25 October, 2020

Blog

ජිනීවා ක‍්‍රියාවලිය හරහා මුස්ලිම් ප‍්‍රශ්නවලට ආමන්ත්‍ර​ණය කිරීම

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන උතුරේදී ඔවුන්ට සැළකූ ආකාරය ඉතා ශෝචනීයයි. තම ගම්බිම් හැරපියා යාමට ඔවුන්ට ලැබුණේ පැය දෙකක් වැනි කෙටි කාලයකි. සිය දේපලවලට අදාළ ඔප්පු තිරප්පු, ස්වර්ණාභරණ සහ මුදල් වැනි වටිනා සම්පත් ඒ අවස්ථාවේ රැුගෙන ගිය අයට සිදුවුණේ එල්.ටී.ටී.ඊ. මාර්ග බාධකවලදී ඒවා ආපසු භාර දීමටයි. බොහෝ තැන්වලදී අසල්වැසි දෙමළ ජනතාව මේ මුස්ලිම් ජනතාවට උපකාරී වීමට ඉදිරිපත් වුවත් එයින් පලක් නොවුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යනු, තම අරමුණට වෙනස් මතයක් දරණ ජනතාව නොඉවසූ සංවිධානයකි. ඊට පස් වසකට පසු 1995 දී යාපනය අර්ධද්වීපයේ ජීවත් වූ දෙමළ ජනතාවටත් මීට සමාන ඉරණමක් අත්වුණි. ඒ, රජයේ හමුදා විසින් යාපන අර්ධද්වීපය නැවත අල්ලා ගැනීමේදී, එම ප‍්‍රදේශයෙන් ඉවත් වන්නැයි එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාවටත් අණ කළ අවස්ථාවේ ය.

එදා යාපනෙන් පන්නා දැමූ මුස්ලිම් පවුල්වලින් සියයට 80 ක් අදත් ජීවත් වන්නේ වෙනත් ප‍්‍රදේශවලයි. ඉන් බොහෝ අය සිය ජීවිත සාර්ථක කරගෙන තිබේ. නිර්දය සේ පන්නා දමනු ලැබූවත් කිහිප දෙනෙකු හැර සෙස්සෝ ජීවිත ආරක්ෂා කරගත්හ. මේ නිසා, ඕනෑම ප‍්‍රජාවක දීර්ඝ කාලීන තිරසාර බැම්ම වන පවුල් ඒකක නොබිඳී පැවතුණි. එහෙත් අනිත් සෑම අංශයකින්ම ඔවුන්ට බොහෝ දේ නැති විය. ඔවුන්ගේ චංචල දේපළ, රන් අබරණ, පාරම්පරික නිවෙස් සහ ගම්බිම් ඔවුන්ට අහිමි විය. යුද්ධය අවසන් වී වසර හයක් ඉක්ම ගොස් ඇතත් ඔවුන්ගේ නැවත පැමිණීම දුෂ්කරතාවන්ගෙන් ගහණයි. එබැවින්, මෙසේ අවතැන් වූ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් වෙසෙන්නේ සිය ඉරණම පිළිබඳ ඉච්ඡුාභංගත්වයෙනි. තමන් අසාධාරණ සැළකීමකට ලක්වූවේය යන ඒ හැඟීම සමස්ත මුස්ලිම් ප‍්‍රජාව පුරාම පැතිරෙයි. මේ ශ‍්‍රී ලාංකීය ජන ප‍්‍රජාව මුහුණදුන් ප‍්‍රශ්න ගැනවත්, එම ප‍්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබා දීම ගැනවත් වන නිසි අවධානයක් හෝ ප‍්‍රමුඛතාවක් ආණ්ඩුව පැත්තෙන් යොමු වී නැත.

ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කරනු වස්, නව ආණ්ඩුවේ සම-අනුග‍්‍රහයෙන් සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ, යුද්ධයට අදාළ බොහෝ ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීමටත් ඒවාට සාධාරණ විසඳුම් සොයා ගැනීමටත් අවස්ථාවක් උදා වෙයි. මේ යෝජනාවේ මූලික යොමුව වන්නේ යුද්ධයේ අවසන් අදියර පිළිබඳ කාරණාවන් වුවද, තවත් ඊට වඩා පුළුල් පැති පිළිබඳවත් එහි අවධානය යොමු වෙයි. මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය වීම් ගැන සොයා බැලීමටත්, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන්නන්ට නඩු පැවරීමටත්, ජාත්‍යන්තර සහභාගීත්වය සහිත දේශීය අධිකරණ යාන්ත‍්‍රණයක් පිහිටුවීමට ලංකාවේ ආණ්ඩුව එකඟ වී තිබේ. අනිත් අතට, මේ යෝජනාව පදනම් කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව තුළ ආවරණය කෙරෙන්නේ 2002-2009 කාලය පමණි. මේ නිසා ඉහත කී මුස්ලිම් ජනතාව පලවා හැරීමේ සිද්ධිය මෙකී විමර්ශනයට පරිබාහිර කරුණක් වශයෙන් ගැනීමට ඉඩ තිබේ.

මුස්ලිම් ප‍්‍රජාවත් ඇතුළත් කරන්න

නීතිමය ප‍්‍රශ්න සහ දඬුවම් පැමිණවීම් සම්බන්ධයෙන් සොයා බැලෙන අධිකරණ විමර්ශනයක කාල සීමා නිශ්චය කර ගැනීම සහේතුකයි. සම්මත අධිකරණ ක‍්‍රියාවලිය තුළ, සිදුවීම්වලට අදාළ ලිපි ලේඛන, විමර්ශන, හරස් ප‍්‍රශ්න කිරීම්, නීතිමය තීන්දු සහ අභියාචනා ආදිය වෙනුවෙන් බොහෝ කාලයක් ගතවෙයි. පරිපූර්ණ නීතිමය ක‍්‍රියාවලියක් සාමාන්‍යයෙන් මන්දගාමී වන්නේය. එසේම එවැනි ක‍්‍රියාවලියක් තුළ වරකට සොයා බැලිය හැකි සිදුවීම් ප‍්‍රමාණයද අල්පයකි. මේ නිසා ජාත්‍යන්තර සහභාගීත්වය සහිතව සිදු කෙරෙන වගවීමේ අධිකරණ යාන්ත‍්‍රණයක්, 2002-2009 අතර කාල වකවානුව ගැන සොයා බැලීම සඳහා වඩාත් යෝග්‍ය විය හැකිය. එසේ වෙතත්, 2002 ට කලින් කරන ලද බරපතල උල්ලංඝණයන් මෙකී යාන්ත‍්‍රණයෙන් මගහැරෙයි නම්, වගවීමේ ක‍්‍රියාවලිය එක ජන කොටසක් බැහැර කොට සිදු කෙරෙන ක‍්‍රියාවලියක් සේ පෙනී යා හැකිය.

වින්දිතයන් සඳහා වන ඕනෑම යුක්ති ධාර්මික ක‍්‍රියාවලියක් සියලූ වින්දිතයන්ට එක සේ සාධාරණ විය යුතුය. සියල්ලන්ගේ හඬට සවන්දිය යුතුය. ප‍්‍රතිකර්මික පියවරයන් සඳහා සියල්ලන්ගේ දුක්ගැනවිලි සැලකිල්ලට ගත යුතුය. වගවීමට සම්බන්ධ බරපතල ගැටළුවලට ආමන්ත‍්‍රණය කෙරෙන අධිකරණ යාන්ත‍්‍රණයක් පමණක් නොව, අතීතයේ සිදු වූ තුවාල සුව කෙරෙන තවත් යාන්ත‍්‍රණ තුනක්ද යෝජනා වී ඇති බව මෙහිදී මතක තබා ගත යුතුය. ඒවා නම්, ‘සත්‍ය ප‍්‍රතිසන්ධාන කොමිසම’, ‘හානිපූරණ කාර්යාංශය’ සහ ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාංශය’ වශයෙනි. මේ යාන්ත‍්‍රණ තුනේ බල සීමාව තුළට, 2002 ට කලින් සිදුව ඇති බරපතල උල්ලංඝණයන්ට සම්බන්ධ සිදුවීම්ද ඇතුළත් කරගත හැකිය. 1990 දී යාපනයෙන් පලවා හැරිය මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නයත් ඊට ඇතුළත් කරගන්නේ නම්, ඔවුන්ගේ හඬ සහ දුක්ගැනවිලිත් මුළු රටටම දැනගත හැකි වනු ඇත. ජාත්‍යන්තර ප‍්‍රජාවටත් එය එවිට දැනගත හැකි වනු ඇත.

මෙය සිදුවී වසර විසි පහක් ගතවී ඇතත්, ඒවාද විභාග කළ යුතුව තිබේ. ඒවා සිදුවුණේ මොන තත්වයන් යටතේද යන්න ලෝකයා දැන ගත යුතුව තිබේ. එය, ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අමතක නොකළ යුතු සහ නැවත එවැනි තත්වයක් ඇති නොවන තැනට වගබලා ගත යුතු දෙයක් බවට පත්විය යුතුය. සිංහල ජාතිකවාදී බොදුබල සේනාව මගින් මීට වසර දෙකකට පෙර මුස්ලිම් ජනතාවට කළ කී දේවල් එම ජනතාව අතරේ තවමත් හොල්මන් කරයි.

අතීතයේ සිදු වූ වැරදි හදා ගැනීම

ලාංකීය සමාජයේ ප‍්‍රධාන ප‍්‍රවාහය තුළට තමන් අනුකලනය වී ඇතැයි මුස්ලිම් ජනතාව විශ්වාස කළහ. එහෙත් බොදුබල සේනාව විසින් මුස්ලිම් විරෝධය අවුළුවන අවස්ථාවේ සමාජයේ කිසි වැදගත් ස්ථරයක් විසින් එය අභියෝගයට ලක් නොකෙළේය. සමහර විට එසේ වන්නට ඇත්තේ, බොදුබල සේනා ක‍්‍රියාකාරකම් පසුපස එදා මහා බලයක් අභ්‍යාස කළ ආණ්ඩුවේ සැඟවුණු හස්තය ඇතැයි යන බිය නිසා විය හැකිය. එසේ වුවද, එම මුස්ලිම් විරෝධයට එරෙහිව නොබියව හඬක් නැගීමට දේශපාලන පක්ෂය පසුබට වීම, පශ්චාත්-යුද කාලීන ජාතික සංහිඳියාවේ අසාර්ථකත්වය කියාපාන්නක් විය. අද දක්වාමත් මුස්ලිම් ප‍්‍රජාව තුළ එදා ඇති වූ කම්පනය පිළිබඳ හැඟීම තිබේ. එය හැඟීම ඔවුන්ගේ සිත් තුළින් අප තුරන් කළ යුතුය.

ආණ්ඩුකරණයේ අතීත අසාර්ථකත්වයන්ට පිළියම් යෙදීමටත්, රටේ ජනයාගේ සහ ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහයෝගය ලබා ගැනීමටත් නව ආණ්ඩුව ගන්නා ප‍්‍රයත්නය මේ දක්වා සාධනීය මාවතක ගමන් ගන්නා බවක් පෙනෙන්ට තිබේ. ආණ්ඩුවේ සහයෝගීතා එළැඹුම ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ ඇත්තේද ප‍්‍රසාදයකි. ශ‍්‍රී ලංකාව විශේෂ කොට සම්මත කරගත් ජිනීවා යෝජනාවට ලංකා ආණ්ඩුවත් සම-අනුග‍්‍රාහකයෙකු වීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කී පරිදි, අද්විතීයයි. ඒ අනුව එම යෝජනාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ලංකා ආණ්ඩුව උදක්ම බැඳී සිටී. එය, යුද අපරාධවලට පමණක් සීමා වන්නක් නොවේ. ඊට, ආණ්ඩුකරණයේ වෙනත් ක්ෂේත‍්‍රද ඇතුළත් වෙයි. ඉන් එකක් වන්නේ, ‘මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයන්ට, සුළු ආගමික කණ්ඩායම්වලට, සිවිල් සමාජයේ වෙනත් සාමාජිකයන්ට සහ ආගමික ස්ථානවලට එරෙහිව ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් කරන ලද පහර දීම්’ ය.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ යහපාලනයේ සාරධර්ම ආරක්ෂා කිරීමට ප‍්‍රමුඛත්වය දෙන නව මාවතක රට මෙහෙයැවීම ගැන ප‍්‍රශංසා ලැබිය යුත්තේ ආණ්ඩුව පමණක් නොව. විපක්ෂයේ ප‍්‍රචාරණයන්ට නොරැුවටී, ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ සඳහා කල් දීමට ජනතාවත් සිය සූදානම පළ කළහ. 2013 එක්සත් ජාතීන්ගේ යෝජනාව කෙරෙහි ජනතාව දැක්වූ හැඟීම්බර ප‍්‍රතිචාරය සහ වර්තමාන යෝජනාව භාරගත් ආකාරය අතර ඇති වෙනස මගින් පෙන්නුම් කරන්නේ, ලාංකීය ජනතාව පොදුවේ විවෘත මනසකින් සංයුක්ත බවයි. අවි ගැටුම් සහ දේශපාලනික හිංසනයෙන් තොර වර්තමාන ශ‍්‍රී ලංකාව සාමයේ ක්ෂේම භූමියකි. එසේම, වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන් අතර විවෘත ඝට්ටනයන් ප‍්‍රදර්ශනය වන්නේද නැත. එහෙත්, ලෝකයේ වෙනත් තැන්වල සිදුවන දේවල් දෙස බැලීමේදී පෙනී යන්නේ, අන්තර්-වාර්ගික සහ අන්තර්-ආගමික සාමය ගොඩනැංවීමේ අවශ්‍යතාව, නොනවතින අවශ්‍යතාවක් වන බවයි.

*2015 ඔක්තෝබර් 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Addressing Muslim Issues Through Geneva Process” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.