25 April, 2024

Blog

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ එ.ජා.ප. යෝජනා

ජයම්පති වික‍්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනස්කම්, උණුසුම් සංවාද මාතෘකාවක් බවට නැවත පත්ව ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීමට තතනයි. ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වකරුවන් එය සහමුලින් අහෝසි කිරීම සඳහා පෙනී සිටින අතර සන්ධාන නායකත්වයේ සහාය ඔවුන්ට ඇතැ යි විශ්වාස කෙරේ. සන්ධාන පාර්ශ්වකරුවන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ම කාලයක් තිස්සේ විඳවූ ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව අහෝසි කිරීමට සන්ධාන නායකයන් දිව්රා ප‍්‍රතිඥා දී තිබුණත්, එම ව්‍යවස්ථාව දිගටම පවත්වා ගැනීමට එකී නායකයන් දැන් කැමැත්තක් දක්වන සෙයක් පෙනේ. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් දියත් කෙරුණු ‘සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය’ මගින් ඉදිරිපත් කොට ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගැන ද සෑහෙන උනන්දුවක් මේ වන විට ඇති වී තිබේ. දස වැදැරුම් වැඩපිලිවෙලක් ඒ මගින් ප‍්‍රකාශයට පත්කොට ඇති අතර, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ 17 වැනි සංශෝධනය යළි ස්ථාපිත කිරීම හදිසි කර්තව්‍යයන් වශයෙන් එම වැඩපිලිවෙල තුළ විශේෂයෙන් අවධාරණය කෙරේ.

1978 ව්‍යවස්ථාව නිර්මාණය කළ සහ තමන්ටම එයින් බැටකන්ට වන තෙක් එය ආරක්ෂා කිරීමට තැතනූ එක්සත් ජාතික පක්ෂය ද දැන් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියක් ප‍්‍රසිද්ධියට පත්කොට ඇත. මෙය සාධනීය වර්ධනයකි. මේ තත්ත්වය තුළ, සියලූ දේශපාලන පක්ෂ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ තම ස්ථාවරයක් ප‍්‍රකාශ කිරීම යෙහෙකි.

මූලික අයිතිවාසිකම්

සිය යෝජනාවලියේ පූර්විකාවේ එක්සත් ජාතික පක්ෂය මෙසේ ප‍්‍රකාශ කරයි:
ශ්රීෙ ලංකා ජනරජයේ පරමාධිපත්යි ජනතාව සතු වන අතර එය අන්සතු කළ නො හැකි ය. ජනතාවගේ පරමාධිපත්ය බලය යන්නට මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් වන අතර සර්ව ජන ඡන්ද බලය ජනතාව ඍජු ලෙස ක්රියාත්මක කළ යුතු වන්නේ යග එකී මූලික අයිතිවාසිකම් යන්නට
අ) අධ්යාුපනය සඳහා සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්රතස්ථාවක් ලබා ගැනීමට ඇති අයිතිය,
ආ) විවිධ භාෂාවන් භාවිත කරන සහ විවිධ ආගම් අදහන්නා වූ ජන කොට්ඨාසයන් විසින් අනුගමනය කරනු ලබන්නා වූ සංස්කෘතීන් වලට අනුකූලව ඒ ඒ භාෂා භාවිතා කිරීමට දල ඒ ඒ ආගම් ඇදහීමට ද ඒ ඒ ජන කොටස්වලට අයත් ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම,
ඇ) රාජ්යය පාලනය තුළ යහ පාලනය පවත්වා ගෙන යාමට ඇති අයිතිය තහවුරු කිරීම ඇතුළත් වන්නේ යග

මෙසේ අයිතිවාසිකම් තුනක් ඉස්මතු කරන්නේ ඇයි? අයිතිවාසිකම්වල ධූරාවලියක් කෙරෙහි එක්සත් ජාතික පක්ෂය විශ්වාසය තබන්නේ ද? එසේ නම්, ජීවිතයට ඇති අයිතිය ගැන කියන්නේ කුමක් ද?

මූලික අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ යෝජනා කොහෙත්ම නොසෑහෙයි. වර්තමාන ජගත් ප‍්‍රවණතාව වන්නේ, සිවිල් සහ දේශපාලන අයිතීන්වල පරාසය පුළුල් කිරීමත්, සමාජ, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් මෙන්ම, කාන්තා සහ ළමා අයිතීන් ද, බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් වශයෙන් පිළිගැනීමත් ය. එහෙත් අළුතෙන් යෝජනා කර ඇති එකම සිවිල් සහ දේශපාලනික අයිතිය වන්නේ, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ යි.

යහපත් සෞඛ්‍ය පහසුකම්, රැකියා අවස්ථා, නිදහස් අධ්‍යාපන වරම, ළමා, කාන්තා සහ පවුලේ අයිතීන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහ ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම යනුවෙන් ගැනෙන එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව ඉදිරිපත් කෙරෙන්නේ, බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් වශයෙන් නොව, හුදෙක් රාජ්‍ය ප‍්‍රතිපත්ති මූලධර්ම වශයෙනි. අධ්‍යාපනය සඳහා වන වරම වැදගත් මූලික අයිතිවාසිකමක් වශයෙන් පූර්විකාවේ විස්තර කෙරෙතත්, පසුව එය රාජ්‍ය ප‍්‍රතිපත්ති මූලධර්මයකට පහත හෙලයි.

2000 දී එක්සත් ජාතික පක්ෂය සමග පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන සාකච්ඡුා කළ අවස්ථාවේ, සමාජ, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් මෙන්ම කාන්තා සහ ළමා අයිතීන් ද, හුදෙක් රාජ්‍ය ප‍්‍රතිපත්ති වශයෙන් නොව, බලාත්මක කළ හැකි මූලික අයිතීන් වශයෙන් පිළිගත යුතුව ඇති බවට ආණ්ඩුව යෝජනා කෙළේය. ජනාධිපති කුමාරතුංග සහ රනිල් වික‍්‍රමසිංහ මහතා සාකච්ඡුාවට සහභාගී නොවු එක් දවසක, එක්සත් ජාතික පක්ෂයේ කේ. එන්. චොක්සි මහතා මේ අයිතීන් පිළිගැනීමට දැඩි විරෝධය පළ කර සිටියේය. සන්ධාන නායකයෝ ද සටනකින් තොරවම ඒ අදහසට යට වූහ. මේ ගැන දැනගත් සිවිල් සමාජ ක‍්‍රියාධරයෝ මානව හිමිකම් හමුවක දී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මහින්ද සමරසිංහ මහතාගේ ඇඟටත් කඩාපැන්න ගානයි. මේ සිද්ධියෙන් පසු වික‍්‍රමසිංහ මහතා සමග මේ ගැන සාකච්ඡුා කළ සමරසිංහ මහතා, සිය නායකයාගේ ද අවසරය ඇතිව, පසු දවසක වික‍්‍රමසිංහ මහතාත් ජනාධිපති කුමාරතුංගත් සහභාගී වූ සාකච්ඡුා වටයක දී මේ ප‍්‍රශ්නය මතු කෙළේය. එහි දී නායකයන් දෙදෙනාම ඊට සහාය පළ කළ අතර, ඉහත සඳහන් අයිතීන් ඇතුළත් කරගත යුතු බවට, චොක්සි මහතාගේ විරෝධය නොතකාම, කවුරුත් එකඟ වූහ. දැඩි දක්ෂිණාංශික මතධාරී චොක්සි මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරී දේශපාලනයේ නැති තත්ත්වය තුළ, එක්සත් ජාතික පක්ෂය මානව හිමිකම් කෙරෙහි මීට වඩා හිතවාදී විය යුතුව තිබුනි.

ආණ්ඩුක‍්‍රම මාදිලිය

විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය, එය අහෝසි කිරීමට අවසානයේ දී හිත හදාගැනීම සාධනීය වර්ධනයක් වන නමුත්, ඒ වෙනුවට ඇති කරගන්නා ආණ්ඩුක‍්‍රම මාදිලිය ගැන තීරණයක් ගෙන නැත. ඔවුන්ගේ ප‍්‍රථම විකල්පය වන්නේ, සෘජු මහජන ඡුන්දයෙන් වෙනම පත්කරගන්නා අගමැතිවරයෙකුගෙන් යුත් ආණ්ඩු ක‍්‍රමයකි. එම අගමැති සහ කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුවට වගකියනු ලැබේ. ආණ්ඩුවේ ස්ථාවරත්වය, මේ විකල්පය පසුපස ඇති තර්කනය යැයි පෙනේ.

කුඩා දක්ෂිණාංශික පක්ෂ බලගතුව පැවති අවස්ථාවක, ඊශ‍්‍රායලය මේ ක‍්‍රමය අත්හදා බැලූවේය. කුඩා පක්ෂවලට හිතවාදී මුත් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය කරන හෙයින් ප‍්‍රධාන පක්ෂයකට කලින් ඡුන්දය පාවිච්චි කළ අය, මේ නව ක‍්‍රමය යටතේ ප‍්‍රධාන පක්ෂයක අගමැති අපේක්ෂකයා වෙනුවෙන් වෙනම ඡුන්දය පාවිච්චි කොට, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීම සඳහා කුඩා පක්ෂවල අපේක්ෂකයන්ට ඡුන්දය දුන්හ. එයින් සිදුවුණේ කුඩා පක්ෂවලට ඉස්සරටත් වඩා බලයක් හිමි වීමයි. 1996, 1999 සහ 2001 දී මෙසේ සෘජු ඡුන්දයෙන් අගමැතිවරයාව තෝරාපත්කරගත් ඊශ‍්‍රායලය, ඉන් පසු එම ක‍්‍රමය අතහැර දැමීය. බොහෝ පක්ෂ ඇති ශ‍්‍රී ලංකාව වැනි රටක, සෘජු ඡුන්දයෙන් පත්කරගන්නා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් බවට පත්ව, අයවැය ඇතුළු වෙනත් පනත් සම්මත කර ගැනීමේ නොහැකියාවෙන් පෙළෙන්නට පිළිවන. එසේ වූ විට සිදුවන්නේ, සභාග දේශපාලනයට නැවත නතුවීමයි. එනම්, අද පවතින තත්ත්වයටම පත්වීමයි.

දෙවැනි විකල්පය අළුත් ක‍්‍රමයක් වශයෙන් හැඳින්වේ. එහි දී විධායක බලය ක‍්‍රියාත්මක කෙරෙන්නේ, ‘අදේශපාලනික පදනමකිනි.’ රාජ්‍ය නායකයාව කෙලින්ම ජනතා ඡුන්දයෙන් පත්කර ගන්නා අතර, ඔහු ‘රාජ්‍ය සභාවේ’ ප‍්‍රධානියා ද වෙයි. (අගමැති, විපක්ෂ නායක, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සහ පළාත් සභාවල මහ ඇමතිවරුන්ගෙන් මේ ‘රාජ්‍ය සභාව’ සමන්විත වෙයි). රාජ්‍ය නායකයා කටයුතු කරන්නේ, ‘රාජ්‍ය සභාවේ’ උපදෙස් මතයි. ‘සියලූ දේශපාලනික දිසානතීන් සහ ජාතික ප‍්‍රමුඛතා’ පිළිබඳ තීරණ ගනු ලබන්නේ, මේ ‘රාජ්‍ය සභාවෙනි’. ප‍්‍රායෝගිකව, ‘රාජ්‍ය සභාව’ට විධායක බලය හිමිවන බව සුපරීක්ෂාවෙන් බැලූ විට පෙනේ. ‘රාජ්‍ය සභාවේ’ තීරණ ක‍්‍රියාත්මක කිරීම, අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයත්, පළාත්සභා මහ ඇමති මණ්ඩලත් සතු වගකීමකි. විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ වෙනත් පක්ෂවල නායකයන් ද ‘රාජ්‍ය සභාවේ’ සාමාජිකයන් වන නිසා, පාර්ලිමේන්තුවේ වෙනම විපක්ෂයක් කුමට ද? අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පමණක් නොව, පළාත් සභා ඇමති මණ්ඩලත් කරන්නේ, හුදෙක් ‘රාජ්‍ය සභාවේ’ තීරණ ක‍්‍රියාත්මක කිරීමයි. සත්තකින්ම, අළුත් ක‍්‍රමයක් තමයි.

රාජ්‍ය නායකයාට ඇත්තේ මෙතරම් සීමිත බලයක් නම් ඔහුව වෙනම ඡුන්දයකින් පත්කර ගැනීමට රුපියල් බිලියන ගණනක් නාස්ති කරන්නේ ඇයි? පසු ගිය වර ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 1.8 ක ධනස්කන්ධයක් වැය විය. දේශපාලන විද්‍යාඥයන්, විශේෂයෙන් ලිෆාර්ට් වැන්නන්, පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක රාජ්‍ය නායකයාව සෘජු මහජන ඡුන්දයකින් පත්කර ගැනීම ගැන අනතුරු අඟවා තිබේ. එසේ ඡුන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක්, සීමිත බලතල සහිතව වුවත්, ක‍්‍රියාකාරී දේශපාලනික සහභාගීකරුවෙකු වීමට ඉඩකඩ තිබේ. අගමැතිවරයාට පවා නැති සෘජු ජනතා වරමක් තමන්ට ඇතැ යි යන පදනම යටතේ, සමස්ත ආණ්ඩු ක‍්‍රමය අර්ධ-ජනාධිපති ක‍්‍රමයක් බවට පරිවර්තනය කර ගැනීමට එවැන්නෙකු පෙළඹිය හැකිය.

පැහැදිළිවම, මගේ කැමැත්ත ඇත්තේ, තුන්වැනි විකල්පයටයි. එනම්, පාර්ලිමේන්තුව ආණ්ඩු ක‍්‍රමයටයි. ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක් පිළිබඳ ජේ. ආර්. ජයවර්ධනගේ යෝජනාවට එරෙහිව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ කරුණු දක්වමින් එදා ඩඞ්ලි සේනානායක පවා පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක ඇති වැදගත්කම පෙන්වා දුන්නේය. එහෙත් පාර්ලිමේන්තුව ආණ්ඩු ක‍්‍රමයකදී පවා, ආරක්ෂණ පියවර ගත යුතුව තිබේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධන ප‍්‍රතිපාදන, ඩිව් ගුණසේකර තේරීම් කාරක සභාවෙන් යෝජිත වෙනස්කම් ද ඇතුළත්, නිසි සංශෝධන සහිතව එහි දී යෙදාගත හැක.

බලය බෙදාහැරීම

සැබෑ බලය බෙදාහැරීමක් සඳහා වන තමන්ගේ කැපවීම යළි තහවුරු කරන එක්සත් ජාතික පක්ෂය, ඒ අරමුණ සඳහා උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් සභා වාර්තාව සහ තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් එළිදැක්වුණු සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ තීන්දු සැළකිල්ලට ගත යුතුව ඇති බව පෙන්වා දෙයි. මෙය ප‍්‍රශංසනීය යෝජනාවකි. එහෙත් ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතිය යුතු බව කියමින් එක්සත් ජාතික පක්ෂය සිංහල අන්තවාදයට යට වන්නේ ඇයි? මගේ අදහස වන්නේ, ‘ඒකීය’, ‘ෆෙඩරල්’ හෝ ‘සංගමය’ වැනි කිසි ලේබලයක් පාවිච්චි නොකළ යුතු බව ය. මෙවැනි ලේබල්, භේදකාරී විය හැකිය, නොමග යවන සුළු විය හැකිය. හොඳම දෙය වන්නේ, අර්ථවත් බලය බෙදාහැරීමකුත්, කේන්ද්‍රයේ බලය බෙදාහදා ගැනීමකුත් ආරක්ෂණ විධිවිධානත් සඳහා මග පෑදීමයි. රටේ දේශපාලනික සහ ආර්ථික ඒකාග‍්‍රතාවත්, භෞමික අඛණ්ඩතාවත් සඳහා අවශ්‍ය කෙරෙන බලතල කේන්ද්‍රයට තබාගෙන සෙසු බලතල පළාත්බදව බෙදාහැරිය හැකිය. පර්යන්ත ඒකක විසින් බලය අයථා භාවිතය වළක්වන ආරක්ෂණ විධිවිධාන කෙරෙහි මා මුළුමණින් එකඟ මුත්, එවැනි ආරක්ෂණ විධිවිධාන කේන්ද්‍රය මගින් අයථා අන්දමින් පාවිච්චි කිරීම ද වැළැක්විය යුතුය. පුළුල් බලතල බෙදාහැරීමක් සඳහා වන ප‍්‍රතිපාදන 2000 ආණ්ඩුක‍්‍රම කෙටුම්පතේ අන්තර්ගත විය. ඒ සමගම, ඒවායේ අයථා පරිහරණය වළක්වන ආරක්ෂණ විධිවිධාන ද එහි ඇතුළත් විය. එහෙත්, ඉහත සඳහන් ලේබල් කිසිවක් එහි අඩංගු නොවිණ. එක්සත් ජාතික පක්ෂය එකී බලය බෙදාහැරීමට එදා එකඟ වූ බව මෙහි දී සිහිපත් කළ යුතුය.

ව්‍යවස්ථා අධිකරණයක් සඳහා වන එක්සත් ජාතික පක්ෂ යෝජනාව ද ප‍්‍රශංසනීයයි. එහෙත්, පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීමට පමණක් එහි බලතල ලඝු කරන්නේ ඇයි? නීතියක් සම්මතවූ පසුවද ඵහි ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීමට අධිකරණයට බලය දීම දක්වා ආපසු යෑමට කාලය පැමිණ තිබේ. බලරහිත කිරීමේ නියෝගයක් අතීතයට බලපෑම සුදුසු නඩුකර සම්බන්ධයෙන් සීමා කරන බලය අධිකරණයට එ් සමගම දිය හැක.

ඉඩකඩ මදි නිසා එක්සත් ජාතික පක්ෂයේ සමස්ත යෝජනාවලිය ගැන මෙහි දී සාකච්ඡුා කළ නොහේ. කෙසේ වෙතත්, ඉදිරිපත් කර ඇති යෝජනා බරසාර සංවාදයකට අත්‍යන්තයෙන් උචිත ය. අනාගතයේ ඉදිරිපත් විය හැකි විවිධ විවේචන සම්බන්ධයෙන් පක්ෂය සාවධාන වුණොත් යෙහෙකි. මේ යෝජනා පැමිණ ඇත්තේ, සමස්ත ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳ සාකච්ඡුාවෙන්, පළාත් සභා දියාරු කිරීම පිළිබඳ පටු සාකච්ඡුාවක් වෙත (හිතාමතාම?) අවධානය මාරු කෙරෙමින් ඇති අවස්ථාවක ය. එසේම තමන්ගේ ද යෝජනා ඇතොත්, මේ කතිකාව පොහොසත් කරමින්, ඒවා ද ඉදිරිපත් කිරීමට වෙනත් පක්ෂවලටත් මෙය මහඟු අවස්ථාවකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඒ. ජා. ප කොච්චර යෝජනා පිට යෝජනා ගෙනාවත් ආයෙත් ජනවරමක් ගන්න වා බොරු ….

    • 0
      0

      ඒක හරි සැම්,ලංකාවේ මිනිස්සු කැමති මේ නරාවලේම කෙඳිරි ගාමින් ජිවත් වෙන්නනේ.

  • 0
    0

    මෙයාලගේ යෝජනා ක්‍රියාත්මක කරන්න ගියොත් ඉතින් අමාරුවේ වැටෙන්න තමයි වෙන්නේ .දැන් එයාලත් අමාරුවේ වැටිලානේ ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතිව

  • 0
    0

    මොනවා කරන්නත් කලින් තමන්ගේ පක්ෂය හරියට කළමනාකරණය කරගෙන ඉන්න ඕනනේ .එක කරගන්න බැරි නම් ඉතින් අනිත් ඒවා ගැන මොන කතාද

  • 0
    0

    මේකේ කිසිම අළුත් දෙයක් නෑ. තිබුන ඒවයි, තියෙන ඒවයි සම්මිශ්‍රණය කරලා හදපු තැම්බුම් හොද්දක්. අවශ්‍ය වන්නේ මේ තියෙන කාළකන්නි ක්‍රමය් උඩු යටිකුරු කරන වෙනසක්. කප්පරක් උපදේශකවරු, අවුරුදු පහෙන් පෙන්ෂන්, මුලු පවුලටම ආන්ඩුවෙන් පඩි. අධි සුඛෝපභෝගී වාහන, ජනතාවට කරදරයක් වූ ආරක්ෂකයන් හා රථගාය. මේ කිසිවක් වෙනස් නොකර ඉදිරිපත් කරන දේ වලට වඩා. දන්න යකා හොඳයි. උතුරු මැද පලාත් සභාවේ ට්‍රිප් එකත් කැන්සල් කරලා තියෙන්නේ.

  • 0
    0

    විපක්ෂය කුමක් කලත් විපක්ෂයේ ක්‍රියාවන් ජනතාව දැනගෙන හමාරයි.ඔවුන්ට අවශ්‍ය වෙන කිසිවක් නෙමේ මේ රට විකුණලා හරි මේ රටේ පාලනය අතට ගැනීමයි.ඒ නිසාම තමා මේ රටේ මායිම් කොටියට ලියා දී රට නැති කරන්න හැදුවේ.දැන් කතා කරන්නේ ඔක්කොම මුකුත් කරපු නැති බබ්බු වගේ.

  • 0
    0

    ඕක යෝජනාවක් ම විතරයි අයියෝ .

  • 0
    0

    මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.මේ අයිය කවද දිනයිද දන්නැ අනේ .හ්ම්ම්

  • 0
    0

    comison 5 kriyatmakakaraganna bariwa 18 ewat karaganna bariwa pakse aya me welawe hatiyata tiyaganna bariwa sitinawita janatawa nagitala u.n.p. ekata balayadenakan da sitinne ranil mahattayo obe vedasa sambanda balayai pradesiya nayakayange balayai ekatu karanna. j.r.mama palat saba wage kriyawenme palat nayakayo asana mattamin hitiya matakada j.r. videsa sambandata tiyagatta pradesiya nayakatwaya harahajanatabalawegaya tiyagata. namut j.r.kala siyalle api pili ganne nati katawa venama ekak.team ekak wasayen yayutui .my man lahitiyata madi.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.