
සුමනසිරි ලියනගේ
ලෙනින් වරෙක මෙසේ ලීවේ ය. ගින්න දල්වන්නේ කුමන ගිනිපුපුරකින් දැයි අප නොදන්නවා පමණෙක් නොව එය අපට දැන ගන්නට හැකි වන්නේද නැත. පහුගිය සති කිහිපය පුරා අප දුටුවේ සහ අපට අසන්නට ලැබුනේ නොකඩවා සහ හැම ගොවි පලාතකම කෙරෙන උද්ඝෝෂණයන් ගැනය. ගොවි නැගිටීම් ඇරඹී ඇත. එය සතුටට කරුණකි. ජාතික ජන බලය ආංඩුවේ විශේෂයෙන් එහි කෘෂිකර්ම ඇමතිවරයාගේ උද්ධච්චකම මේ බලය මගින් නිෂේධනය කළ යුතුමය. එයට ප්‍රමාණවත් ශක්තියක් ගොවිනට ඇත. මේ මොහොතේ ආසන්නම ප්‍රශ්නය වී ඇත්තේ වී සාධාරණ මිලකට විකුණා ගැන්මට ගොවිනට නොහැකි වීමය. ආංඩුවට ඊට උත්තරයක් නැත. ඇමතිවරුන් දෙදෙන කියන්නේ ආංඩුව “සාමාන්‍ය විධියට” ක්‍රියා කර ඇති බවකි. එය ඇත්තක්නම් පෙනීයන්නේ කුමක්ද? ඊනියා සාමාන්‍ය විදිය අදට ප්‍රමාණවත් නොවන බවය. එසේනම් එය වෙනස් කළ යුතුවේ. ගොවීන් ජාතික ජන බලය ආංඩුවක් බලයට ගෙන ආවේ ඒ සදහා ය. සාමාන්‍ය විධිය නුසුදුසු හෙයිනි. ලංකාවේ ජනගහනයෙන් හා භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් දරා සිටින ගොවි ජනයාට ඊට ප්‍රමාණවත් ශක්තියක් ඇත.
ගොවි උද්ඝෝෂණ සහ ගොවි කැරලි ගැන හැමරටකම අතීතයේ සිට අසන්ට ලැබේ. චියැංකා යි සෙක් ගේ රූකඩ ආංඩුව පෙරළා දැමුනේ සන්නද්ධ ගොවි ජනතාව ගේ සටනකිනි. වසර කිහිපයකට පෙර ඉන්දියාවේ ගොවි ජනතාව නරේන්ද්‍ර මෝධි ගේ ආංඩුව ගෙනා පනත් තුනක් යළි අකුලා ගැන්මට බලකර සිටියහ. ලොව පුරා මෙවන් වාර්තා බොහොමයකි. ලතින් ඇමරිකානු ඉතිහාසය ගොවි සටන් වලින් පිරී ඇත. හැම ගොවි සටනක්ම ජයග්‍රහණය නොකළද මානව ඉතිහාසය පුරා ගොවීහු සටන් කළහ. ඌව වෙල්ලස්ස ගොවීහු බ්‍රිතාන්‍ය ආංඩුවට එරෙහි දැවැන්ත සටනක් දියත් කළෝ ය. හනා ආරෙන්ඩ්ට් වරෙක සදහන් කළ පරිදි, විප්ලවයක් සහ සටනක් යනු සත්‍ය සංසිද්ධියකි. එය ජයගත්තේද නැත්ද යන්න අදාල නොවේ.
මෙරට ගොවි ජීවිතය කෙරෙහි බල පෑ සිද්ධින් තුනක් දැක්විය හැක. පළමුවැන්න, ජනපද පිහිටවීම ය. මැදි මට්ටමේ ඉඩම් හිමි සමාජ පංතියක් ඒ හරහා බිහි කෙරින. දෙවැන්න, සහල් භාණ්ඩයක් බවට පත් වීමය. මෙහිදී, අප භාණ්ඩයක් ලෙස නම් කරන්නේ මාක්ස් අනුව යමින් විකිණීම සදහා කෙරුන නිෂ්පාදනයක්ය යන තේරුමෙනි. ගොවින්ගෙන් වැඩි පිරිසක් තමා නිෂ්පාදනය කරන සහල් මුලින් විකුනා පසුව පවුලේ පරිභෝජනය සදහා සහල් වෙළඳ පොලෙන් මිලදී ගනිති. තෙවැන්න, හරිත විප්ලවය ය. වෙනවෙනම සාකච්ඡාවට ගත්තද මේ සිද්ධින් අතර සම්බන්ධයක් පවතී. මේ වනවිට මේ හැම අංශයකම අර්බුද මතුව ඇත. ගොවිබිම් කැබලි වී වගා ඒකකය කුඩා වී ඇත. බහුතර ගොවීන් වගා කරන්නේ අක්කර බාගයකට අඩු බිමක ය. ඔවුනට ගොවිතැනෙන් පමණක් පවුල නඩත්තු කළ නොහේ. මීට සමාන්තරව ඉඩම් බද්දට ගෙන අක්කර 20- 25 වගාකරන ගොවි පංතියක් ද බිහි වී ඇත. මෙකී වෙනස්කම් සමග ගොවි ආර්ථිකය අද වෙළඳ පොල ආර්ථිකයක් ලෙස වර්ධනය වී ඇත. මෙහි දී වඩාත්ම තීරණාත්මක වන්නේ හරිත විප්ලව ක්‍රියාවලිය ය.
1970 ගණන්වල එවකට තිබූ ආංඩු ගොවියාට පැකෙජයක් ඉදිරිපත් කළහ. ඒ හරිත විප්ලව (green revolution) විසදුම ය. කෘෂි සහ ග්‍රාමීය සමාජයේ මතුවන උද්ඝෝෂණ, සහ කැරලි හරහා ඇතිවිය හැකි වාමාංශික හෝ ලෝහිත විප්ලව ඇතිවීමේ සම්භාවතාවය මෙකී හරිත විප්ලව මගින් නිෂ්ප්‍රභා වෙතැයි අපේක්ෂා කෙරින. වාමාංශික බුද්ධිමතුන් පවා හරිත විප්ලව ප්‍රපංචය නිසා තැති ගැනින. මා මුලින්ම හරිත විප්ලවය ගැන ඇසුවේ මගේ ගුරුවරයෙකු වූ මහාචාර්ය බුද්ධදාස හේවාවිතාරණ මහනුවර සමසමාජ ලෝකලයට කර දේශනයකින් ය. ඒ දේශනයේ දී, හේ වැඩි අවධාරණයක් කළේ ඉහළ අස්වැන්නක් ගෙනදෙන වී වර්ග (high-yielding varieties) ගැන ය. එම වී වර්ගයන් ඉක්මන් අස්වැන්නක් ලබා දේ. බෙහෙවින් ඇවසි වන්නේ හිරු එලිය ය. වගාවට අවශ්‍ය වතුර ප්‍රමාණය සාපේක්ෂව අඩු ය. මහාචාර්ය හේවාවිතාරණ එවකට හරිත විප්ලවය ගැන තිබූ දැනුම සාරාංශ කර ඉදිරිපත් කළේ වමට ඒ මගින් ඇතිවන අභියෝගය අවධාරණය කිරීමට ය.
හරිත විප්ලවය, වැඩි අස්වැන්නක් හා හොද ආදායමක් ලොව පුරා ගොවිනට පොරොන්දු විය. ඒ පැකෙජය ගොවිනට ආකර්ෂණීය එකක් කරන්නට එවකට ශ්‍රී ලංකාවේ ආංඩුවද ලොකු මහන්සියක් ගත්හ. කෘෂි ව්‍යාප්ත සේවා පුලුල් කිරීම මගින් හරිත විප්ලව තාක්ෂණය ගොවීන් වෙතට යැවින. හරිත විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා තිරිගු සහ වී නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ නැගින.
හරිත විප්ලවය ක්‍රියාත්මක වී වසර ගණනාවක් ගතවන විට එහි දුර්ගුණ පෙනෙන්නට විය. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ ටෙරී බයර්ස් මට මතක හැටියට Journal of Peasant Studies සගරාවෙහි ඉන්දියාව තුළ හරිත විප්ලවය ක්‍රියාත්මක වූ ආකාරය ගැන විශිෂ්ට ලිපියක් පළකළේ ය. එසේ වුවද, ඔහු එම ලිපියේදී සාකච්ඡා කළේ හරිත විප්ලවයේ එක් මානයක් ගැන පමණි. එනම්, නව කෘෂිකාර්මික නිෂ්පාදන මාදිලිය (new agrarian mode of production) ට සමාන්තරව ඉන්දීය කෘෂිකර්මය තුළ නිෂ්පාදන සම්බන්ධතා වෙනස් වූ ආකාරය ගැන ය. කෘෂි සමාජයේ පංති බේරීම් සහ කෘෂි යන්ත්‍රසූත්‍ර භාවිතයේ වර්ධනය ගැනය.
මගේ මතකය අනුව, හරිත විප්ලවය සමග ඇති වූ කෘෂි-පාරිසරික වෙනස්කම් ගැන හේ අවධානයක් යොමු නොකළේ ය. විශේෂයෙන් හරිත විප්ලවය දිග හැරෙන විට ඉහළ අස්වැන්න පවත්වා ගැන්මට සහ එකී බීජවල දරාගැන්මේ හැකියාව අඩුවීම නිසා කෘෂි රසායන භාවිතය ඉහළ නැගින. අද වනවිට හරිත විප්ලව පැකෙජය යල්පැනගොස් ඇත. අස්වැන්න අඩු වී ඇත. පස මැරීගොස් ඇත. ගොවියා බහුජාතික හා ජාතික කොම්පැණිකාරයන්ගේ අගති සූරකෑමට යටකර ඇත. මේ සන්දර්භය තුළ අද සහල් නිෂ්පාදනය ආනයනය කළ යෙදවුම් මත රැදුන නිෂ්පාදනයකි. එ පමණෙක් නොවේ ගෝලීය මිල සමග පිරිවැය දැඩි ලෙසන් බැදී ඇත. ඒ අනුව තවදුරටත් හරිත විප්ලව පැකෙජය “සාමාන්‍ය විදිය” ලෙස සලකා කටයුතු කරන දේශපාලනයකට අවකාශයක් නැත.
අද කෘෂිකාර්මික ප්‍රශ්නයේ දේශපාලනය ඉල්ලා සිටින්නේ නව පැකෙජයකි. එම පැකෙජය පිරිවැය අඩු, මිල වැඩි එනයින් ගොවියාට වාසි ගෙනෙන පරිසරයට, පසට හා ජලයට හිතැති එකක් විය යුතුවේ. මෙය දේශපාලන ප්‍රශ්නයකි. තවඩ් මා ඒ පිළිබඳ විශේෂඥයෙකු නොවේ. එහෙත් ඒ පැකෙජය නිර්මාණය කොට ඊට ආකර්ෂණීය පැහැයක් දීමට ඇවසි දැනුම කෘෂි-පරිසර විද්‍යාව අද දියුණු වී ඇත. එහෙත් එහිදී ග්‍රාමීය නිෂ්පාදන සම්බන්ධතා වෙනස් කළ යුතුවේ. එය තාක්ෂණයෙන් එහා ගිය දේශපාලන ප්‍රශ්නයක් වන්නේ එහෙයිනි.