යදම් බිඳලා ගෙජ්ජි මාල තනා ගනින්…. ඉඟ සොලවා අත්තටු ටික හදා ගනින්…. ඉගිල්ලිලා ගිහින් අහස බදා ගනින්,…රන් කුරුලෝ රන් කුරුලෝ…

ගාමිණි හත්තොටුවේගම
මහත් බර වූ යදම්, කිංකිණි නද දෙන ගෙජ්ජි සහ මාල බවට පත්වේ; පීඩනයේ මෙවලම් ප්‍රකාශනයේ මාධ්‍ය බවට පෙරලේ. කුරුලා උස් ආකාසයට පියඹා ගොස් එය වැලද ගනී—අකාසය, පක්ෂියා සහ තටු විමුක්තියේ අනුරූපයක් චිත්‍රයට නැගීමට එකිනෙක හා සම්බන්ධ වේ. කථකයා තවදුරටත් සීමා අතික්‍රමණය කරන ලෙස, විය නොහැක්කත් කිරීමට උත්සාහ කරන ලෙස, පක්ෂියාගෙන් අයැද සිටින්නේ වලාකුළින් කිරි දොවන ලෙසත්, විදුලි කොටන හෙණ ගෙඩියක් අතට ගන්නා ලෙසත් පවසන විටය . ඉන්පසුව වැහි දෙවියන්ගේ රහස රැගෙන පැමිණෙන ලෙස පක්ෂියාගෙන් ඉල්ලා සිටී. මෙම අතික්‍රමණ කාර්යයන් කිරීමෙන් පසුව, පෘථිවියට නැවත පැමිණ සශ්‍රීකත්වයේ සංකේතයක් වන වී කරලක් ගන්නා මෙන් අයැද සිටියි. අසීමාන්තික චලනය සහ නිදහස සංඥා කරවන, උස් ආකාසයේ සැරිසරන පක්ෂියාගේ රූපය, විවෘත බව සහ වියහැකියාවන් අඟවන විශාල නිල් අහස් තලය හා සමාන්තර තලයක තබයි. මෙම රූපය ශ්‍රී රාහුල හිමියන්ගේ සැලළිහිණි සංදේශ කාව්‍යයේ පහත ඇති දේ නරඹමින් නිල් අහසේ පියාසර කරන සැළලිහිණියා සහ පර්සි බීෂ් ෂෙලීගේ “කුඩා ලිහිණියෙකුට” කවියේ පක්ෂියා “ඉහළට සහ තවත් ඉහළට” පනින ආකාරය නරඹන මොහොත හා සම්බන්ධවේ. කුණාටුව, ගින්න, අකුණු සහ දෙවියන්ගෙන් කෙරෙන සොරකම වැනි රූප හරහා ප්‍රොමිතියස්ට කරන ව්‍යංග්‍යයන් උතුරා යයි. මේ අන්තර්පඨිතමය සහ සාහිත්‍යමය ඉඟි මේ ගීතයට විවිධ වූ සංඥාකරණයන් ලබා දෙයි. රන් කුරුලා නිල් ආකාසයේ නිල් මෝස්තරයක් වියන ආකාරයට සමානව විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ප්‍රේක්ෂකයාගේ මනසේ බහුවිධ මෝස්තර වියමන් කරයි.
විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ගීත, කෙටි රංගයන් සහ නාට්‍යයන් බොහොමයක් නරඹන්නාගේ සිතෙහි විචිත‍්‍ර සංකල්පනාවන් මවන මේ ආකාරයේ සිත්ගන්නාසුලු සහ ප්‍රබල රූපවලින් පරිපූර්ණ වී ඇත. බොහෝ විට අප වීදි නාට්‍ය දෙස බලන්නේ සමාජීය සහ දේශපාලනික පැතිමානයකිනි. එහි ඇති සාහිත්‍යයික ගුණයන් එහි දේශපාලනය හා සම්බන්ධ වන ආකාරය විචාරයට ලක් කරන්නේ අල්ප වශයෙනි. ඇත්ත වශයෙන්ම කියතොත්, විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ගීත බහුතරයක් අප ජීවත් වන මේ දේශපාලනික–ආර්ථික සහ සමාජීය තත්වය මනා ලෙස නිරූපණය කරයි. “සිහින ලොවකි හෙළබිමේ” ගීතය එයට හොඳම නිදසුනකි. ගීතය ආරම්භ වන්නේ ම සිහින ලොවක් පිළිබඳ ගීයකින් කෙනෙකු අපේක්ෂා කරන දෙයට පරස්පරව යන “everything O you can sell”/”ඔබට සෑම දෙයක්ම විකිණිය හැක” යන නිවේදනයෙනි:
Everything O you can sell
Business going on very well
Country flowing milk and honey
We are rolling money money
ඔබට සෑම දෙයක්ම විකිණිය හැක
වෙළඳාම ඉතා හොඳින් සිදු වෙයි
රට කිරියෙන් පැණියෙන් ඉතිරෙයි
අපි සල්ලිවල, සල්ලිවල රෝල් වෙයි
වෙළඳපල ආර්ථිකය පාදක කරගත් “rolling in money” (“සල්ලි වල එතී පෙරලීම“) පිළිබඳ සිහිනය නවලිබරල්වාදයේ ගෝලීය ෆැන්ටසියෙහි දිගුවක් වෙයි. මෙහිදී අවකාශය එක වර ම නවලිබරල් සංකල්ප විසින් විජිතකරණයට හා කෙළෙසීමට ලක් වන අතර සාම්ප්‍රදායික කතිකාවන් ද (කිරියෙන් පැණියෙන් ඉතිරීම වැනි) ධනවාදියාගේ වාංමාලාවට ඇතුළත් කරගෙන ඇත.
ඉන් පසු ගීතය සංචාරක ප‍්‍රචාරක පත‍්‍රිකාවක් හෝ ශ්‍රී ලංකාව පිළිබඳ දේශගවේශකයින්ගේ රචනා වෙතින් කෙලින් ම උපුටාගත් වැකිවලට—සිහින ලොව, පාරාදීසය වැනි—මාරු වෙමින් අසමාන ගෝලීය බල දේශපාලනයක අඛණ්ඩතාවක් හඟවයි. කෙසේ වතුදු, පාරාදීසය පිළිබඳ අදහස සාම කලාපය පිළිබඳ සඳහන සහිත අවසන් පේළි දෙකෙන් සුනුවිසුනු වෙයි. දශක ගණනාවක් පුරා ඇදී ගිය රජයේ හමුදා හා දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) අතර යුද්ධය මෙහි දී පෙරබිමට ගෙන එනු ලබයි. සංචාරකයින්ගේ යාම් ඊම් මැද සෝල්හයිම් ද පැමිණ යයි – මේ යාම් ඊම්වලට දේශපාලන මෙහෙයුමක නියුතුව සිටි සෝල්හයිම් සහභාගී වීම හරහා ගීතය විදහාපාන්නේ දෛනික ජීවිතය හා ගෝලීය දේශපාලනය අතර සම්බන්ධය යි (කණ්ඩායම බොහෝ විට යම් කාලයකදී ලංකාවට එන දේශපාලනික චරිත මේ ගීයට යොදා ගනී).
යටත්විජිතවාදය, නවයටත්විජිතවාදය, නවලිබරල්වාදය, ධනවාදය, ජාතිකවාදය මෙන් ම සංචාරක කර්මාන්තය තුළ ද ගැබ් ව ඇති ප‍්‍රචණ්ඩත්වය අවසන් පැදියෙහි සංග්‍රහ කෙරේ.
මස් ලේ ඇට හරි විකුණන්නේ
දූදරුවන් අපි බිලිදෙන්නේ
වෙළඳපොලේ අපි නැටවෙන්නේ
බහුජාතින්ටය රට යන්නේ
අවසානයේ “සිහින ලොවකි හෙළ බිමේ” හෝ “පාරාදීසයෙ මුදුන් මලේ” පිළිබඳ සංඥාකාරකය, සංඥාකරණ තල ගණනාවක් ඔස්සේ ගමන් කරන අතර අනන්ත සංඛ්‍යවක සංඥා–ආදේශන ක්‍රියාත්මක වීමට පටන්ගනියි. සංචාරක පත්‍රිකාවකින් ගන්නා ලද මේ පේළි දෙක, පාරාදීසයක් හැටියට රටේ ප්‍රතිරූපය ගොඩනඟන ජාතිකවාදී කතිකාව සමඟ අන්තර්ඡේදනය වෙමින් උත්ප්‍රාසවත් පරිකථනයක යෙදෙයි. ගීතයෙහි සන්දර්භය තුළ පරිභෝජනවාදය, දේශපාලනය හා ළමා ලිංගික ශ්‍රමික වෙළඳාම සහ පාරාදීසය පිළිබඳ අදහස සංකීර්ණ අන්දමින් එකිනෙක වෙළෙයි. අපට සියලු දේ විකිණිය හැකි හෙයින් අපි ළමුන් විදේශිකයින්ට ද රට බහුජාතික සමාගම්වලට ද විකුණමු. සියල්ල විකිණීමට ඇති හැකියාව රට සමෘද්ධිමත් කිරීමේ යථාර්ථවත් කොන්දේසිය බවට පත් වෙයි. මේ හා සමාන අන්දමින් දරුවන් බිලි දීම පිළිබඳ අදහස, දහස් සඛ්‍යාත තරුණ ජීවිත බිල්ලට දුන් යුද්ධය හා කැරලිකාරී නැඟිටීම් පිළිබඳ ඓතිහාසික නිමේෂයන් කරා ආපසු ගමන් කරයි. මෙසේ ගත් කළ මේ ගීත වලින් සිදු කෙරෙන අර්ථ උත්පාදන ක්‍රියාවලිය අපරිමිත ය.
විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ කෘති බොහොමයක් මේ ආකාරයේ අර්ථ ජනනය කරයි. ඇත්ත වශයෙන්ම කියතොත් ලංකාවේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම, ඉන්දියාවේ ජන නාට්‍ය මන්ච්, ඇමරාකාවේ බ්‍රෙඩ් ඇන්ඩ් පපට් වැනි වීදි නාට්‍ය කණ්ඩායම් ආරම්භ වන්නේම නාට්‍ය ශාලා ජනතාවගෙන් වැඩි පිරිසකට පිවිසිය නොහැකි වාණිජ අවකාශ බවට පත් වෙමින් පවතින හා නූතන රංග කලාව නගරවල, පැහැදිලි ව සීමාංකනය කෙරුණු අවකාශය තුළ සිදු වන ක්‍රියාකාරකමක් බවට පත් වන සන්ධිස්ථානයක දී ය. විවෘත වීදි නාට්‍ය කණ්ඩායම තමන්ගේ පළමු නාට්‍ය දැක්ම ඉදිරිපත් කරන්නේ 1974 ජූනි 6 වැනි දින අනුරාධපුරයේදීය. එදින ගාමිණි හත්තොටුවේගම ඇතුළු එහි මුල්ම සාමාජිකයින්—පරාක‍්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, ගාමිණි හෙට්ටිආරච්චි, හේමසිරි අබේවර්ධන, නිමල් චන්ද්‍රසිරි සහ තවත් බොහෝ දෙනා (මොවුහු එවක රංග ශිල්ප ශාලිකාවේ ශිෂ්‍යයන්ව සිටියෝ ය) කොළඹ පිහිටි ප්‍රභූ, නගර කේන්ද්‍රීය නාට්‍ය අවකාශයෙන් ඔබ්බට, සංවෘත ප්‍රොසීනියම් ගොඩනැඟිල්ලේ සිට පාසැල් ක්‍රීඩාංගනයක පස් දමා එසවූ කරලියකට මාරු වීමේ අවදානම ගත්තේ නාට්‍ය කලාව ප්‍රේක්ෂකයා වෙත ගෙන යා යුතුයැයි යන අදහසිනි. එදින රාත්‍රියේ ඔවුහු විදුලි බුබුළු පහක ආලෝකය යටතේ රජ දැක්ම, බෝසත් දැක්ම, සහ මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද? යන නාට්‍ය රඟදැක්වූහ.
ඊළඟ උදෑසන හටගත් සිද්ධිය අද දක්වාත් ශ්‍රී ලංකාවේ දේශපාලන වීදි නාට්‍ය ඉතිහාසයේ අතිශයින් ම වැදගත් මොහොතක් ලෙස සැලකිය හැක. අනුරාධපුර දුම්රිය ස්ථානයේ වේදිකාවේ කොළඹ දුම්රිය පැමිණෙන තෙක් රැඳී සිටින අතර කණ්ඩායම හිටි වන ම රැඟුමක් ඉදිරිපත් කිරීමට තීරණය කළෝ ය. ඔවුන්ට පැන නැගුණු ප්‍රශ්නය වූයේ රංගය ඉදිරිපත් කරන්නේ කොතැනද යන්න පිළිබඳවයි. එවිට ගාමිණි හත්තොටුවේගම කඩුවක් රැගෙන එය හරඹ කරමින් කවාකාර ව ගමන් කර නිශ්චිත තැනක බිම ඇන “මෙන්න මෙතනයි අපි නාට්‍ය පෙන්නන්නේ” යනුවෙන් නිවේදනය කළ අයුරු පරාක‍්‍රම නිරිඇල්ල රසවත් ලෙස ආවර්ජනය කරයි. හත්තොටුවේගමගේ ගමන හා චලන එක් වර ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගනිමින් රංග භූමියේ සීමා සලකුණු කළේ ය. එවිට රැස් වූ ප්‍රේක්ෂකයින්ට මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරි ද? නාට්‍යයේ කොටස් දැකගැනීමට ලැබිණි. එහි සිටි ජංගම ප්‍රේක්ෂක සමූහය දුම්රිය පැමිණීම හා පිටත් වීම අනුව වරින් වර වෙනස් විය. අවසන් මොහොත එළඹියේ නාට්‍යය අතර මැද කොළඹ දුම්රිය පැමිණීම නිසා නළුනිළියන්ට දුම්රියට නැඟීමට සිදු වීමෙනි. අනුරාධපුරයේ ඉදිරිපත් කෙරුණු මේ රැඟුම් දෙක ශ්‍රී ලංකාවේ දේශපාලන වීදි නාට්‍යයේ ආරම්භය සලකුණු කළේ ය. මේ රංගය ”අතිශයින් ම ක්ෂණික, ප්‍රතික්‍රීයක හා නම්‍යශීලී” ද ” ඕනෑ ම තැනක, ඕනෑ ම විදිහකට, ඕනෑ ම අවස්ථාවක” රඟදැක්විය හැකි බව ද—ගාමිණි හත්තොටුවේගමගේ වචනවලින්—සනාථ විය.
හත්තොටුවේගම ඇතුළු පිරිස විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ කර මේ 2024 ජූනි මස 4 වෙනිදාට අවුරුදු පනහකි. මේ කණ්ඩායමේ ගීත වෙනදාටත් වඩා අද තීව්ර ලෙස දැනේ. වෙළදපල ආර්ථිකය සාමාන්‍යකරණය වී ඇති මේ සන්දර්භය තුළ, විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය සහ ගීත අපව නැවතත් අප මේ ඉන්නා තත්වය දෙස විවේචනාත්මකව බැලීමට පොළඹවයි. සීගල් සඟරාවේ බිරන් දාස් ෂර්මා සමග සාකච්ඡාවක යෙදෙන හත්තොටුවේගම පවසන්නේ, ”ප්‍රචණ්ඩත්වය කියන්නේ තුවක්කු, බෝම්බ, කලකෝහාල විතරක් නෙවෙයි. ප්‍රචණ්ඩත්වයට තවත් බොහෝ ස්වරූප තියෙනවා. උදාහරණයක් විදිහට එළිපිට පෙනෙන වාණිජවාදී ප්‍රචණ්ඩත්වය.” මානව සහ ආධ්‍යාත්මික සම්බන්ධතා සහ පරමාදර්ශ ද්‍රව්‍යවාදී වාණිජවාදී වටිනා කම් වලින් ප‍්‍රචණ්ඩ ආකාරයෙන් විනාශ කරන ආකාරය ගැන හත්තොටුවේගම විවේචනාත්මක විය. ද්‍රව්‍යමය වටිනාකම් වලින් තොර මනුෂ්‍ය සම්බන්ධතා, අධ්‍යාපනය සහ චින්තනය ගැන සිතීමට නොහැකි අනාගතයක් කරා අපව රැගෙන යන මේ මොහොතේ මේ කෘති දෙස විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ කාර්යයන් දෙස, ඔවුන් මේ කෘති ඉදිරියට ගෙන යාමට දරන තැත පිළිබඳව අප අවධානය යොමු කළ යුත්තේ එබැවිනි. එදා මෙදා තුර මේ වීදි නාට්‍ය ඉදිරියට ගෙන යන දීපානි සිල්වා, සමන් හේමරත්න, උපාලි වීරසිංහ, චමරු පතිරණ, මනෝජ් යාලගලගේ, එරංග ප්‍රනාන්දු ඇතුළු විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ අඛණ්ඩතාව නියෝජනය කරන තවන් නාට්‍ය කලා නියුක්තිකයින් බොහෝ දෙනා තවමත් සක්‍රියව සිටීම අප තුළ බලාපොරොත්තු රඳවයි.
අප මේ සිටිනා මොහොත වෙළඳපල ආර්ථිකය සාමාන්‍ය දෙයක්, ස්වභාවික දෙයක් ලෙස පිළිගන්නට බල කරන්නකි. සියල්ල සිද්ධ වන්නේ දේපල, මුදල්, ආර්ථික හුවමාරු හරහාය. කිසිවෙකුටත් අයිති නැති ස්වභාවික පරිසරය අපට විකිණිය හැක්කේ කෙසේද? බහුතරයක් මිනිසුන්ගේ ශ්‍රමය සුළු පිරිසකට සොරාකෑමට හැකි වී ඇත්තේ කෙසේද? ධනවාදී සංවර්ධනය නාමයෙන් සිද්ධවන පරිසර ව්‍යසනයන් නිසා දිනෙන් දින අප වෙසෙන පෘථිවිය අපටම නැති වී යන ආකාරය ගැන අපි මෙයට වඩා කතා නොකරන්නේ මන්ද? වෙන කිසිදාකටත් වඩා වේගයෙන් වැඩෙන ඇති නැති පරතරය, ඒ අතර මිනිසුන්ගේ ශරීර වල කොටස්, මිනිස් වෙළඳාම සිදුවන සංදර්භයක අප විවේචනාත්මක ව මේ ආර්ථික දේශපාලනික සන්දර්භය විශ්ලේෂණය කරන්නේ කෙසේද? වර්තමාන සන්දර්භය තුළ මේ කෘති කියවන්නේ කෙසේද? “අපට වෙනත් ක්‍රමයක් නැත, අපට කළ හැක්කේ මේ ක‍්‍රමයට අනුගත වීමට” යයි නැවත නැවතත් ප්‍රකාශයට පත් කරන සංස්ථාපිතයක් තුළ විවෘත වීදි නාට්‍ය ගීත සහ නාට්‍ය අපට මතක් කර දෙන්නේ මේ යදම් සදාකාලික නොවන බවයි. විමුක්තිය පිළිබඳ සිහිනය තවමත් ජීවමාන බවයි. විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ වසර පනහක ගමන් මගට සුබ පතමින් ඔවුන්ගේ යදම් බිඳලා ගීතයේ අවසන් පද කීපයෙන් මේ ලිපිය අවසන් කරමි.
ඉර සිඹපන් බුදු අම්මෝ හොරෙන් හොරෙන්
විදුලි කොටන හෙණ ගෙඩියක් අරන් වරෙන්
මෙහෙට ඇවිත් වී කරලක් අතට ගනින්
රන් කුරුලෝ… රන් කුරුලෝ…
SarathP / June 29, 2024
Nice article. 50 years have gone by. I knew Hatha at Vidyalankara (later Kelaniya U). He was charismatic.
/