25 April, 2024

Blog

සෞන්දර්යට එරෙහි විපරීත පරිපාලන තීරණයක ගොදුරක් වූ මහාචාර්ය සෞම්‍ය ලියනගේට වහා යුක්තිය ඉටු කරනු!

සහෘද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව විසිනි –

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි පීඨයෙහි පීඨාධිපති මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා එම විශ්වවිද්‍යාලයේ පාළක සභාව විසින් 2020 සැප්තැම්බර් 22 දින සිට සේවයෙන් ඉවත්කොට තිබේ. මෙම හදිසි හා අනපේක්ෂිත සිදුවීම නිසා මහාචාර්ය ලියනගේ දැඩි අසාධාරණයකට ලක්වී සිටින අතර ඔහුගේ රැකියාව සහ අනෙකුත් තනතුරු අහිමි කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් මෙලෙස වහා ක්‍රියාත්මක වුනේ කුමණ පදනමකින් ද? සහ කාගේ උවමනාවකට ද? යන්න අපැහැදිළිය. එළෙස කිසිදු විමර්ෂණයකින්, තොරව පාළක සභාවක් සතු පරිපාලනමය බලය අවභාවිතා කරමින් සිදුකොට ඇති මෙම අයුක්තිසහගත ක්‍රියාව මේවනවිට විවධ පාර්ශවයන්ගේ දැඩි දෝෂදර්ශනයට සහ ගර්හාවට පාත්‍රවී ඇත. විශ්වවිද්‍යාල ආධුනික කථිකාචාර්යවරයෙක් ලෙස තම වෘතීයම ජීවිතය ඇරඹීමේ සිට පීඨාධි පති ධූරයට සහ මහාචාර්ය ධූරයට පත්වීම දක්වා පැමිණි ගමන මෙලෙස පාලක සභාව එක් දිනකින් අහෝසි කරන්නේ ඔහු පිළිබඳව කිසිදු පරීක්ෂණයක්, වැරද්දක් සිදු කොට තිබේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීමක් හෝ පාලක සභාව විසින් අනුගමනය කළයුතු විධිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරවය. එමනිසා මෙම බලවත් අසාධාරණය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීම පිණිස මේ සටහන තබමු.

මහාචාර්ය සෞම්‍ය ලියනගේ

සෞම්‍ය ලියනගේ සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ මුද්‍රා නාට්‍ය හා නව නර්තන අධ්‍යයන අංශයේ සේවයට පැමිණෙන්නේ 2007. 02. 02. එහි දී ඔහු ආධුනික කථිකාචාර්ය ධුරයේ පිහිටුවීම සඳහා සලකා බලා තිබින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ (විවිප්‍රකො) 721 චක්‍රලේඛයේ 4 වන ප්‍රතිපාදනයෙනි. එම ප්‍රතිපදනයට අනුව ඔහුගේ ශාස්ත්‍රීය, වෘතීය සුදුසුකම සහ පළපුරුද්ද යන අංශ සියල්ලක්ම සලකා බලමින් විවිප්‍රකො මේ අනුමැතියට යටත්ව එම පත්වීම ලබාගෙන තිබේ. 

ජේය්ෂ්ට ධූරයට හා මහාචාර්ය ධූරයට පත්වූ පසු නෙරපීම

මහාචාර්ය ලියනගේ සිය ලලිත කළා අධ්‍යනය පිළිබඳ ප්‍රථම උපාධිය (1994/98) ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ය. ඉන්පසුව ඔහු නිර්මාණාත්මක කලාවන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ දී නිමකළේ 2003 වර්ෂයේ දීය. මේ අනුව ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙක් වශයෙන් සේවයේ ස්ථිරවීම පිණිස අවශ්‍යය මූලික සුදුසුකම් 2003 පමණ වන විටම සපුරාගෙන තිබිණ . (ආධුනික කථිකාචාර්ය වරයෙකු සේවයට බැඳෙන අයකුට උපරිම අවුරුදු අටක් දක්වා එම ධූරයේ සේවය කිරීමට හැකි අතර, සුදුසුකම් සැපිරීමෙන් අවුරුදු තුනකින් පසු සේවයේ ස්ථිර වීමට ද, අවුරුදු පහකින් පසු ජේශ්ට කථිකාචාර්ය ධූරයට පත්වීමටද පරිවාස කාලය තුළ හැකිය). 

නමුත් ලියනගේ ආධුනික කථිකාචාර්යවරයා දිගින් දිගටම ශාස්ත්‍ර ගවේෂණය පිණිස පෙළඹෙන අතර, ශාස්ත්‍රපති උපාධිය භාවිතාවෙන් ඔහුගේ සේවය පහසුවෙන් ස්ථිර කරගැනීමට තිබු හැකියාව පසෙක ලා, තවදුරත් ශාස්ත්‍ර ගවේෂණයට යොමුවිය. ඒ අනුව නැවත ඔහු ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් සරසවියට යොමුවී සිය අචාර්ය උපාධි පර්යේෂණ අරඹන්නේ එරටින් ලැබුණු ජාත්‍යන්තර ශිෂ්‍යත්වයක් දිනාගනිමින් හා සෞන්දර්ය කලා සරසවියෙන් විධිමත්ව නිවාඩු අනුමත කරගනිමින්ය. ඔහු සිය ආචාර්ය උපාධි නිබන්ධය 2014 සැප්තැම්බර් 30 වනවිට එම විශ්විද්‍යාලයේ අනුමැතියට යොමුකරන අතර ඒ වනවිටද ඔහු විසින් සිය පරිවාස කාලය සම්පුර්ණ නොකර තිබිණ. එම නිසාම එවකට තිබු විශ්වවිද්‍යාල පාලක සභාව අචාර්ය උපාධියද සම්පුර්ණ කොට තිබු, ඊට පූර්වයෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනා සිටි සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය වරයා ස්ථිර සේවයේ පිහිටුවා ඔහුට ජෙෂ්‍ය්ට කථිකාචාර්ය ධූරයද පිරිනමයි. සාමාන්‍යයෙන් මෙරට බොහෝ ජෙෂ්‍ය්ට කථිකාචාර්යවරු ශාස්ත්‍රපති උපාධියෙන් එම ධූරයට පත්කෙරුණ අය වෙතත් මහාචාර්ය සෞම්‍ය ලියනගේ ආචාර්ය උපාධිය සම්පුර්ණ කොට මෙරට විශ්විද්‍යාල පද්ධතියට එක් වන්නේ තම විෂය කෙෂ්ස්ත්‍රය පිළිබඳ විධිමත් ඥාන ගවේෂණයක් සහිතවය. එසේම ආචාර්ය උපාධිය සහ ජේෂ්ටත්වය ලබා නොබෝකලකින් ම ඔහුට විශ්වවිද්‍යාල අචාර්ය වරයෙකුට ළඟා කරගකරගත ඉහළම උසස්වීමක් වන මහාචාර්ය පදවියද හිමිවෙයි. 

නමුත් ජෙෂ්ටත්වයට පත්වී වසර හයක් අවෑමෙන් උපකුලපතිවරයෙකු නොමැතිව නිසිබලධරයෙකු මඟින් පාලනය වන විශ්වවිද්‍යාලය අභූත හේතු (පැහැදිළිව සහේතුක නොකළ හා මේ දක්වා සංනිවේදනය නොකළ කිහිපදෙනෙකු පමණක් දන්නා හේතු) මත මහාචාර්ය සෞම්‍ය ලියනගේ ට සිය තනතුර අහිමි කළේ අතිශය ප්‍රචණ්ඩ ආකාරයකට හා සාධාරණත්වය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මඟින් තහවුරු කළ ප්‍රජාතන්ත්‍රීය මුලධර්ම වලට පටහැනිවය.

අත්තනෝමතික භාවය

පරිපාලන මණ්ඩලයක් වශයෙන් තීරණයක් ගැනීමේදී,  එම තීරණය නිසා වින්දිතභාවයට පත්වන පාර්ශවයේ අයිතිවාසිකම් හෝ අභිලාශ කෙරෙහි බලපාන මූලික ප්‍රමිතීන් අනුගමනය කළ යුතුය. මහාචාර්ය ලියනගේ සතු මූලික අයිතිවාසිකම් ආරක්ෂාවන ආකාරයටට විශ්ව විද්‍යාලය මෙහිදී සාධාරණව හා සමානුපාතිකව ක්‍රියාකොට නොමැත. එය මුළුමනින්ම විපරීත ක්‍රියාවළියක් හරහා ඉතාම කඩිනමින් සිදුකළ පළිගැනීමකි. තම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ධූරයට පවා වරක් තෝරා පත්කරගත් සහෘදයෙක්ගේ වෘතීයමය අයිතිය එක පෑන් පහරකින් ඉවර කරදැමීමට හැකියාවක් පාලක සභාවට ලැබුනේ කෙසේද? සෞම්‍ය ලියනගේ යනු රංගනය පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත මෙරට එකම මහාචාර්ය වරයාය. එතරම් කඩිනමින් එවන් සම්පතක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට අහිමිකරගැනීමට ක්‍රියාකරන පාලකයන් සිටිනු හැකිද? පාළක සභාව මෙම තීරණයට එළඹෙන්නේ ඉතාමත් අවිධිමත් සහ අත්තනෝමතික ආකාරයකින්ය. 

එසේම සියල්ල කඩිනම් වන්නේ 172 වන පලකසභා රැස්වීම් වාර්තාවෙන් දැනුම් දුන් පරිදි දැනට හිස්වී ඇති උපකුලපති ධූරයට මහාචාර්ය සෞම්‍ය ලියනගේ සිය අයදුම් පත්‍රය විශ්වවිද්‍යාලයට සම්මුඛ කොට ඇති පසුබිමකය. පහත ආකාරයට මහාචාර්ය වරයා සේවයෙන් නෙරපීමේ කඩිනම් ක්‍රියාවලිය පලකසභාව හරහා සිදුවූ ආකාරය පෙළගැස්විය හැක.

  • 173 වන පාලක සභා වාර්තාවේ නැති අතුරු වාර්තාවක් ලෙස මහාචාර්ය සෞම්‍ය ලියනගේගේ ආධුනික කථිකාචාර්ය දුරයේ ස්ථිර කිරීම පිලිබඳ මෙමෝ පත්‍රිකාවක් පාලක සභාවට හදිසියේ යොමු කිරීම – මාණ්ඩලික අතුරු පත්‍රිකා අංක: 173 / 13/ 03
  • නැවතත් හදිසි පත්‍රිකාවක් ලෙස 174 වන පාලක සභාවේ දී (2020.08. 27 දින) අතුරු මාණ්ඩලික පත්‍රිකාවක් සපයා වින්ඳිත මහාචාර්යවරයා සභාවෙන් නැගිටුවා මේ පිළිබඳව පැයකට අධික කාලයක් විවාද කිරීම. 
  • 175 වන පාලක සභා වාර්තාවට (2020. 09. 22 / 174.3 -III) මෙම උක්ත කරුණ සම්බන්දයෙන් කිසිදු මෙමෝ පත්‍රිකාවක් යොමු කොට නොතිබුණි. මෙහිදී මහාචාර්යවරයාට එම සභාවෙන් පිටවෙන ලෙස සේවාර්ජිත මහාචාර්ය අබේරත්න බණ්ඩාර ඉල්ලා සිටි අතර නැවතත් පැයකට අධික කාලයක් මෙම කරුණ සම්බන්දයෙන් විවාද කිරීම. මේ අතර පාලක සභාවේ ලේකඛාධිකාරී විසින් හදිසියේ ඉදිරිපත් කරන ලද පත්‍රිකාවක් පාලක සභා සාමාජිකයින් අතර බෙදා දීම. මෙම විවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාලක සභාවේ සාමාජිකයින් 5 දෙනෙකුගේ විරෝධය නොතකා මහාචාර්ය සෞම්‍ය ලියනගේ ගේ සේවය අවසන් වන බව තීරණය කිරීම. පසුව මහාචාර්ය සෞම්‍ය ලියනගේට මාණ්ඩලික ශාලාවට පිවිසෙන ලෙස දැන්වූ අතර ඔහු එහි ගිය විට නිසි බලධාරී වරයා ‘ඔහුට තමන්ට අයත් දෑ රැගෙන ශාලාවෙන් පිටවෙන ලෙස’ නියෝග කර ඇත. එහිදී ඔවුන් ගත් තීරණය පිලිබඳව විමසා සිටි මහාචාර්ය වරයාට නිසි බලධාරී පවසා සිටියේ සෞම්‍ය ලියනගේගේ මහාචාර්ය ධූරය තාවකාලික කථිකාචාර්ය ලෙසට පහත හෙලු බවත් ‘අවශ්‍යනම් මෙය උසාවි ගොස් හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අභියාචන මණ්ඩලයට ගොස් විසඳා ගන්න ලෙස’යි. තවද මේ තීරණය දෙවන වර කියවූවා සේ සලකන බවද නිසි බලධාරී වරයා පවසා තිබේ. තවදුරත් ඔහු අවඥාවෙන් පවසා ඇත්තේ ‘මේ උපාධි හොර උපාධි වියහැකි’ බවයි. 2020. 09. 22 දින පාලක සභාවේ කණ්ඩායමක් විසින් ගනු ලැබූ මේ තීරණය පිළිබඳව කිසිඳු ලියවිල්ලක් මහාචාර්ය සෞම්‍ය ලියනගේ වෙත 2020. 09. 26 වන දින වන විටත් ලැබී නොතිබිණ.

විශ්විද්‍යාලය ශාස්ත්‍රීය අධ්‍යනය මධ්‍යස්ථානයක් කිරීම

සෞන්දර්ය කලා විශ්විද්‍යාලයේ සේවය කරන අචාර්ය උපාධියක් සහිත අතළොස්සක් අතරට මහාචාර්ය ලියනගේ ද අයත්වෙයි. සේවයෙන් ඉවත්කරන විට පශ්චාද් උපාධි පීඨයෙහි පීඨාධිපති ලෙසත්, එනයින්ම පලක සභාවේ සාමාජිකයකු ලෙසත්, සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ (Quality Assurance) මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් මහාචාර්ය ධූරයට අමතර පරිපාලන කාර්යන් රැසක ඔහු නිරතවී සිටියේය. ඔහු වරක් නියෝජ්‍යය උපකුලපති ධූරයට පවා පලකසභාවේ නිර්දේශය ලද අයෙකි. එසේම මීළඟ උපකුළපති සඳහා නිලවරණයට අයදුම්පතක් යොමුකොට තිබෙන අයෙකි. පසුගිය කාලය පුරා මහාචාර්ය සෞමය සිදුකළ ශාස්ත්‍රීය, පරිපාලනමය සහ ජාතික සේවාව තුළින් අප අවබෝධකරගන්නා පරිදි, සෞන්දර්ය විශ්වවිද්‍යාලය මෙරට ජාතික විශ්වවිද්‍යාල අතර ඉහළ ට ගෙනයාමට ඔහු විශාල දායකත්වයක් ලබාදී ඇත. 2019 වසරේ AHEAD World Bank Project සඳහා ඔහුගේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කළ පර්යේෂණ යෝජනාවට ලක්ෂ 100 යක මුදලක් විශ්වවිද්‍යාලය දිනාගත් අතර ඔහු එම පර්යේෂණ ව්‍යාපෘතිය මේ වන විට දියත් කරමින් සිටියේ ය. ඊට අමතරව සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ ප්‍රථම අන්තර්ජාතික පරිසන්වාදයේ සභාපති වරයා වන ඔහු දින තුනක් තිස්සේ සිදු කළ පර්යේෂණ සැසි සංවිධානය කර තිබුනේ පදනම් ආයතනයේ දී ය. 2019 වසරේදී ද අන්තර් ජාතික පරිසංවාදය සංවිධානය කළ ඔහු 40 කට අධික අන්තර්ජාතික විද්වතුන් ට මෙම පරිසන්වාදය සඳහා ආරාධනා කරයි. මෙම පරිසන්වාදය ලෝකයේ ප්‍රකට පළමු පෙලේ විශ්වවිද්‍යාලයක් වන හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රිචඩ් කෙන්ට් සහ එම විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින් සමග මන්ම International Council for Traditional Music අන්තර්ජාතික සංවිධානය සමග එකාබද් ධ ව සංවිධානය කරයි. තරුණ සහ අතිශය උද්යෝගී මහාචාර්ය වරයෙක් ලෙස සෞන්දර්ය විශ්වවිද්‍යාලය ශාස්ත්‍රීය ලෝකයේ ඉදිරියට ගෙනයාමට මහාචාර්ය සෞමය සිදුකරමින් සිටි කාර්යභාරය විශේෂ ඇගයීමකට පාත්‍රවිය යුතුය.

බුද්ධිමතුන් දඩයම 

ශාස්ත්‍රීය ලෝකයෙන් මහාචාර්ය ලියනගේ ට සිදුවූ අසාධාරණය පිළිබඳව විශාල හඬක් මතුවෙමින් තිබේ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අතිගරු ජනාධිපතිතුමාට මේ පිළිබඳව දැනටමත් ලියා ඇත. දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සසංක පෙරේරා මේ ගැන විශාල අවධානයක් ලබාදී ඇත. ලංකාවේ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තරව පිළිගත් බුද්ධිමතුන් මේතත්වය වහා යුක්තිගරුකව විසඳීමට බලකර සිටී. මේවනවිට ලොව පුරා බුද්ධිමතුන්ගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර අභියාචනයක් අන්තර්ජාලය හරහා සම්පාදනය වෙමින් තිබේ. පන්දහසකට වැඩි පිරිසක් දින කිහිපයකදී එයට දායකවී තිබිණ. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මේසඳහා ඉදිරි කටයුතු සැළසුම් කරමින් සිටී. සමස්ත ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියම මෙම ප්‍රචණ්ඩ සහ අත්තනෝමතික ක්‍රියාවෙන් කම්පනයට පත්වී ඇත. බුද්ධිමතුන් දඩයම් කරන මෙම ක්‍රියාවළිය වහා නැවැත්විය යුතුය. සෞම්‍ය ලියනගේ මහාචාර්යවරයා යළි සේවයේ පිහිටුවා ඔහුට යුක්තිය ඉෂ්ට කරන තෙක් සියලු විශ්වවිද්‍යාල අවදියෙන් සිටිනු ඇත. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.