23 March, 2025

Blog

බුදුන් හා සඟුන් පමණක් බුදුදහම කරගැනීම

කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

ශී‍්‍ර ලංකාවෙහි බුදුසසුන පිහිටුවා මේ වන විට අවුරුදු දෙදහස් පන්සියයට කිට්ටු වී ඇත. එක්තරා අවදියක ධර්මද්වීපය යන විරුදාවලිය ද ලක්දිවට පිරිනැමී තිබිණ. බුදුන් වහන්සේ විසින් භාරතයේදී නිර්දෙශ කරන ලද පර්යාප්ති ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිවෙධ යනුවෙන් එන සම්බුද්ධසාසනයේ පර්යාප්තිය නැසී යා නොදී ආරක්‍ෂා කරන ලද්දේ ද ශී‍්‍ර ලාංකිකයන් විසිනි. ඒ පාලි ති‍්‍රපිටකය සහ එහි අටුවා ටීකා ග‍්‍රන්ථාරූඪ කොට සංරක්‍ෂණය කිරීමෙනි. පිරිසුදු ථෙරවාදයේ කේන්ද්‍රස්ථානය ශී‍්‍රලංකාව වශයෙන් සළකා විදේශිකයන්ගේ සම්භාවනයට ද එය පාත්‍ර​ විය ඒ සියල්ලට ම වඩා බුදුදහමට අනුව තම දිවිපෙවෙත හා හැසිරීම් රටාව සකසා ගත් ලාංකික ජනතාව ලෝකයේ විශිෂ්ට ජන වර්ගයක් වූ බවට සාධක තිබේ. සියලු අබරණින් සැරසුණු රුවැති ලඳකට කිසිදු අතවරයකට මුහුණ නොදී අනුරපුරයේ සිට රුහුණු පුරයට යාමේ හැකියාව තිබිණැයි පැවසෙයි. රොබට් නොක්ස් සිංහල බෞද්ධ ජනතාව දුටුවේ බෙහෙවින් ශීලාචාර ජන කොටසක් වශයෙනි. එහෙත් මේ සියල්ල අතීත සිදුවීම්ය.

බුදුදහම ලාංකිකයන්ට ලැබුනු අති උතුම් දායාදයක් බවට කිසිදු සැකයක් නැත. අතීතයෙහි විසූ අපගේ මුතුන් මිත්තන් තම ජීවිත සරු කර ගැනීමට බුදුදහම යොදා ගත් අයුරින් වර්මානයෙහි අපත් කි‍්‍රයා කරන්නේදැයි විමසා බැලීම වැදගත්ය. අද එය වඩාත් උචිත වන්නේ බෞද්ධයයි කියා ගන්නා ලක්වැසි බොහෝ දෙනකු අද බුදුදහම වෙනුවෙන් තම දිවි පරදුවට තබා කි‍්‍රයා කිරීමේ උනන්දුවකින් කතාබහ කරන පරිසරයක් නිර්මාණය වී ඇති බැවිනි.

වර්තමානයෙහි ලාංකික බෞද්ධ සමාජයේ බෞද්ධ කි‍්‍රයාකාරකම් දෙස මතුපිටින් බලන්නකුට දක්නට ලැබෙන්නේ බුදුදහම පිළිබඳ පුදුමාකාර උනන්දුවක් ජනතාව තුළ පවත්නා බවයි. ගමක් ගමක් පාසා අහස උසට ගොඩ නැඟුණු වෙහෙර විහාරාදියෙන් සමලංකෘත වූ පන්සල්ය. පොහොයක් පාසා පෙහෙවස් සමාදන් වනු සඳහා සුදුවතින් සැරසී ඒ පන්සල්වලට සැදැහැතින් පියනගනා සිය දහස් ගණන් උවසු උවැසියෝය. ආරාමයක් පාසා දහසින් බැඳි පියලි යොදවා වැඩමවා ගන්නා දෙඇස් ඇද බැඳ තබන තරමට කාන්ති කඩා හැලෙන සිවුරෙන් සැරසුණු සුමධුර ධර්මකථික තෙරවරුන්ගෙන් ශොභමාන ධම්සභා මණ්ඩපයෝය. ලොව වෙනත් කිසිදු රටක දක්නට නොලැබෙන තරමට රූපවාහිණී නාලිකාවක් ගුවන් විදුලි සේවයක් පාසා උදේ හවස අසන්නට ලැබෙන ධර්ම දේශනාවෝය. ධර්ම විශාරද මහැදුරුවරුන් හා ධර්ම කථිකයන් ගෙන්වා පැවැත්වෙන ධර්ම සාකච්ඡාවෝය.

දහස් ගණන් මහජනතාව පිරිවරා කෙරෙන මහා පරිමාණ බොධිපූජා පිච්ච මල්පූජා නෙළුම්මල් පූජා පලතුරු පූජා ඖෂධ පූජා ආදිය නිතර නිතර දක්නට ලැබෙයි. දුටු දුටුවන්ගේ සැදැහැ සිත් පොබයමින් මහ සඟරුවන වියදඬු පමණට දෙනෙත් යොමා සුපෙශලව වැඩමවන සංඝික දාන පුජා ද අසීමිතය. රසමසැවුලෙන් සැකසුණු ආහාරපානයන්ගෙන් සමන්විතව කෙරෙන උපන්දින භික්‍ෂු සාදයෝ ද තැන තැන දක්නට ලැබෙති. ගිහිපැවිදි දෙපක්‍ෂය ම ඕනෑම විටෙක බුදුසසුන වෙනුවෙන් දිවි පිදීමට නිබඳ සැදී පෑදී සිටිති. බුදු සසුනට තර්ජනයක් යැයි සිතෙන සුළු දෙයකට වුව ද තම දිවි පරදුවට තබා පොලූ මුගුරු රුගෙන සටනට අවතීර්ණ වීමට සැරසුනු අය ද බොහෝය. බුදු සසුන වෙනුවෙන් සිරබත් කෑමට වුව ද ඉදිරිපත් වන්නෝ ද යහමින් සිටිති.

මේ සියල්ල දකින කෙනකුට ලක්දිව බුදුසසුන බැබලීමට මීටත් වඩා තවත් වෙන මොනවාදැයි සිතෙනු නො අනුමානය. එහෙත් බුදුදහමින් අපෙක්‍ෂා කෙරෙන්නේ මේවාදැයි අප මොහොතකට සිතා බැලිය යුතුය. මිනිසුන්ගේ කායික මානසික හැසිරීම සම්බන්ධයෙන් බුදුදහමින් අපට යමක් නොලැබී ගියාවත්ද? කිසිදු දහමකින් ලබාගත නොහැකි තරම් වූ බුදු දහමේ ශ්‍රෙෂ්ඨ දායාදයන් ඇත්තට ම අපට උරුම වී තිබේද? බුදුදහම පෙන්වා දෙන ආධ්‍යාමික ගුණ ධර්ම අපේ සමාජය දේහය තුළින් ඉස්මතු වී පෙනේද?

බුදුන් තෙවරක් වැඩමවා තම පා පහසින් ලක් පොළොව පවිත්‍ර කළ බව ලංකාවේ බෞද්ධයෝ ආඩම්බරයෙන් අදහති. බුදුන්වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැඩහිඳිමින් බුදුදහම රුකෙන එකම රට ලක්දිවයයි පවසා එය රැුකීමේ වගකීම සක්දෙවිඳුට පැවරූ බව ද හිමිවරු දහම් දෙසුම්වලදී පවසති. එහෙත් එබඳු රටක වෙසෙන බෞද්ධයයි කියා ගන්නා ගිහිපැවිදි බහුතරයක කියුම් කෙරුම් හැසිරීම් කෙබඳුද?

අද බොහෝ දෙනා ඔවුනොවුන් ඇන කොටා ගන්නා මානසිකත්වයකින් උමතු වී සිටිති. ආත්මාර්ථය ඉහවහා යමින් තමන් පමණක් ජීවත් වුවහොත් ඇතැයි යන ආකල්පය මගතොට රිය පැදවීමේදී පවා ප‍්‍රදර්ශනය කරති. ඉවසීමේ ගුණයක් දක්නට ඇත්තේ ම නැත. නොතිත් වූ ධනාශාව මුළු මනස පුරා ඔඩු දුවා යාම නිසාම නොකරන දූෂණයක් දුරාචාරයක් නොමැත. ජනතාවට නායකත්වය දෙන මැති අමැතිවරු ජනතාව සතු දේපල විලිලජ්ජාවකින් තොරව අවභාවිත කරති. ඹවුහු ජනතාව දුගී බවෙහි ගීලෙද්දී අතිශය වරප‍්‍රසාද භුක්ති විඳිති. ආරක්‍ෂක රථ පිරිවරා මිලියන දහස් ගණන් වටිනා අතිසුඛොපභොගී රථවලින් උජාරුවට නොගොස් ජනතා ප‍්‍රශ්න විසඳීමට නොහැක්කෝ වෙති. තම නෑදෑ හිතමිතුරන්ට ජනතා දේපළ හිතුපරිදෙන් ගසා කෑමට අවස්ථාව සලසා දෙති. ධර්මරාජ්‍යය, ධර්මිෂ්ඨ සමාජය, ලිච්ඡුවිපාලනය, මැදුම් පිළිවෙත ආදී විශිෂ්ට බෞද්ධ සංකල්ප ජනතාව රවටනු සඳහා වෛශ්‍යා වෘත්තයෙහි යොදවති. මිලියන දහස් ගණනින් කොමිස් කුට්ටි කඩා ගතහැකි ව්‍යාපෘතියක් ලැබෙන තෙක් කෙළ හලා හලා බලා සිටිති.

සමස්තයක් වශයෙන් බෞද්ධ ජනතාව වාර ගණනේ සීමාවක් නැතිව පන්සිල් සමාදන් වෙතත් මිනීමැරීම්, සොරකම් කිරීම්, ස්තී‍්‍රන්ට එරෙහි ලිංගික අපරාධ​, ළමා අපචාර ඉහවහා ගොස් තිබේ. සියදිවි නසා ගැනීම් ද දිනෙන් ඉහල යයි. කාන්තාවකට රන් මාලයක් ගෙලේ පැළඳ මග තොටේ ඇවිද යා නොහැකිය. පොළොවේ පස් අඟලට මිනී මරා ගන්නෝ ද බොහෝය. අනුන්ගේ දියුණුවට අකුල් හෙලීම, මිතුරන් කෙටවීම, තමාගේ අතින් වියදමි කොට ගෙන වුව ද අනුන්ගේ විවාහ යෝජනා කඩා කප්පල් කරීම ආදී එකි නොකී දුසිරිත් දුරාචාරවල යෙදෙන්නෝ ද බැලූ බැලූ තැනය. මහලු දෙමාපියන් මහමග පාලූ තැන්වල අසරණ කොට දමා යන දූදරුවන් ගැන ද අසන්නට ලැබෙයි.

ගිහියන් දුසිරිතෙන් මුදවා සුචරිතයෙහි යෙදවීම යුතුකම හා වගකීම කරගත් පැවිදි උතුමන්ගෙන් ඇතැමුන් ගිහියන්ගෙන් වෙනස් වන්නේ ද කසාවතින් පමණි. දෙසිය විස්සක් වන විනය ශික්‍ෂා කෙසේ වෙතත් පාරාජික හතරවත් තුට්ටුවකටවත් නොතකන මහණ බමුණෝ ද වෙති. බුදුන්ට පිදියයුතු තැන දේශපාලකයන්ට පුදා ඔවුන්ගේ ආවතේවවලට දිවියම කැප කරන්නෝ ද වෙති. උද්ඝොෂණවලට බෙහෙවින් පි‍්‍රය කරන ඇතැම්මු ඒවායේදී යක්‍ෂාවෙශ වෙති. රා කළ සොළසක් බී ආවෙශ වූ නාලාගිරියා මෙන් උමතු වී සිවුරු ද කඩා හලා ගෙන ඔබිනොබ දුවති පනිති. තර්ජනාංගුලිය ද එල්ල කරති. අපිස් දිවිය පසෙක තබා සුඛොපභොගය පසුපස හඹා යන ප‍්‍රවණතාව භික්‍ෂු සමාජය තුළින් ද මොනවට කැපී පෙනේ. හැම කෙනෙක් ම ගැටුමක් ඇති නොවන තෙක් සියලු සත්වයෝ සුවපත් වෙත්වායි මෙත් වඩති. එහෙත් අවස්ථාව එළැඹි විට මනුෂ්‍යත්වය ද බල්ලට දමා යකා නටති. බුදුන් වහන්සේ විසින් අවබොධ කොට ලොවට විවර කළ සත්‍යය පසෙක තිබියදී තමන් බුදු වූ බවට අත්තුක්කංසනයෙහි යෙදෙමින් පරවම්භනය කරන අමුතු බුදුවරයෝ ද වෙති.

මේවා බුදුදහමේ ආභාෂයෙන් අපට ඇබ්බැහි වූ ගුණාංගදැයි මදක් විමසා බැලීම බෞද්ධයයි කියා ගන්නා කාගේත් යුතුකම වෙයි. බුදුදහම නිවන් මග කියා දෙන්නක් පමණක් නොව ජීවත් වියයුතු ආකාරය ද පැහැදිළි කර දෙන දහමකි. මිනිසා හුදෙකලාව ජීවත් නොවන සමාජ සත්වයකු වන බැවින් සමාජයේ අනෙක් සාමාජිකයන් සමග ජීවත් වියයුතු සැටි බුදුදහමින් මනාව පැහැදිළි කොට දී තිබේ. පංචශීල ප‍්‍රතිපත්තිය තුළ මේ සියල්ල බොහෝ සෙයින් ඇතුළත් වි ඇත. පංචශීලය යනු බුදුදහම නිතරම අවධාරණය කරන කරුණා මෛත්‍රී වැනි ගුණාංග මත කි‍්‍රයාත්මක වන ප‍්‍රතිපත්තියකි. එය පුද්ගල ජීවිතයක් තුළ කි‍්‍රයාත්මක වන්නේ නම් හිංසාව ද්වෙෂය කුරිරුකම වංචාව සට කපට කම් පැවතිය නොහැකිය. ඒවා පවතින්නකු තුළ පංචශීලය ද නොපවතියි. යටත් පිරිසෙයින් පංචශීලයවත් ආරක්‍ෂා නොකරන්නකු බෞද්ධයකු විය නොහැකිය. බුදුසසුන රුක ගැනීම සඳහා පණ දෙන්නට පොරකන ගිහිපැවිදි කවුරුත් තමන් සතුව පංචශිලයවත් පවතින්නේදැයි විමසා බැලීම බෙහෙවින් වැදගත් වෙයි.

මේ හැර අඹුදරු මාපියන් සහිත පවුලක් සතුටින් හා සාමයෙන් පවත්වත්වා ගත යුතු පිළිවෙල ද බුදුදහමින් කියා දෙයි. දූෂණ වංචාවන්ගෙන් තොරව දැහැමි දිවි පෙවතක් පවත්වා ගනිමින් ණය තුරුස් නොවී සතටින් ජීවත් වියහැකි කි‍්‍රයා මාර්ග ද නිර්දේශ වී තිබේ. බුදුදහම පුද්ගල ජීවිතයට බද්ධ කර ගන්නේ බුදු වදන් අනුව ජීවත් වීමෙනි.

අද බෞද්ධ සමාජයේ ආගමික කි‍්‍රයාකාරකම්වලින් පෙනී යන්නේ බුදුන් පිදීම සහ සඟුන් සැළකීම පමණක් බෞද්ධකම ලෙස ගෙන ඇති සැටියකි. ධර්මය වල් වැදී ඇති බවකි. බුද්ධපූජා බොධිපූජා ධාතුපූජා අනන්තවත් පවතියි. ඒ හැම එකක් ම බුදුන් උදෙසාය. භික්‍ෂූන්ට වන්දනාමාන කිරීම සිවුපසය සැපයීම වැනි දේ ද කෙරෙයි. ඒ සඟුන් උදෙසාය. එහෙත් ධර්මය උදෙසා කෙරෙන්නේ මොනවාදැයි අපගෙන් ම ඇසීමට සිදු වෙයි.

බුද්ධවන්දනාව හා සඟුන්ට සැළකීම අයහපත් දේ නොවේ. එහෙත් ප‍්‍රමුඛත්වය දිය යුත්තේ දහමටය. බුදුන් වහන්සේ පවා තමන්ගේ ගුරු තනතුරට පත් කර ගත්තේ ධර්මයයි. බුදුන්ගේ රුපයට වසී වී උන්වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටි වක්කලි තෙරුන්ට බුදුන් වහන්සේ දුන් අවවාදය අප මෙනෙහි කළ යුතුය. ඒ වූ කලි “වක්කලි, දෙතිස් කුණපයෙන් සැදුනු මේ කුණු කය දෙස බලා සිටීමෙන් ඇති ඵලය කිම? ධර්මය තුළින් බුදුන් දකින්න.” යන්නයි, ධර්මය තුළින් බුදුන් දැකීම අන් සියලු පූජා පරදන ශ්‍රෙෂ්ඨතම බුද්ධ වන්දනාවයි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.