21 June, 2024

Blog

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත්ද?

ජයශ්‍රී ප්‍රියලාල්

ජයශ්‍රී ප්‍රියලාල්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත.

මෙම උණුසුම ශ්‍රී ලංකාවට ආධාර සපයන බටහිර රටවල නියෝජිතයන් සමග රජය පැරිසියේ දී පැවැත් වූ සාකච්ඡා වටයන් සමග ආරම්භ විය. ඒජාපය විසින් රජයට එල්ල කල පළමු අභියෝගය වුයේ අරමුදල විසින් අනුමත කරන ලද ණය මුදල් කොපමණද යැයි ජනතාවට දන්වා සිටින ලෙසය. මෙහි අරමුණ බොහෝවිට රජයේ ආර්ථික කළමනාකරණය කෙරෙහි මුල්‍ය අරමුදල පැහැදීමක් නැති බවට ජනතාව අතර සැකයක් උපදවීම විය හැක. අරමුදල විසින් ප්‍රදානය කරන්නට අපේක්ෂිත සමිපස්ත ණය මුදල කොපමණද යන්න දැන් පැහැදිලිව ප්‍රකාශිතය. දෙවැන්න වෙත යොමු වෙමු. ණය ලබා ගැනීම සදහා අත්සන් තැබූ ගිවිසුම ඉදිරිපත් කරන ලෙස බලකරමින් පාර්ලිමේන්තු විවාදයක් විපක්ෂය විසින් ඉල්ලා සිටින ලදී. එම විවාදය දැන් හමාරය. තර්ක විතර්ක වල අවසාන නිගමනය මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ වරදක් නොමැති බවත් සහනදායි පොලි අනුපතකයකට ණය ලබා ගැනීමට මුල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නැති බවත්ය.

ණය දෙන ඕනෑම ආයතනයක් මුලිකව සොයාබලනුයේ එම ණය මුදල පියවීමට ඇති හැකියාවයි. ශ්‍රී ලංකා රජය එම සුදුසුකම් සපුරණු වස් ඉදිරිපත් කළ කොන්දේසි අඩංගු ලිපිය (Letter Of Intent) රජයේ පුවත්පත් මගින් ජනතාවගේ සහ මුලිකවම විපක්ෂයේ දැනගැනීම පිණිස ප්‍රකාශයට පත්  කර ඇත.  එමගින් ජනතාවට කිසියම් කරුණක් වසන් කිරීමට නොමැති බවත රජය පවසා සිටියි.

මෙම විශේෂාංග ලිපිය මගින් සාකච්ඡා කරනුයේ මුල්‍ය අරමුදලේ ආධාර මත දියුණුවෙමින් පවතින රටවල් අත්පත් කරගත් සංවර්ධනය සහ ප්‍රගතිය විචාරාත්මකව විමසා බැලීමය.

ශ්‍රී ලංකාව ඇතුළු තුන්වෙනි ලෝකයේ රටවල් මුල්‍ය අරමුදලේ හෝ අනෙක් ණය අධාර සපයන සංවිධානවල කොන්දේසි ඒ ආකාරයටම පිළිපැදීමට එකග  වී නැති බව ප්‍රකාශ කළද එම රටවල් තම ආර්ථික කළමනාකරණ වැඩ පිළිවෙල බටහිර රටවල බහුජතික සමාගම් වලට හිතකර ගෝලීයකරණ වූ වෙළෙදපලක්  සුදානම් කර ඇත. බොහෝ රටවල් ගෝලීයකරණය වන වෙළෙදපල ගැන සිහින මැවුවද, ගෝලීයකරණය වන ආර්ථිකයක් නොමැති බව වටහා ගෙන නැත. දියුණුවෙමින් පවතින රටවල රජයන් තම රටවල ආර්ථික කළමනාකරණය පැහදිලි දර්ශකයක් ඔස්සේ හැසිරවීම තම මුලික වගකීම බවට වටහා ගත යුතුව ඇත. නව ලෝක රටාවට පටහැනිව කටයුතු කිරීම පහසු නොවුවද දැනට ක්‍රියාත්මක වන එකපාර්ශ්වික ලෝක වෙළද රටාව අනුව කටයුතු කරමින් දිළිදුකම තුරන් කළ නොහැකි බවට වගකිව යුත්තන් තේරුම් ගෙන සිටිත්ද? දුකට පත් ලෝක ප්‍රජාව ජීවත්විය යුත්තේ සමාජීය අවශ්‍යතාවන් ඉටුවන සමාජයක මිස ගෝලීයකරණය වන වෙළෙදපළක නොවන බව අප තේරුම් ගත යුතුව ඇත.

කෙටි කාලින දේශපාලන උවමනා එපාකම් අනුව කටයුතු කරන දේශපාලකයන් හුදෙක් බලය වෙනුවෙන් කැපවී සිටින විට වෙළෙදපළ කුරුමානම්කාරයින් කල දුටුවිට වල ඉහ ගැනීමට පසුබට නොවෙති. මෙම ක්‍රියාවලියට හවුල් වී තම මඩිය තර කර ගැනීමට හුරුවී සිටින බලධාරීන් දැයේ දියුණුව උදෙසා වෙනත් විකල්ප වැඩ පිළිවෙලවල් ගැන සිතීම පවා නවතා දමා ඇති බව පෙනී යයි . විශේෂයෙන් ශ්‍රී ලංකික විද්වතුන් සහ වෘත්තිකයන් සහ ආර්ථික විශේෂඥයින් නිහඩ කිරීමට හැකි වාතාවරණයක් අප රට තුල නිර්මාණය වෙමින් පවතී. මේ පිළිබදව යම් හඩක් නගන අතළොස්සක් පිරිස සිය දේශපාලන මතවාද ඔස්සේ විවේචනය කලද විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට අපොසත්ව ඇත. මුල්‍ය අරමුදලින් ආධාර ලබා ගැනීමට අයිතියක් ඇති බවට ප්‍රකාශ කරමින් කලින් පැවති රජයන් පවා දශක කිහිපයක්ම ආධාර ලබාගෙන ඇති නිසා ශ්‍රී ලංකාවේ දැනට හීනවී ඇති විදේශ වත්කම් සංචිත ගොඩනගා ගනීමට ආධාර ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව රජය ප්‍රකාශ කර සිටි. ඒ සමගම රජයේ ආර්ථික කළමනයකරණය ගැන පැහැදී මෙම ආධාර ලබා දීමට අරමුදල් ඉදිරිපත්ව සිටින බවද සදහන්ව ඇත.

සහණදායි පොලි අනුපාතයක් යටතේ ලැබෙනවා කියමින් ආධාර ලබා ගන්නෙමු. මෙය දේශීයව එකතු කරගන්න වූ ණය සදහා ගෙවන පොලියට සාපේක්ෂව අඩු පිරිවැයක් සහිත ක්‍රියාවලියකි. එහෙත් ඉහළ පොලි අනුපාතිකයකට රජයේ වියදම් සදහා දේශීය මුල්‍ය වෙළදපළින් 18%  පමණ අනුපාතයකට (අවම අවදානමක් සහිත) රාජ්‍ය ණය ලබා ගැනීම, රජයේ ආර්ථික වැඩපිළිවෙළේම හාස්‍ය දනවන තවත් එක කරුණකි.

ඉහළ පොළී අනුපාතය සාධාරණියකරණය සඳහා යුද්ධය සහ ලෝක වෙළදපළේ තෙල් මිල ඉහළ යාම හේතු සාධක ඉදිරිපත් කලද රජයේ විවිධ පරිපාලන ආයතන නඩත්තු කිරීමට වැයවෙන අනවශ්‍ය වියදම් නිසා අධික අය වැය පරතරයක් පවත්වාගෙන යෑමට සිදුවී ඇත. බලය විමධ්‍යගත කිරීමට අටවා ගත් පළාත් සභා නිසා පරිපාලන කටයුතු අවුල් වී වියදම් පමණක් වැඩිවී ඇත. පළාත් සභාවලට පත්වී සිටින සියලුම පක්ෂවල දේශපාලන නියෝජිතයන් මෙම කරුණ වටහාගෙනතිත්ත කසාය බීපු ගොළුවන්සේ නිහඩව සිටීම අපට තේරුම් ගත හැක. බලය  විමධ්‍යගත කල ද දක්ෂිණ සංවර්ධනයට උතුරු නැගෙනහිර සහ උඩරට පළාත් සංවර්දනයට වෙනම අමාත්‍යාංශ තිබීම මෙම කරුණ තහවරු කරන සාධකයකි.

සංවර්ධනය වන රටවලට මුල්‍ය අර්බුදවලින් ගොඩ ඒමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිටවීම සහ උපකාරයන්, එම රටවල මුල්‍ය අර්බුදයක් සමාජීය සහ ආර්ථික අර්බුදයක් බවට පරිවර්තන කිරීමට සමත් වූ ආකාරය කොරියාවේන්, තායිලන්තයෙන්  සහ ඉන්දුනීසියාවෙන් උදාහරණ සහිතව අවබෝධ කරගත හැක.

දුප්පත්කම පිටුදැකීමට සහ දියුණුවෙමින් පවතින (දියණුවක් නොලබන) රටවල සංවර්ධන ක්‍රියාවලිය ජාත්‍යන්තර වෙළදාම හරහා වේගවත් කිරීම සහ ගෙවුම් ශේෂ අර්බුදවලින් මුදවාගැනීම සිය ඒකායන අරමුණ කර ගනිමින් පුරා අඩසියවසක කාලසීමාවක් තුළදී මුල්‍ය අරමුදල විසින් අනුගමනය කරන ලද ක්‍රියාපිළිවෙළ ගැන යම් අදහසක් මුලිකවම ලබා ගැනීම ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වීම සදහා වැදගත් වනු ඇත.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු බ්රෙටන්වුඩ් නගරයේදී උපත ලද මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමාරම්භක අරමුණුවලින් බැහැරව බටහිර රටවල බහුජාතික සමාගම්වලට රිසි ලෙස වෙළදපල ආක්‍රමණය පහසු කරවන නව ලෝක රටාවක් නිර්මාණය කිරීමේ කාර්ය භාරයට වර්තමානයේ අතගසා ඇත. පසුගිය දශක කිහිපය තුළදීම අරමුදලේ කටයුතු යම් ඇගයීමකට ලක් නොකොට මේ පිළිබදව නිසි වැටහීමක් ලබාගත නොහැක. පහත සදහන් ප්‍රකාශිත අරමුණු ඉලක්ක කර ගනිමින් අරමුදල විසින් දියුණු වෙමින් පවතින රටවලට පසුගිය දශක දෙකක පමණ කාලසීමාවක් තුළදී ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් යටතේ ආධාර සපයන වැඩපිළිවෙළක් (Structural Adjustment Programmes)  ක්‍රීයාත්මක කෙරිණි.

  • ආධාර ලබන රටවල ආර්ථික කටයුතු සියලුම පාලනවලින් මුදාලීම.
  • නිදහස් වෙළදාම සහ ආයෝජන වලට ඉඩකඩ ලබා ගැනීම.
  • රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම.
  • කෙටිකාලීනව රජයේ වියදම් කපාහැරීමට බලකරමින් අයවැය හිගය අඩුකිරීම.
  • අධික පොලී අනුපාත පවත්වාගෙන යෑමට උපදෙස් දීම.
  • දේශීය මුදලේ අගය අවප්‍රමාණය කිරීම.

ඉහත සදහන් කොන්දේසිවලට යටත්ව ආධාර ලබා ගනිමින් සංවර්ධනයක් අත්පත් කරගත් තුන්වෙනි ලෝකයේ රටක් නොමැත. දුප්පත්කම  පිටුදැකිම කෙසේ වෙතත් ණය බරින් මිරිකෙන මුලික පහසුකම් හෝ දිනකට කෑම වේලක්වත් නොලැබෙන දිළිදු ජනතාවගේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවන බවට සාධක ඇත. මුල්‍ය අරමුදලේ පුරෝගාමීත්වයෙන් ක්‍රියත්මක වූ  එම වැඩසටහන් මගින් දුප්පත්කමින් මිදුණු ජනගහනය අඩුවී නැති බවට සංබ්‍යා ලේඛණ සනාථ කෙරේ. ටෝකියෝ නුවර එක්සත් ජාතීන්ගේ නව ශත වර්ෂය සදහා පැවති සමුළුවේදී අනාවරණය වුයේ දිනකට ඇමෙරිකානු ඩොලරයකට අඩු අදායමක් ලබන ජනගහනය 1985 දී බිලියන 11 සිට 12 දක්වා 1998 වන විට වැඩිවී ඇති බවය. (රෝය්ටර් පුවත්) 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනුබද්ධ  ආයතන මේතාක් කල් අනුගමනය කරන වැඩපිළිවෙල වෙනස් කළ යුතු බව වටහා ගෙන නැත. ඒ වෙනුවට දුප්පත්කම පිටුදැකීම නැවත පෙරටු කරගෙන අලුත් වැඩසටහනක් (Poverty Reduction Growth Facility ) ගෝලීයකරණ ක්‍රියාදාමය වේගවත් කිරීම පිණිස වර්තමානයේ ක්‍රියාත්මක කරයි.

එම නිසා මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අනුබද්ධිත ආයතනවල වැඩ පිළිවෙලට එරෙහිව දැඩි විරෝධතාවක් පැන නැගී ඇත. මෙම විරෝධතාවයත් තුන්වන ලෝකයේ රටවලට පමණක් සීමානොවී දියුණු බටහිර රටවල්වල සිවිල් සංවිධානවලමූලිකත්වයෙන් මුල්‍ය සංවිධානවල වගකිවයුත්තන් හටද එල්ල වෙමින් පවතින බවට අපගේ පාලකයන් අවබෝධ කරගත යුතුව ඇත. ජාත්‍යන්තර වෙළදාමේ නිරත වන රටවල් ගෙවුම්ශේෂ අවාසිය හේතුවෙන් සිදුවන මුල්‍ය අර්බුද වලින් මිදීමට ආධාර ලබාදීම මුලිකවම අරමුණු කර ගනිමින් පිහිටවන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දියුණු වන රටවල්වල ව්‍යුහාත්මක වෙනස්කම් සදහා කටයුතු කරන්නේ කාගේ උවමනාවන් ඉටු කිරීමටද යන්න විමසා බැලිය යුතුය.

නව ලෝක රටාව තුල නිර්මාණය වී ඇති විදේශ ආයෝජන සදහා ඇති ඉල්ලුම සපුරාගනු වස් තුන්වන ලෝකයේ රජයන් කොන්දේසි සහිතව හෝ රහිතව අරමුදලින් ණය ආධාර ලබා ගැනීමට සුදානම්ව සිටිති. තුන්වෙනි ලෝකයේ රටවල සංවර්ධන ක්‍රියාවලිය වෙළදපළ බලවේගවලට භාරදී ජාත්‍යන්තර සංවිධානවල කොන්දේසිවලට එකගව ණය ආධාර මත කටයුතු කිරීමට එකී රටවල රජයන් සාර්ථකව පොළබවා ඇත. මේ නිසාම තුන්වෙනි ලෝකයේ රටවල් ගෙවුම් ශේෂ අර්බුදවල සිරවී සිටිත්. අපනයන වර්ධනය ඉලක්ක කර ගනිමින් ආර්ථිකය මෙහෙයවනුයේ ලෝක බැංකුවේ සහ අරමුදලේ අනුග්‍රහය පිට ලැබෙන ණය ගෙවා දැමීමට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණාත්මකව එකතු කර ගැනීම පහසුවනු පිණිසය.

අපනයන වර්ධනය පිළිබදව සංබ්‍යා ලේඛණ ගෙන හැර පාමින් සතුටුවන අප මතක තබා ගත යුත්තේ අපගේ අපනයන වටිනාකම සුරක්ෂිතව නිව්යෝර්ක් නුවර බැංකුවල තැන්පත් වන විට ඊට සාපේක්ෂව ඉලක්කම් සමුහයක් අපගේ පොත්පත්වල සටහන්වන වගය. අපට අවශ්‍ය දෑ ආනයනය කිරීමට යලිත් මෙම මුදල උපයෝගී කර ගැනීමට හෝ නැවත ණය වෙමින් ඒවා ගෙවා දැමීමට භාවිතා කරන්නෙමු.

මෙවැනි හේතුන් මත බහු ජාතික ආයෝජකයින්ට මුල්‍ය අරමුදලේ ආවරණයට යටවත්ව සිය ප්‍රාග්ධන ආයෝජනයට (පොලියට දීමට) සුදුසු පරිසරයක් අප රට තුළ නිර්මාණය කිරීමට සෑදී පැහැදී සිටිමු. ඒ අනුව මුල්‍ය අරමුදලේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික දේශීය දළ ජාතික නිෂ්පාදනයට සමාන වූ මුදල් ප්‍රමාණයක් වීදේශ ණය හැටියට ලබා ගැනීම සදහා (2000-2001) කටයුතු කරන්නෙමු. මෙම ණය සදහා රාජ්‍ය වැය කළ යුතු පොලී ප්‍රමාණය දේශීය දළ ජාතික නිෂ්පාදනයන් 4 1/2% ලෙසට ඇස්තමේන්තු කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හසුරුවන අයගේ වගකීම සහ ඔවුනගේ තීරණවල ප්‍රතිඵලවලට හේතු දක්වන ආකාරය පිළිබදව සෙසු රටවල අත්දැකීම් පදනම් කර ගනිමින් විමසා බැලිය යුතුය. මුලිකවම මුල්‍ය අරමුදල බෙදා දෙන්නේ කාගේ සම්පත්ද යන්න අවබෝධ කර ගනිමු. ඒ සමගම සිය හාම්පුතුන්ගේ උවමනා එපාකම් මත පනවන කොන්දේසි යටි අරමුණු විමසා බලමු.

මුල්‍ය අරමුදලට අවශ්‍ය සම්පත් සපයනුයේ සියලුම රටවල් බදු ගෙවන ජනතාව බවට අප අමතක කර ඇත්තෙමු. එහෙත් අරමුදල ආධාර සපයන විට ඒ සදහා දායක වූ සියල්ලම ගැන තැකීමක් කරන වගක් පෙනෙන්නට නැත. වොෂින්ටනයේ අනුදැනුම නොමැතිව මුල්‍ය අරමුදල තීරණවලට එළබෙන්නේ  නැති බව දැන් මුළු ජාත්‍යන්තර ප්‍රජාවම වටහාගෙන ඇත. කෙසේ වෙතත් ඇමෙරිකාව සිය රජය විසින් මුල්‍ය අරමුදලට ගෙවිය යුතු දායක මුදල් වැඩි කිරීමට කොන්දේසි ඉදිරිපත් කරමින් ලෝක බැංකුවේ සහ මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙල ඇගයීමට 1996 මෙල්ටිෂර් කොමිසම පත්කරලීය.

දියුණු වන රටවල් ලෝක බැංකුවේ සහ අරමුදලේ වැඩ සටහන් ක්‍රියාත්මක කොට ප්‍රථිපල ගැන ඇගයීමක් කිරීමට මැලිවෙන විට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය ඒ සදහා උනන්දුවීම් අගය කල යුතුය. එය දුප්පතුන් වෙන්වුවෙන් ගත් අගය කළ යුතු පියවරක් හැටිය මා සදහන් නොකරමි.

මෙල්ට්ෂර් කොමිසමේ ප්‍රධාන අරමුණ වුයේ බ්‍රෙටන්වුඩ් ආයතන යුගලය ප්‍රතිසංවිධානය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමය. මෙල්ට්ෂර් වාර්තාව 2000 දී නිකුත් විය. එම වාර්තාවට අනුව මෙම මුල්‍ය ආයතන යුගලයේ සම්පත් වැඩි ප්‍රමාණයක් ගලා යනුයේ පොහොසත් රටවලට බවත් දිළිදු  රටවල්වල ක්‍රියාත්මක වන වැඩ සටහන් වලින් 60%  – 70% ක් අසාර්ථක ප්‍රතිඵල ගෙනදී ඇති බවත්ය.

මෙම පණිවිඩය අප වෙනුවෙන් තීරණ ගන්න සියලු දෙනාටම වැදගත් වනු ඇත. තම සංවිධාන තුළ  අවශ්‍ය ප්‍රතිසංවිධාන නොකර දියුණුවන රටවල්වල ආයතන වල ව්‍යqහාත්මක වෙනස් කම් යෝජනා කිරීම හාස්‍ය දනවන සුළුය. මෙම ආයතන වල සේවය කරන නිලධාරීන් සිය තීරණවලට වග කීමට සැදී පැහැදී නැත. ඔවුනට එරෙහිව නිතයානුකුලව කටයුතු කළ නොහැක. එබැවින් මුල්‍ය අරමුදලේ පුරෝගාමිත්වයෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමෙන් අත්වෙන කටුක අත්දැකීම් වේදනාවෙන් විද ගැනීමට අප පුරුදු විය යුතුය. මෙම තත්වය පැහැදිලිවම තේරුම් ගෙන ශ්‍රී ලාංකීය ආර්ථිකය මෙහෙයවීමට අපගේ නිලධාරීන් කටයුතු කළමනාය. අප ලෝක බැංකුවේ සහ අරමුදලේ සුවව කීකරු ගොලයන්සේ කටයුතු කරන තාක් කල් මෙම සංවිධාන හරහා ක්‍රියාත්මක කෙරෙන වැඩ පිළිවෙලවල ප්‍රතිඵල ඇගයීමට උත්සාහ නොකරමු. ඒ සදහා දේශපාලකයින් ආර්ථික විශේෂඥයින් රාජ්‍ය නිලධාරින් නිහඩ කිරීමට සමත් උපක්‍රම අනුගමනය කිරීමට මෙම සංවිධාන පසුගිය දශක කිහිපය තුලදී කටයුතු කර ඇත. ඉහත කී අයවලුන්ගේ සමහරක් විදේශික නියෝජිතයන්ගේ වැඩ කටයුතු විවේචනය කිරීමට මැලිවෙති.

මෙම ජාත්‍යන්තර මුල්‍ය ආයතන දෙක ක්‍රියාත්මක කරනු ලබන වැඩ පිළිවෙළවල් දියුණු වෙමින් පවතින රටවල පමණක් නොව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

ජනතා අප්‍රසාදය කොතෙක් දුරට තීව්රව ඇත්දැයි විමසා බැලීමේදී ආයතන ප්‍රධානින් විවිධ ජගත් සමුළුවලදී ශාරීරික අඩත්තේට්ටම්වලට ලක් වන්නේ කුමක් නිසාද යන්න කෙනෙකුට තේරුම් ගැනීම අපහසු නොවෙනු ඇත. දකුණු කොරියාවේ අරමුදලේ ප්‍රතිසංස්කරණ හේතුවෙන් රැකියා අහිමි කරගත් තරුණයන් I M F යන්න හදුන්වනුනේ I am Fired යනුවෙනි.

මෙකි ජගත් මුල්‍ය ආයතන දෙකම යල්පැන ගිය බවට තක්සේරු වී හමාරය. එබැවින් මුල්‍ය අරමුදලේ ඇගයීම පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළට විදේශ ආයෝජන ගලා එවි යැයි අපේක්ෂා කිරීම මුලාවකි. මෙය මැනවින් වටහා ගෙන ඇති ගෝලීයකරණ ක්‍රියාදාමය හසුරුවන ඇමෙරිකාව ප්‍රමුඛ බහු ජාතික ලෝක ප්‍රජාව ලෝක වෙළද සංවිධානය (WTO) අටවාගෙන ඇත්තේ මෙම සංවිධානවල කාර්ය බාරය අභිබවා යන ආකාරයටය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 154ක් ලෝක වෙළද සංවිධානයේ සාමාජිකත්වය දැනටමත් ලබාගෙන ඇත. මෙම සංවිධානයේ වැඩ පිළිවෙළ ද දැඩි විවේචනයට සහ විරෝධයට ලක්වී හමාරය. එබැවින් අප පාර්ලිමේන්තුවේ මුලිකමවම විවාදයට ලක් විය යුත්තේ වෙළද සංවිධානයේ අරමුණ සහ වැඩ සටහන්ය. වසර 2005 දී ක්‍රියාත්මක වීමට නියමිතව තිබු වෙළද සංවිධානයේ වැඩ පිළිවෙල විවිධ බහුජන සංවිධානවල විරෝධතාවන් හමුවේ පසුබැස ඇත.

දියුණු වෙමින් පවතින රටවල්වලට මෙකි අර්බුද වලින් මිදීමට සුදුසු වැඩ පිළිවෙලක් දියත් කල යුතුව ඇත. ඒ සදහා අප වෙනුවෙන් තීරණ ගන්න විද්වතුන් දැනට ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළවල් විශ්ලේෂණය කර ඊට අමතරව සම්මත රාමුවට පරිභාහිර වූ ක්‍රියාවලියක් සඳහා කටයුතු සුදානම් කර නිවැරදි තීරණ ගැනීම වැදගත් වනු ඇත. වර්තමාන ලෝක වෙළද රටාව වෙනස් කිරීමට අපට ශක්තියක් නොමැත. එහෙත් එය ගමන් කරන දිශාව අපට වටහා ගත හැකි වනුයේ නොමිලයේ ලැබෙන අශ්වයා මත එන අසුරුවා හඳුනා ගැනීමෙන් අනතුරුවය.

ජාත්‍යන්තර වෙළදාමෙන් අපට ඉවත්විය නොහැක. එහෙත් විදේශ වෙළද පොළවලට තරගකාරී මිලට භාණ්ඩ සහ සේවා සපයමින් එම පරිභෝගිකයින්ට ජිවන වියදම අඩුකර දීමට උරදෙමින් අප ණය වෙමින් දැඩි වෙහෙසක් දරමින් පිරිවැය අඩු කරමින් තරගකාරී මිලකට අපනයන කටයුතුවල යෙදෙන්නෙමු. ඒ සමගම අපට අවශ්‍ය සියලුම පරිභෝජන ද්‍රව්‍ය ඉහල විනිමය අනුපාතයකට  ආනයනය කරන්නෙමු. මේ නිසා අපගේ ජිවන වියදම ඉහළ  යාම පාලනය කළ නොහැක. මෙම ක්‍රියාවලියේදී දේශීය ආයෝජනයට අවැසි සම්පත් රට තුළ ඉතිරි කර ගත නොහැකි බව තේරුම් ගැනීමට අපොහසත් වී සිටින්නෙමු. මෙම ක්‍රියාවලියේදී ගෙවුම් ශේෂ අවාසියෙන් මතුවන මුල්‍ය අර්බුදවලට නිරන්තරයෙන්ම ගොදුරු වන්නෙමු. රජයේ වියදම් සදහා ඉහළ පොලි අනුපතකයකට දේශීය මුල්‍ය වෙළදපොලින් සම්පත් එක් රැස් කිරීමට ණයකර නිකුත් කරමින් ආර්ථිකයේ සියලුම ද්‍රව්‍ය ද්‍රවශිලතාවයන් සිද ගන්නෙමු. ඉන් අනතුරුව ආර්ථික සංවර්ධනයේ නියමුවන්  යැයි හදුන්වන පෞද්ගලික අංශයට අවැසි අරමුදල් සම්පත් සාධාරණ මිලකට එක්  රැස් කර ගැනීමට ඇති මාර්ග අඩාල කරන්නෙමු. මෙම විෂම චක්‍රය තුලම සිරව විදේශ ණය ශ්‍රී ලංකික ප්‍රජාවම මෙහෙය විය හැකි උපකරණයක් බවට පත් කරමින් බහුජාතික සමාගම්වලට බාර දෙන්නෙමු.

රට ජාතිය වෙනුවෙන් තීරණ ගැනීමට පුල පුලා බලා සිටින සියලු දේශපාලකයින් ඉහත සදහන් විෂම චක්‍රයෙන් මිදීම සදහා විකල්ප වැඩ පිළිවෙල් ඉදිරිපත් කළ යුතුය. ඒ සදහා පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරමි.

දේශීයව නිපදවෙන අත්‍යවශ්‍ය පරිභෝගික ද්‍රව්‍ය කාර්යක්ෂමව බෙදාහැරීම තුළින් අතරමැදියන් අවම කර නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ශක්තිමත් කිරීම ජීවන වියදම පහත හෙලීමට මෙය බෙහෙවින් උපකාර කරගත හැක.

  • අපනයන වෙළදපළ ඉලක්ක කර ගනිමින් කරන නිෂ්පාදනය සදහා දෙන පහසුකම් දේශීය වෙළදපළ සදහා වන නිෂ්පාදනයන්ට ලබාදීම.
  • සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මුල්‍ය සම්පත් දේශීයව එක් රැස් කරනු වස් සියලුම නාස්තිකාර වියහියදම් නැවත්වීම.
  • දේශීය වෙළදපොළ කටයුතු වේගවත් කරනු වස් අදායම් සහ ඉඩම් ඇතුළු සම්පත් විෂමතාවලින් තොරව බෙදාහැරීම.
  • උපායික ආර්ථික සැලසුම් සහ තීරණ වෙළදපළ බලවේග වලට සීමනොකොට සමාජීය අවශ්‍යතාවයන්ට සරිලනසේ ප්‍රජාතන්ත්‍රවාදිව ක්‍රියාත්මක කිරීම.

පුද්ගලික සහ රාජ්‍ය අංශයන් නිරන්තරයෙන්ම සිව්ල් සමාජයේ අධීක්ෂණයට ලක්කිරීම පෞද්ගලික සහ රජයේ ව්‍යාපාරවල නාස්තිය දුෂණය අවම කරමින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට භාණ්ඩ සහ සේවා සැපයීම රජයේ ආයතන නිර්දේෂපාලනියකරණය නොකර මෙය ඉටු කර ගැනීම අපහසු වනු ඇත.

ඉහත සදහන් වැඩ පිළිවෙල තුලින් සමාජීය අවශ්‍යතාවයන් මෙහෙයවන ශක්තිමත් දේශීය ආර්ථිකයක් බිහි කිරීමට උත්සහ කළ යුතුව ඇත. මෙය බහුජාතික ප්‍රජාවේ මුලිකත්වයෙන් දැනට ක්‍රියාත්මකවන ජනප්‍රිය වෙළද සංස්කෘතිය මත පදනම් වූ විවෘත අර්ථ ක්‍රමයේ අවශ්‍යතාවයන් අනුව මෙහෙයවන සමාජ ක්‍රමයට කදිම විකල්පයක්  වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    බිලියන 3 IMF ප්‍රමාණවත් නොවන අතර එය සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට පැහැදිලිය, කෙසේ වෙතත් එය ක්‍රියාවලියට සම්බන්ධ වූ පසු එය නිර්මාණය කරන විකල්පයන් නිසැකවම ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමට තවත් දොරටු සහ අවස්ථා විවෘත කරනු ඇත.

    නිෂේධාත්මක සිතුවිලි අපව අඟලක්වත් ඉදිරියට ගෙන නොයන අතර අපව තවත් කඳු බෑවුමෙන් පහළට තල්ලු කරයි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ජනතාවගේ යහපත සඳහා සියලු යහපත උදාකර ගැනීමට ආශිර්වාදය සහ ධෛර්යය ය. එය සාක්ෂාත් කරගත හැක්කේ සාමූහික උත්සාහයෙන් පමණි. එදා පැරදුණු ජර්මානුවන් සියල්ලෝම එකට වැඩ කළහ. වියට්නාම සහ අනෙකුත් සංසන්දනාත්මක පුද්ගලයින් ඔවුන්ගේ යුද්ධ සහ අනෙකුත් භයානක තත්වයන්ගෙන් පසුවද එසේම විය.

    මින් ඉදිරියට ජනතා විමුක්ති පෙරමුණ ජන ජීවිතය විනාශ නොකරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔවුන් වඩාත් න්‍යායික වන අතර ජීවිතයේ සත්‍යයන් වෙත කිසිදා ළං නොවනු ඇත.
    අපි ජනතාවගේ සහ ඔවුන්ගේ නායකයින්ගේ සියලු දූෂණවලට පයින් ගැසිය යුතුයි. දේශපාලකයන් පමණක් නොව ජනතාවද ඔවුන්ගේම දූෂණයට හා අපචාර ස්වභාවයට වගකිව යුතුය.
    .
    මේ රටට ඔවුන්ගේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට සැබෑ දැඩි නීති අවශ්‍යයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.