23 May, 2024

Blog

මැතිවරණ සූදානම හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය නතර කළ යුතු නොවේ

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

ජනවාර්ගික ගැටුමට ලබාදෙන බව කියන විසඳුම සම්බන්ධයෙන් මීට වසරකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනිත කළ බලාපොරොත්තු මේ වන විට පහව යන බවක් පෙනෙන්නට තිබීම බලාපොරොත්තු සුන්කරවන්නකි. ජනාධිපතිධූරයට තේරී පත්වී කෙටි කලකින් ජාතික සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවට ජනාධිපතිවරයා ඉඟි ලබාදුන්නේය. පළාත් සභා ස්ථාපිත කළ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බව ඔහු ප්‍රකාශ කළේය. පෙබරවාරි 04 වැනි දින රට සිය 75 වන සංවත්සරය සමරන අවස්ථාව වන විට ජනවාර්ගික ගැටුම විසඳන බවට ඔහු පොරොන්දු විය. මාස හයකට වැඩි කාලයක් ගතවී ඇතත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් ලැබී නැත. ඊට පටහැණිව, ක්‍රමවේදය ඉහළ සිට වෙනස් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය පිළිබඳ විශ්වාසය දිගින් දිගටම වර්ධනය වෙමින් තිබියදීත්, පළාත් සභා ක්‍රමයේ අවශ්‍යතාව ප්‍රශ්න කරන බලගතු හඬවල් සමඟ වැඩපිළිවෙලේ ආපසු හැරවීමක් ඇති වී තිබේ.

සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පොරොන්දු වූ ආකාරය අනුව, ඔහු සිටි සන්දර්භය තුළ, ඔහු දේශපාලන වශයෙන් උපායමාර්ගිකව කටයුතු කළ බවට උපකල්පනය කළ හැකිය. නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූලභාවයෙන් තොර වූ පාර්ලිමේන්තුවක් විසින් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම, එකල රටේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ ආධාර අන්තර්ජාතික ප්‍රජාව වෙතින් ලබාගැනීමේ අපේක්ෂාවන්ට අත්‍යවශ්‍ය විය. නව ජනාධිපතිවරයා විරෝධතා ව්‍යාපාරය යටපත් කළ ආකාරය හේතුවෙන් සිවිල් සමාජ කණ්ඩායම් ඔවුන්ගේ විවේචනවලදී වඩාත් නිහඬ විය. ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ ජනවාර්ගික ගැටුම වැනි කටුක ප්‍රශ්න විසඳීමට තම සැලසුම් ප්‍රකාශ කිරීමට විපක්ෂ නායකත්වයේ පවතින අකැමැත්ත හෝ නොහැකියාව විසින්, කුණාටුවට හසු වූ රාජ්‍ය නැවේ නියමුවා බවට ජනාධිපති වික්‍රමසිංහ පත්කිරීම වඩාත් සුදුසු බවට වන ප්‍රකාශය තවදුරටත් ශක්තිමත් වී ඇත.

සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නවතම යෝජනා තවදුරටත් ක්ෂණික හෝ කෙටි කාලීන ජයග්‍රහණ පිළිබඳ පොරොන්දු නොවේ. ඒ වෙනුවට ඔවුන් පැහැදිලිවම අවධානය යොමු කරන්නේ මධ්‍යම හා දිගු කාලීන යෝජනා කෙරෙහිය. මීළඟ මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සිය සැලසුම් ක්‍රියාත්මක කරනු ඇතැයි යන බලාපොරොත්තුව මෙයින් ජනිත වේ. ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී කියවූ 13 වැනි සංශෝධනය පිළිබඳ සවිස්තරාත්මක පත්‍රිකාව පිළිබඳව අවධානය යොමුකරමින්, එහි තිබූ සංකීර්ණතා සැළකිල්ලට ගතහොත්, ඒවා ලිහා දෙමළ පක්ෂ සමඟ එකඟතාවක් ඇතිකර ගැනීමට අවම වශයෙන් වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇත. ජාතීන් අතර බලය බෙදාගැනීම සම්බන්ධ දේශපාලන සූත්‍රයක් ලෙස 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පමණක් ක්‍රියාත්මක කළ හැකි එකක් නොවේ. ඒ සඳහා දෙපාර්ශ්වයේම හොඳහිත භාවිත කරමින් වේදනාකාරී සාකච්ඡා පැවැත්වීම අවශ්‍ය වේ.

ප්‍රජාතන්ත්‍රවාදී අසාර්ථකත්වය

පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීම වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එතරම් අපහසු කාර්යයක් වී නැත. ජනාධිපතිවරයා අවශ්‍ය යැයි සළකන ඕනෑම නීතියක් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය ඔහුට ලබාදීමට ආණ්ඩුව කැමැත්තෙන් සිටී. බදු ගෙවන්නන් මත විශාල බරක් පටවා ඇති බදු ප්‍රතිසංස්කරණ මෙයට ඇතුළත් ය. කෙසේ වෙතත්, වාර්ගික සුළුතරය ප්‍රතිසංස්කරණවලට එකඟ නොවන්නේ නම්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් නීති සම්පාදනය කිරීමේ හැකියාව වාර්ගික ගැටුම් ඇති වන අවස්ථාවන්හිදී විසඳුමක් නොවේ. යෝජිත ව්‍යවස්ථාව වාර්ගික සුළුතරය විසින් පිළි නොගතහොත් ගැටලුව නොවිසඳී පවතිනු ඇත. අන්තර්ජාතික ප්‍රජාවෙන් සහ මානව හිමිකම් සංවිධානවලින් එල්ල වන බලපෑම්වලට ප්‍රතිචාර වශයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජිත සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයට ද මෙම තර්කයම අදාළ වේ.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (NURC) සම්බන්ධයෙන් රජය විසින් කෙටුම්පත් කර ඇති සවිස්තරාත්මක නීති සම්පාදනය, රජය විසින් ඒකපාර්ශ්විකව ක්‍රියා කරමින් සම්මත කරන ලද නීති සම්පාදනයක් ලෙස සළකන්නේ නම් එහි වටිනාකම අඩු වනු ඇත. NURC පිහිටුවීමේ කෙටුම්පත සුළු ජාතික පක්ෂවල එකඟතාවෙන්, පාර්ලිමේන්තුවේ බහුතරය විසින් සම්මත කරන ලද නීතියක් වන්නේ නම් එය අගය කරනු ඇත. NURC සඳහා සුළුතර ප්‍රජාවන්ගේ පිළිගැනීම ඇති දෙමළ සහ මුස්ලිම් පක්ෂවල කැමැත්ත අවශ්‍ය වේ. සත්‍ය කොමිසම පිහිටුවීමේ නීති කෙටුම්පතට හෝ ස්ථිර යාන්ත්‍රණය පිහිටුවීමට වසරක පමණ කාලයක් ගත කිරීමට බලාපොරොත්තු වන අතුරු ලේකම් කාර්යාලයට දෙමළ හා මුස්ලිම් පක්ෂවල කැමැත්ත ලැබී ඇති බවක් මේ වන විට පෙනෙන්නට නැත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ සත්‍ය කොමිසම යන දෙකටම ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනාව වන්නේ, වාර්ගික ගැටුම විසඳීම සඳහා සිය සැලැස්ම මැතිවරණයෙන් පසු වසරක අනාගතය සඳහා වූ එකක් ලෙසිනි. ජයග්‍රහණයට සහ පැවැත්මට ඇති හොඳම අවස්ථාව ලෙස ආණ්ඩුව සළකන බව පෙනෙන්නේ, මෙම ජනාධිපතිවරණ කාල රාමුවයි. ඉන්දියාව සමඟ මන්නාරමේ දුම්රිය සම්බන්ධතාව, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති වැනි ආන්දෝලනාත්මක නොවන කාරණා පිළිබඳව ජනාධිපතිවරයාගේ උතුරු හා නැගෙනහිර සංචාරයන් මෙයින් පැහැදිලි කරගත හැකිය. ඊට ප්‍රතිවිරුද්ධව, විශේෂයෙන්ම 13 වැනි සංශෝධනය සහ සත්‍ය කොමිසමේ ස්වරූපයෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම මතභේදාත්මක බව ඔප්පු විය හැකි අතර, රජය කෙරෙහි සුපරීක්ෂාකාරීවන්නන් හෝ විරුද්ධ අය මෙන්ම, පවතින මහජන සහයෝගය පවා අහිමි විය හැකිය.

අවශ්‍ය රාජ්‍ය පාලකයා

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රකාශයන් බහුතර ප්‍රජාවේ ජාතිකවාදී කොටස් වෙතින් වහා විරෝධයක් ඇති කළේය. 1950 ගණන්වල සිට පැවත එන තර්කය වන්නේ රට වාර්ගික රේඛාවල බෙදීමට ගොදුරු විය හැකි බැවින් බලය බෙදීමට විරුද්ධ විය යුතුය යන්නය. මේ තර්ක දැන් නැවතත් කරළියට පැමිණෙමින් තිබේ. අඩුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමට තවමත් සාමාන්‍ය ජනතාවගෙන් සැසඳිය හැකි සෘණාත්මක ප්‍රතිචාරයක් එල්ලවී නැත. බහුතරයක් දෙනා විෂය කරුණු පිළිබඳ දැනුමක් නොමැතිකම මෙයට හේතු වන්නට ඇත. මෙම යාන්ත්‍රණයන් පිළිගැනීම සඳහා රජය ප්‍රචාරණය ආරම්භ කරනු ලබන මොහොතේදී, වාර්ගික ගැටුමට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් රජයේ සැලසුම් ඛාදනය කරන මතභේදයක් ඇති වීමට ඉඩ තිබේ.

ජාතිකවාදී දිශානතියක් සහිත දේශපාලනයේ කොටස් විසින් වාර්ගික ප්‍රශ්න නැවත වරක් මතුපිටට ගෙන එන බවට ඉඟි පවතී. බලයේ සිටින්නන් සහ දූෂණය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරමින්, අරගලයට පෙර සිදුවූ ආර්ථික කඩාවැටීමේ සිට විශාල වශයෙන් පාඩු ලැබුවේ ඔවුන්ය. මෙහිදී හොඳම උදාහරණයක් වන්නේ කුරුන්දි විහාරස්ථානය සම්බන්ධ ආරවුලයි. මෙය බෞද්ධ හා හින්දු දෙපිරිසම හිමිකම් කියන අඩවියකි. විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් අය අතර භීතියක් හා අවිශ්වාසයක් ඇති බවට රටපුරා පණිවිඩයක් යැවීම ඔස්සේ ආගම් දෙකෙහිම අනුගාමිකයන් ඒකරාශී කරගත හැකිවන්නේ නම් ගැටුම් නිර්මාණය වීමට අවස්ථාව පවතී.

මැතිවරණ යනු සම්ප්‍රදායිකව වාර්ගික භීතිකාවන් සහ ධ්‍රැවීකරණය උපරිම මට්ටමින් ක්‍රීඩා කරන අවස්ථාවක් වේ. දේශපාලකයන්ට අනෙකුත් ජනකොටස් කෙරෙහි බියක් ඇති කිරීම තරම් ජනතා සහාය ලබාගැනීමට, වඩා ඵලදායී ක්‍රමයක් තවත් නැත. මෙම සංසිද්ධිය එක් ජන කොටසකට පමණක් සීමාවූවක් නොව සැමට පොදුය. රටේ මෙතෙක් ගොඩනැගුණු වඩාත්ම ජාතිකවාදී ආණ්ඩුව එහි අභ්‍යන්තර ඌනතාවයන් සහ විශේෂයෙන් ආර්ථිකයේ වැරදි කළමනාකරණය සහ දූෂණය හේතුවෙන් ආර්ථිකයේ බිඳවැටීම පසුගිය වසරේ දැකගත හැකි විය. වාසනාවකට මෙන්, ජාතිකවාදී දේශපාලනඥයන් අපකීර්තියට පත්කර තිබීම හේතුවෙන් වාර්ගික ප්‍රචණ්ඩත්වයක් වෙත යෑමේ හැකියාව දුරස්ථ ය. ආර්ථිකය සහ මැතිවරණ කෙරෙහි අවධානය යොමුකරන අතරතුර, රටට බලපාන ගැටලු රාශියකින් ජනවාර්ගික ගැටුම සහ සංහිඳියාව පිළිබඳ ගැටළු විසඳීමට අවධානය යොමුකළ හැක. මෙය අනිවාර්යයෙන් සිදුකළ යුතු අතර, එසේ නොවන්නේ නම් එය තවත් අවුරුද්දක් පසුව දැකගැනීමට ලැබෙන්නේ නැත. හරි දේ කිරීමට සහ ප්‍රතිපත්තිගරුකව හැසිරීමට කාලය සැමවිටම එළඹෙන්නේ දැන් මිස පසුව නොවේ. මැතිවරණ ජයග්‍රහණයට පමණක් නොව, සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව සිදුකළ ආකාරයෙන් රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ප්‍රමුඛත්වය ලබාදෙන්නේ නම්, රාජ්‍යත්වය වඩාත් තහවුරු වේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.