24 September, 2020

Blog

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට හොඳම වෙලාව දැන්

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ශ‍්‍රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් කෙරෙහි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන්නේ අසහාය දායකත්වයකි. තමාට අභ්‍යාස කළ හැකිව තිබෙන, වර්තමාන විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ අඩංගු බලතල සෑහෙන ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඔහු බෙහෙවින් උර දුන්නේය. 1995 සිට බලයට පත්වූ සෑම ජනාධිපතිවරයෙකුම මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ප‍්‍රතිඥා දී තිබේ. එහෙත් ජයග‍්‍රහණයෙන් පසු ඒ සෑම කෙනෙකුම, ලැබූ බලතල ආරක්ෂා කර ගැනීමට සහ පාවිච්චි කිරීමට වැඩි කැමැත්තක් දැක්වීය. මෛත‍්‍රිපාල සිරිසේන ඒ අර්ථයෙන් ගත් විට වෙනස් කෙනෙකි. 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමට අද පවතින දුෂ්කරතාව ඔහුගේ වරදක් නිසා ඇති වූ තත්වයක් නොවේ.

19 වැනි සංශෝධනයෙන් අරමුණු කෙරුණේ, ජනාධිපතිවරයා සතු බලතල දෙයාකාරයකින් බෙදා හැරීමටයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය දැන් වෙනස් කොට තිබේ. ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයා අතට පත්කිරීමේදී වර්තමාන ව්‍යවස්ථාවේ සඳහන් ආණ්ඩුකරණයේ මූලික ව්‍යුහය වෙනසකට ලක්වන නිසා, ඒ සඳහා ජනමත විචාරණයකින් අනුමැතිය ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කොට තිබේ. 19 වැනි සංශෝධනයට අනුව, අගමැතිවරයා ඇමති මණ්ඩලයේ ප‍්‍රධානියා වීම නිසා ඇමතිවරුන් පත්කිරීමේ බලයත් ඔහුට හිමි වෙයි. ජනාධිපතිවරයා සතු එම බලය එසේ වෙනත් කෙනෙකු වෙත පැවරිය හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බව දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබේ.

ඒ සමගම, ශ්‍රේෂ්ඨාධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවාව, මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම සහ අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසම ආදී ආයතනවල තනතුරුවලට පත්කිරීම් අරභයා දැනට ජනාධිපතිවරයා සතු බලතල වෙනත් ආයතනවලට පවරා දීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, ඒ අතරේම ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයකින් පමණක් කළ හැකිය. මේ නිසා චන්ද්‍රිකා කුමාරතුංගගේ රජය යටතේ 2000 දී ගෙනෙන ලද සහ පසුව මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ අහෝසි කරන ලද 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කළ හැකි වන්නේය.

එකඟතාව නැත

ජනමත විචාරණයක් අවශ්‍ය වෙතැ යි කියන සංශෝධන, අදාල කෙටුම්පතින් ඉවත් කිරීමටත්, ඉතිරි සියල්ල පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡුන්දයකින් සම්මත කර ගැනීමටත් තමන් සූදානම් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා ඇත. ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ, පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඇතුළු වෙනස්කම් දින 100 ඇතුළත ඉටු කර දීමයි. ජනමත විචානරණයක් පැවැත්වීමට ගියොත්, අඩු ගානේ තව මාස තුනක්වත් ගත වනු ඇත. එසේම ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට පක්ෂපාතී තීරණයක් එවැනි ජනමත විචාරණයකින් ලැබේද යන්නත් සැක සහිතයි.

Maithripala 2015 Marchඅනිත් අතට, ජනමත විචාරණයක් අවශ්‍ය කෙරෙන කොටස් මේ සංශෝධනයෙන් ඉවත් කළත්, 19 වැනි සංශෝධනය සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ ඡුන්දයක් පාර්ලිමේන්තුවෙන් ලබා ගත හැකිද යන්නත් අඩමානයි. එම ගැටළුව පැනනගින්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින මතභේද හේතුවෙනි. විපක්ෂය කියන්නේ, අදාළ 19 වැනි සංශෝධනය සමග මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයත් එකට ගෙනෙන්නේ නම් මිස තමන් 19 වැනි සංශෝධනයට ඡුන්දය නොදෙන බවයි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, විපක්ෂයේ මේ ඉල්ලීම සඳහා දේශපාලන පක්ෂ අතර එකඟතාවක් නොපැවතීමයි. සමානුපාතික ක‍්‍රමය මත පදනම් වන වර්තමාන මැතිවරණ ක‍්‍රමය, කුඩා පක්ෂවලට වාසිදායක ක‍්‍රමයකි. විශේෂයෙන් සුළු ජන පක්ෂවලට එය වාසි සහගත වෙයි. පාර්ලිමේන්තුව තුළ තමන්ගේ හඬ නැගීමට ඔවුන්ට මේ ක‍්‍රමය හරහා වැඩි ඉඩකඩක් ලැබෙයි.

කෙසේ වෙතත්, දශක තුනකට වැඩි කලක් තිස්සේ පැවති මේ මැතිවරණ ක‍්‍රමය රටට කොතරම් අවැඩක්ද යන්න ගැන කවුරුත් පාහේ එකඟ වන අතර එහි වෙනසක් සිදුවිය යුතු බව කියති. මේ නිසා ඒ වෙනුවට මිශ‍්‍ර ක‍්‍රමයක් අපේක්ෂා කෙරේ. ඒ අනුව, ආසන මට්ටමින් යම් මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් පත්කර ගන්නා අතරේ තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් සමානුපාතික ක‍්‍රමයට තෝරා ගැනීමට අපේක්ෂා කෙරේ. මේ මිශ‍්‍ර ක‍්‍රමය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක නිර්දේශ මත ගොඩනැගී ඇති යෝජනාවකි. එහෙත් එදා සුළු ජන පක්ෂවල විරෝධය මධ්‍යයේ එම යෝජනාව ක‍්‍රියාත්මක නොකෙරුණි. මේ නිසා සියලූ පක්ෂ ඒ සම්බන්ධයෙන් දැන් යම් එකඟතාවකට පැමිණීම අවශ්‍ය කෙරේ. එහිදී, විශේෂයෙන් යුද්ධාවසානයෙන් පසු සුළු ජන පක්ෂවලට මුහුණදීමට සිදුව ඇති විශේෂ තත්වයත් සැළකිල්ලට ගත යුතුව තිබේ.

වාර්ගික විසඳුම

කෙසේ වෙතත්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, ආණ්ඩුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කල් නොයවා සම්මත කර ගැනීමට අදිටන් කරගෙන සිටින බව පෙනේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කැරලිකාරී සාමාජිකයන් පස් දෙනෙකු අස් කිරීමට ගත් තීරණයෙන් පෙනෙන්නේ, ජනාධිපතිවරයා පක්ෂයේ බලය සම්බන්ධයෙන් දැඩි තීරණයක සිටින බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිතවත් දේශපාලඥයන්, මේ අතර, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව හඳුන්වන්නේ දුර්වල නායකයෙකු වශයෙනි. එහෙත්, මෛත‍්‍රිපාල සිරිසේන සතු අද්විතීය ගුණය කෙනෙකු අමතක නොකළ යුතුය. ජනාධිපතිවරයා සතු බලතල ස්වේච්ඡුාවෙන්ම අතහැරීමට පියවර ගත් එකම ජනාධිපතිවරයා ඔහු ය. එසේම, ද්වි-පාර්ශ්වීය ආණ්ඩුවක් ගෙන යාමට ඉදිරිපත් වූ එකම ජනාධිපතිවරයාද ඔහු ය. වර්තමාන ආණ්ඩුවේ සංයුතිය මීට පෙර නොවූ විරූවකි. නැවත එවැනි අවස්ථාවක් උදා වෙතැයි සිතිය නොහේ.

තමා සතු බලතල වෙනත් පිරිසක් සමග බෙදාහදා ගැනීමට කැමති ජනාධිපතිවරයෙකු සිටින මේ සුවිශේෂී මොහොත, විධායක බලතල කප්පාදු කිරීම සඳහා යොදා ගැනීම අගනේය. එනිසා යහපාලනය සඳහා පිටිවහලක් විය හැකි 19 වැනි ව්‍යවස්ථාව, එහි සැබෑ ගුණය යම් තාක් අවම වී ඇති වර්තමාන මට්ටමින් හෝ සම්මත කර ගැනීමට උත්සාහ කළ යුතුව තිබේ. ඒ මගින් තුලන සහ සංවරණ ක‍්‍රමයක් ඇති වන නිසා, ජනාධිපතිවරයෙකු විසින් බලය අනිසි ලෙස භාවිත වීම වැළකෙනු ඇත. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වන අතර, මානව හිමිකම් උල්ලංඝණය වෙතැයි සැළකෙන අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයටත් වගවීමෙන් ඔහු බැඳී සිටින්නේය. ඊට අමතරව, කෙනෙකුට එම තනතුර දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම, අළුත් පාර්ලිමේන්තුවක ආයු කාලය අවුරුද්දක් ගත වීමෙන් පසු විසිරුවා හැරීමට මෙතෙක් තිබූ ජනාධිපති බලය දැන් අවුරුදු හතරක් වන තෙක් අභ්‍යාස කිරීමෙන් ජනාධිපතිවරයාව වළක්වනු ලැබීම, අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සහ පොලීසිය, රාජ්‍ය සේවය වැනි ආයතන ස්වාධීන කෙරෙන කොමිෂන් සභා ස්ථාපිත කිරීම වැනි සාධනීය අංග රැුසක් ඒ 19 වැනි සංශෝධනයට ඇතුළත් වෙයි.

විධායක ජනාධිපතිවරයාගේ බලතල එසේ වෙනත් ආයතන වෙත බෙදා හැරීම නිසා, මෙතෙක් විසඳා ගත නොහැකිව තිබූ ජන වාර්ගික ප‍්‍රශ්නය විසඳීම සඳහාද රුකුලක් වනු ඇත. පවතින ජනාධිපති ක‍්‍රමය තුළ තිබෙන නරකම ලක්ෂණය වන්නේ, සකල බලතල තනි ආයතනයක් තුළ ගොනු වීමයි. ඊටත් වඩා, තනි පුද්ගලයෙකු තුළ ගොනු වීමයි. වාර්ගික සහ දේශපාලනික වශයෙන් භේදභින්න වී ඇති රටක, බලය සංකේන්ද්‍රණය වෙනවාට වඩා විකේන්ද්‍රණය වීම රටට යහපතකි. පවතින ක‍්‍රමය තුළ, බහුතර ජන වර්ගය විසින් බලය ගොනු කරගෙන සුළු ජන කණ්ඩායම් නොතකා හැරීමට ඇති ඉඩකඩ වැඩි ය. කේන්ද්‍රගත බලය සහිත විධායක ජනාධිපති ක‍්‍රමයක පවතින මේ දුර්ගුණය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතින් මොනවට මූර්තිමත් විය. පළාත් මට්ටමින් බලතල බෙදාහැරෙන සහ මධ්‍යම ආණ්ඩු බලතලත් කේන්ද්‍රයේදී බෙදාහදා ගැනෙන දේශපාලන ක‍්‍රමයක්, තිරසාර දේශපාලන විසඳුමක් සඳහා මහෝපකාරී වන්නේය.

*2015 අපේ‍්‍රල් 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Best Time To Pass 19th Amendment Is Now නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.