19 April, 2024

Blog

කැටිපෙ යනු කුමක් ද? ඊට මොකද උනේ?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පරාජයේ වේදනාව දරා ගන්න විප්ලවවාදියෙකුට නම් අලුතෙන් පන්නරයක් ගන්න අවශ්‍ය නැහැ. ඒත් මම හොදටම දන්නව මේ වෙලාවෙ කැටිපෙ ඉන්නෙ පරාජයේ වේදනාවෙන් බව. ඒ අවස්ථාවෙ කැටිපෙගෙ හිත රිද්දල කුහක සතුටක් ලබන්න මට අවශ්‍ය නැහැ. නමුත් මේ වෙලාවෙ මේ දේ කිව්වෙ නැත්නම් ඒකෙ දේශපාලන වටිනාකම ශූන්‍ය වෙන බව මට ස්ථිරයි.

අපි දෙන්න මුල් වතාවට හමුවුනේ 2013 වර්ෂයේ අන්තිම මාසයක දවසක. ඒ මත්තෙගොඩ සල්ගස් හන්දියේ පොඩි සමාජ ශාලාවක දි. පොඩ්ඩක් කතා බහ කරන්න එන්නය කිව්වහම ” හා මචං එන්නම්” කියල අසුරු සැනෙන් එතැනට ආවෙ ඒ කාලෙ ඔහුගෙ තිබුණ තරුණ ජවයත් එක්ක. “ලංකා” පත්තරෙන් නම ගම දැනගෙන ෆේස්බුක් එකෙන් කතා කරන්න සෙට් වෙලා ආශ්‍රය කරන්න ඕන උනාම තමයි මම එදා එන්න කිව්වෙ. අපි එදා ගොඩක් දේවල් දේශපාලනය ගැන කතා කළා. දේශපාලකයකුට වඩා ඔහු තුළ තිබුණෙ කලාව විශේෂයෙන් චිත්‍රපටි ගැන හීනයක්. ඔහු එදා ඒක හැගීම්බරව විග්‍රහ කරන කොට මම ආසාවෙන් අහන් හිටිය.

විශාල ශාරීරික පෞර්ෂයක් තිබුණ, ඊටම ගැලපෙන ලෙස ඇදුම් තෝරාගත් කැටිපෙ සමාජය සම්බන්ධයෙන් හැගීම්බරව උනන්දුවෙන් කතා කිරීම මිස ගැඹුරු කියවීමක් සහිත යෝධ පත්තරකාරයකු මම එදා දැක්කෙ නැහැ. “ලංකා” පත්තරෙන් අයින් වෙලා ජනතා විමුක්ති පෙරමුණෙනුත් අයින් වෙලා මට මතක විදිහට පෙරටුගාමීන්ගෙනුත් වෙන් වෙලා හිටි ඒ නිදහස් කාලය තුළ ඔය සහෝදරය තමන්ගෙම කියල සගරාවක් පටන් ගත්ත. එදා අපේ සාකච්ඡාව තුළ කැටිපෙ සහෝදරයා මගෙන් ඉල්ලා සිටියෙ ඒ සගරාවට කොලමක් ලියන්න කියන එකයි.

එදා අපේ කතා බහ රෑ වෙනකම් ඇදුන. ඒ වෙනකොටත් ක්‍රියාකාරී ෆේස්බුක් සාමාජිකයකු වුන කැටිපෙ කොළඹ කේන්ද්‍රීය අවකාශයේ හිටි සෙසු ෆේස්බුක් ක්‍රියාකාරීන් ගැන තිබුණෙ අඩු අවබෝධයක් කියල එදා මම තේරුම් ගත්ත. නමුත් මගෙන් එදා සමු අරන් ගිහිල්ල මාස දෙක තුනක් යන කොට කොළඹ කේන්ද්‍රීය ෆේස්බුක් අවකාශය අදුනා ගත්ත විතරක් නෙවෙයි එය තම අතට ගන්නත් කැටිපෙ සමත් උනා. මට ආරංචි උනා හවසට හවසට ඒ අයත් එක්ක සෙට් වෙන බව. ඒ වෙනකොට කැටිපෙ මා එක්ක හිතවත්කම අත්හරිමින් හිටියෙ. සමහර කාරණා සම්බන්ධයෙන් මගේ නිර්ධය විවේචන, මිත්‍රකම් පසෙක තබා අවශ්‍ය විට කරන සැර විවේචන, මිත්‍රයන් සුරතල් නොකිරීම වැනි කාරණා ඊට බලපාන්න ඇති. මම කිහිප අවස්ථාවකම කැටිපෙව සම්බන්ධ කර ගන්න හැදුවත් ප්‍රතිචාර දැක්කුවෙ නැහැ. මම අවස්ථා සියගණනක දි කතා කරන්න හදන කොට ප්‍රතිචාර නොදැක්කුවත් එක්තරා අවස්ථාවක කැටිපෙ මට කතා කරල කිව්ව මීගමුවෙදි එයාගෙ පොතක් රිලීස් කරන බවත් ඒකට ආරාධනා කරන බවත්. නමුත් මට යන්න බැරි උනා. ඇත්තටම කිව්වොත් යන්න උනන්දු උනේ නැහැ.

ඔහොම කාලය ගෙවිල ගියා. කැටිපෙ ඒ කාලය තුළ හිතමිතුරන් එකතු කරමින් හිටිය. පස්සෙ පත්තරේක විශේෂාංග කතෘ උනා. 2014 අන්තිම ජනාධිපතිවරණ පොදු අපේක්ෂකය එන කොට කැටිපෙලගෙ මිතුරු හවුල මූලික වෙලා විශාල දායකත්වයක් දැරුව බවත් ආරංචි උනා. 2015 දි විතර කැටිපෙ ස්වාධීන රූපවාහිනියෙ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු උනා. ඒ නිසා කලාව පැත්තෙන් යමක් අයිටීඑන් එක තුළ උනා. මම බලන් හිටිය. කූඹියෝ නාට්‍ය පිටුපස කැටිපෙ උනන්දුවෙන් හිටිය. එදා ඒකෙ උත්සවයක් වෙලාවෙත් කැටිපෙ පිටු පස්සට වෙලා සියල්ල මෙහේයවූවා.

මේ ඔක්කොම සුණු විසුණු වෙලා ගියේ 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයත් එක්ක. කැටිපෙට තනතුර අහිමි උනා. කැටිපෙ ආයෙත් පාරට වැටුණ. ඊලගට මට කැටිපෙ දකින්න ලැබුණෙ ශක්තික සත්කුමාරගෙ අත් අඩංගුවට ගැනීමට එරෙහිව කොටුවෙ ස්ටේෂම ළග තිබුණ විරෝධතාවෙදි. එදා උද්ඝෝෂණයෙ වීරයා උනේ කැටිපෙ. කන්නන්ගර අහිංසක විදිහට බලන් ඉන්න කොට මෙගා ෆෝන් එක අරන් කෑ ගසමින්, පිකට් බෝඩ් එක අරන් පිකට් කරමින් කරපු රගපෑම මම හොදින්ම දැක්ක. ළග හිටපු යාළුවට මම කිව්වෙ “මූ මොකාටද එන්න හදන්නෙ” කියල.

ඔහොම හිටපු කැටිපෙ අන්තිමේ මහ මැතිවරණයට ජාතික ජන බලවේගෙන් නොමිනේෂන් භාර දුන්න. ඒක අහඹු සිදුවීමක් නම් නෙවෙයි. කැටිපෙ සංවිධානාත්මකව හා සැලසුම් සහගතව ආ ගමනක කූට ප්‍රාප්තියක්. මම මෙතෙක් විග්‍රහ කළේ කැටිපෙගෙ ඒ ගමන. ඔහු මනාව තම පෙනුම නඩත්තු කළා. ඔහු ඇදුම් තෝරා ගත්තේ සැලසුම් සහගතව. යාළුවන් තෝරා ගත්තෙත් ඊටම ගැලපෙන ලෙස. කොළඹ කේන්ද්‍රීය සමාජයේ විශාල පෞර්ෂයක් ගොඩනගා ගනිමින් ඔහුටම ආවේනික වූ දේශපාලන ගමනක කැටිපෙ ආව. මේව සියල්ල ඉලක්කයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් වැදගත් සාධක. ඒව වැරදිය කියල කාටවත් කියන්න බැහැ.

ඒ නිසාම තමයි පසුගිය මැතිවරණයෙදි කොළඹ කේන්ද්‍රීය මැද පාන්තික සමාජයේ ෆේස්බුක් අවකාශය තුළ කැටිපෙ පොරක් උනේ. හැමෝම කැටිපෙව උඩ දැම්ම. අරක නිසා කැටිපෙට මම මනාපෙ දෙනව. මේක නිසා මම කැටිපෙට මනාප දෙනව කියමින් ෆේස්බුක් එකේ සමහරු උඩ පැන්න. කැටිපෙ ෆිල්ම් වලට කැමැතියි. හින්දි ෆිල්ම් එකක වීරය විදිහට තමයි කැටිපෙ සමහරුන් විසින් ඇන්දුවෙ. ඒ ඇන්දිල්ලෙ උඩටම ගිහින් තරු ස්පර්ශ කරන මට්ටමට කැටිපෙව අරන් ගියා. නමුත් කැටිපෙ තේරුම් අරන් හිටියෙ නැහැ සමාජයෙ ෆැන්ටසිමය තරුවක් උන පළියට මහජන ඡන්දයෙන් තේරී පත්වෙන්න බැරි බව. අන්තිමේ මැතිවරණ ව්‍යාපාරය තුළ දි අහසෙ තරු ගණිමින් හිටිය කැටිපෙ රෑ එළිවෙනකොට බිමට කඩාගෙන වැටුනෙ කනගාටුදායක අන්දමින්.

එහෙම උනේ මදයක් නැතිව පිට ඔපේට මැතිවරණ කරන්න ගිය නිසයි. සමාජය මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න වලට විසදුම් පොදියක් ජාතික ජන බලවේගයට තිබුණෙ නැති එක ඇත්ත. නමුත් අඩු ගානෙ චන්දෙ ඉල්ලන මිනිස්සුන්ට හෝ දේශපාලන දෘෂ්ටියක්, මතයක් හෝ අදහසක් තියෙන්න ඕන. මම දන්න තරමින් කැටිපෙට එහෙම එකක් තිබුණෙම නෑ. ඔහු දේශපාලනය අත පත ගෑවෙ හැගීම් බර තැන් වලින්. ඔහු දුක් උනේ සංවේදී උනේ සමාජ අසාධාරණයන් වලදි පීඩනයට පත්වන මිනිස්සු ගැන කව් ගී ලියමින්. නමුත් ඔහුට තිබුණෙ නෑ ඒ සමාජ අසාධාරණය අහෝසි කරන්න කළ යුත්තේ කුමක් ද කියල වැඩපිළිවෙලක්. වැඩපිළිවෙලක් නැති දේශපාලනයකට, දේශපාලකයකුට චන්දෙ නොදෙන එක සමාජයෙ වරදක් නෙවෙයි.

අනෙක තමයි සමාජ දේශපාලන කාරණා සම්බන්ධයෙන් ඝෘජු හා නිශ්චිත අදහසක් දැරීම හා ඒ වෙනුවෙන් සංවාද කිරීම ජනප්‍රිය දේශපාලනය තුළ ප්‍රතිරූපයක් හදා ගැනීමට බාධාවක්ය කියල සමහරු හිතනව. ඒ නිසා ඒ ඒ සමාජ දේශපාලන අර්බූද වල දි නිශ්චිත අදහසක් දරන්නෙ නැතිව යමක් සමාජ ගත කරන්නෙ නැතිව ඉන්නව. එතකොට ඔහු හැමෝගෙම හොද යාළුවෙක්. කිසිකෙනෙක් ඔහු එක්ක තරහ වෙන්නෙ නැහැ. කෙටියෙන් කිව්වොත් කාගෙත් සුන්දරී. කැටිපෙත් අනුගමනය කළේ අන්න එහෙම ස්ථාවරයක්. කැටිපෙ කවදාවත් ජාතික ප්‍රශ්නයට විසදුම ගැන කතා කරනව මම දැකල නැහැ. කැටිපෙ කවදාවත් රාජපක්ෂ දේශපාලනයෙ ෆැසිස්ට්වාදී ස්වරූපය විවේචනය කරනව මම දැකල නෑ. කැටිපෙ කවදාවත් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් විවේචනය කරනව මම දැකල නැහැ. සමාජයේ සියළු මතවාද, අදහස් හා ආකල්පවල ප්‍රතිවිරෝධය එක්ක දේශපාලනය නොකර හා ඒ මතයන් සැලකිල්ලට නොගෙන ඒ මතදරන්නන් සමග මිත්‍රත්වයක් ඇතිකර ගන්න උත්සාහ ගන්නව. ඒ අනුව ජනප්‍රියවාදී පෞර්ෂයක් ගොඩ නගා ගන්නව. කැටිපෙ උත්සාහ ගත්තෙත් අන්න එවැනි භාවිතයකට. ඒක පට්ට තක්කඩිකමක්.

කුමාර් සංගක්කාර ජාතික කණ්ඩායමට තෝරා ගත්ත දවස් වල රාවයේ ක්‍රීඩා පිටුවෙ තිබුණ ලිපියක් මට තාම මතකයි. ඒකෙන් සංගට අවවාද කරල තිබ්බෙ මාධ්‍යයේ උසි ගැන්වීම් වලින් නොමග නොයන ලෙසයි. ඒ කිව්වෙ දක්ෂතාව මත වැඩ කරන්නය කියන එකත් මාධ්‍ය මගින් ඔසොවා තබන උත්සාහයන්ට නොරැවටෙන ලෙසත්. සංග කියන්නෙ දේශපාලනික චරිතයක්. බුද්ධිමය ක්‍රීඩකයෙක්. ඒ නිසා රාවය අනතුරු හැගෙව්ව කලාපය තුළ ගිනි කෙළි පත්තු කරන්න සංග ගියේ නෑ. ඒ නිසා සංගට අනතුරක් පීඩාවක් උනෙත් නැහැ. නමුත් කැටිපෙ ඊට වෙනස්. ෆේස්බුක් අවකාශයේ මැද පාන්තිකයන් කැටිපෙව එක පාරක් උස්සල තියන කොට කැටිපෙ දහස්වාරයක් උඩ පැනල ඇද ගත්ත. අන්තිමේ අනතුරුදායක කලාපෙ සෙල්ලම් කරන්න ගිහින් කැටිපෙ දැවී ගියා. එහෙම උනේ සංගට තිබූ බුද්ධිය කැටිපෙට නොවූ නිසයි.

සමාජය සංවිධානය කළ යුතුය කියන කාරණාව පැත්තකින් තියල දේශපාලනය කළ නොහැකි බව කැටිපෙ තේරුම් ගන්නව නම් මම හිතන්නෙ මැතිවරණයෙදි ඔහු පරාජය උනත් දේශපාලනයෙදි ඔහු ජයග්‍රහණය කළාය කියලයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.