30 October, 2020

Blog

ජබල්පූර් නඩුව සහ 20 වන සංශෝධනය: මහා වෙනස

ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති තීන්දු වලින් නරකම එක කුමක්දැයි ඔබ ඉන්දියානු නීතිඥයින්ගෙන් ඇසුවොත්  ජබල්පූර් අතිරේක දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එදිරිව එස්. එස්. ශුක්ලා යයි වැඩිදෙනෙකු කියනවා ඇත. හේබියස් කෝපුස් නඩුව ලෙසින්ද හැඳින්වෙන එය 1976 වසරේ තීන්දුවකි. 4-1 ලෙස බෙදුණු විනිශ්චය ආසනයක තීන්දුවක් වන එහි බහුතර විනිශ්චයකරුවන් අතරින් කෙනෙක්වූ වයි. වී. චන්ද්‍රචුද් විනිසුරුවරයාගේ පුතකු වූ ඩී. වයි. චන්ද්‍රචුද් විනිසුරු වරයා විසින් එම තීන්දුව අභිබවා එය අවලංගු කරමින්  ඊට වසර 42 කට පසු තීන්දුවක් දෙන ලදී.

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ කළු පැල්ලමක් ලෙස සැලකෙන ජබල්පූර් තීන්දුව මගින්, ඉන්දිරා ගාන්ධි යටතේ කුප්‍රසිද්ධ හදිසි නීති කාලය තුල අධිකරණ මගින් හේබියස් කොපුස් රිට් ආඥා නිකුත් කිරීම අත්හිටුවීම සාධාරණය කරන ලදී. සුප්‍රසිද්ධ ආණ්ඩුක්‍රම විශාරදයෙක්වූ ග්ලැන්වීල්  විලියම්ස් ඉන්දියානු ව්‍යවස්ථාව පිලිබඳ සිය සුප්‍රසිද්ධ ග්‍රන්ථයෙන් කියා සිටියේ එම තීන්දුවෙන් හදිසි නීති කාලය වෙන කිසිවකටත් වඩා හොඳින් හුවා දක්වන බවය. අද ජබල්පූර් නඩු තීන්දුව සාධාරණීය කිරීමට ඉදිරිපත් වන කෙනෙකු නැති තරම්ය.

ජබල්පූර් නඩුවට පාදක වූයේ 1975 ජූනි 27 වන දින හදිසි අවස්ථා නීතිය යටතේ නිකුත් කරන ලද  ජනාධිපති ආඥාවකි. කෙනෙකු රඳවා තැබීමේ නියෝගයක් නීති විරෝධීය හෝ සත්භාවයෙන් තොරය හෝ අදාළ නොවන බාහිර හේතු මත කරන ලද එකක්ය හෝ යන පදනම මත එම නියෝගය අවලංගු කිරීමේ හේබියස් කෝපුස් ආඥාවක් හෝ වෙනත් රිට් ආඥාවක් හෝ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට ඇති බලය එම ජනාධිපති ආඥාව මගින් අත්හිටවන ලදී. විනිසුරුවරුන් බහුතරය කියා සිටියේ  එසේ අති විශේෂ බලතල දී ඇත්නම් එසේ කර ඇත්තේ හදිසි තත්වයේ ඇති අති විශේෂ භාවය නිසා බවත් එය හදිසි නීති කාලයට පමණක් බලපාන එකක් බවත්ය.

එම නඩු විභාගයේදී විනිසුරු ඛන්නා නීතිපති නිරේන් ඩේ ගෙන් මෙසේ ඇසීය: “යම් පොලිස් නිලධාරියෙක්, රාජ්‍යයට සම්බන්ධ නැති, එහෙත් පුද්ගලික හේතුවක් නිසා කෙනෙක් මැරුවොත් ඊට පිළියමක් ඇත්ද?”. “උතුමාණෙනි, හදිසි නීතිය ඇතිතාක් කල් නම් නැහැයයි නීතිපතිවරයා අවංකවම උත්තර දුන්නේය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන වගන්තිය අනුවනීතිය විසින් නියම කර ඇති විධාන ප්‍රකාර මිස පුද්ගලයෙකුගේ ජීවිතය හෝ පුද්ගලික නිදහස අහිමි නොකළ යුත්තේය.” විසම්මතික තීන්දුවක් දුන් ඛන්නා විනිසුරු කියා සිටියේ අධිකරණය වෙත ගොස් 21 වන වගන්තිය ක්‍රියාත්මක කරවා ගැනීමට ඇති අයිතිය අත්හිටවීමෙන් ජීවිතයට සහ පුද්ගලික නිදහසට ඇති අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීමට හේබියස් කෝපුස් රිට් ආඥාවක් ඉල්ලා සිටීමට ඇති අයිතියට බාධාවක් නොමැති බවය. එම විසම්මුතික තීන්දුව දීම හේතුවෙන් අගවිනිසුරු පදවියද ඔහුට අහිමි විය. ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා අගවිනිසුරු ලෙස පත්කිරීමේ ඉන්දියානු සම්ප්‍රදාය කඩකරමින්, රජයට හිතකර තීන්දුව දුන් බෙග් විනිසුරු වරයා අග විනිසුරු ලෙස පත් කරන ලදී.

අභ්‍යන්තර ආරක්ෂා පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි ඉන්දිරා ගාන්ධි පාලනයට විරුද්ධ දහස් ගණන් ක්‍රියාකාරීන්ට ජබල්පූර් නඩු තීන්දුව හේතුවෙන් ප්‍රතිකර්මයක් අහිමි විය.

ඉන්දිරා ගාන්ධි පාලනය පරාජය වීමෙන් පසු 1978 අප්‍රේල් 22 දින කල කතාවකදී වයි. වී. චන්ද්‍රචුද් විනිසුරුවරයා මෙසේ කීය: “මගේ නිලය පසෙක තබා, නීතිය මෙයයි ජනතාවට  කීමට මට ධෛර්යක් නොතිබීම ගැන මම කණගාටු වෙමි”. ඔහු පසුව ඉන්දියාවේ අගවිනිසුරු බවට පත්විය.

ජබල්පූර් නඩු තීන්දුව අභිබවා එය අවලංගු කිරීමට 2018 වසරේ අවස්ථාවක් උදා වූයේ විශ්‍රාමලත් විනිසුරු පුට්ටසාමි එදිරිව ඉන්දියානු සංගමය නම් නඩුවෙහිදීය. එම තීන්දුව ලියූයේ වයි. වී. චන්ද්‍රචුද් විනිසුරුවරයාගේ පුත් ඩී. වයි. චන්ද්‍රචුද් විනිසුරුවරයාය. තම පියා ඇතුළු බහුතර විනිසුරන් විසින් ජබල්පූර් නඩුවේදී දුන් තීන්දුව ඉතා බරපතල වැරදි සහිත තීන්දුවක් බව කනිෂ්ඨ චන්ද්‍රචුද් විනිසුරුවරයා හත් දෙනෙක් ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් වෙනුවෙන් ප්‍රකාශ කළේය.

ජබල්පූර් නඩු තීන්දුවත් 20 වන සංශෝදනයත් අතර ඇති සම්බන්ධය කුමක්දැයි පාඨකයින් අසනු ඇත. අදාලත්වය වන්නේ ඉන්දියානු සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අතර ඇති වෙනසකි.

ජබල්පූර් නඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සම්බන්ධ නඩුවක් නොවේ. එහෙත් ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයකට, එනම්, හේබියස් කෝපුස් ආඥාවක් මගින් විධායක ක්‍රියාවක් අභියෝගයට ලක් කිරීමට ඇති අයිතියට එය අදාලය.

20වන සංශෝධනයෙන් ඊටත් වඩා අප්‍රතිකාරී හානි සිදු වේ. පාර්ලිමේන්තුවේ බලතල මෙන්ම පාර්ලිමේන්තුවේ නියම ප්‍රධානියා වන අගමැතිවරයාගේ බලතල හීන කිරීම, ජනාධිපතිවරයාගේ බලතල පිලිබඳ ඇති තුලන සහ සංවරණ ඉවත් කිරීම සහ ජනාධිපතිවරයාගේ නීති විරෝධී ක්‍රියා මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය ඉවත් කිරීම තුලින් 20වන සංශෝධනය ජනතාවගේ පරමාධිපත්‍යය හීන කරයි. මේ පිලිබඳ බොහෝ දේ දැනටමත් ප්‍රකාශවී ඇත.

වාසනාවකට, 1970 ගණන් වලින් පසු එදා දුටු ආකාරයේ හදිසි නීති ඉන්පසු ඉන්දියානු ජනතාව නැවත නොදුටුවේය. ඉන්පසු බලයට පත් කිසිම ආණ්ඩුවක් එවැනි හදිසි නීති ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවීය. බොහෝවිට අනාගතයේද එසේ නොවනු ඇති. දැන් අවසානයේදී ජබල්පූර් තීන්දුව අහෝසි කර ඇති බැවින් හදිසි නීති යටතේ නැවත රිට් ආඥා අත්හිටවීමට හෝ එවැන්නකට ඉඩ දෙන ව්‍යවස්ථා සංශෝධනයකට පවා ඉඩක් නොලැබෙනු ඇත.

එහෙත් 20වන සංශෝධනය? ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, පනතක් සම්මත කල පසු එහි වලංගුභාවය ප්‍රශ්න කල නොහැක. 20 සම්මත වුවහොත් එය වෙනස් කිරීමට නැවත තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වේ. 20වන සංශෝධනය නැවත විමර්ශනයට ලක් කර එයින් ඇතුලත් කල වගන්ති වලින් ජනතාවගේ පරමාධිපත්‍යය හීනවී ඇති බැවින් ඒවා මුල සිටම බල රහිත බව ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අනාගතයේදී අවස්ථාවක් නොලැබේ. ඉන්දියාවේ නම් ව්‍යවස්ථා සංශෝධන මගින් ඇතලත් කල ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ මූලික අංගයන්ට පටහැනි වීම හේතුවෙන් පසු කලක බල රහිත කල අවස්ථා බොහොමයකි. එහෙත් අප ව්‍යවස්ථාව අනුව එසේ කල නොහැක.

එසේ නම්, ශ්‍රී ලංකාව අවශ්‍ය දේ කල යුත්තේ අදය. අද නොකළහොත් කිසිම දවසක නැවත එය කල නොහැක.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.