Colombo Telegraph

අළුත්ගමින් පසු ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සන්ධිස්ථානයක

ඉසෙත් හුසේන්

ඉසෙත් හුසේන්

ජුනි 15 වැනි දා සහ ඉන් පසුව ගතවූ දිනවල අළුත්ගම සහ බේරුවල ප‍්‍රදේශයේ ඇති වූ මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයෙන් පසු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රශ්නය නව අදියරකට පිවිස තිබේ. එකී මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයට ආණ්ඩුවෙන් ලැබුණු දුස්-සහාය ගැන අළුතෙන් පැහැදිළි කරදීමක් අවශ්‍ය නොවන තරමට දැන් ප‍්‍රසිද්ධ ය. ඇත්තෙන්ම එය, යුදෙක් සහාය දැක්වීමකට වැඩි දෙයකි. සිදුවූ ඒ දේවල් නිවැරදිව හැඳින්විය යුත්තේ, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ආණ්ඩුව ගෙන ගිය ජාතිවාදී ප‍්‍රහාරයක් වශයෙනි. මෙය අළුත් දෙයක් නොවේ. දැන් අවුරුදු ගණනක් තිස්සේ මේ ක‍්‍රියාකලාපය දියත් වෙමින් තිබුණි. අළුත් දෙයකට ඇත්තේ, මෙවර මුස්ලිම් ව්‍යාපාරික ප‍්‍රජාවට සැලසුම් සහගතව පහර දීමයි. එය මීට පෙර ලිපිවල මා පෙන්වා දී ඇති ජාතිවාදී න්‍යාය පත‍්‍රය සමග මනාව සැසඳෙයි. මේ පරමාදර්ශී න්‍යාය පත‍්‍රයට අනුව, සමාජ ධූරාවලි ව්‍යුහයේ ඉහළින්ම සිටිය යුත්තේ සිංහලයන් ය. වැඩියත්ම, සිංහල-බෞද්ධයන් ය. එම වැඩපිළිවෙල තුළ, දෙමළ ජනයාව පාගා දැමීමක් අවශ්‍ය කෙළේය. දැන්, මුස්ලිම් ජාතිකයාගේ වාරයයි. ඉහතින් මා සටහන් කරන ලද දේවල්, සැබවින්ම, පවතින තත්වය පමණට වඩා සරළ කොට ඉදිරිපත් කිරීමක් වීමට පිළිවන. මන්ද යත්, බොදුබල සේනාවේ ආධාරකරුවන්ගෙන් එහාට යන, සාමාන්‍ය සිංහලයන්ගේ අනුභූතික භීතීන් සහ සැකසාංකා එහිදී සැළකිල්ලට ගෙන නැති නිසා ය. එහෙත්, මගේ වර්තමාන අරමුණට, එනම්, මුස්ලිම්-විරෝධී ජාතිවාදී ව්‍යාපෘතිය පසුපස ආණ්ඩුව සිටින බව පෙන්වා දීමට එය අදාළ නැත. මගේ තර්කය වන්නේ, සිංහලයන් තුළ ඇති ඒ අනුභූතික භීතීන් සහ සැකසාංකා පවා, මුස්ලිම්-විරෝධී ජාතිවාදී ප‍්‍රචාරණයේ ප‍්‍රතිඵලයක් වන බවයි. එවැනි සාවද්‍ය ප‍්‍රචාරණයකට ප‍්‍රති-පිළිතුරු දීම සාමාන්‍යයෙන් රටක ආණ්ඩුවකට පැවරෙන වගකීමකි. එහෙත් එවැනි කිසිවක් මේ ආණ්ඩුව කෙළේ නැත. මන්ද යත්, ඊට පෙර පැවති වෙනත් ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවත් වාර්ගික ක්ෂේත‍්‍රයේ තම එකම වගකීම වශයෙන් සළකන්නේ, සිංහ වංශයේ ස්වෝත්තමවාදය ස්ථාපිත කොට පවත්වාගෙන යාම වන බැවිනි. සිංහලයන්ගෙන් බහුතරයක් ආශා කරන පරිදි, සිංහලයන් සමග සාමයෙන් සහ ගෞරවයෙන් යුතුව ජීවත් වීම සඳහාත්, තමන්ගේ යුක්ති සහගත ඕනෑඑපාකම් ආරක්ෂා කර ගැනීම සඳහාත්, මුස්ලිම් ජාතිකයන් කළ යුත්තේ කුමක් ද? මුලින්ම, වර්තමාන විකල්ප පරාසය, 1983 තිබුණාට වඩා පුළුල් බව අප හඳුනාගත යුතුය. ආණ්ඩුව මුස්ලිම්-විරෝධී ව්‍යාපෘතිය මත ගමන් කරන බව පෙනෙන්නේ, 83 වන් විනාශයකින් තොරව, මෙවර මුස්ලිම් ජාතිකයන්ව දෙවැනි හෝ තෙවැනි පංතියේ පුරවැසියන්ගේ තත්වයට අදියරෙන් අදියරට පහත හෙලිය හැකිය යන විශ්වාසයකිනි. දෙමළ ජනතාව දැනටමත් ඒ තත්වයට පහත හෙලා තිබීම පාලකයන්ට තවත් රුකුලකි. ආණ්ඩුව අද බොදුබල සේනාවට අළුත්ගම රැුස්වීමක් පැවැත්වීමට අවසර දෙයි. එම තීරණය බොදු බල සේනාවේ සභාපති හිමියන් විසින් පවා හෙළාදැක තිබේ. එම රැුලියෙන් පසු, කොල්ලකාරී පිරිස් පොලීසිය බලා සිටියදීම, මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ දේපොල ගිනිබත් කරයි. හෙට හෝ අනිද්දා මේ දෙයම, කොළඹ සහ වෙනත් තැන්වලත් සිදුවීමට පිළිවන. එය, සිංහ වංශිකයන්ගේ අතට මුස්ලිම් ව්‍යාපාර ඩැහැගන්නා තෙක් ඉදිරියට යනු ඇත. එහෙත්, ජාත්‍යන්තර ප‍්‍රජාවත්, ලංකාවේ සිවිල් සමාජයත්, 1983 ට වෙනස් ආකාරයකින් මේ තත්වයට දැන් ප‍්‍රතිචාර දක්වා තිබේ. ඒ ගැන විස්තරාත්මකව දැක්වීමට මම නොයමි. එම ප‍්‍රතිචාරයන්ගෙන් පෙනෙන්නේ ලෝකයා තවදුරටත් ඇස්කන් පියාගෙන නොසිටින බවයි. මේ නිසා ශ‍්‍රී ලංකාවේ නව-ෆැසිස්ට්වාදී ජාතිවාදීන්ට හිතන තරම් වැඬේ ලෙහෙසි වන එකක් නැත. සිවිල් සමාජයේ අළුත් වර්ධනයක් අද දකින්ට තිබේ. තවම එය ළදරු අවස්ථාවේ පැවතියත්, අනාගතය ගැන එය බලාපොරොත්තු ඇති කරවයි. එනම්, සමාජයේ එක තැනක සිදුවන දෙයක් තවත් තැනකට සහ පිරිසකට බලපාන බවට ඇති අවබෝධයයි. එහි අදහස වන්නේ, අද සුළුජාතීන්ට කරන කියන දේවල් හෙට මහජාතියටත් කරනු කියනු ඇති බවයි. 83 ජුලි කෝලාහලයේ දී සිංහල ප‍්‍රභූ බල පැලැන්තිය සහ ඔවුන්ගේ හෙංචයියන් අන්ත පහත් තත්වයටම වැටුනහ. අසරණ දෙමළ ජනතාවට එරෙහි මහා විනාශය අකුරටම සංවිධානය කෙරුණේ, ජේ.ආර්. කල්ලියේ ඉහළම පෙළේ ජාතිවාදී නායකයන්ගේ අනුදැනුම සහ අනුග‍්‍රහය යටතේ ය. එකල අන්ත ජාතිවාදී ව්‍යාපාරයක් වශයෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ එයින් ඉමහත් ප‍්‍රමෝදයට පත්විය. එහෙත් ඒ දශකයම අවසන් වන විට, ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේම සිංහලයන්ව ඝාතනය කිරීමටත් ඒ සිංහලයන්ගේ අතින්ම පෙරලා ඝාතනය වීමටත් පටන්ගත්හ. පරාදීස දීපය, ලෙයින් නැහැවුණි. රටෙන් කොටසක් සුසානයක් වුණි. 83 දෙමළ සුළුතරය ගැන සිංහල ප‍්‍රභූ බල පැලැන්තිය තුළ තිබූ සදාචාරමය සංවේදී භාවයේ වෑරීම වෙනුවෙන් සිංහල මහජාතිය ඉන්පසුව දීර්ඝ වූත්, බිහිසුණු වූත් මහා වන්දියක් ගෙව්වේය. අද නීතියේ ආධිපත්‍යයේ සරණ මුස්ලිම් සුළුතරයෙන් ක‍්‍රමානුකූලව පැහැර ගනිමින් තිබේ. ඉඳහිට සිංහල බහුතරයටත් ඒ හැන්දෙන්ම බෙදනු ලැබේ. එහෙත්, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි, හෙට වන විට සිංහල බහුතරයත් එම විනාශයට නිතිපතා ගොදුරු වෙනු ඇත. මෙයින් පෙනී යන්නේ, සමාජයක් යනු එකිනෙකට අන්‍යෙන්‍යව ගැටගැසුණු ජාලයක් බවයි. තමන්ගේ සුජාත අවශ්‍යතා ආරක්ෂා කරගනු වස් මුස්ලිම් ජනතාව නිශ්චිතව කළ යුත්තේ කුමක් ද? අභ්‍යන්තරික වාර්ගික ප‍්‍රශ්නයක් අපේ මුස්ලිම් ජනතාව විසින් ජාත්‍යන්තරය ඉදිරියට ගෙන යාම ගැන කලක් මම විරුද්ධව සිටියෙමි. එහෙත් 1983 මෙන් නොව, අද රටක ඇති වන බරපතල සිදුවීම් ජාත්‍යන්තරකරණයට ලක්වීම නොවැළැක්විය හැක්කකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පිටතින් තිබෙන විශාලතම රාජ්‍ය සාමූහිකය වන, සාමාජික රටවල් 57 කින් සැදුම්ලත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානය, ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් දඩයම විවේචනය කොට ප‍්‍රකාශයක් නිකුත් කොට තිබේ. එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, නවී පිල්ලේ හරහා, ප‍්‍රකාශයක් නිකුත් කොට තිබේ. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රවුෆ් හකීම්, ආගමික නිදහස සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාටත්, සුළුජාතීන් සඳහා වන විශේෂ නියෝජිතයාටත් ලංකාවේ තත්වය සොයා බැලීමට එන ලෙස ආරාධනා කරන්නැ යි ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. හකීමේගේ මේ ප‍්‍රශංසනීය වෑයමට සෑම මුස්ලිම් පක්ෂයක්මත්, මුස්ලිම් දේශපාලනඥයෙකුමත් සහාය දැක්විය යුතුව තිබේ. දේශීය වශයෙන් ගත් විට, මුස්ලිම් ජාතිකයන්ගේ අවධානය යොමු විය යුතු ක්ෂේත‍්‍ර දෙකක් ඇත. එකක් වන්නේ, නීතියේ ආධිපත්‍ය සඳහා ගෙන යන අරගලයට දායක වීමයි. දෙවැනුව, සිංහල-මුස්ලිම් සම්බන්ධතා කඩා ඉහරවීමට දැන් දශක ගණනාවක් තිස්සේ ගෙන යමින් තිබෙන ව්‍යාපාරයට එරෙහි වීමයි. ජාතික අරගලයේ මේ ක්ෂේත‍්‍ර දෙක තුළම මුස්ලිම් ජාතිකයන් වශයෙන් ක‍්‍රියාත්මක වීම හෙට දවසේ යහපත් ශ‍්‍රී ලංකාවක් සඳහා අතිශයින් වැදගත් වන්නේය. ආණ්ඩුව ලවා නීතියේ ආධිපත්‍යයට ගරු කැරැුවීමේ අරගලය දැනටමත් පටන්ගෙන ඇත. හැකි හැම අයුරකින්ම මුස්ලිම් ජනයා ඊට සහයෝගය දැක්විය යුතුව තිබේ. ඊළඟට, මුස්ලිම්-සිංහල සම්බන්ධතා අරභයා මා වැනි මුස්ලිම් ජාතිකයන්ට ලිපි ලිවිය හැකිය. එය සත්තකින්ව අත්‍යාවශ්‍ය කටයුත්තකි. එහෙත්, එවැනි මුස්ලිම් පුද්ගල මැදිහත්වීම්වල නියෝජනත්වය පිළිබඳ සීමාවන් ඇති නිසා එවැන්නක ප‍්‍රයෝජනය සීමිත විය හැකිය. එනිසා කළ යුතුව ඇත්තේ, මේ ප‍්‍රශ්න ගැන, ප‍්‍රධාන වශයෙන් මුස්ලිම් සහ සිංහල යන ප‍්‍රජාවන් දෙකේම ලිපි ලේඛන, ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ තීරක කාරකාදීන් ඉලක්ක කොට, පොදුවේ කාටත් කියැවිය හැකි වන සේ, ඒ ඒ භාෂාවන්ගෙන් ඉදිරිපත් කිරීමයි. මා සිතන වැඩපිළිවෙල සකස් වීමට කාලයක් ගතවනු ඇත. එතෙක් මේ ප‍්‍රශ්නවලින් සමහරක් ගැන ලිපි සම්පාදනය කළ යුතුව තිබේ. එහි දී මුලින්ම අවධානය යොමු කළ යුත්තේ, සිංහලයාගේ පැවැත්මට තර්ජනයක් වෙතැ යි සිතන කාරණාවන් කෙරෙහි ය. එයින් එකක්, වහබ් මුස්ලිම් නිකායේ හෙවත් ‘දේශපාලනික ඉස්ලාම්වාදයේ’ ව්‍යාප්තියට අදාළයි. දෙවැන්න වන්නේ, මුස්ලිම් ජනගහනයේ වර්ධනය නිසා වැඩි කල් නොගොස් ශ‍්‍රී ලංකාව මුස්ලිම් රටක් වෙතැ යි යන භීතියයි. තෙවැන්න වන්නේ, මුස්ලිම් ජාතිකයන් සතුව ඇතැ යි කියන ආර්ථික වරප‍්‍රසාදිත තත්වයයි. මේ කාරණා තුනම, පදනම් විරහිත විකාර කතා බව මගේ විශ්වාසයයි. එහෙත්, එසේ වීම නිසාම ඒවා බරසාර සාකච්ඡුාවකට තරම් නොවේ යැයි බැහැර කිරීමත්, එයාකාරයේම වගකීම් විරහිත, මෝඩ ක‍්‍රියාවකි. විකාරය පිටුපස ඇති භීතීන් අතාර්කික වූ පමණින්, එම භීතීන්වල තිබෙන සමාජ බර අඩු නොවේ. එසේම, ඒවා මගින් ඇති කළ හැකි විනාශකාරීත්වය ද, ඒවා අතාර්කික වූ පමණින් නැති නොවේ. මේ අතාර්කික භීතීන් යථාර්ථවාදීව පැහැදිළි කර දීම සඳහා ආණ්ඩුව වෙහෙස වන්නේ නැත. හේතුව, එම භීතීන් එසේම පැවතීම ආණ්ඩුවේ මුස්ලිම්-විරෝධී ව්‍යාපෘතියට හොඳින් පෑහෙන බැවිනි. ඒ නිසා එම ගැටළු සාකච්ඡුාවට ගැනීම සිවිල් සමාජයේ වගකීමක් වන්නේය. *2014 ජුනි 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Sri Lankan Muslims At The Cross-Roads – IV – After Aluthgama/Beruwela නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page