26 April, 2024

Blog

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතිය නව පරම්පරාවේ දේශපාලනය සඳහා නොවේ

ඉසුරු සමරතුංග –

පසුබිම

මෙම ලිපියේ අරමුණ වන්නේ 2022 මාර්තු සිට අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලනික සිදුවීම් (මහජන අරගලය) පිළිබ`‍දව බූපති නලීන් වික්‍රමගේ කතෘත්වය දරන “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” නම් වූ කෘතිය පිළිබඳව විමසීමයි. එලෙස විමසීමක් සිදුකරන්නේ හේතු දෙකක් නිසාවෙනි. පළමු හේතුව නම් කෘතිය ලියන ලද්දේ ‘ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන විචාරශීලීත්වය උදෙසා අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව නිර්මාණය කිරීමේ අරමුණින්’ (පි. 9) යැයි කතෘ සඳහන් කර තිබීමයි. එම අරමුණ තවත් විස්තර කරන කතුවරයා ‘සමකාලීන විකල්ප වාම දේශපාලන සාහිත්‍ය වාග්කෝෂය නුහුරු අයෙකුට වුව ද ඇතුළු විය හැකි උපරිම විවෘතභාවයකින්’ (පි. 117) හා ‘නව පරම්පරාව ඇමතිය හැකි විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කර ගැනීමට’ (පි. 122) කෘතිය රචනා කරන ලද්දේ යැයි සඳහන් කරයි. දෙවන හේතුව නම් කතෘ විසින් 2022 මාර්තු සිට අගෝස්තු දක්වා වූ සිදුවීම් මහජන අරගලයක් ලෙස නොව ‘ජනප්‍රිය නාගරික මධ්‍යම පාන්තික මහජන නැඟීසිටීමක්’ (පි. 111) ලෙස නිගමනය කිරීමයි.

කෘතිය පිළිබඳ විමසා බැලීමේ පළමු හේතුව කතෘගේ අරමුණු (උපරිම විවෘතභාවයකින් යුතු දේශපාලන සාහිත්‍ය වාග්කෝෂයක් භාවිතා කිරීම හා විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කිරීම මගින් ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාව නිර්මාණය කිරීම) මත පදනම් වන බැවින් කෘතිය රචනයේ දී කතෘ භාවිතා කළ භාෂාව හා රචනා ශෛලිය මෙම ලියවිල්ලෙන් විමසා බැලේ.

භාෂාව හා රචනා ශෛලිය විමසීම වැදගත් වන්නේ යම් කතුවරයකුගේ අදහස් නොවෙනස්ව පාඨකයා වෙත සන්නිවේදනය කිරීම රඳා පවතින්නේ කතෘගේ භාෂාව හා රචනා ශෛලිය මත වීමයි. යම් කතෘවරයකු විසින් එම සන්නිවේදන කාර්යය නිසි ලෙස සිදු කිරීමට අසමත් නම් කතෘට ඔහු ඉදිරිපත් කරන සංකල්ප විශ්වසනීයත්වයකින් යුතුව පාඨකයාට ඉදිරිපත් කළ නොහැක. “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කතෘ ඉදිරිපත් කරන මූලික සංකල්ප වන්නේ දේශපාලනය, දේශපාලන ක්‍රියාධරයා හා දේශපාලනික මැදිහත්වීම සිදුකරනා ආකෘතිය යි. මෙම සංකල්ප පිළිබඳ කතෘගේ විග්‍රහය විශ්වාසනීයත්වයකින් තොර වන්නේ එම සංකල්ප පිළිබඳ කතෘගේ සීමා සහිත අවබෝධය කතෘගේ වචන භාවිතාවෙන් ම විද්‍යමාන වන බැවිනි.

ඒ අනුව මෙම ලිපිය මගින් කෘතියේ ඇති භාෂා හා රචනා ශෛලිය විමසා බැලීමෙන් බලාපොරොත්තු වන්නේ දේශපාලන සාක්ෂරතාවය නිර්මාණය කිරීම සඳහා වන විවේචනාත්මක දේශපාලන භාෂාවක් ගොඩ නැංවීමට අවශ්‍ය පළමු සාධකය වන කතෘගේ අදහස් නිරවුල්ව ප්‍රකාශ කිරීමට කතෘ අසමත් වී ඇති බව පෙන්වා දීමයි.

කෘතිය පිළිබද විමසා බැලීමේ දෙවන හේතුව කතෘගේ නිගමනයක් මත පදනම් වේ. එනම් 2022 මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලනික සිදුවීම් ජනප්‍රිය නාගරික මධ්‍යම පාන්තික මහජන නැඟීසිටීමක් ලෙස කතෘ විසින් නිගමනය කිරීමයි.

කතෘගේ ඉහත නිගමනය විවේචනය කිරීමේ දී එය ප්‍රවේශයන් දෙකකින් සිදු කළ හැකිය. පළමු ප්‍රවේශය වන්නේ කෘතිය මගින් යෝජනා කරන අදහස්වලට (නිගමනයන්ට) එරෙහිව වෙනත් රචනාවන් සම්පාදනය කර මහජන අරගලය ජනප්‍රිය නාගරික මධ්‍යම පන්තික මහජන නැඟීසිටීමකට වඩා පුළුල් වූ අරගලයක් බව ප්‍රත්‍ය කිරීමයි. යම් අයෙකු විසින් එවන් රචනා සම්පාදනය කරන්නේ නම් එහිදී සිදුවන්නේ “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ ද සිටිනා කතිකාවේ සිටිමින් ම එම කෘතියේ අදහස්වලට ප්‍රතිපක්ෂව අදහස් ඉදිරිපත් කිරීමයි. අනෙක් ප්‍රවේශය නම් “අප්‍රේල් නැඟිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ ඇති අසංවිධිතභාවය එම කෘතිය තුළින්ම පෙන්වා කතෘගේ නිගමනයන් අසංවිධිත කරුණු මත පදනම් වී ඇති බව පෙන්වා දීමයි. මෙම ලිපිය අනුගමනය කරන්නේ එම දෙවන ප්‍රවේශය යි. කෘතියේ අසංවිධිතභාවය ඇතිවන්නේ කතෘගේ චින්තනයේ සීමාවන් මතුවන අවස්ථාවන්හි දී එය යටපත් කිරීමට කෘතියේ සඳහන් කරුණු මගින් සංදර්භගත නොකරන වචන (ලිහිසි වචන) කතෘ විසින් භාවිතා කිරීම හේතුවෙනි.

මෙම ලිපිය මගින් කෘතියේ අසංවිධිතභාවය පෙන්වීමෙන් යෝජනා කරන්නේ මහජන අරගලය යනු ජනප්‍රිය නාගරික මධ්‍යම පාන්තික මහජන නැඟීසිටීමක් ලෙස කෘතියෙන් ඉදිරිපත් කරන නිගමනය විශ්වාසනීය විශ්ලේෂණයක් මත පදනම් වූවක් නොවන බවට කෘතියේ පාඨකයන්ට දැනවීමයි. එමඟින් “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” විශ්ලේෂණ හා නිගමන කෙරහි පාඨකයාගේ විශ්වාසය පළුදු කිරීමයි.

ඉහත දැක්වූ හේතු ද්විත්වය (කතෘගේ අරමුණු හා කෘතියේ නිගමන දෙස විවේචනාත්මකව බැලීම) මත පදනම්ව මම කෘතිය පිළිබඳ කරුණු දක්වමි.

1. අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් කෘතිය බ්ලොග්කරණයෙන් ග්‍රන්ථකරණයට පරිවර්තනය වී නැත

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කතෘ පළමුව ලිපිපෙළ රචනා කරන්නේ ඔහුගේ බ්ලොග් එක සඳහා ය. එමෙන්ම ලිපි සැලසුම් කළේ ද පොතකට අවශ්‍ය පරිච්ඡේද ආකෘතියෙන් බව කතෘ සඳහන් කරයි (පි. 122-3). කතෘ සිතන්නේ බ්ලොග් එක සඳහා ලියූ දෑ ඒ ආකාරෙයන්ම ග්‍රන්ථයක් සඳහා භාවිතා කළ හැකි බව හා බ්ලොග් රචනා කරන ආකාරෙයන් ග්‍රන්ථ රචනා කළ හැකි බව ය. නමුත් යම් රචනාවක් සංස්කරණයෙන් තොරව බ්ලොග්කරණයෙන් ග්‍රන්ථකරණයට පරිවර්තනය කළ නොහැක. පොත් කියවන්නන්ගේ අපේක්ෂාවන් පිළිබඳව සංවේදී නොවී කතෘ විසින් සංස්කරණය නොකළ බ්ලොග් රචනාවන් පොත් පාඨකයන්ටත් ලබා දේ.

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කතෘ ලේඛනයේ දී ඩිජිටල් මාධ්‍යය සහ මුද්‍රිත මාධ්‍යය අතර වෙනස නොදනී. සමාජ මාධ්‍යය ද ඇතුළත් වන ඩිජිටල් මාධ්‍යයේ දී ඕනෑම කතෘවරයෙක් තමාගේ ලිපි පෙළ වරින් වර පළ කරන අතර ඒවාට කමෙන්ට් කිරීම මගින් පාඨකයා ද තමන්ට අවශ්‍ය නම් කතෘ හා සම්බන්ධ විය හැක. අවම වශයෙන් එවැනි ඉඩක් වත් නොමැති නිසාවත් මුද්‍රිත මාධ්‍යයේ දී කතෘ තමාගේ අදහස් පරස්පරතාවලින් තොරව ඉදිරිපත් කළ යුතුය. ග්‍රන්ථ කතුවරයකුට ඔහුගේ සිතීම් රටාවට පාඨකයා සමපාත කර ගත හැක්කේ පරස්පරතාවලින් තොරව රචනා කිරීමෙනි.

ග්‍රන්ථ කතුවරයකුට ඔහුගේ සිතීම් රටාවට පාඨකයාව ඇතුළු කරගන්නා ප්‍රථම අවස්ථාව පොතක පෙරවදන යි. පෙරවදන මගින් කතෘ සිදුකරන්නේ ඔහුගේ රාමුවට පාඨකයාව හෙමිහිට ඇතුළත් කර ගනිමින් කෘතිය මගින් ගොඩනඟන තර්කනයන් හා නිගමනයන් වටහා ගත යුතු ආකාරය පිළිබඳව පාඨකයා වෙත බලපෑමක් කිරීමයි. (උදාහරණ ලෙස “ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු” කෘතියේ විවිධ සංස්කරණයන් සඳහා ගුණදාස අමරෙස්කර ලියූ පෙරවදන් බලන්න).

යම් කෘතියක පෙරවදන යනු ලේඛකයා විසින් ඔහුගේ ම ලිවීම් දෙස ආපසු හැරී බලා ලියන පරිච්ඡේදයකි. එය පාඨකයා වෙනුවෙන් කරන ආගන්තුක සත්කාරයකි. ලේඛකයා විසින් පාඨකයාගේ අත පළමුවරට අල්ලා ගන්නේ පෙරවදනේ දී ය. එය ලේඛකයාගේ විවෘතභාවයේ අභිනය යි. එහිදී ලේඛකයා විසින් ඔහු සමඟ සංවාදයකට පාඨකයාව සාදරයෙන් පිළිගනී. කෘතිය සමඟ සම්බන්ධ වීමට පාඨකයාට ආරාධනා කරයි. යම් කෘතියක් රචනයේදී ලේඛකයා භාෂාවේ සීමාවන්ට මුහුණ දුන්නේ නම් අර්ථකථන ක්‍රියාවලියට සහභාගී වීමට පෙරවදනෙන් පාඨකයාට ආරාධනා කරයි. “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ මෙම විචාරාත්මක හා නිර්මාණාත්මක අවකාශය අහිමි කර ගනී. එනම් පාඨකයාට අර්ථකථන ක්‍රියාවලියට සම්බන්ධ වීමට කතෘගෙන් විවෘත ආරාධනයක් නැත. නමුත් “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ සඳහන් කරන්නේ කෘතිය රචනා කරන ලද්දේ සමකාලීන විකල්ප වාම දේශපාලන සාහිත්‍ය වාග්කෝෂය නුහුරු අයෙකුට වුවද, ඇතුළු විය හැකි උපරිම විවෘතභාවයකින් බව ය (පි. 117). එය හුදු වාක්‍යයක් පමණක් වන අතර අවම වශයෙන් කතෘ විසින් කෘතියට පෙරවදනක් හෝ සපයා විවෘතභාවය පෙන්වා නැත.

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ පාපොච්ඡාරණයක ස්වරූපයෙන් පසුවදනක් ලියා ඇත. එහි එක් තැනක කතෘ මෙසේ කියයි.

“ x කණ්ඩායම හා බැඳුණු මගේ ආරම්භක දේශපාලන බිම වූයේ සංස්කෘතික දේශපාලනයයි” (පි. 118).

x කණ්ඩායම ලංකාවේ ඇකඩමික් රයිටර්ස්ලා ගැන ඇකඩමික් නොවන ශෛලියකින් විවේචනය කළේ ය. “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ ද එම හයිය එයින් ලැබුවා විය හැකිමුත්, අසංවිධිත රචනා ලිවීමට එය නිදහසට කරුණක් නොවේ. සංවිධිත රචනාවක් යනු කතෘ භාවිතා කරන වචන සංදර්භ ගත කර විස්තර කරන රචනාවකි. එසේ වචන සංදර්භගත කර භාවිතා නොකිරීම මගින් “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ ඉදිරිපත් කරන සංකල්ප පිළිබඳව කතෘගේ සීමා සහිත අවබෝධය විද්‍යමාන වන ආකාරය මීළඟ කොටසින් විමසා බලමු.

2. අප්‍රේල් නැඟිටීම් ගැන අප්‍රේල් සටහන් කෘතියේ කතෘ භාවිතා කරන්නේ ලිහිසි වචනයි

නව පරම්පරාව ඇමතිය හැකි විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් (පි. 122) රචනා කරන මෙම කෘතියේ ඇති ලිහිසි වචන හේතුවෙන් විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කිරීමේ අවකාශය කතෘ අහිමි කර ගනී.

විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කිරීමට නම් පළමුව කතෘට ඔහු විසින් භාවිතා කරන වචන පිළිබඳ ඔහුටම නිශ්චිත අදහසක් තිබිය යුතුය. එහෙත් යම් වචනයක අදහස රචනාව තුළ විචල්‍ය වන්නේ නම් කතෘ ඒ පිළිබඳ සවිඥානික බවට ඉඟියක් පාඨකයාට රචනාව තුළින් ම ලබා දිය යුතුය. එසේ පාඨකයාව දැනුවත් කළ පසු කතෘගේ වචන, සංකල්ප හා විශ්ලේෂණයන් පිළිබඳව කතෘගේ අර්ථ නිරූපනයන් පාඨකයාට ඉදිරිපත් කළ හැක. මෙම කරුණ “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතිය සම්බන්ධයෙන් නිසි ලෙස අවබෝධ කර නොගන්නා අයෙකු විසින් පැවසිය හැකි කරුණක් නම් කෘතියක් මගින් ලේඛකයාගේ මුල් අදහස සොයා යෑම පැරණි තාලයේ වැඩක් බවත්, පාඨකයා විසින් කෘතියේ අදහස්වලට ඔහුගේ අර්ථ නිරූපනයන් ඉදිරිපත් කරන බවත් ය. එහෙත් “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතිය සම්බන්ධයෙන් ඇත්තේ පාඨකයා විසින් අර්ථ නිරූපනයන් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති තත්ත්වයක් නොව කතෘ විසින් ලේඛනයේ ‘බේසික් හයිජින් ෆැක්ටර්ස්’ වත් අනුගමනය නොකිරීමේ ගැටලු‍වකි. පහත දැක්වෙන උපුටනයන් බලන්න.

“අප්‍රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි…. රාජපක්ෂ දේශපාලනය තීරණාත්මක අභියෝගයකට ලක් වී ඇත. මෙය [අරගලය] ඉබේ සිදු වූවක්ද? නැතෙහාත් ස්වයං මහජන (?) නැගිටීමක්ද?” (පි. 1)

කතෘගේ මෙම වාක්‍යය /ප්‍රශ්න නැඟීම අනුව පාඨකයාට ඒත්තුයන්නේ රාජපක්ෂ දේශපාලනය තීරණාත්මක අභියෝගයකට ලක්වීමට බලපෑ අරගලය සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂ කරණු දෙකක් භාවිතයෙන් විග්‍රහ කළ හැකි බවයි. එනම් රාජපක්ෂ දේශපාලනය තීරණාත්මක අභියෝගයකට ලක් කළ අරගලය එක්කෝ ‘ඉබේ සිදු වූවක්’ විය යුතුය නැතහොත් ‘ස්වයං මහජන (?) නැගිටීමක්’ හේතුවෙන් සිදු විය යුතුය. වාක්‍යයක ‘නැතහොත්’ යන වචනය යොදා ගන්නේ සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂයන් පෙන්වීමට යි. ඒ අනුව ඉබේ සිදුවීම සහ ස්වයං මහජන (?) නැගිටීම යනු එකිනෙකට සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂයන් බව කතෘ කියයි. ඉබේ සිදුවීම හා ස්වයං මහජන (?) නැගිටීම යන කරුණු දෙක කතෘ විසින් කෘතියේ කොතැනකවත් සංදර්භගත කර විස්තර කර නැත. එවැනි පසුබිමක ඉබේ සිදුවීම සහ ස්වයං මහජන (?) නැඟිටීම යන හේතු දෙක සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂයන් ලෙස නිරූපනය කර නව පරම්පරාව ඇමතිය හැකි විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කිරීමට කතෘ බලාපොරොත්තු වේ. දේශපාලන භාෂාවක් නිර්මාණය කිරීමට නම් පළමුව කතෘගේ ආස්ථානය අවුලකින් තොරව ඔහුගේ වචනවලින් ප්‍රකාශ කිරීමට කතෘ සමත් විය යුතුය. එවැනි සමත්කමක් “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ නොපෙන්වයි. පහත උපුටනයන් දෙසත් බලන්න.

“දේශපාලනය යනු දේවල් ඉබේ වෙන්න දී බලා සිටීමද? නැතිනම් දැනුවත් මැදිහත්වීම් ද?” (පි. 4)
“දේශපාලනය ඕපපාතිකද? එනම් ඉබේ සිදුවන දෙයක්ද? නැතිනම් ස්වයං සිද්ධිවාචිකද?” (පි.2)

ඉහත උපුටනයන් දෙකෙන් ම පෙන්නුම් කරන්නේ කතෘ දේශපාලනය විස්තර කරන ආකාරය යි. එම වාක්‍ය දෙකෙහි ම ‘නැතිනම්’ යන වචනය භාවිතා කර පාඨකයාට සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂයන් ගෙන හැරපායි.

ඉහත පළමු උපුටනයේ දැක්වෙන අදහස එනම් ‘දේශපාලනය යනු ඉබේ සිදුවන දෙයක්’ නොව දැනුවත් මැදිහත් වීමකි යන පණිවිඩය කතෘ විසින් කෘතිය පුරා සංදර්භගත කර විස්තර කරන බැවින් අවුලක් නැතිව කතෘගේ පණිවිඩය පාඨකයාට සන්නිවේදනය වේ. එහෙත් දෙවන උපුටනයේ දැක්වෙන අදහසේ වාච්‍යාර්ථය නම් ‘දේශපාලනය යනු ඕපපාතික හෙවත් ඉබේ සිදුවන දෙයක්වීම හෝ ස්වයං සිද්ධිවාචිකයක් වීම’ යන්න (‘නැතිනම්’ යන වචනය භාවිතා කරමින් වාක්‍යය ලියා ඇති ආකාරයට අනුව ඉබේ සහ ස්වයං සිද්ධිවාචික යනු සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂයන්ය) කෘතියේ වෙනත් කිසිම තැනක දී සංදර්භගත කර විස්තර කරන්නේ නැත. “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ ප්‍රශ්නකාරී සහ-සම්බන්ධ ප්‍රතිපක්ෂ යොදා පාඨකයාගෙන් අසන ප්‍රශ්න වලංගුතාවක් ඇති ප්‍රශ්න නොවේ. සැබවින්ම කතෘගේ මෙම මුලාව පාඨකයාට වඩාත් තීරණාත්මක ලෙස දැනෙන්නේ කතෘ විසින් වගකීම් විරහිතව චවන භාවිතා කරමින් දේශපාලන සංකල්ප (උදා: නිදහස, අයිතිවාසිකම්) පාඨකයා වෙත විග්‍රහ කිරීමේ දී ය.

සංකල්පවලට අර්ථ ගොඩනැඟීම පිළිබඳව කතෘට ඇති අතිශය සීමා සහිත අවබෝධය ගැන දැන් විමසා බලමු.

සංඥාවකට (උදා: ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය) අර්ථයක් ගොනුවීම පිළිබඳ කතෘට ඇත්තේ අසම්පූර්ණ අවබෝධයකි. එනම් ජාතික කොඩියට (සංඥාවකට) සංකේතීය අර්ථයක් ඇති බව කතෘ පිළිගන්නා මුත් සංඥාවකට අර්ථයන් ජනනය වන ආකාරය පිළිබඳ අවබෝධයක් ප්‍රකට කර නොමැත. කතෘ එලෙස අසම්පූර්ණ අවබෝධයක් මත හිඳිමින් රාජපක්ෂවාදයට එරෙහි නැඟිටීමේ දී ජාතික කොඩිය සංකේතයක් වීම උත්ප්‍රාස දනවන්නක් ලෙස විස්තර කරයි. පහත උපුටනය බලන්න.

“යුද ජයග්‍රහණයෙන් පසුව සමස්ත රටේ නියෝජනයක් වෙනුවට රාජපක්ෂවාදී සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ සංකේතයක් වූ සිංහ කොඩිය ලෙස හැඳින්වෙන ජාතික කොඩියම රාජපක්ෂවාදයට එරෙහි නැඟිටීමේ ද සංකේතයක් වීම නියත ලෙසම උත්ප්‍රාසජනයකය. එහෙත් එමඟින් ජාතිවාදී හෝ ජාතිකවාදී අර්ථ අවසන් වූවා යැයි සිතිය හැකිද?”. කතෘ මෙම ප්‍රශ්නයට පිළිතුරු නොදෙන බැවින් කතෘගේ පිළිතුර ‘නැත’ යැයි උපකල්පනය කිරීම පාඨකයාට පැවරේ–” (පි. 77).

මෙම උධෘතය විස්තාරණය කිරීමේ දී, ජාතික කොඩිය/සිංහ කොඩිය නම් වූ සංඥාවට කතෘ විසින් අර්ථ ගොනුකරන ආකාරය හ‍ඳුනා ගත හැකිය. කතෘට අනුව යුධ ජයග්‍රහණයට පෙර ජාතික කොඩිය/සිංහ කොඩිය සමස්ත රටේ නියෝජනයක් වූයේ ය (මෙම ප්‍රකාශය කතෘගේ උපකල්පනයකි). එහෙත් යුධ ජයග්‍රහණයෙන් පසුව ජාතික කොඩිය/සිංහ කොඩිය සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ සංකේතයක් වූයේ ය. මෙය යුධ ජයග්‍රහණය නම් සිදුවීමේ ප්‍රතිඵලයක් බැවින් කතෘගේ උපකල්පනයකට සම්බන්ධ නැත. ඊළඟට ජාතික කොඩිය/සිංහ කොඩිය රාජපක්ෂවාදයට එරෙහිව නැඟිටීම්වල සංකේතයක් වූයේ ය. මෙය අරගලය නම් වූ සිදුවීමේ ප්‍රතිඵලයක් බැවින් කතෘගේ උපකල්පනයකට සම්බන්ධ නැත. මෙම අවස්ථා දෙකේ දී ම ජාතික කොඩිය/සිංහ කොඩිය සඳහා අර්ථයන් ගොනු කරන ලද්දේ මහජන සහභාගිත්ව සහිත සිදුවීම් මගිනි. එනම් ජාතික කොඩිය/සිංහ කොඩියට (සංඥාවකට) අර්ථ ගොනු කරන්නේ මහජන සහභාගිත්ව සහිත සිදුවීම් මගිනි.

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ රාජපක්ෂවාදයට එරෙහි නැඟිටීමේ ද ජාතික කොඩිය/සිංහ කොඩිය සංකේතයක් වීම උත්ප්‍රාස ජනකයැයි පවසන්නේ යුද ජයග්‍රහණයෙන් පසුව සමස්ත රටේ නියෝජනයක් වෙනුවට රාජපක්ෂවාදී සිංහල බෞද්ධ දෘෂ්ටිවාදෙය් සංකේතයක් බවට ජාතික කොඩිය පත්වූ බව පවසමිනි. කතෘට අනුව ජාතික කොඩියට (සංඥාවකට) ඇත්තේ එක් පරම අර්ථයක් පමණි. එනම් ඔහුට අනුව ජාතික කොඩියේ (සංඥාවක) පරම අර්ථය නම් යුධ ජයග්‍රහණයෙන් පසුව ජාතික කොඩිය /සිංහ කොඩිය සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ සංකේතයක් වීම මගින් කොඩියට (සංඥාවට) ලබා දුන් අර්ථය යි. එම පරම අර්ථයෙන් වෙනස්ව ජාතික කොඩියට (සංඥාවකට) මහජන සහභාගිත්වයක් සහිත සිදුවීමක් මගින් (එනම් අරගලය මගින්) තවත් අර්ථයක් ගොඩනැඟෙන විට කතෘ ඒ දෙස බලන්නේ උත්ප්‍රාසයෙනි. එසේ උත්ප්‍රාසයක් කතෘට දැනෙන්නේ සංඥාවකට අර්ථ ගොනුවීමේ ක්‍රියාවලිය පිළිබඳව කතෘගේ අසම්පූර්ණ අවබෝධය නිසාවෙනි. ඔහුගේ අවබෝධයට අනුව සංඥාවකට තිබිය හැක්කේ එක් පරම අර්ථයක් පමණි. එම අර්ථයෙන් බැහැරව මහජන ක්‍රියාකාරීත්වයකින් සංඥාවකට අර්ථයක් ගොඩනංවන විට කතෘට එය උත්ප්‍රාසජනක ක්‍රියාවකි.

ඉහත පෙන්වා දෙන ලද්දේ කතෘගේ තිංග්කිංග් එකේ අවුලකි. ඒ අවුල ජාතික කොඩිය ගැන ඔහුගේ විස්තරයට පමණක් සීමා වූවක් නොව දේශපාලනය පිළිබඳ ඔහු කරන විස්තරයට ද, අදාළ ය. ඒ බැව් පහත කොටසින් පෙන්වා දෙනු ඇත.

3. “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ දේශපාලනය පිළිබඳ ඉදිරිපත් කර ඇති විස්තර අවිශ්වසනීය යි

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියට යොදා ගන්නේ බ්ලොග් සඳහා ලියන ලද ලියැවිලිය. දේශපාලනය, දේශපාලන ක්‍රියාධරයා හා දේශපාලනික මැදිහත්වීම සිදුකරනා ආකෘතිය යනු කුමක්දැයි බ්ලොග් පෙළෙහි තැනින් තැන ලියා ඇති දෑ එක පෙළට ගෙන විමසා බලමු. එවිට දේශපාලනය නම් වූ සංකල්පය විග්‍රහ කරන කතෘගේ ආස්ථානය පාඨකයාට පැහැදිලි වේ.

පහත දැක්වෙන පළමු උධෘතය කතෘ ලියන්නේ 2022 අප්‍රේල් හත්වන දා ය. ඒ මෙසේ ය.

“දේශපාලනය යනු වෘත්තීය භාවිතයකි. මෙහිදී වෘත්තීය යන්නෙන් අදහස් වන්නේ රස්සාවක් නොව, විශේෂඥ භාවිතයකි. වාමාංශික දේශපාලනයේදී නම් ‘ක්‍රියාධරයා’යනු එවන් විශේෂඥෙයෙකි. දේශපාලන විශේෂඥයකු වීමට මූලිකම සාධකයක් වන්නේ දේශපාලන චින්තනයේ අත්පත් කරගන්නා විශේෂඥභාවය යි. දේශපාලන ක්‍රියාව එන්නේ එම විශේෂඥ සිතුවිල්ලට පසුව විය යුතුය”. (පි. 9)

ඉහත උධෘතයට අනුව පුද්ගලයකු, ‘ක්‍රියාධරයකු’ (දේශපාලනික ක්‍රියාධරයකු) බවට පත්වීමට නම් පළමුව විශේෂඥ සිතුවිල්ලක් තිබිය යුතු අතර කතෘට අනුව විශේෂඥ සිතුවිල්ල හා දේශපාලන චින්තනය පිළිබඳ ලබා ගන්නා විශේෂඥතාව යනු සමාන ප්‍රස්තුතයන් ය. (ඉහත උධෘතයේ අවසාන වාක්‍යය හා ඊට පෙර වාක්‍යය දෙස බලන්න).

දැනට පවත්නා භාෂා ව්‍යවහාරය අනුව විශේෂඥතාවක් යනු යම් පුද්ගලයකු විසින් අධ්‍යාපනයක්, පුහුණුවක් හෝ දීර්ඝ කාලයක් එකම කාර්යයේ නියැළීම මගින් යම් කාර්යයක් කිරීම සඳහා ලබා ගන්නා හැකියාවකි.

විශේෂඥ සිතුවිල්ල හා චින්තනයේ අත්පත් කරගන්නා විශේෂඥභාවය අතර වෙනසක් ඇති බව කතෘ සඳහන් නොකරයි. එහෙත් සිංහල භාෂා ව්‍යාහාරයේ සිතුවිල්ල හා චින්තනය යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් විග්‍රහය සඳහා යොදා ගන්නා වචන දෙකකි. උදාහරණ ලෙස සිතුවිල්ල හා චින්තනය යන පද දෙකට විශේෂණ පද යොදා එම පදවලින් ඇඟවෙන අර්ථයන් විමසා බලමු. උදා : දහම් සිතුවිල්ල, පෙරදිග චින්තනය, නලීන් ද සිල්වා සිංහල භාෂාවෙන් විස්තර කරන බටහිර චින්තනය. ඒ අනුව සිතුවිල්ල සහ චින්තනය යන වචනයන් භාෂාවේ යෙදෙන්නේ එකිනෙකට වෙනස් අර්ථයන් ජනනය කිරීමට ය. සිතුවිල්ල යන වචනය වඩා සමීප වන්නේ ආත්මීය කරුණු සඳහා වන අතර චින්තනය තනි පුද්ගලයෙකුගේ ආත්මීය හැඟීමට වඩා පුළුල් අර්ථයක් භාෂා ව්‍යාවහාරය තුළ ස්ථාපිත වී ඇත.

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘ සිතුවිල්ල හා චින්තනය අතර ඇති වෙනස මකා දමමින් විශේෂඥතාව යන විශේෂණ පදය සිතුවිල්ල හා චින්තනය යන වචන දෙකට ම භාවිතා කරයි. දේශපාලන චින්තනයේ අත්පත් කරගන්නා විශේෂඥතාවය යනුවෙන් කතෘ සඳහන් කරන ක්‍රියාවලිය දැනට පවත්නා භාෂා ව්‍යවහාරය තුළින් පාඨකයාට සන්නිවේදනය කළත්, විශේෂඥ සිතුවිල්ල යනු කුමක්දැයි දැනට පවත්නා භාෂා ව්‍යවහාරය තුළ පූර්ණ ලෙස අර්ථ ගන්වා නැත. එනම් කතෘගේ අදහස පාඨකයාට ඒ ලෙසින් ම සන්නිවේදනය නොවේ. කතෘ විසින් මෙතැන දී කළ යුතුව තිබුණේ විශේෂඥ සිතුවිල්ල යනු කුමක් දැයි පාඨකයාට විග්‍රහ කිරීමයි.

කතෘ කෘතිය පුරා විශ්ලේෂණය කරන්නේ දේශපාලනයයි. එය ඔහුගේ ප්‍රාමාණික සංකල්පය යි. එම නිසා කතෘ විසින් දේශපාලනය විස්තර කිරීමේ දී එය ඉතා සීරුමාරුවෙන් කළ යුතු දෙයක් වන්නේ ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාවය නිර්මාණය කිරීමත්, නව පරම්පරාව ඇමතිය හැකි විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කිරීමත් වගකීමක් ලෙස කතෘ තම කර පිටට ගන්නා බැවිනි.

දේශපාලන ක්‍රියාධරයකු බිහිවන විශේෂඥ සිතුවිල්ල පිළිබඳ අප්‍රේල් හත්වනදා විස්තර කළ කතෘ ජුනි 17 වන දින පහත දැක්වෙන අදහස ඉදිරිපත් කරන්නේ දේශපාලනය රැඩිකල්ව වෙනස් කිරීමට කටයතු කරන්නෙකු (ක්‍රියාධරයකු) විස්තර කිරීමට යි.

“දේශපාලනය රැඩිකල්ව හෙවත් පදනම් සහගතව වෙනස් කිරීමට අවශ්‍ය නම් කළ යුතු පළමු පියවර වන්නේ දේශපාලනය යනු සිය ආශාව හා බැඳුණු ප්‍රස්තුතයක් ලෙස සැලකීමයි. සමාජයේ රැඩිකල් වෙනසක් බලාපොරොත්තු වන්නෙකුට දේශපාලන වගකීම අනෙකකුට බාර දිය නොහැක. ඊට නියෝජිතයන් නොමැත. කළ යුත්තේ ඔබ දේශපාලනය කිරීමයි.

අයෙක් මෙසේ දේශපාලනිකව සංවිධානය වන්නේ නම් එසේ කිරීමට අවශ්‍ය වන මූලික තත්ත්වය වන්නේ දැනටමත් පවතින සමාජය අසම්පූර්ණ එකක් වීමයි”. (පි. 103-4)

ඉහත උධෘතය දේශපාලනය රැඩිකල්ව වෙනස් කිරීමට අවශ්‍ය පළමු පියවර හා දේශපාලනිකව සංවිධානය වීම පිළිබඳවය. මෙම කරුණු දෙක විමසා බලමු.

3.1 දේශපාලනය රැඩිකල්ව වෙනස් කිරීමට අවශ්‍ය පළමු පියවර

දේශපාලනය රැඩිකල්ව වෙනස් කිරීමට (කතෘ මෙහිදී සඳහන් කරන්නේ සමාජය රැඩිකල්ව වෙනස් කිරීමක් නොව දේශපාලනය රැඩිකල්ව වෙනස් කිරීමක් පිළිබඳවයි) අවශ්‍ය පළමු පියවර ලෙස දේශපාලනය යනු සිය ආශාව හා බැඳුණු ප්‍රස්තුතයක් ලෙස සැලකීම අවශ්‍ය බව කතෘ පවසයි.

අප්‍රේල් හත්වන දා කතෘ ඉදිරිපත් කළ දේශපාලන ක්‍රියාධරයකු වීමට අවශ්‍ය මූලික සාධකය වන විශේෂඥ සිතුවිල්ල (පි. 9) පිළිබඳ අදහස සහ ජුනි 17 වන දින සඳහන් කරන දේශපාලනය යනු ආශාව හා බැඳුණු ප්‍රස්තුතයක් යැයි (පි. 103-4) කතෘ ඉදිරිපත් කරන අදහස මෙම කෘතියේ පදනම් ප්‍රස්තුතයන් ලෙස පාඨකයාට හැඟෙන්නේ එය දේශපාලන ක්‍රියාධරයා පිළිබඳවත් දේශපාලනය රැඩිකල්ව වෙනස් කිරීම පිළිබඳවත් සඳහන් කරන බැවිනි. ඒ අනුව කතෘ විසින් පාඨකයාට තව තවත් විස්තර කළ යුත්තේ විශේෂඥ සිතුවිල්ල හා ආශාව යනු කුමක්ද යන්නයි. ඒවා අතර ඇති අ/සම්බන්ධය යි. ආකාස කුසුම් සේ එක එක වචන පාඨකයාට පෙන්නුවාට කතෘගේ ලේඛනයේ අවුල ඉන් වසා ගත නොහැක.

“අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” කෘතියේ කතෘගේ එක් අරමුණක් වන්නේ සමකාලීන විකල්ප වාම දේශපාලන සාහිත්‍ය වාග්කෝෂය නුහුරු අයෙකුට වුවද, ඇතුළු විය හැකි උපරිම විවෘතභාවයකින් කෘතියක් රචනා කිරීමත්, නව පරම්පරාව ඇමතිය හැකි විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කිරීමත් ය. කතෘගේ අරමුණ ඔහුගේ පාඨකයා සමග සංවාදයක් නම් එය කලහැක්කේ කෘතිය පුරා විටින් විට අමුතු වචන හා සංදර්භ රහිතව සංකල්ප ඉදිරිපත් කිරීමත් නොව කතෘත් පාඨකයාත් අතර සමසිත් ඇතිවන ආකාරයේ ලේඛන ශෛලියකිනි.

3.2 දේශපාලනිකව සංවිධානය වීම

පහත උධෘතය දෙස නැවතත් යොමුවෙමු.

“සමාජයේ රැඩිකල් වෙනසක් බලාපොරොත්තුවන්නෙකුට දේශපාලන වගකීම අනෙකෙකුට බාර දිය නොහැක. ඊට නියෝජිතයන් නොමැත. කළ යුත්තේ ඔබ දේශපාලනය කිරීමයි.

අයෙක් මෙසේ දේශපාලනිකව සංවිධානය වන්නේ නම් එසේ කිරීමට අවශ්‍ය වන මූලික තත්ත්වය වන්නේ දැනටමත් පවතින සමාජය අසම්පූර්ණ එකක් වීමයි.” (පි. 104).

කතෘ සඳහන් කරන්නේ සමාජයේ රැඩිකල් වෙනසක් බලාපොරොත්තු වන්නෙකු විසින් එම වගකීම වෙන අයෙකුට බාර නොදී තමන් විසින් ම දේශපාලනය කළ යුතු බවයි. දැන් උධෘතයේ දෙවන ඡේදය විමසමු. එය ආරම්භ කරන්නේ ‘මෙසේ දේශපාලනිකව සංවිධානය වන්නේ නම්’ කියමිනි. කතෘ සඳහන් කරන මෙසේ යනු කුමක්දැයි අර්ථගන්වන්නේ එම වචනයට කලින් කතෘ ලියා ඇති දෑ මගිනි. එනම් කළ යුත්තේ “ඔබ දේශපාලනය කිරීමයි” යන්නයි. දැන් පාඨකයාට පෙනෙන්නේ ‘කළ යුත්තේ ඔබ දේශපාලනය කිරීමයි’ යන ප්‍රකාශය හා ‘මෙසේ සංවිධානය වීම’ අතර ඇති හිඩැස යි. එනම් කතෘ බලාපොරොත්තු වන ආකාරයට දේශපාලනිකව සංවිධානය වන්නේ කෙසේ ද යන්න කතෘ විස්තර කර නොමැති කමයි. මෙය හුදු රචනාවේ අතපසු වීමක් නොව කතෘගේ අදහස්වල ඇති හිඩැස යි.

මෙම හිඩැස දිස්වන තවත් අවස්ථාවක් ‘කළ හැක්කේ කාටද?’ නමින් කතෘ සිදුකරන විස්තරයේ දැක්වේ. උපුටනය පහත පරිදිය.

“දේශපාලනයේ වැදගත්ම සාධකයක් වන්නේ දේශපාලනික මැදිහත්වීම සිදුකරනා ආකෘතිය නිර්මාණය කිරීමයි. මෙය කිසිසේත්ම සරල නැත.” (පි. 104-5)

මෙම ප්‍රකාශනයේ පාඨකයාගේ අවධානය යොමු කළ යුතු කොටස නම් ‘මැදිහත්වීම සිදුකරනා ආකෘතිය නිර්මාණය කිරීම’ යන්නයි. මන්දයත් කෘතිය පාඨකයාට කියාදෙන්නේ දේශපාලන මැදිහත්වීම සිදුකරනා ආකෘතිය නිර්මාණය කරන්නේ කෙසේද යන්නයි. එම කාර්යය සරල නැති බව පවසන කතෘ එම ආකෘතිය පිළිබඳ කිසිවක් ඉන් පසු නොලියයි. එබැවින් කතෘ සඳහන් කළ ආකෘතිය පිළිබද පාඨකයාට මෙතැන් පටන් ඇත්තේ උපකල්පන පමණි. නමුත් කතෘ විසින් වෙනත් විස්තරයකින් එතැනදී ම එම හිඩැස වසා දැමීමට උත්සාහ දරයි. කෘතියේ පිටු අංක 105 සිට 108 දක්වා ඇත්තේ එම විස්තරය යි.

එම විස්තරයෙන් පෙන්වා දෙන්නේ අසාර්ථක වී ඇති දේශපාලනික මැදිහත්වීම සිදුකරනා ආකෘතිය නිර්මාණය කිරීමේ උත්සාහයන්හි යෙදෙන්නන්ගේ ලැයිස්තුවකි. එම ලැයිස්තුව මෙන්න (මෙම ලැයිස්තුව සැකසීමේ දී කතෘ භාවිතා කළ වචන/විශේෂණ පද ඒ ආකාරෙයන් ම භාවිතා කර ඇත): තනි තනි පුද්ගලයන්, දේශපාලන පක්ෂ, සමාජ ව්‍යාපාර, වෘත්තීය සමිති, බහුජන දේශපාලන බලෙව්ග, නව සමාජ ව්‍යාපාර, බහුජන ව්‍යාපාර, කුඩා කණ්ඩායම්, ලිබරල් බුද්ධිමය කව, කුඩා වාමාංශික පක්ෂ, ඊනියා විකල්ප දේශපාලනය තුළ නියැළෙන පිරිස්, ඊනියා පඩි ලබන ක්‍රියාධරයන් (මෙය පඩි ලබන ඊනියා ක්‍රියාධරයන් ලෙස විශේෂණ පදයේ ස්ථානය වෙනස් කළහොත් කතෘගේ පණිවිඩය නිවැරදිව සන්නිවේදනය වන්නේය. එහෙත් මෙම ග්‍රන්ථයේ කතෘ ඊනියා වචනය මෙන්ම වෙනත් වචනද ඒවායේ අර්ථයන් ග්‍රන්ථය තුළ සංදර්භගත නොකර පාවිච්චි කරන බැවින් ඊනියා පඩි ලෙසම ඉහත ලැයිස්තුවේ දැක්වීමි).

මෙහිදී පඩි ලබන ඊනියා ක්‍රියාධරයන් පවා විවේචනය කරන කතෘවරයා ඔක්‍යුපයි මූව්මන්ට්ස් ආකෘතිය විවේචනය නොකිරීම පාඨකයාට විශ්මය දනවන කරුණකි. අවම වශයෙන් ඔක්‍යුපයි මූව්මන්ට්ස් යනුවෙන් මහජනයා විසින් දේශපාලනික මැදිහත්වීම් සිදු කළ හැකි ආකාරයක් ඇති බවවත් කතෘ නොදනී. කතෘ එවැනි මූව්මන්ට්ස් හඳුන්වන්නේ ‘වීදි උද්ඝෝෂණ’ ලෙස (පි. 2) සහ ‘ඉතා ඉහළ භූ දේශපාලන වටිනාකමක් ඇති ඉඩම් සහිත කුඩා තීරුවක ‘ගෝඨා ගෝ ගම’ නම් අන්වර්ථ නාමයෙන්, “අප්‍රේල් නැඟිටීම්” හරහා භෞතික කේන්ද්‍රයක්’ ගොඩනැංවීමක් (පි. 67) ලෙසය. කතෘ විසින් ඔක්‍යුපයි මූව්මන්ට්ස් භෞතික කේන්ද්‍රයක් ලෙස නම් කිරීම කතෘගේ දේශපාලන භාෂාවේ කෘෂභාවය මෙන්ම දේශපාලන සංකල්පීය දරිද්‍රතාවය ද පෙන්නුම් කරයි. මිනිසුන් තම ක්‍රියාවන් මගින් භෞතික දෑ මහජන අවකාශ බවට පත් කරයි. භෞතික පරිසරයක මානව ක්‍රියාවන් විශ්ලේෂණය යනු එම මහජන අවකාශය විශ්ලේෂණය කිරීමයි; භෞතික පරිසරයට මහජනයා දෙනු ලබන අර්ථනිරූපනය විශ්ලේෂණය කිරීමයි. නමුත් කතෘ ගෝල්ෆේස් දකින්නේ භෞතික කේන්ද්‍රයක් ලෙස පමණි, එහි ඇති මහජන අවකාශය නොදකී. කතෘගේ මෙම අසම්පූර්ණ අදහස් දැක්වීම තවත් උදාහරණයකින් විමසා බලමු.

කතෘ විසින් ඉදිරිපත් කරන ‘දේශපාලනික මැදිහත්වීම සිදුකරනා ආකෘතිය’ නිර්මාණය කිරීමේ අසාර්ථක උත්සාහයන්හි යෙදෙන්නන්ගේ ලයිස්තුවෙන් දේශපාලන පක්ෂ තෝරාගෙන දේශපාලනිකව සංවිධානය වීම පිළිබද කතෘ ගෙන එන විවේචනය විමසා බලමු.

“විසි වැනි සියවසේ ඉදිරිපත් වූ සාමූහික දේශපාලන පක්ෂ ආකෘති බොහොමයක් කෙළවර වූයේ ඒකාධිපතිවාදයන් හෝ නිලධාරීවාදයන් ලෙසිනි. පළමු හා දෙවැනි ලෝක යුද්ධවල සිට සෝවියට් දේශය බිඳවැටීම දක්වා දිගු හා සංකීර්ණ ඉතිහාසයකට මේ තත්වය උරුමකම් කියයි. එතැන් පටන් උරුම වූ දේශපාලනය වූයේ සභාගවාදයකි. මහා පරිමාණ වාමාංශික දේශපාලනය පක්ෂ වෙනුවට විශේෂයෙන් වෘත්තීය සමිතිවාදයන්ට වම සීමා වූ අතර …” (පි. 106).

ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලනික මැදිහත්වීම සිදුකරනා ආකෘතියක් ලෙස දුර්වල නම්, කතෘ විසින් විවේචනය යොමු කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් ස්වරූපයක් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් වූ දේශපාලන පක්ෂවල කාර්යයන් පිළිබඳව නොව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ හා ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ ස්වරූපයන් වෙතටය. එනම් අවම වශයෙන් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය, සවිඥානික ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පයන්ගේ මූලික ලක්ෂණ කතෘ විසින් විවේචනය කළ යුතුව තිබුණි.

නව පරම්පරාව ඇමතිය හැකි විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කර ගැනීම අරමුණු කරගත් කතෘට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇත්තේ අනුභූතික කරුණුවල උදව්වෙන් යන්තම් ගැටගසා ගත් විවේචනයක් පමණි. එහෙත් කතෘ මහජනයාට චෝදනා කරන්නේ ‘භූ දේශපාලනය ආදී කාරණා පිළිබඳව වගේ වගක් නැතිව’ (පි. 67) ගෝල්ෆේස් ආ බවය. මහජනයා ඔවුන්ගේ ‘මහජන ස්වරූපය’ පවත්වාගෙන යන්නේ ම අනුභූතික කරුණුවලට සංවේදී වීමෙන් වූවත් ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාවය වර්ධනය කිරීමේත් දේශපාලනය පිළිබඳව විවේචනාත්මක භාෂාවක් නිර්මාණය කිරීමේත් නියුතු කතෘ අනුභූතික කාරණාවලින් පමණක් ඔහුගේ විවේචනය ඉදිරිපත් කිරීම නම් නොපනත් ය.

4. කතෘට අනුව සයිටම් විරෝධය අරගලයකි; 2022 අප්‍රේල් සිට අගෝස්තු දක්වා වූ සිදුවීම් යනු නැඟිටීමක් පමණි

කෘතියේ කතෘ ඉතා පරිස්සම් සහගතව භාවිතා කළේයැයි සඳහන් කරන වචන දෙකක් නම් නැඟිටීම් හා අරගලය යි. පහත උධෘතය බලන්න.

“අප්‍රේල් නැඟිටීමට මේ ලිපි මාලාව තුළ සවිඥානිකවම අරගලය නම් යෙදුම භාවිතා නොකොට නැගිටීම් නම් යෙදුම භාවිත කළේ සමාජය සංවිධානය වී ඇති පුද්ගලවාදය, ජාතිකවාදය, ප්‍රභූවාදය, දේශපාලන ආර්ථිකය, භූ දේශපාලනය, ජනප්‍රියවාද ආදී කිසිදු දේශපාලන ප්‍රපංචයක් පදනම් සහගත ලෙස ප්‍රශ්න කිරීමක් හෝ ඒවා ඉලක්කගත සංවිධානාත්මක ‘අරගලයක්’ 2022 අප්‍රේල් නැඟිටීම තුළ නිරීක්ෂණය කළ නොහැකි නිසාය” (පි. 110-1).

කතෘට අනුව නැඟිටීම් යනු පුද්ගලවාදය, ජාතිකවාදය, ප්‍රභූවාදය, දේශපාලන ආර්ථිකය, භූ දේශපාලනය, ජනප්‍රියවාදය ආදී දේශපාන ප්‍රපංචයන් පදනම් සහගතව ප්‍රශ්න නොකරන ව්‍යාපාර වන අතර, එවැනි ව්‍යාපාර අරගල වීමට නම් පෙර දැක්වූ දේශපාලන ප්‍රපංචයන් පදනම් සහගත ලෙස ප්‍රශ්න කළ යුතුය. ඒ අනුව නැඟිටීම් යනු තීව්‍රතාවයෙන් අඩු ව්‍යාපාර වන අතර අරගල යනු වැඩි තීව්‍රතාවයක් ඇති ව්‍යාපාර වේ. කතෘ මෙතැන දී නැඟිටීම් හා අරගල යනු මොනවා දැයි සංදර්භගත කරමින් විස්තර කරයි.

එම සංදර්භගත කිරීමට අනුව ලංකාවේ සිදුවූ සුවිශේෂී අරගලය වන්නේ සයිටම් විරෝධයයි. පහත උධෘතය බලන්න.

“අධ්‍යාපනය පුද්ගලීකරණය ලංකාවේ සියලු‍ මූලික ධනේශ්වර පක්ෂවල මෙන්ම ගෝලීය ධනවාදයේ ද අවශ්‍යතාවයක් වන නමුත් ලංකාවේ දී ඒ අරගලය ජයග්‍රහණය කළේ …” (පි. 114).

කතෘට සයිටම් විරෝධය අරගලයක් වන බැවින් එම විරෝධය තුළ පුද්ගලවාදය, ජාතිකවාදය, ප්‍රභූවාදය, දේශපාලන ආර්ථිකය, භූ දේශපාලනය, ජනප්‍රියවාදය ආදී දේශපාලන ප්‍රපංචයන් පදනම් සහගතව ප්‍රශ්න කිරීමක් එම විරෝධතා සමයේ දී සිදු වී ඇත. දැන් පාඨකයා කතෘගෙන් බලාපොරොත්තු වන්නේ සයිටම් විරෝධය තුළ තිබූ අරගල ලක්ෂණ තව තවත් විස්තර කිරීමයි. එය 2022 අප්‍රේල් සිට අගෝස්තු දක්වා වූ සිදුවීම්වලට වඩා උත්කර්ෂවත් වන ආකාරය විග්‍රහ කිරීමයි.

එහිදී පහත දැක්වෙන දියසෙන් ලක්ෂණ සහිත ක්‍රියාධරයන්ව නිරායාසෙයන් ම උද්ධීපනය වනු ඇත.

“නැවතත් දේශපාලනයේ අවසන් සත්‍යය දන්නා බාහිර අනෙකෙකු හෝ දේශපාලනය චාරිත්‍රයක් බවට ඌනනය වූ සමකාලීන පක්ෂ ආකෘතිය වෙනුවට දේශපාලනය ආත්මීය අනුරාගයක් කරගත් න්‍යායික හා භාවිත තලයන්හි තියුණු නව ආකෘතියක ක්‍රියාධරයන්…” (පි. 114).

කතෘ විසින් ඉහත ප්‍රකාශය සිදු කරන්නේ කෘතිය පුරාවට ඔහු විසින් සිදුකරන ලද විශ්ලේෂණයේ සාරාංශයක් ලෙසිනි. ඒ අනුව කතෘ සිතන්නේ ඔහු සමකාලීන පක්ෂ ආකෘතිය (සැබැවින්ම පක්ෂ ආකෘතිය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ එක් විධික්‍රමයක් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් එක් අංගයක් පමණි) විවේචනය කිරීම මගින් න්‍යායික හා භාවිත තලයේ තියුණු නව අකෘතියක් පෙන්වා දුන් බවයි. එම තියුණු නව ආකෘතියට ක්‍රියාධරයන් අවශ්‍ය බව කතෘ සඳහන් කරයි. එහෙත් එවැනි නව ආකෘතියක් හෝ එවැනි නව ආකෘතියක් නිර්මාණය කිරීම ගැන න්‍යායික විග්‍රහයක්වත් කතෘ කෘතියේ කොතැනකවත් පාඨකයාට ඉදිරිපත් කර නැත. කතෘට අනුව සයිටම් විරෝධී අරගලෙය් ක්‍රියාධරයන් හැර නව ආකෘතියක ක්‍රියාධරයන් ඇත්තේ ද නැත.

මන්දයත්, කතෘට අනුව මහජනයා නිදහස කියන්නේ පරිභෝජනයට ඇති නිදහසයි. අයිතිය කියන්නේ පරිභෝජනයට ඇති අයිතියයි (පි. 26). කතෘ දකින මහජනයාට ඇත්තේ (එක් තැනකදී කතෘ මහජනයා අමතන්නේ ජහමනයා (පි. 8) ලෙසිනි) පරිභෝජනවාදී අපේක්ෂා පමණක් වන අතර නිදහස හා අයිතිවාසිකම් පිළිබද පුළුල් අර්ථයක් ඔවුන්ට නොමැත. මෙය කතෘ විසින් ඔහු වෙත ආරෝපණය කර ගන්නා අධිපතිත්වය මත හිඳ කරන ප්‍රකාශයකි. මහජන ක්‍රියාකාරීත්වයක් මගින් නිදහස හා අයිතිය යන සංකල්පයන්ට මහජනයා විසින් ම අර්ථ ගෙනු කරන බවට කතෘට අවබෝධයක් නොමැත. කතෘ කෘතිය රචනා කරන්නේ ම ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන විචාරශීලීත්වය උදෙසා අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව නිර්මාණය කිරීමේ (පි.9) සමාරම්භක ශක්‍යතාව ඔහුට ඇතැයි අධිතක්සේරුවෙනි. එමෙන් ම නව පරම්පරාව ඇමතිය හැකි විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කර ගැනීමට යි (පි. 122).

මෙම ලිපිය මගින් නිශ්චිතව පැවසිය හැකි කරුණ නම් “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” නම් වූ කෘතිය නව පරම්පරාව ඇමතිය හැකි විවේචනාත්මක දේශපාලන භාෂාවක් නිර්මාණය කර නැති බවයි. කතෘ තමාගේ දේශපාලන ආස්ථානය නිරවුල් භාෂා භාවිතයකින් විස්තර නොකරන කෘතියකින් විවේචනාත්මක දේශපාන භාෂාවක් ගොඩනැංවිය නොහැකි නිසා නව පරම්පරාවට නම් කෘතියෙන් ගත යුත්තක් නැත.

එහෙත් මෙම ලිපිය මගින් ප්‍රාර්ථනා කරන්නේ, “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්” නම් වූ කෘතියේ අදහස් පිළිගන්නා වෙනත් මහජනතාවක් (උදා. කොණ්ඩෙ බැඳපු චීන්නු) කතෘට මුණ ගැසේවා යන්නයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.