
ජෙහාන් පෙරේරා
චෙම්මනි සමූහ මිනීවළ පැවැති ස්ථානය අද වන විට උතුරේ මහජන අවධානයට ලක්වූ ප්රධාන කරුණක් බවට පත්ව ඇති අතර, එය දෙමළ ජනතාව හමුවේ රජයේ විශ්වසනීයත්වයට ද අභියෝගයක් වී තිබේ. මාස ගණනාවක් තිස්සේ සිදුකළ කැණීම් සහ මිනිස් සැකිලි 580 කට වැඩි සංඛ්යාවක් ගොඩගැනීමෙන් අනතුරුව, ශ්රී ලංකාවේ ප්රමුඛතම වෝහාරික පුරාවිද්යාඥ මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවක් මගින් නිගමනය කර ඇත්තේ, අපරාධකාරී ක්රියාකාරකම් සහ සාම්ප්රදායික නොවන භූමදානයන් පිළිබඳ සලකුණු සහිත රහසිගත භූමදාන ස්ථානයකට වඩා, මෙම ස්ථානය විධිමත් සුසාන භූමියකට වැඩි සමානකමක් දක්වන බවයි. මෙම භූමදානයන්හි ස්වභාවය සහ සිදු වූ ආකාරය හා තත්ත්වයන් නිරවුල්ව තහවුරු කිරීමට පවතින සාක්ෂි ප්රමාණවත් නොවන බව ද එම වාර්තාව පිළිගනී. මහාචාර්ය සෝමදේවගේ පෙර අතුරු වාර්තා දෙකට වඩා බෙහෙවින් වෙනස් වූ මෙම සොයාගැනීම්, දෙමළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ අතුරුදහන්වූවන්ගේ පවුල්වල දැඩි කණගාටුවට හා කලකිරීමට හේතු වී ඇත. විද්යාත්මක සත්යය තහවුරු කිරීම අත්යවශ්ය වන අතරම, විමර්ශනය සාධාරණ, ස්වාධීන සහ පාරදෘශ්ය ලෙස සිදුවන බව තහවුරු කිරීම ද එලෙසම වැදගත් වේ.
මෙම ආන්දෝලනාත්මක තත්ත්වය, 2018 මාර්තු මාසයේදී මන්නාරම නගර මධ්යයේ පිහිටි ඉදිකිරීම් භූමියකින් සොයාගන්නා ලද, තවමත් අවසාන නිගමනයකට එළඹ නොමැති මන්නාරම සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනය නැවත මතක් කර දෙයි. ෆ්ලොරිඩාවේ රසායනාගාරයකදී සිදුකළ සමහර සාම්පලවල විකිරණශීලී කාබන් කාලනිර්ණය (Radiocarbon dating) මගින් ඒවා වසර 600 කට පමණ පැරණි බව පෙන්නුම් කළේය. අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කණ්ඩායම් තර්ක කළේ, මෙම සොයාගැනීම මගින් සියලුම ශේෂයන්හි කාලසීමාව තහවුරු කළ නොහැකි බවයි. කැණීම් අතරතුර හමු වූ සාම්පල පරීක්ෂාවට ලක්නොකළ කොටස් සහ සාපේක්ෂව මෑත කාලීන වස්තූන් පෙන්වාදෙමින් ඔවුහු ඒ බව කියා සිටියහ. වාර්තා වන අන්දමට ඊට 1980 ගණන්වල බිස්කට් දවටනයක් සහ දෑත් විලංගු දමා මාංචු දමා තිබූ සැකිල්ලක් ද ඇතුළත් විය. සීමිත විද්යාත්මක සාක්ෂි මත පමණක් පදනම්ව මුළු භූමදාන භූමියම පිළිබඳව නිගමනවලට එළඹීමේ ඇති අන්තරාය මෙම ආන්දෝලනය මගින් පෙන්නුම් කළේය. චෙම්මනි හිදී ද පවතින්නේ මෙම අන්තරායමය. සමහර ශේෂයන් සාම්ප්රදායික සුසාන භූමියක ඇති ශේෂයන්ට සමාන බව සොයාගැනීමෙන්, එහි භූමදානය කර ඇති සියලුමදෙනා ස්වාභාවිකව මියගිය බව තහවුරු කළ නොහැක.
2013 වසරේ මාතලේ දිස්ත්රික් මහ රෝහලෙන් සොයාගන්නා ලද සමූහ මිනීවළ, සැක සහිත සමූහ මිනීවළවල් පිළිබඳ සත්යය තහවුරු කිරීමේදී ශ්රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා පිළිබඳ තවත් කනගාටුදායක උදාහරණයකි. අස්ථි සැකිලි 154 ක් ගොඩගැනීමෙන් පසුව, භූමදානය කළ කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් එකිනෙකට පටහැණි වෝහාරික මතයන් ඉදිරිපත් විය. ඊට 1980 ගණන්වල අගභාගය පෙන්නුම් කළ සොයාගැනීම් මෙන්ම, ඊට වඩා පැරණි ඓතිහාසික යුගයක් සපයන පසුව සිදුකළ විකිරණශීලී කාබන් ප්රතිඵල ද ඇතුළත් විය. සාම්පල තේරීම, ඒවා තහවුරු කිරීම සහ විමර්ශනයේ ප්රමාණවත්භාවය පිළිබඳව ද ප්රශ්න මතුවිය. මෙම විසඳා නොමැති ගැටලු මගින් වෝහාරික සාක්ෂි පිළිබඳ ස්වාධීන පරීක්ෂාවක, පාරදෘශ්ය ක්රියා පටිපාටීන්හි සහ තරගකාරී සොයාගැනීම් අතර ඇති පරස්පරතාවන්ට විශ්වසනීය පැහැදිලි කිරීමක ඇති අවශ්යතාව නැවත තහවුරු කරයි. මාතලේ, මන්නාරම සහ චෙම්මනි වෙතින් ලබාගත් පාඩම්, සැකසහිත සියලුම සමූහ මිනීවළවල් විමර්ශනය කිරීම සඳහා වන ජාතික රාමුවකට පදනම් විය යුතුය.
තවදුරටත් සොයා බැලීමක් නැත
යුද්ධය පැවැති සමයේ සිදුවූ අතුරුදහන්වීම් 15,000 කට වැඩි සංඛ්යාවක්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුව (ICRC) වෙත ලියාපදිංචි කර ඇති අතර, තවත් බොහෝ සංඛ්යාවක් වාර්තා නොවී ඇති බවට විශ්වාස කෙරේ. මීට වගකිවයුත්තන් කවුරුන්දැයි හඳුනාගැනීම ඊටත් වඩා විශාල අභියෝගයකි. පුද්ගලයන් අතුරුදහන් වීමට පෙර ඔවුන්ව රැගෙන ගිය අය කවුරුන්දැයි සාක්ෂිකරුවන් විසින් හඳුනාගත් ලේඛනගත සිදුවීම් රාශියක් තිබුණද, අතුරුදහන්වීම් සිදුකළ බවට චෝදනා ලැබ සිටින අයගෙන් ප්රශ්න කරමින් පසු විපරම් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත. එවැනි එක් සිද්ධියක් 1990 සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර විශ්වවිද්යාලයේ සරණාගත කඳවුරේදී සිදු වූ අතර, එහිදී රැකවරණය පතා පැමිණි පිරිසක් බලහත්කාරයෙන් රැගෙන යන ලදී. සාක්ෂිකරුවන්ගේ ප්රකාශ මගින් ඊට වගකිවයුත්තන් හඳුනාගෙන ඇත. යුද්ධය අවසන් වූ 2009 මැයි මාසයේදී ද මෙවැනිම සිදුවීම් සිදු වූ අතර, එහිදී අන් අය ඉදිරියේ හමුදාවට බාර වූ බොහෝදෙනෙකු ඉන් පසුව කිසි දිනෙක දැකගත නොහැකි විය. 1995 දී යාපනය හමුදාව විසින් නැවත අල්ලා ගැනීමේ කාලසීමාව ඇතුළුව, යුද සමයේ අනෙකුත් අවස්ථාවලදී ද මෙලෙස අතුරුදහන්වීම් සිදුවිය.
1996 සැප්තැම්බර් මාසයේදී, එනම් රජය විසින් යාපනයේ පාලනය නැවත ලබාගෙන මාස නවයකට පසුව සිදුවූ ක්රිෂාන්ති කුමාරස්වාමි නම් පාසල් දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟ චෙම්මනි පිළිබඳව මහජන අවධානය යොමුවිය. ඇය සොයාගිය ඇගේ මව, සොහොයුරා සහ පවුලේ හිතවතකු ද එහිදී ඝාතනය කරන ලදී. ඊට වගකිවයුතු සෙබළුන්ට එරෙහිව නඩු පවරන ලද අතර, 1998 දී පුද්ගලයන් හයදෙනකුට මරණ දඬුවම නියම විය. වරදකරු වූ එක් සෙබළකු වූ ලාන්ස් කෝප්රල් සෝමරත්න රාජපක්ෂ චෝදනා කළේ, 1990 ගණන්වල මැද භාගයේදී අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද දෙමළ සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කර චෙම්මනි ප්රදේශයේ භූමදාන කර ඇති බවයි. එකල සිදුකළ කැණීම්වලින් සැකිලි 15 ක් සොයාගන්නා ලදී. කෙසේවෙතත්, බලයට පත් වූ කිසිදු ආණ්ඩුවක් මෙම චෝදනා සම්බන්ධයෙන් ප්රමාණවත් පරිදි ඉදිරි පියවර ගැනීමට අපොහොසත් විය. පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන අනෙකුත් අය පිළිබඳව අද වන විට සාර්ථකව සිදුකරන්නාක් මෙන්, වරදකරු වූ මෙම සෙබළාගේ සාක්ෂිය වර්තමාන ආන්දෝලනය විසඳාලීම සඳහා වැදගත් විය හැක. ඔහුගේ චෝදනා පුරාවිද්යාත්මක සොයාගැනීම්, වෝහාරික සාක්ෂි, සාක්ෂිකරුවන්ගේ ප්රකාශ සහ ඓතිහාසික වාර්තා සමඟ එක්ව විමර්ශනය කළ යුතුය.
මහාචාර්ය සෝමදේවගේ වාර්තාව මගින් ඇතැම් සැකිලි පිහිටා තිබූ ආකාරය, මිනීපෙට්ටිවල කොටස් විය හැකි දේ සහ ළමුන්ගේ ශේෂයන් වැඩි වශයෙන් සාන්ද්රණය වී තිබීම පෙන්වාදෙයි. මෙම භූමදානයන් විධිමත් සුසාන චාරිත්ර හා සම්බන්ධ විය හැකි බව එමගින් යෝජනා කරන අතර, වසංගතයක් හෝ ස්වාභාවික ව්යසනයක් සිදුවීමේ හැකියාව ද මතුකරයි. එසේ වුවද, එමගින් 2020 කොවිඩ් වසංගතය හෝ 2004 සුනාමි ව්යසනය වැනි කිසිදු නිශ්චිත වසංගතයක් හෝ ව්යසනයක් හඳුනාගෙන නොමැති අතර, මරණය සිදුවූ දිනය හෝ මරණයට හේතුව තහවුරු කර නොමැත. එමෙන්ම නීතිවිරෝධී ඝාතනයන් සිදු වූ බවට ඇති හැකියාව ද එමගින් බැහැර කර නොමැත. පසුගිය සතියේ ගොනුකරන ලද නඩුවකදී, අතුරුදහන්වූවන්ගේ පවුල් විසින් මෙම වාර්තාවේ නිගමන අභියෝගයට ලක්කර ඇති අතර, මෙම සාක්ෂි වඩාත් සම්පූර්ණ ලෙස පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටිති. ඇතැම් ශේෂයන් සමඟ පාසල් බෑග් සහ ළමා භාණ්ඩ ඇතුළු පෞද්ගලික ද්රව්ය සොයාගෙන ඇත. ඇතැම් සැකිලිවල දෑත් බැඳ තිබූ බවට කෙරෙන චෝදනා ද කැණීම් වාර්තා සහ වෝහාරික නිරීක්ෂණ හමුවේ තක්සේරු කළ යුතුය. විමර්ශනවල අරමුණ විය යුත්තේ දැඩි විමර්ශනයක් හරහා සත්යය තහවුරු කිරීම සහ සාක්ෂි මෙහෙයවන ඕනෑම තැනකට වගවීම හඹායාමයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ රාමුව
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) සොයාගැනීම් මගින් මෙම ප්රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා වැදගත් රාමුවක් සපයයි. එහි වාර්තාවේ, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයේ ගුණාත්මකභාවයට මෙන්ම එහි ප්රතිඵලය කෙරෙහි ඇති මහජන විශ්වාසයට තර්ජනයක් වන ඌණතාවන් හඳුනාගෙන ඇත. ප්රමාණවත් නොවන වෝහාරික විශේෂඥතාව, විද්යාත්මක කාලනිර්ණය සහ DNA විශ්ලේෂණය සඳහා ඇති සීමිත ප්රවේශය, මුදල් ප්රතිපාදන දුෂ්කරතා සහ සමූහ මිනීවළවල් විමර්ශනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) අනුමත කර නොමැති වීම ඊට ඇතුළත් විය. මෙම නිර්දේශ ක්රියාත්මක කළ යුතුය. විද්යාත්මක කාලනිර්ණය (කාබන්-14 පරීක්ෂණය ඇතුළුව) සහ විශ්වසනීය DNA විශ්ලේෂණයන් සිදුකිරීම සඳහා අවශ්ය අවස්ථාවලදී ස්වාධීන අන්තර්ජාතික විශේෂඥතාව ලබාගත යුතුය. ඥාතීන්ට සංසන්දනය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් සාම්පල ලබාදිය හැකි වන පරිදි DNA බැංකුවක් පිහිටුවිය යුතුය. කැණීම් කරන ලද ප්රදේශයෙන් ඔබ්බට තවත් ශේෂයන් තිබේදැයි තීරණය කිරීම සඳහා භූගත රේඩාර් සමීක්ෂණ (Ground-penetrating radar surveys) ව්යාප්ත කළ යුතුය. විශේෂඥයන්, නීතිඥයන් සහ සිවිල් සමාජය සමඟ සාකච්ඡා කර සකස් කරන ලද සමූහ මිනීවළවල් විමර්ශනය සඳහා වන විධිමත් ක්රියා පටිපාටියක් මගින් සාක්ෂි සුරක්ෂිත කිරීම සහ නිතිපතා මහජනතාව යාවත්කාලීන කිරීම තහවුරු කළ යුතුය.
රාජ්ය නිලධාරීන් විසින් සිදුකරන ලද බරපතල අපරාධ විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට බලය ඇති ස්වාධීන ආයතනයක් පිහිටුවීමට ද මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළේය. යම් ආයතනයක හැසිරීම හා ක්රියාකලාපයම නිරීක්ෂණයට හෝ පරීක්ෂාවට ලක්වන අවස්ථාවලදී මෙය විශේෂයෙන් වැදගත් වේ. සාක්ෂි නොසලකා හැරීම හෝ යටපත් නොකිරීම තහවුරු කිරීමටත්, සාක්ෂි මෙහෙයවන ඕනෑම තැනක වගකීම තහවුරු කිරීමටත් විමර්ශන ප්රමාණවත් තරම් ස්වාධීන විය යුතුය. මන්නාරම සහ මාතලේදී මෙන්ම චෙම්මනි හිදී ද එකිනෙකට තරගකාරී පැහැදිලි කිරීම් ස්වාධීන විද්යාත්මක පරීක්ෂණ හරහා පරීක්ෂා කළ යුතුය. අතුරුදහන්වූවන් පිළිබඳ පරීක්ෂණයක් පක්ෂග්රාහී නොවන, සහනුකම්පිත සහ ඓතිහාසික සන්දර්භය කෙරෙහි අවධානය යොමුකරන එකක් විය යුතුය. පිළිතුරු සොයමින් දශක ගණනාවක් ගතකර ඇති පවුල්වලට තොරතුරු ලබාදිය යුතු අතර සත්යය සෙවීමේ ක්රියාවලියට අර්ථවත් ලෙස සහභාගී වීමට අවස්ථාව ලබාදිය යුතුය.
අතීතයේදී තම ආදරණීයයන් අහිමි වූ සියලුම ජනකොටස්වල ජනතාව, මෙම විමර්ශනය මගින් තම ආදරණීයයන්ට සිදු වූයේ කුමක්දැයි සෙවීමට උත්සාහ කරන බවත්, අතීතයේ මෙන් තවත් එක් රජයේ යටගැසීමක් නොවන බවත් විශ්වාස කළ යුතුය. ඔවුන්ගේ නොඉවසිල්ල හා කලකිරීම මතුවන්නේ දශක ගණනාවක ආයතනික අසාර්ථකත්වය තුළිනි. විශ්වසනීය ක්රියාවලියක් මගින් නව විමර්ශනයක් විශ්වාස කරන ලෙස නිකම්ම ඉල්ලා සිටිනවාට වඩා, එම ඉතිහාසය දෙස අවධානය යොමුකළ යුතුය. බොහෝ පවුල්වලට ඇති ප්රධාන ප්රශ්නය වන්නේ අතුරුදහන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න පමණක් නොව, ඊට වගකිවයුත්තේ කවුරුන්ද යන්න සහ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා නොමැත්තේ මන්ද යන්නයි. පිළිතුරු සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම හුදෙක් රජයේ විශ්වසනීයත්වයට අභියෝගයක් ලෙස නොව, යුක්තිය උදෙසා වන සාධාරණ ඉල්ලීමක් ලෙස සැලකිය යුතුය. තම ආදරණීයයන්ගේ ඉරණම නොදැන සිටියදී පවුල්වලට ඉදිරියට යන ලෙස ඉල්ලා සිටීමෙන් ශ්රී ලංකාවට ස්ථිරසාර සංහිඳියාවක් ගොඩනැගිය නොහැක.