17 October, 2017

ජනාධිපති සිරිසේනගේ දේශපාලනික කුහකත්වය: මුස්ලිම් අවතැන්වූවන් කරපිංචා ගානට දැමීම

හිල්මි අහමඩ්

හිල්මි අහමඩ්

‘අම්මගේ දානෙට දෙන්න, අල්ලපු ගෙදර එකාගේ කිකිළිව හොරකම් කිරීම’ පිළිබඳ දෙමළ කියමනක් තිබේ.

ජනාධිපති සිරිසේන එක පෑන් පහරකින් හරියටම කෙළේ එයයි. පසුගිය මාර්තු 24 වැනි දා මොස්කව් නුවර සිටියදීම ඔහු ලංකාවේ ගැසට් නිවේදනයකට අත්සන් කෙළේය. වන සංරක්ෂණ ආඥා පනතේ 3. අ. වගන්තිය යටතේ, මාවිල්ලූ, වෙප්පාල්, කරඩික්කුලි, මරිච්චිකඩි සහ විලත්තිකුලම් කැලෑ ප‍්‍රදේශ, මාවිල්ලූ වන රක්ෂිතය යටතට ගැනෙන බව එම ගැසට් නිවේදනයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණි. පරම්පරා ගණනාවක් තිස්සේ මුස්ලිම් ජනතාවගේ කෘෂි ඉඩම් වශයෙන් පැවති මේ ප‍්‍රදේශ ඔවුන්ගෙන් පැහැර ගැනීම හරහා ජනාධිපති සිරිසේන කරන්නේ, එක පැත්තකින් තමන්ගේ මමංකාරය සතපා ගන්නා අතරේම, අනිත් පැත්තෙන් අන්තවාදී බෞද්ධයන්ව හුරතල් කිරීමයි.

වර්තමාන කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය, සමස්ත ලංකා මක්කල් කොන්ග‍්‍රස් නායක, රිෂාඞ් බද්උද්දීන් 2014 නොවැම්බර් මාසයේ දී, එවක පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කැඞී, 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටි පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ පිළට එක් විය. ඔහු සමග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දෙදෙනෙක් ද, පළාත් සභා මන්ත‍්‍රීවරු හතර දෙනෙක් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු 63 ක් සහිත මහජන නියෝජිතයෝ 69 ක් මෛත‍්‍රීපාල සිරිසේනගේ කඳවුරට එක් වූහ. මහින්ද රාජපක්ෂගේ පාලනයට එරෙහි පොදු විපක්ෂය වෙතට එදා මෙතරම් නියෝජිත පිරිසක් ගෙනා වෙනත් දේශපාලඥයෙකු සිටියේ නැත.

තමන්ගේ ලාභ ප‍්‍රයෝජන සහ වෙනත් වරප‍්‍රසාද ගැන නොතකා, මේ යහපාලන ආණ්ඩුවට තවදුරටත් සහාය දිය යුතුද යන්න බද්උද්දීන් සහ සෙසු මුස්ලිම් දේශපාලන නායකයන් යළි සිතා බැලිය යුතුව තිබේ. ඔවුන් එසේ කළ යුත්තේ, අද අසාධාරණයට ලක්ව සිටින මේ අවතැන්වූවන් මුස්ලිම් ජාතිකයන් වන නිසාම නොවේ. අහිංසක ශ‍්‍රී ලාංකීය පුරවැසියන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බැවිනි. ඊටත් වඩා, මේ පිරිස යනු, එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂපාතීත්වය දැක්වීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, එක ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන්, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ ගම්බිම්වලින් පලවා හරින ලද ජනතාවක් බව මේ අවස්ථාවේ මතක් කර දිය යුතුව තිබේ. යුද්ධයට සම්බන්ධයක් නොමැති වෙන කිසි ප‍්‍රජාවක් යුද්ධය නිසා මෙතරම් බරපතල වන්දියක් ගෙවා නැත.

උතුරේ මුස්ලිම් වැසියන්ට සමාන පුරුවැසියන් සේ සළකන්න

මෛත‍්‍රිපාල සිරිසේනගේ කඳවුරට එන විට එදා රිෂාඞ් බද්උද්දීන් ඉල්ලූවේ එකම දෙයකි. එනම් මෛත‍්‍රිපාල සිරිසේන යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවක්, අවතැන් වූ මුස්ලිම් ජනතාවට තමන්ගේ වාසභූමිවලට පැමිණීමට ඉඩ සැලැස්විය යුතු බවත්, උතුරේ යළි පදිංචි කිරීමේ ක‍්‍රියාවලිය තුළ උතුරේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට සමාන පුරවැසියන් සේ සැළකිය යුතු බවත් ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ෆැසිස්ට් නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ තිරිසන් ත‍්‍රස්ත හමුදාව, උතුරේ විසූ සමස්ත මුස්ලිම් ප‍්‍රජාව 1990 දී එම ප‍්‍රදේශයෙන් බලහත්කාරයෙන් පලවා හැරියහ. එහිදී එම පිරිසට තම ගේදොර අතහැර දමා යාමට ලැබුණේ පැය 24 ක කාලයක් පමණි. තවත් සමහරුන්ට පැය දෙකක් වැනි, ඊටත් වඩා කෙටි කාලයකි. සියලූ දේපොල, මිළ මුදල් සහ හරකබාන හැර දමා ඔවුන්ට යාමට බල කෙරුණු අතර රුපියල් 500 ක් වැනි සොච්චමක් පමණක් රැුගෙන යාමට අවසර ලැබුණි.

කැලෑ අස්සෙන් පැන ගනිමින්, රුදුරු මුහුදේ පුංචි බෝට්ටුවල නැග අවදානම්කාරී ගමනක යෙදුණු ඔවුහු කිලෝ මීටර් සිය ගණන් ගෙවා පුත්තලම සහ ශ‍්‍රී ලංකාවේ දකුණුදිග වෙනත් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූහ. එසේ ගිය ඔවුන් අවුරුදු 25 කට අධික කාලයක් සරණාගත කඳවුරුවල නරා දුක් වින්දේ තමන්ගේ ගම්දනව්වලට ආපසු යම් දවසක පැමිණීමේ සිහිනය දකිමිනි. එහෙත් මේ වන තෙක් බලයේ සිටි ආණ්ඩු ඔවුන්ට සළකා ඇත්තේ ‘අමතක කළ ජනතාවක්’ ගානට ය.

1990 දී එසේ පලවා හරිනු ලැබීමෙන් පසු, අවුරුදු 25 ක කාලයක් තිස්සේ ජනාවාසයෙන් තොර ඔවුන්ගේ ඉඩකඩම් වල්බිහි වීම සහ කැලෑවට යට වීම අමුත්තක් නොවේ. මේ ජනතාවගේ වගා කළ ඉඩම් අත්පත් කරගෙන සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයත්, හමුදාවත්, 2009 යුද්ධය අවසන් වන තෙක් එම ඉඩම්වලට මේ ජනතාවට ඒමට මොන විදිහකින්වත් ඉඩ දුන්නේ නැත.

රට ඇතුළේ අවතැන්වූ 300000 ක් වූ සමස්ත දෙමළ ජනතාව යළි පදිංචි කිරීමේ ව්‍යාපෘතිය තුළ, බැසිල් රාජපක්ෂගේ උතුරු සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ, මුස්ලිම් අවතැන්වූවන්ට අක්කර භාගය බැගින් බෙදා දීමට පටන් ගත්තේය. යළි පදිංචි කිරීම සඳහා වන ආණ්ඩුවේ සෑම ආඥාවකටම අනුගතව පළාත් ආණ්ඩු නිලධාරීන් තමන්ගේ දිස්ත‍්‍රික්ක තුළ මේ කාර්යය කරගෙන ගියත්, යටිතල පහසුකම් හෝ වෙනත් ආධාර මේ ජනතාවට ලැබුණේ නැත. සමහර දානපති මුස්ලිම් ජාතිකයන්ගේ ආධාර උපකාර ද, ගෙවල් තැනීම සඳහා කටාර් රාජ්‍යයේ ආධාර පදනමක අනුග‍්‍රහය ද ලැබුණත්, ඔවුන් සඳහා පාසල් තිබුණේ නැත. සෞඛ්‍ය පහසුකම් හෝ රාජ්‍ය ප‍්‍රවාහණ පහසුකම් තිබුණේ නැත.

ඒ අතරේ, 2009 යුද ජයග‍්‍රහණයෙන් ඔද වැඞී සිටි බෞද්ධ අන්තවාදීන්ගේ ඉලක්කයට මුස්ලිම් ජාතිකයෝ ගොදුරු වූහ. මුස්ලිම් විරෝධී ප‍්‍රහාරය මුලින්ම ඔවුන් පටන් ගත්තේ හලාල් කෑම සම්බන්ධයෙනි. ඊළඟට, මුස්ලිම් ජාතිකයන් සතු ව්‍යපාරවලටත්, මුස්ලිම් අවතැන්වූවන් යළි පදිංචි කැරැුවීම්වලට එරෙහිවත් ප‍්‍රහාර එල්ල වුණි. ඒ සඳහා ඔවුන්ගේ සහායට ජාතිවාදී මහින්ද රාජපක්ෂ සිටියේය. ඔහු ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමගම ඔහු තුළ පැවති මුස්ලිම් විරෝධය තවත් උත්සන්න විය.

අනතුරුව ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ මගපෙන්වීම යටතේ බෞද්ධ අන්තවාදීහූ සමහර පරිසරවේදීන් සමග එක්ව මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීම් නතර කිරීමට සහ ඔවුන්ගේ ඉඩකඩම් ආපසු ඔවුන්ට පවරා දීම නතර කිරීමට බැලූහ. දැන් මේ කාර්යය සඳහා ඔවුන්ට අලූතින් ලැබී සිටින සගයා වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයි.

වන රක්ෂිත පටලැවිල්ල

වන රක්ෂිත පිළිබඳ පටලැවිල්ල හටගත්තේ, 2012 උතුරු පළාත් සභා ඡන්දයෙන් අන්ත පරාජයට පත්වීමේ අවදානමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුහුණදීමත් සමග ය. එය ඔහුගේ ෆැසිස්ට් පාලනය තැති ගැන්නුවේය. තමන්ගේ සිංහල දේශපාලනය, දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ උතුරේ අන්ත පරාජයකට පත්වන බව ඔවුන්ට පෙනුණි. ඒ නිසා, අනුර පි‍්‍රයදර්ශන යාපාගේ එක පෑන් පහරකින් උතුරේ පිහිටි සශ‍්‍රීක ඉඩම් අක්කර දහස් ගණනක්, වන රක්ෂිතයන් වශයෙන් හෝ දියබස්නා ප‍්‍රදේශ වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණි. මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ජනතාව වාසය කළ මුසාලි දකුණ ප‍්‍රදේශයේ අක්කර දහස් ගණනක ඉඩම් ප‍්‍රමාණයක් ද ඊට අයත් විය. මෙහි අරමුණ වුණේ, වගා කළ හැකි ඉඩම් අක්කර විශාල ප‍්‍රමාණයක් කෙරෙහි උතුරු පළාත් සභාවට ඇති බලය ඔවුන්ගෙන් උදුරා ගැනීමයි.

අද තමාගේ එක පෑන් පහරකින් මෙකී මුස්ලිම් ඉඩකඩම් වන රක්ෂිත වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශයට පත් කරද්දී, හම්බන්තොට ප‍්‍රදේශයේ විසූ සිංහල වැසියන්ව සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ව, වැලිඔය මාර්ගය දිගේ විල්පත්තු රක්ෂිතය දිගේ පදිංචි කැරැුවීම් දිගටම සිදු කෙරුණි. එසේ සිංහලයන්ව පදිංචි කළ මේ ප‍්‍රදේශයේ විස්තර මෙසේ ය:

වේරතැන්න- පවුල් 520 යි.
බෝගස්වැව අංක එක- පවුල් 500 යි.
බෝගස්වැව අංක දෙක- පවුල් 560 යි.
නාමල්ගම- පවුල් 470 යි.
සෙනාලීනිගම- පවුල් 450 යි.
නන්දමිත‍්‍රගම- පවුල් 360 යි.

මේ කියන පිරිස් පදිංචි කැරැුවීම සඳහා කැලෑ ඉඩම් අක්කර දහස් ගණන් එළි කරද්දී පරිසරවේදීන්වත්, ජනාධිපතිවරයාවත් ඊට එරෙහිව කිසිවක් කියා නැත. මෙසේ පදිංචි කැරැුවූ කිසිවෙකු ඒ ප‍්‍රදේශයේ පදිංචි කරුවන් ද නොවේ. 2860 ක් වන මේ පවුල් සංඛ්‍යාව අලූත් නගර තනවා පදිංචි කරවා ඇති අතර එක පවුලකට අක්කර තුන බැගින් සපයා දී තිබේ. එහෙත් මුස්ලිම් පවුල්වලට ලැබුණේ අක්කර භාගයක් පමණි.

මේ කියන පිරිස් පදිංචි කැරැුවීම සඳහා ඉඩම් සොයාගත්තේ කොහෙන්ද? කැලෑ සහ වන රක්ෂිත එළි කිරීමෙනි. ඒ සමග ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ද, පාසල් වැනි වෙනත් පහසුකම් ද රජය මගින්ම සම්පාදනය කොට දුනි. මේ ඉඩම් වෙන් කිරීමේදී ඉඩම් කච්චේරි පැවැත්වූයේ නැත. කැලෑ එළි කෙළේ නිසි අවසරයක් ඇතිව ද නොවේ.

හම්බන්තොට, සුරියවැව සහ දකුණේ වෙනත් තැන්වලින් ගෙනැවිත් පදිංචි කරවන ලද මේ ජනතාව සඳහා ගෙවල් හමුදාවෙන් තනා දුන් බව කියැවේ. තවද, අක්කර 500 කට වැඩි ඉඩම් ප‍්‍රමාණයක් කජු වගාව සඳහා නාවුක හමුදාවෙන් අත්පත් කරගෙන තිබේ. මාර්තු 25 වැනි දා දෙරණ රූපවාහිනී නාලිකාවේ මනුසත් දෙරණ වැඩ සටහන තුළින්, මේ කැලෑ භූමි භාගය හරහා ඉදි කෙරී ඇති විශාල මාර්ගයක රූප පෙලක් පෙන්වන ලදි. කැලෑ ඉඩම් වශයෙන් පැවති මේ ප‍්‍රදේශයේ පාසල්, රෝහල් ආදී යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා අක්කර දහස් ගණන් විනාශ කොට ඇත්තේ දකුණේ විසූ සිංහල වැසියන් පදිංචි කැරැුවීම සඳහා ය. ඒ වෙනුවෙන් කෙරී ඇති වන සංහාරය දැවැන්ත ය. අපේ පරිසරවේදී ජනාධිපතිතුමාත්, ජාතිවාදී බෞද්ධ භික්ෂූන් සහ ත‍්‍රස්තවාදී පරිසරවේදී සංවිධානවත් මේ ගැන ඇස්කන් පියාගෙන සිටිනවා මිස කිසිවක් කියන්නේ නැත.

වර්තමාන පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත‍්‍රීවරු 21 දෙනෙක් සිටිති. ඉහත කී මුස්ලිම් ජනතාවගේ ඉඩම්වලට ඔවුන්ට ඇති අයිතිය පාවා නොදී කටයුතු කරනු ඇතැයි මේ මන්ත‍්‍රීවරුන්ගෙන් මුස්ලිම් ජනතාව අපේක්ෂා කරති.

*2017 මාර්තු 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Political Hypocrisy Of President Maithripala Sirisena – Muslim IDPs Tossed Out නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.