28 September, 2020

Blog

විල්ලූද අත්වැස්මකින් සැරසුණු මිටමෙලැවූ යකඩ අත

ජොනතන් පව(ර්)

 ජොනතන් පවර්

ජොනතන් පවර්

‘‘1789 ඓතිහාසික දිනයක් බව ඇත්ත. එහෙත් එය ඓතිහාසික ආදර්ශයක් නොවේ.’’

අත්‍යන්තයෙන් ප‍්‍රචණ්ඩ වූ ප‍්‍රංශ විප්ලවය, උත්තරීතර අභිප‍්‍රායෙන් ඔදවැඩුණු, අප‍්‍රතිහත ධෛර්ය සහ ආනුභාව සම්පන්න මිනිසුන්ගේ නායකත්වයෙන් ඇරැුඹුණද, පියවරෙන් පියවර එය පල්ලම් බැස්සේ, විප්ලවයේම දරුවන්වත් බිල්ලට ගත්, එය විසින්ම හාරා ගත් පාතාලයකටයි.

මාර්ටින් ලූතර් කිං කී පරිදි, ප‍්‍රචණ්ඩත්වය ජාතක කරන්නේ ප‍්‍රචණ්ඩත්වයමයි. ‘‘ඉලක්කගත අභිප‍්‍රාය සහ ඒ වෙත ළඟා වෙන මාවත එකිනෙකට අනුගත විය යුතුය. ඉලක්කගත මාවතෙන් ඉලක්කය වෙන් කළ නොහැකි බව ලෝකයා තේරුම් ගන්නා තෙක් මෙලොව සාමයක් උදා කර ගැනීමට කිසි දවසක අපට නොහැකි වනු ඇත. මන්ද යත්, ගමන් මාවත තුළම, පරමාදර්ශය නියෝජනය වන බැවිනි. එම ක‍්‍රියාවලිය තුළම, ඉලක්කය නියෝජනය වන බැවිනි. එහි අරුත වන්නේ, අයහපත් මාවතක් ඔස්සේ යහපත් ඉලක්කයක් වෙත ළඟා විය නොහැකි බවයි. මන්ද යත්, ගමන් ගන්නා මාවත තුළම බීජ රෝපණය වන නිසාත්, ඉලක්ක වෘක්ෂය ඒ බීජවල ප‍්‍රතිඵලයක් වන නිසාත් ය.’’

‘ෆොරීන් (අ) ෆෙයාර්ස්’ සඟරාවේ 2014 අගෝස්තු කලාපයට ලියන එරිකා චෙන්වෙත් සහ මරියා ස්ටෙෆන්ට අනුව, ‘‘අධිකාරීවාදී පාලන තන්ත‍්‍රයන්ට එරෙහිව 1900 සහ 2006 අතර දියත් වූ ප‍්‍රචණ්ඩ නොවන විරෝධතා ව්‍යාපාර සාර්ථක වීමට ලත් ඉඩකඩ, එවැනි පාලන තන්ත‍්‍රයන්ට එරෙහිව දියත් වූ ප‍්‍රචණ්ඩකාරී ව්‍යාපාරවලට වඩා දෙගුණයක විභවයෙන් යුක්ත විය.’’

ඔවුන්ම පෙන්වා දෙන පරිදි, ’’ප‍්‍රචණ්ඩ නොවන විරෝධතා ව්‍යාපාර හරහා රටක ඒකාධිපතියන්ව පෙරලා ගත් පසු බිහි කර ගන්නා සමාජයකට, සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත යොමු වීමට වැඩි ඉඩකඩක් ලැබේ. අවිහිංසාවාදී විරෝධතාවන් අසාර්ථක වෙතැයි සාමාන්‍යයෙන් කෙනෙකුට සිතෙන, අතිශය ඒකාධිපති සහ මර්ධනකාරී රටවල පවා, මෙය සත්‍යයක් විය.’’

අවිහිංසාවාදී විරෝධතා මාදිලිය විවේචනය කරන පිරිස් එවැනි විරෝධතා ව්‍යාපාර අසාර්ථක වූ සහ ආපස්සට හැරුණු අවස්ථා පෙන්වා දෙති. ඉන් එක් අවස්ථාවක් වන්නේ, 1989 දී චීනයේ තියනමෙන් චතුරශ‍්‍රයේ ශිෂ්‍ය විරෝධය චීන බලධාරීන් විසින් කුඩුපට්ටම් කරනු ලැබීමයි. එසේම සිරියාව උදාහරණයට ගනිමින්, ‘අරාබි වසන්තය’ තුළ බිහි වූ එවැනි ප‍්‍රචණ්ඩකාරී නොවන විරෝධතා ව්‍යාපාර අන්තවාදීන් විසින් පීලි පන්නුන් ලැබූ සැටිද ඔවුහූ පෙන්වා දෙති. එසේම එම කලාපයේම නායකයන් තුළ දීර්ඝ කාලීන සැලැස්මක් නොතිබීම හේතුකොට ගෙන ස්වයං-විනාශයක් කරා එවන් ව්‍යාපාර නැඹුරු වූ ආකාරයට, ඊජිප්තුව උදාහරණ සේ ගෙනහැර දක්වති. ඉතා මෑතකදී, යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච්ට එරෙහිව ගොඩනැගුණු ප‍්‍රචණ්ඩ නොවන විරෝධතාව හරහා ඔහුව බලයෙන් පහ කිරීමට හැකි වුවද, අවසානයේ ඒ විරෝධතාව තුළට අන්තවාදී දක්ෂිණාංශිකයන් රිංගා ගැනීම හේතුවෙන් රුසියානු හමුදාමය අතපෙවීමකට අවසර සැපයුනු බවත් ඔවුහූ පෙන්වා දෙති.

ඒ සියලූ විවේචන නිවැරදි ය. එහෙත්, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ දැන් යුක්රේනයත් පෙන්වා දෙන පරිදි, යුද්ධය සහ ප‍්‍රචණ්ඩත්වයත් නිරන්තරයෙන් සාර්ථක වෙතැයි කිව නොහැකිවා සේම, ප‍්‍රචණ්ඩකාරී නොවන විරෝධතාවනුත් නිතර සාර්ථක වෙතැයි කීමට පුලූවන් කමක් නැත. එසේ තිබියදී, ප‍්‍රචණ්ඩකාරී නොවන ව්‍යාපාර තුළ වාසි දෙකක් තිබේ. එකක් වන්නේ, අහිංසක මිනිසුන් ඝාතනය වීම හෝ ආපදාවට පත්වීම එහිදී අල්ප වීමයි. දෙවැන්න වන්නේ, එවැනි ව්‍යාපාරයක් සාර්ථක වූ විට, පරාජිතයාව අළුත් පාලන ක‍්‍රමය තුළට අවශෝෂණය කර ගැනීමට තිබෙන ඉඩකඩ වැඩි වීමයි.

අවිහිංසාවාදී විරෝධතාකරුවන් අනවශ්‍ය සේ උකටලී විය යුතු නැත. චෙන්වෙත් සහ ස්ටෙෆන්ගේ අධ්‍යයනයන්ට අනුව, ආණ්ඩුවක් ප‍්‍රචණ්ඩකාරී සහ සාහසික ලෙස යම් විරෝධතාවක් මර්දනය කිරීමට පෙළඹෙන අවස්ථාවලදී පවා, ප‍්‍රචණ්ඩකාරී නොවන විරෝධතාවන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් සාර්ථක වීමට ඉඩ තිබේ. එහෙත් එවැනි අවස්ථාවන්හිදී ප‍්‍රචණ්ඩකාරී විරෝධතාවන් සාර්ථක වී ඇත්තේ සියයට 20 ක් පමණි. මන්ද යත්, ජයග‍්‍රහණයක් සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන ජනතා සහාය දිනා ගැනීමට හෝ රාජ්‍ය තන්ත‍්‍රය තුළම ඉරිතැලීම් ඇති කිරීමට ඔවුන්ගෙන් බොහොමයක් අසමත්ව ඇති හෙයිනි. අනිත් අතට, ප‍්‍රචණ්ඩකාරී නොවන විරෝධතා ව්‍යාපාර අසාර්ථක වන අවස්ථාවලදී පවා, දිනාගත හැකි බොහොමයක් දේ තිබේ. ඉහත කී අධ්‍යයනය මගින් පෙන්නුම් කරන පරිදි, අවිහිංසාවාදී විරෝධතා ව්‍යාපාර අසාර්ථක වූ රටවලදී පවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමට ඇති ඉඩකඩ, මුලදී ප‍්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාරවලට යොමු වු රටවලට වඩා, හතර ගුණයකින් වැඩි වීමට ඉඩ තිබේ.

‘‘සිවිල් විරෝධතා ව්‍යාපාරයක් සාර්ථක වන්නේ, ඒකාධිපතියන්ගේ හෝ ඔවුන්ගේ රහස් පොලීසිවල හදවත් ඒ මගින් උණු කරවන නිසා නොව. වඩාත් පුළුල් වූත්, බහුවිධ වූත් ජනතා පදනමක් ඇති කර ගැනීමට සේම, පාලක පංතියට දරාගත නොහැකි වියදමක් පැටවීමට, ප‍්‍රචණ්ඩකාරී විරෝධතා ව්‍යාපාරයකට වඩා, ඊට හැකි වන නිසා ය.’’

1960 සහ 1970 දශකවලදී ඉරානයේ විරෝධතා ව්‍යාපාරය ඉස්ලාමීය සහ මාක්ස්වාදී ගරිල්ලා කණ්ඩායම් මත පදනම්ව තිබියදී මර්දනය කිරීම ෂා රජුට ප‍්‍රශ්නයක් නොවුණි. එහෙත් තෙල් කම්කරුවන්, වෙළෙන්දන් සහ ශිෂ්‍යයන් විශාල වශයෙන් වැඩ වර්ජන, සත්‍යග‍්‍රහ සහ සිවිල් විරෝධතාවන් වැනි අවිහිංසාවාදී සාමූහික ක‍්‍රියාකාරකම්හි නියැලෙන්ට වූ විට, මර්දනකාරී රාජ්‍ය තන්ත‍්‍රයට එය දරාගත නොහැකි විය. ආර්ථිකය කැඞී විසිරෙන්ට පටන් ගත්තේය. එම විරෝධතා ලෙයින් කුඩුපට්ටම් කිරීමට ෂා රජු ඇමරිකානු සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ, ඇමරිකාව සම්බන්ධයෙන් උපායමාර්ගික වටිනාකමක් ෂා රජුට තිබුණත්, ඔහුට සහාය නොදීමට ඇමරිකාවේ තීරණය කෙළේය. එවිට ෂා රජුට සිදුවුණේ රට අතහැර පලා යාමටයි.

අපේ යුගයේ වඩාත් වැදගත් අවිහිංසාවාදී විරෝධතා ව්‍යාපාර දෙක වන්නේ, මාර්ටින් ලූතර් කිං යටතේ, සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටි ඇමරිකානු කළු ජාතික අරගලයත්, පෝලන්තයේ කොමියුනිස්ට් ආණ්ඩුවට එරෙහිව ලෙස් වැලේසාගේ යටතේ නැගී සිටි නැව් අංගන කම්කරුවන්ගේ අරගලයත් ය. නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදය ආපස්සට හැරවීමේ තීරණාත්මක මොහොත වුණේ එයයි.

පෝලන්තයේ ග්ඩැන්ස්ක් නෞකාගාරයේ 16,000 ක් සේවකයෝ 1989 දී වැඩ වර්ජනයක් දියත් කළහ. වෙනස් අදහස් දැරීමේ නිදහස බරපතල සීමාවන්ට යටත්ව තිබූ කොමියුනිස්ට් පෝලන්තයේ පමණක් නොව, මෙම මහා වැඩවර්ජනය වෙනත් තැන්වලද විශේෂ අවධානයට ලක්විය. ‘‘සහයෝගීතාව’’ නමින් ඔවුන් පිහිටුවා ගෙන සිටි මේ වෘත්තීය සමිති ව්‍යාපාරය, අනතුරුව මහා සිවිල් විරෝධතා ව්‍යාපාරයක් බවට වර්ධනය වී, පෝලන්ත රාජ්‍ය යන්ත‍්‍රයේ ග‍්‍රහණය දුර්වල කෙළේය. ටික දවසක් යන විට, පෝලන්ත වැසියන් මිලියන 10 ක් මේ විරෝධතාවට එක් වූහ. විවිධ තැන්වල විවිධ වැඩ වර්ජන, විරෝධතා පෙළපාලි, විසම්මුතික ප‍්‍රවෘත්ති පත‍්‍ර සහ දේවස්ථානවල පැවැත්වෙන රැුඩිකල් නාට්‍ය ප‍්‍රසංග ආදිය රට පුරා ඇවිලෙන්නට විය. මේ අතර, දෙපාර්ශ්වයේම හිංසනය පැවතියේ ඉතා අඩු මට්ටමකයි. දශකයක් ගත වන විට, 1989 දී, අර්ධ-නිදහස් මැතිවරණයක් පැවැත්වීමට පෝලන්ත රජය එකඟ විය. නෞකාංගන සේවකයන්ගේ නායක ලෙස් වැලේසා එම මැතිවරණයෙන් රටේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

අපේ රටේදී මෙන්ම වෙනත් රටවලදීත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන සටනට අප දායක විය යුත්තේ කෙසේද යන්න ගැන අප නැවත සිතා බැලිය යුතුව තිබේ. එහිදී, තුවක්කුව සහ යුද්ධයට කළ හැකි විජ්ජාවක් නැත. ඒ වෙනුවට තිබිය යුත්තේ, මිටමෙලැවූ යකඩ අතකි. ඔව්, එය විල්ලූද අත්වැස්මකින් සැරසී තිබිය යුතුය.

 *ජොනතන් පව(ර්)  ලියූ “The Iron Fist inside a Velvet Glove” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.