16 December, 2017

Blog

අස්ගිරි තර්ජනාංගුලිය රජයට ද? සසුනට ද?

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

අස්ගිරියෙන් ඇරඹී නිකායත්‍රයේම​ සහයෝගයෝගය ලබා ගනිමින් පෙරට එන බුදුසසුන රැුකගැනීම සඳහා වූ නවතම ව්‍යායාමය බුදුසසුනට ලැදි කාගේත් අවධානයට යොමු විය යුත්තකි. එය සැබවින් ම අවංකව බුදුසසුන ආරක්‍ෂා කර ගැනීම අරමුණු කරගත්තක් ද යන්න ගැන විමසා බැලීම බෞද්ධ ගිහිපැවිදි හැමගේ වගකීමකි. මන්ද යත් බුදුසසුන රැුක ගැනීම යන තේමාව යටතේ වුවත් බුදුසසුනට හානිකර ව්‍යාපාර ඇති විය හැකි බැවිනි.

අස්ගිරි නිවේදනයට මෙන් ම ඒ සඳහා වූ නිකායත්‍රයේ අනුකූලතාවට ද පදනම් වී ඇත්තේ අන් කවර කලෙකටත් වඩා භික්‍ෂූන් වහන්සේලාට අපවාද හා අපහාස නැගෙතැයි යන උපකල්පනය බව පැහැදිළිව දක්නට ලැබේ. නිවේදනයන්හි දැක්වෙන විහාර දේපල වලට හානි කිරීම, පුරාවිද්‍යාත්මක නටබුන් වැනසීම, බෞද්ධ උරුමයන් අනාරක්‍ෂිත වීම වැනි අනෙක් කරුණු භික්‍ෂූන්ට සිදුවන අපහාසය යන ප‍්‍රධාන තේමාව උද්දීපනය කිරීමට යොදාගත් ඒවා බවට සැක​යක් නැත. එසේ කීමට අපට සිදුවන්නේ එබඳු කරුණු මීට බොහෝ කලකට පෙර සිට ද මේ අන්දමින් ම සිදු වෙමින් පවතින දේ නිසාය.

වෙහෙර විහාර කඩා බිඳ දැමීම, ඇතැම් භික්‍ෂූන් විසින් ම බුදුපිළිම කඩා බිඳ දමා ඒවායේ නිධන් වස්තු සොරා ගැනීම, පුරාවිද්‍යාස්ථාන විනාශ කිරීම, බෞද්ධ උරුමයන් තුළ පවතින නිධන් අනවසරයෙන් සාරා ඒවා සොරා ගැනීම ආදී දේ අපි කලක සිටම අත් දකිමු. එහෙත් ඒවාට එරෙහිව සාම්ප‍්‍රදායික නිකාය සංඝ සභාවන්ගෙන් විරෝධතා එල්ල වූ බවට සාධක නැත.

එසේ තිබියදී මෙවර නැගී ආ සංඝ සභා විරෝධයට වෙනත් අරමුණක් පැවතිය යුතුය. ඒ වූ කලි අන් කිසිවක් නොව භික්‍ෂූන්ට තබා ගිහියන්ට ද නොගැලපෙන අන්දමින් අලජ්ජීව හැසුරුණු ඇතැම් භික්‍ෂූන්ට එරෙහිව පසුගිය දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ ප‍්‍රකට වූ ජනතා අප‍්‍රසාදයයි. එය භික්‍ෂූන්ට එරෙහිව අපවාද නැගීමක් ලෙස සැළකීම සංඝසභා කැළඹී යාමට හේතුවක් වූවාට නිසැකය. සංඝ නිවේදනයන්ට ප‍්‍රතිචාරයන් වශයෙන් භික්‍ෂූන්වහන්සේලාට කරන අපහාස තරයේ හෙළා දකින බවට ජනාධිපති තුමා කළ ප‍්‍රකාශයෙන් ද ඒ බව තවදුරටත් තහවුරු වෙයි.

සැරියුත් මහමුගලන් පරපරෙන් පවතින ආර්ය සංඝරත්නයට අපහාස කිරීම ආර්යොපවාදය නමින් ගැනෙන පාපකර්මයකි. එය කවරකු විසින් හෝ නොකළ යුත්තකි. එහෙත් අද ආර්ය සංඝරත්නයට අයත් වන්නන් අතැඟිලිවලින් ගිනිය හැකි තරම්වත් වෙසෙද්දැයි සැක සහිතය.

භික්‍ෂූන්වහන්සේ වුවද කාලයට හා දේශයට අනුව වෙනස් වනු නොවැළැක්විය හැකිය. කවර අන්දමින් වෙනස් වුවත් මූලික විනය රාමුවෙන් හා ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියෙන් වෙනස් වීමට භික්‍ෂුවකැයි ප‍්‍රතිඥා කරන්නෙකුට කිසිදු හැකියාවක් නැත. එපමණකින් හෝ රැුකෙන භික්‍ෂූන් වහන්සේ සුපෙසල සම්මුති මහා සංඝරත්නය වශයෙන් අපි හඳුනා ගනිමු. උන්වහන්සේලාගේ පැවැත්ම වුව ද ජනතාවට භාග්‍යයක් වන්නේ උන්වහන්සේලා තමන් ද ආදර්ශයක් වෙමින් ශාස්තෘන්වහන්සේ පෙන්වා දුන් යහමගට ජනතාව ද පොළඹවන බැවිනි.

මේ රටේ බෞද්ධ හෝ අබෞද්ධ ජනතාව සුපෙශල ශික්‍ෂාකාමි භික්‍ෂූන්වහන්සේව අපහාසයෙන් හෙළා දකිතැයි පැවසීම ඇදහිය නොහැක්කකි. එසේ කරන්නේ නම් ඒ බේබද්දකු හෝ උන්දත්තකයකු මිස සිහිබුද්ධිය ඇත්තෙක් නොවේ. අපහාසයට බඳුන් වන්නෝ භික්‍ෂු වේශධාරීව සිටිමින් භික්‍ෂුත්වයට නොගැලපෙන නොපනත්කම් කරන්නන් මිස නියම භික්‍ෂූහු නොවෙති.

පසුගිය කාලය පුරාවට කොතරම් භික්‍ෂුවෙශධාරී කණ්ඩායම් ජාතිය හා සසුන රැුක ගන්නා මුවාවෙන් සැහැසි ලෙස ප‍්‍රචණ්ඩකාරීව හැසිරිණි ද යන්න මහ ජනතාවට රහසක් නොචේ. ජනතාව ප‍්‍රවෙගකාරිත්වයට හා පළි ගැනීම්වලට පොළඹවන ඔවුන්ගේ හැසිරීම් ඔවුන් ම දෙසන,

අක්කොච්ඡී මං අවධි මං – අජිනි මං අහාසි මෙ

යෙ ච නං උපනය්හන්ති – වෙරං කෙසං න සම්මති යන බුදු වදනට කෙතරම් නොගැලපේදැයි ඔවුහු නොදන්නහුද?

සියලු සත්වයෝ නිදුක් වෙත්වා (සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා) යනුවෙන් අනුනට මෙත් වැඞීමට උගන්වන ඔවුන් තමන් ගන්නා කවර හෝ මතයකින් උන්මත්තකව සතර අගතියෙන් ම මුසපත්ව දාමරිකයන් ලෙස හැසිරෙත් නම් ඒ තමන්ගේ පුණ්‍යක්‍ෂේත‍්‍ර වූ මහා සංඝයා වහන්සේලායයි පිළිගෙන දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කිරීමට මහ ජනතාව පෙළඹෙද්දැයි සිතා බැලිය යුතුය.

ඉවක් බවක් නැති ජනතාවක් දාමරිකත්වයට හා ප‍්‍රචණ්ඩත්වයට යොමු කරමින් හැසිරෙන ඇතමුන්ට එබඳු පිරිස විසින් ම සිංහලේ සඟ රජුයයි හංවඩු ගැසෙන විට සුපෙශල ශික්‍ෂාකාමී භික්‍ෂූන්ට එය ගෞරවයක් විය හැකිද? දඬුමුගුරු අමෝරා ගෙන සිවුරු කඩා හැලෙමින් පොලිසියට හා හමුදාවට සිවුරේ හය්ය පෙන්වන තරුණ භික්‍ෂු පිරිස් අනාගත ලක් බුදු සසුන බබුළුවන්නට පෙරහුරු වෙතැයි ත්‍රෛනිකායික මහ සඟරුවන සිතන සේක්දැයි අපි නොදනිමු.

මේ වූ කලි සමාජය ඉදිරියට පැමිණ ප‍්‍රසිද්ධියේ භික්‍ෂුත්වයේ තරම මුළු ලොවටම විදහා පාන ඇතැමුන්ගේ කි‍්‍රයා කලාපයයි. මේහැර සමාජයෙන් සැඟවී සිට සිවුරට මුවා වී සිවුරේම අශුචි තවරන භික්‍ෂුප‍්‍රතිරූපකයන් ගැන කියනුම කිම? සැදැහැවතුන් මිථ්‍යා විශ්වාසයන්හි ගිල්වමින් විහාර දේවාලයන්ට පුද කරවා ගන්නා අසීමිත ධනස්කන්ධයන් අවභාවිත කරන විහාරාධිපතිවරුන් ගැන අපට වඩා ත්‍රෛනිකායික මහ නාහිමිවරු ම දනිති. දේවාලයට ලැබුණු පඬුරු මුදලින් රුපියල් දස කෝටියක් පොලියට ව්‍යාපාරිකයකුට දන් දී ඇති බවට වාර්තා වන්නේ උපාසක භවතකු සම්බන්ධයෙන් නොවේ.

සැදැහැවතුන් විසින් පුදන දේ අවභාවිතයෙහි යොදවා (සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා) අඹුදරුවන් පෝෂණය කරමින් විවිධ අකටයුතුකම් කළ ශ‍්‍රමණබ‍්‍රාහ්මණයන් ගැන බුදුන්වහන්සේ සාමඤ්ඤඵල සූත‍්‍රයේදී අවමානයෙන් සදහන් කරති. සසුනේ දියුණුව කැමති රජවරුන් පිදූ විහාර නින්දගම්වලින් මෙන් ම ප‍්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානවලට සැදැහැවතුන්ගෙන් ලැබෙන කෝටිප‍්‍රකෝටි ගණනින් වූ ආදායම් සසුනේ අභිවර්ධනය සඳහා උපයෝගී වේද නැද්දැයි ඒවායේ භාරකරුවෝම පමණක් දනිති. සිද්ධස්ථානවල ඇති පිංකැටවලින් මහා පරිමාණයෙන් ලැබෙන මුදල් කිසිදු විගණන කි‍්‍රයාවලියකින් මෙන්ම පාරදෘෂ්‍ය භාවයකින් තොරව පිල්ලි ගැසෙන හැටි මහජනතාවට රහසක් නොවේ.

ජනතාවගේ ගැරහුමට ලක් වන්නේ භික්‍ෂු නාමයෙන් පෙනී සිටිමින් සසුනටත් ජනතාවටත් වින කටින ඇතමුන්ගේ විනය විරොධී මෙන් ම ජනතා විරොධී කි‍්‍රයාකාරකම්වලට මිස සුපෙශල ශික්‍ෂාකාමී භික්‍ෂූන්වහන්සේලාට නොවේ. එබඳු භික්‍ෂුවෙශධාරීන්ට ජනතාවගෙන් නැගෙන අවලාදයන් හා අපහාසයන් සමස්ත භික්‍ෂුසංඝයාට ආරොපනය කර දැක්වීමට අස්ගිරිය ප‍්‍රමුඛ සංඝසභාවන් උත්සාහයක් ගෙන නැද්දැයි විචක්‍ෂණශීලීව බලන්නකුට වටහා ගැනීම අපහසු නොවේ.

අනෙක් අතට, කලහකාරීව හා අලජ්ජීව හැසිරෙන විනය විරෝධීන්ට හා ශාසන විරෝධීන්ට නැගෙන අපහාස හා අවමාන සංඝසභාවන් විසින් හෙළා දැකීම එබඳු පුද්ගලයන්ට උඩගෙඩි දීමක් නොවන්නේද? එය සංඝසභා තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටීන බවට ඔවුනට දෙන සහතිකයක් නොවන්නේද? එමගින් ඔවුන් තවතවත් දිරිමත්ව එබඳු භික්‍ෂුසාරුප්‍ය නොවන කි‍්‍රයාවන්හි නොබියව නියැලෙන්නේ නම් එය කෙතරම් දුරට ශාසනයට හිතකර වන්නේද? සසුනට අලූතින් ඇතුළුවන නවක භික්‍ෂූන් එබඳු භික්‍ෂූන්ගේ අවකල්කිරියාවන් වීරකි‍්‍රයාවන් මෙන් ආදර්ශයට ගැනීමට ඇති ඉඩකඩ වැඩි නොවන්නේදැයි මහ තෙරවරුන් වශයෙන් සිතා නොබැලිය යුතුද? ගුරා හිටගෙන කරන විට ගෝලයා දුවදුවා කරතැයි අපි අසා ඇත්තෙමු.

ප‍්‍රචණ්ඩකාරී භික්‍ෂුවකගේ හැසිරීම ප‍්‍රතිෙක්‍ෂප කරන නමුත් මතවාදය බැහැර කළ නොහැකියයි කෙරෙන අස්ගිරි ප‍්‍රකාශය ද පුදුම සහගතය. කෙනෙකුගේ හැසිරීම හැඩගැසෙන්නේ ඔහුගේ මතවාදය අනුව බව අස්ගිරි ධර්මධරයන් වහන්සේලා නොදන්නහුද? නොදන්නහු නම් තමන් අනුගමනය කරන බුදුන් වහන්සේ පෙන්වා දුන් මූලිකම ධර්මයක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවන තුන්වන හා සතරවන අංගයන් යළි මනාව උගත යුතු බව අපි අවධාරණය කරමු. නිවැරදි මතය (සම්මා සංකප්ප) අනුව ඇති වන නිවැරදි වචනයෙන් හා නිවැරදි කි‍්‍රයාවෙන් කෙනෙකුගේ නිවැරදි හැසිරීම සැකසෙන අයුරුත් වැරදි මතයන් (මිච්ඡා සංකප්ප) අනුව වැරදි කායික වාචික හැසිරීම් ඇතිවන අයුරුත් එමගින් පැහැදිලි වෙයි. එබැවින් කෙනෙකුගේ හැසිරීම ප‍්‍රතිෙක්‍ෂප කරන්නේ නම් ඔහුගේ මතවාදයද අනිවාර්යයෙන් ම ප‍්‍රතිෙක්‍ෂප කළ යුතුය. ඒ දෙක අතර අවිචල සම්බන්ධයක් ඇති බැවිනි.

ලක්දිව පවතින්නේ ථේරවාද බෞද්ධසම්ප‍්‍රදායයි. එය පිරිසුදු බුද්ධධර්මය ආරක්‍ෂා කරගත් සම්ප‍්‍රදාය වශයෙන් ගෙන අපි උදම් අනමු. ථෙරවාදය දාර්ශනික සම්ප‍්‍රදායකට වඩා විනය සම්ප‍්‍රදායයක් වශයෙන් පැවත ආවකි. භික්‍ෂූන් කැමති නම් තමා පැනවූ කුඩා අනුකුඩා සිකපද නොසලකා හැරිය හැකැයි ශාස්තෘන් වහන්සේ විසින් පවසා තිබියදීත් අප එසේ නොකළ යුතුයයි නිගමනය කළේත් ධර්මයට ද ඉහලින් විනය පිළි ගෙන මුලින්ම විනය සංගායනා කළේත් ථේරවාදයේ පුරෝගාමීහු වෙති. එසේ තිබියදී භික්‍ෂූන්වහන්සේගේ විනයානුකූල හැසිරීම අවධාරණය කිරීම සංඝ සභාවල ප‍්‍රමුඛ කාර්යය විය යුතුබව නොකිවමනාය.

ශාසනය වෙනුවෙන් පෙනී සිටින වගකිවයුතු සංඝසභා ශාසන විලෝපනයන්හි යෙදෙන්නන් ආරක්‍ෂා කරගැනීමට දරන උත්සාහයන් රජයකට කෙරෙන තර්ජනයන් නොව ඇත්තෙන් ම සසුනට එරෙහිව නැගෙන තර්ජනයන් බව ඉඳුරාම කිව යුතුය.

කාලිංග යුද්ධයෙන් පසු අශොක අධිරාජයන්ගේ පාලනයෙහි මුල් අවධියෙහි භාරතීය සංඝ සමාජයේ පැවැත්මද වර්තමාන ලාංකික සංඝ සමාජයේ පැවැත්මට බෙහෙවින් සමාන වූවක් විය. එහි වෙනසකට සිදුවූයේ මිසදිටුවන් සසුනට වැදී භික්‍ෂුවෙශධාරීව මිසදිටු අදහස් ජනතාව තුළ වපුරුවමින් භික්‍ෂුසාරුප්‍ය නොවන කි‍්‍රයාවල නිරත වීමයි. ශික්‍ෂාකාමී භික්‍ෂූන්ට සත් අවුරුද්දක් පුරා උපොෂත කර්මය නොකළ හැකි තරමට සසුන දූෂණය වී පැවතිණ. මේ තත්වය යටතේ සත් වසරක් අහෝ ගංගාවෙහි හුදෙකළාව විසූ මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ අශොක රජුගේ ඇරයුමෙන් යළි සංඝයා අතරට පැමිණ රජුගේ සහයෝගයෙන් කරවන ලද ශාසන සංශොධනයෙන් පසු ශාසනය යථාතත්වයට ගනු ලැබිණ.

අස්ගිරිය ප‍්‍රමුඛ සංඝ සභාවලින් ඇරඹුණු නව ආන්දෝලනය වෙස් වළා පැමිණි ආශීර්වාදයක් කරගැනීමට බුදුසසුන ආරක්‍ෂා කොට පොෂණය කිරීමට ව්‍යවස්ථාවෙන් බලය පැවරුණු රජයක වග කීම නොවන්නේදැයි විමසා බැලිය යුතුය. අශෝකගෙන් පටන් ගෙන විවිධ වකවානුවල සිංහල රජදරුවන් විසින් ද ශාසන සංශොධන සිදු කරනලද බව අපි දනිමු.

සංඝ සංශෝධනයක් කෙසේ වෙතත් අඩුම තරමීන් කතිකාවතක් මගින් හෝ භික්‍ෂූන් වහන්සේලාගේ මනා හැසිරීමත් මනා පැවැත්මත් තහවුරු කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් සසුනේ පැවැත්ම දැඩි අනතුරක පවතින බව නොකිවමනාය. සංඝසභා එක්ව රජයේ ද සහයෝගය ලබා ගනිමින් අවම මට්ටමින් නිකායත‍්‍රයටම පිළිගත හැකි කතිකාවතක අවශ්‍යතාව මේ යුගයෙහි ඉහලින්ම කැපී පෙනෙන බව ශාසනමාමක කවුරුත් පිළිගනු නියතය.

විනය ශික්‍ෂා මාලාවක් භික්‍ෂූන් සඳහා බුදුන් වහන්සේ විසින් පැනවී තිබියදී කතිකාවතකින් කළහැකි දේ කුමක්දැයි කෙනෙකුට ඇසිය හැකිය. විනය නීතිමාලාවේ බලාත්මක බව ඇත්තේ එය ස්වෙච්ඡාවෙන් පිළිපදින​ තෙක් හෝ කිසියම් ආයතනයක් මගින් බලගන්වන තෙක් හෝ පමණි. භික්‍ෂූන් ස්වෙච්ඡාවෙන් විනය නො පිළිපදින විට සංඝසභා වැනි ශාසනික ආයතන මගින් බලාත්මක කරවිය යුතූය. වර්තමානයේ සංඝසභාවලින් එබඳු කටයුත්තක් සිදුවනු දක්නට නැත. කතිකාවතක අවශ්‍යතාව පැනනගින්නේ මෙබඳු තත්වයක් යටතේයි.

භික්‍ෂූන්ගේ විනයානුකුල හැසිරීමට පමණක් නොව සංඝ සංස්ථාවේ මනා පැවැත්මට ද කතිකාවතකින් කළ හැකි දෑ බොහෝය. රාජ රාජමහාමාත්‍යාදීන් සසුනට සම්පත් පවරා ඇත්තේ සසුනේ මනා පැවැත්ම සඳහායි. අද පෞද්ගලික බූදල් ලෙස සළකා අවභාවිත වන එම සම්පත් කතිකාවතක් මගින් වූ පොදු එකඟතාවකින් සමස්ත ශාසනයේ යහපත සඳහා යොදාගත හැකිව තිබේ.

ලැබෙන සම්පත් පොදු පරිහරණයට ගැනීම බුදුන් වහන්සේ හඳුන්වා දුන් සංඝික ක‍්‍රමයයි. මෙම ක‍්‍රමය යටතේ පවත්නා බෞද්ධ සිද්ධස්ථාන වලට ලැබෙන සියලු වත්කම් කිසියම් සංවිධානාත්මක ක‍්‍රමයක් මගින් විමධ්‍යගත වීමක් නොකෙරෙන්නේ නම් ඒවා අවභාවිත වීම නෙවැළැක්විය හැකිය. දඹුලු විහාරයට ලැබෙන ආදායම් පිළිබඳව මේ දිනවල ජනමාධ්‍යවල පළ වෙමින් තිබේ. මෙසේ කෝටි ගණනින් අදායම් ලැබෙන සිද්ධස්ථාන රාශියක් සඟසතුව පවතියි. මේ තැන්වලින් අවුරුදු පතා ලැබෙන විශාල ධනස්කන්ධය ශාසනයේ දියුණුවට තබා ඒ ස්ථාන සංරක්‍ෂණය හා සංවර්ධනය සඳහාවත් නිසි සේ යෙදවෙනවාදැයි සොයා බැලීමට කිසිවෙක් නැත.

ධනය මහා පරිමාණයෙන් රොක් වන ස්ථාන කිහිපයක ආදායම් අවභාවිත වෙද්දී හරිහැටි සිච්පසයවත් සරි කරගත නොහැකි භික්‍ෂූන් වහන්සේලා වෙසෙන විහාරස්ථාන කෙතරම් දිවයිනේ දුෂ්කර ප‍්‍රදේශවල පවතීද. ඒවායේ විහාරාංග සම්පූර්ණ කර ගැනීම සඳහා මොන තරම් වෙහෙසක් දැරීමට දායකකාරකාදීන්ට සිදුවී තිබේදැයි විමසීමට කිසිවෙක් නැත. වයෝවෘද්ධව රෝගාතූර වී අසරණ වන භික්‍ෂූන්ට නිසි ප‍්‍රතිකාර ගැනීම සඳහා අංග සම්පූර්ණ ආරෝග්‍ය ශාලාවක් ගැන සිතීමටවත් පෙළඹෙන කෙනෙක් නැත. දුප්පත් පන්සල්වල තම පතපොතවත් සොයාගත නොහැකිව ලත වන තරුණ භික්‍ෂූන්ගේ අධ්‍යාපන කටයුතූවලට අතහිත දෙන්නට කිසිවෙක් නැතත් තම දෙශපාලනික හෝ වෙනත් අරමුණු ඉටු කරගනු සඳහා එබඳු තරුණ භික්‍ෂූන් උද්ඝොෂණවගට රැුගෙන යන්නෝ නම් කොතෙකූත් සිටිති.

ධනවත් සිද්ධස්ථානවලින් ලැබෙන අසීමිත ධනය නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් ශාසනයේ අභිවර්ධනය සඳහා ඒවා යොදාගත හැකි වෙයි. එබැවින් මේ උදාවූ ස්වර්ණමය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන ශාසනයේ උන්නතිය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහා සංඝරත්නයත් රජයත් බෞද්ධ මහ ජනතාවත් කැප වන්නේ නම් එය ෙඓතිහාසික සද්කාර්යයක් වනු නියතය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Most of these so called priests are involved in many vices including living with women. Some even give dowries to the children at the marriage of their illegitimate children. Without blaming the others for not having more children why don’t you think of producing your self. There are so many other problems these bhikkus should look into. There are yellow robed men claiming they have attained arahath hood. One was chased away from from Buddha Gaya for publicly kissing a woman. Galagoda atte is another shameful character.
    Please leave the politics to the politicians. You look after the sanga sasanaya

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.