18 February, 2025

Blog

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කාරුණික රජයේ ප්‍රතිචාරය වඩා හොඳ මහජන මතයක් නිර්මාණය කරනු ඇත

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණය කැඳවීමට මාසයකටත් අඩු කාලයක් තිබියදී, ශ්‍රී ලංකාව නැවත ලෝකය සමග ගනුදෙනු කළ හැකි ආකාරයෙන් බංකොලොත් තත්ත්වයෙන් මුදාගත් බව පෙන්වාදෙමින් සිය ධූර කාලයේ සාර්ථකත්වය හුවා දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටී. ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය ලබා දී ඇති විදේශීය රජයන් කිහිපයකින් සමන්විත නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක අන්තර්ජාතික ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම අත්සන් කිරීම විවිධ ආකාරවලින් සමරනු ලැබීය. ජනාධිපතිවරයා විසින්ම ජාතිය අමතමින් දේශනයක් සිදුකළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් විවිධ නගරවල ගිනිකෙළි සංදර්ශන ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියේ නිර්මාතෘවරයා තමා බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. මෙය ජනතාව සමඟ සම්බන්ධවීමට, ඔවුන්ට සවන්දීමට සහ එහි තේරුම ඔවුන්ට පැහැදිලි කිරීමට, වඩා විශාල වගකීමක් ඔහු මත පටවයි.

ජනාධිපති වික්‍රමසිංහ පැවසුවේ “අපේ රට සහ එහි ජනතාව ආර්ථික අගාධයෙන් මුදාගැනීමට මට ඇති හැකියාව ගැන මම විශ්වාස කළෙමි. ඒ හා සමාන අර්බුදවලින් ගොඩඒම සඳහා අනෙකුත් රටවල් යොදාගෙන ඇති උපාය මාර්ග පිළිබඳ පුළුල් වැඩ සැලැස්මක් සහ ගැඹුරු අවබෝධයක් මට තිබිණි. තවද, මගේ සැලසුම්සහගත ප්‍රතිපත්ති සහ කැපවීම තුළින් ආර්ථිකය නැවත පණගැන්විය හැකි බවට මට විශ්වාසයක් පැවතිණි” යනුවෙනි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම අත්සන් කිරීම මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන රටවල ක්ෂණික ප්‍රශංසාවට ලක්විය. එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් එම ප්‍රවෘත්තිය පිළිගනිමින් මෙසේ ප්‍රකාශ කළාය. “මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය පරිසරය කෙරෙහි වැඩි විශ්වාසයක් ගොඩනැගීමට උපකාර වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ඔරොත්තු දීමේ ධනාත්මක ඉදිරි පියවරකි. දිගුකාලීන සෞභාග්‍ය සහ වර්ධනයට අනුබල දෙන විනිවිද පෙනෙන සහ තිරසාර වෙනස්කම් අනුගමනය කරමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට එක්සත් ජනපදය ශ්‍රී ලංකාව දිරිමත් කරයි.” එසේම ජපානය, ඉන්දියාව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සිය තෘප්තිය පළකළේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 4.2 කට අත්සන් කළ දෙවැනි ගිවිසුමක් ද විය. චීනය එම නිල ණය කමිටුවට ඇතුළත් නොවීම ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමට සුබපැතූ පාර්ශ්වයන් අතර කනස්සල්ලට හේතු විය. ඔවුන් චීනය ඇතුළු අනෙකුත් ණය හිමියන් සමඟ “ණය සහන සැසඳීමක්” ඉල්ලා ඇත. විශේෂයෙන්, ඔවුන් ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය ගනුදෙනු පිළිබඳ විස්තර සහ “ණය සහනවල සංසන්දනාත්මක බව සහතික කිරීම සඳහා කමිටුව වෙත අවශ්‍ය කෙරෙන සියලුම තොරතුරු” ඉල්ලා ඇත. මෙම අවස්ථා දෙකෙහිම සාකච්ඡා පිළිබඳ තොරතුරු පැහැදිලිව නොදන්නා නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බැවින් බොහෝවිට එම තොරතුරු අනාවරණය වනු ඇත. මෙම ආතතිමය තත්වයෙන් පිළිබිඹු වන්නේ, රජයේ මූල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය නොමැතිකමේ බරපතල ගැටලුවයි.

ණය කප්පාදුවක් සිදුවී නොමැත

“මෙම ගිවිසුම් සමඟ, සියලුම ද්විපාර්ශ්වික ණය වාරික ගෙවීම් 2028 දක්වා කල් දැමීමට අපට හැකි වනු ඇත. තවද, 2043 දක්වා දීර්ඝ කාලයක් සහිතව සහනදායී කොන්දේසි මත සියලුම ණය ආපසු ගෙවීමට අපට අවස්ථාව ලැබේ.” යනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේය. මෙම සහනදායී කොන්දේසි මොනවාදැයි ඔහු කීවේ නැත. ‘ණය කපාදුව’ යනු කුමක්දැයි ඔහු සඳහන් කළේ නැත. සහනදායී ආපසු ගෙවීමට යටත් වන මුදල ඩොලර් බිලියන 5.8 ක් වන අතර, 2022 දී ආර්ථික කඩාවැටීම සිදුවන විට මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 40ක් විය. පසුගිය වසරේ රජය ණය හිමියන් සමඟ සාකච්ඡා කරන විට සියයට 30 ක පරාසයක ‘ණය කපාදුවක්’ කළ හැකි බවට ශුභවාදී අදහසක් පැවැතිණි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා විශේෂිත වූ, ණය කපාදුවක් යනු පොලී ගෙවීම් අඩුකිරීම හෝ ආපසු නොගෙවිය යුතු බැඳුම්කරයක කොටසකි.

ක්‍ෂේත්‍රයේ අන්තර්ජාතික පර්යේෂකයන් විසින් කරන ලද පර්යේෂණ අධ්‍යයනයන්ට අනුව, ණය හිමියන්ගෙන් ලබාගත් ණය ආපසු ගෙවීමට පහසුකම් සැලසීම සඳහා ණය හිමියන්ට සහනදායී කොන්දේසි ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිදුවීමකි. මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති අන්තර්ජාතික සහයෝගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු බව පෙනේ, නැතහොත් සාධාරණ නොවන බව පෙනේ. ජර්මනියේ පසුගිය මාසයේ ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණ අධ්‍යයනයක සඳහන් වන්නේ “අපි පසුගිය වසර 200 තුළ ස්වෛරී විදේශ ණය අර්බුද අධ්‍යයනය කරන්නේ ණයහිමියන්ගේ පාඩු හෝ ‘ණය කප්පාදුව’ කෙරෙහි අවධානය යොමුකරමිනි. අපගේ නියැදිය 1815 සිට පෙරනිමි සිදුවීම් 205 කට වඩා සහ බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් 327 ක් ආවරණය කරයි. ණයහිමියාට මෙහිදී සිදුවන පාඩුව විවිධාකාරයෙන් වෙනස් වේ (0 සිට 100% දක්වා), කෙසේවෙතත්, මෙම ක්‍රියාවලියේ සංඛ්‍යානමය ව්‍යාප්තිය සියවස් දෙකක් පුරා කැපීපෙනෙන ලෙස ස්ථායීව පවතී. ඒ අනුව සාමාන්‍ය කප්පාදුව සියයට 45 ක් පමණ වේ. Graf von Luckner C.M. Meyer J. Reinhart C.M Trebesch C., ප්‍රකාශන දිනය, 06/2024. ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා වඩා හොඳ කොන්දේසි ලබාගැනීමට දායක වන්නේ නම් අන්තර්ජාතික සහයෝගයේ ප්‍රකාශයන් වඩාත් අර්ථවත් වනු ඇත.

සිය ජීවිතවලට ක්ෂණිකව බලපාන ණය බර අඩු කිරීමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු නොමැතිකම හේතුවෙන්, ජනාධිපතිවරයාගේ ජයග්‍රාහී කතාව සාමාන්‍ය ජනතාව අතර එතරම් ආකර්ෂණයක් දිනාගත්තේ නැත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උත්සවාකාරයෙන් පවත්වන ලද ගිනිකෙළි සංදර්ශන සඳහා සැළකිව යුතු මහජන සහභාගිත්වයක් නොලැබිණි. පෙට්‍රල් සමඟ සිදුවූවාක් මෙන් ඇතැම් භාණ්ඩවල පාලන මිලෙහි සුළු වෙනස්වීම් තුළින් මිස ජනතාවගේ ආර්ථික ජීවිතය ක්ෂණිකව හෝ කෙටි කාලීනව වෙනස්වීමක් සිදුව නැත. පසුගිය වසර දෙක තුළ වැටුප් වැඩිවීමකින් තොරව පසුවන්නට වූ අයට දෙතුන් ගුණයකින් වැඩි වී ඇති මූලික ජීවන වියදම් සමඟ කටයුතු කිරීමට සිදුව ඇත. ජීවන වියදම ඉහළ නැංවීමට සහ අධික බදුවලට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළ කෙන්යාව මෙන් නොව, ශ්‍රී ලාංකික ජනතාවගෙන් අතිමහත් බහුතරයක් නිහඬව සහ තම නිවෙස්වල පෞද්ගලිකත්වය තුළ තම දුෂ්කරතා දරාගෙන සිටිති.

කොටස් වශයෙන් පිළිතුරු

කෙසේවෙතත් ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති වැනි සංවිධානාත්මක කණ්ඩායම් ජනතාවගේ දුක්ගැනවිලි එළිපිටම සකච්ඡා කරමින් සිටිති. පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර අවසන් කළ ගුරු විරෝධතාව ඊට නිදසුනකි. යාපනය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව උගන්වන ආචාර්ය අහිලන් කදිරගාමර් මෙසේ ලියා ඇත. “2023 සඳහා මෑතකදී නිකුත් කරන ලද මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන පරිදි, සමාජ වියදම් ආරක්ෂා කිරීමට බොහෝ පොරොන්දු තිබියදීත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූලිකත්වයෙන් යුත් සහන කප්පාදු වැඩසටහන, නොවැළැක්විය හැකි ලෙසම සමාජ වියදම්වල සැබෑ වටිනාකම කප්පාදු කිරීමට හේතුවී ඇත. 2021 සහ 2023 අතර ජීවන වියදම සියයට 100 කින් වැඩිවී තිබේ. නැත්නම් ඩොලර් වලින් බැලුවහොත් ලංකාවේ රුපියලේ අගය ඩොලරයක් රුපියල් 200 සිට 300 දක්වා සියයට පනහකින් අඩුවිය. කෙසේවෙතත්, මෙම කාලය තුළ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා නාමික වියදම් වැඩිවීම සියයට 100 උද්ධමනයට සාපේක්ෂව සියයට 22.5ක් පමණක් වූ අතර, උසස් අධ්‍යාපනය සඳහා එය සියයට 13.1ක් පමණක් විය”.

සරලව කිවහොත්, මේ ක්ෂය වූ අධ්‍යාපන අයවැයෙන් වැටුප් වැඩිකිරීමට හෝ රජයට අතීතයේ ගුරුවරුන් වෙනුවෙන් වෙන්කළ ප්‍රතිපාදන සඳහාවත් මුදල් ඉතිරි නොවේ. ආචාර්ය කදිරගාමර් වැඩිදුරටත් සඳහන් කරන්නේ, “දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන්කරන වියදම් අඩුකරමින් සිටී. ඇත්ත වශයෙන්ම, අධ්‍යාපනය සඳහා වන වියදම දශක ගණනාවක් පුරා, ක්ෂය වෙමින්, 1970 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කට ආසන්න අගයක සිට 2022 දී සියයට 1.2 දක්වා පහතට ඇද වැටී ඇති අතර එය අද ලෝකයේ අඩුම අගයකි.” ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද පරිදි අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ වත්මන් ප්‍රවේශය වන්නේ, එය පෞද්ගලික අංශයට පැවරීමයි. කෙසේවෙතත්, අධ්‍යාපනය සමාජ සේවයක් නොව ලාභ උපයන ව්‍යාපාරයක් ලෙස වාණිජකරණය වන සන්දර්භය තුළ, රාජ්‍යය අධ්‍යාපන සේවා සැපයීමෙන් ඉවත්වීම අඩු පහසුකම් සහිත පවුල්වල අයට හානියක් වනු ඇත. බරපතළ ආර්ථික දුෂ්කරතා පවතින සාමාන්‍ය සන්දර්භය තුළ ආර්ථික වශයෙන් අවාසි සහගත අය සඳහා අධ්‍යාපනය සඳහා වැඩි රාජ්‍ය ආයෝජනයක් අවශ්‍ය වන අතර එය අඩු කළ යුතු නොවේ.

සිය ගැටළු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වීමට එරෙහිව පසුගිය සතියේ විරෝධතා දැක්වීමට ගුරුවරු දහස් ගණනින් වීදි බැස සිටියහ. අනාගත අභියෝගවලට මුහුණදීම සඳහා තරුණ පරම්පරාවන් දැනුවත් කිරීමේ වගකීම පැවරී තිබුණද, ගුරුවරුන් අද ඉතා අඩු වැටුප් ලබන අංශයක් බවට විවාදයක් නැත. ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හරින ලදී. විරෝධතාකරුවන්ට මෙලෙස දරුණු ලෙස සැළකීම, රජය ප්‍රශ්න කිරීමට සහ ඒ සඳහා එකතුවීමට තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භාවිත කිරීමට කැමති අයට ආණ්ඩුවේ සමස්ත පිළිතුර බවට පත්ව ඇත. රටේ ආර්ථික පරිවර්තනය පිටුපස සිටින ප්‍රධාන පුද්ගලයා ලෙස ජනාධිපතිවරයා, විරෝධතාකරුවන් සමඟ හෝ අවම වශයෙන් ඔවුන්ගේ නායකයන්ට කතාකර, ඔවුන්ට ඇහුම්කන් දී ඔවුන්ගේ දුක්ගැනවිලි පැවසීමට ඉඩ ලබාදෙන්නේ නම් වඩා යහපත් වේ. රට අනාගතයට බැඳ තබන ගිවිසුම් අත්සන් කිරීමේදී ජනතාව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ සහයෝගයද ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම වැදගත් වේ. විසඳුම් කාලයාගේ ඇවෑමෙන් ලැබෙනු ඇති අතර තිරසාර විය හැකි එකම මාර්ගය මෙයයි.

Latest comment

  • 2
    0

    මම හිතන්නේ srilnaka තුළ අනවශ්‍ය වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කළ යුතුයි. මෙය මේ රටේ බොහෝ දෙනෙකුගේ යහපත සඳහා කළ යුතුයි. උද්ඝෝෂණ පැවැත්වීම ප්‍රදර්ශන අයිතියක් නමුත් කවුරුන් හෝ තම පළිගැනීමේ ක්‍රියාවන් සඳහා එම අයිතිය අවභාවිත කරන්නේ නම් එය ඉතා සියුම් නිරීක්‍ෂණයෙන් අල්ලාගෙන රටේ පවතින නීතියට අනුව කටයුතු කළ යුතුය.
    .
    අනවශ්‍ය විරෝධතා කවදත් අද ජාතියට විශාල තර්ජනයක් වී ඇත. යුරෝපයේ ඕනෑම රටක් ශ්‍රී ලංකාව පුරුදු වී ඇති ක්‍රමයට පෙළපාලි ගියහොත් ඔවුන් රැකියාවෙන් ඉවත් වනු නිසැකය.
    යුරෝපීය රටවල් ප්‍රතිවිරුද්ධ දෙයට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යන බව කියනු ලැබේ, කෙසේ වෙතත්, ඔවුන් වෘත්තීය සමිතිවලට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා අයිතීන් අනිසි ලෙස භාවිතා කිරීමට ඉඩ නොදේ. යම් යම් හේතූන් නිසා, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රසිද්ධියේ ප්‍රශ්නය ආමන්ත්‍රණය නොකිරීමෙන් වැළකී සිටියි. JVP සහ Peratugami හිතවාදීන් හැමදාම පොඩි ප්‍රශ්න වලට පවා උස් හඬින් උද්ඝෝෂණ කරනවා, එහෙමත් නැත්නම් දවස පුරා එවැනි විරෝධතා සඳහා වෙනත් අයව පොළඹවනවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.