18 June, 2026

Blog

ප්‍රමාදයකින් තොරව ස්ථාවරත්වයේ සිට පරිවර්තනය දක්වා

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

ජාතික සාම මණ්ඩලය විසින් පසුගිය සතියේ සංවිධානය කරන ලද ප්‍රතිසන්ධානය පිළිබඳ සම්මන්ත්‍රණයකදී, රටේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විවිධ ප්‍රජාවන් නියෝජනය කරමින් ආගමික පූජකවරුන්, සිවිල් ක්‍රියාකාරීන් සහ දේශපාලන නියෝජිතයන් 250 කට වැඩි පිරිසක් එක්රොක් වූහ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක ජාතික ප්‍රතිසන්ධානය පිළිබඳ රජයේ ප්‍රවේශය පැහැදිලි කළේය. ඔහු කියාසිටියේ රජය, රටේ ප්‍රකෘතිමත් වීම අදියර තුනක ක්‍රියාවලියක් ලෙස දකින බවයි. පළමු අදියර ස්ථාවරත්වය ළඟාකර ගැනීම වන අතර, දෙවැන්න සංවර්ධනය සහ තුන්වැන්න පරිවර්තනයයි. ප්‍රතිසන්ධානය ඇති වන්නේ එම අවසාන අදියරේදී බව ඔහු ඉඟිකළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එම සම්මන්ත්‍රණයට සහභාගි වීම සහ ඔහු දැක්වූ අදහස්වල පැවති සාධනීය ස්වභාවය එම බලාපොරොත්තුව තවදුරටත් ශක්තිමත් කරයි.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව 2024 දී බලයට පත්වන විට, රට පැවතියේ නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම අර්බුදයකින් මිදෙමින් පවතින වටපිටාවකය. 2022 වසරේ ඇති වූ ආර්ථික බිඳවැටීම හේතුවෙන් ඉන්ධන, ආහාර, ඖෂධ සහ විදුලි හිඟයක් ඇති විය. උද්ධමනය ඉහළ ගිය අතර, විදේශ සංචිත නැති වී ගිය අතර දිගු පෝලිම් දෛනික ජීවිතයේ කොටසක් බවට පත් විය. ඉන් අනතුරුව ඇති වූ දේශපාලන කැළඹීම කෙළවර වූයේ ‘අරගලය’ ව්‍යාපාරය යටතේ පැවැත්වුණු මහජන විරෝධතා මධ්‍යයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙනි. ඉන්පසුව රට පාලනය කරනු ලැබුවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසන්ධානය ගැන කතාකළද, සෘජු මහජන වරමක් නොමැති බවට පුළුල් ලෙස පිළිගැනීමට ලක්වූ නායකත්වයක් විසිනි.

ශ්‍රී ලංකාවේ අතීත අත්දැකීම්වලින් පෙනීයන්නේ ස්ථාවරත්වය සහ පරිවර්තනය සම්පූර්ණයෙන්ම වෙන් වූ අදියරයන් ලෙස සැලකිය නොහැකි බවයි. ප්‍රතිසන්ධානය යම් අනාගත මොහොතක් දක්වා කල්දැමීම, අතීතයේ අසාර්ථකත්වයන් නැවත නැවතත් සිදුවීමේ අවදානමක් මතුකරයි. යම් සුදුසුම මොහොතක් උදාවන තුරු පරිවර්තනය නිමක් නැතිව ප්‍රමාද කළහොත්, එය කල්දැමීමට සැමවිටම අලුත් අර්බුද සහ අලුත් හේතු මතුවනු ඇත. රජයේ ක්ෂණික ප්‍රමුඛතාවය අනිවාර්යයෙන්ම ස්ථාවරත්වය ළඟාකර ගැනීම විය යුතු බවට අමාත්‍ය රත්නායක කරන ප්‍රකාශය, රට පත්ව ඇති අවදානම් සහගත තත්ත්වය පිළිබඳව රජය තුළ ඇති අවබෝධයෙන් පැනනඟින්නකි. පසුගිය වසර දෙක තුළ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යළි ඇතිකිරීමට රජය සැලකිය යුතු මට්ටමකින් සමත්ව ඇත. උද්ධමනය අඩු වී ඇති අතර, හිඟයන් අවසන් වී ඇති අතර පොදු ආයතන යම් මට්ටමකට යථාතත්ත්වයට පත්ව ඇත.

සහතික කළ වෙනස්කම්

අනෙක් අතට, මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඇති වූ බාධාකිරීම් සහ සංචාරක ව්‍යාපාරය, වෙළඳාම මෙන්ම ජීවන වියදමට බලපා ඇති අහිතකර කාලගුණික තත්ත්වයන් ඇතුළු අහිතකර ගෝලීය තත්ත්වයන් හේතුවෙන් රටේ සංවර්ධනය තවදුරටත් අභියෝගවලට ලක්වෙමින් පවතී. මෙහි ඇති අනතුර නම්, ස්ථාවරත්වයේ නාමයෙන් ප්‍රතිසන්ධානය දින නියමයක් නොමැතිව කල් යෑමට ඉඩ තිබීමයි. රජය විසින් පසුවට කල් නොදමා, දැන්මම පරිවර්තනය සඳහා වූ ප්‍රායෝගික පියවර ආරම්භ කිරීමට විපක්ෂය සහ සිවිල් සමාජය සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන්නේ නම් මෙම අනතුර අවම කරගත හැකිය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීම සහ ඔහු දැක්වූ අදහස්වල පැවති සාධනීය ස්වභාවය, ප්‍රතිසන්ධානය උදෙසා ද්විපාර්ශ්වික මැදිහත්වීමක් දැන් සිදුවිය හැකි බවට වූ හැඟීම තවදුරටත් ශක්තිමත් කර ඇත.

ශ්‍රී ලාංකීය දෙමළ සහ මලයාහ (කඳුකර) දෙමළ ප්‍රජාවන්ගේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු මඟින්, පරිවර්තනයක ඇති හදිසි අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල පශ්චාත් යුද සමයෙන් පසුවත් මෙතෙක් විසඳී නොමැති ගැටලු හේතුවෙන් ඇති වී තිබෙන කලකිරීම පිළිබඳව කතා කළේය. යුද සමයේදී අත්පත් කරගත් ඉඩම් සම්බන්ධයෙන් පවතින ආරවුල්, බෞද්ධ විහාරස්ථාන හා සබැඳි මතභේද සහ දේශීය ප්‍රජාවන් තමන්ට අයිති යැයි පවසන ප්‍රදේශවල රජයේ අනුග්‍රහය ඇතිව සිදුකෙරෙන ජනාවාසකරණ කටයුතු පිළිබඳව ඔහු මෙහිදී සඳහන් කළේය. යුද්ධය අවසන් වී දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත්, උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ තවදුරටත් විශාල ලෙස රැඳීසිටීම පිළිබඳව ද ඔහු පෙන්වාදුන්නේය. 2009 වසරේ සන්නද්ධ ගැටුම් අවසන් වූ දා සිට මෙම දුක්ගැනවිලි දෙමළ දේශපාලන කතිකාවේ ප්‍රධාන තැනක් ගෙන ඇත. යුද්ධය හේතුවෙන් අවතැන් වූ පවුල් තම පාරම්පරික ඉඩම් නැවත ලබාගැනීමට තවමත් උත්සාහ කරති. උතුරේ සිවිල් සමාජ සංවිධාන දේශීය පරිපාලනය කෙරෙහි සිවිල් වැසියන් සතු පාලනය වැඩිකරන ලෙසත්, සිවිල් වැසියන්ගේ දෛනික ජීවිතයට මිලිටරි මැදිහත්වීම අවම කරන ලෙසත් නැවත නැවතත් ඉල්ලා සිටිති.

ශාස්ත්‍රීය පර්යේෂණ සහ ප්‍රායෝගික ක්ෂේත්‍ර කටයුතු මඟින් පෙන්වා දී ඇත්තේ ප්‍රතිසන්ධානය යන්න ගෞරවය, සමානත්වය සහ යුක්තිය පිළිබඳ ගැටලුවලින් වෙන්කළ නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් අවධානය යොමුකළේ මලයාහ දෙමළ ප්‍රජාව මුහුණදෙන දිගුකාලීන ගැටලු පිළිබඳවය. නිදහස ලැබූ දා සිට පවතින නිවාස හිඟය, ඉඩම් නොමැතිකම සහ ආර්ථික වශයෙන් කොන්කරනු ලැබීම පිළිබඳව ඔහු ඉතා හැඟීම්බරව කතාකළේය. සාමාජයීය හා ආර්ථික වශයෙන් තවමත් අවදානමට ලක්ව සිටින වතුකරයේ ජනතාවට මෑතකදී ඇති වූ දැඩි අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් එල්ල වූ විනාශකාරී බලපෑම ද ඔහු අවධාරණය කළේය. මලයාහ දෙමළ ප්‍රජාවේ තත්ත්වය ශ්‍රී ලංකාවේ තවමත් පවතින ප්‍රධානතම සමාජ සාධාරණත්වයේ ගැටලුවක් ලෙස පවතී.

1948 නිදහස ලැබීමෙන් පසු, ඔවුන්ගෙන් විශාල පිරිසකට රටක් නොමැති තත්ත්වයට පත් කරමින් පැනවූ නීති සම්පාදනයන් හේතුවෙන් පුරවැසිභාවය සහ ඡන්ද අයිතිය අහිමි විය. අවසානයේදී පුරවැසි අයිතිවාසිකම් යළි ලබා දුන්නද, එලෙස බැහැර කරනු ලැබීමේ සමාජීය සහ ආර්ථික ප්‍රතිවිපාක පරම්පරා ගණනාවකට පසුවත් තවමත් දැනෙමින් පවතී. රටේ වතු ආර්ථිකයට ඔවුන්ගෙන් අතිමහත් දායකත්වයක් ලැබුණද, බොහෝ පවුල්වලට තවමත් ස්ථිර නිවසක් හෝ ඉඩම් හිමිකමක් නොමැත. මෙම ගැටලු දෙකටම අමාත්‍ය රත්නායක මහතා ලබා දුන් පිළිතුරු දේශපාලනික වශයෙන් වැදගත් විය. ඔහු තර්ක කළේ, විවිධ ප්‍රජාවන් අතර පවතින පටු ජාතිවාදී දේශපාලනයේ බලපෑම අවම වීම ඇතුළු මෑතකාලීන දේශපාලන වර්ධනයන් මඟින් මහජන ආකල්පවල විශාල වෙනසක් පෙන්නුම් කරන බවයි. ඔහුට අනුව, දේශපාලන ක්ෂේත්‍රය වෙනස් වී ඇත්තේ, ප්‍රධාන වශයෙන්ම ජාතිවාදී බෙදීම් සහ වාර්ගික අනාරක්ෂිතභාවය මත යැපෙන දේශපාලනඥයින්ට මහජන සහයෝගය රඳවා ගැනීම වඩ වඩාත් දුෂ්කර වන ආකාරයෙනි.

අන්තර් සම්බන්ධිතභාවය

දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම තුළින් අනාගත අපේක්ෂාවන් දකින, වෙනස්වෙමින් පවතින දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ තක්සේරුව සනාථ කිරීමට සාක්ෂි පවතී. 2022 වසරේ ඇති වූ ආර්ථික බිඳවැටීම සියලුම ප්‍රජාවන්ට එක හා සමානව බලපෑ අතර පාලනය, දූෂණ විරෝධය, වගවීම සහ ආර්ථික යුක්තිය කේන්ද්‍ර කරගත් නව දේශපාලනයක් නිර්මාණය කළේය. ‘අරගලය’ විරෝධතා මඟින් දේශපාලන වෙනසක් සඳහා වූ පොදු ඉල්ලීමක් වෙනුවෙන් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකට එක්කළේය. වාර්ගික දුක්ගැනවිලි සම්පූර්ණයෙන්ම නැති වී නොමැති වුවද, රටේ අනාගතය රැඳී පවතින්නේ බෙදීම මත නොව සහයෝගීතාවය මත යන්න පිළිබඳ පුළුල් අවබෝධයක් සඳහා මෙම අර්බුදය ඉඩකඩ නිර්මාණය කළේය. විපක්ෂ නායක ප්‍රේමදාස සම්මන්ත්‍රණයේදී දැක්වූ අදහස්වලින් ද මෙම වෙනස් වන දේශපාලන වාතාවරණය පිළිබිඹු විය. ජාතික ප්‍රතිසන්ධානය යන්න ආර්ථික යුක්තියෙන් සහ විවිධ කලාප මෙන්ම සමාජ පන්ති අතර පවතින අසමානතා මඟහරවා ගැනීමේ අවශ්‍යතාවයෙන් වෙන්කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය. මෙම පණිවිඩය සමාජය වෙත රැගෙනයෑම සඳහා සිවිල් සමාජ සංවිධානවල ඇති අවශ්‍යතාව පිළිබඳව ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ වාර්ගික අසමානතාවය සහ ආර්ථික අසමානතාවය බොහෝවිට එකිනෙකා ශක්තිමත් කරගෙන ඇති බැවින්, ප්‍රතිසන්ධානය පිළිබඳ මෙම පුළුල් අවබෝධය වැදගත් වේ.

නිදහසින් පසු පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීම, මලයාහ ප්‍රජාව දශක ගණනාවක් තිස්සේ පසුපසට ඇද දැමූ ඓතිහාසික අසාධාරණයක් ලෙස ශාස්ත්‍රීය අධ්‍යයනයන් මඟින් හඳුනාගෙන ඇත. දැන් පවතින අභියෝගය වන්නේ මෙම පරිවර්තනය, ස්ථාවරත්වයේ සහ සංවර්ධන ක්‍රියාවලියේම කොටසක් බවට පත්කිරීම සහතික කිරීමයි. ඒ සඳහා ප්‍රායෝගික පළමු පියවරයන් තැබීම සිදුවිය හැක්කක් මෙන්ම අත්‍යවශ්‍ය කාරණයක් ද වේ. තවමත් රජයේ පාලනය යටතේ පවතින සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම, පරිපාලන බලය වඩාත් පුළුල් ලෙස බෙදාහැරීම, සිවිල් කටයුතුවලට මිලිටරි මැදිහත්වීම අවම කිරීම, රාජ්‍ය පරිපාලනය තුළ භාෂා සමානතාවය ඇති කිරීම සහ වතු අංශයේ නිවාස හා ඉඩම් හිමිකම් වැඩසටහන් වේගවත් කිරීම යන මේ සියල්ල, පරිවර්තනයේ අවසාන අදියරක් එනතුරු බලා නොසිට වහාම ආරම්භ කළ හැකි ක්‍රියාමාර්ග වේ.

පළාත් සභා මැතිවරණය අවසානයේ මේ වසරේ පවත්වන බවට රජය මෑතකදී ප්‍රකාශ කළ කැපවීම එබැවින් ඉතා වැදගත් වේ. පසුගිය රජයන් විසින් මෙම මැතිවරණ නැවත නැවතත් කල්දමන ලදී. ඒවා පැවැත්වීමෙන් පමණක් වාර්ගික ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැත. එහෙත් එයින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ අර්ථවත් ලෙස බලය බෙදාහැරීමට ඇති කැමැත්ත පෙන්නුම් කරනු ඇත. වඩාත් පහසු දේශපාලන මොහොතක් උදාවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව දුෂ්කර ප්‍රතිසංස්කරණ නැවත නැවතත් කල් දමා ඇත. එහෙත් අවස්ථාවන් සැමවිටම නිර්මාණය කරගන්නා ඒවා සහ සටන් කර ලබාගන්නා ඒවා මිස, පරාර්ථකාමී රජයකින් තෑග්ගක් ලෙස දෙන ඒවා නොවේ. ආර්ථික අර්බුදයෙන් සහ වගකිවයුතු රජයක් සඳහා වූ මහජන ඉල්ලීමෙන් හැඩගැසුණු වත්මන් මොහොත, ස්ථාවරත්වය, සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය කරා එකවර ගමන් කිරීමට ලැබුණු දුර්ලභ අවස්ථාවකි. පළාත් සභා මැතිවරණය ඒ සඳහා තැබිය හැකි පළමු අර්ථවත් පියවර විය හැකිය. එහෙත් එය කිසිසේත්ම අවසාන පියවර නොවිය යුතුය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.