9 August, 2020

Blog

පකිස්තානය විසින් වල දමන ලද, ශ්‍රී ලංකාව ගොඩ නොගත යුතු “අවශ්‍යතාවේ මූලධර්මය”

ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍ර​මරත්න

ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍ර​මරත්න

අවශ්‍යතාවේ මූලධර්මය මුල් වරට සාකච්ඡාවට බඳුන් වුණේ අපරාධ නීතියේ මූලධර්මයක් ලෙසය. එමගින් මෙතෙක් අනීතික නොවූ යම් කිසිවක්, ඒ වන විට මතු වී තිබෙන අවශ්‍යතාව හේතුවෙන් නීතිමය බවට පත් කරනු ලැබේ. අපගේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 74 වගන්තිය පැහැදිලි කිරීමට යොදාගන්නා උදාහරණයකට අනුව එය මහා ගින්නක් තවදුරටත් පැතිරීම වළක්වාගැනීමට නිවාස කඩා බිඳ දැමීම වැනි ය. එහෙත් හානි වැළැක්වීමට කරන ක්‍රියාව වළක්වන්නට යන හානියෙහි ප්‍ර​තිඵලයට වඩා නරක ප්‍ර​තිඵලයක් ඇති නොකළ යුතු ය.

අවශ්‍යතාවේ මූලධර්මය ව්‍යවස්ථා නීතිය සමග භාවිතා කිරීම දකින්නට ලැබුණේ පකිස්තානයේ ය. පළමු වරට, 1954 වසරේදී ව්‍යවස්ථා සම්පාදායක සභාව විසුරුවා හැරීම සාධාරණීකරණය කිරීමට අග විනිසුරු මුනීර් විසින් එය භාවිතා කරන ලදී. 1958දී එය භාවිතා කරනු ලැබුවේ හමුදා කුමන්ත‍්‍රණයක් යුක්තියුක්ත කිරීමට ය.

පාර්ලිමේන්තු පාලනය පැවති කෙටි කාලයන්හිදී, කලින් සිටි ඒකාධිපතියන්ගේ ක්‍රියාමාර්ගවලට වලංගුභාවය ලබාදීම සඳහා අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා කිරීම අධිකරණය විසින් ප්‍ර​තික්ෂේප කරන ලදී. එහෙත්, නැවත නැවතත්, හමුදා කුමන්ත‍්‍රණවලට නීතිමය වලංගුභාවය ලබාදීම සඳහා පාකිස්තානයේදී එය නිතර භාවිතා කරන ලදී. 2012 වසරේදී පාකිස්තාන අගමැති ගිලානිට එරෙහිව පැවති නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍ර​කාශ කළේ එම දුෂ්ට අවශ්‍යතාවේ මූලධර්මය වල දමා ඇති බවයි. ඒ අනුව, වර්තමානයේදී හිටපු අග විනිසුරු මුනීර් සැලකෙන්නේ පකිස්තානය විනාශ කළ පුද්ගලයකු ලෙසයි.
නීතිය පිළිබඳ මහාචාර්ය මාක් එම්. ස්ටැව්ස්කි විසින් ‘පාකිස්තානයේ රාජ්‍ය අවශ්‍යතාවේ මූලධර්මය’ මැයෙන් ලියන ලද පත‍්‍රිකාවේ මෙම මූලධර්මය ව්‍යවස්ථා නීතියේදී හා මූලික දේශපාලන, සමාජ සහ නීතිමය වටිනාකම් නැවත හැඩගැස්වීම යුක්තියුක්ත කිරීමේදී යොදාගැනීමේ භයානකකම ද, පුද්ගල හිමිකම් හා රාජ්‍ය ව්‍යූහයේ වෙනස් කිරීම් සම්බන්ධයෙන් එහි බලපෑම ද පෙන්වා දුන්නේ ය.

පාර්ලිමේන්තුවේ වැදගත්කම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 මාර්තු 02දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මැතිවරණය කල්දමා තිබෙන හෙයින් පාර්ලිමේන්තුව ජුනි 02දාට පෙර රැස්වන්නේ නැත. පාර්ලිමේන්තුවකින් තොරව රට පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ලබා දී තිබෙන උපරිම කාලය වන මාස තුනකට පෙර නව පාර්ලිමේන්තුව රැස්කිරීමේ හැකියාවක් ඵ් අනුව නොමැත.

පාර්ලිමේන්තුව යනු ජනතා පරමාධිපත්‍යය අභ්‍යාස කරනු ලබන එක් ආකාරයකි. ජනාධිපතිවරයා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය අනුව ව්‍යවස්ථාදායකයට වගවිය යුතු ය. නොයෙකූත් කාරක සභා හරහා පාර්ලිමේන්තුව වැදගත් අධීක්ෂණ කාර්යයක් ඉටු කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව, රාජ්‍ය මූල්‍යය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පූර්ණ පාලනයක් තිබේ. පාර්ලිමේන්තු අනුමැතියක් නොමැතිව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගැනීම පිළිබඳ ප්‍ර​ශ්න මතුවී ඇත. එසේම, පාර්ලිමේන්තුව විසින් ණය සම්බන්ධ ඉහළ සීමාව වැඩි කර නොමැති සංදර්භයක් තුළ රජය ණය ලබාගැනීම පිළිබඳව ද ප්‍ර​ශ්න මතු විය.

මතු වී තිබෙන අසාමාන්‍ය තත්වය හමුවේ නීති සම්පාදනය කිරීමේ හැකියාව පාර්ලිමේන්තුව සතු ය. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වගන්තිය යටතේ මැතිවරණ පැවැත්වීමේදී යොදාගන්නා ක්‍ර​මයක් වන ඡන්දදායකයාට ඡන්ද පත‍්‍රිකාව ලබාදීමට පෙර ඇ`ගිල්ලක නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍ර​මය කොවිඞ්-19 හේතුවෙන් මතු වී තිබෙන සෞඛ්‍ය ගැටලූ හේතුවෙන් වෙනස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සලකා බලමින් සිටියි. ඡන්දය ප්‍ර​කාශ කිරීම කලින් සිදු කිරීම වැනි තවත් සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. එවැනි තත්වයක් තුළ අදාළ පනත සංශෝධනය කිරීම අත්‍යාවශ්‍ය ය.

පාර්ලිමේන්තුවක් නොමැතිව පාලනය කිරීම

වඩාත් ම බරපතල ප්‍ර​ශ්නය වන්නේ ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවක් නොමැතිව මාස තුනකට වඩා පාලනය කරනු ලැබීමයි. ව්‍යවස්ථාව විසින් එවැනි පාලනයක් සඳහා ලබා දී තිබෙන උපරිම කාලසීමාව මාස තුනකි. පාර්ලිමේන්තුව, රාජ්‍ය පාලනයේ කුලූනු තුනෙන් එකක් වන අතර ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍ර​​වාදී පාලනයක් සඳහා එය නැතුවම බැරි ය. අනෙක් කුලූනු දෙක වන්නේ විධායකය හා අධිකරණයයි. අධිකරණය පාලනයේ දුර්වල ම ශාඛාව ලෙස විස්තර කර තිබෙන බව සඳහන් කිරීම එම ශ්‍රේෂ්ඨ ආයතනයට කරන අපහාසයක් නොවේ. අධිකරණයේ භූමිකාව සීමා සහිත ය.

පාර්ලිමේන්තුවක් නොමැති පාලනයකින් අදහස් වන්නේ, ජනාධිපතිවරයා විසින් තමන් ව්‍යවස්ථානුකූලව වගවිය යුතු ආයතනය නොමැතිව කරනු ලබන පාලනයකි.

අවශ්‍යතාවේ මූලධර්මය මත පාර්ලිමේන්තුවක් නොමැතිව ජනාධිපතිවරයාට රට පාලනය කළ හැකි බවට ආණ්ඩුවට පක්ෂ නීතිඥවරු තර්ක ගෙන එති. ඔවුන් පවසන්නේ පාර්ලිමේන්තුවට මාස තුනක් තුළ රැස්වීමට නොහැකි වන්නේ කිසිවකුගේ පාලනයෙන් තොර හේතු මත මැතිවරණය කල්දමා ඇති හේතුව නිසා බැවින් අවශ්‍යතාවේ මූලධර්මය මත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නොමැතිව රට පාලනය කළ හැකි බවයි.

අවශ්‍යතාව යන්නෙන් මෙහිදී අදහස් වන්නේ පැහැදිලි හා පවතින අවදානමක් සහිත තත්වයකි. ඒ සඳහා වහා ක්‍රියාමාර්ග ගත යුතු ය. අවදානම වැළැක්වීම වෙනුවෙන් වෙනත් තත්වයකදී නීති විරෝධී වන ක්‍රියාමාර්ගයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නැතිවිය යුතූය.

විකල්ප තිබේ

පාර්ලිමේන්තුවක් නොමැතිව පාලනය වීම වැළැක්වීම සඳහා තිබෙන එක් ස්ථිර මාර්ගයක් වන්නේ මාර්තු 02දා සිදුකරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉවත් කරගැනීමයි. එමගින් පාර්ලිමේන්තුවට නැවත සක්‍රය වී 2020 සැප්තැම්බර් 01 දින දක්වා ක්‍රියාත්මක වීමේ අවස්ථාව ලැබේ. ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස අගදී පැවැත්විය හැකි ය. තත්වය යහපත් අතට හැරුණොත් සැප්තැම්බර් 01දාට පෙර ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය. එහෙත්, රජය ඵසේ පාර්ලිමේන්තුව නොකැඳවීමට අධිෂ්ඨාන කරගෙන ඇති බව පෙනේ. එයට හේතුව වන්නේ එසේ කළහොත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්ව දෙක නැවත එකතු වනු ඇතැයි කියා ඔවුන් බිය වීමයි. එහෙත්, අවශ්‍ය නම්, ඊළ`ග මහ මැතිවරණයට පමණක් අදාළ වන පරිදි කලින් භාර ගත් නාම යෝජනා වලංගු කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ හැකි ය.

අනෙක් විසඳුම වන්නේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. එය දෙයාකාරයකින් එක් ආකාරයකට කළ හැකි ය. මහජන ආරක්ෂක පනත හෙවත් හදිසි නීතිය යටතේ නිකුත් කරනු ලබන නිවේදනයකින් පාර්ලිමේන්තුව කැඳවිය හැකි ය. ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමට අකැමැති නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාවකදී පාර්ලිමේන්තුව කැඳවිය හැකි ය. මේ මොහොත හදිසි අවස්ථාවක් නොවන බවට කිසිවෙකුට තර්ක කල නොහැක.

පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ ඇයි ද යන ප්‍ර​ශ්නය ද අසනු ලැබේ. සරල පිළිතුර වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ දෘෂ්ටි කෝණයෙන් බැලූ කල පාර්ලිමේන්තුව නොමැතිව මාස තුනකට වැඩි කාලයක් පාලනය ගෙන යාම ජනතා පරමාධිපත්‍යයට හානිකර වීමයි. තමන් විසින් ම පත් කර යවන ලද මන්ත‍්‍රීවරුන් පිළිබඳ මහජනතාවට තිබෙන්නේ ඉතා නිශේධාත්මක හැ`ගීමක් විය හැකි ය. එහෙත්, වැදගත් වන්නේ පාර්ලිමේන්තුව නම් ආයතනය මිස එහි මන්ත‍්‍රීවරුන්ගේ ගුණාත්මකභාවය නොවේ.

පාර්ලිමේන්තුව කැඳවීම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගය

අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා වන්නේ වඩා විශාල අවදානමක් වළක්වා ගැනීමට ගනු ලැබූ නීත්‍යානුකූල නොවන ක්‍රියාමාර්ගයක් සාධාරණීකරණය කිරීම සඳහා ය. වර්තමාන සංදර්භය තුළ එය යොදාගැනීමට උත්සාහ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ දී තිබෙන මාස තුනක්වූ උපරිම කාලයට වඩා වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නොමැතිව පාලනය කිරීම යන නීති විරෝධී ක්‍රියාව යුක්තියුක්ත කරගැනීම සඳහා ය. එහිදී අදාළවන ”වඩා විශාල අවදානම” කුමක් ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවීම වඩා විශාල අවදානමක් ද? ‘පරණ පාර්ලිමේන්තුව මැරුණු එකකි‘, හා ‘මන්ත‍්‍රීවරුන් 225 දෙනා ම පාර්ලිමේන්තුවේ සිටීමට සුදුසු නැත‘ වැනි තර්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිළිගත හැකි ඒවා ද?

පාර්ලිමේන්තුව කැඳවීම කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි බවට තර්කයක් නැගේ. ‘මහජන නීතිය සම්බන්ධයෙන් නිර්බාධිත අභිමතයක් නැති‘ බව පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මයකි. නිර්බාධී හෙවත් අසීමිත අභිමතය නම් සංකල්පය අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍ර​තික්ෂේප කර තිබේ. අත්තනෝමතික අභිමතය ව්‍යවස්ථානුකූල නොවේ නම්, අවශ්‍යතාවක් මතු වී තිබියදී අභිමතය භාවිතා කිරීම ප්‍ර​තික්ෂේප කිරීම ද ව්‍යවස්ථා විරෝධීය.

අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා කිරීමට පක්ෂපාතී තර්කය වන්නේ පෙර නොවූ විරූ අසාමාන්‍ය තත්වයක් මතු වී තිබීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය භාවිතා කළ යුතු වන්නේ එවැනි අවස්ථාවකදී ය. 70 (7) වගන්තිය යටතේ කටයුතු කිරීමට තරම් හදිසි අවස්ථාවක් නැතැයි තර්ක කරන්නේ නම්, අවශ්‍යතාවේ මූලධර්මය පාවිච්චි කිරීමට තරම් හදිසි අවස්ථාවක් ඇතැයි ඒ හා සමාන ම බරකින් යුතුව තර්ක කළ හැක්කේ කෙසේද?

මේ අනුව, පාර්ලිමේන්තුව කැඳවීම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පැහැදිලි හා පරිසමාප්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසඳුමකි. පාර්ලිමේන්තුව කැඳවීම සඳහා විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබියදී, පාර්ලිමේන්තුව නොමැතිව රට පාලනය කිරීම සඳහා අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා කළ නොහැකි ය.

රෝම රාජ්‍ය තාන්ත‍්‍රිකයකු, නීති විද්‍යාර්ථියකු හා දාර්ශනිකයකු වූ මාකස් ටියුලියස් සිසරෝ මෙසේ පවසා තිබේ: ‘‘එක ම ගලේ දෙවරක් පය පැටලීම දරුණු අවමානයකි.’’ අවාසනාවට මෙන්, පකිස්තානය එක ම ගලේ දෙවරක් නොව කීපවරක්ම පය පටලා ගත්තේ ය. ශ්‍රී ලංකාව ද එම ගලේ ම පය පටලා නොගන්නා බවට අප වග බලාගත යුතු ය.
අවශ්‍යතාවේ මූලධර්මය යනු කෝකටත් තෛලයක් නොවේ. එය භාවිතා කිරීමෙන් ලද විනාශකාරී ප්‍ර​තිඵලවලින් පසුව, පකිස්ථානය විසින් එම මූලධර්මය වල දමන ලදී. ශ්‍රී ලංකාවේදී අප එම මළමිනිය යළි වලෙන් ගොඩ නොගත යුතු ය.

*පර්වර්තනය: අජිත් පැරකුම් ජයසිංහ

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    වෙන කවුරුත් නොව, විපක්ෂය යෝජනා කළේ, අගුලු දැමීමේ තත්වයේ සිටින, දැරිය නොහැකි පවුල් සඳහා ඩොලර් 25 ක් (ආර්පීඑස් 5000) දීමනාවක්. පාලක යුගල සහෝදරයන්, මෙම අරමුදල් ඔවුන්ගේ පෞද්ගලික දේපළ නොවුනත්, එය ඔවුන්ගේ ආධාරකරුවන්ගේ පූර්ව ගණනය කළ සංඛ්‍යාවකට බෙදා හරින ලදි.

    එබැවින්, දැන් මැතිවරණ කොමිසම එය හයියෙන් විවේචනය කිරීමත් සමඟ, එය ඇත්ත වශයෙන්ම අවශ්‍යතා ඇති දුප්පතුන්ට බෙදා හැරීම වෙනුවට, මැතිවරණ කොමිසමට දෝෂාරෝපණය කිරීම වෙනුවට, පාලකයෝ එය ජුනි මාසය සඳහා නතර කළහ. පක්ෂග්‍රාහී හෝ උපක්‍රම වලට හසු නොවී සිටින පුද්ගලයින්, ඔබේ අසරණභාවයේදී ඔවුන් ඔබට සලකන ආකාරය දැනිය යුතුය.
    මෙය ඔබව ෆ්‍රයිං පෑන් සිට ගින්නට විසි කිරීමක් වැනිය. මේ අවජාතකයින්ට මේ සඳහා යා හැක්කේ කෙසේද? ඔවුන් නොඇසූ අපරාධකරුවන් ය. වත්මන් ජනාධිපතිවරයා ඔහුගේ සහෝදරයන්ගේ තීරණ නිසා කම්පනයට පත් වේ. කම්පනයට පත් බල්ලෙකු මෙන් ඔහු තම ගුහාවෙන් එළියට එන්නේ නැත. පුවත්පත් සාකච්ඡාවක් නැත. කිසිවක් නැත, විනිවිදභාවයක් නැත, සියදිවි නසාගැනීම් වලට මුහුණ දීමට නොහැකි වීමෙන් සියදිවි නසා ගන්නේ දැයි අපි නොදනිමු. ඔහුගේ සිතුවිලි යහපත් වූ අතර බොහෝ දෙනා පිළිගත හැකි නමුත් නායකයා වූ පසු ඔහුගේ සහෝදරයන් ඔහුට කලින් සිරීසෙනාගේ ඉරණම මෙන් එම කාර්යය කිරීමට ඉඩ දුන්නේ නැත. දැන් ඔහු තම සහෝදරයන්ගේ කඳවුරේ සරණාගතභාවය සඳහා සූදානම් කර ඇති අතර, එවකට මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කරන ලදී.

    දැන් ඔවුන් පින්තූරය පින්තාරු කිරීමට උත්සාහ කර ඇත්තේ පාලකයන් නොව විපක්ෂය බෙදා හැරීම අවහිර කිරීමට කටයුතු කළ බැවිනි. මෝඩ මිනිසුන් ද ඔවුන්ගේ දුෂ්කර අවස්ථාවන්හිදී දිනා ගැනීම සඳහා මෙය හොඳින් සැලසුම් කළ උපක්‍රම වේ. ජනතාවගේ මළ සිරුරු සම්බන්ධයෙන් මැතිවරණයක් පැවැත්වීම පමණක් සියලු ආචාර ධර්ම හා සදාචාරයන්ගෙන් ඔබ්බට ය. රාජාප්ක්ෂේ ජාතිවාදීන් විසින් ඔවුන්ගේ ඡන්දය උදුරා ගැනීමට පෙර අපි ජනතාවට පැවසුවේ මෙයයි. අද ඔවුන් සත්‍යයට මුහුණ දෙන්නේ අප එවකට පුරෝකථනය කළ දෙයට එක වචනයක්වත් කීමට නොහැකිවය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.