
ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ලංකා සමසමාජ පක්ෂයට වසර අනූව පිරෙන මේ අවස්ථාවේ පක්ෂය ව්‍යවස්ථාමය කාරණා පිලිබඳ ගත් ස්ථාවර සමාලෝචනය කිරීම මේ ලිපියේ අරමුණයි. සමසමාජ පක්ෂය ආරම්භ කල අවස්ථාවේ එයට මූලික අරමුණු දෙකක් විය, එනම් ලංකාවට පූර්ණ දේශපාලන නිදහස ලබා ගැනීම සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීමයි. පළමුවැන්න සිදුවූයේ අවධි දෙකකිනි. 1948 දී අර්ධ–නිදහස ලබාගැනීමට සහ 1972 දී පූර්ණ දේශපාලන ලබාගැනීමට සමසමාජය ඍජු වශයෙන්ම දායක විය. දෙවැන්න තවම දුර අරමුණකි.
පුරවැසි පනත
නිදහස ලබා දෙවන වසරේදීම, කඳුරට දෙමල ප්‍රජාවට පුරවැසි භාවය නොදී ඒ අනුව චන්ද බලයද අහිමිකිරීමට ඩී.එස්. සේනානායක රජය කටයුතු කළේය. 1947 මැතිවරණයේදී බ්‍රිතාන්‍ය යටත් වැසියන් හැටියට ඡන්දය පාවිච්චි කල කඳුරට දෙමල ප්‍රජාව, පොදුවේ වමටත්, විශේෂයෙන්ම සමසමාජයටත් සමීප වූහ. එම මැතිවරණයේදී ලංකා ඉන්දියානු කොන්ග්‍රසය ආසන හතක් දිනූ අතර වතු කම්කරුවන් බහුලව සිටි ප්‍රදේශවල ඔවුන්ගේ සහය ඇතිව වාමාංශික අපේක්ෂකයින් ගණනාවක් ජයග්‍රහණය කළහ. එම සමගියේ දිගුකාලීන අනතුර දුටු ලාංකික ධනපති පන්තිය පුරවැසි පනතේ “පුරවැසියා” යන්න අර්ථ දැක්වූයේ කඳුරට දෙමල ජාතිකයින් ලක්ෂ ගණනක පුරවැසිභාවය නොලැබෙන ලෙසය. ඒ අනුව ඔවුනට ඡන්ද බලයද අහිමි විය. එම අවස්ථාවේ ඊට විරුද්ධ වූයේ සමසමාජය ප්‍රමුඛ වමයි. එවකට ආණ්ඩුවේ කොටස්කරුවෙකුවූ දෙමල කොන්ග්‍රසය එම පනත්වලට පක්ෂව ඡන්දය දෙද්දී, කොළඹ ආණ්ඩුවේ කොටස්කරුවන්වීමෙන් කුඩා ජනවර්ගවලට සෙතක් නොවන බව තම ඥාති සහෝදර කඳුරට දෙමල ප්‍රජාව ආරක්ෂා කිරීමට දෙමල ජනතාවට නොහැකි වීමෙන් පෙනීයන බව චෙල්වනායගම් කියා සිටියේය. තමන්ට මෙයින් ඉගෙන ගත යුතු පාඩම නම් තමන් ජීවත්වන ප්‍රදේශ වලට ස්වයංපාලනයක අවශ්‍යතාවය බව තර්ක කල චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය පිහිටුවීම එම ක්‍රියාදාමයේ එක් අතුරු ඵලයකි. කිසිම ජනකොටසකට විශේෂ සැලකිල්ලක් හෝ නොසැලකිල්ලක් කල නොහැකි බවට තිබූ 1947 ව්‍යවස්ථාවේ 29 වන වගන්තියේ පිහිට පැතුවද ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙන්ම එවකට ලංකාවේ ඉහලම අභියාචනා අධිකරණය වූ එංගලන්තයේ රාජාධිකරණයෙන්ද එම ප්‍රජාවට පිහිටක් නොලැබුණි.

Photo L to R – V Karalasingham, PO Vimalanaga, Vivienne Goonewardena, Hector Abhayavardhana, Leslie Goonewardene, Osmund Jayaratne, Colvin R De Silva, NSE Perera, NM Perera, Bernard Soysa
භාෂා අතර සම තත්ත්වය සහ ජනවාර්ගික ගැටළුව
සිංහල සහ දෙමල භාෂා දෙකට සමතැන දීමට එකඟව සිටි එජාපය සහ ශ්‍රීලනිපය 1955දී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමට පීලි මාරු කරද්දී සමසමාජය සමතැන් ප්‍රතිපත්තියේ නොසැලී සිටියේය. ඊට පෙර භික්ෂූන් පිරිසක් එන්.එම්.පෙරේරා හමුවී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමට එකඟවන්නේ නම් ඔහුව අගමැති කිරීමට සූදානම් බව කී විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. “එක භාෂාවක් නම් රටවල් දෙකයි, භාෂා දෙකක් නම් එක රටයි” යනුවෙන් කොල්වින් ආර්. ද සිල්වා එදා කල සුප්‍රසිද්ධ අනතුරු ඇඟවීමට රට ඇහුන්කම් දුන්නේ නම් බෙදුම්වාදී යුද්ධය වලක්වා ගැනීමටද ඉඩ තිබුණි. අවස්ථාවාදී නොවීමේ හේතුවෙන් වමට ජන සහාය අහිමිවිය.
1956 රාජ්‍ය භාෂා පනත පිලිබඳ විවාදයේදී පානදුරේ සමසමාජ මන්ත්‍රී ලෙස්ලි ගුණවර්ධන මෙසේ අනතුරු හැඟවීය: “මා සඳහන් කරන එකම අනතුර වාර්ගික කෝලාහල ඇතිවීමේ හැකියාව පමණක් නොවේ. රට බෙදීමේ බරපතල අනතුරක් තිබේ. ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රධාන වශයෙන් දෙමළ කතා කරන ජනතාව වාසය කරන බවත්, එම ජනතාවට බරපතල, ආපසු හැරවිය නොහැකි අසාධාරණයක් සිදු වී ඇති බව හැඟෙන්නේ නම්, රටේ සෙසු ප්‍රදේශවලින් වෙන් වීමට පවා තීරණය කිරීමේ හැකියාවක් ඇති බවත් අප මතක තබා ගත යුතුය. ඇත්ත වශයෙන්ම, දෙමළ කතා කරන ජනතාව අතර දැනටමත් එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා පෙනී සිටින දේශපාලන මතයක් පවතී.”
1956 දී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කර පසුව 1987 දී භාෂා දෙකම රාජ්‍ය භාෂා ලෙස පිළිගැනීම ඉතිහාසයේ සරදමකි.
1972 ජනරජ ව්‍යවස්ථාව
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් දේශපාලන වශයෙන්ද වෙන්කල 1972 ජනරජ ව්‍යවස්ථාව සැදීමට කොල්වින් දුන් දායකත්වය ඉමහත්ය. පාර්ලිමේන්තු ක්‍රමය රැකගැනීම, මූලික අයිතිවාසිකම් පිළිගැනීම සහ සමාජ සාධාරණත්වයට ඉවහල් වන රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ මූලධර්ම ඇතුලත්කිරීම එම ව්‍යවස්ථාවෙන් ලබාගත් තව ජයග්‍රහණයන්ය. එහි දුර්වලකම්ද විය. ඒ සියල්ල කොල්වින් මත පැටවීමට ඇති උත්සාහයටද පිළිතුරක් දිය යුතුය. 1972 ව්‍යවස්ථාව ගැන ලියූ පොත් පිංචක බුද්ධාගමට ඇති ස්ථානය පිලිබඳ ඔහු මෙසේ කීය: “මා විශ්වාස කරන්නේ අනාගමික රාජ්‍යයක් ගැන. එහෙත්, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ව්‍යවස්ථාවක් හදන කොට එය හදන්නේ ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ඇමති නොවේ.” ඔහු එසේ පැහැදිලි කරන්නේ, අවසාන කෙටුම්පත සම්පාදක මණ්ඩලය තුල ඇති බලතුලනයේ පිළිබිඹුවක් බවයි. ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට දායකවූවෙකු හැටියට මෙම ලියුම්කරුගේ අත්දැකීමද එයයි. කෙටුම්පත්කරුවන්ට කිසිම භූමිකාවක් නැතැයි එයින් අදහස් නොවේ. එහෙත්, විශේෂයෙන්ම මතබේදයට තුඩුදෙන කාරණා පිලිබඳ අවසාන තීරණ ගැනෙන්නේ දේශපාලන සාධක මත නිසා අවසාන කෙටුම්පත අදාළ බලවේගවල සම්ප්‍රයුක්තය (resultant) පිළිබිඹු කරයි.
ඇත්තෙන්ම, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කොල්වින් ඉදිරිපත් කර, සම්මතවූ මූලික යෝජනාව වුයේ බහුතරයේ ආගම ලෙස, බුද්ධාගමට “නිසි තැන” ලැබිය යුතු බවය. එහෙත්, බණ්ඩාරනායක අගමැතිනිය සභාපතිත්වය දැරූ ආගම පිලිබඳ අනුකමිටුව විසින් එය “ප්‍රමුඛස්ථානය” ලෙස වෙනස් කෙරින. එතුමියගේ මුතුන් මිත්තෙකු අත්සන් කල 1815 උඩරට ගිවිසුමේ බුද්ධාගම උල්ලංඝනය කළ නොහැකි බව ප්‍රකාශ කර, එහි වාරිත්‍ර, පුජ්‍ය පක්ෂය සහ පූජනීය ස්ථාන නඩත්තු කර ආරක්ෂා කරන බවට ඉංග්‍රීසින් පොරොන්දු වීම මෙම වෙනසට බලපෑවේ යයි විශ්වාස කෙරේ.
1972 ව්‍යවස්ථාව කෙටුම්පත් කල කමිටුවේ සාමාජිකයෙකුවූ ආචාර්ය නිහාල් ජයවික්‍රම ලියා ඇති පරිදි, කොල්වින් සකස්කල මුල් කෙටුම්පතේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස විස්තර කර නොතිබිණි. කොල්වින්ගේ අදහස් වුයේ, යෝජිත ව්‍යවස්ථා ව්‍යුහය “ඒකීය” වූවත් විවිධ ආකාරයේ ඒකීය ව්‍යවස්ථා ඇති බැවින් නම්‍යශීලී වීමට ඉඩ තැබිය යුතු බවය. එහෙත් දක්ෂිණාංශික අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගේ බලපෑමට “ඒකීය” යෙදුම ඇතුලත් කරන ලදී. එය සම්පූර්ණයෙන්ම අනවශ්‍ය අලංකාර කිරීමක් බවත් පසුකලක සිංහල අන්තවාදීන්ගේ සටන්පාඨයකට එයින් මග පෑදුනු බවත් ජයවික්‍රම කියයි.
1972 ව්‍යවස්ථාවෙන් සිංහල සහ දෙමල භාෂා දෙකම රාජ්‍ය භාෂා නොකිරීම වමේ පරාජයක් බව නිසැකය. උතුරු සහ නැගෙනහිර පලාත්වල අධිකරණ වල දෙමල භාෂාව පාවිච්චි කිරීමට ඉඩ දීම සහ රටේ ඕනෑම අධිකරණයක දෙමළ පරිවර්තන ලබාගැනීමට අයිතිය දීම කුඩා ජයග්‍රහණයක් පමණි.
බලය බෙදීම
මුල් දෙමළ ඉල්ලීම වූයේ ව්‍යවස්ථාදායකයේ සහතික කළ නියෝජනයක්ය. ඔවුන් මුලදී ප්‍රාදේශීය ස්වයං පාලනයට වඩා මධ්‍යයේ බලය බෙදා ගැනීමට කැමැත්තක් දැක්වූ පසුබිමක, සමානාත්මතාවයෙන් වාර්ගික සමගිය සහතික වනු ඇතැයි වාමාංශිකයින් සිතීම පුදුමයක් නොවේ. ගැටුම උත්සන්න වීමෙන් පසු, එන්.එම්. තම මරණයට මාස කිහිපයකට පෙර ලියූ පොත් පිංචේ මෙසේ පැවසීය: “අවාසනාවකට මෙන්, සිංහල හිතවාදී නායකයින්ට තේරුම් යනවිට, තරුණ අන්තවාදීන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමට පෙරමුණ ගෙන තිබුණි. වසර විස්සකට පෙර දෙමළ ප්‍රජාව තෘප්තිමත් කළ හැකි දේ වසර විස්සකට පසුව ප්‍රමාණවත් විය නොහැක. සුහද සබඳතා නැවත ඇතිකිරීමට නම්, ඉදිරියේදී ප්‍රාදේශීය ස්වයං පාලනය ඔස්සේ සහන දීමට සිදුවනු ඇත.”
එන්.එම්.ගේ අභාවයෙන් පසු ඔහුගේ අනුගාමිකයින් ප්‍රාදේශීය ස්වයං පාලනය සඳහා වූ යෝජනාව ඉදිරියට ගෙන ගියහ. 1983 ජූලි මාසයේ කටුක අත්දැකීම්වලින් පසුව කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවේදී කොල්වින් ප්‍රකාශ කළේ ජනවාර්ගික ප්රශ්නය “ශ්‍රී ලංකා ජාතියේ සහ රාජ්‍යයේ ගැටලුවක් මිස ඒ ප්‍රජාවේ හෝ මේ ප්‍රජාවේ ගැටලුවක් නොවන” බවයි. ශ්‍රී ලංකාව තනි රටක් ලෙස පැවතිය යුතුය යන සමසමාජ ස්ථාවරය තහවුරු කරන අතරම, දෙමළ ජනයාගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් භූගෝලීයව ඒකරාශීව ජීවත් වන බැවින්, වර්තමාන රාජ්‍ය ව්‍යුහය සමානාත්මතාවයේ අරමුණු ඉටු නොකරන බව ඔහු අවධාරණය කළේය. වාමාංශික පක්ෂ ප්‍රතිපත්තිමය වශයෙන් දහතුන්වන සංශෝධනයට සහාය දැක්වූහ. විජය කුමාරතුංග ඇතුළු වාමාංශිකයින් 200 කට වැඩි පිරිසක් ඒ වෙනුවෙන් තම ජීවිතවලින් වන්දි ගෙවූ අතර, ඉන් 25 ක් සමසමාජවාදීන් වූහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද සහ සමසමාජ අමාත්‍ය තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් යුත් සර්ව පාක්ෂික නියෝජිත කමිටුව නොබෙදුණු රටක් තුල පුළුල් බලය බෙදීමක් යෝජනා කළේය.
විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම
ලොව පුරා පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳ මනා දැනුමක් ඇති, අතිවිශිෂ්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එන්.එම්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ දැඩි ආරක්ෂකයෙකු වීම පුදුමයක් නොවේ. බොහෝ බටහිර නිරීක්ෂකයින් පුදුමයට පත් කළ, තරමක සාර්ථකත්වයක් ඇති පාර්ලිමේන්තු ක්‍රමයක් ශ්‍රී ලංකාවේ වසර තිහක් තිස්සේ ක්‍රියාත්මක වූ බව එන්.එම්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් අඩංගු තම පොත් පිංචෙන් පෙන්වා දුන්නේය. අද එම පොත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පෙනීසිටින්නන්ගේ අත්පොතක් බවට පත්වී තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් දිගටම නොසෙල්වී පෙනී සිට ඇත්තේ වාමාංශිකයින්ය. මේ පිලිබඳ සමසමාජ දායකත්වය සැමවිටම කැපී පෙනුණි.
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පොරොන්දු වූ අතර, ඒ යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, පළාත්, දිස්ත්‍රික්ක සහ පළාත් පාලන ආයතන වෙත බලය බෙදාහැරීමටත්, සියලු ප්‍රජාවන්ට පාලනයේ කොටසක් ලබාදීමටත් එකඟ විය. එහෙත් ඒ සඳහා කිසිම සූදානමක් ඇති බවක් නොපෙනේ. එම පොරොන්දු ඉටුකිරීමට බල කිරීම වමේ යුතුකමයි.
පසුගිය ජුනි 06 දිනට යෙදී තිබුණු එන්.එම්. ගේ 120 වන උපන්දිනය වෙනුවෙන් මෙම ලියුම්කරු ලියූ ලිපියේ මෙසේ සඳහන් විය: “වම දුර්වලවී බෙදී තිබුනද වමේ විකල්පයක අදාළත්වය සහ අවශ්‍යතාවය එසේම පවතී. ලංකා සමසමාජ පක්ෂයට නැවත සමගිවූ පක්ෂයක් ලෙස සිය 90 වන සංවත්සරය සැමරීමට හැකි නම්, එය නැවත සමගිවූ ශක්තිමත් වමකට මග පාදනු නියතය. එය එන්.එම්. සහ අනෙකුත් පුරෝගාමී වමේ නායකයින්ට කරන ඉහලම ගෞරවය වනු ඇත.” ඒ පිලිබඳ යම් සාකච්ඡාවක් මතුවී තිබීම සතුටට කරුණකි. සමසමාජ සහ වමේ ඉතිහාසය ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය වන්නේ ක්‍රියාවයි. වමේ ක්‍රියාධරයින් “නැති ඔටුන්නට රණ්ඩු කිරීමට නම් හපන්නු” යැයි බර්නාඩ් සොයිසා ගේ උපහාසාත්මක කියමන බොරු කිරීම වාමාංශිකයින්ගේ වගකීමයි.