14 June, 2024

Blog

පශ්චාත් මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා – කොටස II

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ පිතිකරුවෙකුට පරචිත්ත විජාජන ඥානය තිබේ. ඔහුට පන්දු යවන්නාගේ සිත කියැවීමේ හැකියාවක් තිබෙන බැවින් ඉදිරියේ එන පන්දුවේ වේගය, දෝලනය, එය පිච් වන ස්ථානය යනාදී සියල්ලම ඔහු කලින්ම දනී. මේ හැකියාව වඩාත් හොඳින් ප්‍රගුණ කළ විට ඔහු ඉදිරියේ එන සමස්ත පන්දු ඕවරයම පෙර දකින්නට සමත් වේ; තවත් ඉදිරියට ගිය විට සමස්ත තරඟය පමණක් නොව තරඟාවලියම පෙරදකින්නට සමත් වේ. මෙසේ පවසන්නේ උදයසිරි වික්‍රමරත්නගේ ‘හරිම බඩු තුනක්’ නාට්‍යයේ එන චරිතයකි. උදයසිරි ඔහුටම ආවේණික දේශපාලන ප්‍රහසන ශෛලියක් ඇසුරු කරමින් තම නාට්‍යයේ චරිතයක් ඔස්සේ තවදුරටත් පවසන්නේ සමකාලීන දේශපාලනය තුළ මෙවන් පරචිත්ත විජාජන ඥානයක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහට කියාය. ඔහුට අනුව, සජිත්ගේ ප්‍රශ්නය එවැන්නක් නොතිබීමයි. අනුර කුමාර හට ඇත්තේ එම ඥානය යනවා එනවා වැනි තත්ත්වයකි.

තීරණයේ උමතු නිමේෂය

මා උදයසිරිගේ දේශපාලන විනිශ්චය පිළිගන්නේ නැත. නමුත්, දේශපාලනය පිළිබඳ ඉතාම වැදගත් න්‍යායික විදර්ශනාවක් අපට ඔහුගේ ප්‍රහසනය තුළින් මතු කරගත හැකිය. එනම්, ක්‍රීඩාවේ සහ දේශපාලනයේ ඉරණම තීන්දු කිරීමෙහිලා මානව කතෘකයන්ගේ වැදගත්කම පිළිබඳ කාරණයයි. ක්‍රිකට් තරඟයක ආරම්භයේදී අප කොතරම් අනාවැකි කියූවද අවසාන අරුතින් සියල්ල රඳා පවතින්නේ ක්‍රීඩකයින් මතය. පිතිකරුවා වෙතට එන පන්දුව ඊළඟ මොහොතේදී උඩ පන්දුවක් බවට හැරේද, හයේ හෝ හතරේ පහරක් බවට පත් වේද, පිටිය මත ඇදී යාවිද, නිදැල්ලේ යාවිද යන්නද තීරණය වන්නේ පිතිකරුවා එයට කෙසේ මුහුණ දෙන්නේද යන කාරණය මතය. ඒ තත්පර කිහිපයක අවිනිශ්චිත නිමේෂය තුළ කුමක් වේදැයි අප කිසිවෙකුට හරියටම අනාවැකි කිව නොහැකිය. එය අතීරණාත්මක මොහොතකි. එම මොහොත තුළ වියහැකියාවන් (possibilities) රැසක් පවතී. ඒ අතුරින් කවර වියහැකියාව තථ්‍යතාවක් (actuality) බවට පරිවර්තනය වන්නේද යන්න නිශ්චය කෙරෙන්නේ පිතිකරුවාගේ ක්‍රියාව විසිනි. මේ අනුව අතීරණාත්මක තත්ත්වයක් තුළ ගනු ලබන තීරණය අතිශය තීරණාත්මක ය. එම තීරණය තර්කානුකූල තෝරා ගැනීමක් ලෙස තේරුම් කළ නොහැකිය. මන්ද යත්, තීරණය රඳා පවතින්නේ තර්කානුකූල වුවද නොවූවද පිතිකරුවාගේ ක්‍රියාව මතය. එය අහඹු අවිනිශ්චිත ක්‍රියාවකි. එම ක්‍රියාව වියහැකියාවන් රැසක් අතුරින් තථ්‍යතාව බවට පරිවර්තනය කරන්නේ කවරක්ද යන්න තර්කයෙන් කිරා මැන තීන්දු කොට සිදු කළා වූ ක්‍රියාවක් වීම අවශ්‍ය නොවේ. තර්කයෙන් කවරක් කියැවුනද අවසානයේ තීරණය ගන්නේ පිතිකරුවාය. එබැවින් ඒ නිමේෂය තුළ සියල්ල රඳා පවතින්නේ මිනිස් විෂය (subject) මතය. ක්‍රියාවේ නොහොත් තීරණයේ මුළුමහත් වගකීම කතෘකයා විසින් භාර ගත යුතු වන්නේ මෙනිසාය.

විෂය හා ක්‍රියාව සමග බැඳුණු ආචාර ධාර්මික වගකීම පිළිබඳ කාරණය පැහැදිලි කරන කදිම දෙබසක් ක්‍රිස්ටෝපර් නෝලන් ගේ Oppenheimer චිත්‍රපටය තුළ ගවේෂණය කළ හැකිය. එහි ප්‍රධාන චරිතය වන රොබර්ට් ඕපන්හයිමර් පරමාණු බෝම්බය නිපදවීම සඳහා දායක වන ක්වොන්ටම් භෞතික විද්‍යා ඥානය වර්ධනය කළ අයෙකි. චිත්‍රපටයේ එක් අවස්ථාවක ඕපන්හයිමර්ගේ සොයා ගැනීම ගැන දැනගන්නා ඇල්බර්ට් අයින්ස්ටයින් ඔහුට පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික පිපිරීමක අනපේක්ෂිත ප්‍රතිපලයක් ලෙස සමස්ත ලෝකයම විනාශ වීමේ කුඩා සම්භාවිතාවක් පවතින බවයි. “ඔබගේ තීරණයේ සම්පූර්ණ වගකීම ඔබ භාරගත යුතුය.” අයින්ස්ටයින් පවසන්නේ එපමණකි. සැබවින්ම ඕපන්හයිමර් ඇතුළු කණ්ඩායම න්‍යෂ්ටික පිපිරීමක් අත්හදා බලන්නේ ඉහත කී කුඩා සම්භාවිතාව නොතකා හරිමිනි. කිසියම් ඉතිහාසයීය මොහොතක් තුළ මානව කතෘකයන් විසින් ගනු ලබන තීරණ සෑමවිටම ඔවුනගේ තාර්කික බුද්ධිය මගින් මෙහෙයවනු ලබන්නේ නම් එවැන්නක් සිදු වීමට ඉඩක් නොමැත. “සොරෙන් කීකගාර්ඩ් උපුටා දක්වමින් අර්නෙස්ටෝ ලැක්ලාවූ පවසන පරිදි “තීරණයේ නිමේෂය උමතුභාවයේ නිමේෂයකි.” මෙහි අදහස තීරණය යන්න කිසිදු පූර්ව-නිශ්චිත නියාමයක් මගින් හැසිරවෙන්නේ නැති බවයි.

අනිවාර්යතාවාදයෙන් ඔබ්බට

අප ඉතිහාසය වෙතට කෙරෙන මානවීය මැදිහත්වීමේ තීරණාත්මකභාවය පිළිගන්නේ නම්, ඉතිහාසය යම් යම් නියාමයන් මගින් පාලනය වන්නේය යන අදහස අපට අත් හරින්නට සිදු වේ. නමුත්, මාක්ස්වාදී කතිකාව තුළ “ඉතිහාසය නියාම පාලිතය” යන පිළිගැනීම අන්තර්ගත ය. මාක්ස්ගේ නිතර උපුටා දක්වනු ලබන “දේශපාලන ආර්ථිකයේ විවේචනයට දායක වීමක්” නමැති කෘතියේ පෙරවදන ඒ සඳහා නිදසුනකි. එහි දැක්වෙන පරිදි සමාජ විප්ලවයේ යුගය නිර්මාණය වන්නේ නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සබඳතා අතර නොවැළැක්විය හැකි ප්‍රතිවිරෝධය (contradiction) කරණ කොටගෙනය. මෙය තේරුම් කරනු ලබන්නේ අවශ්‍යයෙන්ම සිදු වීමට නියමිත සංසිද්ධියක් ලෙසිනි. සරලව කිව හොත්, වැඩවසම් ක්‍රමය බිඳ වැටී ධනවාදය නිර්මාණය වූයේ යම් සේද, එපරිදිම ධනවාදය බිඳ වැටී සමාජවාදය නිර්මාණය වීමට නියමිතය. මන්ද යත්, නිෂ්පාදන බලවේගවල ඉදිරි වර්ධනය සිදු විය හැක්කේ නිෂ්පාදන උපකරණවල හිමිකාරීත්වය සමාජය සතු වේ නම් පමණි. මෙම ඓතිහාසික අවශ්‍යතාව නොහොත් අනිවාර්යතාව පිළිබඳ මතය මුල්කාලීන මාක්ස්වාදීන් කොතරම් දුරට විශ්වාස කළාද යත්, 19 වන සියවසේ යුරෝපයේ බලවත්ම දේශපාලන ව්‍යාපාරයක් වූ දෙවන ජාත්‍යන්තරයේ ඇතැම් න්‍යායවේදියෝ සමාජවාදී විප්ලවය සිදුවීමට නියමිත බවත් කළ යුතුව ඇත්තේ එය භාර ගැනීමට සූදානම්ව සිටීම බවත් කල්පනා කළහ. “විප්ලවවාදී පක්ෂයේ කාර්යභාරය වන්නේ ඓතිහාසික වින්නඹුවකගේ කාර්යභාරය වැන්නක්ය” යන චිර ප්‍රසිද්ධ විශ්වාසය මගින් කියැවෙන්නේද මෙම අදහසයි. ලැක්ලාවූට අනුව මේ වනාහී මාක්ස්වාදී කතිකාව තුළ අන්තර්ගත ‘අවශ්‍යතාව/අනිවාර්යතාව පිළිබඳ ආර්ථිකමය තර්කණයයි.’

නමුත්, ඔහු පෙන්වා දෙන්නේ මාක්ස්වාදී කතිකාව තුළම මීට පරස්පර තවත් තර්කණයක් පවතින බවයි. එනම්, ‘අහඹු/අනිශ්චයතාව පිළිබඳ දේශපාලන තර්කණයයි.’ මෙය පැහැදිලි කිරීම සඳහා ලැක්ලාවූ උපුටා දක්වන්නේ මාක්ස්ගේම තවත් ප්‍රසිද්ධ ප්‍රකාශයකි. එනම්, “මෙතෙක් පැවති මුළුමහත් ඉතිහාසයම පන්ති අරගලවල ඉතිහාසයක් වේය” යන කොමියුනිස්ට් ප්‍රකාශනයේ පළමු වාක්‍යයයි. පන්ති අරගලය සිදු විය හැක්කේ සෙසු ඕනෑම දේශපාලන අරගලයක් සේම මිනිසුන් අතරය. එසේ නම්, එම අරගලය සිදු විය යුත්තේ මිනිස් අනන්‍යතා පිළිබඳ ක්ෂේත්‍රය තුළය. කම්කරුවා සහ කර්මාන්ත හිමියා යනු අනන්‍යතාය. ඒවා දෘෂ්ටිවාදීමය ලෙස ගොඩ නංවනු ලබන දේ ය. නොඑසේව, කිසිදු ඓතිහාසික නියාමයක් තුළින් පැන නගින දේ නොවේ. එසේම කම්කරුවා සහ කර්මාන්ත හිමියා යනු මාක්ස්වාදී කතිකාව තුළ තේරුම් කරනු ලබන්නේ පසමිතුරුතාවක් (antagonism) ලෙසයි. පසමිතුරුතාව යනු සතුරා එරෙහිව මිතුරා යන සම්බන්ධයයි. පසමිතුරුතා අරගලයක ජයග්‍රහණය කුමක් වේදැයි කිසිවෙකුටත් කලින්ම පැවසිය නොහැකිය. මන්ද යත්, කවර දේශපාලන අරගලයක් වුවත් අහඹු හා අනිශ්චය වූවකි. උදයසිරිගේ නාට්‍යයේ එන ක්‍රිකට් පිතිකරුවා මෙන් අරගලය තුළ කිසියම් නායකත්වයක් කෙසේ බැට් කරනු ඇත්දැයි කිසිවෙකුටත් පෙරදැකිය නොහැකිය.

පශ්චාත් මාක්ස්වාදය යනු කුමක්දැයි යනු ඉහත විශ්ලේෂණය ඇසුරින් සරලව පැහැදිලි කළ හැකිය. ලැක්ලාවූ සහ මූෆ් කළේ මාක්ස්වාදී කතිකාව තුළ අධිපතිව පැවති අනිවාර්යතාව පිළිබඳ ආර්ථිකමය තර්කණය වෙනුවට අහඹු/අනිශ්චය පිළිබඳ දේශපාලනික තර්කණය පෙරට ගැනීමයි. මාක්ස්වාදයේ විසංයෝජනය යනු එයයි. එයින් අදහස් වන්නේ මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. මාක්ස්වාදී කතිකාව තුළ පැවති අනිවාර්යතාව සහ අහඹුව පිළිබඳ සහසම්බන්ධ-ප්‍රතිපක්ෂයේ (binary-opposition) ධූරාවලීගත සම්බන්ධය ප්‍රශ්න කිරීමකි.

පශ්චාත්-මාක්ස්වාදය සහ සහශ්‍රක සමාජවාදය

සහශ්‍රක සමාජවාදයේ න්‍යායික පදනම සැකසීමට පශ්චාත්-මාක්ස්වාදය කොතරම් දායක වන්නේදැයි පැහැදිලි කරගැනීම දැන් අසීරු නොවේ. පශ්චාත්-මාක්ස්වාදී තේරුම් කිරීම අනුව ඉතිහාසයේ ගමන් මග නිශ්චය කිරීමෙහිලා න්‍යායික වරප්‍රසාදයක් ලැබූ කිසිදු තනි අරගලයක් (මාක්ස්වාදයේ පන්ති අරගලය වැනි) නොමැත. ඒ වෙනුවට විවිධාකාර ආර්ථිකමය, සමාජමය, ලිංගිකමය, සංස්කෘතිකමය පීඩනයන්ට එරෙහි අරගලයන්ගේ බහුලත්වයකි, ඇත්තේ. එකී කිසිදු විමුක්ති අරගලයක් තවෙකකට ඌණනය කළ නොහැක. නිදසුනක් ලෙස, ගතානුගතික මාක්ස්වාදීන් විශ්වාස කළ පරිදි පීතෘමූලිකත්වයට එරෙහි ස්ත්‍රීන්ගේ අරගලය සමාජවාදී අරගලයට වඩා ද්වීතියික විය යුතු යැයි නියමයක් නොමැත. ඇතැම් ලාංකීය මාක්ස්වාදීන් පවසන්නට හුරු වී සිටින පරිදි, සුළුතර ජාතීන්ගේ සමානත්වය පිළිබඳ අයිතීන් ඉටු විය හැක්කේ සමාජවාදී පාලනයක් තුළ යැයි පවසමින් ඒවා නොතකා හරින්නට මේ ප්‍රවේශය තුළ ඉඩක් නොමැත. න්‍යායික යෙදුමකින් කිව හොත්, පශ්චාත්-මාක්ස්වාදය පන්ති-ඌනිතවාදය ප්‍රතික්ෂේප කරයි.

පන්ති ඌනිතවාදය පිළිබඳ ගැටළුව, එනම් සෙසු සියලු පීඩනයන් පන්තිමය පීඩනයට ඌණනය කිරීම, ‘සැබවින්ම පැවති මාක්ස්වාදයේ’ ප්‍රධාන ගැටළුවක් විය. මෙය පැහැදිලි කරමින් ශන්තාල් මූෆ් ඇය 1960-70 දශකවලදී යුරෝපීය ස්ත්‍රීවාදී ව්‍යාපාර නියෝජනය කරමින් වාමාංශිකයින් සමග ගණුදෙණු කරන්නට ගිය විට ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන මෙසේ පවසයි: “ගොඩක්ම විවෘත කෙනා කියයි, මේ ව්‍යාපාර හරිම වැදගත්…ඒත් ඒවා ප්‍රමුඛ ඒවා නෙමෙයි…කාන්තාවන්ගේ පීඩනයට එරෙහි සටන එන්නේ පසුවටයි කියලා. අඩුවෙන්ම විවෘත කෙනා කියයි, මේවා අපිව ප්‍රධාන අරගලයෙන් ඉවතට හරවන සුළු ධනේශ්වර ඉල්ලීම් කියලා” (Mouffe, 2016, Podemos: in the name of the People, p. 15-16). මෙම අනිවාර්යතාවාදී සහ නියතිවාදී විශ්වාසය අත් හළ විට සමාජ විමුක්තීන්ගේ බහුලත්වය පිළිගන්නා පර්යාලෝකයක් විවෘත වේ. ලැක්ලාවූ සහ මූෆ් ප්‍රයත්න දරන්නේ එම නව පර්යාලෝකය තුළ සමාජවාදයට නව උපායමාර්ගික දැක්මක් ඉදිරිපත් කිරීමටය. ඔවුනගේ ප්‍රවේශය ධනවාදයට එරෙහි වූවක් බව ඔවුන් යළි යළිත් අවධාරණය කරන්නේ එබැවිනි. එසේම, ප්‍රායෝගිකව පශ්චාත් මාක්ස්වාදීන් සහාය දක්වන්නේ නව-ලිබරල් හෙජමොනියට එරෙහි වාමාංශික ව්‍යාපාර වෙතටය. මූෆ් ඇයගේ නවතම කෘතිය වන ‘Towards a Green Democratic Revolution’ (2022) හි අවධාරණය කරන පරිදි, ඇයගේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමේ පශ්චාත්-මාක්ස්වාදී අරගලය තුළ අවශ්‍යයෙන්ම ධනවාද-විරෝධී පැතිමානයක් පවතින බව ප්‍රතික්ෂේප කිරීම නොවේ (එම කෘතිය, පි. 33). තමන් ආරම්භයේ සිටම පෙනී සිටියේ සමානාත්මතාව පිණිස වූ අරගලයක් අරමුණු කොටගෙන බවත්, නමුත් වත්මනෙහි බොහෝ අරගල සිදුවෙමින් පවතින්නේ ධනවාද-විරෝධයේ හෝ සමාජවාදයේ නාමයෙන් වනවාට වඩා සමානත්වයේ සහ සමාජ යුක්තියේ නාමයෙන් බවත් ඇය පෙන්වා දෙයි. ඒවා (විශේෂයෙන්ම ඇය කතා කරන බටහිර ලෝකයේ) හඳුනාගනු ලබන්නේ ප්‍රජාතාන්ත්‍රික අරගල ලෙසිනි (එම). මෙයින් මූෆ් අවධාරණය කරන්නේ වෙනස් වෙමින් පවත්නා කතිකාමය තත්ත්වය තුළ සමාජවාදයේ උපායමාර්ග ගවේෂණය කිරීමේ ස්වකීය උත්සුකය වෙනස් වී නොමැති බවය.

මූෆ්ට තරමක් වෙනස්ව යමින් පාවුලෝ ජර්බෝඩෝ පෙන්වා දෙන්නේ සහශ්‍රක යුගයේ සමාජ අරගල තුළ ධනවාද-විරෝධය නව මුහුණුවරකින් ඉස්මතු වෙමින් පවතින බවය (The Great Recoil, 2021, පි. 182-190). 2019 එක්සත් ජනපද ජනපතිවරණ තරඟයේදී ඇලෙක්සැන්ද්‍රියා ඔකේෂියෝ-කෝර්ටෙස් ඩොලර් මිලියන තුනකට වඩා උපයන්නන්ගෙන් සියයට හැත්තෑවක බදු අය කර ගන්නට යෝජනා කළාය. බර්නි සැන්ඩර්ස් “බිලියනපතියන් පැවතිය යුතු නැත” යන සටන් පාඨය ඉදිරිපත් කළේය. ස්පාඤ්ඤයේ වාමාංශික ජනතාවාදී නායක පැබ්ලෝ ඉග්ලේෂියස් කොවිඩ් වසංගතය සමයේ එරට ධන කුවේරයන්ගෙන් විශේෂ බද්දක් අය කර ගැනීමට යෝජනා කළේය. වාමාංශික පොඩෙමොස් පක්ෂය පෙන්වා දෙන්නේ ලොව භයානක එකම සුළුතර කණ්ඩායම වන්නේ සුපිරි ධනවතුන් බවයි. ප්‍රංශයේ වාම ජනතාවාදී ජීන්-ලුක් මෙලෙෂොන් සුපිරි ධනවතුන් හඳුන්වන්නේ වගකීම් විරහිත ස්වරූපරාගී කල්ලියක් ලෙසිනි. ‘ධනවාදී පිසාචයින්’ යන යෙදුම සහශ්‍රක සමාජවාදීන් අතර දැන් ප්‍රචලිතය. ඇමසන් සමාගමේ හිමිකරුවා වන ජෙෆ් බෙසොස් එක් තත්පරයක් තුළ උපයන ධනය ඉපැයීමට එම සමාගමේ සාමාන්‍ය කම්කරුවෙකුට සති අටක් වැඩ කරන්නට සිදු වන වාතාවරණයක (ඉහත කෘතිය, පි. 185) මෙවන් විරෝධයක් මතු වීම පුදුමයට කාරණයක් නොවේ. සමාජ යුක්තිය, සමානාත්මතාව, සමාජවාදය හෝ ධනවාද-විරෝධය යන කුමන යෙදුමකින් හැඳින්වුවද සියලුම ධාරාවල පශ්චාත්-මාක්ස්වාදීන් සහ සහශ්‍රක සමාජවාදීන් පෙනී සිටින්නේ පසුගිය දශක කිහිපය තිස්සේ ධනවාදී සූරාකෑම විසින් ජනිත කෙරුණු සියලු ආකාරයේ සමාජ පීඩනයන්ට එරෙහිවය. එම පීඩනයන් තීව්‍ර කරන ලද්දේ දැන් අර්බුදයට ලක්ව තිබෙන නව-ලිබරල් හෙජමොනිය විසිනි.

රනිල්-රාජපක්ෂ ප්‍රභූතන්ත්‍රයට එරෙහිව පශ්චාත්-මාක්ස්වාදය

දැන් වික්‍රමසිංහ පාලනය විසින් ශ්‍රී ලංකාව ඇදගෙන යමින් තිබෙන්නේ ලොව පුරා විරෝධයට ලක්වෙමින් පවතින එම නව-ලිබරල් මාවතේය. ඒ අයි.එම්.එෆ් නිළධාරී තන්ත්‍රයටද වඩා නිදහස් වෙළඳපළ මූලධර්මවාදය අදහමිනි. මෑතකදී ලිබරල් ආර්ථික විද්‍යාඥයෙකු වන නිශාන් දි මෙල් පැවසූ පරිදි, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පළමුව සේවක අර්ථ සාධක අරමුදළට අත තැබූ එකම ආණ්ඩුව පවතින්නේ ශ්‍රී ලංකාව තුළය! වික්‍රමසිංහ පාලනය එසේ කරනුයේ ලාංකීය සුපිරි-ධනපතීන් වන ව්‍යාපාරික හා මූල්‍ය පිසාචයින්ගේ ධනයට කිසිසේත්ම අත නොතබමිනි. පශ්චාත්-මාක්ස්වාදය පිළිබඳව මූලික අවබෝධයක් හෝ ඇති කවරෙකුට වුවත් වික්‍රමසිංහ-රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රය සමග පැවතිය හැකි එකම සබඳතාව වන්නේ පසමිතුරුතාව පමණි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.