2 March, 2024

Blog

ව්‍යාකූලත්වය සංයුක්තවීම: මැතිවරණ දින සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

පවතින මැතිවරණ නීති රෙගුලාසි විමර්ශනය කිරීම සහ වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ විසින් විමර්ශන කොමිසමක් පත්කිරීම පූර්ව සාකච්ඡාවකින් හෝ දැනුම්දීමකින් තොරව සිදුකර ඇත. ජනාධිපතිවරයා විසින් කොමිසම පත්කිරීම මහජනතාවගේ අවධානයට ලක්වන තුරු එය ඉතා සූක්ෂ්ම ලෙස රහසක්ව පැවැතිණි. පවතින සියලුම මැතිවරණ නීති සහ රෙගුලාසි විමර්ශනය කර වත්මන් අවශ්‍යතාවලට සරිලන පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරී ඇත. එමගින් අවධානය යොමුකර ඇති අරමුණුවලට අනුව, කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මුද්‍රිත ඡන්ද පත්‍රිකා වෙනුවට නවීන තාක්ෂණය භාවිත කරමින් විද්‍යුත් ඡන්දය භාවිත කිරීම හඳුන්වාදීම සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකෙරේ. මෙම අරමුණු ප්‍රශංසනීය වේ. එහෙත් පුද්ගලයකුට විවිධ පාලන මට්ටම් දෙකකින් මැතිවරණ දෙකකට තරඟ කිරීමට සහ තේරී පත්වුවහොත් එකවර ආයතන දෙකක් නියෝජනය කිරීමට හැකිවීම වැනි ශ්‍රී ලංකාවට අසාමාන්‍ය ප්‍රතිපාදන ද එයට ඇතුළත් ය. එසේම කාලය පිළිබඳව සැළකිලිමත් වීමට එමගින් හේතුවක් ලබාදෙයි.

යෝජිත වෙනස්කම් තීරණාත්මක ඒවා වේ. කොමිසමට සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට අප්‍රේල් මාසය දක්වා කාලය ලබාදී ඇති හෙයින්, එයින් අදහස් වන්නේ ඉදිරි මාස හයක කාලය තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවයි. වෙනස්කම්වලට නීත්‍යානුකූලව බලපැවැත්විය හැකි කාල ප්‍රමාදයක් ද එහි පවතී. අනතුරුව කොමිසමේ නිර්දේශ කැබිනට් මණ්ඩලයට යා යුතුය. ඔවුන්ගේ අනුමැතිය මත ඒවා සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. එහිදී නැවතත්, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඒවායේ අන්තර්ගතය පිළිබඳ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් වේ. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට අනුව, “කොමිසමට මාස හයක් වැනි කෙටි කාලයක් තුළ එහි කාර්යය සම්පූර්ණ කිරීම ඉතා අපහසු වනු ඇත. මහජන සාකච්ඡා වෙනුවෙන් පැය සහ දින ගණන් ගතවිය හැක. මේ සඳහා කාලය අවශ්‍ය වේ. එය වසරක කාලයක් දක්වා වුව දීර්ඝ විය හැකිය.”

පවතින මැතිවරණ නීති හා රෙගුලාසි විමර්ශනය කිරීම සහ වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා ජනාධිපතිවරයා හදිසියේ විමර්ශන කොමිසමක් පත්කිරීම ව්‍යාකූලභාවයක් නිර්මාණය කරනුයේ, මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නීති කෙටුම්පතක් සකස් කර ඇති බවට අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පසුගිය සතිය මුලදී කළ තවත් විස්මිත ප්‍රකාශයක් හේතුවෙනි. මෙම ප්‍රතිසංස්කරණ මගින් සමානුපාතික ක්‍රමය ඔස්සේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 160ක් තෝරා පත්කර ගැනීමට යෝජනා කෙරේ. ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ඉතිරි මන්ත්‍රීවරුන් 65 දෙනා, සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ඡන්දදායකයන් සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තුවෙන් සහ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පත්කරනු ලැබේ. ඇමැති විජයදාසගේ යෝජනා අලුතින් පත්කරන ලද ජනාධිපති කොමිසමේ සීමාවට අයත් විය හැකිය. මෙම ආසන්න නිවේදන දෙක විසින් සාමාන්‍ය ජනතාවගේ සිත් තුළ ව්‍යාකූලත්වයක් ඇතිකිරීම වැලැක්විය නොහැකිය. ව්‍යවස්ථාවට අනුව මැතිවරණ සඳහා කාලය එළඹෙන විට, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ අවශ්‍ය මැතිවරණ සීමානිර්ණ ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින තත්වයක, දේශපාලන ගැටුමක් සඳහා පරිසරයක නිර්මාණය විය හැකිය.

IMF සහාය

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ ප්‍රතිසාධන ක්‍රියාවලිය සමඟ ඇති මුදල් සහ විශ්වසනීයත්වය යන සාධක දෙකෙහිම අවශ්‍යතාව මැතිවරණ කාල පරිඡේදයකදී තීරණාත්මක වැදගත්කමක් ඇති බැවින්, පසුගිය සතියේ මූල්‍ය අරමුදල විසින් කඩිනමින් මීළඟ ණය වාරිකය මුදාහරින බව ප්‍රකාශ කිරීම ආණ්ඩුවට ප්‍රීතිදායක පුවතක් වනු ඇත. එය මහා පරිමාණයෙන් අන්තර්ජාතික සම්පත් වෙත ප්‍රවේශ විය හැකි තත්ත්වයක සහ දේශපාලන ක්ෂේත්‍රයේ තම තරඟකරුවන්ට වඩා හොඳ මට්ටමක තමන් සිටින බව සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්වීමට උපකාරී වනු ඇත. අන්තර්ජාතික පද්ධතිය තුළ ජනාධිපතිවරයාට ණය සහාය හිමිවන බව දැක්වෙන අදහසක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන ඔස්සේ ප්‍රදර්ශනය කරනු ලබයි. IMF දැඩි තීරණ සහ දෙවැනි වාරිකය ලබාදීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජය දැක්වූ එකම ස්ථිර ප්‍රතිචාරය වන්නේ, අයවැය හිඟය අඩුකළ යුතුය යන මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයට ගරු කරමින්, තම ආදායම ඉහළ නංවා ගැනීම සඳහා විදුලිය මිල වැඩිකිරීම බව මෙතෙක් පෙනෙන්නට තිබේ. මෙමගින් ආර්ථිකය පිළිබඳ විශ්වාසය වර්ධනය වන අතර, අන්තර්ජාතික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ඉවහල් වන බව රජයේ ඇමැතිවරු පවසා ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදලේ දෙවැනි වාරිකය නිකුත් කිරීම බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් සිදුවිය. මූල්‍ය අරමුදලේ ණය මුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමට, ආදායම් එකතුව ප්‍රමාණවත් නොවන බව රජයට දන්වා තිබිණි. ආණ්ඩුව පාර්ශ්වයේ ප්‍රශ්නය ඊටත් වඩා ප්‍රබල විය. ක්‍රමානුකූල හා දැඩිව සිදුව ඇති පාලන දුර්වලතා සහ ගැඹුරින් මුල් බැසගත් දූෂණ ආමන්ත්‍රණය කිරීම සඳහා IMF විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද පාලන රෝග විනිශ්චය තක්සේරු (GDA) වර්තාවේ ප්‍රමුඛතා ක්‍රියාමාර්ග දහසයක් නිර්දේශ කර ඇත. සංවර්ධනය සඳහා වූ මෙම පූර්ව අවශ්‍යතා සම්බන්ධයෙන් රජයේ කාර්ය සාධනය අපේක්ෂිත මට්ටම්වලට ළඟාවී නොමැත. ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට සහ නීතියේ ආධිපත්‍යයට අනුකූලව කටයුතු කිරීම පිළිබඳ ආණ්‌ඩුවේ වාර්තාව යහපත් නැත. මැතිවරණ කොමිසම විසින් හැකි උපරිමෙන් කළ උත්සාහය නොතකා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දමනු ලැබීය. එසේම මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට ලබානොදී රඳවාගෙන ඇති මුදල්, නිදහස් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් පවා නොතකා හැරීමට ආණ්ඩුව කටයුතු කළේය.

අනෙකුත් අන්තර්ජාතික ණය හිමියන්ට පිළිගත හැකි ණය සහන ඇතුළත්ව, ශ්‍රී ලංකාව සමඟ මූලික එකඟතාවකට පැමිණ ඇති බවට චීන රජය නිවේදනය කිරීමෙන් කෙටි කලකින් IMF සිය දෙවැනි වාරිකය නිකුත්කරන බව නිවේදනය කිරීම විශේෂත්වයකි. මේ අතර, සිය දෙවැනි වාරිකය නිදහස් කිරීමේදී රජය සහ චීනයේ එක්සිම් බැංකුව අතර ඇතිකර ගත් එකඟතාව, සති දෙකකට පෙර පැවැති සිය මුල් තීරණය ආපසු හැරවීමට ගත් තීරණයට බලපෑමක් එල්ල නොකළ බව IMF නිලධාරීන් ප්‍රකාශ කිරීමද සිත්ගන්නා කරුණකි. මෙය අන්තර්ජාතික බල කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමේදී දිනාගත් ජයග්‍රහණයක් වශයෙන්, ලොව ප්‍රඥාවන්ත නායකයකු ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගිණුමට එක්වනු ඇත. එහෙත් රට තුළ පොදු ජනතාවගේ විශ්වාසය දිනාගැනීම අභියෝගයකි. ඒ සඳහා ආරක්‍ෂක අංශ ලවා ජනයා මර්දනය කිරීම සහ ආරක්‍ෂක නීති තරකිරීම වෙනුවට, නිදහස් හා සාධාරණ මැතිවරණයක් මගින් ජනතා වරම දිනාගැනීම අවශ්‍ය වේ.

කල් දැමූ මැතිවරණ

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමට ආසන්නව සිටින ජනාධිපති වික්‍රමසිංහ, ඉදිරි කාලය සඳහා මැතිවරණ නොපවත්වා බලයේ රැඳී සිටීමට ආණ්ඩුව ක්‍රියාත්මක කරන සැලසුම් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින කනස්සල්ලට විසඳුම් සෙවීමට පටන්ගෙන ඇත. දේශපාලන මිත්‍රයන්ගෙන් බැහැරව, ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට සැබවින්ම අවශ්‍ය ව්‍යාපාරික නායකයන් සහ ආර්ථික සැලසුම්කරුවන් වෙතින්, සාමාජය වෙනුවෙන් මේ සම්බන්ධ පැහැදිලි කිරීම් ප්‍රබලව ඉදිරිපත් වෙමින් පවතී. සම්පූර්ණ තත්වය නොවුණත්, බහුතර ජනතාව සම්බන්ධ භයානක යථාර්ථය නම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව මන්දපෝෂණය ඉහළ යෑම සහ ලෝක බැංකු සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන පරිදි මේ වසරේ දිළිඳුකම සියයට 25 දක්වාත් ලබන වසරේ සියයට 28 දක්වාත් වර්ධනය වීම මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය පිරිහෙමින් පවතින බවයි. මහජන මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ, ආණ්ඩුවට ලැබෙන ජනතා සහයෝගය සමස්ත ජනතාවගෙන් සියයට 20කට වඩා අඩු ප්‍රතිශතයක් බවයි.

පසුගිය සති කිහිපය තුළ සිදුකරන ලද විවිධ ප්‍රකාශයන්, ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල්දැමීමට හෝ ඇතැම් විට ඒවා කිසිසේත්ම නොපැවැත්වීමට ආණ්ඩුව අදහස් කරන බවට අනුමාන කිරීමට හේතු වී තිබේ. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කරන ලද්දේ, රට වෙනුවෙන් සිතන වෙනත් කිසිවකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යුතු බවයි. “ජනාධිපතිවරයාට එවැනි තත්වයක් තුළ දිගටම ධූරයේ කටයුතු කරමින් රට ඉදිරියට රැගෙන යා හැකිය. එසේම තරග වදින ඕනෑම අයකුට පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපිත කර ඇති අයවැය කාර්යාලයට ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කළ හැකිය. අයවැය කාර්යාලයට එම යෝජනා අධ්‍යනය කර ඒවා යථාර්ථවාදීද නැද්ද යන්න සඳහන් කළ හැකිය. අයවැය කාර්යාලයෙන් එවැනි වැඩසටහනක් ප්‍රතික්ෂේප කළ විට කිසිදු අපේක්ෂකයකුට කිසිදු මැතිවරණයකදී කිසිදු වැඩසටහනක් ජනතාවට ඉදිරිපත් කළ නොහැක. ඊට අමතරව, ශ්‍රී ලංකාව බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලද තත්වයක් තුළ විකල්පයක් නොමැති බව ද පැහැදිලිය. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයකට මුදල් වියදම් කිරීම නුවණට හුරු ක්‍රියාවක්දැයි යමකුට සිතෙන්න හැකියාව ඇත”.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සමුළුව අමතමින් එහි නායකයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනවලට අනුකූලව ඉදිරි මැතිවරණ සඳහා නියමිත කාලසීමාව යළි අවධාරණය කරන විට, ඔහුට ආණ්‌ඩුවේ බලය අල්ලා ගැනීම පිළිබඳව විශ්වාසයක් පවතින බවක්‌ පෙනෙන්නට තිබිණි. ඉදිරි වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවත් ඔහු පැවැසීය. කෙසේවෙතත්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන්නේ, 2025 මුල් භාගයේදී පමණක් බවට ඔහු කළ ප්‍රකාශය නැවත සළකා බැලිය යුතු වන්නේ, එම මැතිවරණ පැවැත්විය යුතුව තිබුණේ පසුගිය මාර්තු මාසයේදී මිස අනාගතයේ වසර දෙකකින් නොවන බැවිනි. මීට අමතරව, තනිව, තනිව සහ ඒකාබද්ධව ඉදිරිපත් වන මැතිවරණ ප්‍රතික්ෂේප කිරීමේ බලපෑමක් ඇති කළ හැකි, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජනමත විචාරණ සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන වෙනත් ප්‍රකාශද දැකගත හැකිය. කෙසේවෙතත්, මැතිවරණ සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණ නොගත යුතු වන්නේ, බලයේ සිටින අය තම බලය තාවකාලික බව වටහා ගතයුතු බැවින් සහ කුමන හේතුවක් නිසා හෝ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කර, රටේ පාලනයට සහභාගී වීමට ඔවුන්ට අයිතියක් නොමැති බැවිනි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.