
Jehan Perera
ශ්‍රී ලාංකිකයන්ට තම රට ලබා ඇති නවතම අන්තර්ජාතික ජයග්‍රහණය පිළිබඳව සතුටු වීමට හේතු තිබේ. ඇගයීමට ලක්කරන ලද රටවල් 163ක් අතුරින්, 2026 ගෝලීය සාමය පිළිබඳ දර්ශකයේ (Global Peace Index) ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 67 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ගෝලීය සාමකාමීත්වය මෙම දර්ශකය ආරම්භ කළ දා සිට වාර්තා වූ අවම මට්ටමක පවතින බව කියැවෙන සහ දියුණුවට වඩා පරිහානිය අත්විඳින රටවල් බහුලව පවතින වකවානුවක, ශ්‍රී ලංකාවේ මෙම ප්‍රගතිය කැපී පෙනෙයි. මෙම ශ්‍රේණිගත කිරීම මඟින් පිළිඹිබු වන්නේ දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධයෙන් රට යථාතත්ත්වයට පත්වීම, දේශපාලන ස්ථාවරත්වය සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීමට ගත් උත්සාහයන් මෙන්ම මෑත වසරවල ඇති වූ ආර්ථික හා දේශපාලන අර්බුද ජය ගැනීමට රට සතු වූ ඔරොත්තු දීමේ හැකියාවයි. ගෝලීය සාම දර්ශකය මඟින් ආයතනවල ශක්තිමත්භාවය, සමාජ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය මෙන්ම ගැටුම් සාමකාමීව කළමනාකරණය කිරීමට සමාජයකට ඇති හැකියාව ඇගයීමට ලක්කරයි.
දැනට ලබාගෙන ඇති ජයග්‍රහණ තහවුරු කරගැනීම සහ රටේ අනාගතයට තවදුරටත් සෙවනැලි එල්ල කරන නොවිසඳුණු ගැටලුවලට විසඳුම් සෙවීම වර්තමානයේ ඇති අභියෝගයයි. රජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශ දෙකක් විශේෂ වැදගත්කමක් උසුලන්නේ මෙම සන්දර්භය තුළය. විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර ඇත්තේ, රටේ වඩාත්ම ආන්දෝලනාත්මක නීතිවලින් එකක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මාස දෙකක් ඇතුළත අහෝසි කර ඊට වෙනුවට නව පනතක් ආදේශ කරන බවයි. මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද වාර්තාවක් දැනටමත් ඇමැතිවරයා වෙත භාර දී ඇත. අමාත්‍යවරයාට අනුව, ‘රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ ලෙස හැඳින්වීමට නියමිත මෙම නව නීති සම්පාදනය සඳහා සිවිල් සමාජයේ නිර්දේශ ඇතුළත් කර ඇති අතර, එය ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සකස් කිරීමට අදහස් කෙරේ.
එසේම, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අතුරුදන්වූවන් පිළිබඳ සත්‍යය හෙළිකිරීමට රජය සතු කැපවීම නැවතත් අවධාරණය කර ඇත. යාපනය චෙම්මනී සමූහ කබර් කැණීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඔහු කියාසිටියේ, යුක්තිය ඉටුකිරීම සඳහා මෙම කැණීම් කටයුතු කඩිනමින් නිමකළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවට සහතික වන බවත්ය. මෙම කැණීම් කටයුතු අධිකරණ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය විශේෂඥයන්, පුරාවිද්‍යාඥයන්, නීතිඥයන් සහ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදුවේ. රජය විසින් ලබා දී ඇති මෙම පොරොන්දු මඟින් ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ පීඩාවට පත්කළ වඩාත්ම මතභේදාත්මක ගැටලු දෙකකට විසඳුම් සපයයි. එමෙන්ම, අතීතයේ පැවැති දුෂ්කර ප්‍රශ්න දින නියමයක් නොමැතිව කල්දැමීමට වඩා, ඒවාට මුහුණ දීමට දැන් රට සුදුසු තත්ත්වයක පවතින බව රජය විශ්වාස කරන බවද මෙයින් ගම්‍ය වේ.
පෙරළිකාර සොයාගැනීම්වලින් පසුව
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ලබාදුන් පොරොන්දුවේ කාල වකවානුව විශේෂයෙන් අවධානයට ලක්විය යුත්තකි. වසර ගණනාවක් තිස්සේ බලයට පත් වූ අනුප්‍රාප්තික රජයන් මෙම නීතිය වෙනස් කිරීමට පොරොන්දු වුවද එය ඉටු කිරීමට අපොහොසත් විය. යුරෝපා සංගමය විසින් ලබාදෙන GSP+ වෙළඳ සහන රඳවා ගැනීමට අදාළ බැඳීම්වල කොටසක් ලෙස 2017 වසරේදී ශ්‍රී ලංකාව මෙම නීතිය අහෝසි කිරීමට එකඟ විය. එසේ වුවද, නැවත නැවතත් ලබා දුන් සහතික කිරීම් මධ්‍යයේ වුවද එම නීතිය එලෙසම බලාත්මකව පැවතිණි. එබැවින් රජය දැන් ක්‍රියාත්මක වීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්නයක් පැන නගී. මේ සඳහා දිය හැකි එක් පැහැදිලි කිරීමක් නම්, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන තීරණාත්මක අදියරකට පැමිණ තිබීමයි. 2019 වසරේදී 260කට වැඩි පිරිසකට ජීවිත අහිමි කළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල කැපීපෙනෙන පෙරළිකාර සොයාගැනීම් සිදුකර ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම විමර්ශන වත්මන් මාවතේම ඉදිරියට ගියහොත්, එහි වගවීම ප්‍රහාරය සෘජුවම දියත් කළ අයට පමණක් නොව, ඊට අනුබල දුන්, පහසුකම් සැලසූ හෝ පුළුල් අපරාධ කුමන්ත්‍රණයක කොටස්කරුවන් වූ අය දක්වාද ව්‍යාප්ත වීමට ඉඩ ඇත.
මෙම සාහසික පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් වගකීමට බැඳිය යුතු බවත්, එහි වින්දිතයන්ට සත්‍යය සහ යුක්තිය හිමිවිය යුතු බවත් සමාජය තුළ පුළුල් එකඟතාවක් පවතී. කෙසේවෙතත්, වගකීම නිර්ණය කරනු ලබන ක්‍රියාවලිය සාධාරණ, නීත්‍යානුකූල සහ අපක්ෂපාතී එකක් ලෙස මහජනතාවට පෙනීයාම වැදගත් වේ. විත්තිකරුවන් වැරදිකරුවන් කරනු ලබන්නේ නිසි නීතිමය පටිපාටිය සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන විනිවිදභාවයකින් යුත් අධිකරණ ක්‍රියාවලියකින් පසුව නම්, එම ප්‍රතිඵලය මුළු මහත් සමාජයම පිළිගැනීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැදගත් වන්නේ මෙතැනදීය. දීර්ඝ කාලීන රැඳවුම් නියෝග සහ අසාමාන්‍ය බලතල සමඟ බැඳී පවතින නීතියක සිට මානව හිමිකම් ප්‍රමිතීන්ට වඩාත් අනුකූල වන නීතියක් වෙත සංක්‍රමණය වීම, විමර්ශනවල නීත්‍යානුකූලභාවය දුර්වල කරනවා වෙනුවට එය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. පැහැදිලිවම සාධාරණ ක්‍රියාවලියක් තුළින් ලබාගන්නා වගවීම වඩාත් ස්ථාවර වන අතර, දේශපාලන අභිප්‍රායන් මත හෝ තේරූ පාර්ශවයන්ට පමණක් ඉටුකළ යුක්තියක් ලෙස එල්ල විය හැකි චෝදනාවලට ලක්වීමේ ප්‍රවණතාවද අඩුය.
චෙම්මනී කැණීම් කටයුතු ද එවැනි විශ්වසනීයත්වයක් ගොඩනැඟිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව උදාහරණයක් සැපයීමට සමත් විය හැකිය. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ අධිකරණ අධීක්ෂණය යටතේ සහ ස්වාධීන විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් පූර්ණ මහජන නිරීක්ෂණයට විවෘතවය. මින් කුමන නිගමන මතුවුවද, සහ ඉන් අනතුරුව කුමන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළද, මෙම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුක්ත වන බැවින් එය ගෞරවයට පාත්‍ර විය යුතුය. මෙම ප්‍රතිපත්තිම පාස්කු ඉරිදා විමර්ශන සඳහාද අදාළ කරගත හැක. විමර්ශන විවෘතව සිදුකරන විට, නීතිමය ආරක්ෂණ ක්‍රමවේදයන්ට ගරුකරන විට සහ වින්දිතයන්ගේ මෙන්ම චූදිතයන්ගේද අයිතිවාසිකම් ආරක්ෂා වන විට මහජන විශ්වාසය ශක්තිමත් වේ. මෙම විමර්ශනවල වැදගත්කම එම ඛේදවාචකයෙන් ඔබ්බටද විහිදී යා හැකිය. පාස්කු ඉරිදා කුමන්ත්‍රණයට අවසානයේ වගකිව යුතු යැයි සොයාගන්නා පිරිස සහ යුද්ධයේ අවසන් අදියරේදී බලය ක්‍රියාත්මක කළ රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් අංග අතර යම් පැතිරීමක් හෝ සබැඳියාවක් පැවතීමට ඉඩ කඩ පවතී.
පූර්වාදර්ශයක් සැපයීම
යුධ සමයේ සිදු වූ අතවර සහ අපයෝජන පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව වසර ගණනාවක සිට දැඩි වෙහෙසක් ගෙන ඇත. මෙම ප්‍රශ්නය දේශපාලනික වශයෙන් සංවේදී එකක් ලෙස පැවතුණේ, බොහෝදෙනෙකු විසින් යුධ වීරයන් ලෙස සලකනු ලැබූ පිරිසකගේ හැසිරීම් රටාව මීට ස්පර්ශ වන බැවිනි. එසේ වුවද, සාක්ෂි පවතින විට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් පවා විමර්ශන පවත්වා ඔවුන් වගකීමට බැඳිය හැකි බව පාස්කු ඉරිදා විමර්ශන මඟින් තහවුරු කරන්නේ නම්, එය ඉතා වැදගත් පූර්වාදර්ශයක් වනු ඇත. පාස්කු ඉරිදා විමර්ශන සහ ඉන් පසුව සිදුවන අධිකරණ ක්‍රියාවලිය තුළින් මෙම බාධාවන් ඉවත් වූ පසු, චෙම්මනී වැනි ස්ථානවලින් දැනට ඉතා වෙහෙස මහන්සි වී සාක්ෂි අනාවරණය කරගනිමින් පවතින, යුධ සමයේ සිදුවූ අපයෝජනයන්ට අදාළ චෝදනා පිළිබඳව කටයුතු කිරීම වඩාත් පහසු වනු ඇත. මෙය අන්තර්ජාතික වශයෙන්ද ශ්‍රී ලංකාව පසුවන ස්ථානය ශක්තිමත් කිරීමට හේතු වනු ඇත.
2009 වසරේ යුද්ධය අවසන් වූ තැන් සිට, රට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විවිධ මට්ටමේ දැඩි නිරීක්ෂණයන්ට ලක්ව ඇත. අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ සාක්ෂි එකතු කිරීම සහ සුරක්ෂිත කිරීම අඛණ්ඩව කරගෙන යාම සඳහා 2025 ඔක්තෝබර් මාසයේදී කවුන්සිලය විසින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වරම අලුත් කරන ලදී. ශ්‍රී ලංකාව පිළිබඳ මීළඟ සමාලෝචනය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදීය. ශ්‍රී ලංකාවට තම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට අනුකූලව සහ තමන්ගේම ආයතන හරහා මෙවැනි දුෂ්කර ගැටලුවලට විසඳුම් සෙවීමට හැකියාව ඇති බව පෙන්වීමට රජයට දැන් අවස්ථාවක් ලැබී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන ඉදිරියට ගෙනයාමට ඇති කැපවීම දෙස බැලිය යුත්තේ එම දෘෂ්ටිකෝණයෙනි. වින්දිතයන් බවට පත්වූවන් නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නේ තම ආදරණීයයන්ට සිදු වූයේ කුමක්ද සහ රජයේ බලධාරීන්ට මෙන්ම පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාවලට තමන් විසින් ලබා දුන් තොරතුරුවලට කුමක් සිදුවූයේද යන්නයි. වගවීම සහ ජාතික අයිතිය එකට යා හැකි බව පෙන්වීමට ලැබෙන අවස්ථාවන් මේවාය.
සංහිඳියාව උදෙසා සත්‍යය අවංකව මතක තබාගැනීමේ දුෂ්කර කාර්යය අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව බොහෝ විට ස්ථාවරත්වය ළඟාකර ගැනීමට උත්සාහ කර ඇත්තේ මෙවැනි දුෂ්කර ප්‍රශ්න කල් දැමීමෙනි. එහෙත් නොවිසඳුණු දුක්ගැනවිලි එලෙසම අතුරුදහන් නොවේ. ඒවා පරම්පරා ගණනාවක් පුරා පවතින අතර දේශපාලන ආකල්ප සහ වාර්ගික සබඳතා හැඩගැස්වීමට අඛණ්ඩව බලපායි. ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ඉහළට පැමිණීම සැමරිය යුතු ජයග්‍රහණයකි. එහෙත් සාමයේ සැබෑ මිනුම ගැටුම් නොමැති වීම පමණක් නොවේ. එය පොදු ආයතන කෙරෙහි පවතින යුක්තිය, විශ්වාසය සහ සහතිකයයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, පාස්කු ඉරිදා විමර්ශන සහ අතුරුදන්වූවන් පිළිබඳ සත්‍යය සෙවීම සම්බන්ධයෙන් රජය දක්වන කැපවීම්වලින් හැඟීයන්නේ පැරණි ප්‍රවේශයන්ගේ කාලය දැන් අවසන් වී ඇති බවට වන අවබෝධයයි. අතීතයේ පැවැති රටාවන්ගෙන් මිදීමට රජයට දැන් අවස්ථාවක් තිබේ. එහි සැබෑ පරීක්ෂණය පවතින්නේ එය ක්‍රියාවට නැංවීම මතය.