19 April, 2024

Blog

සමාජ පරිහාණියේ සැඟවුණු රහසක්; කුසලයට පිටු පා පිනට තැනදීම

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

වර්තමාන බෞද්ධ ජනතාවගේ පෞද්ගලික හා සමාජ භාවිතයෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කුසලය කෙරෙහි දක්වන මඳ සැළකිල්ල හා පිනට දක්වන වැඩි සැළකිල්ලය. මෙය සමාජ පරිහාණියට සෘජුවම බලපාන හේතුවක් බව අවධාරණය කළ යුතුය. සමාජයක ආධ්‍යාමික හා භෞතික ප්‍රගතියට හෙතු වන්නේ පින නොව කුසලයයි. පින හිසමතට ගෙන කුසලයට කුඩම්මාගේ සැළකිල්ල දැක්වීමට සමාජය පුරුදූ වී ඇත්තේ බුදුදහමින් ඉගැන්වෙන කුසලයේ අගය පිළිබඳ හරිහැටි අවබොධයක් නොමැති නිසාය.

නමින් බෞද්ධ වුවද බුදුදහම පිළිබඳ මනා වැටහීමක් සාමාන්‍ය බෞද්ධ ජනතාවට නොමැති බව පිළිගත යුතු යථාර්ථයකි. බුදුදහමේ මූලික පරමාර්ථය වන නිවන් දැකීමේ අපෙක්ෂාවෙන් පැවිදි සමාජය ද බොහෝ දුරට​ ඈත් වී ඇති කලෙක බුදුදහමේ ගැඹුරු ධර්ම සිද්ධාන්ත පිළිබඳ අවබෝධයක් සාමාන්‍ය ගිහී සමාජයට අවශ්‍ය වන්නේ නැත. එහෙත් අඩුම තරමින් සමාජයක ජීවත් වන්නන්ගේ යහපතට, සැපතට හා ප්‍රීතිමත් දිවි පැවැත්මකට තමන් බාධකයක් නොවී ඒ සඳහා තමන් සාධකයක් කර ගතයුතු පරිද්දෙන් බුදුදහමින් හඳුන්වා දී ඇති සමාජ ධර්ම පිළිබඳව වත් දැනුමක් ඔවුන් සතු විය යුතුය. මෙම දැනුම ගිහිසමාජයට ලබාදීම පැවිදි පක්ෂය විසින් අත් නොහළ හැකි වගකීමකි.

දායකයන් පවින් වැළැක්වීමත් (පාපා නිවාරෙන්ති) යහපතෙහි යෙදවීමත් (කල්‍යාණෙ නිවෙසෙන්ති) පූජ්‍ය පක්ෂයේ වගකීමක් කොට සිගාලොවාද සූත්‍රරයෙන් දැක්වෙයි. එහෙත් මෙම වගකීම අද ඉටු වෙනවාදැයි විමසා බැලීම ගිහිපැවිදි කාගේත් යුතුකමකි. වර්තමාන සමාජයෙහි බොහෝ මිනිසුන්ගේ චර්යාවන් සැබෑ විමසීමකට ලක් කළහොත් අපට දක්නට ලැබෙන්නේ බහුතරයක් ආත්මාර්ථකාමිත්වයෙන් මුසපත් වී ඇති බවකි. ගිහිපැවිදි බහුතරයක මෙම ලක්ෂණය එක සේ දක්නට ලැබෙන බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් මගින් පැහැදිළි වෙයි. සියලු දූශ්චරිතවලට මූලාශ්‍රය වන්නේ ආත්මාර්ථකාමිත්වයයි.

බුදුදහමේ සමාජධර්ම මිනිසුන්ගේ හදවත් තුළට ඇතුළත් වී ඇත් නම් ආත්මාර්ථකාමිත්වය යටපත් වී පරාර්ථකාමිත්වය ඉස්මතු වෙයි. පරාර්ථකාමිත්වය සියලූ සුචරිතයන්ගේ මූලාශ්‍රයයි.

පවින් වැළැක්වීම හා (පාපා නිවාරෙන්ති) යහපතෙහි යෙදවීම (කල්‍යාණෙ නිවෙසෙන්ති) යන කරුණු දෙක පිළිබඳ මනා වැටහීමක් ගිහිපැවිදි දෙපක්ෂයටම අවශ්‍යය. කුසල හා අකුසල යන සන්දර්භයන්හිදී කල්‍යාණ යනු කුසල පක්ෂය නියෝජනය වන අතර පාප යන්නෙන් අකුසල පක්ෂය නියෝජනය වෙයි. මෙහිදී පින්කම් (පුඤ්ඤ/පුණ්‍ය) යන සංකල්පයට වැදගත් තැනක් හිමි නොවන බව අවධාරණය කළයුතුය. බුදුන් වහන්සේලාගේ අනුශාසනයට ඇතුළත් වන්නේද කුසලය හා පාපය හෙවත් අකුසලය බව මතක තබා ගැනීම වැදගත් වෙයි. එහිදී පිනට තැනක් ලැබී නැත. සියලු පවු නොකිරීම (සඛ්බ පාපස්ස අකරණං) හා කුසල ධර්මයන් වර්ධනය කිරීම (කුසලස්ස උපසම්පදා) යන්නෙන් එය පැහැදිළිය.

මෙම පැහැදිළි කිරීම අනුව ගිහි ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු පැවිදි පක්ෂයේ වගකීම වන්නේ ජනතාව අකුසල කර්මයන්ගෙන් ඈත් කරවීම හා කුසල කර්මයන්හි නිරත කරවීම සඳහා අවශ්‍ය උපදේශන සැපයීමයි. මෙහිදී කුසලය හා පින අතර වෙනස දැන ගැනීම ඉතාමත් ම වැදගත් වෙයි. එසේ වන්නේ විශෙෂයෙන් වර්තමාන සමාජයෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා ජනතාව කුසලයට වඩා පිනට යොමු කරවීමට දැඩි ප්‍රයත්නයක යෙදෙනු දක්නට ඇති බැවිනි.

කුසලය යනුවෙන් අර්ථවත් වන්නේ කිමෙක්ද? බුදුන්වහන්සේ විසින් අම්බලට්ඨිකා රාහුලොවාද සූත්‍රයෙන් මෙන්ම කාලාම සූත්‍රයෙන්ද කුසල අකුසල සංකල්ප පිළිබඳ පැහැදිළි කිරීම් ඉදිරිපත් කොට තිඛේ. තමන්ගේ මෙන්ම අනුන්ගේද හිතසුවයට හා යහපතට එකසේ සාධක වන ක්‍රියාකාරකම් කුසල ලෙසද ඊට බාධක වන ක්‍රියාකාරකම් අකුසල ලෙසද සැළකෙයි. මෙහිදී යම් ක්‍රියාවක් තමන්ගේ පමණක් යහපතට හේතුවී අනුනුන්ගේ අයහපතට කරුණු වේ නම් එය කුසලයක් ලෙස නොගැනෙයි. එසේම අනුන්ගේ යහපතට පමණක් හේතුවී තමන්ගේ අයහපත උදා කෙරෙන ක්‍රියාද කුසලයට අයත් නොවේ.

බුදුදහමෙහි කුසල අකුසල සංකල්ප ඉදිරිපත් වන්නේ ආත්මාර්ථසාධනයට හා පරාර්ථසාධනයට පිළිවෙලින් සාධක වන හා බාධක වන කරුණු වශයෙනි. කුසලය තමන්ගේත් අනුන්ගේත් හිතසුවය සඳහා පවතින අතර අකුසලය තමන්ගේත් අනුන්ගේත් අහිත හා අයහපත සඳහා හේතු වෙයි. අම්බලට්ඨිකා රාහුලොවාද සූත්‍රයේදී මෙන්ම කාලාම සූත්‍රයේදීද බුදුන් වහන්සේ විසින් කුසල අකුසල විවරණය කෙරෙන්නේ යථොක්ත අදහස ඉස්මතු වන පරිද්දෙනි.

මේ නිසා කුසල අකුසල සංකල්පයන්ගේ උපයෝගිතාව එක් පුද්ගලයකු කෙරෙහි පමණක් නොව සමස්ත සමාජයක් පුරා විහිදී පවතින්නකි. පුද්ගලයන් වෙන් වෙන්ව විසීමෙන් සුවපත් ජීවිතයක් පවත්වාගෙන යාම දුෂ්කරය. පුද්ගලයන් එක්ව තමතමන්ගේ සුරක්ෂිතතාව හා සුවදායක ජීවන පැවැත්ම අරමුණු කොට ගෙන සමාජ සංස්ථාවකට අනුබද්ධ වීම සමාජ පරිනාමයේ ලක්ෂණයකි. එසේ නම් සෑම සාමාජිකයකුගේම අත්නොහළහැකි වගකීමක් වන්නේ තමන්ගේත් අනුන්ගේත් අයහපතට පීඩණයට දුකට හා අසහනයට හෙතු වන කරුණුවලින් වැළකී යහපතට සුවයට හා සහනයට සාධක වන කරුණුවල නිරත වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ සුවදායක හා සහනශීලී සමාජයක ජීවත්වීමේ භාග්‍යය උදාවීමයි.

“මිනිසා සැපතට කැමතිය, දුකට අකැමතිය” (සුඛකාමා දුක්ඛපටික්කූළා) යනු මානව මූලධර්මයකි. සෑම මිනිසකු කෙරෙහිම මෙම මූලධර්මය එකසේ බලපායි. බුදුදහමේ කුසලය “සැපට කැමතිය” යන්න පාදක කොට ගෙන ඇති අතර අකුසලය “දුකට අකැමැතිය” යන්න පාදක කොට ගෙන ඇත. මේ අනුව තමාද ඇතුළු සැම කෙනෙකුටම හිතසුව ගෙන දෙන කරුණු දහයක් කුසල යටතේ ද එසේම හිතසුවයට බාධා වෙමින් පීඩාකාරී වන කරුණු දහයක් අකුසල යටතේ ද දැක්වී තිබේ.

කුසල අකුසල ක්‍රියා දෙවර්ගයම සිදු වන්නේ කය, වචනය හා මනස යන මාධ්‍යයන් මගිනි. පරපණ නැසීමෙන්, නොදුන් දෙය ගැනීමෙන් හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම කයින් සිදු වන කුසල් තුනයි. ඒවායේ නිරත විම කායික අකුසල් තුනයි. බොරු, රළු වචන, කේළාම් හා අරුත්සුන් වදන් පැවසීමෙන් වැළකීම වාචික කුසල් සතරයි. ඒ සතරෙහි යෙදීම වාචික අකුසල් සතරයි. මනසින් සිදුවන කුසල් තුනෙකි. ඒවා නම් දැඩි ලෝභයෙන්, දැඩි ක්‍රෝධයෙන් හා මිසදිටු ගැනීමෙන් වැළකීම යන කරුණු සතරයි. ඒ කරුණු තමා තුළ පවත්වා ගැනීම මානසික අකුසල සතරයි.

සාලෙය්‍යක සූත්‍රය පවසන පරිදි මෙම දස කුසලයන්ට අනුගත වීම ධර්මචර්යාවයි (ධම්මචරියා). එයින් පැහැදිළි වන්නේ ධර්මයට අනුගත වීම යනු කුසල ධර්මයන්හි යෙදීමයි. දස අකුසලයන්හි නිරතවිම අධර්මචර්යාවයි (අධම්මචරියා). බෞද්ධයකු නම් ධර්මයෙහි හැසිරෙන්නකු විය යුතුය. එනම් අකුසලයෙන් වැළකී කුසලයෙහි නිරත වූවකු විය යුතුය. බෞද්ධකම අර්ථවත් වන්නේ දස අකුසලයෙන් වෙන්ව දස කුසලයෙහි යෙදීමෙන් දහමට අනුව හැසිරීම් රටාවක් ගොඩනගා ගැනීමෙනි.

අකුසලයන්ගෙන් වෙන් ව කුසලයන්හි නිරත වීම බෞද්ධයන්ගේ පමණක් වගකීමක් නොවේ. එය ඕනෑම සමාජයක සෑම සාමාජිකයකුගේම වගකීමක් හා යුතුකමක් වෙයි. එසේ වන්නේ ඒවා ඉහතින් සඳහන් කළ පරිදි සැමට සාධාරණ පොදු මානව අවශ්‍යතාවක් සපුරාලනු සඳහා ඉදිරිපත්ව ඇති බැවිනි. කවර සමාජයක හෝ සාමාජිකයන් කුසලයෙහි නොහැසිරෙන්නේ නම් සතුටින් සාමයෙන් ජීවත්වීමට අවශ්‍ය සමාජ පරිසරයක් පවත්වා ගැනීමට නොහැකි වෙයි. සමාජ ප්‍රගතියද ඇන හිටියි. ඇතැම් කුශල ක්‍රියා මානව හිමිකම් වන බවද අකුසලක්‍රියා මානව හිමිකම් කඩකිරීම් වන බව ද මෙහිදී මතක තබා ගත යුතුය.

වත්මන් බොදු ජනතාව බොහෝ විට කුසලය පිළිබඳව දක්වන සැළකිල්ලට වඩා පිනට වැඩි නැඹුරුවක් දක්වන බව පැහැදිළි කරුණකි. මීට හේතුව​ වී ඇත්තේ කුසලයට වඩා පින වැදගත් කමින් වැඩියයි ගන්නා වැරදි අදහසක්වත්දැයි සිතේ. අනිත් අතින් කුසලයට වැඩි තැකීමක් නොකොට පින සඳහා ජනතාව පෙළඹවීමට පූජ්‍ය පක්ෂයෙන් කෙරෙන දැඩි ප්‍රයත්නයක්ද දක්නට ලැබේ.

ගම් නියම්ගම් සිසාරා මහා බුද්ධප්‍රතිමා ඉදිවීම, අහස්කුස සිපගන්නා මහා දාගැබ් තැනීම, අනේක විධ රසමසවුලෙන් යුත් අසදෘශ මහාදාන පිළියෙල වීම, විවිධාකාර බුද්ධපූජා, තෙසැත්තෑ ඥානපූජා, අටවිසි බුද්ධපූජා, අසූමහා ශ්‍රාවක පූජා, චෛත්‍ය වටා රෙදි පොරවන කඤ්චුක පූජා, වෛවර්ණ මල් සැරසිල්ලෙන් කෙරෙන පුෂ්පපූජා, චෛත්‍ය වැසෙන සේ ටොන් ගණනින් රැස් කොට කෙරෙන පළතුරුපූජා, ගමින් ගමට වැඩමවමින් කෙරෙන මහා කඨින පූජා ආදී එකී මෙකී නොකී පුදපූජා වර්ග පින් ගණයට වැටෙයි, මේවා සඳහා ජනතාව වැඩිමනත් මෙහයවන්නේත් පොළඹවන්නේත් ජනතාව පවින් වළක්වා කල්‍යාණ හෙවත් කුසල ක්‍රියාවන්හි මෙහෙයවීමට වරම් ලබා ඇති භික්ෂූන් වහන්සේලායි.

මෙහිදී කුසලය හා පින අතර වෙනස වටහා ගැනීම වැදගත් වෙයි. කුසලය යනු කිමෙක්දැයි මේ වන විටත් හඳුනාගෙන සිටිමු. පවිත්‍ර හෝ ප්‍රසන්න මනසින් යුතුව කරන කායික හා වාචසික ක්‍රියා පින් ලෙස සැළකිය හැකිය. පිනට ප්‍රතිපක්ෂ වූ පව යනු කිළිටි වූ සිතින් කරන කායික හා වාචසික ක්‍රියා වශයෙන් ගත හැකිය. ධම්මපදයෙහි එන මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා යන්නෙන් පින ද මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා යන්නෙන් පව ද නිර්වචනය කළ හැකිය. එහෙත් මෙහිදී කුසලය හා පින අතර දැඩි වෙනසක් නිරූපනය නොවෙයි. කුසලය ද පිවිතුරු මනසකින් සිදු වන්නක් බැවිනි. පිනෙහි විශෙෂත්වය වන්නේ එය බොහෝ විට සමාජ සන්දර්භයකින් තොරව පෞද්ගලික සන්දර්භයක් තුළ ක්‍රියාත්මක වීමයි. පිනෙහි ප්‍රතිලාභය එය සිදුකළ පුද්ගලයා හා සම්බන්ධ වෙයි. එහෙත් කුසලයෙහි ප්‍රතිලාභය පුද්ගලයා හා සමාජය යන අංශ දෙකට ම විහිදී යයි. මේ අංශ දෙකටම ප්‍රතිලාභ සපයන පින්ද නැත්තේ නොවෙයි. නිදසුනක් වශයෙන් සමාජ සුභසාධන කටයුතු දැක්විය හැකිය. එබඳු පින් කුසලයට ම අයත් වෙයි. කුසලයෙහි ප්‍රතිලාභය සාන්දෘෂ්ටිකය. ඇස්පානා පිට අත් දැකිය හැකිය. එහෙත් පිනෙහි ප්‍රතිවිපාකය අපට අත් වූයේද නැද්දැයි අපි නිශ්චිත වශයෙන් නොදනිමු.

කුසලය නිරපෙක්ෂකව සිදු කරනු ලබන්නකි. එහි අපෙක්ෂා ප්‍රාර්ථනා නැත. එහෙත් අප බොහෝ විට පුරුදුව ඇත්තේ ප්‍රාර්ථනා සහගතව පින් කිරීමටය. මතු භවයන්හි සුඛිත මුදිත ජීවන පැවැත්ම පිනෙහි ප්‍රතිලාභය කොට සැළකෙයි. පින් කරන තරමට සසර දික් වෙයි. එමගින් සසර කෙටි කරගැනීමට නොහැකිය. බුදුදහමින් නිබඳවම උපදෙස් දෙන්නේ සසර කෙටි කර ගැනීමට මිස දික් කර ගැනීමට නොවේ. අසුරුසනක් ගසන කෙටි මොහොතකට තරම් වත් සසර භවගාමිත්වය වර්ණනා නොකරමැයි බුදුන් වදාරා තිඛියදී අනුගාමිකයන් සසර දික් කරගැනීමට දරන උත්සාහයන් කෙතරම් යොග්‍යදැයි විමසා බැලියයුතු නොවේද?

බොදු පිළිවෙත ලෙස පිළිගැනෙන මැදුමි පිළිවෙතෙහි (ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි) කුසලයට ලැබී ඇත්තේ සුවිශෙෂී තැනකි. එහි අංග අටෙන් මුල් අංග හයද වෙන් වී ඇත්තේ කුසලය සඳහාය. සම්මා දිට්ඨිය යනු කුසල් අකුසල් පිළිගැනීමයි. සම්මා සංකප්ප යනු කුසලයට ඇති මානසික නැඹුරුවයි. සම්මා වාචා යනු වාචසික කුසලක්‍රියායි. සම්මා කම්මන්ත යනු කායික කුසලක්‍රියායි. සම්මා ආජීව යනු පුද්ගලයාගේ ජීවන වෘත්තීන්හිදී සොරකම්, පැහැර ගැනීම්, සටකපට ප්‍රයෝග වංචා කිරීම් ආදී අකුසල් සිදු නොවන ආකාරයට තම ජීවන පැවැත්ම ගෙන යාමයි. සයවැනි අංගය වන සම්මා වායාම යනු අකුසල ප්‍රහීන කොට කුසලය වර්ධනයට කරන උත්සාහයයි. මෙසේ බලන විට ආර්ය අෂ්ටාංගික මාර්ගයම ගොඩ නැගී ඇත්තේ කුසලය මත බව පැහැදිළිය.

කුසලය නොතකා පිනට වෙර දරන්නේ කුසලයෙහි වටිනාකම නොදන්නා බැවිනි. සාලෙය්‍යක සූත්‍රය දක්වන පරිදි ධර්මචර්යාවෙහි හෙවත් කුසලයෙහි හැසිරීම සුගති භවයන්හි සැප සම්පතට පණක් නොව කෙළෙස් දුරුවී නිවන ලැබීමටද හේතු සාධක වෙයි. මෙසේ බලන විට කුසලයෙහි වටිනාකමට ළඟා වීමට පිනට කිසිසේත් නොහැකිය. කුසලය පෞද්ගලික හා සමාජ ප්‍රගතියටත් මෙලොව හා පරලොව සුබසෙතටත් නිවන් සුව ලබා දීමටත් ඉවහල් වන බැවිනි.

සාංසාරික භවය දික් ගස්සන පින් ගොඩ ගසා ගැනීම සඳහා ලාංකික බෞද්ධ ජනතාව නිතරම සැදී පැහැදී සටිති. කිසිදු මසුරු කමක් නැතිව විශාල ධන පරිත්‍යාගයෙන් පුදපූජා පින් කම් කරති. මෙම නැඹුරුතාව කුසලය දෙසට යොමු වන්නේ නම් සුඛිත මුදිත සමාජයක් බීහි වීමට එය පාදක වනු ඇත.

නිම්හිම් නැතිව සිදුවන විවිධාකාර පුද පූජාවන්හි හා සමාජ යහපතට සෘජුවම දායක වන ධර්ම චර්යාවෙහි අගය සංසන්දනාත්මකව විමසා බැලීමට ගිහිපැවිදි දෙපක්ෂයේම අවධානය යොමු වේ නම් එය සමාජ ප්‍රගතියට බෙහෙවින් ඉවහල් වනු නොවනුමානය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.