මාතර දී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක කථාවේදී, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර, ආණ්ඩුව වෙනස් වුවහොත් රට පසුබෑමකට ලක්වනු ඇති බවත්, භාණ්ඩ හිඟයක් ඇතිවනු ඇති බවත්, ඩොලරය ඉහළ යනු ඇති බවත්, අන්තර්ජාතික ආයතන සමඟ ඇති සබඳතා ප්‍රශ්නසහගත වනු ඇති බවත් දේශීය හා අන්තර්ජාතික යන දෙඅංශයෙන්ම අනතුරු ඇඟවීම් තිබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය. එහෙත් මේවායින් කිසිවක් සිදුනොවූ අතර, ඒ වෙනුවට නව ආණ්ඩුව වෘත්තීයමය ලෙසඅන්තර්ජාතික හවුල්කරුවන් සමඟ කටයුතු කර ඇත.
ජනාධිපතිවරයා අතීතයේ දූෂණ නඩු සක්‍රියව ඉදිරියට ගෙනයන බවද අවධාරණය කළේය. දැනට පවතින මන්දගාමී ප්‍රගතිය පෙර ආණ්ඩු සියල්ලේම පෙනීගිය පරිදි, ඒවා වසන්කිරීමේ උත්සාහයක් නොවන බව ඔහු පැහැදිලි කළේය. අධිකරණය දැනටමත් රටට විශාල ආර්ථික හානියක් සිදුකළ ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමේ නඩුව විභාගයට ගෙන ඇත. දූෂණ නඩු ගොනු 400 ක් පසෙකට දමා හෝ පසුවිපරම් නොකර තිබූ බවත්, ඒ සියල්ල දැන් විමර්ශනය කරන බවත් ජනාධිපති දිසානායක පැවැසීය. මෙම ප්‍රකාශයට පසු ඇති වූ කතාබහ කොළඹ දී වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද වාර්ෂික සමුළුවේදී නිර්මාණය වූ සාකච්ඡාවෙන් වෙනස්වූවකි.
මෙම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙක් පාලනය පිළිබඳ තම අත්දැකීම් ගැන කතාකළහ. සැබැවින්ම, හිටපු ජනාධිපතිවරයෙක් නිලධරීවාදයේ සහාය නොමැතිව දේශපාලනඥයන්ට දූෂිත ලෙස ක්‍රියාකළ නොහැකි බව පවසා සිටීමට තරම් ඉදිරියට ගියේය. බැංකු ගිණුම්වලට හෝ පෞද්ගලිකව සාක්කුවලට මුදල් දැමීමේ පුළුල් දූෂණය හේතුවෙන් රට බංකොලොත් වූ බව නිසැකය. ආර්ථිකයේ කඩාවැටීම සිදුවූයේ අනුපිළිවෙලින් ආණ්ඩු ඉතා නරක ආයෝජන තීරණ ගැනීම, බදු සහන, ඉඩම් බදු හා වෙනත් සහන ඇතැම් පාර්ශ්වවලට ලබාදීම නිසා වන අතර, එය සුළු පිරිසක් පොහොසත් කර රට දුප්පත් කළේය. මෙයද දූෂණයකි. දේශපාලන ලෝකයේ නිර්මාණය වූ ආන්දෝලනාත්මක තත්වය මගින් පැහැදිලි වූයේ සෑම මට්ටමකම දේශපාලනයේ දූෂණය කෙතරම් මුල් බැස ගෙන ඇත්දැයි යන්නයි. එමෙන්ම ජනතාව නව ජනාධිපතිවරයකු තෝරාගැනීමට තීරණය කළේ ඇයිදැයි යන්නද එමගින් පැහැදිලි විය.
විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම
ජනතා විමුක්ති පෙරමුණේ කඩිනම් බලයට පත්වීම සමඟ විශේෂයෙන් ආර්ථික දුෂ්කරතා සඳහා ක්ෂණික විසඳුම් සම්බන්ධයෙන් මහජන අපේක්ෂා ඉහළ ගියේය. මෙම අපේක්ෂා සහ රජයේ සැබෑ ක්‍රියාකාරිත්වය අතර පරතරය ජනමාධ්‍ය තුළ පිළිබිඹු වන පරිදි සමාජයේ විවිධ අංශ අතර කලකිරීම් ප්‍රකාශ කිරීමට හේතු වී ඇත. රජය සිය අන්තර්ජාතික ගිවිසුම් නැවත සළකා බලන බව පවසා ඇත. මේවායින් සමහරක රටට අහිතකර කොන්දේසි සහිත දූෂිත ක්‍රියාමාර්ග ඇතුළත් විය හැකිය. දූෂණයට එරෙහිව කටයුතු කිරීමට මැතිවරණ පොරොන්දු දුන්නද, පෙර දූෂිත නිලධාරීන් වගවීමට ලක්කිරීමට හෝ රාජ්‍ය ආයතනවල දිගටම පවතින දූෂණය වැළැක්වීමට ආණ්ඩුව ප්‍රමාණවත් තරම් ශක්තිමත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට හැඟීමක් පවතී.
ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදීමේදී උපායශීලීව කටයුතු කරයි. ඔවුහු සීරුමාරුවෙන් ඉදිරියට යමින්, තමන් දැන් අණසක යටතට ගෙන ඇති රාජ්‍ය නමැති නෞකාව පෙරළා දැමිය හැකි කිසිදු තියුණු හැරවුමක් නොගැනීමට ප්‍රවේශම් වෙති. ආණ්ඩුවේ පළමු මාසය බහුතර ජනතාවට ධනාත්මක අත්දැකීමක් වී ඇති බව දර්ශක පෙන්නුම් කරයි. ඔවුන්ගේ මාක්ස්වාදී පූර්ව ප්‍රවණතා හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය පිළිබඳ සැක සහිතව සිටි අය තුළද, ප්‍රචණ්ඩත්වයෙන් තොර හා ප්‍රජාතන්ත්‍රවාදී බලය මාරුවීම තුළින් විශ්වාසය සහතික වී ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරියක වන ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනිය ලෙස පත්කිරීම පුළුල් ලෙස ප්‍රශංසාවට ලක්වූ ආණ්ඩුවේ තීරණයක් විය. පක්ෂ දේශපාලනයේ ඇයගේ ආරම්භයට පෙර, අගමැතිනිය ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුරා සහ සිවිල් සමාජ සංවිධාන සමඟද සම්බන්ධතා ඇති ගෞරවනීය විද්වතකු වූවාය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමේ දේශපාලන හා සිවිල් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කර ඇත. ඇය රජය වගවීමට ලක්කිරීම, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට පුරවැසියන් සම්බන්ධ කර ගැනීම අරමුණු කරගත් සිවිල් සමාජ සංවිධාන සමඟ කටයුතු කර ඇත. ඊට අමතරව, ඇය විශේෂයෙන් කාන්තාවන්, ආන්තීකරණය වූ ප්‍රජාවන් සහ කම්කරුවන් සම්බන්ධ කරුණුවලදී මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින්නියක් විය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඇය අගමැතිනිය ලෙස කටයුතු කරනු ඇති බව දැන් ආණ්ඩුව නිවේදනය කර ඇති අතර, එමගින් එහි විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් වේ.
ශක්තිමත් ආණ්ඩුවක්
මාතර පැවැති මැතිවරණ ව්‍යාපාර රැස්වීමේදී, පක්ෂ ප්‍රකාශනයේ ඇති පොරොන්දු ඉටුකළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ජනවරමක් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරණයේදී ඔහු මහජන ඡන්දයෙන් සියයට 42කට වැඩි ප්‍රමාණයක් ලබාගත්තේය. එය 2019දී පැවැති පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් සියයට තුනට සාපේක්ෂව එය සැළකිව යුතු වැඩිවීමක් වුවද, පෙර සියලුම ජනාධිපතිවරුන් තේරීපත්වූ සියයට 50ක ප්‍රතිශතයට වඩා එය අඩු අගයකි. මෙම ජයග්‍රහණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට විස්තීරණය කළහොත්, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ විශාලතම තනි පක්ෂය වනු ඇත. එහෙත් නීති සම්මත කරගැනීමට අනෙකුත් පක්ෂවල සහාය අවශ්‍යවන පරිදි සම්පූර්ණ බහුතරයක් නොලැබෙනු ඇත.
බොහෝ ජනතාව පාලන ක්‍රියාවලියේ වෙනසක් බලාපොරොත්තු වන අතර ඒ සඳහා හොඳම හැකියාව සපයන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව දකිති. මෙමගින්, ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට ඡන්දය නොදුන් අය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීමට පෙළඹවිය හැකිය. එබැවින්, ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරණයේදී ලැබුණු සියයට 42ට වඩා සැළකිව යුතු තරම් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි වනු ඇත. දූෂණයට එරෙහිව ඵලදායී ලෙස කටයුතු කිරීමට දූෂණ විරෝධී නීතිවල වෙනස්කම් (අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ශක්තිමත් කිරීම වැනි) අවශ්‍ය වන අතර, ඒ සඳහා තම කණ්ඩායම්වල අවලංගු වූ සාමාජිකයන් සිටින විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය සහාය ලබාදීමට අකමැති විය හැකිය. අභ්‍යන්තර ගැටුම් සහ තම කන්දයම්වල දූෂණ ගැටලුවට විසඳුම් සැපයීමට අසමත්වීම හේතුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කෙරෙහි ආකර්ෂණය අඩුවීම ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගැනීමේ හැකියාව විවර කරයි.
අනෙක් අතට, සමානුපාතික මැතිවරණ නියෝජන ක්‍රමයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට තනිව ක්‍රියාකරමින් ව්‍යවස්ථා වෙනස්කම් කිරීමට හැකි වන තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීමට නොහැකි වනු ඇත. කෙසේවෙතත්, 1972 සහ 1978 දී ශ්‍රී ලංකාවේ සිදු වූ පරිදි, එක් පක්ෂයක් තනිව ක්‍රියාකරමින් සිදුකරන ලද සහ එකඟතාවකින් තොර ව්‍යවස්ථා බිහිකළ ආකාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආකර්ෂණීය අනාගතයක් වෙනුවෙන් සුදුසු නොවේ. ආදර්ශවත් ක්‍රියාව වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ මෙම අරමුණ සඳහා, විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර ජනවාර්ගික හා ආගමික සුළුතර පක්ෂවල සහය ලබාගැනීමයි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දැනටමත් රටේ ඉල්ලීම පරිදි රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පොරොන්දු වී ඇත. බහුතරයකට පිළිගත හැකි මූලික ප්‍රතිසංස්කරණ මගින් මෙම ආදර්ශය යථාර්ථයක් බවට පත්කළ හැකිය.