18 June, 2026

Blog

ශ්‍රී ලාංකීය පවුලට උපහාරයක්

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

දින කිහිපයකට පෙර ආචාර්ය දේවනේසන් නේසයියාගේ අභාවය, දශක හතරකට වඩා පැතිරුණු මතකයන් රැසක් නැවත අවදි කළේය. 2002 වසරේ පැවැති මගේ විවාහ මංගල්‍යයේදී සාක්ෂිකරුවකු ලෙස අත්සන් තැබුවේ දේවනේසන්ය. එය බලාපොරොත්තු සහගත වසරක් විය. රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර ඇති වූ සටන්විරාම ගිවිසුම, දශක දෙකකට ආසන්න කාලයක් රට විනාශ කළ යුද්ධයෙන් තාවකාලික සහනයක් ගෙනවිත් තිබිණි. සාමයට ඇති හැකියාව සැබෑවක් ලෙස පෙනෙන්නට තිබිණි. එම අවස්ථාවට දේවනේසන් සහභාගි වීම බෙහෙවින්ම උචිත වූයේ, ඔහුගේ මුළු ජීවිතයම බෙදීම් අතර පාලම් තැනීමට සහ ගැටුම් සඳහා තාර්කික මෙන්ම මානුෂීය විසඳුම් සෙවීමට කැපකර තිබූ බැවිනි. ඔහු මිතුරකු, උපදේශකයකු සහ මාර්ගෝපදේශකයකු වූ අතර, ඔහුගේ ජීවිතය අද ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම අවශ්‍ය වටිනාකම් මූර්තිමත් කළේය.

ආචාර්ය නේසයියාගේ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී, ශ්‍රී ලංකාවේ ජනතාවක් ලෙස අපව එක්සත් කරන බලවේග, අපව බෙදා වෙන්කරන බලවේගවලට වඩා ප්‍රබල බවත්, මිනිස් සෙනෙහසේ බැඳීම්වලට ජාතිවාදී, ඉතිහාසමය සහ දේශපාලනික වශයෙන් පවතින ගැඹුරුම බෙදීම් පවා අභිබවා යා හැකි බවත් අපට මතක් කර දිය යුතුව ඇත. මට ඔහුව මුලින්ම මුණගැසුණේ 1984 වසරේදීය. යාපනය පාදක කරගත් ‘සැටඩේ රිවීව්’ (Saturday Review) පුවත්පතේ මගේ ප්‍රථම ලිපිය පළවූවා පමණි. එහි කර්තෘවරයා වූයේ සිංහල ජාතිකයකු වූ ගාමිණී නවරත්නය. වාර්ගික ගැටුම් පැවති අඳුරුතම වකවානුවක පවා ප්‍රජාවන් අතර බැඳීම් ශක්තිමත්ව පැවති බවට මෙය කදිම නිදසුනකි. මා ලියා තිබූ ලිපිය පාදක වී තිබුණේ, 1983 ජූලි මාසයේදී දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩත්වයට මා මුහුණ දුන් අත්දැකීම් මතය.

එම වකවානුවේදී ආචාර්ය නේසයියා යාපනයේ දිසාපතිවරයා ලෙස කටයුතු කළේය. දකුණේ පැවැති ප්‍රචණ්ඩත්වයෙන් බේරීම සඳහා පළාගිය දසදහස් සංඛ්‍යාත දෙමළ ජනතාව, ඔවුන්ව ආරක්ෂා කිරීමට අපොහොසත් වූ රජයක් විසින් උතුරු ප්‍රදේශයට ප්‍රවාහනය කර තිබිණි. එක්තරා උත්සවයකදී ඔහු මා වෙත පැමිණ, තමන්ව හඳුන්වා දී මා ලියා තිබූ ලිපියට තමා කැමති බව පැවසීය. එමෙන්ම තමා ළඟදීම හාවඩ් විශ්වවිද්‍යාලයේ කෙනඩි රාජ්‍ය පාලන විද්‍යාලය (Kennedy School of Government) බලා පිටත්ව යන බවත්, අපට එහිදී හමුවිය හැකි බවත් ඔහු පැවසීය. ඊළඟ වසර තුනක කාලය තුළ දේවනේසන් සහ ඔහුගේ බිරිඳ වන අනිතා මා ඔවුන්ගේ පවුලේ සාමාජිකයකු ලෙස වැළඳගත්හ. මම සතියකට දෙතුන් වතාවක් ඔවුන් බැලීමට ගියෙමි. ඒ අනිතාගෙන් ආහාර වේලක් භුක්ති විඳීමට පමණක් නොව, දේවනේසන් සමඟ විවිධ කරුණු සාකච්ඡා කිරීමටය. ඒ අතර ඔවුන් ලියූ ශාස්ත්‍රීය ලිපි ලේඛන සහ පුවත්පත් ලිපි ද විය. පසුව අනිතා ආගමික විෂයය ක්ෂේත්‍රයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් අතර, ජාතික සාම මණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන රැසක අධ්‍යක්ෂ මණ්ඩලවල සේවය කළාය.

ප්‍රායෝගික විසඳුම

1992 වසරේදී අප දෙදෙනාම නැවත ශ්‍රී ලංකාවේ සේවය සඳහා පැමිණ සිටි අතර, ‘මහාචාර්ය නේසයියා’ ලෙස ආදරයෙන් හැඳින්වූ ඔහුගේ කීර්තිමත් අධ්‍යාපනඥ පියා වූ කේ. නේසයියාගේ අසූවැනි උපන්දිනය සැමරීම සඳහා යාපනයට පැමිණෙන ලෙස දේවනේසන් මට ආරාධනා කළේය. වැඩිමහල් නේසයියා යාපනය තරුණ කොංග්‍රසයේ (Jaffna Youth Congress) ප්‍රමුඛ පෙළේ සාමාජිකයකු වී සිටියේය. මෙම සුවිශේෂී ව්‍යාපාරය බ්‍රිතාන්‍ය පාලනයෙන් පූර්ණ නිදහස ලබා ගැනීම, ජාතික සමගිය සහ කුලය හා වාර්ගික අනන්‍යතාවය මත පදනම් වූ සමාජ අසමානතාවන් තුරන්කිරීම වෙනුවෙන් පෙනීසිටියේය. නිදහස ලැබීමෙන් පසු බහුතරවාදී ආධිපත්‍යයක් ඇතිවේ යැයි බොහෝ දෙනෙකු බිය වූ වකවානුවක, තරුණ කොංග්‍රසයේ නායකයන් තෝරාගත්තේ පොදු ශ්‍රී ලාංකීය අනාගතයක් කෙරෙහි විශ්වාසය තැබීමටය. විවිධ ප්‍රජාවන්ට අයත් ජනතාවට තමන්ගේ අනන්‍ය අනන්‍යතාවන් රැකගනිමින් පොදු ජාතියක් ගොඩනැඟිය හැකි බව ඔවුහු විශ්වාස කළහ. දේවනේසන් ද එසේම විශ්වාස කළේය. මෙම දැක්ම අදටත් වලංගු වේ. එය ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත්කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ පශ්චාත්-නිදහස් ඉතිහාසයේ ඛේදවාචකය විවිධත්වය පැවතීම නොවේ. විවිධත්වය සෑම සමාජයකම පවතියි. ඛේදවාචකය නම්, පවුල, ආගන්තුක සත්කාරය, වැඩිහිටියන්ට ගරුකිරීම සහ අනෙක් අය කෙරෙහි දක්වන අනුකම්පාව වැනි එකම වටිනාකම් රාශියක් අප පොදුවේ බෙදාහදා ගත්තද, අප බොහෝවිට විවිධත්වය බිය ඇති කරන මූලාශ්‍රයක් බවට පත්කර ගැනීමට ඉඩහැරීමයි. 1992 වසරේ අප කළ යාපනය සංචාරයේදී රහීම් ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නියෝජිතයන් අපට හමුවිය. එහිදී සාකච්ඡාව යොමුවූයේ උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ මතභේදාත්මක මාතෘකාව වෙතය. දේවනේසන් තර්ක කළේ, දේශපාලන විරුද්ධත්වයන් හේතුවෙන් එම ඒකාබද්ධ කිරීම සාක්ෂාත් කරගත නොහැකි නම්, ඒ වෙනුවට පළාත් සභාවලට වැඩි බලතල ලබාගැනීමට උත්සාහ කිරීම වඩාත් තාර්කික විය හැකි බවයි. රහීම් ඊට එකඟ වූයේ නැත. දේවනේසන්ට අවශ්‍ය වූයේ යුක්තිය සහ සහජීවනය ළඟාකර ගතහැකි ප්‍රායෝගික ක්‍රම සෙවීමටය. එය ඔහුගේ සහජ ලක්ෂණයක් විය.

දේවනේසන් නේසයියා යනු ගැටුම් සහ උපාය මාර්ග පිළිබඳ හදාරන්නකු විය. ඔහු පසුව ගැටුම් සහ සහයෝගීතාව පිළිබඳ ඔහුගේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබූ මහාචාර්ය තෝමස් ෂෙලින්ගේ ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු බවට පත්විය. ෂෙලින්ගේ ප්‍රධාන නිරීක්ෂණය වූයේ, ගැටුමක් මධ්‍යයේ වුවද, ප්‍රතිවාදීන් දෙපාර්ශවයම පොදුවේ බෙදාහදා ගන්නා අන්‍යෝන්‍ය අවශ්‍යතා පවතින බවයි. දැඩි සටනක නිරත වී සිටින ප්‍රතිවාදීන් පවා තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගැනීම සඳහා බොහෝ විට එකිනෙකා මත යැපෙයි. මෙහි ඇති අභියෝගය වන්නේ, එම පොදු අවශ්‍යතා හඳුනාගෙන ඒවා මත පදනම්ව කටයුතු කිරීමයි. ගැටුමක් යනු හුදෙක් සතුරන් අතර සිදුවන සටනක් පමණක් නොවේ. එය සහජීවනයෙන් ජීවත් විය හැකි ක්‍රම සෙවීමක් ද වේ. ශිෂ්‍යයන් සහ සාම ක්‍රියාකාරීන් ලෙස අප දෙදෙනා එක්ව, සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගැනීමටත්, එම අවබෝධය ශ්‍රී ලාංකීය ජනතාව සමඟ බෙදාගැනීමටත් මෙම සිද්ධාන්ත ශ්‍රී ලාංකීය සන්දර්භයට ගැලපෙන ලෙස යොදාගත්තෙමු.

තාර්කික සංවේදිතාව

ආචාර්ය නේසයියා තම මනසෙහි ඇති දේ එලෙසම ප්‍රකාශ කළ, බලධාරීන් හමුවේ සත්‍යය කතා කළ අයෙකි. ඔහු තර්කනය, තාර්කිකත්වය සහ ප්‍රතිපත්තිගරුක බව අගය කළ මිනිසකු විය. ඔහුගේ අවංකභාවය වෙනුවෙන් ඔහුට විශාල මිලක් ගෙවීමට සිදුවිය. අතාර්කික හෝ දූෂිත ඉල්ලීම් ඉටුකිරීම ඔහු ප්‍රතික්ෂේප කළ නිසා ඔහුගේ රාජ්‍ය සේවා ජීවිතය බොහෝ උඩුයටිකුරු වීම්වලට ලක්විය. දේශපාලන ඉල්ලීම්වලට හිස නැමීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව පරිපාලනමය වශයෙන් කොන්කර, කිසිදු නිශ්චිත වගකීමක් නොමැති ‘පූල්’ (Pool) එකට අනුයුක්ත කර තිබූ කාලපරිච්ඡේද ද තිබිණි. ඔහුගේ විශාල පවුලේ සෙසු සාමාජිකයන්, විශේෂයෙන්ම යාපනයේ හූල් පවුල මෙන්ම, ඔහුද සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. 2018 වසරේදී එවකට පැවති ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පෑමක් ලෙස ඔහු තමන්ට ලැබී තිබූ ‘දේශමාන්‍ය’ ජාතික සිවිල් ගෞරව සම්මානය නැවත භාරදුන්නේය (පසුව එම ජනාධිපතිවරයාගේ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී). ඔහුගේ කැපවීම පෞද්ගලික දියුණුව උදෙසා නොව, තමා නිවැරදි යැයි විශ්වාස කළ දේ වෙනුවෙනි.

මගේ බිරිඳ සුමධු ඔහු තමන්ට පැවසූ කතාවක් සිහිපත් කරයි. දිනක් නිල රාජකාරියක් සඳහා ගමන් කරමින් සිටියදී, මස් පිණිස මරාදැමීම සඳහා ගැටගසා රැගෙන යමින් සිටි තලගොයකු ඔහු දැක තිබේ. එම සත්වයාගේ දුක්විඳීම ඔහුගේ සිතට තදින්ම බලපා ඇත. එම සත්වයාගේ ඇස්වල කඳුළු තිබෙනු තමා දුටු බව පැවසූ ඔහු, එය තම ජීවිතයේ ආකල්පමය වෙනසක් ඇති කළ මොහොතක් ලෙස විස්තර කළේය. එදින සිට ඔහු මස් අනුභව කිරීම සම්පූර්ණයෙන්ම අත්හැරියේය. මෙම කතාව බයිබලයේ සඳහන් වන දමස්කස් පාරේදී ශාන්ත පාවුළුතුමාගේ සිදුවූ ආගමික පරිවර්තනය සහ බුදුදහමේ එන “සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා” යන ප්‍රාර්ථනය සිහිපත් කරයි. එහෙත් මෙහි ඇති ගැඹුරු වැදගත්කම ආගමික සංසන්දනයන් තුළ නොවේ. එය පවතින්නේ සංවේදිතාව අවදිවීම තුළය.

ආචාර්ය දේවනේසන් නේසයියාගේ ලෝක දෘෂ්ටියේ හරය වූයේ එයයි. ජාතිය, ආගම, කුලය හෝ ස්ත්‍රී පුරුෂභාවය මත සමාජය විසින් පටවනු ලබන පූර්ව නිගමනවලට ඔහු තුළ කිසිදු ඉඩක් තිබුණේ නැත. ඔහු ඒවා දුටුවේ ඇතැමකුට වරප්‍රසාද ලබාදෙමින් තවත් පිරිසක් කොන්කිරීම සඳහා මිනිසා විසින්ම නිර්මාණය කරගත් පටු සංකල්ප ලෙසය. ඔහුව අසාමාන්‍ය මිනිසකු බවට පත්කළේ ඔහු සතු වූ එවැනි වටිනාකම්ය. ආචාර්ය නේසයියා ජීවත් වූයේ එම අවබෝධය පෙරදැරි කරගෙනය. ගැටුම් මැද වුවද අවංකභාවය රැකගත හැකි බව ඔහු පෙන්වාදුන්නේය. තර්කය සහ අනුකම්පාව යනු එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් නොව, එකිනෙකාට අත්වැලක් වන සහකරුවන් බව ඔහු අපට මතක් කර දුන්නේය. අපගේ පොදු දූපත් නිවහන වන ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජනතාවක් ලෙස අපව බෙදා වෙන්කරන දේට වඩා අපව එක්සත් කරන දේ සැමවිටම විශාල වූ බවත්, අපගේ ආයතන ව්‍යුහයන් ගොඩනැඟිය යුත්තේ ඒ අනුව බවත් ඔහු පෙන්වාදුන්නේය. ඔහු මගේ මිතුරකු වීම පිළිබඳව මම ආඩම්බර වෙමි. ඔහු මගේ උපදේශකයා වීම පිළිබඳව මම කෘතඥ වෙමි.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment