19 June, 2026

Blog

“නඩුවක් වෙනුවට දඩයක් නියම කිරීම” ඩිජිටල්කරණය විය යුතුමය

අමිල මුතුකුට්ටි –

අමිල මුතුකුට්ටි

මේ වන විට ලෝකයේ සියලුම දේ පාහේ ඩිජිටල්කරණය වෙමින් පවතින යුගයක තවමත් ශ්‍රී ලංකාවේ අපි කටයුතු කරන්නේ දශක ගණනාවක් පසුපසිනි. ඩිජිටල්කරණය සිදු විය යුත්තේ ප්‍රමුඛතා අනුපිළිවෙලටය. එනම් එදිනෙදා මිනිස් ක්‍රියාකාරකම් සමඟ වැඩියෙන්ම ගැටෙන අංශ ප්‍රථමයෙන්ම ඩිජිටල්කරණය ට ලක් විය යුතුය. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ඩිජිටල්කරණ වැඩසටහනට නායකත්වය ලබා දීම සඳහා ආචාර්ය හාන්ස් විජේසුරිය හට ආරාධනා කර ඇති බව සහ ඔහු එම ආරාධනාව පිළිගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා රථ වාහන පොලීසිය විසින් පනවනු ලබන දඩ ගෙවීම ඉතාමත්ම ඉක්මනින් ඩිජිටල්කරණය විය යුතු බවට යෝජනා කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වේ.

පසුගිය ඉරිදා දිනයේදී දකුණු අධිවේගී මාර්ගයේ මාගේ මෝටර් රථය වමෙන් ධාවනය නොකළේය යන වරදට අගුණකොළපැලැස්ස අධිවේගී පොලිස් මුරපළට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් කුමාර (72528) විසින් මාගේ රියදුරු බලපත්‍රය ඔහු සන්තකයේ තබා ගනිමින් “නඩුවක් වෙනුවට දඩයක්” නියම කරන ලදී. මා කොපමණ දුරක් දකුණු පසින් ධාවනය කළේ ද යන්න ඔහු විසින් මා හට ප්‍රකාශ නොකරන ලදී. නමුත් ඒ වෙනුවට අධිවේගී මාර්ගයට ඇතුළත්ව කිලෝ මීටර් 125 ක් ගිය තැන දී මෙසේ මා විසින් වමෙන් ධාවනය නොකරන ලද බව ඔහු විසින් මා හට ප්‍රකාශ කරන ලදී. ඔහු සමඟ තර්ක කිරීමට හෝ වැඩිදුර ප්‍රශ්න ඇසීමට තරම් මා ළඟ ප්‍රමාණවත් සාක්ෂි නොවුණු හෙයින් ඔහු ලබා දුන් දඩ කොළය ලබා ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් මා හට නොවීය.

මාගේ රියදුරු බලපත්‍රය දෙස වරින් වර බලමින් දඩ කොළය ලියන පොලිස් කොස්තාපල් කුමාරගෙන් මට ප්‍රශ්නයක් අසන්නට සිත් විය. ඒ දකුණු අධිවේගී මාර්ගයේ රිය පදවන සෑම අවස්ථාවක දී ම මගේ සිතට ආ ප්‍රශ්නයකි. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ කිසි දිනෙක පැයට කිලෝ මීටර් 100 වේගයට අනුගතව ධාවනය වනවා මම දැක නැත. එනම් කිසිදු මෝටර් රථයකට එම බස් රථ පසු කොට ගමන් කිරීමේ හැකියාවක් නොමැත. තවද ඔවුන් කිසි විටෙක වම් තීරුව ධාවනය සඳහා භාවිත කරන්නේ ද නැත. ඊට හේතුව වන්නේ පැයට කිලෝ මීටර් 100 ඉක්මවූ වේගයකින් ධාවනය වන බස් රථ අනෙකුත් රථ වාහන පසු කර යෑමට නම් නිරතුරුවම දකුණු මං තීරුවේ සිටිය යුතු වීමයි. ඒ අනුව වමේ රථ වාහන ඇතත් නැතත් ඔවුන් දකුණු මං තීරුවේ පැයට කිලෝ මීටර් 140 ක පමණ වේගයකින් ගමන් කරන ආකාරය දකුණු අධිවේගයේ මෝටර් රථයක් ධාවනය කළ ඕනෑම කෙනෙකුගේ අත්දැකීමකි. ඒ අනුව මා විසින් පොලිස් කොස්තාපල් කුමාරගෙන් අසු ප්‍රශ්නය වූයේ ශ්‍රී ලංකා රථ වාහන පොලීසිය විසින් එම බස් රථ සඳහා ද වමෙන් ධාවනය නොකිරීමේ වරදට දඩ නියම කරනවාද යන්නයි. ඔහු එකවරම කියා සිටියේ “ඔව්, ඔව්” යන්නයි. මා නැවත ඇසු ප්‍රශ්නයට ඔහුට පිළිතුරක් නොවීය. “මාසෙම ඒවා එකට එකතු කරලා ගන්නවා ඇත්තේ..?”

කොළඹ පැය විසි හතරම විවෘතව තබන තැපැල් කාර්යාල පැවතිය ද කොළඹින් පිටත දුර බැහැර ප්‍රදේශ වලට පැමිණි විට දී මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන පුද්ගලයන් රථ වාහන දඩ මුදල් ගෙවන්නේ කෙසේද යන්න විශේෂයෙන්ම සාකච්ඡාවට ලක්විය යුතු කරුණකි. ඊට හේතුව වන්නේ එය එක් අතකින් පොලිස් නිලධාරීන් අල්ලස් ලබා ගනිමින් රජයට ලැබිය යුතු ආදායම් මාර්ගයක් ඇහිරී යාමක් වන නිසා සහ රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වන ශ්‍රමිකයෙකුගේ කාලය සහ මුදල් නිකරුනේ නාස්ති වීම යන කරුණු දෙකම වළක්වා ගැනීම සඳහාය.

එදින ඉරිදා දිනයක් වූ බැවින් ඒ ආසන්නයේ වූ සියලුම තැපැල් කාර්යාල වසා තිබුණි. එසේම තංගල්ල තැපැල් කාර්යාලය ඉරිදා දිනයේ ද විවෘතව ඇති බවට අන්තර්ජාලයේ සඳහන්ව පැවතිය ද එහි වූ දුරකථන අංකයට කිහිප වරක්ම ඇමතුව ද කිසිවෙකු ඊට ආමන්ත්‍රණය කළේ නැත. එම අංකය වන්නේ 047 22 40 250. එම අංකය මෙහි සඳහන් කරන ලද්දේ මම මෙන් වෙනත් අයෙකු මෙම අංකයට අමතා කාලය නාස්ති කර ගැනීම වළක්වනු පිණිස බව කරුණාවෙන් සළකන්න. එසේ නොමැතිව තැපැල් ලොක්කන් ඒ සඳහා කිසියම් ක්‍රියා මාර්ගයක් ගනීවි යැයි යන ආකාරයේ කිසිදු අදහසක් මගේ සිත් තුළ නොමැත.

රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා Mobile App එකක් හඳුන්වා දෙන්නේ නම් පැය විසි හතරේම, සතියේ දින හතේම රටේ ඕනෑම තැනක දී දඩ මුදල් ඉතා පහසුවෙන් ගෙවා තමන්ගේ රියදුරු බලපත්‍රය එවෙලේම රැගෙන තමන්ගේ අදාළ ගමන යාමට රියදුරාට හැකියාව ලැබෙනු ඇත. කෙනෙකු තර්ක කරනු ඇත්තේ වර්තමානයේ කාලය අධික ලෙස නාස්ති වන රස්තියාදු ක්‍රමයක් නිර්මාණය කොට ඇත්තේ රියදුරන් මාර්ග නීති කඩ කිරීමට අධෛර්යමත් කිරීම සඳහා වන බවයි. ඊට මගේ ප්‍රති තර්කය වන්නේ එම ක්‍රමය යටතේ මාර්ග නීති කඩ වීම් අවම වී ඇත්ද? සහ පොලිස් පොඩ්ඩන් විසින් අල්ලස් ලබා ගැනීමේ සංස්කෘතියක් නිර්මාණය වී නැත්ද? යන්නයි. එනිසා ඉහත යෝජනා කළ ආකාරයේ Mobile App එකකින් රජයේ ආදායම ඉහළ යනවා මෙන්ම අල්ලස් සංස්කෘතිය ද නිමා කළ හැකිය. අවශ්‍ය නම් දැනට පවතින දඩ මුදල් දෙගුණ කළ හැකිය. දැන් මුහුණ දෙන්නට සිදුවන රස්තියාදුව සමඟ සංසන්දනය කරන විට දඩ මුදල් දෙගුණයක් ගෙවා හෝ තමන්ගේ කාලය ඉතිරි කරගැනීමට බහුතරයක් රියදුරන් එකඟ වනවාට සැක නැත.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.