26 April, 2024

Blog

නිදහස් චින්තනය සහ බුදුසමය

මහාචාර්ය කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

ඉදිරිපත් වී ඇති කිසියම් ප්රස්තුතයක් පිළිබඳ යථාර්ථය නොදැන අප ගන්නා තීරණ කිසිසේත් අපගේත් අන් අයගේත් යහපත සඳහා නොපවතියි· එබඳු තීරණ නිබඳවම විපත්තිකර ප්රතිඵල උදාකරවයි· යමක යථාර්ථය වටහා ගැනීමට බාධා පමුණුවන ප්රභලම සාධකය වන්නේ එය පිළිබඳව නිදහස්ව සිතීමට නොහැකි වීමයි· අපගේ භෞතික වූත් ආධ්‍යාත්මික වූත් සංවර්ධනය රඳා ඇත්තේ නිදහස් චින්තනය මතය· නූතනයෙහි විද්‍යාත්මක චින්තනය යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම නිදහස් චින්තනයයි· වර්තමාන ලෝකයෙහි දක්නට ලැබෙන විද්‍යාත්මක දියුණුවෙහි ප්රතිලාභ සියල්ල නිදහස් චින්තනයේ ප්රතිලාභ ලෙස හැඳින්විය හැකිය·

නිදහස් චින්තනය ඇති කර ගන්නා ආකාරයත් එහි අගයත් ලෝකයට පළමුවරට හඳුන්වා දෙනු ලැබුවේ බුදුන් වහන්සේ විසිනි· බුදුදහම සත්‍යය පදනම් ‌‌කොට ගන්නා ලද්දකි· නිදහස් චින්තනයෙන් තොරව සත්‍යයට ළඟා වියහැකි මගක් නැත· සත්‍යයෙන් තොරව මුළාවෙන් අත් කරගත හැකි යහපත් කිසිවක් ලෞකිකව හෝ ලොකොත්තරව කැලම නැති බැවින් බුදුන් වහන්සේ සත්‍යයට ළං විය හැකි මාර්ග හෙළි පෙහෙළි කළහ· බුදුදහමින් දැක්වෙන දුක් නැති කරගත හැකි මාර්ගයෙහි පළමු පියවර වන්නේ සම්මා දිට්ඨිය ‌‌‌හවත් නිවැරදි දැකීමයි· නිදහස් චිතනය නිවැරදි දැකීම ඇති කරවයි· 

නිදහස් චින්තනය යන්‌නෙන් අදහස් කරන්‌නේ කි‌‌මෙක්ද? බැඳීම්වලින් ‌‌තොර පි‌යෙවි මනසින් යමක් පිළිබඳව ‌සොයා බැලීමයි ‌මෙය එක්තරා ආකාරයකින් පිරිසුදු මනසින් යමක් පිළිබඳව සිතා බැලීමක් ‌ලෙසද හඳුන්වා දිය හැකිය· අ‌පේ මනස ‌කොටු කර තබන එ‌සේත් නැතහොත් බැඳතබන ප්රධාන කරුණු සතරක් බුදුදහමින් පෙන්වා දී ඇත ඒවා සතර අගති යනු‌‌වෙන් හැඳින්‌වෙයි· ඡන්ද, දොස, භය, මොහ යනු සතර අගතියයි· මේවායින් වසා තබන මනසට යම්කිසි දෙයක හෝ යම්කිසි පුද්ගලයකුගේ පවත්නා යථා ස්වරූපය නිවැරදිව වටහා ගත නොහැකි වෙයි·

මෙහි ඡන්දය යනුවෙන් අදහස් වන්නේ කිසියම් දෙයකට හෝ කිසියම් පුද්ගලයකුට කුමන කරුණු නිසා හෝ ඇති වන කැමැත්ත, ආශාව හෝ බැඳීමයි· ඉන්ද්රියයන් මගින් යම් අරමුණක් ගැනීමේදී එම අරමුණ ප්රිය හෝ අප්රිය වශයෙන් වර්ග කර ගැනීම අපගේ මනසෙහි ඇතිවන ස්වාභාවික ප්රවණතාවකි· ප්රිය වශයෙන් ගන්නා අරමුණට කැමැත්තක්, ආශාකිරීමක්, බැඳීමක් අප තුළ ඇති වෙයි· ඡන්දය යනුවෙන් මෙහිදී සැළකෙන්නේ එම කැමැත්ත හෙවත් බැඳීමයි· එබඳු කැමැත්තකින් පුද්ගලයකු කෙරෙහි බැඳුණු විට එම පුද්ගලයාගෙන් සිදුවන කවර අකටයුත්තක් වුව ද සාධාරණීකරණය කිරීමට අපි පෙළෙඹෙමු·

අප්රිය වශයෙන් ගන්නා අරමුණ කෙරෙහි අප තුළ ඇති වන්නේ විරෝධී ආකල්පයෙකි· එම අරමුණෙන් බැහැර වීමට, එයට එරෙහි වීමට හා එය පිළිකුල් කිරීමට අප තුළ පෙළඹීමක් ඇති වෙයි· අරමුණට දක්වන විරෝධාකල්පය හැඳින්වෙන්නේ දොස හෙවත් ද්වෙෂ යනුවෙනි· යම් පුද්ගලයකු කෙරෙහි අප තුළ ද්වෙෂය පවත්නා තාක් කල් එම පුද්ගලයාගෙන් සිදුවන කවර යහපත් දෙයක වුව ද යහපත දැකීමට අපට නොහැකි වෙයි·

භය යනුවෙන් ගැ‌නෙන්නේ යම් යම් හේතූන් නිසා අරමුණට දක්වන බියයි· බියට පත් මනසින් ද හරිවැරදි වටහා ගැනීමට නොහැකි වෙයි· එමගින් ස්වකැමැත්තෙන් තීරණ ගැනීමේ හැකියාව වළැක්වෙයි· සතරවැනි අගතිය මෝහයයි හෙවත් මුළාවයි· යමක හරිවැරදි වටහා ගැනීමට නොහැකි බව එයින් අදහස් වෙයි· එයින් ඇති වන්නේ මනස වික්ෂ්ප්ත වීමකි· ඉහත දැක්වූ අගති සතරම නිදහස් හෙවත් ස්වාධීන චින්තනයට බාධාකර කරුණුයි· ඒවා අගති නමින් හැඳින්වෙන්නේ ඒ්වා මගින් පුද්ගලයා වැරදි දෙසට නැඹුරු කරවන බැවිනි· පුද්ගලයා පක්ෂග්රාහී බවට පමුණුවන අරුතින් ද ඒවා අගති නම් වෙයි·

මෙම කරුණුවලින් පුද්ගලයා තුළ ඇති වන පක්ෂග්රාහිත්වය යමක යථාර්ථය වටහා ගැනීමට බාධා පමුණුවනු පමණක් නොව පක්ෂග්රාහී තීරණවලට ද නතු කරවයි· එබඳු තීරණ ඇතැම්විට මුලුමහත් මානව වර්ගයාගේ ම අයහපතට හා විනාශයට හේතු විය හැකිය·

අගතිගාමීව ක්රියා කිරීම ධර්මයෙන් පිට පැනීමක් ලෙස ද අගතිවලින් තොරව ක්රියා කිරීම ධර්මයෙහි පිහිටීමක් ලෙස ද බුදුන්වහන්සේ විසින් සිගාලෝවාද සූත්රයෙහි දී සඳහන් කොට තිබේ· එබැවින් තමන් බෞද්ධයයි ප්රතිඥා කරන කිසිවකුට අගතිගාමීව හෙවත් පක්ෂග්රාහීව ක්රියා කිරීමට හැකියාවක් නැත·

පුද්ගලයා අන්තගාමී වීමට පෙළඹෙන්නේ ද මෙම අගතිගාමිත්වයෙහි ප්රතිඵලයක් වශයෙනි· රට, ජාතිය, කුලය, වර්ගය, ආගම, භාෂාව, පක්ෂය වැනි කරුණු කෙරෙහි බොහෝවිට මිනිසුන් දක්වන්නේ පක්ෂග්රාහී ආකල්පයකි· ඒ්වා තමන්ගේ කර ගන්නා විට ඡන්දාගතියෙනුත් අනුන්ගේ වන විට ද්වෙෂාගතියෙනුත් ක්රියා කරනු බොහෝවිට දක්නට ලැබේ· මෙම සංකල්පවලට දැඩිව බැඳී ඒවා ආධානග්රාහී කර ගැනීමෙන් ඇති වන්නේ විරුද්ධ පාක්ෂිකයන් සමග ගැටුම්වලට ඇදී යාමයි·මෙම ගැටුම් බොහෝවිට අවසන් වන්නේ මුළුමහත් සමාජයකටම මහා විනාශයක් ගෙන දෙමිනි·

ලංකා සමාජය තුළ මෙබඳු විනාශයන් වරින් වර අපි අත්දකිමු· රට ජාතිය ආගම හා භාෂාව මෙන් ම දේශපාලන පක්ෂ මුල් කොටගෙන ද තමන් ගත් මතයේ ම එල්බ ගෙන ජනතාව අතර අසමගිය ඇති කර ගැනීමෙන් සිදුවන මනුෂ්‍ය ඝාතන හා දේපළ විනාශ කොතෙකුත් දක්නට ලැබේ· මතවාදවල එල්බ ගැනීමෙන් සිදුවන්නේ පුද්ගලයාගේ මනස අන්ධ වීමයි· මසැස අන්ධවීමට වඩා මනස අන්ධවීම භයානකය· තමන් කරන කියන ක්රියාවල ප්රතිඵල කෙතරම් භයානක වුවද මනස අන්ධ වූ තැනැත්තාට ඒවා ගැන සීතීමට හැකියාවක් නොලැබෙයි· එවැන්නකුට හැකිවනුයේ ප්රතිඵලය උදා වූ පසු ඒගැන පසුතැවිලි වීමට පමණි·

ක්රියාවක් කිරීමට හෝ වචනයක් ප්කාශ කිරීමට පෙර එබඳු දෙයකින් අත්විය හැකි ප්රතිඵලය දෙස බැලීමට බුදුදහමින් උපදෙස් දෙයි ප්රතිඵලය තමන්ටත් අනුන්ටත් යහපත ගෙන දෙන්නක් නම් එබඳු දේ කළයුතු බවත් ප්රතිඵලය අයහපතක් නම් එබඳු දෙය නොකළයුතු බවත්  බුදුදහමේ උපදේශයයි· බුදුදහමෙහි කුසල් අකුසල් විවරණය වන්නේ ඒ අයුරිනි· ප්රතිඵලය ගැන සිතා බලමින් ක්රියාකාරකම් වල හැසිරිය හැක්කේ නිදහස් චින්තනය හසුරුවාලිය හැක්කෙකුට පමණි·

අපේ රටේ ජනතාව මැතිවරණයක් ආසන්නයෙදී පිල්වලට බෙදී තම තමන්ගේ ගැති හා වහල් චින්තනය සමාජයට මුදා හරිමින් සිටියි· රට ජාතිය හා ආගම රැක ගැනීමටයයි වහසි බස් දොඩමින් එක් එක් දේශපාලන කඳවුරුවල එල්බීගෙන ඔවුනොවුන් අතර ඇති කර ගන්නා වාදවිවාද හා ගැටුම් අවසන් වන්නේ බොහෝවිට මනුෂ්‍යඝාතන හා දේපළ විනාශවීම් වලිනි·

අපේ රටේ දෙශපාලන පක්ෂ හා නායකයෝ කාලාන්තරයක සිටම ජනතාව වහල් චින්තනයට හුරු පුරුදු කරමින් සිටිති· පාලන තන්ත්රයේදී රාජ්‍ය පාලකයන් තමන් කරන සොරකම් දූෂණ හා භීෂණ ජනතාවගෙන් වසං කොට ගෙන ඒ්වා තවදුරටත් කරගෙන යාමට ඔවුනට අවසර ලැබෙන්නේ ජනතාව වහල් චින්තනයට හුරු වන තරමටය· පක්ෂවලට ගැතිව සිතන්නන්ට තම පක්ෂ නායකයන් කවර තරමින් මහජන දෙපළ සොරා කමින් දූෂණයන්හි නිරත වුවද ඒ්වා ගණන් ගතයුතු තත්වයක නැත· සාමකාමී සංර්ධිත රටක අවශ්‍යතාව කතා කරමින් ම තමන් ගැතිකම් දක්වන දූෂිතයන් බලයට ‌‌ගෙන ඒමට දරදිය ඇදීම බොහෝවිට දක්නට ලැ‌බේ·

රටේ ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමේ වගකීම පැවරී ඇති භික්ෂූන් වහන්සේගෙන් බොහෝ දෙනෙක් ද පැටුවුන්ට කෙළින් ඒමට කියමින් තමන් ඇදට යන කකුළු න්‍යායයෙන් ක්රියා කරති· පක්ෂග්රහිත්වය ධර්මයෙන් පිට පැනීමක් බව දැන දැන ම එක් එක් පිළ්වලට බෙදුණු භික්ෂූහු තම තමන් ගත් මතයෙහි ජනතාව පිහිටුවන්නට කැස කවති·

ගිහියකු පක්ෂග්රාහී වනවාට වඩා භික්ෂුවක් පක්ෂග්රාහී වීම අතිශයින් ම භයානකය· භික්ෂුව ආදර්ශවත් පුද්ගලයකු ලෙස පිළිගැනෙන බැවිනි· භික්ෂුව ධර්මයෙන් පිට පැන එක් එක් පක්ෂයකට ගැතිකම් කරන විට අනුගාමිකයන්ට කාගේ සරණක්ද? පක්ෂග්රාහී තැනැත්තා හරි දේ වැරදි ලෙසත් වැරදි දේ හරි ලෙසත් දකියි· ඇතමුන්ගේ පක්ෂග්රාහිතවය කෙතරම් දැඩිද කිවහොත් ධර්ම සංකල්ප පවා අධර්ම සංකල්ප බවට හරවා දක්වන අවස්ථා ඇත· මෑතක කිසියම් භික්ෂුවක් දසරාජ ධර්ම සංකල්පය බුදුදහමට අනුකූල නොවන්නක් බවට කළ ප්රකාශයක් මාධ්‍යජාලයන්හි සංසරණය වෙයි· මෙම භික්ෂුව මෙබඳු ප්රකාශයක් කිරීමට පෙළඹෙන්නේ තමන් අනුමත නොකරන දේශපාලන න්‍යාය පත්රයක දශරාජ ධර්මය ඇතුළත් වන බැවිනි· පක්ෂග්රාහිත්වය පුද්ගලයා අන්ධ කරන බවට එය හොඳම නිදසුනකි·

බුදුදහම පුද්ගලයා වහල් මානසිකත්වයෙන් මුදවා නිදහස් නිවහල් චින්තනයට පොළඹවන දහමකි· එබඳු දහමක් තමන්ගේ කරගත් ජනතාවකගේ සමාජ වටපිටාව කෙතරම් සාමකාමී වියයුතුද? දහමෙහි වුවත් ඇලීමක් තබා නොගතයුතුයයි බුදුදහම පවසයි· දිවිහිමියෙන් බුදුදහම රැකගන්නට වහසිබස් දොඩන ගිහිපැවිදි බෞද්ධ ජනතාවට තමන් කථාකරන බුදුදහම කුමක්දැයි යළිත් ආවර්ජනය කර බැලීමට තවමත් කල් ඉකුත් වී නැත·

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    ගෝඨාභය කියන්නේ සිංහල බෞද්ධයෙක් නෙමෙයි.
    මම දැක්ක The Island එකේ news එකක්. ඊට පස්සේ මම ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියැව්ව.
    ඒකේ ” මස් සහ බිත්තර අපනයන කර්මාන්තයක් ලෙස” කියන එක යටතේ අන්තිම එක මෙහෙම කියනව.
    “ගෘහාශ්‍රිත වස විසෙන් තොර “මස් විකිණීම” සඳහා මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබා දෙනු ලැබේ.”
    දැන් අපේ මහා සංඝරත්නය මේක දැක්කද?
    ඈත අතීතයේ පටන් මේ සිංහල බෞද්ධ රට බේරා ගන්න ඓතිහාසික මෙහෙවරක් කලැයි කියල අපිට කියන මහා සංඝ රත්නය දැන් ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයන්ට කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන මස් වැද්දට චන්දෙ දෙන්න කියලද?
    මස් වැද්දෙකුට මිසක් වෙන් මිනිහෙක්ට පොරොන්දු වෙන්න පුලුවන්ද මේ සිංහල බෞද්ධ රටේ ගෙවල් වල මස් කඩ අරින්න තාක්ෂණික සහ මූලය ආධාර දෙනවා කියල?
    මේ පොරොන්දුව දීල තියෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට.
    ගෝඨාභය කියනවනේ එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ උගත්තු සහ වියත්තු විශාල ප්‍රමාණයක් කියල. ඒ කියන්නේ ඒ පිරිසේ එක බෞද්ධයෙක්වත් ඉඳල නැහැ. ඔක්කොම අබෞද්ධ, නමට බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ දෙමල උගත්තු සහ වියත්තු තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදල තියෙන්නේ.
    දැන් ගෝඨාභය රාජපක්ෂ මහා සංඝ රත්නයෙන් අවසර ගත්තද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වන්න ඉස්සෙල්ල?
    මම හැමදාම කිව්වා දෙයක් තමයි මේ රටේ කිසි පාලකයෙක් මේ අවුරුදු 70ට සිංහල බෞද්ධයන් වෙනුවෙන් කිසි දෙයක් කලේ නැහැ. මම දිගින් දිගටම ලිව්වා ලංකාවේ ඊළඟ ජනාධිපති විදිහට තෝරාගන්න ඕනේ නියම, නියම සිංහල බෞද්ධයෙක් කියල.
    දැන් මේ ලංකාවේ හාමුදුරුවරු තෝරාගෙන තියෙන්නේ සිංහල බෞද්ධයෙක්ද?
    සිංහල බෞද්ධයෙක්ට මෙහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් පුලුවන්ද?
    මහා ලොකුවට රට ජාතිය ආගම රැක ගන්නව කියන විමල් වීරවංශයි ගම්මන්පිලයි දෙන්න මුළු රටම රවට්ටලා තියෙනව. රට ජාතිය පාවල දීල තියෙනවා මේ වගේ මිනිහෙක් තෝරාගෙන.
    මම සියලු බෞද්ධයන්ට කියනවා මේ සිංහල බෞද්ධ රටේ ගෙවල් ගානේ මස් කඩ අරින්න සල්ලි දෙනවා කියල පොරොන්දු වෙලා තියෙන ගෝඨාභය රාජපක්ෂ කියන අබෞද්ධයාට චන්දෙ දෙන්න එපා කියල.

  • 1
    1

    බෞද්ධයෙක් විදිහට ගෝඨාභය මුළු රටේම ඉන්න සිංහල බෞද්ධයන්ව නොමඟ යවල මේ බෞද්ධ රට මස් කඩ වලින් පිරිනු රටක් කරන්න හදන එක හදවතට ලොකු වේදනාවක් වෙලා තියෙන වෙලාවක තව කියන්න දෙයකුත් තියෙනව.
    ඩලස් අලහප්පෙරුම මාස කීපෙකට ඉස්සෙල්ල කිව්වා ගෝඨාභය කියන්නේ මස් මාළුවත් කන්නේ නැති තනිකර එළවලු කන මිනිහෙක් කියල. දැන් බලන්න මේක මොන තරම් වංචාවක්ද කියල.
    මස් මාළු කන්නේ නැහැයි කියල කියන මිනිහම ගෙවල් වල මස් කඩ අරින්න මූල්‍යමය සහ තාක්ෂණික ආධාර දෙනව කියන එක මොන තරම් සදාචාර විරෝධීද? මොන තරම් වංචනිකද?
    මේකෙන් කියන්නේ තමන්ට බලය ගන්න ඕනෑම දෙයක් කරන්න ජාති විරෝධී ආගම විරෝධී වැඩක් වුනත් කරන්න පසුබට වෙන්නේ නැහැ කිඉයන එක නේද?
    මේකත් එක්කම පුරවැසිභාවය නැති කරගත්ත කියල කියන එකයි ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල කිසි දවසක “නොකියයපු” එකයි එකට තියල බලන්න.
    ජනාධිපති වෙන්නත් ඉස්සෙල්ල සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය කඩපු මිනිහෙක් ජනාධිපති වුනාට පස්සේ MCC, SOFA ගිවිසුම් අත්සන් නොකර ඉඳියිද?
    හාමුදුරුවනේ, මම කියන හින්ද නෙමෙයි, ටිකක් නැවතිලා තර්කානුකූලව, විවේචනාත්මකව, විශ්ලේෂනාත්මකව හිතල බලන්න රට ජාතිය ආගමට පණ වගේ ආදරය කරන ලංකාවේ දේශප්‍රේමී කඳවුර නියෝජනය කරන්න මහා ඉහලින් තෝරා ගත්ත ඔබ වහන්සේලාගේ තේරීම හරිද කියල.

  • 1
    1

    ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනව මස් අපනයන කර්මාන්තයක් ලෙස කියල.
    හත් දෙයි හාමුදුරුවනේ, අපනයනය කරන්න නම් මොන තරම් හරක් මරයිද?
    අපි ඉස්සර මරන්න යන හරක් නිදහස් කරන්න සල්ලි එකතු කරනවා. එක පාරක් මම මගේ මුළු පඩියම තිබ්බ ලියුම් කවරේ පිටින්ම දුන්න හරකෙක් නිදහස් කරන්න. ගෝඨාභය නම් කිසි දවසක මේවා කරනවා තියා අහලවත් නැතුව ඇති. නැත්නම් මස් පිටරටට විකුණන කරමන්තයක් පටන් ගන්න හිතයිද? අහිංසක සත්තු නොමැර සල්ලි හොයන්න තව කොච්චරක් නම් දේවල් කරන්න පුලුවන්ද?
    හනේ දෙයියනේ හරක් විතරක්ද, තව සත්තු කුකුලෝ එළුවෝ කැලේ සත්තු මුවෝ, මොණරු, වල් ඌරෝ, අලිත් මරයි නේද මස් වලට පිටරටට විකුණන්න? මුළු රටම සත්තුන්ගේ ලේ වලින් පිරිලා ගඳ ගහයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.