14 October, 2024

Blog

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතීය ප්‍රබන්ධය බිඳ වැටීම

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

“ජනප්‍රිය නොවන, ජනමතයක් නැතැයි කියන ආණ්ඩුවක් ජනප්‍රිය නොවන තීන්දු අරගෙන ජනතාව අතර ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා ඊයෙ මහජන මතය සමීපව නිරීක්ෂණය කරාම දැකගන්න පුළුවන් වුණා…” මේ ’43 සේනාංකයේ’ (දැන් එක්සත් ජනරජ පක්ෂයේ) නියමුවෙකු වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ෆේස්බුක් සටහනක උපුටනයකි. මේ ප්‍රකාශයේ ඇති ප්‍රධාන ඇඟවීමක් වන්නේ ‘මහජන මතය සමීපව නිරීක්ෂණය කිරීමේ’ දේශපාලන වැදගත්කමයි. මේ වනාහී වාමාංශිකයින් ‘දක්ෂිණාංශික අවස්ථාවාදීන්ගෙන්’ ඉගෙන ගත යුතු ප්‍රයෝජනවත් පාඩමකි.

අප පවත්නා දේශපාලන තත්ත්වය ආසන්න මිනිත්තුව දක්වා සමීපව කියවා ගත යුතුය. එසේ කියවා ගැනීමේදී අප ආත්මීයව දකින්නට කැමති දේ සැබවින්ම පවතින තත්ත්වය මතට ආරෝපණය නොකළ යුතුය. අප න්‍යායිකව උගෙන තිබෙන වියුක්ත රාමූන් තුළට දේවල් කොටු නොකළ යුතුය. මාක්ස්වාදී ආභාසයක් සහිත දේශපාලන ක්‍රියාකාරීන් හට මෙය අසීරු අභ්‍යාසයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මන්දයත්, ඔවුන් සමාජ පරමාදර්ශ හිස දරා ගත්තවුන් වීම නිසාත්, එම පරමාදර්ශ ඉතිහාසය තුළ යථාර්ථවත් වන්නට නියමිතව ඇතැයි විශ්වාස කිරීම නිසාත්ය. තවද, ඓතිහාසික සංවර්ධනය තේරුම් කරන න්‍යායික ඉගැන්වීම්ද ඔවුන් සතුය. තමන් ඉදිරිපස තිබෙන (තමන්ද අයත්) සංයුක්ත තත්ත්වය වටහා ගන්නට එකී න්‍යායික ඉගැන්වීම් උපකාරී වුවද, ඇතැම් විට බාධාකාරී වීමටද හැකිය. සැබෑ ලෝකයේ දේවල් මුළුමනින්ම තේරුම් කළ හැකි බුද්ධිමය ආකෘතීන් නොපවතින බැවිනි. එබැවින්, වාමාංශිකයින් පවත්නා තත්ත්වය වටහා ගැනීමේදී තමන් දකින්නට කැමති දේ සහ තමන් න්‍යායිකව උගත් දේ යථාර්ථය තුළ එයාකාරයෙන්ම නිරූපණය වනු ඇතැයි අපේක්ෂා නොකළ යුතුය. ග්‍රාම්ස්චි ‘බුද්ධියේ අසුබවාදය’ යන යෙදුමින් තේරුම් කළේ මෙය බවයි, මගේ අදහස. ඔහු පෙන්වා දුන්නේ බුද්ධිමය විශ්ලේෂණයේදී අප දකින්නට අකමැතිම තත්ත්වය බාර ගන්නට සූදානම්ව සිටිය යුතු බවයි.

දක්ෂිණාංශික අවස්ථාවාදීන් වැඩ කරන්නේ මේ මොහොතේ පවතින ආසන්න යථාර්ථය සමග බැවින් ඔවුන් මේ අභ්‍යාසයේදී වඩා සාර්ථක වේ. දක්ෂිණාංශිකයෝ රීතියක් ලෙසම යථාර්ථවාදීන් වෙති. නමුත්, පරමාදර්ශවාදීන් වන වාමාංශිකයින් මේ මිනිත්තුවේ යථාර්ථය ස්පර්ෂ කරන්නට අමතර ප්‍රයත්නයක් දැරිය යුතුය. ඒ සඳහා පොතට එරෙහිව යාමට තරම් බුද්ධිමය එඩිතරභාවයක්ද අහඹු තත්ත්වය තම වාසියට හරවා ගන්නට තරම් අවස්ථාවාදී බවක්ද වුවමනා වේ. (ශිෂෙක් පවසන පරිදි ලෙනින් යනු එවන් රැඩිකල් අවස්ථාවාදියෙකි).

ජනතා විඥානයේ වෙනස්වීම්

අප යළිත් නිශාන්ත වර්ණසිංහගේ ප්‍රකාශය වෙතට යන්නෙමු නම්, පළමුව කිව යුත්තේ ඔහුගේ ප්‍රකාශය න්‍යාය විරෝධී බවය. එයින් කියැවෙන්නේ පොතේ හැටියට වෙන්න බැරි දෙයක් සිදු වී තිබේය කියාය. විශේෂයෙන්ම අයි.එම්.එෆ් විස්තීර්ණ ණය යෝජනාවලිය අනුමත වීමත් සමග රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාන්විතය කෙරෙහි පෙර නොපැවති ජනප්‍රියත්වයක් හිමිව තිබේය යන්න නිශාන්ත වර්ණසිංහගේ නිරීක්ෂණයයි. පසුගිය දින කිහිපය තිස්සේ සිද්ධීන් පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අනුව ගත් කල මේ නිරීක්ෂණය සාවද්‍ය යැයි කීම අසීරුය. මෙතෙක් කලක් පාඩු ලබන රාජ්‍ය ආයතන පමණක් පෞද්ගලීකරණය කරන්නෙමැයි පවසමින් සිටි වික්‍රමසිංහ හට දැන් ලාභ ලබන ආයතන වුවත් පෞද්ගලීකරණය කරන්නට සිදු වෙතැයි විවෘතවම කියන්නට හැකිව තිබේ. අනෙක් අතින්, මෙතෙක් කලක් අයි.එම්.එෆ්. වෙත යාමට සමූලිකව විරුද්ධව සිටි ඇතැම් මධ්‍ය-වාමාංශික න්‍යායවේදීන් දැන් “අප විරුද්ධ විය යුත්තේ අයි.එම්.එෆ් වෙත යාමට නොව අයි.එම්.එෆ් කොන්දේසි පිළිගැනීමට” යැයි පවසන්නට පටන් ගෙන තිබේ. මෙයින් ගම්‍ය වන්නේ පොදුජන අවබෝධය දක්ෂිණාංශය සහ වාමාංශය යන දෙපසින්ම පරිවර්තනයට ලක් වෙමින් තිබෙන බවයි.

ඒ අතරම අවධාරණය කළ යුත්තක් නම් ආසන්න මිනිත්තුවේ පවතින චිත්‍රය වෙත දැහැන්ගත වීමෙන් වඩා දුරින් ඇති අනාගත වියහැකියාවන් නොදැක සිටීමේ අනතුරටද අප නිරාවරණය නොවිය යුතු බවයි. අප උපායික තලයෙහි තත්පර ගණන් ළඟ දකින්නටත් අනාගත දැක්ම තුළ දශක ගණන් (ඇතැම් විෂයන්ට අදාළව සියවස් ගණන්) දුර දකින්නටත් ප්‍රයත්න දැරිය යුතුය. අර්බුද සමයක නව දේශපාලනයක් පරිකල්පනය කරන්නන් සතුව චින්තනමය අන්වීක්ෂයන් සේම දුරේක්ෂයන්ද පැවතිය යුතුය. අන්වික්ෂීය නිරීක්ෂණයක් මගින් යමෙකුට පෙනෙනු ඇත්තේ වික්‍රමසිංහ පරිපාලනයේ ජනප්‍රියත්වයේ ක්ෂණික ඉහළ නැග්මකි. නමුත්, දුරේක්ෂ නිරීක්ෂණයක් මගින් පෙන්වනු ඇත්තේ කුමක්ද? වත්මන් නව ලිබරල් ‘කම්පන ප්‍රතිකාරය’ ලාංකීය සමාජයට ලබා දී තිබෙන්නේ ආර්ථිකය තව දුරටත් සංකෝචනය වන්නට හැරීමෙනි. එබැවින්, අයි.එම්.එෆ්. වැඩ පිළිවෙළ දිග හැරෙන්නට නියමිත ඉදිරි වසර කිහිපය තුළදී මෙතෙක් අප නොදුටු තරමේ සමාජ කම්පනයක් අපේක්ෂා කළ යුතුය. විරැකියාව සහ උගත් තරුණ ප්‍රජාවේ අපේක්ෂා භංගත්වය තවත් උග්‍ර වනු ඇත. පහළ මධ්‍යම පන්තික කොටස් නිර්ධනීකරණය වීම දැන් අන් කවරදාටත් වඩා වේගවත්ය. අවිධිමත් අංශයේ රැකියාවන්හි නිරත ශ්‍රම බලකායේ අති බහුතරය හඬක් නොමැති ආන්තිකයින් බවට පත්ව සිටී. මේ සැකසෙමින් තිබෙන්නේ දේශපාලන රැඩිකල්කරණය සඳහා උචිත සමාජ පසකි.

දයාන් ජයතිලක නිවැරදිව පෙන්වා දෙන පරිදි, වික්‍රමසිංහගේ ආර්ථික චින්තනය වත්මන් අයි.එම්.එෆ් චින්තනයටද වඩා දක්ෂිණාංශික වූවක් වන අතර එය ක්‍රියාවට නැගෙන්නට නියමිතව තිබෙන්නේ මැතිවරණයකින් තහවුරු වූ ජනතා අනුමැතියකින් පවා තොරවය. එය එසේ තිබියේවා. අයි.එම්.එෆ්. එකඟතා රටේ නීතියේ කොටසක් බවට පත් කරන බවටද දැන් වික්‍රමසිංහ ශපථ කරයි. මෙවන් දේශපාලන ආර්ථික මෙහෙයුමක් රාජ්‍ය මර්දනකාරීත්වය සමග අතිනත ගෙන යාම කිසිසේත්ම පුදුමයට කාරණයක් නොවේ. දැන් නීතියක් බවට පත් වන්නට යන ඊනියා ප්‍රති-ත්‍රස්ත පණත ඔස්සේ (මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ වචනයෙන් කිව හොත්) අප ගමන් කරමින් සිටින්නේ පොලිස් රාජ්‍යයක් වෙතය. පොලිස් රාජ්‍යයක් තුළ වුවත් මර්දනය ක්‍රියාවට නැගීමට නම් එයට කිසියම් යුක්ති සහගතභාවයක් සපයන කතා ආඛ්‍යානයක් වුවමනාය. මර්දනයට ඉලක්කයක් වුවමනාය. එම ඉලක්කය දෘෂ්ටිවාදීව මානුෂහරණයට ලක් කළ යුතුය. එය යක්ෂාරූඪ කොට පෙන්විය යුතුය. හරියට ඊනියා ත්‍රස්ත විරෝධී යුද්ධයේදී ත්‍රස්තවාදියා යනු කිසිදු මිනිස් ගුණ දහමක් නොඅදහන පරම නපුරෙහි ප්‍රතිමූර්තියක් ලෙස නිරූපණය කොට පෙන්වූවාක් සේය. දැන් අධිපති මාධ්‍ය මගින් ක්‍රමානුකූලව ගොඩ නගමින් තිබෙන ආඛ්‍යානයට අනුව මෙම මර්දනයේ පළමු ඉලක්ක අතරට ගැනෙන්නේ රැඩිකල් වාමාංශය, අරගලය අත් නොහළ අරගලකරුවන්, ශිෂ්‍ය ව්‍යාපාරය සහ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. දයාන් ජයතිලක තවදුරටත් පෙන්වා දෙන පරිදි, ජනපතිවරයා පසුගියදා හාවඩ් විශ්වවිද්‍යාලයේ කළ දේශනයේදී ඔහුගේ දේශපාලන සතුරා ලෙස හඳුනා ගත්තේ ජවිපෙ/ජාජබ නොව ඔහු ‘ප්‍රගතිශීලී සමාජවාදී පෙරමුණ’ ලෙස වැරදියට හැඳින්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. එම පක්ෂයේ ප්‍රතිචාරය සාමකාමී එකක් නොවුවහොත් කුමක් කළ යුතුදැයි ජනාධිපතිවරයා විමසයි. ඔහුට වඩා විවෘතව මේ පණිවිඩයම නිකුත් කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ තම ෆේස්බුක් පෝස්ටුව අවසන් කරන්නේ මේ කෙටි වැකියෙනි: “හැප්පෙන අය කල්පනාවෙන් පරිස්සමින් දූරදර්ශීව තීන්දු තීරණ ගන්න එක හොඳයි.” රැඩිකල් වාමාංශය මර්දනය කිරීමට වික්‍රමසිංහ පරිපාලනය විසින් දැරුණු පළමු ප්‍රයත්නයේදී චම්පික රණවක එයට එරෙහි වූ බව අසන්නට ලැබුණද, දැන් ඔහුගේ සමීප සගයෙකු වන වර්ණසිංහගේ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ සැඟවිය නොහැකි තර්ජනාත්මක ස්වරයකි.

රාජ්‍ය කේන්ද්‍රීය දක්ෂිණාංශික ජනතාවාදය

මෙම නව වර්ධනය මෑතකදී අප සමග කළ සංවාදයකදී මා මිත්‍ර සමන් පුෂ්පකුමාර කදිමට විශ්ලේෂණය කළේය. ඔහු පෙන්වා දුන්නේ වත්මන් වික්‍රමසිංහ පාලනාධිකාරය විසින් නිර්මාණය කරමින් තිබෙන දේශපාලන කතිකාවත් 2005 දී බලයට පත් වූ රාජපක්ෂ පාලනාධිකාරයේ කතිකාවත් අතර බොහෝ සමානතා හඳුනාගත හැකි බවයි. මහින්ද රාජපක්ෂගේ රණකාමී සිංහල ජාතිකවාදී කතිකාව ඔහු බලයට පත්වීමට පෙර පැහැදිලිව හැඩ ගැසී තිබුණේ නැත. ඔහු ඒ වනවිට එල්.ටී.ටී.ඊ ය සමග සිදු කරමින් තිබූ සාකච්ජා ක්‍රියාවලිය පෙරට ගෙන යන්නට පවා ඉදිරිපත් විය. සැබවින්ම ඔහු ඉතාම සුළු වැඩි ජන්ද ප්‍රතිශතයකින් බලයට පත් වූයේ උතුරේ ජන්ද වර්ජනයට පින් සිදු වන්නටය. නමුත් බලයට පත්ව යම් කාලයක් ගත වන විට විශේෂයෙන්ම රාජපක්ෂ හට සහාය දැක්වූ ජවිපෙ, ජාතික හෙළ උරුමය ඇතුළු සිංහල ජාතිකවාදී කණ්ඩායම්වල දිරිගැන්වීම්ද සහිතව ඊනියා මානුෂවාදී යුද්ධය නොහොත් ත්‍රස්ත විරෝධී යුද්ධය පිළිබඳ ව්‍යාපෘතිය ගොඩ නැගෙන්නට විය. එම ව්‍යාපෘතිය පදනම් වූයේ යුද්ධයට පක්ෂ සහ විපක්ෂ යන පසමිතුරුතා අක්ෂය ඔස්සේ සමස්ත සමාජය දෙකට බෙදමිනි. “ඔබ යුද්ධයට විරුද්ධ වන්නේ නම් ත්‍රස්තවාදයට පක්ෂ වන්නෙකි. ඒ අතරමැද තැනක් පැවතිය නොහැකිය.” එකල අධිපති ධර්මතාව වූයේ එයයි. බොහෝ කලකට පෙර නිව්ටන් ගුණසිංහ පෙර දැක තිබූ පරිදි, මෙම අධිපති පසමිතුරුතාව විසින් සෙසු පසමිතුරුතාවල ‘හරස් කැපුමක්’ ඇති කෙරිණ. නිදසුනක් ලෙස, ඇතැම් වමේ පක්ෂ යුද්ධයට පක්ෂ වන විට තවත් ඇතැමුන් විරුද්ධ විය. ඉනුත් ඔබ්බට ගොස් යුද්ධයට පක්ෂ/විපක්ෂ වීම අරභයා ඇතැම් වමේ පක්ෂ කැඩී බිඳී ගියේය.

වත්මන් වික්‍රමසිංහ-අයි.එම්.එෆ් ව්‍යාපෘතිය රාජපක්ෂගේ යුද ව්‍යාපෘතියට වඩා බොහෝ අනුභූතික වෙනස්කම්වලින් යුක්ත බව සැබෑය. නමුත්, පළමුවැන්න විසින් අනුයන්නට ප්‍රයත්න දරමින් සිටින්නේ දෙවැන්නෙහි දේශපාලන තර්කණයමය. දැන් වික්‍රමසිංහ පාලනාධිකාරය විසින් ප්‍රයත්න දැරෙමින් තිබෙන්නේ සමස්ත සමාජය අයි.එම්.එෆ්. වැඩ පිළිවෙළට පක්ෂ හා විපක්ෂ යන අක්ෂය ඔස්සේ දෙකට පළන්නටය. රාජපක්ෂ ‘රට බේරාගත් නායකයා’ වූ පරිදි දැන් වික්‍රමසිංහ ‘ආර්ථිකය බේරාගත් නායකයා’ යන දෘෂ්ටිවාදී කිරුළ පළඳින්නට ප්‍රයත්න දරමින් සිටින සෙයකි. එපමණකින් නොනැවතී එකී ‘ආර්ථිකය බේරාගැනීමේ’ මෙහෙයුමට බාධාවක් යැයි සලකනු ලබන සියලුම දෙනා ත්‍රස්තවාදීන්, කඩාකප්පල්කාරීන්, කුලප්පුකාරයින් යනාදී ලෙස නාමකරණය කරමින් පවතී. සරලව, බහුතරයේ යහපතට බාධාකාරී වන සුළුතර අතලොස්ස මර්දනය කොට දැමිය යුතුය යන්න එදාමෙදාතුර රාජ්‍ය මර්දනය යුක්ති සහගත කෙරුණු සරල සූත්‍රයයි. මේ දිනවල විවාදයට ලක් වෙමින් තිබෙන ඊනියා ප්‍රති-ත්‍රස්ත පණතට සමාජ අනුමැතියක් ගොඩ නගන්නට යන්නේ මෙම සූත්‍රය භාවිතා කරමිනි. නමුත්, පසුගිය අරගලයෙන් සේම ජවිපෙ/ජාජබ මැතිවරණ රැල්ලෙන්ද මනාව පැහැදිලි වූ පරිදි වත්මන් දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට එරෙහි ජනතා විරෝධය පාලනාධිකාරය සිතනවාට වඩා බොහෝ ප්‍රබල හා තීව්‍ර එකකි. රාජ්‍ය සුබසාධනවාදය ඓතිහාසිකව මුල් බැසගත් ජන සමාජයක් තුළ රාජපක්ෂගේ දේශපාලන තර්කණය නව-ලිබරල් ආර්ථික මෙහෙයුමක් සඳහා ගලපා ගන්නට දරන ප්‍රයත්නයක් සාර්ථක වීමට ඇත්තේ ඉතාම සීමිත ඉඩ කඩකි.

ප්‍රජාතාන්ත්‍රික ‘මහා අනෙකා’ පවතින්නේ නැත

කෙසේ වුවද, ඉහත කී නව වර්ධනයන් විසින් දැන් අප හමුවේ විවෘත කොට ඇත්තේ දේශපාලනයේ නව ගැටුම්කාරී කලාපයකි. නියෝජන මැතිවරණ තරඟයේ ක්‍රීඩා පිටියෙන් ඉවතට දේශපාලනය රැගෙන ගොස් තිබේ. ආර්ථික අයිතීන් සඳහා වූ අරගලය සමග ප්‍රජාතාන්ත්‍රික අරගලය බද්ධ කළ යුතු තත්ත්වයක් පාලනාධිකාරය විසින්ම නිර්මාණය කර දී තිබේ. එම බද්ධය සිදු කළ හැක්කේ ඉතාම පුළුල් වාම-ප්‍රජාතාන්ත්‍රික පෙරමුණක් මගින් පමණි. නොඑසේව, තවදුරටත් පැරණි පිටිය තුළ මැතිවරණ ක්‍රීඩාවේ නිරත වන්නට සූදානම් වන කවර විපාක්ෂික බලවේගයක් වුවද, දැන හෝ නොදැන ඉටු කරන්නේ වත්මන් දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ මාර්ග සිතියම දිග හැරෙන්නට බාධා නොකර ඉඩ දීමකි. එම මාර්ග සිතියම අනුව ඉදිරියේදී මැතිවරණ ලැබෙනු ඇති නමුත්, ඒ ඔවුනගේ ආධිපත්‍ය තීරණාත්මකව අභියෝගයට ලක් නොවන වාතාවරණයක් යටතේ පමණි. ප්‍රභූ තන්ත්‍රයේ මාර්ග සිතියම වෙනස් කළ හැක්කේ නව සංසිද්ධියක් (event) මගින් වන අතර කිසිදු පක්ෂයකට හෝ සංවිධානයකට තනිව එවන් සංසිද්ධියක් නිර්මාණය කළ නොහැකිය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.