1 December, 2020

Blog

කතා කිරීමට ඇති නිදහස සහ වගවීමට බැඳ ගත හැකි වීම යහපාලනයේ අත්තිවාරමයි

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ආණ්ඩුව පිළිබඳ මහජන විවේචන වැඩි වෙමින් තිබේ. විපක්ෂයේ විවේචන අප අපේක්ෂා කළ යුත්තකි. මැතිවරණයක් ළඟ එන අවස්ථාවක ආණ්ඩුවක දුර්ගුණ සොයා යාම විපක්ෂයක සිරිතයි. කෙසේ වෙතත්, දැන් ආණ්ඩුව විවේචනයට ලක්වන්නේ විපක්ෂයෙන් පමණක් නොවේ. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පාර්ශ්ව ඇතුළු මහජනතාවගෙන්ද ඒ පිළිබඳ විවේචන මතු වෙමින් තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී ඉස්මතු වූ ප‍්‍රධාන කාරණාද්වය වුණේ පාලකයන්ගේ දූෂණය සහ බල අපහරණයයි. හිටපු ආණ්ඩුවේ එක්සත් කම, ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමත් සමගම බිඳුණේ, එකී කාරණා මුල්කොට ගෙන ය.

අද එල්ල වන විවේචනවලින් බහුතරය පදනම් වන්නේ, හිටපු ආණ්ඩුවේ දූෂණ චෝදනාවන්ට ලක්වූ සහ බලය අපහරණය කිරීමට මුල් වූ පුද්ගලයන්ට එරෙහිව මේ ආණ්ඩුව විසින් නිසි පියවර නොගැනීම මත ය. කෙනෙකු දෙන්නෙකු පොලිස් ප‍්‍රශ්න කිරීම්වලට ලක්වී ඇතත්, ඒ අතරේ බරපතලම වැරදිකරුවෝ තවමත් නිදැල්ලේ හැසිරෙති. මේ අතර තවත් අළුත් කාරණයක් නිසාද ඉහත කී විවේචනය තීව‍්‍ර වී තිබේ. මහ බැංකුව විසින් නිකුත් කළ බැඳුම්කර හරහා අයථා ලාභයක් ලබා ගැනීමට ඇතැමුන්ට අවස්ථාව සැලසීම සහ ඊට සමාන පාඩුවක් රජයට සහ රටට සිදුකර ගැනීම හේතුකොටගෙන, අළුත් ආණ්ඩුව ගැන එතෙක් ජනතාව තැබූ විශ්වාසය පළුදු වී තිබේ. කෙසේ වෙතත් මෙහි ඇති සිනහවට කාරණය වන්නේ, පරණ ආණ්ඩුවේ දූෂණය සහ බල අපහරණය අරභයා බරපතල චෝදනා ලැබූ පිරිස්ද දැන් මේ මහබැංකු සිද්ධියට එරෙහිව වීදි බැස සිටීමයි.

මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් තමන් තෝරාගත් පුද්ගලයා ආරක්ෂා කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුව ඉදිරියේ දීර්ඝ පැහැදිළි කිරීමක් කෙළේය. ඒ අතරේ, කලින් තිබූ ආණ්ඩු විසින් කරන ලද අයථා ක‍්‍රියාවන්ද ඔහු විස්තර කෙළේය. කෙසේ වෙතත්, අදාළ බැඳුම්කර සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් මහබැංකු අධිපතිවරයා රාජකාරියෙන් නිවාඩු ගෙන ඇති බවත් ඔහු දැන්වීය. මෙය, හිටපු ආණ්ඩුවේ දූෂණ වංචාවන්ට සම්බන්ධ විවේචන ඉදිරියේ එම ආණ්ඩුව එදා අනුගමනය කළ ක‍්‍රියාකළාපයට වඩා ගුණාත්මක වෙනසක් පෙන්නුම් කරයි. ඒ වසර දහය තුළ, විශේ්ෂයෙන් එහි අවසන් කාලය තුළ දූෂණය ගැන නැගුණු කප්පරක් චෝදනා තිබුණි. ඒවා ගැන මහ උද්ඝෝෂණයක් ඇති වුණේ නම් නැත.

Namalමහබැංකුවේ හිටපු අධිපතිවරයා බැංකු සංඛ්‍යා ලේඛන කූට ආකාරයෙන් වෙනස් කළ බවට චෝදනා නැගුණි. විදේශ ප‍්‍රචාරක සමාගම්වලට ඔහු අසීමාන්තික ගෙවීම් කර ඇති බවට චෝදනා නැගුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් එදා කිසිවක් සිදුවුණේ නැත. එකල මහබැංකු අධිපතිවරයා හැසිරුණේ, බල්ලෝ බිරුවාට කඳු පාත් වෙන්නේ නැතැ යි සිතාගෙන මෙනි. මේ සිදුවීම් ගැන එදා මහජන විරෝධයක් නොනැගුණේ, ආණ්ඩුව විවේචනය කිරීම ගැන ජනතාව තුළ තිබුණු භීතිය නිසා ය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට තමන්ට රිසි සේ කටයුතු කරගෙන යාමට හැකි වුණේ, නීතිය ඔවුන්ට එරෙහිව ක‍්‍රියාත්මක නොවුණු නිසා ය. මේ තත්වය, පසුගිය ජනාධිපතිවරණයේ පටන් අද වන විට බරපතල වෙනසකට ලක්ව තිබේ.

භීතිය තුරන්ව ගොසිනි

මහබැංකු බැඳුම්කර අරභයා ඇති වී තිබෙන මහජන විවේචනයත්, ඒ විසින් ආණ්ඩුව මත ඇති කරනු ලැබ තිබෙන බලපෑමත් හරහා පෙන්නුම් කෙරෙන්නේ, ආණ්ඩු වෙනසින් පසු තත්වය මොන තරම් වෙනස්ව ඇත් ද යන කාරණයයි. මහජන විවේචනය එදා නිහඬ කළ භීතිය දැන් නැත. ආණ්ඩුව ගැන අද මිනිස්සු බිය නොවෙති. සුදු වෑන් ගැන බියක් අද නැත. දින 100 නියමිත කාලය තුළ දුන් පොරොන්දු එයාකාරයෙන්ම ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් විය හැකි වෙතත්, සමාජය මත එදා මුදාහැර තිබූ තර්ජනාංගුලිය පිළිබඳ භයංකාර මනෝ භාවය අද ඇත්තේ නැත.

එකී භීතිය තුරන් වීම වැඩියත්ම දකින්ට ලැබෙන්නේ, බොහෝ කලකට පසු සාමාන්‍ය සමාජ තත්වයකට පිළිපන්, උතුරු සහ නැගෙනහිර පළාත්වලදී ය. මෑතකදී මඩකලපුවේ පවත්වන ලද වැඩමුළුවකට සහභාගී වූ පිරිස්, ඉස්සර මෙන් එවැනි වැඩමුළුවලට සහභාගී වීමට පැකිලීමක් සහ බියක් දැන් තමන් තුළ නැති බව අවධාරණය කළහ. ඒ නිසාම, ඉස්සරට වඩා විශාල සහභාගීත්වයක් ද එහිදී දකින්ට ලැබුණි.

මේ වැඩමුළුවට සහභාගී වූ පිරිස් එහි ආවේ මන්දැ යි මා ඇසූ විට ඔවුන්ගේ පිළිතුර වුණේ, රටේ සිදුවන දේවල් ගැන දැන ගැනීමට තමන් තුළ ඇති ආශාව නිසා එහි පැමිණි බවයි. තමන්ගේ ජීවිත පිළිබඳ තීන්දු ගන්නා බල කේන්ද්‍රයේ සිදුවන දේවල් ගැන තොරතුරු සහ ආරංචි තමන්ට නිසි පරිදි නොලැබෙන බවට හැඟීමක් ඒ සමාජයේ දක්නට ලැබේ. මේ නිසා තමන් කිරීමට අපේක්ෂා කරන දේවල් ගැන සේම, මෙතෙක් තමන් විසින් කරන ලද දේවල් ගැනත් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබේ. එසේ නොමැතිව, අළුත් අණපනත් පැනවීම සහ මහපරිමානයේ ප‍්‍රතිපත්ති තීන්දු ගැනීම පමණක් තමන්ගේ වගකීමක් කොට සළකමින්, ඒවාට අදාළ අධ්‍යාපනික වැඩසටහන් සිවිල් සමාජය විසින් හෝ මාධ්‍ය විසින් පමණක් ඉටු කරතැ යි ආණ්ඩුව අපේක්ෂා නොකළ යුතුය.

දූෂණ පිළිලයට එරෙහිව ක‍්‍රියාත්මක වීම සඳහා කාර්යක්ෂම ක‍්‍රියා පද්ධති සකස් කරන බවට ආණ්ඩුව ප‍්‍රතිඥා දී තිබේ. ඒ සඳහා ඉතා වැදගත් වනුයේ, ස්වාධීන රාජ්‍ය සේවාවක්. ස්වාධීන අධිකරණයක් සහ ස්වාධීන පොලීසියක් ය. එවැනි ආයතන මගින්, දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින අයවළුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා අල්ලස් කොමිසම වැනි වෙනත් ආයතනද බලගන්වනු ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමගින් මේ නව ක‍්‍රමය යථාර්ථයක් බවට පත්වෙනු ඇත. ඒ දක්වා, වැරදිකරුවන්ට එරෙහිව කටයුතු කිරීමට නව රජයට අපහසු වනු ඇත. මේ අතර, තම ආණ්ඩුව කරන්නේ කුමක්දැයි යන්න ගැන ජනතාව දැනුවත් කිරීම, විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම ආණ්ඩුවේ සාමාජිකයන් උරදිය යුතු කාර්ය භාරයකි. එයාකාරයෙන්, සංවර්ධනය සහ ජාතික සංහිඳියාව දක්වා යන ගමනට මහජනතාව සහභාගී කරගත යුතුව තිබේ.

ප‍්‍රතිෂ්ඨාපිත අයිතීන්

මේ ආණ්ඩු වෙනසට කලින් ඉහත කී වර්ගයේ වැඩමුළුවක් මඩකලපුවේ පැවැත්විණි නම්, අන් සියල්ලට වඩා ජාතික ආරක්ෂාව වැදගත් වන්නේය යන තර්කය මත එය නානා වර්ගයේ ආරක්ෂක විධිවිධානවලට යටත් කෙරෙනු නොඅනුමානයි. සාමාන්‍ය ඇඳුමින් සැරසුණු බුද්ධි අංශයේ නිලධාරීන් මෙවැනි ස්ථානවලට අනාරාධිතව පැමිණ වාඩි වී සිටිනු මීට පෙර දැක තිබේ. තවත් විටෙක නිල ඇඳුමින්ම එන සන්නද්ධ ආරක්ෂක නිලධාරීහු, රැුස්වීමට සහභාගී වන්නන්ගේ නාම ලේඛනය ඇතුළු, රැුස්වීම පිළිබඳ විවිධ තොරතුරු ඉල්ලා සිටිති.

මඩකලපු වැඩමුළුවේදී ප‍්‍රකාශයට පත් අදහස වුණේ, ආණ්ඩුව තවදුරටත් මර්දනකාරී බලයක් වශයෙන් නොසැළකෙන බවයි. දැන් එය සැළකෙනු ඇත්තේ, ප‍්‍රශ්න විසඳා ගැනීමට සහාය වන සම්ප‍්‍රදායික අර්ථයේ මැදිහත්කරුවෙකු වශයෙනි. ඒ සම්බන්ධයෙන් කිරීමට තව බොහෝ දේවල් තිබේ. කෙසේ වෙතත්, උතුරේ හෝ නැගෙනහිර හෝ රටේ වෙනත් ඕනෑම තැනක තවමත් පවතින පොදු අදහස වන්නේ, සංවර්ධනයේ නියාමකයෙකු වශයෙනුත්, ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා සිටින ආයතනයක් වශයෙනුත් ආණ්ඩුව දෙස බැලීමට ඇති නැමියාවයි. එය ආණ්ඩුවකට තනියෙන් කළ නොහැකි නිසා, කේන්ද්‍රයේ බලය තවදුරටත් පළාත්බදව බෙදා හැරීමක් සහ පළාත් ආණ්ඩුකරණය වඩාත් ශක්තිමත් කිරීමක් අවශ්‍ය කෙරේ.

බියෙන් තොරව ජීවත් වීමට ඇති නිදහස, සීමාවන්ට යටත් නොවී රැුස්වීමට ඇති නිදහස සහ පළිගැනීමට ලක් නොවී අදහස් උදහස් ප‍්‍රකාශ කිරීමට ඇති නිදහස අති මූලික මානව හිමිකම් වන්නා සේම, යහපාලනයේ අත්තිවාරම්ද වන්නේය. මේ ප‍්‍රතිෂ්ඨාපිත අයිතීන් යම් සමාජයක ඇත්තේ නම්, වැඩි කල් නොගොස් යහපාලනයත් ස්ථාපිත වන්නේය. යහපාලන වේදිකාවක් හරහා බලයට පත් ආණ්ඩුව මෙතරම් ඉක්මණින් විවේචනයට ලක්වීමෙන් පෙනී යන්නේ, සිවිල් සමාජය ශක්තිමත් වී ඇති බවකි. දූෂණය සහ බල අපහරණය, අපේ සමාජය සහ ආණ්ඩු ව්‍යුහයන් තුළ කිඳා බැස ඇති, පිළිලයන් ය. ඒවා මුලිනුපුටා දැමීමට යම් කාලයක් ගත වනු ඇත. එකී අගතීන් ගැන බියෙන් තොරව විවේචනය කිරීමට පුරවැසියන්ට දැන් ලැබී ඇති නිදහස ඉතා වැදගත් ය. එම නිදහස ලබා දීමේ ගෞරවය හිමිවන්නේ නව ආණ්ඩුවට ය.

*2015 මාර්තු 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ Freedom To Speak & Hold To Account Is Basis Of Good Governance නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.