4 December, 2024

Blog

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස VI

ලයනල් බෝපගේ – 

ආචාර්ය ලයනල් බෝපගේ

ගෝලීය අත්දැකීම්

වෙන්වීම සඳහා රටවල් ගණනාවක පැවති ඉල්ලීම් පරිධියට බලය පවරා දීමෙන් සාර්ථක ලෙස සීමා කරනු ලැබ ඇති බව ජාත්‍යන්තර අත්දැකීම් පෙන්වා දෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ බොහෝ ස්වෝත්තමවාදී දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයෝ බලය පවරා දීම පිළිබඳව නොමඟ යවන සහ සාවද්‍ය තොරතුරු පතුරුවති. උතුරු නැගෙනහිර දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයක් පිහිටුවන්නට එයින් මඟ පාදනු ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති.

එසේම, එක් එක් පළාතේ, ප්‍රාන්තයේ හෝ භූමිප්‍රදේශයේ ප්‍රාදේශීය පොලිස් බලකායන් සමඟ මතභේදයෙන් තොරව සහජීවනයෙන් කටයුතු කරන මධ්‍යම පොලිස් බලකායක් පවතින බොහෝ පොලිස් බලකායන් ලෝකයේ පවතී. ඕස්ට්‍රේලියාවේ, ප්‍රංශයේ, ඉන්දියාවේ, ජපානයේ, ස්පාඤ්ඤයේ, එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ දේශපාලන ආවරණවලින් සහ පැහැයෙන් යුත් අධිකාරීන් යටතේ ක්‍රියාත්මක වන ප්‍රාන්ත, භූමි ප්‍රදේශ, පළාත් සහ මධ්‍යම පොලිස් බලකාය ඇත. උදාහරණයක් ලෙස, “එංගලන්තයේ හා වේල්සයේ ප්‍රාදේශීය පොලිස් බලකායයන් 43 ක්, ස්කොට්ලන්තයේ හා උතුරු අයර්ලන්තයේ ජාතික පොලිස් බලකායක් සහ (බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය, සිවිල් න්‍යෂ්ටික කොස්තාබුලරි සහ ආරක්ෂක අමාත්‍යාංශ පොලිසිය යනුවෙන්) විශේෂඥ පොලිස් බලකායන් තුනක් යනුවෙන් එක්සත් රාජධානියේ සිවිල් පොලිස් බලකායන් 48 ක් ඇත.” [UK Parliament 2023, Policing in the UK, House of Commons Research Briefing, Published 29 September 2021].

එක් එක් රටක් විසින් ඉදිරිපත් කරනු ලබන පවරා දෙන බලතල මට්ටම් අතර සැලකිය යුතු වෙනස්කම් පවතී. ශ්‍රී ලංකාවේ ඉඩම් බලතල බෙදා හැරීම සෑහෙන ලෙස සීමා කොට ඇත. කැනඩාවේ මධ්‍යම ආණ්ඩුව සහ පරිධිය අතර පැහැදිලි බලය බෙදීමක් සහිතව ෆෙඩරල් පාලන ක්‍රමයක් පවතී. පළාත්බද ව්‍යවස්ථාදායකයන් විසින් පනවනු ලබන විශේෂිත නීති යොදා ගනිමින් පළාතේ තිබෙන රජය සතු ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පළාත්වලට පූර්ණ බලතල පවරා දී ඇත. පොදුරාජ්‍ය මණ්ඩල (කොමන්වෙල්ත්) ඕස්ට්‍රේලියාව, මධ්‍යම ආණ්ඩුව සතු බලතල ලැයිස්තුවක් ද, පරිධිය සතුව සෙසු බලතල ද අඩංගු කර ගන්නා ව්‍යවස්ථාවක් සහිත ෆෙඩරේෂනයක් වේ. ඉඩම් බලතල ඵලදායී ලෙස ප්‍රාන්තයන් සතු කොට ඇත.

රාජ්‍යයේ නෛසර්ගික ස්වභාවය

කිසියම් විශේෂිත රටක සිටින බහුතරය නොවන ප්‍රජාවන් වෙත දක්වන ආකල්පය නිවැරැදි කර ගැනීම සඳහා ඒ රටේ පොලිස් බලතල පවරා දී තිබෙන මට්ටම දායක වී නොමැත. සුළුතර ජන ප්‍රජාවන්ට එරෙහිව යොදන වෙනස් ලෙස සැලකීමේ අගතිගාමිත්වයන් සහ ආකල්ප, උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ කළු ජන ප්‍රජාවන්ට සළකන ආකාරය, කෙනෙකුට පහසුවෙන් දැකගත හැකිය. මෙසේ සිදු වන්නේ බොහෝ කළු ජාතිකයින් ඉතා වැදගත් පුද්ගලයන් ලෙසත්, රටේ ෆෙඩරල් සහ ප්‍රාන්ත මට්ටමේ පරිපාලනය තුළ ආරක්ෂක ආයතනවල ඉහළ අධිකාරීන් ලෙසත් තනතුරු දරමින් සිටියදීය. ඕස්ට්‍රේලියාවේ, ආදිවාසී ජන ප්‍රජාවන්ට මෙන්ම අප්‍රිකානු මහාද්වීපයෙන් එන කළු ජාතිකයින්, දකුණු ආසියාවෙන් එන දුඹුරු හා කහ පැහැති ජනයා සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් (පොම්ස්) සහ නවසීලන්ත ජාතිකයන් (කිවි) යනාදී වශයෙන් අනෙක් බහුතර නොවන ජන ප්‍රජාවන්ට එරෙහිව එවැනි ආකල්ප පොදුවේ ප්‍රදර්ශනය වේ. ඉන්දියාවේ වඩාත් දෘශ්‍යමාන වන්නේ තම රටේම මුස්ලිම් ජනතාව කෙරෙහි දක්වන ඉස්ලාම් විරෝධී ආකල්පත්, ඊනියා කුලහීනයන්ට එරෙහිව දක්වන වෙනස් කොට සැළකීමේ භාවිතාවනුත් ය.

ඒ නිසා, පොලිස් බලතල පවරා දී ඇති තරම අනුව පමණක් එවැනි අගතිගාමිත්වයන් සහ ආකල්ප ආමන්ත්‍රණය කරනු ඇතැයි උපකල්පනය කිරීම උගහට වේ. දෙමළ ආධිපත්‍යය සහිත වෙනම රාජ්‍යයක් තම ප්‍රදේශයේ වසන මුස්ලිම්, සිංහල සහ ඊනියා කුලහීන දෙමළ ජනයාට සලකනු ඇත්තේ සිංහල ආධිපත්‍යය සහිත ප්‍රදේශවල දෙමළ ජනයාට සලකන ආකාරයටම බවට මට සැකයක් නැත. නූතන ලෝකයේ පොලිස් බලකායන් හැමතැනකම පවතින අතර ඒ හා සමඟම, ඔවුන් සෘජු/වක්‍ර, ප්‍රකට/රහසිගත අන්දමින් දූෂණය, ම්ලේච්ඡත්වය සහ අධිකාරවාදී නීති ක්‍රියාත්මක කිරීමත් සමඟ ඔවුන් ඉටු කරන භූමිකාව වැඩි වැඩියෙන් මතභේදාත්මක බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ පැවති ඕනෑම පාලනයක් යටතේ පොලිසිය ආධිපත්‍යයේ සහ මර්දනයේ මෙවලමක් ව පැවතී තිබෙන බව කිසිවිටෙක අප අමතක නොකළ යුතුය. පාලක ප්‍රභූ පැලැන්තියට අවශ්‍ය වූ අන්දමට නීතිය ක්‍රියාත්මක කරන්නට රජය විසින් බලායනය කරන ලද පුද්ගල සමූහයක් ව එය පැවතී ඇත. අනෙක් අතට, ඔවුහු පුරවැසියන්ගේ සහ ඔවුන්ගේ දේපළවල ආරක්ෂාව සහතික කිරීම සහ අපරාධ සහ මහජන කලබල වැළැක්වීම සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේය. එහෙත්, නීතිය ක්‍රියාත්මක කිරීම යනු පොලිස් පටිපාටියේ එක් අංගයක් පමණක් වේ; එසේ වන්නේ, විවිධ තත්වයන් යටතේ, ප්‍රධාන වශයෙන් පාලක ප්‍රභූ පැලැන්තිය විසින් පුද්ගලික දේපල ආරක්ෂා කිරීමේ සහ සමාජ පන්ති ක්‍රමය පවත්වාගෙන යාමේ සන්දර්භය තුළ සාමය ආරක්ෂා කිරීම පොලීසියට පැවරූ විට, ඔවුන්ට බොහෝ කටයුතුවල නියැලෙන්නට සිදු වන හෙයිනි. පාලක රෙජීමයේ පැහැය කුමක් වුවද, හැම සමාජයකම, සෛද්ධාන්තිකව ගත් විට පොලිසිය ප්‍රචණ්ඩත්වය යෙදවීමේ ඒකාධිකාරය උසුළයි. 

පොලිසිය, විශේෂයෙන් විදේශීය ආක්‍රමණවලට එරෙහිව රජය ආරක්‍ෂා කිරීමේ නියැලී සිටින හමුදාවෙන් සහ අනෙකුත් ආරක්‍ෂක සංවිධානවලින් බොහෝ විට වෙන් කොට තබා ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව වැනි රටවල මෙම වෙනස වැඩි වැඩියෙන් බොඳ කරන බවට පත් වෙමින් ඇත.

ආවේණික අගතිගාමිත්වය

බලය පවරා දීමේ හැම මට්ටමකදීම පොලිසිය, අදාළ ප්‍රදේශයේ වසන බහුතරය නොවන ජන ප්‍රජාවන් පිළිබඳව ඔවුන් සතු දැනුම නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දැනුවත් කිරීමේ පුහුණුව ගම්‍ය සහ ප්‍රකට පුද්ගලික සහ කණ්ඩායම් යන දෙඅංශයේම අගතිගාමිත්වයන් කෙරෙහි යෙදවිය යුතුය. ජාතිය ගොඩනැගීමට වඩා සමාජය කොටස්වලට වෙන් කිරීම හා කැබලිවලට කැඩීම සඳහා ක්‍රියා කරන ප්‍රවාහ, අනෙකාට වඩා තමන්ගේ සමාජ, සංස්කෘතික හා ආර්ථික උත්තරීතරබව දිගටම පවත්වා ගෙන යෑමේ අභිලාෂයෙන් කටයුතු කරන සන්නද්ධ හමුදාවන් තුල වඩාත් දෘශ්‍යමාන අනදමින් ඒකාශ්මික සංස්කෘතික ඒකක පිහිටුවා ඇත. සන්නද්ධ හමුදාවල ඇතැම් ඒකක හැඳින්වීමේ දී යොදා ඇති නාමකරණය දෙස බැලීමෙන් වුවද, ඒ බව පැහැදිලි වනු ඇත. මේ ක්‍රමයේ පවතින, බලය පවරා දීමේ කිසිදු ක්‍රමයකින් ආමන්ත්‍රණය නොකරනු ලබන, මූලික දෝෂය වන්නේ කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගිකත්වය, භාෂාව, ආගම, ජාතිකත්වය, හෝ වෙනස් ආකාරයේ දක්ෂතා යනාදී ඔවුන්ගේ පසුබිම් පදනම් කර ගෙන අනෙකා මර්දනය කරන පහත් මට්ටමේ වෘත්තීය සදාචාරය යි.

ධනවාදය යටතේ ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන සමාජආර්ථික සංවර්ධන ක්‍රියාවලිය දෙස බැලුවහොත් නාගරීකරණය සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වන සමාජීයකරණ ක්‍රියාවලි විසින් ඇති කරවනු ලබන සමාජමය අන්තර්ක්‍රියාකාරිත්වයන් හේතුවෙන් එවැනි බාධක වැඩි වැඩියෙන් දුර්වල බවට පත්ව තිබේ. 1950 ට පෙර කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකා සමාජය තුළ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියාව යන ක්‍ෂේත්‍රවල ජනප්‍රජාවන් අති බොහොමයක් අතර එවැනි සමාජ අන්තර්ක්‍රියාවන් වඩා පිළිගත හැකිව තිබුනේය. කෙසේ වෙතත්, 1950 දශකයෙන් පසු කාල පරිච්ඡේදයේදී භාෂාමය, ආගමික සහ වාර්ගික පදනම අනුව සමාජය කොටස්වලට බෙදා වෙන් කිරීමේ ආරම්භයත් සමඟ, නාගරීකරණය නොකඩවා සිදු වුවද, එවැනි බොහෝ සමාජීයකරණයන් නිමාවට පත් විය.

අගතිගාමිත්වයන්, නිෂේධාත්මක ආකල්ප සහ ප්‍රවර්ගීකරණයන් බිඳ දැමීම සඳහා සමාජ සම්මිශ්‍රණයේ තරම සහ විවිධත්වය, අන්තර්ක්‍රියාකාරිත්වයන්ගේ ආකාරය සහ වාර ගණන ඉතා වැදගත් වන බව සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය වේ. ප්‍රථමයෙන්ම අගතිගාමිත්වයන් ඇති කරවන විවිධ ජන ප්‍රජාවන් සතු දේශපාලනය නොසලකා ඔවුන් එකට ගෙන ඒමෙන් ඔස්ට්‍රේලියාවේ කරන සමාජීය සහ ප්‍රජා කටයුතු තුලින් මම මෙය අත්දැක ඇත්තෙමි.

පොලිසිය ද ඇතුළු ආරක්ෂක අංශවල සිටින අය අපේ සමාජයේ බහුත්වවාදී ස්වභාවය අවබෝධ කර ගැනීමත්, පිළි ගැනීමත් කළ යුතුවේ. ශ්‍රී ලංකාවේ විවිධ ජනයා සමඟ ඔවුන් අත්විඳින සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයේ ආකාරය සහ එහි වාර ගණන විසින් විශේෂයෙන්ම පළාත් මට්ටමින්, බහුතරමය නොවන ප්‍රජාවන්ගේ හැඟීම් පිළිබඳව දැනුවත්බව ඇති කිරීමේ දී සැලකිය යුතු බලපෑමක් කරනවා ඇත. මෙවැනි තත්වයක් සාක්ෂාත් කර ගැනීමට නම්, ධෛර්යයෙන් සහ අවබෝධයෙන් යුතුව එවැනි උත්සව පැවැත්වීම වෙනුවෙන් දේශපාලනඥයින්, නිලධාරීන් සහ ප්‍රජාවන්ගේ ඉහළම මට්ටම්වලට කැපවීම මෙන්ම සම්පත් ද අවශ්‍ය වේ. කෙසේ වෙතත් වඩාත්ම වැදගත් සාධකය වන්නේ පොලිසියේ සහ අනෙකුත් ආරක්ෂක ආයතනවල උසස් තනතුරු පිරවීම සඳහා වෙනස් සමාජ හා සංස්කෘතික පසුබිම්වලින් අපේක්ෂකයින් බඳවා ගැනීම ද ඇතුළුව එක් එක් ඒකකය තුළ සිටින කණ්ඩායම් විවිධාංගීකරණය කිරීමයි.

විවිධාංගීකරණය

බහුතර වාර්ගික සහ ආගමික ගහනයෙන් සමන්විත අඩු වැඩි වශයෙන් ඒකසංස්කෘතික බලවේගයක් වන පොලිස් බලකාය විවිධාංගීකරණය කිරීමට මෙය නිසැකවම උපකාරී වනවා ඇත. නීතිය යොදවා පාලනය (rule by law) කරනවා වෙනුවට නීතියේ ආධිපත්‍යය (rule of law) ක්‍රියාවේ යෙදවීම මඟින් සමාජ සාමය පවත්වා ගන්නා අතර එමඟින් පොලිස් බලකායයන්ට සංකීර්ණ ගැටලු විසඳීමේ අභ්‍යාසවල නිරත වෙන්නට ශක්තිය ලබා දෙනවා ඇත. ජනාධිපතිවරයාගේ සිට රටේ පහළම නිලධාරියා දක්වා දැනට සිදු කරන අන්දමට දේශපාලන තත්ත්වයන්ට අනුකූලව නීතිරීති නමා දැමීම ඒ සඳහා සහාය වන්නේ නැත.

විවිධ අභ්‍යන්තර හා බාහිර බලපෑම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ අසීරු තත්වයන් මතු වන විට, ඒ අසීරුකම් ඉක්මණින් සමනය කරන්නට විවිධ කණ්ඩායම් එකට එකතුව කටයුතු කරයි. නිදසුනක් වශයෙන්, බලය ලබා ගැනීමට උත්සාහ කළ ඇතැම් අවස්ථාවාදී දේශපාලකයින් විසින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සුඩාන ජාතිකයන් සහ අනෙකුත් අෆිකානු සංක්‍රමණිකයන් සහ සරණාගතයින්ට එරෙහිව ඇති කරන ලද නොඉවසීම් අධික වූ විට, සුඩාන ජන ප්‍රජාවත්, අනෙකුත් බහු සංස්කෘතික ප්‍රජාවනුත්, පොලිසිය, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවනුත් සංස්කෘතික උත්සව කිහිපයකදී ආහාර වේලක් ගැනීමත් සමඟ එකට එකතු කර ලන්නට බහු සංස්කෘතික ප්‍රජා නායකයින්ට හැකි වූයේය. මෙය සමාජ හා දේශපාලන උණුසුම අඩු කර ලන්නටත්, ශිෂ්ට සම්පන්න ආකාරයෙන් ගැටලුව විසඳා ලන්නටත් උපකාරී වූ‌යේය.

අඛන්ඩව කර ගෙන යන විවිධත්වය ගැන දැනුවත්බව ඇති කිරීමේ පුහුණුවට බහුතරය නොවන ජන ප්‍රජා කණ්ඩායම් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර හවුල් සහ සහයෝගීතාවයන් ගොඩ නැගීම ද ඇතුළත් කළ යුතුය. එවැනි අරමුණු ඒකාබද්ධ කිරීමෙන් බහුතරය නොවන ජන ප්‍රජාවන්ගේ අභිලාෂයන් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කළ හැකි වනු ඇති අතර ඔවුන් කෙරෙහි පෙර ඇති කර ගන්නා ලද නිෂේධනාත්මක අගතිගාමිත්වයන් ද හීන කළ හැකිය. තීරණාත්මක අවස්ථාවන්හිදී එවැනි ක්‍රියාවලි මඟින් පොලිසියේ විෂමාචාරයන් මෙන්ම වෘත්තීයමය නොවන ආකාරයේ හැසිරීම් ද වඩා අඩු මට්ටමකට ගෙන ආ හැකිය.

මතු සම්බන්ධයි….

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස V

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස IV

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස III

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස II

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.