18 July, 2019

Blog

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන

ජයම්පති වික්‍රම​රත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි)

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ.

ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප‍්‍රශ්නයක් පැනනැගී ඇත්තේ ව්‍යවස්ථාවට කරන ලද යම් සංශෝධනයක් ආශ‍්‍රයෙන් නම්, එම සංශෝධනය කිරීමට මත්තෙන් ඊට අදාලව ව්‍යවස්ථාවේ පැවති විධිවිධාන සලකා බැලිය යුතුය. සංශෝධනය ගෙන ඒමට බලපෑ අභිලාෂය සැලකිල්ලට ගත යුතුය. සංශෝධනය ගෙන එන ලද්දේ, මැතිවරණයකදී දෙන ලද පොරොන්දුවක් ප‍්‍රකාරව නම්, එම මැතිවරණයේ පසුබිම සැලකිල්ලට ගත යුතුය. ව්‍යවස්ථාමය විධිවිධාන, හුදෙකලාව ගෙන, රික්තයක බහා කියැවිය නොහැකිය.

2015 මැයි 15 වැනි දා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබුණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලූත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දී මතු කෙරුණු එක් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. පොදු අපේක්ෂකයාට ආධාර කළ බලවේග පැහැදිළිවම පෙනී සිටියේ ජනාධිපති බලතල සීමා කරමින්, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට ය. ඒ ගැන අමුතු විස්තරයක් කිරීම මෙහිදී අවශ්‍ය නොකෙරේ.

පාර්ලිමේන්තුවේ එක් මන්ත‍්‍රීවරයෙකු හැරුණු කොට සියල්ලන්ගේ එකඟත්වයෙන් සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු වාර කාලය අවුරුදු පහකට අඩු කරන ලදි. ජනමත විචාරණයක් අවශ්‍ය කරති යි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටි ඇතැම් විධිවිධාන, එක්කෝ නැවතත් සංශෝධනය කරන ලදි. නැත්නම් අතහැර දමන ලදි. මෙහිදී, ඉහත කී 70 වැනි වගන්තිය සංශෝධනය කොට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කරන ලදි. දැන් ඒ 70 වැනි වගන්තියේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කර ගැනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’

ඒ අනුව, පළමු අවුරුදු හතර හමාරක කාලය ඇතුළත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 150 කට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කරගන්නා යෝජනාවක් ඇතොත් පමණි. මේ බව සඳහන් කොට ඇති ඉහත වචන ඉතා පැහැදිළි ය. නිශ්චිත ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ඇතැයි පවසන පුද්ගලයන් ඒ සඳහා තර්කයක් වශයෙන් පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවේ 33 (2) (අ) වගන්තියයි. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට- (ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය.’’

මේ වගන්තිය ඉහතින් කී 70 වැනි වගන්තිය අභිබවා යන්නේ යැයි ඔවුහු තර්ක කරති. මේ (33) වගන්තියෙන් කෙරෙන්නේ ජනාධිපතිවරයා සතු පොදු බලතලවලින් සමහරක් දක්වා සිටීම පමණි. එම බලය (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය) පාවිච්චි කළ හැක්කේ කෙසේ ද සහ කුමන තත්වයන් යටතේ ද යන්න 70 වැනි වගන්තියෙන් පෙන්වා දෙයි. ඊට අනුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ ප‍්‍රකාශනයක් මගිනි. ඊළඟට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක යෝජනා සම්මතයකින් ඉල්ලා සිටියොත් මිස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට ඉතා පැහැදිළි සීමාවක් පනවා ඇත. 33 (2) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි කිසි බලයක්, ව්‍යවස්ථාවේ ප‍්‍රකාශිතවම සඳහන් විධිවිධානයන් උල්ලංඝණය කිරීමකට තුඩු නොදිය යුතුය. ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව..’’ යන්න, ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප‍්‍රකාශිතවම සඳහන් කොට ඇති ව්‍යවස්ථාමය සීමාවන් අභිබවා යාමට පාවිච්චි කළ නොහැක.

උදාහරණයක් වශයෙන්, 33 (2) වගන්තියේ (ඊ) අනුෙඡ්දනය සලකා බලන්න: ‘‘ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද, අග‍්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල සහ ජනරජයට අයත් වූ ද, ප‍්‍රදානය කිරීමට සහ පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වු ද ඉඩකඩම් සහ අනෙකුත් නිශ්චල දේපළ ප‍්‍රදානය කිරීමේදී හෝ පවරා දීමේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රදාන පත‍්‍රවල සහ පැවරුම් පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’

මේ විධිවිධානය පාවිච්චියට ගනිමින් ජනාධිපතිවරයාට තමන් කැමති පරිද්දෙන් අග‍්‍රවිනිශ්චයකාරවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් විනිශ්චයකාරවරුන් පත් කළ හැකි ද? කොහෙත්ම නොහැක. මන්ද යත්, 41 (ඇ* වගන්තියට අනුව, එම පත්වීම් කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඔහුට අවශ්‍ය කරන බැවිනි.

තව ද, ජනාධිපතිවරයාට විධායක බලය ඇති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් කියැවේ. එසේ වූ පමණින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ ප‍්‍රකාශිත ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන නොතකා හරිමින් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා ඔහුට පත්වීම් කළ හැකි ද?

තමාගේ අභිමතය පරිදි ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ඇතැයි යන තර්කය නිවැරදි නම්, අලූත් පාර්ලිමේන්තුවක් පත්වී එක දවසකින් පසුව වුවත් ඔහුට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිය. ඊට කලින් පැවති පාර්ලිමේන්තුවේ වාර කාලය අවසන් වීමට කලින් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔහුට එසේ කළ හැකි විය යුතුය. මෙය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ව්‍යවස්ථාව යටතේ පවා ජනාධිපතිවරයාට කළ නොහැකි දෙයකි. එබැවින් ඉහත කී අයවළුන්ගේ තර්කයේ ඇති මුග්ධ භාවය එයින්ම පෙනේ.

2018 නොවැම්බර් 09 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ On Dissolution Of Parliament නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    දැන් මෙහෙම ගිහින් හදිසියෙවත් ඊළඟ චන්දෙදිත් පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුනොත්, ජනාධිපති ආපහු පාර්ලිමේන්තුව විසුරුවයිනේ!!!!!!
    හැබැයි එච්චර කල් මේක යන්නේ නැහැ.
    ඒ මොකොද කිව්වා නම් ගමරාළ ලබන සතියේ දිව්‍යලෝකේ යන්ට නියමිතයි.
    දේවල් සිද්ධ වෙන pattern එකේ හැටියට, සිකුරාදා රැයක් වෙන්න පුළුවන්.
    එහෙම කියන්නේ, හඳපානේ දිවුරුම් දීම සිද්ධ වුනේ සිකුරාදා රැයක. පාර්ලිමේන්තුව විසිරෙව්වේ සිකුරාදා රැයක. එහෙම බලපුවහම ගමරාල දිව්‍යලෝකේ යන්නෙත් සිකුරාදා රැයක.
    සමහර විට ගමරාළට දිව්‍යලෝකේ යන්න ඉස්සෙල්ල පිරිත් අහන්න එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි පිරිත් අහන් ඉන්න ගමන් වුනත් දිව්‍යලෝකේ යැවෙන්න පුළුවන්.
    මොකක් වුනත් නොවැම්බර් 16 දවසේ විශේෂත්වයක් තියෙනව. මටත් හරියටම තේරෙන්නේ නැහැ.
    ගමරාළට දිව්‍යලෝකේ යන්න නැට්ටේ එල්ලුවේ කවුද කියලා දැක්කහම මිනිස්සු ගමරාළ දිව්‍යලෝකේ ගියා වගෙයි කියන ජනකතාවේ ගමරාළ කියන තැනට ප්‍රසිද්ධ අකුරු හතරක් එකතු කරල කතාවට පොඩි ඌණ පූරණයක් දාන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසය නැවත මතක් කරනවා වගේ වැඩක්.

  • 0
    0

    දැන් මට මෛත්‍රී කියලා ලියවෙන්නේ නැහැ.
    සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මහ දවල් කඩ කරලා පාර්ලිමේන්තුව විසුරුවල තියෙනව.
    මහින්ද එක්ක එකහු වෙලා දේශපාලන කුමන්ත්‍රණයක් කරල තමන් හිටපු ආණ්ඩුව ආපහු තමන්ම අල්ලාගෙන ව්‍යවස්ථා විරෝධී විදිහට රනිල්ව අයින් කරලා නමුත් රනිල් අගමැති කමේ ඉන්දත්දී, මහින්දව අගමැති කළා.
    හැබැයි ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය විදිහට බහුතරය පෙන්නුවේ නැහැ.
    බහුතරය නැති නිසා පාර්ලිමේන්තුව කල් දැම්ම.
    ඊට පස්සේ බහුතරය හොයන්න රටටම කියා කියා මන්ත්‍රීවරුන්ට අල්ලස් දුන්න. ඇමති පදවි දුන්න. රනිල්ගේ පොරොන්දු රනිල්ටත් ඉහලින් දෙන්න සුළු ජාතින්ට අඬ ගැහැව්වා. හැබැයි පොඩි කොස්සක් ආව කැමති නොවුණු නිසා.
    දැන් බහුතරය හදා ගන්න බැහැ. අනිත් පැත්තට හෙවත් නීත්‍යානුකූල ආණ්ඩුවට සහ නීත්‍යානුකූල අගමැතිට බහුතරය තියෙනව පාර්ලිමේන්තුවේ. ඒ හින්ද කරන්න දෙයක් නැහැ ව්‍යවස්ථාව දැන දැනම කඩ කරලා, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව දැන දැනම, මහින්දගේ style එකට පාර්ලිමේන්තුව විසිරෙව්වා.
    මහින්දගේ style එක කිව්වේ සිරිසෙනම කිව්වා 2015 මහින්ද ඒකාධිපතියෙක්. ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්. අධිකරණයට බලපෑම් කරන්නෙක්. අධිකරණය නොතකා අත්තනෝමතික තීරණ ගන්න මිනිහෙක් කියලා. දැන් සිරිසේනත් මහින්ද ගැන කියපු විදිහට අධිකරණය හෑල්ලුවට ලක් කරමින්, පාර්ලිමේන්තු බලය නොතකා හරිමින්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්නෙත් තමන්ගේ සාක්කුවේ කියලා ඇඟවෙන විදිහට ව්‍යවස්ථාව කඩ කරලා පාර්ලිමේන්තුව විසිරුවල හැරිය.
    මේ තියෙන්නේ මේ කතාවේ සිරිසේනගේ පැත්ත. හැමෝටම පේන්න තියල තියෙන පැත්ත. හැබැයි මේක යට තියෙන්නේ වෙනස් කතාවක්. ඒ ගැන වෙනම ලියනවා.
    දැන් මේ කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියනවා. මිනිස්සු අහනව විශ්වාසද කියලා? ඒ මොකොද කිව්වා නම් අග්‍රවිනිශ්චයකාරතුමා පත් කලේ සිරිසේනලු. මිනිස්සුන්ට එහෙම හිතෙන එක සාධාරණයි. ඒ මොකොද කිව්වා නම් පත් කරලා සිරිසේන කිව්වා, එයා නම් ටිකක් ගෙන්න ගත්ත. ඊට පස්සේ තේරුවා කියලා. (මීට සමාන වචන) මේක ඇහැව්වහම මට හිතුන ජනාධිපතිගේ මේ කතාව අග්‍රවිනිශ්චයකාරතුමාට අපහාසයක්. නමුත් අග්‍රවිනිශ්චයකාරතුමා තමන්ගේ කතාවේදී කිව්වා අධිකරණය පිලිබඳ මිනිස්සුන්ගේ විශ්වාසය බිඳිලා තියෙනව. එය නැවත ගොඩ නැගීම තමන්ගේ කාර්යයක්. (මීට සමාන වචන) බයිබලයේ දේවල් කිව්වා. මට දැන් මතක නැහැ. නමුත් ඒ කතාව ගැන පැහැදීමක් ඇති වුන.
    කොහොම නමුත් විධායකය සහ ව්‍යවස්ථාදායකය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී අත්තනෝමතික වැඩ වලදී ජනතවට තියෙන එකම පිහිට ශ්‍රේෂ්ඨාධිකරණය.

  • 0
    1

    Jayampathi Wickramarathne: You were part of the Internartional community gang who wanted to exploit Sri lanka. You were supporting that and support that. You exposed your self.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.