19 March, 2024

Blog

කාන්තාවට වෙනම දුම්රිය පෙට්ටි සහ හිංසනයේ සැබෑ ස්වරූපය​

ඉනෝකා ශංඛිණී

ඉනෝකා ශංඛිණී

ගැහැණු ළමයෙක් විදිහට තනියම බස් එකේ යන්න පුරුදු වුණේ අවුරුදු 8 ඉදලා. පුංචි එවුන් වෙලා හිටිය අපිට ඒ කාලෙ සරම් කාරයන්ගෙන් කලිසම් කාරයන්ගෙන් උන්ගේ දික්වුනු අවයව වලින් සංග්‍රහ නොලැබුනා නොවේ. එහෙම වෙලාවට අපි යුනිෆෝම් එකේ හංගගෙන ඉන්න ආයා කටුවක් අරගෙන උන්ට ඇනගෙන ඇනගෙන ඉස්සරහට ගිහින් තියෙනවා. එදා ඒ කටුක අත්දැකීම් ඉදිරියේ අපි හැඟෙන්නේ නැතුව එඩිතරව මුහුණ දුන් නිසාම අදටත් බස් වල දී වෙන එවැනි අවස්ථා නියමාකාරයෙන් බේරා ගැනීමට පෞර්ෂයක් තියෙනවා.” ~ අනු ඉලංගතිලක හෙට්ටිගොඩ – සමාජජාලා ක්‍රියාකරිනියක්.

මෙයට දින කිහිපයකට කලින් තවත් එක් ලෝක කාන්තා දිනයක් නිමා වූ අතර එයට සමගාමී ව කාන්තාවන් සඳහා වෙන් වූ දුම්රිය මැදිරියක් හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන තිබිණි. මෙය සමාජයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනාගේ විවේචනයට බඳුන් විය. පොදු ප්‍රවාහන සේවා වලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර පිටු දැකීමට සඳහා මෙය සිදු කරන බව පැවසුනද ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ කාන්තාවන් සඳහා වෙනම ප්‍රවාහන පහසුකම් සැපයීම ද? ඒය කොතරම් ප්‍රායෝගික ද?

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන කතුන්ගෙන් 90% පමණ පිරිසක් නිතිපතා ලිංගික හිරිහැර වලට බදුන් වන බව සඳහන් ය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් මෙය තහවුරු කොට ඇත. මෙය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පමණක්මද? එසේ නොමැතිනම් තුන්වැනි ලෝකයේ රටවල පමණ ද? නැත, කිසිසේත්ම නැත.

පොදු ප්‍රවාහන සේවා වල දී ලොව පුරා කාන්තාවන් හිංසනයට ගොදුරුවන දුක්බර පුවත අලුත් දෙයක් නොවේ. එසේ වුවද එය වැලැක්වීමට ගන්නා උපක්‍රම කොතරම් ප්‍රායෝගික ද?

බ්‍රිතාන්‍ය ප්‍රවාහන​ පොලිස්යේ සංඛ්‍යා ලේඛන වලට අනුව එරට පොදු ප්‍රවාහන වලදී කාන්තාවන්ට සිදුවන අතවර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වූ අතර මේ සඳහා පිළියමක් ලෙස කාන්තාවන් සඳහා වූ දුම්රිය මැදිරි සංකල්පය එරට පාර්ලිමේන්තුවටද යෝජනාවක් ලෙස ඉදිරිපත් විය. නමුත් එය ප්‍රතික්ෂේප වූයේ එම යෝජනාව එරට මන්ත්‍රීවරියන් සහ කාන්තා හිමිකම් සංවිධාන වලින් පළවූයේ පළවූයේ ඇල්මැරුණු අවඥාසහගත බැහැර කිරීම මතය. බොහෝ දෙනාගේ අදහස වූයේ නොමනා ලෙස හැසිරෙන සුළුතරයක් පිරිමින් හේතුවෙන් කාන්තාවන් එසේ එක් මැදිරියක කොටු කිරීම තුළ ඇය සුරක්ෂිත වන්නේ නැත යන්නයි.

තුර්කි රාජ්‍යයේ ප්‍රධාන නගරයක මේ සඳහා තවත් උපක්‍රමයක් ලෙස කාන්තාවන්ට පමණක් වෙන් වූ රෝස පැහැ බස් සේවයක් හඳුන්වා දී ඇත. මේ පිළිබඳව ද නොයෙක් විරෝධතා ඇතත් මෙහි ඵලදායීභාවයක් දක්නට ඇති බැවින් “රෝස බස්” සංකල්පය තව දුරටත් ව්‍යාප්ත කිරීමට කිරීමට එරට බලධාරීන් අවධානය යොමු කොට ඇත.

එමෙන්ම මෙක්සිකෝවේ උමං දුම්රියක වෙනමම ආකාරයක අසුනක් සවිකර තිබුණු පසුගිය දිනවලදී අන්තර්ජාලයේ දැකගත හැකිවිය. දුම්රිය මැදිරියක පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපු ප්‍රදේශය කාවද්දා නිර්මාණය කර තිබූ එම අසුන පුරුෂයන්ට පමණක් වෙන්ව තිබූ අතර , එයට ඉහළින් මෙහි අසුන් ගැනීම අපහසු දායක විය හැකිය යනුවෙන් සඳහන් කර තිබිණි. මේ පිළිබඳව බලධාරීන් පැවසුවේ කාන්තාවන් දිනපතා මුණ දෙන මෙවැනි ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන සලකා බලන කල මෙය සැලකිය යුතු තරම් අපහසුතාවක් නොවන බවයි. තාවකාලිකව සවිකර තිබු විශේෂ ආසනය මගින් මෙම උක්ත කරුණ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කරවීමට හැකිවූ බව කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය සහ එරට බලධාරීන් විසින් පවසා සිටිනු ලැබීය.

බොහෝවිට සමාජයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සිදු වන්නේ ගෘහාශ්‍රිතව කියා සිතුවද එය වඩා දරුණු ලෙස සිදුකරනු ලබන්නේ පොදු ප්‍රවාහන සේවා තුළ දී බව ප්‍රංශය වාර්තා කර ඇත. ප්‍රංශයේ පැරිස් නුවර කාන්තාවන් සඳහා අතිශය සුරක්ෂිත නගරවලින් තෙවැන්න ලෙස නම් කරනු ලැබුවද එම පැරීසියම, කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය සහිත ලොව හතර වන නගරය ලෙසද Tomson Reuters Foundation ආයතනයේ සමීක්ෂණයක් මගින් හෙළි හෙළි වී තිබෙනවා. 

මා මෙහිලා ඉන්දියාව හෝ එවැනි තුන්වැනි ලෝකයේ රටවල් පිළිබඳව සඳහන් නොකරන්නේ ඔවුන්ගේ රටවලද අප හා සමානවම හෝ ඊටත් වඩා දරුණු ආකාරයෙන් සිදු වන කාන්තාවන්ට එරෙහිව ලිංගික ප්‍රචණ්ඩක්‍රියා දිගින් දිගටම වාර්තා වන පසුබිමක ඔවුන් විසින් භාවිතා කරනු ලබන උපක්‍රම කොතරම් දුරට ප්‍රායෝගිකද යන ගැටලුව මතු වන බැවිනි.

මෙලෙස බලන කල පොදු ප්‍රවාහන සේවාවන් තුළ කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය ආසියාවට, ඇමරිකාවට, යුරෝපයට පමණක් සීමා සීමාවූවක් නොවේ මේය ලෝ පුරා පොදු ලක්ෂණයක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අවධාරණය කර සිටී.

ඇත්ත වශයෙන්ම පොදු ප්‍රවාහන සේවා වල දී කාන්තාවන් 90% පමණ හිංසන වලට බඳුන් වුවද ඒ සඳහා නිසි විරෝධතා දැක්වීමක් හෝ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ 4% පමණ සුළු ප්‍රතිශතයක් බව සමීක්ෂණ වලින් තහවුරු වී ඇත. 

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල කාන්තාවන් අවම වශයෙන් මුහුණ දී ඇති හිංසන ක්‍රියාවන් 35 ක් හඳුනාගෙන ඇති අතර, එය ශරීර ස්පර්ශය සිට වාචික හා දෘශ්‍යමය ක්‍රියා තෙක් විහිදේ. එනමුදු බොහෝ විට දැකිය හැක්කේ ශාරීරික හිංසන වීම විශේෂයකි. ඔවුන් 2015 දෙසැම්බර් මාසයේදී ලංකාවේ රටපුරා කරන ලද සමීක්‍ෂණය අනුව​;

74% හිතාමතාම ශරීරයේ කොටස් ස්පර්ශය,

60% පෞද්ගලික අවකාශ සීමාව උල්ලංඝණය වන පරිදි ළගට පැමිණීම,

52.25% අසුන් ගැනීමේ දී අයෝග්‍ය හැසිරීම්,

52% වෙනත් පුද්ගලයකුගේ ශරීරය තමන්ගේ ලිංගික අවයවයන් ඇතිල්ලීම,

48.44% හිතා මතා කකුල පෑගීම,

46.28%ශරීර කොටස් දෙස නොමනා ලෙස බලා සිටීම,

48.72% දුරකථන අංකය ඉල්ලීම,

45.56% කාමුක බැල්ම,

යනාදී වශයෙන් මෙම හිංසන ක්‍රියා වර්ග කොට ඇත.

එහෙත් අප රටේ පොදු ප්‍රවාහන පහසුකම් දෙස බැලීමේදී මින් සමහරක් කරුණු කොතරම් ප්‍රායෝගික තලයක සිට වර්ගීකරණය කර ඇත්ද යන්න පිළිබඳව සලකා බැලීම යෝග්‍ය වේ.එක් උදාහරණයක් ලෙස ගතහොත් පෞද්ගලික අවකාශ සීමාවන් උල්ලංඝනය නොකොට පොදු ප්‍රවාහන සේවාවක ගමන් කිරීමට තරම් අප රටේ ප්‍රවාහන පහසුකම් දියුණු තලයක පවතී ද?

තවද මෙලෙස කාන්තාවන් අතර වලට ලක්වන්නේ ලක්වන්නේ ඔවුන්ගේ නොමනා ඇඳුම් විලාසිතා නිසා යැයි පවසන සමහරුගේ කරුණු දැක්වීම් කොතරම් නම් පසුගාමී ද?තමන් විසින් තැනට සුදුසු ලෙස සැරසීම කාන්තාවන් සතු වගකීමක් බව කිසිදු තර්කයකින් තොරව පිළිගත යුතු වුවද, එලෙස ඇඳුම් පැළඳුම් නිසා අතවරයට පත්වනවා යැයි පැවසීම හාස්‍යජනකය. සිදුවිය යුත්තේ කාන්තාවන්ට බුර්කා ඇන්දවීමට උත්සාහ කිරීම නොව, මෙලෙස හැසිරෙන සුළුතරයක් වූ පිරිමින්ගේ ආකල්ප වෙනස් කිරීම මෙන්ම අතවර වලට ගොදුරු වුණ කාන්තාවන්ට එයට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය දැනුම සම්පාදනය කිරීමයි. 

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1883 අංක 2 දරන ලිංගික හිංසන සම්බන්ධව දක්වා තිබූ අර්ථකථනය වඩා පුළුල් කිරීම, 1995 අංක 22 දරණ සංශෝධනයෙන් සිදු කොට ඇති අතර, එහි සඳහන් පරිදි ස්ත්‍රියකට පමණක් නොව ඕනෑම පුද්ගලයකුට ඕනෑම ස්ථානයකදී වචනයෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රියාවකින් සිදුවන ලිංගික හිංසන ආවරණය කොට ඇත. මෙසේ ලිංගික හිංසනය සාපරාධී වරදක් වන අතර අපරාධමය වගකීම උද්ගත කළ හැකි අයුරින් නීතිමය රැකවරණය පුරවැසියාට ලබාදී තිබීම ලංකාවේ නීති පද්ධතිය සුවිශේෂ අංගයකි. මෙහි සංශෝධිත වගන්තීන්ට අනුව ලිංගික හිංසනයට වැරදිකරු වන තැනැත්තෙකුට වසර පහක් දක්වා සිරදඬුවමකට හෝ දඩයකට නැතහොත් ඉහත දඬුවම් දෙකටම යටත් කළ හැකි ය. එයට අමතරව වින්දිත පාර්ශවයට වන්දි ලබා දීමක්ද අධිකරණය විසින් නියම කළ හැක. එලෙස බලන කල නීතියානුකූල වශයෙන් ප්‍රමාණාත්මක අගයක් උක්ත කරුණ වෙත ලබා දී ඇති පසුබිමක මෙවැනි දෑ නිරන්තරයෙන් සිදු වන්නේ කුමක් නිසාද?

මෙයට විසඳුම කාන්තාවන් වෙනම ගාල් කොට තැබීමද? මේ පිළිබඳ අදහස් දැක්වූ බොහෝ කාන්තාවන්ගේ අදහස වූයේ ඔවුන්ට අවැසි වෙනම කොටු වී සිටීම නොව, සුරක්ෂිත වීම බවයි. ඒ සඳහා සිදුවිය යුත්තේ සමාජය නිසි පරිදි දැනුවත් කිරීම බවයි. කාන්තාවන් හිංසනයට බඳුන් වනු දුටු විට අවට සිටින්නවුන් වෙතින් ද යම් ආකාරයක හෝ විරෝධයක් ගොඩ නැගිය යුතු බවයි. මේ වෙනුවෙන් ලොව පුරා විවිධ ක්‍රියාමාර්ග උපක්‍රම අත්හදා බැලීම් සිදු වුවද ඒ සඳහා මූලිකත්වය ගනු ලබන්නේ #MeToo movment ලෙස හැඳින්වෙන සමාජ ක්‍රියාකාරී සංවිධානය විසින් සමාජයේ කාන්තාවන්ට සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාකාරී මෙහෙවරක් සිදු කරනු ලබයි.

ලොව පුරා බොහෝ රටවල් මෙම කාන්තාවන්ට සිදුවන නොපනත්කම් වලට විසඳුම් ලෙස විවිධ උපක්‍රම අත්හදා බැලීම් සිදු කරනු ලැබුව ද, මා දකින්නේ වඩා කාලෝචිත ක්‍රමය අනුගමනය කරනු  ලබන්නේ ස්වීඩන් රාජ්‍යය විසින් බවයි. ස්වීඩනයේ  #MeToo Movement අවුරුදු 15 ඉහළ දරුවන් හට සිය විශය නිර්දේශයට අලුතින්ම එක්වූ විශයයි. ඒ තුලින් ලිංගික අතවරයන්ට එරෙහි ගෝලීය ව්‍යාප්තිය පිළිබඳ දැනුවත් කිරීම සිදුකරනු ලබයි.

අතිශය සාමාන්‍ය මට්ටමේ ලිංගික අධ්‍යාපනයට හෝ නිසි ලෙස නිරාවරණය නොවන අප රටේ දරුවන් ටමෙවැනි දැනුවත් කිරීම් හෝ කළ යුතු බව බාලධාරීන්ට ඒත්තු ගැන්විය යුතු නොවන්නේද? මෙම ගැටළුව නිරාකරණය සඳහා ඇති හොඳම විසඳුම එය නොවන්නේ ද?

පාසැල් දරුවන්ගෙන් පටන් ගෙන කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වන්නේ කෙසේද යන්න පුළුල් මාතෘකාවක් ලෙස සාකච්ඡාකොට දැනුවත් කිරීම සිදුවන සිදු වන තුරු මෙම ක්‍රියාවලිය නවතිනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිද?

තව ද සැලකිය යුතු කරුණක් වන්නේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෝ හිංසන සිදු කරනු ලබන්නේ පිරිමින් විසින් පමණ ද යන්නයි. පොදු ප්‍රවාහන සේවාවන් වලදී කාන්තාවන් විසින්ම තවත් කාන්තාවක් හිංසනයට ලක් කරනු අපට දැකිය නොහැකි ද?එවන් අවස්ථාවක අප විසින් ගනු ලැබිය යුතු පියවර වන්නේ කුමක් ද ?

මේ සියලු කරුණු සලකා බලන අතර වාරයෙදී අප සිතා මතාම අමතක කරන තවත් වැදගත් කරුණක් ඇත. එනම් පොදු ප්‍රවාහන සේවාවන් තුළ තුළ හිංසනයට ලක් වනවා යැයි පැවසෙන ඇතැම් දෑ සිදුවන්නේ කාන්තාවන්ට පමණක්ද? සීමාවන් උල්ලංඝනය, අනවශ්‍ය ලෙස සිරුර ඇතිල්ලීම, කකුල පෑගීම වැනි දෑ සිදුවන්නේ කාන්තාවන්ට පමණක් ද? මෙසේ අගතියට පත්වන පිරිමින් අපහට දැකිය නොහැකිද? ඔවුන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින්නේ මන්ද? එසේ ගත් කල මෙය ස්ත්‍රී පුරුෂභාවය මත ම නිගමනය කළ හැකි කරුණක් වන්නේ කෙසේද? එසේ නම් අප කළ යුත්තේ වඩා හොඳ ප්‍රවාහන සේවා අවස්ථාවන් ලබාගැනීම වෙනුවෙන් හඬ නැගීම හඬනැගීමද? මෙවන් සිදුවීමකදී කලයුතු විරෝධය දැක්වීම හා නීතිමය ක්‍රියාපටිපාටීන් පිළිබඳව පොදුවේ සියලු ජනතාව දැනුවත් කිරීම නොවන්නේද?

බොහො දෙනා විසින් පුන පුනා කතා කරන මාතෘකාවක් වන පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන කාන්තා හිංසනය මා හට කතා කිරීමට අවැසි මාතෘකාවක් නොවූවද, මා මේ සටහන තැබීමට පෙළඹින්නේ ෆේස්බුක් සමජ ජාලාවට එක්තරා කාන්තාවක් විසින් එක් කර තිබූ සටහනක් දැකීමෙන් අනතුරුවය. එවැනි සටහන් දෙස බලන විට කාන්තාවන්හට නියමාකාරයෙන් හිංසන සහ පසුගාමීත්වයන් ආරෝපනය කරනු ලබන්නේ කාන්තාවන් විසින්ම දෝ යන පැනය සමගම එවන් කාන්තාවන් විසින් සමස්ත කාන්තාවන්ටම කරන නිග්‍රහය තුල පිරිමින් නොව පිටසක්වල ජීවීන්ද පැමිණ අපට අතවර කොට යන දිනය වැඩි ඈතක නොවනු ඇත.

දුම්රිය පෙට්ටිය වෙනුවට සම්පූර්ණ පාලනය කාන්තාවන් සහිත  දුම්රියක් ධාවනයේ යෙදෙව්වොත්…

1 ධාවකවරිය – හායී ගුඩ්මෝනිග් ඩලා ..

යනුවෙන් ආරම්භ වන එම සටහන මා මෙහි පල කිරීමට නොසිතන්නේ එය මාගේ මූලික ආචාරධර්ම වලට පටහැනි බැවිනි..

එහෙත් කාන්තාවන් වන ඔබ සැම විටම මා මුලින්ම සඳහන් කල අනූ අක්කා මෙන් අභිමානවත් වන්න. අප සමාජ ජාලා වල උලුප්පා පෙන්වන මෝඩ ගැහැනුන් නොව ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දියහැකි ශක්තිමත් එකිනෙකාට ගරු කරන ලොවක් තනන කාන්තාවන් බව ලොවට පෙන්වන්න. අවශ්‍ය මොහොතට ක්‍රියාත්මක වීමට ඔබට ඇති හැකියාව සැමවිට අවියක් කරගන්න.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.