30 October, 2020

Blog

අපේ සමාජය අද මුහුණදෙන සංකීර්ණ අභියෝග

ජේ. සී. වැලිඅමුණ

ගරුතර පූජ්‍ය පක්ෂයෙන් සහ සම්භාවනීය සභාවෙන් අවසරයි,

මං කතා කරන්න නැගිට්ටේ, එක්තරා විදිහක මිශ‍්‍ර හැඟීම් සමුදායක් එක්ක. අතීතයේ මේ සම්මානයෙන් ගෞරවයට සහ සම්භාවනාවට පාත‍්‍ර වෙච්ච පිරිසට එක් වෙන්නට ලැබීම ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක් සහ ගෞරවයක්. මුලින්ම, ජාතික සාම මණ්ඩලයටත් එහි කාර්ය මණ්ඩලයටත්, විශේෂයෙන් එහි සභාපති ටෝනි සෙනෙවිරත්න සහ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා යන මහත්වරුන්ටත්, මේ සඳහා මාව තෝරා ගැනීම ගැන මං ස්තුතිවන්ත වෙනවා. මේ බව දැන ගැනීමේ දී ඇත්තෙන්ම මට ඇති වුණේ විස්මිත සතුටක්. ඒ වගේම, මේ සන්ධ්‍යාව මගෙත් එක්ක ගත කරන්න පැමිණි සිටින විශේෂ පිරිස දැකීමත් මට ඉමහත් සතුටක්. ඒ නිසා ඔබ සැමගේ පැමිණීම මම ඉතා අගේ කරනවා.

අඩ සියවසක, එක්තරා විදිහක අනාරක්ෂිත සහ අභියෝගාත්මක අත්දැකීම් ඇති මට, අපේ සමාජය අද මුහුණදෙන සංකීර්ණ අභියෝග පිළිබඳ මගේ නිරීක්ෂණ සමහරක් ඔබ සමග බෙදාහදා ගන්නට මං කල්පනා කළා.

දශක කිහිපයක් ආපස්සට හැරී බලනකොට, ගංගාවල මළකඳන් පාවුණු 1971 නැගිටීම සිදුවුණේ, මං ප‍්‍රාථමික පාසලේ ඉන්න කාලේ. 1983 ජුලි කලබලය මට හොඳට මතකයි. බොහෝ දෙමළ මිනිසුන් ඝාතනය කෙරුණු සහ ඔවුන්ගේ දේපල විනාශ කෙරුණු ඒ මහා විනාශය මං කොළඹ දී දැක්කා. අනතුරුව ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් දෙමළ නායකත්වය පළවා හල ඒ කුප‍්‍රකට 6 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් මට මතකයි. අතුරුදහන් වීම්, මළකඳන් දකින්නට ලැබීම් සහ විනාශය, 1980 දශකය අවසානයටත් දිග් ගැස්සුණා. ඊට පස්සේ, මුළු රටේම ලේ හැලෙන හැටි අපි දැක්කා. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දහස් ගණන් අතුරුදහන් කෙරුණු, ඝාතනය කෙරුණු, වධබන්ධනයට ලක් කෙරුණු සහ සිරගත කෙරුණු අතීතයත් අපි දැක්කා. ඒවා තමයි, මගේ පරම්පරාව තරුණ කාලේ දී දැක්කේ.

1989 සහ 1993 අතර කාලයේ තරුණ නීතිඥවරයෙකු වශයෙන්, මහජන සුභසිද්ධිය සඳහා වන නීති ආධාරවලට අදාළව, මානව හිමිකම්වලින් අපහරණයට ලක්වෙච්ච දහස් ගණන් වින්දිතයත් වෙනුවෙන්-සිංහල සහ දෙමළ, ඒ වගේම, ආගමික, වාර්ගික හෝ භූගෝලීය සීමාවකින් තොරව-නඩු විශාල සංඛ්‍යාවක මං පෙනී සිටියා. මේ නඩු සඳහා අවශ්‍ය කරුණු ගොනු කිරීමේ කාර්යයේ දී රැුඳවියන් දහස් ගණනක් සමග කතාබහ කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ අතරේ හිටියා, කුරිරු වධබන්ධනයට ලක්වෙච්ච වින්දිතයෝ සිය ගානක්. ඔවුන්ගේ ඒ ඉරණම්කාරී අත්දැකීම්, අපේ ජාතිය ගැන, අපේ සාරධර්ම සහ අපේ සමාජය ගැන, අපේ දේශපාලනය සහ අපේම පුරවැසියන්ට අප සළකන්නේ කොහොම ද කියන එක ගැන, බොහෝ දේවල් කියාපානවා. ජීවිතය ගැන, සමකාලීන දේශපාලනය ගැන, ආණ්ඩුකරණය ගැන, නීතියේ ආධිපත්‍යය හෝ මනුෂ්‍යත්වය ගැන යමක් අපට ඉගෙන ගැනීමට තිබේ නම්, ඉහත කී අසරණයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ඒ බිහිසුණු සහ හද පාරන අත්දැකීම්, අද අපේ සමාජයේ සහ ජාතියේ පදනම ගැන නිවැරදි චිත‍්‍රයක් මවා ගන්නට අපට උපකාරී වේවි. සංවර්ධනයේ නාමයෙන් අද අළුතෙන් බිහිවන හෝටල්, හමුදා කඳවුරු සහ නගරාලංකාරය සඳහා, උන්හිටි තැන්වලින් බලහත්කාරයෙන් එලවා දමන දහස් ගණන් පවුල්වල අඳෝනාවන්ගෙන් කියැවෙන්නේ, අපේම මිනිසුන්ගේ මූලික සමාජාර්ථික අයිතීන් සහ ආණ්ඩුකරණය ගැන පාලකයන් තුළ පවතින නිර්ලජ්ජිත නොතැකීමයි. ඒ අමතක නොවන අත්දැකීම් තමයි, ජීවිතයේ ඇති අරුත කුමක් දැ යි නැවත නැවතත් මගෙන්ම ප‍්‍රශ්න කිරීමටත්, එක්තරා ආකාරයක සාරධර්ම වෙනුවෙන් ධෛර්ය සම්පන්නව නැගී සිටීමටත් මාව තල්ලූ කළේ. අසාර්ථක වීම් ගැන මං තකන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අසාර්ථකවීම්වලට මං ඕන තරං මුහුණදීලා තියෙනවා. ඒත් යමක් කිරීමට හෝ කිරීමට උත්සාහ කිරීම අතහැරීමට ඒක හේතුවක් නෙවෙයි.

ඒ වගේම, දේශීය වශයෙන්, කළාපීය වශයෙන් සහ ලෝක මට්ටමින් යෙදුණු ඇතැම් කාර්ය භාරයන් තුළ වැඩ කිරීමටත්, ඉන් ඇතැම් ඒවාට මුල පිරීමටත් මට අවස්ථාව ලැබුණා. ඒවා අතර ශිෂ්‍ය ව්‍යාපාර තියෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාර තියෙනවා. ග‍්‍රාමීය මට්ටමේ ප‍්‍රජා සංවිධාන තියෙනවා. මාධ්‍ය කි‍්‍රයාකාරකම් සහ ¥ෂණ විරෝධී ව්‍යාපාර තියෙනවා. මානව හිමිකම් සංවිධාන තියෙනවා. ඉතා මෑතක දී නීතිඥයන්ගේ අරගල ව්‍යාපාර සහ නීතිමය ආරක්ෂාව සැපයීමේ ව්‍යායාමයන් තියෙනවා. මං වඩාත් සමීපයෙන් කටයුතු කළේ, දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්, ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයත් එක්ක. මේ ක‍්‍රියාදාමයන් තුළදී ලද අත්දැකීම්වලින් මං එක දෙයක් පැහැදිළිව දැක්කා. ඒ තමයි, මානව හිමිකම්, ආණ්ඩුකරණය, වගවීම, නීතියේ ආධිපත්‍යය, සදාචාරමය සහ ආචාරධර්මී ප‍්‍රමිතීන් කියන දේවල් සියල්ල, එකිනෙකට සහසම්බන්ධී වන බව සහ එකිනෙක මත යැපෙන බව. මගේ අදහසේ හැටියට, හැම පාර්ශ්වයක් අතින්ම මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝනය කෙරෙන වාර්ගික ගැටුම තුළින් පවා පෙන්නුම් කරන්නේ, අපේ රටේ ආණ්ඩුකරණ ව්‍යුහයේ කඩාවැටීම පිළිබඳ නග්න යථාර්ථයයි.

සුපිළිපන් භාවයක් වෙනුවෙන් කැපවුණු දැක්මක් තියෙන, අධිෂ්ඨානශීලී පුද්ගලයන්ගේ නායකත්වයක් නැතුව, කිසිම ආයතනයකට අභිමත ඉලක්කයන් වෙත ගමන් කරන්නට පුලූවන් කමක් නැහැ කියන එක මං තදින් විශ්වාස කරන දෙයක්. ආයතනික සුපිළිපන් භාවය වගේම පුද්ගල සුපිළිපන් භාවයත් වැදගත්. විධිමත් අධ්‍යාපනයෙන් සහ සහතික පත්වලින් පමණක් ඒ සුපිළිපන් භාවය පුද්ගලයෙකුට ලැබෙනවා කියලා මං විශ්වාස කරන්නේ නැහැ. ඊට වැඩිය හුඟාක් දේවල් තමන්ගේ ඇතුළාන්තයෙන්ම වර්ධනය කරගත යුතුව තියෙනවා. මේ අදහසට එකඟ නැති කවුරු හරි ඉන්නවා නං, කරුණාකරලා බලන්න, වර්තමාන විශ්ව විද්‍යාල පරිපාලනය සහ විශ්ව විද්‍යාල නියාමන මණ්ඩල දිහා. ඒවා අද අන්තෙටම පිරිහිලා, එවැනි සුපිළිපන් භාවයක් නැති පුද්ගලයන් ඒ තැන්වලට පත්කිරීම නිසා.

ඒ වගේම, මානව හිමිකම් උල්ලංඝනයන් සහ දූෂණය අතරත් සමීප සම්බන්ධයක් මං දකිනවා. දූෂණයේ නරකම ආකෘතියක් වෙන ‘චෞර තන්ත‍්‍රය’, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් කියලා අද වෙන කොට බරපතල සාක්ෂි සහිතව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. දූෂණය සහ මානව හිමිකම් අපහරණයන් සම්බන්ධයෙන් බලන කොට, අනුකම්පා විරහිත ත‍්‍රස්තවාදීන් සහ අධිපතිවාදී පාලන තන්ත‍්‍ර අතර කිසි වෙනසක් නැහැ. නීතියේ ආධිපත්‍යය ගැන ලෝකයාම පිළිගත් මූලධර්මයන්ට මේ පිරිස් ගරු කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය කරන්නේ, ඔවුන්ගේ අභිලාෂය, නීතියක් වශයෙන් සළකනු ලබන වහල් ජනතාවක් ඉන්නවා දකින්නයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සාමකාමී විනීත රටකට තියෙන ලොකුම තර්ජනය එන්නේ, එවැනි පුද්ගලයන්ගෙන් සහ පාලන ක‍්‍රමවලින්.

මං පුංචි කාලේ ඉඳං, විවිධ දෘෂ්ටිවාද තියෙන විවිධ පුද්ගලයන් – ගුරුවරු, යාළුවෝ, දාර්ශනිකයෝ සහ නායකයෝ – මට බලපාලා තියෙනවා. ගාමිණී හත්තොට්ටුවෙගමගේ වීදි නාට්‍ය, සුචරිත ගම්ලත්ගේ කෘති, අපේ කාලේ ශ්‍රේෂ්ඨතම විනිශ්චයකාරයෙකු වුණ මාර්ක් ප‍්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ නීතිඥ සරත් මුත්තෙට්ටුවෙගම වැනි පුද්ගලයන් වගේම, බොහෝ කාලයක් තිස්සේ, මගේ ජ්‍යෙෂ්ඨයා සහ උපදේශක ඇදුරා වූ ආර්. කේ. ඩබ්ලිව්, ගුණසේකර වැනි පිරිස් මට බෙහෙවින් බලපාලා තියෙනවා. මේ වගේ තවත් දීප්තිමත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක්ම මට කියන්න පුළුවන්.

මා ප‍්‍රිය කරන පුද්ගලයන්ගේ ලේඛනයත් ඒ වගේම දිගයි. වොල්තෙයාර්ගේ සිට මාටින් ලූතර් කිං දක්වාත්, බුදුරජාණන් වහන්සේගේ සිට යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ දක්වාත්, ගාන්ධිගේ සිට නෙල්සන් මැන්ඬේලා දක්වාත් එය විහිදෙනවා. නුමුහුන් හෝ පාරිශුද්ධ යැයි ගන්නට පුලූවන් කිසි දෘෂ්ටිවාදයක්, න්‍යායක් හෝ ආගමක් නැති බව තේරුම් ගන්නට මට කාලයක් ගියා. කිසිම ශ්‍රේෂ්ඨ දර්ශනයක් තවත් දර්ශනයකට වඩා අඩුවෙන් ශ්‍රේෂ්ඨ වන්නේ නැති බව, මං තේරුම් ගත්ත තවත් කාරණයක්. ඒ ශ්‍රේෂ්ඨ නායකයෝ අපේ හදවත් තුළ ජීවත් වෙනවා. සාමකාමී සහ නිරායුද විමුක්තියට අපට මග පෙන්වනවා. වාසනාවකට වගේ, මං කිසිම විශේෂිත දේශපාලන දෘෂ්ටිවාදයක සිරකරුවෙක් වුණේ නැහැ. මං හිතාමතාම අනුගමනය කළේ, අවදානම ගැන හොඳින් දැනගෙන සිටියත්, සිවිල් නිදහසේ මාවතයි.

සිවිල් නිදහස් කියන දේවල්, අතහරින්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ තරමට, ඒවා වටිනවා. ඒ නිසාම, රාජ්‍ය ආයතන සහ තෝරා පත්කර ගන්නා නායකයන්ට ඒ නිදහස් අයිතිවාසිකම්වල ‘පරම භාරකරුවන්’ වීමට අප ඉඩ දිය යුතු නැහැ. සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ දී ඔවුන් සම-සහභාගීකරුවන් විතරයි. පුද්ගලයාට උඩින් සහ සමාජයේ සාමූහික නිදහස් අයිතීන්ට උඩින් බලපරාක‍්‍රමය පාන්න දේශපාලන නායකත්වයට අපි ඉඩ හැරිය දවසට, අපි කරන්නේ අපිව විනාශ කරන්න ඔවුන්ට ඉඩ හැරීමක්. සමාජය සාමූහිකව නැගී නොසිටියොත්, නායක රොත්තකට ලේසියෙන්ම පුලූවන්, ආණ්ඩුකරණ පද්ධතියම කණපිට හරවන්න. ඒ අභියෝගයට, වෙන කවරදාටත් වඩා අද අපි මුහුණදෙනවා. මේ අන්තිම පැයේ දී අපි කොහොමද ඒක ව්‍යර්ථ කරන්නේ? මං හිතන විදිහට එකම ක‍්‍රමයයි ඒකට තියෙන්නේ. ඒ තමයි, ඒ ගැන හඩ ගාලා කතා කරන එක. ඊට විරෝධය පාන එක සහ විකල්ප ඉදිරිපත් කරන එක. විවෘත සාකච්ඡා, වාදවිවාද සහ නිර්භයව අදහස් ප‍්‍රකාශ කිරීම තමයි, එකම පිළිතුර. ඒ සඳහා, ඕනෑම අවදානමක් භාර ගනිමින්, පෙරමුණේ ඉන්න මං ලැහැස්තියි.

ශ‍්‍රී ලංකාවට එරෙහිව නැගෙන බරපතලම චෝදනාව වෙන්නේ, වෙනස් මත ඉවසීමට හෙවත් විසම්මුතිය ඉවසීමට අසමත් වීමයි. ඒක නිසා බොහෝ විට අපේ රට හැඳින්වෙන්නේ, ‘මැර රටක්’ විදිහට. අපි ඒ විදිහේ ‘මැර රටක්’ නොවිය යුතු බව අපේ නායකයන්ට මතක් කර දීම අපේ සාමුහික වගකීමක්. අපේ චාරිත‍්‍රවාරිත‍්‍ර ගැන බොහෝ විට අපි පාරට්ටු කරනවා. ජාතියක ගුණය මැණිය යුත්තේ, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, පූජ්‍ය පක්ෂයට, හාම්පුතුන්ට, නායකයන්ට අපි ගරු බුහුමන් කරන ආකාරයෙන් කියලා අපි කියනවා. ඒ වුණාට, ජාතියක ගුණය නිවැරදිව මනින්න පුළුවන් වෙන්නේ, බලවතුන්ට සහ ප‍්‍රභූන්ට ගරු කරන්නේ කොහොමද කියන එකෙන් නෙවෙයි, දුබලයන්ට සහ අසරණයන්ට අපි සළකන්නේ කොහොමද කියන එකෙන්. අපේ විරුද්ධවාදීන්ට සහ සුළුතර ජන කොටස්වලට අපි සළකන්නේ කොහොමද කියන එකෙන්.

ලංකාව මුහුණදෙන ප‍්‍රධාන අභියෝග ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට ඇති හැකියාව ගැන මගේ නිරීක්ෂණ ඉතා ලූහුඩින් කීමට මට අවසර. මගේ අදහසේ හැටියට, සමාජ, ආර්ථික හෝ වෙනත් ඕනෑම කාරණයක දී ඕනෑම ජගත් ප‍්‍රමිතියකට ළඟා වීම සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි අවස්ථා තුනක්, යහමින්ම අපට තියෙනවා.

ඒකේ දී මං පොඞ්ඩක් ගතානුගතික වෙන්නම්.

මුලින්ම, විවිධත්වය ප‍්‍රයෝජනයට ගත යුතුයි. අපේ රටේ විවිධ සංස්කෘතීන් තියෙනවා. විවිධ ආගම් තියෙනවා. විවිධ ප‍්‍රජාවන් අපේ රටේ ජීවත් වෙනවා. ඒත් ඒ විවිධත්වය, ශක්තියක් හැටියට අපි දකින්නේ නැහැ. බොහෝ විට අපි කරන්නේ, අගතීන්වලට යට වෙලා එම අදහස් ප‍්‍රතික්ෂේප කිරීමයි.

දෙවැනුව, මානව සම්පත් ප‍්‍රයෝජනයට ගැනීම. අපිට ඉතා වටිනා මානව සම්පත් තියෙනවා. රක්ෂාවල් සඳහා විතරක් නෙවෙයි, ආරක්ෂාකාරීව මේ ජංජාලයෙන් ගොඩ එන්න අවශ්‍ය කරන මානව සම්පතුත් අපිට තියෙනවා. ඒක යථාර්ථයක් වෙන්න නම්, කැමැත්ත සහ හැකියාව තියෙන මිනිසුන්ව කොන් නොකර, ඔවුන්ට නිසි තැන දිය යුතු වෙනවා. ජනවාර්ගික ගැටුම නිසා විප‍්‍රවාසයේ සිටින දහස් ගණන් පුද්ගලයන් සහ පවුල් ආපසු සාදරයෙන් භාර ගත යුතුයි. අභිමානයෙන් යුක්ත, තිරසාර සහජීවනයක් පිළිබඳ සහතිකයක් ඇත්නම්, ඒ පිරිසෙන් විශාල පිරිසක්, විශේෂයෙන් දෙමළ ප‍්‍රජාවෙන් විශාල පිරිසක්, ආපසු එන්නට කැමති බවයි මගේ කල්පනාව.

තෙවැනුව, කාර්යයෙහි තත්පර වීමට ජනතාව තුළ ඇති කැපවීම ප‍්‍රයෝජනයට ගත යුතුයි. ඒ විදිහේ කැපවීමකට කැමති, අපේ රටේ විනීත ශිෂ්ඨාචාරයක් ඇති කිරීමේ හැකියාව ඇති බොහෝ පිරිස් පිටමං කෙරිලා තියෙනවා. මොකද කියනවා නං, බලයත් සමග ඔවුන් සම්බන්ධ නැති නිසා. ඒ වගේම, තවත් දසලක්ෂ ගණන් මිනිස්සු ඉන්නවා, දේශපාලන බලපෑම් සහ පළිගැනීම්වලින් තොරව කටයුතු කිරීමේ පරිසරයක් තියෙනවා නං, ආචාරශීලී සමාජයක් ගොඩනැගීමටත් උරදිය හැකි.

කෙසේ වෙතත්, මේ ශක්‍යතා තුන නිවැරදිව ප‍්‍රයෝජනයට ගැනීමට නම්, රටේ නායකත්වය තුළ, දේශපාලනික නායකත්වය තුළ පමණක් නොවෙයි, ආගමික, සමාජයීය, ප‍්‍රජාමය, ව්‍යාපාරික, මාධ්‍ය සහ ශාස්ත‍්‍රාලීය නායකත්වය තුළ පවා, සුසමාදර්ශී වෙනසක් ඇති විය යුතුව තියෙනවා. ඒ සුසමාදර්ශී වෙනස සඳහා සමාජය සූදානම් කිරීම අපේ වගකීම කියලයි මං හිතන්නේ. නිකං බලාගෙන හිටියට, ඒක අපේ ඔඩොක්කුවට වැටෙන්නේ නැහැ.

අවසාන වශයෙන් මේ සම්මානය ප‍්‍රදානය කිරීම ගැන නැවතත් ජාතික සාම මණ්ඩලයට මගේ කෘතඥතාව පළ කළ යුතුව තියෙනවා. දැනට ජීවතුන් අතර නැති මගේ දෙමාපියෝ මගේ හිතේ තවමත් ජීවත් වෙනවා. ජීවිතේ මා ගත යුතුව තිබූ තේරීම් සම්බන්ධයෙන් කිසි දවසක ඔවුන් අනවශ්‍ය ලෙස ඇඟිලි ගැහැව්වේ නැහැ. ඒත් හැම වෙලාවෙම, අද මං මේ ඉන්න තැනට එන්නට ඔවුන් මට මග පෙන්නුවා. මට හුඟාක් යාළුවෝ හිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රැුල්ලට එරෙහිව මගෙත් එක්ක නැගී සිටීමේ දී ඔවුන්ගේ ජීවිතවලත් දුෂ්කරතාවන්ට මුහුණදුන්නා. අපේ සහසම්බන්ධකම් අන්‍යොන්‍ය වශයෙන් අපව පෝෂණය කළා. ඒ අය වෙන් වෙන් වශයෙන් නම් කිරීමට පුලූවන් කමක් නැතත්, ඒ හැමෝටම මං මගේ කෘතඥතාවය පළ කරනවා.

මේ රට ජීවත් වීමට සුදුසු තැනක් කර ගැනීම සඳහා මා තුළ තිබෙන කැප වීම එක දිගටම අවබෝධයෙන් සහ ඉවසීමෙන් යුතුව දරාගෙන සිටිමින් මට සහාය වුණේ, මගේ බිරිඳ සුබෝධ්‍යා. වාසනාවකට, මගේ දරුවොත් ඇගේ ඒ ආදර්ශය උගෙනිමින් ඉන්නවා. ඒ සඳහා, මගේ මුව නොසෑහෙන ස්තුතිය, මගේ බිරිඳට.

මෙහි පැමිණීම සහ මතකයේ පවතින මේ මොහොත බෙදාහදා ගැනීම ගැන ඔබ හැමට නැවතත් ස්තුතියි.

*2013 සැප්තැම්බර් 18 වැනි දා ශ‍්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මගින් ප‍්‍රදානය කරන ලද ‘පුරවැසි සාම ත්‍යාගය’ භාර ගනිමින් පැවැත්වූ කතාවේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.