8 November, 2025

Blog

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු  පිලිබඳ නිවේදනයක් කරන ලදී. මේ අනුව යම් බදු අඩුකරන ලද අතර තවත් බදු වැඩි කර ඇත. ඒවා  නම්  පුද්ගල ආදායම් බද්ද අඩු කිරීම, පොලිය මත දැනට ඇති රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීම, අනේවාසික ඩිජිටල් සේවා සපයන්නන් 18% වැට් බද්දට යටත් කිරීම, අපනයන සේවා සපයන්නන් 15% ක ආදායම් බද්දකට යටත් කිරීම (මේ තාක් ඔවුන් ආදායම් බද්දෙන් නිදහස් විය.) කැසිනෝ, දුම්කොළ සහ මත්පැන් ව්‍යාපාර සඳහා වන බද්ද 40% සිට 45% දක්වා වැඩි කිරීම, දේශීය දියර කිරි සහ යෝගට් නිෂ්පාදකයන් 18% වැට් බද්දෙන් නිදහස් කිරීමකල්බදු ගිවිසුම් සඳහා වන මුද්දර ගාස්තුව 1% සිට 2% දක්වා වැඩි කිරීම, අපනයන ව්‍යාපාර වලට භාණ්ඩ සහ සේවා සපයන්නන්ට අදාල වන SVAT බදු ක්‍රමය එකඟ වූ IMF කොන්දේසි වලට එරෙහිව තවදුරටත් පවත්වාගෙන යාම සහ වාහන ආනයනය සඳහා වන තහංචි අනුක්‍රමයෙන් ඉවත් කිරීමයි.

ආදායම් බද්ද

ඒ අනුව දැනට පවතින ආදායම් බද්දට යටත් වන සීමාව වාර්ෂිකව රු. 1,200,000 සිට රු. 1,800,000 දක්වා ඉහල නංවන ලදී. ඒ අනුව මාසිකවබද්දට යටත්වන දැනට පවතින අවම ආදායම වන රු.100,000 මුදල රු.150,000 දක්වා වැඩිවේ. ඊට අමතරව රු. 500,000 පළමු කාණ්ඩය රු. මිලියනය දක්වා වැඩිවේ. ඒ නිසාද බද්ද අඩුවේ. මෙම පවතින බදු කාණ්ඩ පළමු වගුවේද යෝජිත බදු කාණ්ඩ දෙවන වගුවේද දක්වා ඇත. යෝජිත බදු අඩුකිරීම නිසා රු.ලක්ෂයේ සිට රු. ලක්ෂ හය දක්වා ආදායම් ප්‍රමාණ වලට බදු අයවන ප්‍රමාණද දැනට පවතින බදු ප්‍රමාණ ද තුන්වන වගුවේ දක්වා ඇත. අවසාන කොළමේ ඊට පෙර කොළමේ දක්වා ඇති තොරතුරු පසුව සඳහන් කරන රඳවා ගැනීමේ බද්දට අදාලවේ.

ජාතික ජන බලවේගය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ ආදායම් බද්දට යටත් වන මාසික අවම සීමාව රු. ලක්ෂ දෙක දක්වා වැඩි කරන බවට පොරොන්දු වූ අතර මේ අවස්ථාවේදී එය රජයට විශාල ආදායම් අහිමිවීමක් විය හැකිව තිබුණි. පසුගිය ආණ්ඩුවද බදු අඩුකිරීමක් අනුමත කර තිබුන අතර ඒ අනුව පවතින බදු කාණ්ඩ වල ප්‍රමාණය රු. 500,000 සිට රු. 720,000 දක්වා වැඩි කිරීමට යෝජිතව් තිබුණි. ජනාධිපතිවරයා එතුමා ගේ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර බව සඳහන් කළේය.

ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ විවිධ ක්‍රම අනුමත කරනු ඇතැයි ද එයින් වැඩක් වනු ඇතැයිද මම නොසිතමි. ඔවුන් ආණ්ඩුව විසින් ළඟා කරගත යුතු දර්ශක ඉදිරිපත් කර ඇත. මෙම කාරණයට අදාල දර්ශක නම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශත වශයෙන් රාජ්‍ය බදු ආදායමද (2025 දී 13.9%) ප්‍රාථමික ගිණුමේ ශේෂය එනම් රාජ්‍ය ආදායමෙන් පොලි ගෙවීම් සහ ණය ආපසු ගෙවීම හැර ඉතිරි වියදම් අඩු කිරීමෙන් ලැබෙන අතිරික්තයද (2025 දී 2.3%) වේ. මෙම දර්ශක සාක්ෂාත් කර ගත හැකි නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්වනු ඇත. අනෙක් අතට මෙම දර්ශක සාක්ෂාත් කර ගත නොහැකි නම් බදු යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලඅනුමතකර තිබුනද ඔවුන් සෑහීමකට පත් නොවනු ඇත. මක්නිසාද යත් එය එකඟතා ගිවිසුම අනුකූල නොවන නිසාය. මේ එකඟතා රටේ අභිවෘද්ධිය පිණිස හේතුවේ. මක්නිසාද යත් ඒ මගින් රට නැවත බංකොලොත් වීමේ අවදානම අවම කරන බැවිනි.

උපයන විට ගෙවීම අවසාන බද්දක් නොවේ. එය රඳවා ගැනීමේ බද්දකි. එය රඳවා ගැනීමේ බද්දක් වුවත් වෙනත් ආදායම් හෝ වෙනත් අඩුකළ හැකි වියදම් නැත්නම් එය අවසාන බද්දට සමාන වේ. අඩුකළ හැකි වියදම් තිබෙනවා නම් වැටුපෙන් උපයන විට ගෙවීමේ බද්දෙන් අදාල කොටස අඩු නොකිරීමට සේවා යෝජකයා වෙත නියෝගයක් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.

රඳවාගැනීමේ බද්ද

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පොලිය සඳහා වන රඳවාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කරන බවයි. මෙය රඳවා ගැනීමේ බද්දක් නිසාත් බද්ද ගණනය කරන්නේ ලැබෙන පොලියෙන් ප්‍රතිශතයක් ලෙස බැවින්  අවසාන බද්ද එනම් ඉහත දෙවන වගුව අනුව ගණනය කරන ලද බද්ද මෙයට වෙනස්වේ. වර්තමානයේ පොලි අනුපාත අඩුවී ඇති බැවින් වාර්ෂික පොලිය 8% ක් වන විට රඳවා ගැනීමේ බද්ද සහ අවසාන බද්ද  සමාන වීම සඳහා තැන්පතු ප්‍රමාණය රු. ලක්ෂ 542 ක් විය යුතුය.එනම් රු. ලක්ෂ 542 ට අඩු තැන්පත් කරුවන්ගේ රඳවා ගැනීමේ බද්ද අවසාන බද්දට වඩා වැඩිය. වාර්ෂික පොලිය යම් හෙයකින් 9% වුවහොත් මෙම සීමාව රු. ලක්ෂ 482 දක්වා අඩුවේ. බොහෝ විට පොලි අනුපාත තවත් අඩු විය හැකි බැවින් මෙම සමතුලිත සීමාව රු. ලක්ෂ 542 ට වඩා වැඩි විය හැක.

මෙයින් හැඟවෙන්නේ කුමක්ද? ස්ථිර තැන්පතු වල පොලී ආදායමෙන් ජිවත්වන විශ්‍රාමිකයන් සහ තවත් පිරිස් වල අති බහුතරය තමන්ගේ තැන්පතු වලින් වැඩිපුර රඳවා ගත් බද්ද නැවත ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යා යුතුය.

මෙහි ඇති  තුන්වන වගුවේ  අවසාන කොළමට පෙර කොළමේ පොලියෙන් පමණක් ලැබෙන මාසික ආදායම් සඳහා 10% රඳවා ගැනීමේ බද්ද යෝජිත ක්‍රමය අනුව ගෙවිය යුතු බද්දට වඩා වැඩි නිසා දෙපාර්තමේන්තුව විසින් ආපසු ගෙවිය යුතු බද්ද දක්වා ඇත. ඒ අනුව බදු වලට යටත් නොවන රු. 50,000 සහ රු. 100,000 මාසික ආදායම් ලබන අයට මාසිකව ආපසු ගෙවිය යුතු බද්ද පිළිවෙලින් රු. 5,000 සහ රු. 10,000 ක් වේ. මාසික ආදායම රු.361,000 දක්වා 10% රඳවා ගැනීමේ බද්ද අවසාන බද්දට වඩා වැඩි බැවින් බදු ආපසු ගෙවිය යුතුය.බදු ගෙවන්නන් විසින්  ගෙවිය යුතු බද්ද රඳවා ගැනීමේ බද්දට වඩා වැඩි වන්නේ ඊට වැඩි ආදායම් ලබන අයටයි. අවසාන කොළමේ දැක්වෙන්නේ එම තොරතුරුම රඳවා ගැනීමේ බද්ද වර්තමාන 5% වන විට සහ අවසාන බද්ද යෝජිත ක්‍රමය අනුව වන විටය.

මෙය  අඩු ආදායම් ලබන විශාල පිරිසක් අපහසුතාවයට පත් කිරීමකි. දැනටමත් එම අපහසුතාව සිදුවේ. අඩු ආදායම් ලබන පිරිස් වලින් රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස හෝ අඩුවෙන් අය කරන ලෙස මුල්‍ය ආයතන වෙත නියෝග දීමට තවත් අංශයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කරන බව ජනාධිපතිවරයා කීය.

දෙපාර්තමේන්තුවට මෙම කාර්යය කාර්යක්ෂමව කළ හැකි නම් SVAT ක්‍රමය දිගටම පවත්වා ගැනීමට ආණ්ඩුව ඉල්ලන්නේ ඇයි? SVAT යනු කුමක්ද? වැට් බදු ක්‍රමය අනුව ව්‍යාපාරිකයන් තමන් විකුණන භාණ්ඩ හෝ සේවා වලට විකුණන අගයට 18% ක් එකතු කර විකිණිය යුතුය. එමෙන්ම ඔවුන්ට  තමන් මිලදී ගන්නා භාන්ඩ හෝ සේවා වලට 18% ක් වැට් බදු ලෙස ගෙවීමට සිදුවේ. ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුත්තේ විකිණීමේ දී අය කරගත් වැට් බද්දෙන් මිලදී ගැනීමේදී ගෙවූ වැට් බද්ද අඩු කිරීමෙන් පසු ඉතිරිවන මුදලයි. අපනයන ව්‍යාපාරිකයන් භාණ්ඩ හෝ සේවා විකුණන අවස්ථාවේදී  වැට් බද්දට යටත් නොවේ. එවිට ඔවුන් භාන්ඩ මිලදී ගැනීමේදී ගෙවූ වැට් බද්ද ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට ආපසු ගෙවිය යුතුය. මෙම ආපසු ගෙවීම දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව නොකරයි.

එබැවින් අපනයන ව්‍යාපාරිකයන්ට භාණ්ඩ සපයන ආයතන වලට අපනයන ව්‍යාපාරිකයන්ගෙන් වැට් බදු අය කර නොගෙන භාණ්ඩ විකිණීමේ ක්‍රමවේදයක් ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකසා තිබේ. SVAT යනු එයයි.

අපනයන ව්‍යාපාරිකයන්ට වැට් බදු ආපසු ගෙවීම පමාකරන දෙපාර්තමේන්තුවක් සාමාන්‍ය මිනිසුන් සහ ගැහැනුන් විශාල පිරිසකට පොලී මත රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවතැයි බලාපොරොත්තු වන්නේ කෙසේද? SVAT ක්‍රමය දීර්ඝ කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම බව ආණ්ඩුව දන්නා නිසාය.

අනෙක් කරුණ නම් රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම හරහා බදු දැළ පුළුල් වන බව ජනාධිපතිවරයා විසින් කියා තිබීමයි. එය එසේ නොවේ. රඳවා ගැනීමේ බද්දක් ඇති කිරීමෙන්ම බදු දැළ පුළුල් වේ. බදු දැළ පුළුල් කිරීම සඳහා තිබෙන බද්ද වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැත. මක්නිසාද යත් රඳවා ගැනීමේ බදු අදාල පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංක සමඟ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත බැංකු සහ මුල්‍ය ආයතන විසින් යවන බැවිනි. එම රඳවා ගැනීමේ බදු ප්‍රමාණය බදු ගෙවන්නන්ගේ ආදායම ගණනය කිරීමටද ඒ අනුව ඔවුන්ට අදාල පරිදි බදු ගෙවන ලෙස දැන්වීමටද  දෙපාර්තමේන්තුවට පුළුවන. එසේ නොකරන දෙපාර්තමේන්තුවක අකාර්යක්ෂමතාව වසා ගැනීමට ජනාධිපතිවරයා රඳවා ගැනීමේ බද්ද වැඩිකර එතරම් බද්දක් ගෙවිය යුතු නැති විශාල පිරිසක් අපහසුතාවයකට පත් කරයි. එම අකාර්යක්ෂම දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව මෙම වැඩිපුර අයකරගත් බදු ආපසු ගෙවීමට හෝ එම බදු අය කර නොගන්නා ලෙස අදාල මුල්‍ය ආයතන වලට නියෝග කරනු ඇතැයි අප සිතන්නේ කෙසේද? එබැවින් මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ. අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි. එපමණක් නොවේ. එය ඉතිරිකිරීම් අධෛර්යයට පත් කරයි. එය රටට අවාසිසහගතය.මොවුන් වෙනුවෙන් හඬක් නැගීමට ආර්ථික විද්‍යාඥයන් හෝ බදු උපදේශකවරුන් ගෝ වෘත්තීය සමිති හෝ දේශපාලනඥයන් හෝ අවසාන වශයෙන්  ඊනියා සමාජවාදීන් හෝ නැත.

එමෙන්ම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පොලිය මත වන රඳවා ගැනීමේ බද්ද ගැන පමණි. පොලිය නොවන, ආයතන වලට සපයන වෙනත් වෘත්තීය සේවාවන් සඳහාද රඳවා ගැනීමේ බදු තිබේ. ඒ බද්ද ද 5% කි. ඒ සඳහා බද්ද වැඩි කරන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කීවේ නැත. එතුමා පාර්ලිමේන්තුවේදී කථා කළේ කොලයක් බලාගෙනය. රාජාසන කථාව කරන විට මෙන් නොවේ. එසේම මෙම රඳවා ගැනීමේ බද්ද අවසාන බද්දක් බවට පත්වීමේ ඉඩ ප්‍රස්තාවද තිබේ.

ලෝකය පුරා රඳවා ගැනීම් බදු අය කරනු ලැබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ බදු පැහැර හැරීම් වලක්වා ගැනීමට සහ පසුව ලැබෙන ආදායම කලින් ලබා ගැනීමටයි. ආදායම් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම නම්  ඉහත දැක්වූ ලෙස 5% බද්ද තිබියදී පවා බදු පැහැර හැරිම වලක්වා ගත හැක. මේ මගින්  පසුව ලැබෙන ආදායම කලින් ලබාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් විය හැක. මෙම බද්ද ආපසු ඉල්ලා නොසිටින අඩු ආදායම් ලාභීන්ගේ බදු තබා ගැනීම ආණ්ඩුව අයථා ලෙස පොහොසත් වීමකි.

අනෙක් බදු

දියර කිරි සහ යෝගට් වල වැට් බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් යම් විවේචන මම දුටිමි. විවේචන වලට අනුව මෙම බදු සහනය ව්‍යාපාරිකයන් විසින් ජනතාවට නොදෙනු ඇතැයි මත පලවී තිබුණි. එසේ නොවිය හැක. මක්නිසාද යත්.මේවා පාරිභෝගික භාණ්ඩ වන බැවින් ඒවායේ මිල භාණ්ඩයේ සඳහන් වන බැවිනි.

වාහන ආනයනය ඇතුළු  අනෙකුත් ආනයන විවෘත කිරීම කල යුතු දෙයකි. පසුගිය ආණ්ඩුවද වාහන ආනයනයට  පෙබරවාරියේදී ඉඩ දෙන බව කියා තිබුණි. යම් හෙයකින් ආනයන වැඩි වුවහොත් රුපියල අවප්‍රමාණය වී අපනයන කරුවන්ට වාසිදායක තත්ත්වයක්ද මෙරටට ආනයනය කරන භාණ්ඩ මිල ඉහල යාමෙන් ජිවන වියදම වැඩිවන තත්ත්වයක්ද ඇතිවිය හැක. කෙසේවෙතත් වාහන ආනයනයට ඉඩ දෙන්නේ එයින් ලැබෙන රේගු බද්ද ඉලක්ක කර ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ රාජ්‍ය ආදායම් කොන්දේසි සපුරාලීමට නම්  එය අවදානමකි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.