25 April, 2024

Blog

ජාතික සංහිඳියාව සඳහා ද්විපාර්ශ්වික සම්මුතියක් හදිසිය, අවශ්‍යය; ඒ වෙනුවෙන් හැකියාවද පවතී

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් මැයි 18 වන දින “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස පිළිගනිමින් “ගැටුමේ වින්දිතයන්ගේ සහ දිවි ගලවාගත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම, අඛණ්ඩව දුෂ්කරතාවන්ට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ සියලුදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම කැනඩාව නතර නොකරනු ඇත” යනුවෙන් කරන ලද ප්‍රකාශයට ශ්‍රී ලංකා රජයෙන් ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇත. යුද්ධය නිමා වී වසර 14කට පසුවත්, රනිල් වික්‍රමසිංහ වැනි අන්තර්ජාතිකවාදී සහ ලිබරල්වාදී ජනාධිපතිවරයකු නායකත්වයේ සිටියදීත්, ශ්‍රී ලංකාවට අන්තර්ජාතිකව සිය භුමිය අහිමි වීම ඛේදජනකය. එසේම රට තුළ ජාතික සංහිඳියාව පිළිබඳ ප්‍රශ්නයේ දේශපාලන ප්‍රගතියක් නොමැති නිසා, විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලටද මෙම රැල්ල මැඩපැවැත්වීමට නොහැකි වී තිබේ. ශ්‍රී ලංකාවට, සිය ආර්ථික කඩාවැටීමෙන් පසු අන් කවරදාටත් වඩා අන්තර්ජාතික සහාය අවශ්‍ය වන බැවින් මෙය විශේෂයෙන් ඛේදජනකය.

යථාර්ථය නම් ශ්‍රී ලංකාව තවදුරටත් බෙදුණු සමාජයක් ලෙස පැවතීමයි. මැයි 18වැනිදා උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල ජනතාව තමන් සමග සිට අතුරුදහන්වූවන් සිහිපත් කළ ආකාරයෙන් මෙය දැකගත හැකි විය. පසුදා, එනම් මැයි 19 වැනි දින රජය යුද ජයග්‍රහණය සහ රට ඒකීයව තබා ගැනීමට ජීවිත අහිමි වූ ආරක්‍ෂක අංශවල කැපකිරීම් සිහිපත් කළේය. රට තුළ භේදභින්න හැඟීම් ඇතිවීමේ ඛේදවාචකය සැලකිල්ලට ගනිමින්, 2010 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව, යුද්ධයෙන් මියගිය සියලුමදෙනා සැමරීම එක් දිනකදී සිදු කළ යුතු බවට නිර්දේශ කළේය. “ඛේදනීය ගැටුමට ගොදුරු වූ සියලුදෙනා සමඟ සහයෝගීතාව සහ සංවේදනය ප්‍රකාශ කිරීම සඳහා වෙනම උත්සවයක් (පෙබරවාරි 04) ජාතික දිනයේදී පැවැත්විය යුතු අතර, නැවත කිසි දිනෙක රට තුළ එවැනි ලේ වැගිරීමක් සිදු නොවන බවට සහතික වීමට සාමූහික කැපවීම වෙනුවෙන් ප්‍රතිඥා දිය යුතුය” යැයි එම නිර්දේශයේ සඳහන් වේ.

එහෙත් අද වනතුරුත් පෙබරවාරි 04 වෙනිදා සිදුකෙරෙන්නේ හමුදා ශක්තියේ සංදර්ශනයක් මිස මතකයන් සිහිපත් කිරීමක් නොවේ. මේ වසරේදීත් එය එසේම සිදුවිය. වාර්ගික හා දේශපාලන බෙදීම් දෙකෙහිම අදහස් දැඩි වෙමින් පවතින මේ මොහොතේ, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතයන් දීර්ඝ ලෙස උපුටා දැක්වීම වටී. “සංහිඳියා ක්‍රියාවලියට, ගැටුමේ ඛේදවාචකය පිළිබඳ පූර්ණ පිළිගැනීමක් අවශ්‍ය වන අතර, සිංහල සහ දෙමළ ප්‍රජාවන්ගේ දේශපාලන නායකයන් සහ සිවිල් සමාජය විසින් සාමූහික පසුතැවීමේ ක්‍රියාවක් අවශ්‍ය වේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දකුණේ දේශපාලන නායකයන් ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කර දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබාදීම සඳහා ඔවුන් අතර එකඟතාවක් ඇතිකර ගත්තේ නම් ගැටුම වළක්වාගත හැකිව තිබිණි.”

අරගලයේ එකමුතුව

ඇත්ත වශයෙන්ම, වාර්ගික ගැටුම විසඳීම වෙනුවෙන් ද්විපාර්ශ්වික ප්‍රවේශයක් සඳහා කාලය සුදුසු වන අතර, තත්වයන් වර්ධනය වෙමින් පවතී. සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, අරගලයෙන් පසු රටේ ජනවාර්ගික ගැටලුව විසඳීමට පහසු වී ඇති බවයි. විරෝධතා ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ වාර්ගික හා සමාජ බෙදීම් අතර දෘශ්‍යමාන පාලමයි. ශ්‍රී ලංකාවේ බහුවිධ, බහු වාර්ගික සහ බහු ආගමික සංයුතියට ගැළපෙන විවිධත්වයේ ඒකීයත්වය සැමරීමක් එහිදී සිදුවිය. එකිනෙකාට එරෙහිව භීතියේ සහ සැකයේ හැඟීම් බලමුලු ගන්වන, පටු ජාතිකවාදී වේදිකා ඔස්සේ බලයට පැමිණි දේශපාලකයන් හෙළා දකිමින්, සියලු පුරවැසියන්ගේ සමානාත්මතාවය ප්‍රකාශ කළ තරුණ පෙළපාලිකරුවන්ගේ සටන් පාඨ අරගලය තුළදී රටටත්, ලොවටත් අසන්නට ලැබිණි.

ජනවාර්ගික ගැටුමට මුල සහ එය විසඳීමට ඇති දුෂ්කරතාවයට මුල් වූයේ ජාතීන් අතර පවතින සැකය සහ අනාරක්ෂිත බව වන නමුත්, අරගලය නිර්මාණය වූ ආර්ථික දුෂ්කරතා, ජනතාව ඒකරාශී කර ඉහත පීඩනයන් සමනය කිරීමට දායක වූ බවද විපක්ෂ නායක ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ථිකය කඩාවැටී අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක් සඳහා පෝලිම් ඇතිවීමත් සමඟ, තමන් මුහුණදෙන පොදු ප්‍රශ්න පදනම් කරගෙන විරෝධය පෑමට රැස්වූ ජනතාව අතර එකමුතුකම ඇති විය. විරෝධතා ව්‍යාපාරයට බලයේ සිටින ආණ්ඩුවේ නායකත්වය පළවාහැරිය හැකි වුවද, ඒ වෙනුවට ඔවුන්ගේම නායකත්වයක් ආදේශ කිරීමට අරගලයට නොහැකි විය. එම උත්සාහයන් යටපත් කෙරිණි. එසේම ජනවාර්ගික ගැටුමට ජනතා එකමුතුවෙන් විසඳුමක් ලැබෙන බවක්ද දැකගත නොහැකිය. එමනිසා ඔවුන්ට පිළිතුර ලැබිය යුතු වන්නේ, සුරක්ෂිතභාවයක් සහ නියෝජනයක් ලඟා කර දෙන දේශපාලන නායකත්වයක් වෙතිනි.

පසුගිය කාලයේ බොහෝ වාරයක් අසාර්ථක වූ ආකාරයට, ගැටලුවට විසඳුම් සෙවීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සම්බන්ධ විය. ඇත්ත වශයෙන්ම, ඔහු මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සිය 75 වන නිදහස් සංවත්සරය සමරන පෙබරවාරි 04 වැනි දින වන විට, ගැටලුව විසඳන බවට ප්‍රතිඥාවක් පවා ලබාදී තිබුණේය. ඊළඟ පරම්පරාවට ගැටලුව ඉතිරි කිරීමට තමා කැමති නැති බව පැවසීම ඔස්සේ, ඔහු තමාගේ රාජ්‍ය නායකත්වයේ අභිලාෂයන් ප්‍රදර්ශනය කළේය. ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ අදහස් තමාට දන්වන ලෙස සිවිල් සමාජ නියෝජිතයන්ට විපක්ෂ නායකවරයා කළ ආරාධනයත්, ජනවාර්ගික ගැටුම විසඳීමට අරගලය පහසු කළ බවට ඔහුගේ නිරීක්‍ෂණයත්, ජනවාර්ගික විසඳීමට සාධනීය ලෙස සම්බන්ධවීමට ඔහු තුළ ඇති කැමැත්ත පිළිබඳ ඇඟවීමක් ලෙස සැළකිය හැකිය. දේශපාලන විසඳුමක් පිළිබඳව සාකච්ඡා කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන අංශ දෙකටම ඉතා අවශ්‍ය ද්විපාර්ශ්වික සම්මුතියක් මෙමගින් සැපයිය හැකිය.

ද්වීපාර්ශ්වික ප්‍රවේශය

පළාත් සභා ක්‍රමයේ පුනර්ජීවනය සහ බලගැන්වීම ජනවාර්ගික ගැටුමේ දිගුකාලීන විසඳුමේ හදවතයි. කලාපීය ස්වාධීනත්වය පිළිබඳ ගැටළුවට, විවිධ ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ට, ඔවුන් බහුතරයක් සිටින ප්‍රදේශවල තමන්ගේ කටයුතු කරගෙන යෑමට හැකි වන පරිදි සාකච්ඡාවක් නිර්මාණය කළ, 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම දක්වා දිවෙන දිගු ඉතිහාසයක් ඇත. එය ආණ්ඩුවේ නායකත්වය සහ දෙමළ දේශපාලනය අතර සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පැමිණි පළමු අවස්ථාවයි. ඉන් අනතුරුව, 1965 ඩඩ්ලි සේනානායක-චෙල්වනායගම් ගිවිසුම, 1987 ඉන්දු ලංකා සාම ගිවිසුම, චන්ද්‍රිකා කුමාරතුංගගේ 2000 ව්‍යවස්ථා කෙටුම්පත, 2010 මහින්ද රාජපක්ෂ පාලන සමයේ සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනා සහ බහුවිධ යෝජනා ඉදිරිපත් කළ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව විසින් 2015දී නිර්මාණය සම්පාදනය කළ ව්‍යවස්ථාදායක සභාව ආදී පියවරයන් කරළියට පැමිණියේය.

වාර්ගික ගැටුමට දේශපාලන විසඳුම අවස්ථා කිහිපයකදී ක්‍රියාවට නැංවී, නැවත සංශෝධනයට ලක්කර ඇත. ඒවා බලයේ සිටින ආණ්ඩුව හෝ ආණ්ඩුවේ කොටස් විසින් පිළිගෙන ඇති නමුත්, බලයෙන් බැහැරව සිටින විපක්ෂය විසින් ඒවා ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් මෙවර එය වෙනසකට ලක්විය හැකිය. විපක්ෂ නායක ප්‍රේමදාස මහතා සහ සිවිල් සමාජ නියෝජිතයන් අතර පැවති හමුවේදී, බලය බෙදීම සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක්දැයි විමසූ විට, ඔහු පිළිතුරු දුන්නේ ඒකීය රාජ්‍යය තුළ උපරිම බලය බෙදීම බවත්, එය 2019 ජනාධිපතිවරණ සමයේදීද තම ස්ථාවරය වූ බවත්ය. එවැනි ආස්ථානයක්, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් ව්‍යවස්ථාවේ විධිවිධාන අනුගමනය කළ යුතු බවට වන ජනාධිපති වික්‍රමසිංහගේ ස්ථාවරයට අනුරූප වේ.

ජනාධිපති වික්‍රමසිංහගේ වඩාත්ම ධනාත්මක ගුණාංගය වන්නේ වාර්ගික ජාතිකවාදී දේශපාලනය සිය ජීවිත කාලය පුරාම ප්‍රතික්ෂේප කිරීමයි. මැතිවරණවලදී ඡන්ද දිනාගැනීම සඳහා ඔහු කිසි විටෙක වාර්ගික බිය හෝ අගතීන් ඇති කිරීමට උත්සාහ නොකළ අතර, එසේ සිදුකළ සූක්ෂම දේශපාලන අභියෝගකරුවන් හමුවේ මැතිවරණ පරාජයට පත්වී ඇත. ඒ ආකාරයෙන්ම, විපක්ෂ නායක ප්‍රේමදාස ද කිසි විටෙක වාර්ගික ජාතිකවාදය කරපින්නාගත් දේශපාලනයේ යෙදී නැත. ශ්‍රී ලංකාවට දේශපාලන විසඳුමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා මෙම ජාතිවාදී නොවන නායකයන් දෙදෙනා එක්ව කටයුතු කිරීම වැදගත්ය. එමෙන්ම ජනාධිපති වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් පිහිටුවීමට යෝජනා කරන සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම හරහා අතීතයේ සිදුවූ මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම වැදගත් වේ. යුද්ධයේ ම්ලේච්ඡත්වයේ ගොදුරක් ලෙස, විපක්ෂ නායකවරයා උදාරත්වයෙන් සහ වෛරයෙන් තොරව කටයුතු කර ඇත. එමගින් අතීතයේ තුවාල සුව කිරීමට සහ ලොව ජාතීන් අතර ශ්‍රී ලංකාවට ඇති ස්ථානය නැවත ලබා ගැනීමට මග පෙන්විය හැකිය.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    අපේ මෝඩ සිංහලයන් තවමත් ප්‍රසිද්ධියේ භාවිතා කරන සිංහල ජරා භාෂාව දෙස බලන විට ජාතික සංහිඳියාව ගැන කතා කරන්නේ කෙසේද?
    මම හිතන්නේ යුරෝපයේ සිදු වන පරිදි, පොදුවේ සුළු ජාතීන්ට පහර දෙන ඕනෑම කෙනෙකුට දඬුවම් කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ගයක් ලෙස සමහර යෙදුම් ප්‍රසිද්ධියේ තහනම් කළ යුතුය. “සුළු ජාතීන්” යන යෙදුම භාවිතා කළ යුත්තේ කලාතුරකිනි.

    ඔවුන් සුළු ජාතීන් වේවා, ජාතියේ බහුතරය වේවා, මේ පසේ උපන් අය නම් ඔවුන්ට සමානව හා සමාන ගෞරවයෙන් සැලකිය යුතුයි. දශක ගණනාවක් තිස්සේ අපේ ජනතාව විසින් ඇති කරන ලද සියලු බෙදීම් අප විසින් වියැකී යා යුතු අතර, ඔවුන්ට එකම ජාතියක් ලෙස මිශ්‍ර වීමට ඉඩ හැරීමට වැඩි ඉඩක් ඉතිරි කළ යුතුය.

    අධ්‍යාපන ක්‍රමවල වේවා, වෙනත් ඕනෑම තැනක වේවා මේ රට බෙදීම්වලින් සෑදී ඇත. වෙනත් බොහෝ ප්‍රගතිශීලී රටවල සිදු වන පරිදි එය තවදුරටත් නොවිය යුතුය. ඉන්දියානු සංක්‍රමණික රිසි සුනක්ට සුද්දන්ට ඉල්ලුමක් ඇති සමාජයක බ්‍රිතාන්‍ය අගමැති වීමට හැකි නම්, සුළු ජාතික අපේක්ෂකයෙකු නායකයා වීමට අපේ සමාජයට ඉඩ දිය නොහැක්කේ ඇයි?
    නුදුරු අනාගතයේ දී සුළු ජාතීන්ට වැඩි අවස්ථාවක් ලබා දී සිංහල ජාතිවාදීන්ට පාඩමක් ඉගැන්විය යුතුය. වත්මන් ජනාධිපතිවරයාට පහර දෙන අයට තව ටික කාලයක් ගත වුවද ජාතිය පිළිබඳ සත්‍යය වටහා ගැනීමට සිදුවනු ඇත. අධ්‍යාපනයෙන් පමණයි අපට එය සාක්ෂාත් කරගත හැක්කේ. මෙය මේ රටේ සෑම පුරවැසියෙකුටම යා යුතුයි. වසර 30ක දීර්ඝ කාලීන කුරිරු සිවිල් යුද්ධයෙන් පසු සංහිඳියා සමාජයක් ගොඩනැගීමට අප සිතනවාට වඩා පුනරුත්ථාපනය ජනතාවට අවශ්‍ය වේ. එය කළ යුතුව තිබුණේ 2009 මැයි මාසයේ සිටය, නමුත් රාජපක්ෂලා සහ ඔවුන්ගේ ප්‍රමුඛතා වූයේ වෙනත් දෙයකි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.