
උපාලි ගජනායක
මෙම ලිපියෙහි ‘දේශපාලන ප්‍රභූන්’ යන යෙදුම පාවිච්චි කෙරෙන්නේ දේශපාලන බලය කේන්ද්‍රගත වීමේ අර්ථයෙනි.නිදහසින් පසු ශ්‍රී ලංකාවේ (ජනරජයක් බවට පරිවර්තනය වීමට පෙර, ලංකාවේ) දේශපාලන වංශකතාව නිරීක්ෂණය කරන විට, මේ වනවිට බලය අහිමිව ඇතත් අදත් වැඩි වශයෙන් සමාජ අවධානයට ලක්වෙමින් පවතින දේශපාලන ප්‍රභූන් වන්නේ දකුණේ රාජපක්ෂවරුන්ය. ඔවුන් ශ්‍රී ලංකාවේ බල දේශපාලනය පළමුව නියෝජනය කරන ලද සේනානායක සහ බණ්ඩාරනායක දේශපාලන ප්‍රභූන් අමතක කරවමින් ගැටුම් සහගත බල දේශපාලනය අභ්‍යන්තරයෙහි වුව හොඳට හෝ නරකට, තවමත් ප්‍රභූ මට්ටමේ මාතෘකාවක්ව රැඳී සිටින්නට සමත්ව සිටිති.
එම කාරණය අපි වෙනත් ආඛ්‍යානයක් මගින් තවදුරටත් පැහැදිළි කරමු. මේ දිනවල නිතර නම කියැවෙන ආචාර්ය කුමාරි ජයවර්ධනගේ කදිම දේශපාලන ව්‍යක්තභාවයට උපහාර දක්වමින් ඇයගේ යෙදුමක් ණයට ගනිමින් එම පැහැදිළි කරනු ලැබීම සිදු කරන්නේ නම්, රාජපක්ෂ පවුල දේශපාලන සහ ආර්ථික බල කේන්ද්‍රයේ මුදුනත ස්පර්ශ කරනු ලැබීම, ‘සොක්කන් ලොක්කන් බවට පත්වීමේ’ දකුණු සිරිලක කතන්දරයේ සුවිසල් පරිච්ඡේදය යැයි කෙනෙකුට ලියා තැබිය හැකිය.
මැදමුලනේ වාසය කළ විදානාරච්චි දොන් මාටින් රාජපක්ෂ නම් ප්‍රාදේශීය ප්‍රභූවරයකුගෙන් ආරම්භ වෙන රාජපක්ෂ පවුලේ දේශපාලන බලාගමනය විපරම් කරන විට, රාජපක්ෂ පරපුර අද වන විට සියවසකට ආසන්න ඉතිහාසයක්(1936 සිට අද තෙක්)අඛණ්ඩව ඔවුන්ගේ තුන්වෙනි පරපුර තෙක්ම දේශපාලන කරළියෙහි තනතුරු ඇතිව හෝ නැතිව ප්‍රභූත්වය බුක්ති විඳ සහ විඳිමින් සිටිති. ඉහත සඳහන් කරන ලද විදානාරච්චි දොන් මාටින් රාජපක්ෂගේ පුත්‍රයා වූ සුප්‍රකට ඩී.එම්.රාජපක්ෂගේ (මැතිව්) අනපේක්ෂිත දේශපාලන සම්ප්‍රාප්තියෙන්(1936) ආරම්භව ඔහුගේ සොහොයුරු ඩී.ඒ.රාජපක්ෂගේ (ඇල්වින්) දේශපාලන පරාජය(1965) සමඟ රාජපක්ෂ පවුලේ පළමු තිස් අවුරුදු දේශපාලනය අවසන් වෙයි.
රාජපක්ෂ පවුල් දේශපාලනයේ දෙවන පරපුර නියෝජනය කරනු ලබන්නේ මැතිව් සහ ඇල්වින් දෙබෑයන්ගේ දරුවන් විසිනි. මැතිව් රාජපක්ෂගේ පුත්‍රයන් දෙදෙනා වූ ලක්ෂ්මන් රාජපක්ෂ (හම්බන්තොට සහ තිස්සමහාරාම මන්ත්‍රී),ජෝර්ජ් රාජපක්ෂ (මුල්ගිරිගල මන්තී, උප මුදල් ඇමති සහ සෞඛ්‍යය ඇමති) දොන් ඇල්වින් රාජපක්ෂගේ පුත්‍රයන් අතරින් මහින්ද රාජපක්ෂ (මන්ත්‍රී,ඇමති, අගමැති සහ ජනාධිපති) චමල් රාජපක්ෂ( මන්ත්‍රී,ඇමති සහ කතානායක) ගෝඨාභය රාජපක්ෂ(ජනාධිපති) බැසිල් රාජපක්ෂ(මන්ත්‍රී,මුදල් ඇමති) ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වන නිරූපමා රාජපක්ෂ(මන්ත්‍රීනි සහ රාජ්‍ය ඇමතිනී) යන සහෝදර සහෝදරියන් එම දෙවන දේශපාලන පරපුර නියෝජනය කළහ. රාජපක්ෂ පරපුරේ වත්මන් සක්‍රීය තෙවන පරපුර නියෝජනය කරනු ලබන්නේ ෂවීන්ද්‍ර රාජපක්ෂ (මහා ඇමති,මන්ත්‍රී සහ රාජ්‍ය ඇමති) නාමල් රාජපක්ෂ(මන්ත්‍රී සහ ඇමති) නිපුණ රණවක(මන්ත්‍රී ) විසිනි.
සියවසක් ආවරණය කෙරෙන පරම්පරා කතාවකට සමාන උක්ත ඉතිහාසය මෙනෙහි කරනු ලැබීම මෙහිදී අදාළ වන්නේ එක් කේන්ද්‍රීය සිද්ධාන්තයක් මුල්කර ගනිමිනි. එනම්, එකම අන්වයක් නැත්නම් පෙළපතක් දිගුකාලයක් එක දිගට බලය පරිහරණය කරන විට සියළු ආයතන සහ පුද්ගලයන් දුෂ් අපහරණය වන්නේය යන විශ්වීය දේශපාලන අත්දැකීමට සමාන්තරවය. එම අදහසම වෙනත් වචනවලින් සඳහන් කරන්නේනම්, දේශපාලන ප්‍රභූත්වය සමඟ නිරායාශයෙන් ම වැළඳෙන බලය අපහරණය කිරීමට පෙළඹීමේ දේශපාලන ව්‍යාධියට ගොදුරුවීමක් එමගින් අභ්‍යුපගමනය කෙරෙයි.
බලය ලබා ගැනීම සඳහා අදේශපාලනික වුවද ඕනෑම ක්‍රියාමාර්ගයකට යෑම මෙන්ම, ලබාගත් බලය කෙසේ හෝ දිගටම පවත්වා ගැනීම හෝ අත් නොහැරීම, එම බලය උපයෝගී කර ගනිමින් ධනෝපායනය සඳහා ඕනෑම පියවරක් ගනු ලැබීම පමණක් නොව ස්ව අනුගාමිකයන් එම අරමුණ වෙනුවෙන් පාවිච්චි කරනු ලැබීම ද ඇතුළු මුල්බැසගත් ප්‍රභූ පාලන තන්ත්‍රයන්හි අතාර්කික උපායමාර්ග විසින් ඔවුන් නිරායාශයෙන් ම නිරත කරවනු ලබන්නේ ලබන්නේ මෙහි ඉහත සඳහන් කරන ලද දුෂ් බල අපහරණය කෙරෙහිය. අසීමිත බලය අසීමිත තරමින් දූෂිතවන්නේ එවැනි පරිසරයකය.
මෙය අපගේ විෂය පථයට පාත්‍රවෙන ශ්‍රී ලංකාවට හෝ වෙනත් කුඩා භෞතික අවකාශයට පමණක් සීමා වෙන යථාර්තයක් නොවේ. රාජ්‍යය නම් බල ව්‍යුහය ගත්විට ලෝක මට්ටමින් එවැනි ප්‍රභූ බල තන්ත්‍ර විරාජමාන වෙන ඕනෑම දේශපාලන සමාජයකට එය පොදු අත්දැකීම වෙයි. දියුණු දේශපාලන සංස්කෘතියක් ඇතැයි ලේබල්කරණය වූ මහා රාජ්‍යයක වුව බලය සහ ඒ සමඟ ධනය ඉලක්ක කරගත් අපචාර සිදු නොවෙනවා නොවේ.උදාහරණයක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කුප්‍රකට වෝටර්ගේට් අපචාරය සැකෙවින් මෙනෙහි කරමු. බැලූ බැල්මට එය දේශපාලන තොරතුරු සොරකම් කරනු ලැබීමක් වුනත් එම ක්‍රියාවලිය දේශපාලන වශයෙන් නින්දා සහගත මෙන්ම නීතිය අනුව සාපරාධී විය. එහෙත් අමතක කළ යුතු නැති කරුණ වන්නේ එම වරදට දඬුවමක් තිබීමය . දඬුවම වුනේ මිහිතලයේ බලවත්ම රාජ්‍ය නායකයාගේ ජනාධිපති පදවිය අහිමි කොට ඔහු නින්දා සහගතව ගෙදර යැවීමට කටයුතු කිරීමය. වෝටර්ගේට් මගඩියට සියයට සියයක් සමාන නොවුනත්, ඇතැම්විට ඊටත් වඩා බිය එළවන සුළු ආකාරයේ බලය ඉලක්ක කරගත් රාජ්‍ය විරෝධී මූල්‍ය ගනුදෙනුවක් කුමන්ත්‍රණකාරීව සැලසුම් කරමින් දමිළ කොටි සංවිධානයට අල්ලස් හැටියට මුදල් දෙමින් උතුරේ ඡන්ද වර්ජනය කර වූ බවට රාජපක්ෂවරුන්ට බරපතළ චෝදනාවක් ඇත.එම අසද්ක්‍රියාවට කුමන්ත්‍රණකාරී ලෙස හවුල් වූ පුද්ගලයන් විසින් ම ඒ සම්බන්ධයෙන් පාපෝච්චාරණය කර ඇති පසුබිමක වුවද, රටක දේශපාලන බලය තීන්දු කිරීමට ඉවහල් වූ එම දේශපාලන අපචාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විභාගයක් සිදු නොවීම මගින් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂ දේශපාලන ප්‍රභූත්වය තවමත් මුල්බැස ගෙන තිබෙන පරිමාණයයි.ඒ සඳහා තවත් ප්‍රබල උදාහරණයක් වන්නේ ‘හෙල්පින් හම්බන්තොට’ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරුන විභාගයේ දී මහින්ද රාජපක්ෂට පක්ෂව තීන්දුව දුන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා විසින් ප්‍රසිද්ධියේ කරන ලද ඔහුගේම අධිකරණ තීන්දුවට පටහැණි ප්‍රසිද්ධ ප්‍රකාශයයි.( අධිකරණ තීන්දුවක සාවද්‍යභාවය දැන දැනත් පෞද්ගලික කරුණු සැලකිල්ලට ගනිමින් තමා විසින් එම සාවද්‍ය තීන්දුව ප්‍රකාශයට පත් කළේ යයි වෙනත් රටක විනිසකරුවකු ප්‍රකාශ කළහොත් අපරාධකරු සම්බන්ධයෙන් කෙසේවෙතත් එම අදාළ විනිසකරුට එරෙහිව විභාගයක් ආරම්භ වනු නිසැකය.)
රාජපක්ෂ පවුල දැඩි පීඩාවකට ලක්කෙරෙන නෛතික අභියෝග විමසන විට 2015 ජනාධිපතිවරණය සමයෙහි ඔවුන්ට එරෙහිව විවේචන එල්ල කෙරුනේ පුද්ගල නිදහස අහිමි කරනු ලැබීම ,පහරදීම, පුද්ගලයන් පැහැර ගෙන ගොස් වධහිංසා සිදුකරනු ලැබීම සහ අතුරුදහන් කරනු ලැබීම් සහ මාධ්‍ය ආයතනවලට ගිනිතැබීම වැනි ක්‍රියාවන් මගින් මාධ්‍ය මර්දනය වැනි හැසිරීම් ආදී අපරාධ සම්බන්ධයෙන් වුනත් අද වනවිට තමනට එරෙහිව වඩාත් නිශ්චිතව චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුකර රැසකට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත.මහජන මුදල් අවභාවිතය, උපයා ගත් ආකාරය තහවුරු කළ නොහැකි මුදල් යොදවමින් හරිහම්බ කරගත් දේපොළ සහ මුදල් විශුද්ධිකරණය වැනි නීතියට පටහැණි ක්‍රියාවන් රැසක් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇත. ඔවුන්ගෙන් කීපදෙනෙක් ම සිටින්නේ ඇප මත නිදහස්වය. වරෙන්තු නොසලකා හරිමින් විදේශගතව සිටීම ද ඇතුළුව නීතිය මගහරිනු ලැබීමේ උපාය මාර්ගයක් අනුගමනය කරන අතරවාරයේ ගිලිහුන බලය යළි දිනාගැනීමේ දේශපාලන ව්‍යාපෘතීන්ට අදාළ පිඹුරුපත් ක්‍රියාවට නැංවීමේ ප්‍රයත්නයන් මගින් ප්‍රදර්ශනය කරන්නේ අත් නොහරින දේශපාලන අභිලාෂයයි.
2015 යහපාලනය අවධියෙහි ද ඔවුන් එවැනිම උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටි අතර ඒ සඳහා හොඳම නිදසුන වූ සිරිසේනගේ සහ රාජපක්ෂගේ වුවමනාවන් පොදු ස්ථානයකට කක්ෂගත වීමෙන් උපන් දවස් පනස් දෙකේ ආණ්ඩුව අධිකරණය විසින්ම නිෂ්ප්‍රභ කරනු ලැබුණි. ඉන්පෙර, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊනියා 18 වෙනි සංශෝධනය සම්මත කර ගනිමින් 2015 ජනාධිපති පදවියට තරඟ වැදුනේ ද බලය අත්හැර දැමීමට කිසිදු ලෙසකින් නො පෙළඹෙන දේශපාලන ප්‍රභූ ව්‍යාධිය හේතුවෙනි. 1970 අගමැතිනි සිරිමා බණ්ඩාරනායක රජය වසර දෙකකින් බලය දික්කර ගනිමින් ද, 1977 දී ජනාධිපති ජයවර්ධන විසින් මහ මැතිවරණය අවුරුදු හයකින් කල් දමා ගැනීම මගින් ද අත්කර ගත් දේශපාලන ප්‍රතිවිපාක මහින්ද රාජපක්ෂ සඳහා අත් නොහැරිය යුතු දේශපාලන අත්දැකීම් සම්භාරයක් නොව කඩදාසි මත ලියැවුන හුදු අකුරු ගොන්නක් බවට පත් විය.
දේශපාලන පවුලක් මත සංකේන්ද්‍රණය වූ බලය අවසානයේ දී තනි නායකයෙකුගේ හෝ කුඩා ප්‍රභූ පැලැන්තියක් අත සංකේන්ද්‍රණය වෙන අතර,කාණ්ඩයක් හැටියට එකතුව ඔවුන් සියලුදෙනා විසින් සිදුකර ඇති විෂම ක්‍රියාවන් බලය අත පවතින තාක් බලයේ නාමයෙන් ආවරණය කර වසා තැබිය හැකි නමුත් බලය ගිළිහුන කල්හි සියල්ල නිරාවරණය වීම සාමාන්‍ය ධර්මතාවයි.ඒ අනුව, වඩාත් සංක්ෂිප්තව සඳහන් කරන්නේනම්, රාජපක්ෂවරුන් දැනට මුහුණ දී ඇති නෛතික අභියෝගයන්හි උපත පිළිසිඳ ගනු ලබන්නේ ඔවුන් බල දේශපාලනයේ මුදුන් පෙත්තෙහි සිටි වසර දොළහකට මඳක් අධික කාල පරාශය තුළමය. එකල ඔවුන්ගේ දේශපාලන හැසිරීම ‘රාජ්‍යය නම අප වෙමුය ‘ යන අදහසට සමාන වූ දෘෂ්ටිවාදයක් මත පදනම් වූවකි. ඇමති මණ්ඩලයක් හෝ ඡන්දයෙන් පත්වූ වස්ථාදායකයක් පැවතුනත් ස්වභාවයෙන්ම දේශපාලන අවනතභාවය සහිත එම දෙ අංශය පමණක් නොව උපරිම අධිකරණයත් තමන්ට හීලෑ ආයතනයක් විය යුතුය යන දර්ශනය විසින් අන්තිමේ දී ඔවුන් තල්ලු කර දමන ලද ස්ථානය වුනේ පුරවැසි නැගිටීමක් මගින් සක්‍රීය දේශපාලන බල ව්‍යුහයෙන් පලවා හරිනු ලැබීමය. පාලන බලය හැසිරවීමේ සියළු රැහැන් තමන් අත පැවතීම හේතුවෙන් හටගත් බල අහංකාරය නමැති මතිභ්‍රමය හිස් මුදුනට ගෙන සිටි එම දේශපාලන ප්‍රභූ පවුල් තන්ත්‍රයට පමණක් නොව, දූෂණය නමැති වරද සිදුකළ ඔවුන්ගේ කීකරු අනුගාමිකයන්ට ද රටේ පුරවැසියන් විසින් අනුගමනය කළ යුතු නීති පද්ධතිය අභිබවා යමින් සිදු කරන ලද අනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ එල්ල වී ඇති චෝදනාවන්ට පිළිතුරු බැඳීමේ දුෂ්කර අභියෝගයට මුහුණදීමට සිදුව ඇත.
ප්‍රභූ අධිකාරීවාදී ලක්ෂණ සහිත දේශපාලන සමාජයක පාලකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව ඔවුන්ගේ කීකරු පිරිවර ලෙස සිටිමින් සිදුකරන ලද බල අපහරණ සම්බන්ධයෙන් චෝදනා ලබන දේශපාලන අතවැසියන් ද මුහුණ දී සිටින්නේ එවැනි ම අසීරු තත්ත්වයකටය.