20 April, 2024

Blog

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මාර්ග සැලැස්ම

ජයම්පති වික‍්‍රමරත්න  –

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

අද මෙම ශාලාව තුළ සිවිල් සහ දේශපාලන සමාජයේ පුළුල් වර්ණාවලියක් අපි දකිමු. ආගමික නායකයින්, දේශපාලනඥයින්, වෘත්තිකයින්, කලාකරුවන්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, සිසුන් ආදීන් වන මෙම පිිරිස එක් කාරණයක් පිළිබඳව එකඟ වූ අය වෙති. එම කාරණය වන්නේ අපිට වඩා පුළුල් දේශපාලන අවකාශයක් අවශ්‍ය බව ය.

එවැනි දේශපාලන අවකාශයක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍යය යැයි හැෙඟන අවම යෝජනා කිහිපයක් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ ප‍්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කර ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇතිකිරීම සහ අධිකරණය සහ ස්වාධීන ආයතන සඳහා කෙරෙන පත්වීම් පිළිබඳ ජාතික එකඟත්වයක් ඇති කිරීම එය වේ.

පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් කළ හැකි නම් හොඳම දෙය එය බවට සැකයක් නැත. එහෙත් ව්‍යවස්ථා සාදන්නේ හිස් අවකාශ තුළ නොව ඉතා රළු දේශපාලන රංගභූමි මත ය.

අද පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කණයක් ඇති කිරීම කොතරම් ප‍්‍රායෝගිකද? 1994‐2000 කාලය තූල උත්සාහ කළාක් මෙන් නව මූලික අයිතිවාසිකම් පරිච්ඡෙදයක්, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ, ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ආදිය ඇතුලත් ප‍්‍රතිසංස්කරණයක් කළ හැකි නම් මමද ඊට කැමැත්තෙමි. එහෙත්, එවැනි කාරණා පිළිබඳ බරපතල කතිකාවක් කළ හැකි පසුබිමක් හෝ අද තිබේ ද?

මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ගනිමු. 1994-2000 කාලය තුළ මේ පිළිබඳව පොදුජන එක්සත් පෙරමුණ ඇතුළත පවා එකඟත්වයක් නොතිබුණි. ඉන් පසු තේරීම් කාරක සභා දෙකක් ද ඇතුළු නොයෙකුත් ව්‍යායාම වලින් පසුවත් අදත් එකඟත්වයක් නොමැත.

1994-2000 කාලය තුළ දෙමළ, මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ පක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධ විය. එසේ අහෝසි කිරීමට තමන් එකඟ වන්නේ දේශපාලන විසඳුමක් ද ඇතුලත් නව ව්‍යවස්ථාවක් ඇතිකරන්නේ නම් පමණක් යැයි ඔවුහු පැවසූ හ. එදා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ඇදීගොස් අවසානයේ දී අසාර්ථක වීමට මෙය ද බලපෑවේ ය.

එහෙත්, ඇති කෙටි කාලය තුළ අනිකුත් කාරණා පිළිබඳව ද එකඟ විය හැකි නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට යටත්ව අප එසේ කිරීමට උත්සාහ දැරිය යුතු ය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම බැලූ බැල්මට තනි කරුණක් වූවත් විශේෂයෙන්ම වර්තමාන අධිකාරිවාදී පරිසරය තුළ ඊට ඈඳුණු කරුණු ගණනාවක් ඇත. නීතියේ ආධිපත්‍යය යටපත්වීම, නීතිය සහ සාමය බිඳ වැටීම, නීතිය බිඳ ගැලවී යෑමට බලවතුන්ට හැකිවීම, අධිකරණයේ ස්වාධීනත්වයට ඇති තර්ජන, රාජ්‍ය සේවය සහ පොලිසිය වැනි ආයතන වල ස්වාධීනත්වය නැතිවීම, වගවීමක් නොමැතිවීම, වෙනස් මත නොඉවසීම, මාධ්‍ය මත ඇති පීඩනය, ආගමික විවිධත්වය නොඉවසීම ආදි සියල්ලට අධිකාරිවාදී පරිසරය සම්බන්ධය. දූෂණය, නාස්තිය, පමණ ඉක්ම වූ වියදම් ආදියෙන් මහජන මුදල් විනාශ වන අතර එම හිඟය බදු මගින් සාමාන්‍ය ජනයාගෙන් අයකර ගැනීම නිසා ජීවන වියදම ඉහළ යයි. 

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ විට ඇතිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළ පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් ගැන කතිකාවක් කිරීමට ඉඩකඩක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරමු. එහෙත් වර්තමානයේ වුව ද අප ගොඩ නගමින් සිටින අදහස් වර්ණාවලියට හානියක් නොවන පරිදි වෙනත් කාරණා පිළිබඳව ද එකඟවිය හැකි නම් එය ද උත්සාහ කළ හැක.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇති කිරීම සඳහා පැහැදිළි මාර්ග සිතියමක් සාධාරණ සමාජයක් සූඳහා වූ ජාතික ව්‍යාපාරය යෝජනා කර සිටී. 17 වන සංශෝධනයේ ඇති දුර්වලකම් ඉවත් කිරීම සඳහා ඩිව් ගුණසේකර තේරීම් කාරක සභාවේ එකඟ වූ කරුණු ඇතුලත් කර එම සංශෝධනය ද නැවත ගෙන ආ යුතු ය.

ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ හුදු පොරොන්දුවක් දෙනවා වෙනුවට අප යෝජනා කරන්නේ යෝජිත වෙනස්කම් සඳහා වූ නීතිමය කෙටුම්පත පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප‍්‍රකාශය සමග ප‍්‍රසිද්ධ කළ යුතු බව ය. එවිට, තමන් ඡුන්දය දෙන්නේ හෝ නොදෙන්නේ කුමකට දැයි සෑම කෙනෙකුම දනිති.

මුළු ක‍්‍රියාදාමයම ජනාධිපති මැතිවරණයෙන් මාස 6ක් ඇතුළත අවසන් කළ යුතුය. සංශෝධන පනත් කෙටුම්පත මාසයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර එසේ ඉදිරිපත් කරන නිශ්චිත දිනය මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් විය යුතු ය. උදාහරණයක් වශයෙන් මැතිවරණය පැවැත්වෙන්නේ 2015 ජනවාරි 3 වන දින නම් පෙබරවාරි 2 වන දින පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් වනු ඇත. සංශෝධනය ක‍්‍රියාත්මක වන නිශ්චිත දිනය වන 2015 ජූලි 3 වන දින පනත් කෙටුම්පතේ සඳහන් වේ. නව සංශෝධනය ක‍්‍රියාත්මක වන දිනය නියම කිරීමට හෝ නව ජනාධිපති වරයාට අභිමතයක් නොමැත.

එවැනි සංශෝධනයකට අවශ්‍ය 2/3 වැඩි ඡුන්දය පාර්ලිමේන්තුව තුළ ලබා ගන්නේ කෙසේ දැයි යන්න වලංගු ප‍්‍රශ්නයකි. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂයේ මන්ත‍්‍රිවරු ගණනාවක් ද එහි වත්මන් හවුල්කාර පක්ෂ ගණනාවක් ද මෙම සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට කැප වූ පොදු අපේක්ෂකයෙකුට සහාය දෙනු ඇත. පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයත් සමග ඔහුට හෝ ඇයට විරුද්ධ වූ මන්ත‍්‍රිවරුන් විපක්ෂයට යනු ඇත. එසේ විපක්ෂයට යන මන්ත‍්‍රිවරුන් විධායක ජනාධිපති ක‍්‍රමයෙන් පීඩා නොවිඳ එයින් ගැලවීමට සංශෝධනයට සහාය දීම නිසැක ය. පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළ ඔවුනට නැවත බලයට ඒමට ඉඩකඩක් ලැබේ. එහෙත් කල් ගත වුවහොත් නොයෙකුත් වෙනත් සාධක මතුවිය හැකි බැවින් මසක් ඇතුලත සංශෝධනය ඉදිරිපත් කල යුතු වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති නඩු තීන්දු අනුව පෙනී යන්නේ මෙම සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. එහෙත් එවැන්නක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් එය ද පැවැත්විය හැක. පාර්ලිමේන්තුව තුල 2/3 බහුතරයක් ලබාගත් පසු මහජනතාවගේ අනුමැතිය ලබා ගැනීම කිසිසේත් අපහසු නොවෙනු ඇත.

ඉහත කී උදාහරණයට අනුව 2015 ජූලි 3 වන දා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වන අතර ජනාධිපති ධුරයට පත් වූ පොදු අපේක්ෂකයා සිය කාර්යභාරය ඉටුකර ඉවත්ව යනු ඇත. 1972 ව්‍යවස්ථාව යටතේ විලියම් ගොපල්ලව මහතා වැනි නාමික ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු විසින් තෝරාගනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහාය ලබන මන්ත‍්‍රීවරයා නව අගමැතිවරයා වන්නේ ය.

පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිරූපය ඉස්මතු කරණු වෙනුවට අපේක්ෂකත්වයට මුල් තැන දිය යුතු යැයි අපි යෝජනා කරමු. එවිට යෝජිත ක‍්‍රියාවලියට වඩා වැඩි පිරිසකගේ දායකත්වය ලැබෙන අතර එමගින් පුළුල් ජන සහභාගිත්වයක් ද ඇතිවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් ඇතිකිරීම සඳහා වූ අපගේ උත්සාහය සාර්ථක වීම සඳහා දේදුන්නක් මෙන් වර්ණවත් පුළුල් එකමුතුවක් ගොඩනැගිය යුතු ය. ඒ සඳහා වැදගත් පියවරක් අපි අද ගත්තෙමු. මෙම එකමුතුව තවත් පුළුල්කර ශක්තිමත් කළ යුතු ය.

*2014 ජූලි 24 දින සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ විද්වත් කතිකාවේ දී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න කළ කථාව

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    මොන රඡය පැවතුනත් සෝභිත හාමුදුරුවන් හැමදාමත් දැක්කේ පවතින රඡයේ වැරදිය. එනිසාම උන්වහන්සේ හැමදාමත්ම පෙලපාලිගියේත්, උපවාසකලෙත්, හිටගත්තේත් පවතින රඡයට විරුද්ධ පැත්තෙන්ය. රඡයක් කරගනයෑමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය සහ එය පවත්වාගනයෑමේ අැති අසීරුකම්, අමාරුකම රඡය පැත්තෙන් උන්වහන්සේ කවදාවත් බලා නැති බව මගේ හැඟීමය. රටකට ස්ථාවර රඡයක් තිබීමේ අැති අවශ්‍යතාවයවත් උන්වහන්සේ තක්සේරුකර අැද්ද යන්න මට නම් සැකසහිතය.

    JRJ නම් රඡයක් කරගනයෑමේ ගුන අගුන දෙකම දෙපැත්තෙන්ම අත්විඳි පුද්ගලයෙකු බව අපි හැමෝම දනිමු. එසේම සිංගප්පූරුව ලබා අැති සීග්‍ර දියුනුව JRJ අගය කලබවත් අප අසා අැත්තෙමු. අගමැති ලී සිංගප්පූරුව පාලනය කලේ ප්‍රඡාතන්ත්‍රවාදී එ්කාධිපතියෙකු (oxymoron) ලෙසය. ලංකාවත් සිංගප්පූරු මට්ටමට ගෙනඑ්මට නම් වම්මුන් විසින් අැට්ටර කර අැති ලංකාවෙ ප්‍රඡාතන්ත්‍රවාදය එක්තරා මට්ටමක තබාගතයුතු බව JRJ තරයේ විශ්වාස කරන්නට අැති බව මගේ හැඟිමය.

    නමුත් 1977 දී පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් ලබා තිබියදීත් JRJ විධායක ඡනාධිපති ක්‍රමය ගෙන අාවේ මැරෙනකම් රඡ වී සිටින්නට හෝ රඡ පරපුරක් හදන්නට බව මම විශ්වාස නොකරමි. රට දියුනු කිරීමට යම් වැඩ පිලිවෙලක් කිසියම් කාලයක් කරගෙන යායුතු බව ඔහු විශ්වාස කරන්නට අැතැයි මට සිතේ. එය කල හැක්කේ ස්ථාවර රඡයකට බවත් ස්ථාවර රඡයක් පවත්වාගෙන යා හැක්කේ විධායක ඡනාධිපති ක්‍රමය හරහා බවත් ඔහු විශ්වාස කරන්නට අැත. JRJට සාර්ථකව රට දියුනු කිරීමට බැරිවීම වෙනම කතාවකි. මම පෙනෙන අාකාරයට JRJගේ විධායක ඡනාධිපති ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වන්නේ මහින්ද රාඡපක්ෂ බවයි.

    ව්‍යවස්ථාවෙන් මොන බලතල ලබාදී තිබුනත් ව්‍යවස්ථාවට පිටින් මන්ත්‍රිගේ සිට අගමැති දක්වා සියලුදෙනාගෙන්ම දින නැති ලිපි බලහත්කාරයෙන් ලබාගත්තෙත්, මන්ත්‍රිලාව රබර් සීල් කලේත්, ලාම්පු කලගෙඩි සෙල්ලම කර පුඡාතන්ත්‍රවාදයට ඔච්චම් කලේත් JRJ ඡනාධිපතිවරයාය. රඡකරවන්නට පරපුරක් නැතැයි කියූ JRගේත් ඔලුව ඡනාධිපත් බලයෙන් අච්චාරුඋනා නම් වෙනත් ඔිනෑම අයෙකුට එසේ වියහැකි බව මම අවිවාදයෙන් පිලිගනිමි.

    මොන බලතල තිබුනත්, තවත් බලය බලහත්කාරයෙන් ලබාගත්තත් මහවැලිය හැරෙන්නට අනෙක් හැම පැත්තකින්ම JRJ අසාර්ථක ඡනාධිපතිවරයෙක් විය. එයට හේතු කාරනා වෙනම කතාකල යුතුය. 1989දී තුන්වෙනි වතාවට JRJ චන්දය ඉල්ලුවානම් පරදිනවා ස්තිරය. මෙතන කියන්නට උත්සාහකරන්නේ ඔලුව නරක්උන ඡනාධිපතියෙකුට චන්ද දිනන්ට බැරිබවත් බලයේ ඉන්න බැරිබවත්ය. එනිසා විධායක ඡනාධිපති ක්‍රමයෙන් එ්කාධිපතියෙක් බිහිවෙනවා බොරුය.

    විධායක ඡනාධිපති ක්‍රමය නොවන්නට 2005 සිට 2009 දක්වා ස්ථාවර රඡයක් පවතින්නේ නැතග. ස්ථාවර රඡයක් නොතිබුනේ නම්, යුද්ධය දිනන්නේ නැත. යුද්ධය දිනුවේ නැතිනම්, කොටි ත්‍රස්තවාදය ඉවරවෙන්නේ නැත. එ් අනුව බලනකොට විධායක ඡනාධිපති තනතුරෙන් නියම ප්‍රයෝඡනය ගෙන වැඩක් කලේ මහින්ද රාඡපක්ෂය. නියම ප්‍රයෝඡනය ලැබුනේ ලාංකික ඡනතාවටය. එනිසා ඡනාධිපති ක්‍රමයෙන් රටට අනතුරක් හෝ තනතුරේ වරදක් අැතැයි මට නම් නොපෙනේ. වරද අැත්තෙත් තනතුර හොබවන පුද්ගලයා අතය. JRJ වැනි වැරදි පුද්ගලයෙක් ඡනාධිපති ලෙස පත්කර නොගන්නට මහඡනයා වගබලාගතයුතුය.

    පවතින චන්ද ක්‍රමය අනුව තනි පක්ෂයකට බහුතර අාසන සංඛ්‍යවක් දිනා ගැනීම ඉතාම අපහසු කාරියකි. මන්ත්‍රිලා තම පක්ෂයේ තබා ගැනීම ඊටත් වඩා අපහසු කාරියකි. රනිල් චන්ද්‍රිකාගේ මන්ත්‍රිලා කඩාගත්තේ අැය පාර්ලිමෙන්තුවේ බහුතරය සහිතව ඡනාධිපති තනතුරේ සිටින විටය. රනිල්ට එසේ කිරීමට හැකිවූයේ මහඡනයාට චන්ද්‍රිකා අඡූතවී අැති බව එම මන්ත්‍රිවරු දැන සිටි නිසාය. ඡාතියන්තරය මොන ඡරබරි කලත් රනිල්ට මහින්දගේ මන්ත්‍රිලා කඩාගන්න බැරි මහින්ද මහඡනයා අතර ඡනප්‍රිය නිසාය. රනිල්ගේ මනිත්‍රිලා පෝලිමේ මහින්දගේ පැත්තට යන්නේ රනිිල්ට මහඡන ප්‍රසාදයක් නැති නිසාය. නායකයා ඡනප්‍රිය නැතිනම් මොකා මන්ත්‍රිඋනත් කොයිපැත්තේ හිටියත් කොරන්නේ ඔය ටිකමය.

    මගේ අදහස නම් විධායක ඡනාධිපති තනතුර නොවන්නට පවතින චන්දක්‍රමය විසින් ඉදිරියේදී දේශපාලන වශයෙන් මුලුරටම නන්නත්තාර කරන බවය. එය එසේම වන බව සෝභිත හිමි සහ ශාලාවේ සිටි අනෙක් අය කෙසේවෙතත් ඉදිරියෙන් අසුන්ගෙන සිටි දේශපාලනඥයින් සහ ඊට පසුපස සිටි එන්ඡීඔී නඩය නම් හොදින්ම දනී. සම්බන්දන්ගේ TNAඑක බලාගෙන ඉන්නේ රට අස්ථාවරවූ පසු ඊලම හදා ගන්නටය. එතන සිටි හැමදාමත් පරදින අනිත් දේශපාලනඥයින්ට අවශ්‍ය කෙසේ හෝ මහින්ද පන්නා දැමීමය. මහින්ද පැන්නූ පසු රටට හෙන ගැහුවත් උන්ට කම් නැත.

  • 0
    0

    බණ්ඩා මහත්තයෝ ඔබතුමා ඉටු කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් දැයි ඉතා පැහැදිලිය.ඇත්ත සිංගප්පුරුව හැදුනේ අවන්ක නායකයෙක් රට වෙනුවෙන් කැප වූ නිසා නොවේද .අපේ දේශපාලන කරලියේ ඉන්නේ මොන වගේ නායකයන් දැයි ජනතාවට දැන් ඉතා පැහැදිලිය.ඔවුන්ව එසේ විශ්වාස කල නොහැක.
    රටක දියුණුවට නීතිය හා සාමය ඉතා වැදගත්.ආයෝජකයින් ලංකාවට එන්නේ මේ සියලු දේ බලල.අපට අවශ්‍ය superman ලවත් අදහන්නට අවශ්‍ය මිහිබට දෙවිවරුන් වත් නොව රජයක් හරියට ගෙන යා හැකි සාධාරණ නීතිය සුරකින වාතාවරණයක්.පුද්ගල වන්දනා තුලින් නොව නීතිය හා සාමය රැකීම තුලින් ඉදිරියට රට ගෙන යා හැකි රජයක්. දැන් තත්වය වන්නේ යමෙකු රාජපක්ෂලා ලා හට වන්දි භාට්ටනා නොකර ඔවුන්ට අභියෝග කළහොත් ඔහු හෝ ඇය නැත්තටම නැතිවී යන වාතාවරණයකි.හොඳම උදා හරණය හිටපු අග විනිසුරු තුමිය ගේ ඉරණම ය .මෙය වෙනස් කර පුද්ගලවාදය ඉවත ලා නුතන සංකල්ප හා ප්‍රතිපත්ති අනුව රට ඉදිරියට ගෙන ය හැකි ක්‍රමයක් අපට අවශ්‍ය වේ.මෙය තහවුරු කල හැක්කේ පාර්ලිමේන්තු ජන බලය ශක්තිමත් කිරීමෙන් පමණි.දැන් සිදුවී ඇත්තේ පාර්ලිමේන්තුව ”රාජපක්ෂලාගේ කෙලි බිමක් ” බවට පත්වී ම නොවේද .
    සෝබිත හිමියන් ජනතාවගේ ගවුරවය දිනාගත් හැමදාම රටේ අභිවෘද්දිය වෙනුවෙන් හඬ නැගු කෙනෙක් බව අපි හොඳින් දනිමු.එතුමන් මේ කරන්නේ ජාතික මෙහෙවරක්.මේ පියවර සාර්ථක වුවහොත් අප රට ප්‍රජා තන්ත්‍රවාදය සුරකින ජනතාවගේ අයිතිවාසිකම් වලට ගරු කරන ඔවුන්ට සවන් දෙන සාමකාමී රටක් බවට පත්වීම් නොවැලක්විය හැක.රටේ බලය පිරිහී යාමක් ගැන කිසිවෙකු බිය විය යුතු නැත.අවංක සත්‍ය කරුක පාලනයක් තුලින් ඕනෑම ගැටළුවක් සාධරණ ලෙස විසඳා ගත හැක.අපට අවශ්‍ය ”ජනතා පරමාදිප්ත්‍යය ” විනා ”පවුල් ආධිපත්‍යය ” නොවේ.මේ වෙනස බුද්ධිමත් ජනතාව නිවැරදිව හඳුනා ගත යුතුමය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.