රජයේ තේරීපත්වූ ශාඛා දෙකට පවතින නීත්‍යානුකූලභාවය හීනවෙමින් පවතින මොහොතක, තේරීපත් නොවූ ශාඛාවක් නීත්‍යනුකූලභාවයක් ලබාගනිමින් සිටී. මීට වසර එකහමාරකට පෙර ‘අරගලය’ ජනතා විරෝධතා මාලාව හමුවේ බලයෙන් ඉවත්වීමට බලකෙරුණු පිරිස් විසින්ම නැවත බලය පිහිටුවා ගැනීම හේතුවෙන් ආණ්ඩුවට සිය නීත්‍යනුකූලභාවය බොහෝදුරට අහිමි වී ඇත. මෑත කාලීන නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු සැළකිව යුතු තරම් සුවිශේෂීභාවයෙන් යුක්ත වේ. සමාජ මාධ්‍ය පාලනය කිරීම, ප්‍රචණ්ඩ අන්තවාදී ආගමික මතවාදය දැරීමෙන් රැඩිකල්කරණය ඉවත් කිරීම-2021 අංක 1 රෙගුලාසි, අධිකරණයට නොගොස් සැකකරුවන් අනිවාර්ය පුනරුත්ථාපනය සඳහා පිටත්කර හැරීමට රජයට අවසර ලබාදීම සහ වෛරී ප්‍රකාශ නීතිවිරෝධී බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි අත්අඩංගුවට ගැනීම යන සිදුවීම්වලදී අධිකරණය දැඩි ලෙස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ පාර්ශ්වය නියෝජනය කර ඇත.
වසර දෙකකට පෙර ආර්ථිකය කඩාවැටීමේ වගකීම බෙදාහැරීම සම්බන්ධ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද පවත්නා ගමන්මග බිඳදමන එකකි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක්, 2019 සිට 2022 දක්වා කාලය තුළ ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කරමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව අධිකරණය ප්‍රකාශ කළේය. රටේ ආර්ථික අර්බුදයට මඟ පෑදුවේ ඔවුන් ආර්ථිකය පාලනය කිරීමේදී මහජන විශ්වාසය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා බවට අධිකරණය තීන්දු කළේය. කෙසේවෙතත්, වරදකරුවන් ලෙස සැළකෙන අයට ආදර්ශවත් දඬුවම් ලබාදීමට තරම් උසාවිය දුරගොස් නැත. මේ නිසා ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කළ යුතු බවටත්, මූල්‍ය දඬුවම්වලට යටත් කළ යුතු බවටත් විපක්ෂයේ පිරිස්වලින් ඉල්ලීම් මතුව තිබේ.
අවාසනාවකට මෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්නුම් කරන ලද ප්‍රගතිශීලී ප්‍රයත්නයන්, රජයේ අනෙකුත් ශාඛා දෙකෙන් ප්‍රදර්ශනය නොවේ. රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සක්‍රීයව අරගලය විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධවූ ජනතාවගේ අපේක්ෂාව වූයේ මෙතෙක් ඉටුනොවී ඇති පද්ධතියේ වෙනස්කමයි. ඉහළ ආර්ථික පන්තීන් සහ ව්‍යාපාරික ප්‍රභූන් විරෝධතා ව්‍යාපාරයෙන් සාර්ථක ලෙස ඉවත්කර තිබීම හැර ආණ්ඩුව වෙනස්වීම වෙනුවෙන් වෙනත් යමක් සිදුකර නැත. ආණ්ඩුව විසින් සාතිශය බහුතරයක් වන සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව ධනවතුන්ගේ සහ බලවතුන්ගේ ආත්ම අභිලාෂයන් සාර්ථකව ඉටුකර ඇත. වාණිජ මණ්ඩලවල සහයෝගය දිනාගත් මෑත කාලීන අයවැය, බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය පැහැදිලිව විදහා දක්වයි.
අසමාන බදුකරණය
එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩිකිරීම සහ ධනවතුන් හා දුප්පතුන් විසින් මිල දී ගන්නා සියලුම භාණ්ඩ සඳහා එය බලපැවැත්වීම, ඉහළම අයට වඩා ආර්ථික ධූරාවලියේ පහළම අන්තයේ සිටින අයට දැඩි ලෙස බලපානු ඇත. 2022 දී, ඉන්ධන පෝලිම් සහ විදුලිය විසන්ධි කිරීම නිසා සියලු ජන කොටස් අත්විඳි පොදු දුක් වේදනා අද්විතීය එකමුතු හැඟීමක් ඇති කළේය. ගාලු මුවදොර දී සහ රටේ අනෙකුත් ප්‍රදේශවල විවිධ ආර්ථික පසුබිම්වලට අයත් පුද්ගලයෝ, ධනවත්, මධ්‍යම පාන්තික හෝ දුප්පත් ජනයා අහිමිවීමේ හවුල් අත්දැකීමක් තුළ කරට කර සිටගෙන සිටියහ. එහෙත් අද ආර්ථික අභියෝග තවදුරටත් හවුල් බරක් නොවේ. වර්තමානයේ, දුෂ්කරතා ප්‍රධාන වශයෙන් බලපාන්නේ ආදායම් වර්ණාවලියේ පහළ භාගයේ සිටින අයටය. සාමූහික සහයෝගීතාවයේ හැඟීම පහව ගොස් ඇත. ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් බලාපොරොත්තුවක් නොමැතිව දුෂ්කරතා සමඟ පොරබදමින් සිටින අතර, ඉහළ සිටින අයට එම තත්වය කළමනාකරණය කිරීමට හැකියාවක් පවතින බව ප්‍රදර්ශනය කෙරී ඇත.
ආර්ථීක මඩ ගොහොරුවෙන් ගොඩඒමේ ආණ්‌ඩුවේ ප්‍රවේශයේ මූලික ගැටලුව වන්නේ, එහි ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පොදු යහපත ප්‍රමුඛකොට ගෙන සිදුනොවීමයි. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බදු ප්‍රතිපත්ති ක්ෂේත්‍රය තුළ මෙම තත්වය වඩා හොඳින් දැකගත හැකිය. ජනාධිපති උපදේශක සහ හිටපු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ආචාර්ය ෂර්මිණි කුරේ පවසන පරිදි, ආර්ථික ප්‍රතිසංස්කරණවල දී ශ්‍රී ලංකාවේ අඩුපාඩු පිළිබඳ පළමු දර්ශකය වන්නේ, සෘජු බදුවලට වඩා වක්‍ර බදු මත අධික ලෙස රඳා පැවතීම මෙන්ම ප්‍රාග්ධනයට වඩා ශ්‍රමයට බදු පැනවීමට ඇති කැමැත්තයි. “වක්‍ර බදු මගින් තම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් භාණ්ඩ හා සේවා සඳහා වැය කරන දුප්පතුන් වෙත බදු බර මාරු කරන අතර ප්‍රාග්ධන ආදායම ප්‍රධාන වශයෙන් ධනවතුන් වෙත ලැබෙන බැවින් මෙම අංශ දෙකම සාධාරණත්වයේ මූලධර්මය උල්ලංඝනය කරයි” යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වැනි වාර්ෂික දේශනය සිදුකරමින් ඇය පැවැසුවාය.
අඛණ්ඩව සැළකිව යුතු බදු සහන ලබාදීම තුළ බදු මූලධර්ම උල්ලංඝනය කිරීම ද දක්නට ලැබේ. 2022 ඔක්තෝම්බර් බදු ප්‍රතිසංස්කරණයත් සමඟ බොහෝ සමාගම් දැන් සම්මත සියයට 30 ක ආයතනික බදු අනුපාතයකට යටත් වේ. කෙසේ වෙතත්, අනුග්‍රහය දක්වන ව්‍යාපෘති සඳහා උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ පුළුල් පරාසයක බදු නිදහස් කිරීම් දිගටම ලැබේ. නොපැහැදිලි නිර්ණායක මත පදනම්ව, ව්‍යාපෘතිවලට ආයතනික, පෞද්ගලික, වැට් බදු, සුරාබදු සහ රේගු ඇතුළු විවිධ බදු නීති අටකින් නිදහස් කිරීම් සම්බන්ධයෙන් වසර 25ක් තරම් කාලයක පටන් සාකච්ඡා කළ හැකිව පවතී. බදු නිදහස් කිරීම් ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ ලබන්නේ හුදෙක් ධනවතුනද නොවන සුපිරි ධනවතුන්ය. ඒ අනුව, ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් ධනවතුන් සහ සුපිරි ධනවතුන් සඳහා ලබාදෙන සුබසාධනය, දුප්පතුන්ට ලබාදෙන කුඩා අස්වැසුම සුබසාධනයට වඩා බෙහෙවින් දිගුය.
රාජ්‍ය වගකීම
රාජ්‍ය නායකයන්ගේ මෑත කාලීන ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ, රටේ නිදහස් අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවාවන්හි ආරම්භක පියවරුන් විසින් ප්‍රකාශ කරන ලද දිගුකාලීන ප්‍රතිපත්තිය අත්හැරීමට රජය සැලසුම් කර ඇති බවයි. ආර්ථික ධූරාවලිය තුළ මිනිසුන්ට හිමි ස්ථානය කුමක් වුවත් මෙම මූලික අවශ්‍යතා සැපයීම, නිදහස ලැබූ වකවානුවේ සිටි රටේ නායකයන්ගෙන් පුරවැසියන්ට ලැබුණු ආශිර්වාදයන්ගෙන් එකකි(වතුකරයේ වෙසෙන අත්හැර දමන ලද දෙමළ ජනයාගේ කුරිරු ඉරණම හැර). ආදරය කරන කෙනකු බරපතල ලෙස රෝගාතුර වූ විට අවශ්‍යතාව දැනෙන නිදහස් සෞඛ්‍යය සහ අඩු වරප්‍රසාදිත පසුබිමක උපන් අයට සමාජ සංචලනය සඳහා දොරටුව සපයන නිදහස් අධ්‍යාපනය යන මෙම අත්‍යවශ්‍ය සේවා දෙකම දැන් දූෂණයෙන් හා ප්‍රතිපාදන අඩුකිරීමෙන් ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇත. පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ඒවා වෙනුවෙන් වියදම් කළ හැකි අයට ලබාදීම පිළිගත හැකි නමුත්, එසේ කළ නොහැකි අයට පවතින රජයේ රෝහල් සහ විශ්වවිද්‍යාල කප්පාදු කිරීම පිළිගත නොහැකිය.
ප්‍රභූන්ට වෙන්වූ පෞද්ගලික අන්තර්ජාතික පාසලක මෑතකදී කළ කතාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියාසිටියේ, සිසුන්ට ගාස්තු අයකරන පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට යෑමට ආධාර කිරීම සඳහා මුදල් ප්‍රදානයක් හෝ වවුචර් ක්‍රමයක් ලබා දීමට රජය සැලසුම් කරන බවයි. බොහෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනු ලබන්නේ පුණ්‍ය කටයුතු සඳහා හෝ පොදු යහපත අරමුණු කරගෙන නොව පෞද්ගලික ලාභ අපේක්ෂාවෙනි. අඩු වරප්‍රසාද ලත් හෝ ආර්ථික වශයෙන් දිළිඳු පවුල් පසුබිමක ශිෂ්‍යයකුට රජයේ දීමනාවක් හෝ වවුචරයක් භාවිත කර ගාස්තු අය කරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට යෑමට අවශ්‍ය ඉතිරි මුදල ගෙවීමට හැකියාවක් නැත. ඇත්තෙන්ම ජනාධිපතිවරයාද තම පාසල් කාලය පුරාවටම ප්‍රතිලාභ ලැබුවේ ශ්‍රී ලංකාව තුළම වන බැවින්, රාජ්‍ය අධ්‍යාපන ආයතනවලින් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය පැහැර නොහැරිය යුතුය. එම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කෙතරම් ගුණාත්මකද යත්, දේශපාලන, ශාස්ත්‍රීය හෝ ආර්ථික විද්‍යාව යන ඕනෑම අංශයකින් තරඟකාරී අන්තර්ජාතික ලෝකයේ සමානයන් වීමට එය සන්නද්ධභාවය ලබාදෙන බව අවිවාදිතය.
පොදු යහපත තහවුරු කිරීම සඳහා රෙගුලාසි, යටිතල පහසුකම් සහ සමාජ සුබසාධනය වෙනුවෙන් කැපවීම රාජ්‍ය අංශයේ කාර්යභාරයයි. රජය විසින් සපයනු ලබන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳ ආදර්ශ සපයන බොහෝ රටවල් තිබේ. කාර්යක්ෂමතාව සහ දැරිය හැකි හේතූන් මත මෙය දැන් ප්‍රශ්නගතවී ඇතත් ශ්‍රී ලංකාවද ඉන් එකක්ව පැවැතිණි. පෞද්ගලික අංශයට වැඩි වැඩියෙන් බලය සහ වගකීම පැවරීම යනු, රටේ සහ එහි ජනතාවගේ පූර්ණ සංවර්ධනය සහතික කිරීමේ රාජ්‍ය වගකීම පැහැර හැරීමයි. අද සිටින සහ ඉදිරියට එන රජයේ නායකයන් පොදු යහපත සඳහා වැඩකිරීමේ වගකීම ඉතා බැරෑරුම්ව හා අවංකව භාරගත යුතුය. යහපාලනය, පුරවැසිභාවය සහ සදාචාරය යන ප්‍රතිපත්තිවලින් ශ්‍රී ලංකා නායකයන් කෙතරම් දුරස් වී ඇත්ද යන්න, රජය සම්බන්ධ මෑත කාලීන නඩු සියල්ලෙහිම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලින් පැහැදිලි වේ.