21 June, 2024

Blog

ජාතික අවශ්‍යතා සඳහා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

කොළඹ වරාය ඉන්දියන් සාගරයේ විශාලතම සහ කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ වරායයි. එය 2021 සිට සියයට 90කට වඩා වැඩි උපයෝගීතාවකින් ක්‍රියාත්මක වන අතර, ඊට අමතර ධාරිතාවක් අවශ්‍ය බව සංඥා කර තිබේ. රටේ වඩාත්ම උපායමාර්ගික වත්කම්වලින් එකක මෙම දැවැන්ත ආයෝජනය පිළිබඳ මහජන උත්සුකයන් නොතිබිණි. දිගු කලක් තිස්සේ යෝජිත නැගෙනහිර පර්යන්තයේ පාලනය ලබාගැනීමට එක්සත් ජනපද-ජපානය-ඉන්දියාව කරන ලද ඒකාබද්ධ උත්සාහය වෘත්තීය සමිති විරෝධතා හේතුවෙන් අවහිරවීමෙන් පසු අවසානයේ, ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනය කිරීමට අවස්ථාව හිමිවිය. එහිදී වෘත්තීය සමිතිවල ස්ථාවරය වූයේ සේවකයන් නව කළමනාකාරීත්වයක් යටතට පත්කිරීමට තමන් කැමැත්තක් නොදක්වන බවය. කෙසේවෙතත් චීනය ද කොළඹ වරායේ ප්‍රධාන පර්යන්තයක් පාලනය කරන බැවින් විරෝධතා පිටුපස භූ-දේශපාලනයේ හස්තය ඇතැයි විශ්වාස කෙරිණි.

මෙම නව පර්යන්තය, ප්‍රධාන නැව් මාර්ගවල ශ්‍රී ලංකාවට ඇති ප්‍රමුඛ ස්ථානය සහ මෙම පුළුල් වන වෙළඳපොළට සමීපව එහි ඇති වටිනාකම් ප්‍රයෝජන ගනිමින් බෙංගාල බොක්කෙහි වර්ධනය වන ආර්ථිකයන් සඳහා පහසුකම් සපයනු ඇතැයි ප්‍රකාශ වී ඇත. මේ අතර දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නව බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක් වෙන්කර ඇති බව එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාවද (DFC) නිවේදනය කළේය. DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් පැවසුවේ, “ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන සංක්‍රමණ කේන්ද්‍රස්ථානයක් වන අතර, සියලුම බහාලුම් නැව්වලින් අඩක් එහි මුහුදු සීමාව හරහා ගමන් කරනු ලබයි. බටහිර බහාලුම් පර්යන්තය සඳහා DFC ආයෝජනය කරන ඩොලර් මිලියන 553 ක අරමුදල, රටේ ස්වෛරී ණය තොගයට එක් නොකර, ශ්‍රී ලංකාවට වැඩි සමෘද්ධියක් ලබාදෙමින්, වරායේ නැව්ගතකිරීමේ ධාරිතාව පුළුල් කරනු ඇත” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වර්ධනයේ ගිලෙමින් පවතින මොහොතක, රට තුළ එතරම් ප්‍රසිද්ධ නොවූ එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාව, කොළඹ වරායේ ආයෝජනය කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තල්ලුවක් සපයනු ඇත. කෙසේවෙතත්, පසුගිය වසර කිහිපය තුළ සහ විශේෂයෙන් ආර්ථික බිඳවැටීමෙන් පසු රට තුළ විශාල සෘජු විදේශ ආයෝජන නොමැතිවීම තුළින් මතුවූ හිස්තැන පුරවමින්, ඊට වන්දියක් සැපැයීමට තරම් එය සමත් නොවනු ඇත. එමෙන්ම කොළඹ වරායේ මෙම සෘජු විදේශ ආයෝජනය විදේශ රජයක් විසින් සිදුකරන්නක් මිස පෞද්ගලික අංශයේ සමාගමක් විසින් කරනු ලබන්නක් නොවන බව ද සැළකිව යුතු කරුණකි. ඇපල්, මයික්‍රොසොෆ්ට් වැනි එක්සත් ජනපද සමාගම් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින වෙනත් රටවල බිලියන ගණන් වටිනා ආයෝජන සිදුකරමින් සිටිය ද, ශ්‍රී ලංකාවේ එවැනි අයෝජන සිදුනොවේ. ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය, නිලධාරිවාදී බාධාවන් සහ දූෂණය පෞද්ගලික අංශයේ ආයෝජනවලට බාධාවක් වී ඇති අතර, මේ පසුබිම තුළ ශ්‍රී ලංකාවේ සමාගම් පවා තම සම්පත් වෙනත් රටවල ආයෝජනය කිරීමට කටයුතු කර තිබේ.

ජාතික වැදගත්කම

2009 දී, යුද්ධය අවසන්වීමෙන් කෙටි කලකට පසු එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා පිළිබඳ කමිටුවේ පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් “යුද්ධයෙන් පසු එක්සත් ජනපද උපායමාර්ගය නැවත ප්‍රස්ථාරගත කිරීම” යන මාතෘකාවෙන් යුත් වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එය එම ද්විපාර්ශ්වික කමිටුවට නායකත්වය දුන් එක්සත් ජනපද සෙනෙට් සභිකයන් දෙදෙනාට ගෞරවයක් වශයෙන් කෙරී-ලුගර් වාර්තාව ලෙසද හැඳින්වේ. ශ්‍රී ලංකාව වැනි විශේෂ පුද්ගලයන් පිරිසක් හෝ එසේ නොමැති නම් ජනාධිපති හෝ ඇමතිවරයා වැනි එක් පුද්ගලයකු හෝ දෙදෙනකු මත රැදී පවතින අක්‍රමවත් විදේශ ප්‍රතිපත්තියක් සහිත රටක් වෙනුවට, සංවර්ධිත රටවල ඇත්තේ ද්විපාර්ශවික පදනමක් මත ක්‍රියාත්මක වන විදේශ ප්‍රතිපත්තියකි. එම පසුබිම තුළ අදාළ වාර්තාවේ සදහන් වූයේ , “එක්සත් ජනපදය ද, ඉන්දියාව සහ චීනය සමඟ ඉන්දියානු සාගරය හරහා සමුද්‍ර මාර්ග සුරක්ෂිත කිරීමේ පොදු වැදගත්කම දරාගන්නා බවයි. එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව අහිමි කර ගැනීමට හැකියාවක් නැති බව ද …” යැයි එම වාර්තාවේ සඳහන් විය.

අනෙක් අතට, ඊශ්‍රායල-පලස්තීන අර්බුදයේ දී බටහිර රටවල ජාතික වැදගත්කමේ ප්‍රවේශය ලෙස පෙන්නුම් කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපාලනය ආදියයි. එහෙත්, අනෙක් රටවල් සම්බන්ධයෙන් ගත්කළ ඔවුන් එම ප්‍රවේශයෙන් බැහැර වේ. 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ බ්‍රිතාන්‍ය අගමැති පාමර්ස්ටන් සාමිවරයා මහජන මන්ත්‍රී මණ්ඩලයේදී ප්‍රකාශ කළේ “අපට සදාකාලික සගයන් නොමැති අතර අපට සදාකාලික සතුරන් ද නැත. අපගේ වැදගත්කම් පරම සහ සදාකාලික වන අතර එම වැදගත්කම් වෙනුවෙන් කටයුතු කිරීම අපගේ යුතුකමයි.” ඒ අනුව, රටවලට සදාකාලික මිතුරන් නැත, ඔවුන්ට ඇත්තේ ස්ථිර වැදගත්කම් පමණි, යන යථාර්ථය අමතක නොකිරීම අතිශය වැදගත්ය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකස්කිරීම සම්බන්ධයෙන් ද එය එළෙසම වැදගත්වන අතර, ඒ අනුව ජාතික අවශ්‍යතා සහ වැදගත්කම්වලට මුල්තැන දෙමින් විදේශ ප්‍රතිපත්තිය සකස් කළ යුතුවේ.

ශ්‍රී ලංකාව බටහිර කක්ෂයට රිංගාගැනීම සිදුවන්නේ පෙර නොවූ විරූ ජනතා විරෝධයකට සහ ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදු වූ ප්‍රශ්නකාරී ජනවරමක් සහිත ආණ්ඩුවක් පවතින සන්දර්භයක් තුළ ය. බටහිර රටවල් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපාලනය යන මූලධර්මවල ප්‍රවර්ධකයන් වන අතර ඒවා ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් කළ යුතු වටිනාකම් වන බවත්, ආණ්ඩුවේ ප්‍රතිරෝධය හමුවේ ඒ සදහා බාහිර සහාය අවශ්‍ය වන බවත්, එම රටවල් තක්සේරුව වී තිබේ. එමෙන්ම බටහිර රටවල් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වඩාත්ම ලාභදායී වෙළෙඳපොළ ද සපයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියාවලිය පීලි පැනීමට ඉඩ ඇති බවට කනස්සල්ලෙන් සිටින විපක්ෂයේ දේශපාලන බලවේග සහ සිවිල් සමාජයේ පාර්ශවකරුවන් මෙම අවස්ථාව සැළකිල්ලට ගතයුතුය. විදේශ ප්‍රතිපත්තියේ සමස්ත මූලධර්මය වියයුත්තේ ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කම් මත ආර්ථිකයට වටිනාකමක් එක්කරන ඕනෑම රටක් සමඟ වෙළෙඳ හා ආයෝජන සබඳතා පැවැත්වීමේ නිදහස බව ඔවුන් සිහිතබා ගතයුතුය.

ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම

ඉන්දියන් සාගරයේ දී අමෙරිකාව, චීනය සහ ඉන්දියාව තරම් බලවතුන් තවත් නැති අතර, ශ්‍රී ලංකාව ඔවුන් හමුවේ කුඩා මත්ස්‍යයකු බදුය. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබීම අතිශයින් වැදගත් ය. ශ්‍රී ලංකාවේ භූ-දේශපාලනික පිහිටීම මහා බලවතුන් තිදෙනාටම පැහැදිලිවම වැදගත් වන අතර ඔවුන් සියලුදෙනාම විවිධ ආකාරවලින් රට තුළ ආයෝජනය කර ඇත්තේ එබැවිනි. අන්තර්ජාතික වශයෙන් බංකොලොත් වී නව ණයක් පවා ලබාගැනීමට නොහැකි තත්වයක පසුවන විට ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට ඩොලර් බිලියන 04 කට ආසන්න හදිසි ආධාර ලබාදීමත් සමග, මෑතකාලීනව ශ්‍රී ලංකාවේ විශාලතම අනුග්‍රාහකයා බවට පත්වූයේ ඉන්දියාවයි. යුද්ධය පැවැති සමයේ මුදල් සහ ආයුධ සපයමින් චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අනුග්‍රාහකයාව සිටි අතර, ඉන් අනතුරුව ඔවුන්ගේ අවම ප්‍රතිලාභ සහිත (මෙතෙක් මෙරට සිටි වඩාත්ම දූෂීතම පාලකයන්ගේද අනුදැනුම මත ක්‍රියාත්මක කළ) යටිතල පහසුකම් ව්‍යාපෘති ශ්‍රී ලංකාව වත්මන් අර්බුදයට වේගයෙන් රැගෙන ආවේය.

චීනය පර්යේෂණ නෞකාවක් ලෙසත්, ඉන්දියාව ඔත්තු නෞකාවක් ලෙසත් හඳුන්වන චීන නෞකාවක් පසුගියදා මෙරටට පැමිණීම නිසා ශ්‍රී ලංකාව කන්දකට සහ හෙළකට මැදිවූවා බදු දුෂ්කර තත්වයකට ඇදදමා තිබේ. ප්‍රායෝගික තත්වයට අනුව මෙහිදී ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට නිසි අවධානයක් යොමුකළ යුතු බව බැහැර කළ නොහැකි කරුණකි. මෙය අතීත අත්දැකිම් සහ පාඩම් මගින් එළඹ ගත් නිරීක්ෂණයකි. 1980 ගණන්වලදී, ශ්‍රී ලංකාව බටහිරට වඩාත් සමීප වී ආර්ථික වශයෙන් ඉදිරියට යෑමට උත්සහ කරන බව ඉන්දියාවේ නිරීක්ෂණය විය. විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ඇමෙරිකානු නාවික කඳවුරක් ස්ථාපිත කිරීම පිළිබද කතාවක් පුළුල්ව පැතිර ගියේය.ඉන්පසුව, දෙමළ කැරලිකරුවන් ඉන්දියාව මගින් සන්නද්ධ කිරීම සහ පුහුණු කිරීමත් තිස් අවුරුදු අභ්‍යන්තර යුද්ධය ඇරඹීමත් සමඟ, අග්නිදිග ආසියාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන් වූ දකුණු කොරියාව, තායිවානය, මැලේසියාව සහ සිංගප්පූරුව සමග සම්බන්ධ වී නැගී සිටීමට ශ්‍රී ලංකාවට පැවැති හොඳම අවසන් අවස්ථාව අහිමි විය.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාවේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවේ සහ එහි මුහුදු ප්‍රදේශයේ සිදුවන දේ දැඩිව බලපාන බව සදහන් කළ යුතුය.මිලියන 1200ක ජනතාවක් සිටින රටක් මිලියන 22 ක රටක් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අනතුරේ හෙළීමට ඉඩනොදේ. එබැවින් විදේශ සබඳතා පැවැත්වීමේදී ශ්‍රී ලංකාව තම සමීපතම අසල්වැසියාගේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමුකිරීම සාධාරණ සහ සංවේදී කාරණාවක් ලෙස සැළකිව යුතුය. ඕනෑම රටක පළමු ප්‍රමුඛතාවය වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි. යුද්ධය පැවැති සමයේ ඉන්දියාවේ අවධානයන් නොතකා ශ්‍රී ලංකාව ආර්ථික ආධාර සහ ආයුධ ලබාගැනීම සඳහා චීනයට සහ පාකිස්තානයට යොමුවූයේ මේ හේතුව නිසා ය. කෙසේවෙතත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු සාධාරණ සහ සත්‍යාපනය කළහැකි ඒවා බව පෙන්විය යුතුය. මෙය තීරණය කිරීමේ කාර්යය, බලයේ සිටින මෙතෙක් පැවති දූෂිතම ආණ්ඩුවේ නායකත්වයකට පැවරිය නොහැකි අතර, එය විපක්ෂය සහ සිවිල් සමාජයද ඇතුළත් බහුපාර්ශවීය ක්‍රියාවලියක් බවට පත්කළ යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.