදම් පුනරාවර්තන හෙවත් පරිභෝජනය සඳහා කරණ වියදම් වන්නේ නම් හෝ ප්‍රාග්ධන ආයෝජනයන් ගෙන් බලාපොරොත්තු  ප්‍රතිලාභ නොලැබෙන්නේ නම් හෝ ඒ සඳහා ගන්නා ණය ගෙවීම අසීරු කාර්යයක් වනු ඇත. ශ්‍රී ලංකාව අද මුහුණ දී ඇත්තේ මෙම තත්ත්වයටයි.

මෙරට මැතිවරණ වර්ෂ වලදී අයවැය හිඟය වැඩිවේ. සැම රජයකම මෙම තත්ත්වයේ වෙනස් නොවේ. මෑත කාලයේදී 2015 වර්ෂයේදීද එය දැකගත හැකි විය. විවිධ තර්ක ඉදිරිපත් කළත් එයට ප්‍රධාන හේතුව වන්නේ මැතිවරණ ජයග්‍රහණය සඳහා ජනතාවට නිත්‍යානුකුල අල්ලස් දීමයි. ජනතාවද  මේ සඳහා කැමැත්තක් දක්වති.මැතිවරණ වලදී හඳෙන් හෝ හාල් ගෙනත් දීම වැනි පොරොන්දු එන්නේ ද ඒ අනුවයි. එවැනි පොරොන්දු මේ මැතිවරණයේදීද දක්නට ලැබුණි.

අයවැය හිඟයට හේතුවන තවත් ප්‍රධාන කරුණක් වන්නේ අඩුවන රාජ්‍ය ආදායමයි. රාජ්‍ය ආදායමේ ප්‍රධාන සංඝටකයක් වන්නේ බදු ආදායමයි. වර්ෂ 2014 දක්වා පැවති ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ආදායම දළ දේශීය අදායමට සාපේක්ෂව පහත වැටුණි. එකල ව්‍යාපාරිකයන්ට බොහෝ බදු සහන විය. පසුගිය ආණ්ඩුව මගින් යම් බදු සහන අහෝසි කර බදු වැඩි කරණ ලදී. මේ මගින් රාජ්‍ය ආදායම වැඩිවී රාජ්‍ය ගිණුම් වල තත්ත්වය යහපත් වීමට ආරම්භ වූ නමුත් ව්‍යාපාර වලට අපහසුතා ඇතිවිය. මෙම රජය මගින් නැවත බොහෝ බදු අහෝසි කිරීම මගින් රාජ්‍ය ආදායම පහත වැටුණි.  

රාජ්‍ය බදු වලින් 80% ක් පමණ ලැබෙන්නේ වක්‍ර බදු මගිනි. ඍජු බදු මගින් ලැබෙන ප්‍රමාණය 20% ක් පමණය.වක්‍ර බදු එනම් පරිභෝජනය මත පනවන බදු හිඟන්නා ද ධනපතියාද විසින් එකසේ ගෙවනු ලැබේ. ඍජු බදු ගෙවන්නේ ගෙවීමට හැකියාව ඇති අය පමණි. සිංගප්පුරුවේ ද  ඉන්දියාවේ ද රාජ්‍ය බදු ආදායමෙන් 50%ක් පමණ ලැබෙන්නේ ඍජු බදු වලිනි. ඍජු බදු අඩු කිරීමෙන් රජයක් බලාපොරොත්තුවන්නේ බදු ගෙවන්නන් විසින් කරනු ලබන ආයෝජන දිරි ගැන්වීමයි. මෙම බලාපොරොත්තුව ඉටුවී ඇත් දැයි විමසා බැලිය යුතුය.

රටක ආදායම් බෙදී යාමේ විෂමතාව ගිනි දර්ශකය මගින් පෙන්වනු ලැබේ. ගිනි දර්ශකය වැඩිවීම මගින් රටේ ආදායම අසමාන ලෙස බෙදී යාමේ වර්ධනයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ මෙය 2016 දී  39.8 ක් වූ අතර 1988 දී එය  32 ක් විය. ස්කැන්ඩිනේවියානු රටවල් හැර ලෝකයේ බොහෝ රටවල් වල ගිනි දර්ශකය වැඩි අගයක් ගනී. අපට වඩාත් උචිත වන්නේ පසුගිය රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත් එනමුත් ක්‍රියාත්මක නොකළ සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකි. ඒ මගින් සමාජයේ අවවරප්‍රසාදිත විශේෂයෙන් රැකියා විරහිත සහ වියපත් සමාජ කොටස් වලට සහන සැලසේ. ජනාධිපතිවරයා පදවිප්‍රාප්ත වීමට පෙර කලකට ඉහතදී අනුගමනය කරණ බව කී සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකය අදාල වන්නේ චීනය වැනි රටවලටයි, අපට නොවේ.

එමෙන්ම මෙරට වෙළෙඳ  ගිණුම දිගින් දිගටම අවාසි සහගත තත්ත්වයක් පෙන්නුම් කරයි. එනම්   රටේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩිය.  මෙම හිඟය ප්‍රතිපූරණය කරන්නේ රටේ ඇති විදේශ සංචිත මගිනි. මෙම විදේශ සංචිත බොහෝවිට සමන්විත වන්නේ විදේශ වලින් ණයට ගන්නා මුදල් වලිනි. අපනයන ආදායමද 2014 දක්වා පැවති රජය කාලයේ අවවර්ධනයක් පෙන්නුම් කළ අතර පසුගිය රජයද එය පෙර පැවති තත්ත්වයට වර්ධනය කිරීමට අසමත් විය.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය ණය වැඩිම රට ජපානයයි. එය 237% කී. ජපානයේ අයවැය හිඟයක් ද ඇත. එය අතීතයේ යම් වර්ෂ වල 8% මට්ටම දක්වා ඉහළ ගිය අතර  වර්ෂ 2018 දී 3.7% ක් විය. ජපානය රාජ්‍ය අයවැයෙන් සමාජ ආරක්ෂනයටද අධ්‍යාපනයටද වෙනත් පොදු වැඩ වලටද වියදම් කරමින් ව්‍යාපාර සඳහා මෘදු සහ දෘඪ යටිතල පහසුකම් සලසා දෙයි. එරට රාජ්‍ය ණයෙන් විශාල ප්‍රමාණයක් දේශීය ණය වේ.  ජපානය වෙළෙඳ ශේෂයද ඇතුළත් වන ජංගම ගිණුමේ ශේෂයේ  විශාල අතිරික්තයක් පෙන්වන රටකි. 2017 දී එය දෙවැනි වූයේ ජර්මනියට පමණි. මෙයට හේතු වන්නේ දියුණු ව්‍යාපාර වලින් ලැබෙන අපනයන ආදායම සහ විදේශීය ප්‍රේෂණ යි. එබැවින් ප්‍රශ්ණය වන්නේ වෙළෙඳ ශේෂයද අයවැය හිඟයද රාජ්‍ය ණයද අවාසි සහගත වන විටය. ශ්‍රී ලංකාව එවැනි රටකි.එවැනි තවත් රටක් නම් ග්‍රීසියයි.

මෙරට රාජ්‍ය අංශය අසාමාන්‍ය ලෙස විශාලය. අකාර්යක්ෂම කළමණාකරණය සහ අනවශ්‍ය දේශපාලන මැදහත්වීම් නිසා රාජ්‍ය අංශයේ ව්‍යාපාර පාඩු ලබයි. දේශපාලනඥයන් මේ ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ තම හිතවතුන්ට රැකියා දීම සඳහා සහ තමන්ගේ බලය ඒ මගින් පවත්වා ගෙන යාම සඳහා ය. ජනතාව මේ ව්‍යාපාර විකිනීමට විරුද්ධ වන්නේ තමන්ට දේශපාලනඥයන් හරහා සුදුසුකම් වලින් තොරව ඒවායේ රැකියා ලබා  ගැනීමට ඇති අවශ්‍යතාව සහ එම දේශපාලනඥයන් විසින්ම තමන් වෙත ආරෝපණය කරණ ලද ඊනියා දේශප්‍රේමය නිසාය. රජය විසින් මේවා ටෙන්ඩර් කැඳවා විකුණා දැමීම මගින් හෝ සිංගප්පුරුවේ මෙන් සම්පූර්ණ ස්වාධීන ආයතනයක් මගින් පාලනය කිරීමෙන් හෝ මෙම තත්ත්වය සමනය කර ගත හැක. එමගින් රාජ්‍ය අයවැයට වන බලපෑම අවම කර ගත හැක.

රාජ්‍ය දෙපාර්තමේන්තු වල ද අනවශ්‍ය ලෙස සේවක පත්වීම් දක්නට ලැබේ. පාලකයෝ ද පාලිතයෝ ද මේ තත්ත්වයට කැමැත්තක් දක්වති. පාලකයන් මැතිවරණ බලාපොරොත්තුවෙන් පත්වීම් දෙන අතර පාලිතයන් එනම් ජනතාව රාජ්‍ය සේවයේ තිබෙන විශ්‍රාම වැටුපත් එම සේවයට ඇතුළත් වීම තුළ පුද්ගලික අංශයට සාපේක්ෂව නිකරුනේ කාලය ගත කිරීමට ඇති හැකියාව නිසාත් රාජ්‍ය සේවයේ රැකියාවකට කැමතිවෙති. සමහරු වැඩි වැටුප් ලබන පුද්ගලික අංශයේ රැකියා අතහැර රාජ්‍ය අංශයට එකතු වෙති. මෙම තත්ත්වය ජාතික ආර්ථිකයට බරකි.

රටේ ආර්ථිකය දුවවන ගාමක බලය රටේ ඇති බැංකු වලින් සපයනු ලැබේ. මෙරට ඇති විශාලතම බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව රාජ්‍ය ආයතන වේ. ඒවායේ කටයුතු කෙරෙන්නේ සාපේක්ෂ වශයෙන් අකාර්යක්ෂම ලෙසය. මේ අකාර්යක්ෂමතාවට ගෙවනු ලබන්නේ රටේ ජනතාවයි. එමෙන්ම එයට මුවා වී අවශේෂ බැංකු විසින්ද ලාභ ලබනු ලැබේ. ලංකා බැංකුව සහ මහජන බැංකුව කාර්යක්ෂම ලෙස පවත්වා ගනු ලැබුව හොත් හෝ පුද්ගලීකරණය කළහොත් හෝ මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ ඇති අසාමාන්‍ය ලාභ අඩුවී ව්‍යාපාර වලට සහ ජනතාවට සෙත සැලසෙනු ඇත. මේ රටේ පළමු කොම්පැනි 10 තුළ බැංකු  4 ක් ඇති අතර පළමු කොම්පැනි 20 තුළ බැංකු  7 ක් තිබේ. ඉන්දියාවේ පළමු කොම්පැනි 10 තුළ ඇත්තේ එක බැංකුවකි, පළමු කොම්පැනි 20 තුළ බැංකු 3 ක් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු කොම්පැනි 10 තුළ එක බැංකුවක් ඇති අතර පළමු කොම්පැනි 20 තුළ ඇත්තේ බැංකු දෙකක් පමණි. ඉදිරිගාමී රටක පළමු කොම්පැනි 10  හෝ  20 හෝ තුළ වැඩි ප්‍රමාණයක් තිබිය යුත්තේ නිෂ්පාදන ආයතනයි, බැංකු නොවේ. ඒවායිනුත් බහුතරය අපනයන ව්‍යාපාර විය යුතුය.  

රටක් ආර්ථික වශයෙන් දියුණු වීමට නම් එරට ව්‍යාපාර කෙරෙහි ජනතා ගෞරවයක් සහ පිළිගැනීමක් තිබිය යුතුය. මෙරට ජනතාව සිතන්නේ ව්‍යාපාර කරනු ලබන්නේ වංචනිකයන් විසින් බවය. ඔවුන් ව්‍යාපාරිකයාට වඩා හමුදා නිලධාරියාට හෝ වෛද්‍යවරයාට හෝ ගරු කරති. රට පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමෙන් තොරව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම අසීරු වනු ඇත.  වෛද්‍යවරුන් හෝ ඉංජිනේරුවන් හෝ ගණකාධිකාරීන් හෝ ඇති කිරීමෙන් පමණක් ආර්ථිකය ඉදිරියට ගමන් නොකරයි. මක්නිසාද යත් ඔවුන් ආර්ථිකයේ ගාමක බලවේගය නොවන නිසාය. මේ සඳහා රජය විසින් සහ විවිධ ආයතන විසින් පහසුකම් සැලසිය යුතු අතර මෙම කුඩා ව්‍යාපාර වලට මනා පිළිගැනීමක් ජනතාව කෙරෙන් ලැබිය යුතුය. නිකරුනේ කාලය ගත කිරීමට කැමති පිරිසක ගෙන් මෙම පිළිගැනීම නොලැබේ.

මෙරට ඇති අකාර්යක්ෂම ආයතන පද්ධතිය,  කොමිස් පද්ධතිය, රාජ්‍ය ප්‍රතිපත්ති වල අස්ථායි ස්වභාවය සහ නීතියේ අධිපත්‍යය පිලිබඳ විශ්වාසයක් නොමැති වීම  තුළ විදේශ ආයෝජන මෙරටට පැමිණීම සීමාවී ඇත. එමෙන්ම සාපේක්ෂව වැඩි වැටුප් ලබන වැඩ වැරීම සඳහා නීතිමය සහන සහිත ශ්‍රම බලකායක් සිටින රටක අඩු තාක්ෂණයක් සහිත ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම අවාසි සහගතය. තාක්ෂණ දැනුමෙන් නොපිරිපුන් ශ්‍රම බලකායක් සිටින රටක වැඩි තාක්ෂණයක් සහිත ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම අවාසි සහගතය. එබැවින් ආයෝජකයෝ මෙරටට නොපැමිණ බංග්ලා දේශයට හෝ වියට්නාමයට හෝ යති. කලකට පෙර ඒ දෙරටම සිටියේ අපට පසුපසිනි.

අපේ රටේ විශ්ව විද්‍යාල මගින් ශාස්ත්‍රඥයන් මෙන්ම වෙළෙඳ පොළ සඳහා අවශ්‍ය ක්ෂේත්‍ර වල වෘත්තීයවේදින්ද බිහි කළ යුතුය. පසුගාමී දේශපාලන පක්ෂ සහ ශිෂ්‍ය ප්‍රජාව විසින් විශ්ව විද්‍යාල නවීකරණය කිරීමට එරෙහිව කටයුතු කරනු ලැබේ. සිසුන් අනුකාරක අහිනක් බවට පත්කරන නවක වධය ටද ඔවුහු පක්ෂපාත වෙති. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති වැලිවිටියේ සෝරත හිමියෝ විශ්ව විද්‍යාල සිසුන් විප්ලවකාරී විය යුතු බව කිහ. ඒ මතවාදී වශයෙනි.  ආර්ථික සංවර්ධනයේ පෙරමුණ ගත යුතු වන්නේ අධ්‍යාපනයයි.

ආර්ථික වර්ධනය ඉදිකිරීම් මගින් සහ සේවා මගින් ලබා ගැනීමට 2014 දක්වා පැවති රජය උත්සාහ කළ අතර පසුගිය රජය රාජ්‍ය අයවැය ස්ථාවර කිරීම සඳහා කටයුතු කළේය. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය ආනයන සීමා කර දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම බව පෙනෙන්නට තිබේ. අපට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය මූලික කරගත් ආර්ථික ක්‍රමයක් බවට විවාදයක් නැත. එහෙත් එයට ඊනියා දේශප්‍රේමය ගාවා ගත යුතු නැත. අපනයන සඳහා සහ මෙරට ආර්ථික වශයෙන් සාර්ථකව නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ සඳහා ආනයන ද අවශ්‍ය වේ. එමෙන්ම 1970 -1977 කාලයේ තිබුනා වැනි  අකාර්යක්ෂම ව්‍යාපාර ආනයන සීමාව හරහා දිරි ගැන්වේ. මෙරට ව්‍යාපාර නිෂ්පාදනය කළ යුත්තේ මිලියන 20 ක් වන මෙරට වෙළෙඳපොළ සඳහා පමණක් නොවේ. අසීමිත වූ ලෝක වෙළෙඳපොළ සඳහාය. මෙරට වෙළෙඳපොළ සඳහා වන ආනයන ආදේශන ද වැදගත් නමුත් අපනයන වඩාත් වැදගත් වන්නේ එනිසාය.

මෙරට ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමන් නිෂ්පාදනය කරණ භාණ්ඩ සහ සේවා වල ගුණාත්මකභාවය පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි. ඔවුන්ගෙන් සමහරු කෙටි කාලීන ලාභ උදෙසා ගුණාත්මක භාවයෙන් අඩු භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා දීම මගින් ව්‍යාපාරය තුළින් තමන්ට දීර්ඝ කාලීනව ලැබිය හැකි ලාභ අතහැර දමති. රටක් බිහිකළ යුත්තේ තමන් නිෂ්පාදනය කරණ භාණ්ඩ වල ගුණාත්මකභාවය සුරකින ව්‍යාපාරිකයන්ය.

බොහෝ දෙනකු විසින් ශක්තිමත් නායකත්වයක් ඉල්ලා සිටිනු දක්නට ලැබේ. යුද්ධ කරන්නාක් මෙන් ව්‍යාපාරද ආර්ථිකයද ප්‍රවර්ධනය කළ නොහැක. ඒ සඳහා ජනතාවගේ ආකල්ප වල වෙනසක්ද රජය මගින් සලසන පහසුකම් සහ ප්‍රතිපත්ති වල වෙනසක්ද අවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් අපේ රටේ තිබුණ ඊනියා ශක්තිමත් ආණ්ඩු කෙළවර වූයේ රටටද ජනතාවටද පාලකයන්ටද විනාශයන් අත් කර දෙමින් බැවිනි.

මේ රටේ දේශපාලකයන් සහ  රාජ්‍ය සේවකයන් තමන්ට ලැබෙන වරප්‍රසාද ගැනද  ජනතාව තමන්ට ලැබෙන සහන ගැනද සැලකිලිමත් වෙති. මේ සියළුම දෙනා ජිවත් වන්නේ අනාගත පරපුර උගසට තබා ය. “අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.හිඟා කෑම බැරි වුන තැන ලගී ගයා මර ගී” යනුවෙන් කීහ, කුමාරණතුංග මුනිදාසයෝ. ජීවත්වීම සඳහා වැඩ කිරීම නොව වැඩ කිරීම සඳහා ජිවත්විය යුතුය. වැඩකිරීම ජිවිතයේ ලලාසාව හෝ අභිප්‍රාය හෝ  බවට පත්වූවිට වැඩ කිරීම සඳහා ජිවත්විය හැක. රටක ආර්ථිකයක් නැංවීම සඳහා මෙවැනි මිනිසුන් කොටසක් අවශ්‍ය වේ. නිකමුන් පිරිසක් සමඟ ආර්ථිකයක් නැංවිය නොහැක. බුදුන් වහන්සේ වැඩ කලේ ජීවත්වීම සඳහා නොවේ, ජීවත්වූයේ වැඩ කිරීම සඳහාය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    අද මගේ මව් රටේ සාමාන්‍ය මානසිකත්වයේ ස්වභාවය එයයි. දැකීම කනගාටුවට කරුණක් නමුත් යථාර්ථය එයයි. ඉතින් ඔබ ඔවුන්ගේ කුඩා මොළය භාවිතා කර ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරන්නේ නම්? එය හරියට igs රන් පියාසර කරනු ඇතැයි අපේක්ෂා කරන අහස දෙස බැලීමකි.
    පොදුවේ ශ්‍රී ලංකාවට උපත ලැබූ අය මෝඩයන් ලෙස උපත ලබති. සමහරු උපාධි උපයා ගත්තද ඔවුන් තම පවුල් සම්ප්‍රදායන් අනුගමනය කරති. පවුල් තමන්ට කැමති දෙයක් කිරීමට පෙළඹෙන්නේ නම්, එසේ නොකිරීමට ඔවුන් පසුගාමී නොවනු ඇත. ධාතු වතුර සර්පයන් විසින් ගෙන එනු ඇතැයි ඔවුන්ට පැවසුවහොත්, ඔවුන් වන්දනාමාන කිරීමට පෙළ ගැසෙති. මුහුදු ජීවීන්ගේ පිටත ඇටසැකිලි වඩා හොඳ ජීවිතයක් සඳහා වාසනාව ගෙන එනු ඇතැයි ඔවුන්ට පැවසුවහොත්, ඔවුන් ඒවා මිලදී ගැනීම සඳහා තමන්ගේම බඩු විකුණා ඔවුන්ගේ ගෙවල්වල එල්ලා ඔවුන් වෙනුවෙන් යාච් pray ා කරනු ඇත. තනිවම බෝ ගස යාච් ying ා කිරීම, ඔවුන් කර ඇති ආකාරයට ඔවුන්ගේ බුද්ධාගමේ ජාතික ප්‍රතිරූපය බවට පත්ව ඇත. එම නමස්කාරකයන් දෙස බලා සිටින පරතරය ඔවුන් අනුකරණය කරයි. මෙය ඔවුන්ගේ සංස්කෘතිය හා සම්ප්‍රදාය ලෙස අර්ථ නිරූපණය කරයි. මම මීට වසර දෙකකට පෙර බාලි දූපතට ගියෙමි. එහිදී අන්ධ අය සෑදී ඇති අයුරු මම දුටුවෙමි. උදේ සිට සවස් වන තුරුම එම දුප්පත් ජනයා ඔවුන්ගේ නාඳුනන අදෘශ්‍යමාන දෙවිවරුන් වෙනුවෙන් හිඳගෙන වැඩ කරති. නමුත් බාලි යනු කුඩා දූපතකි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.