15 December, 2017

Blog

උදර්පණය ගැන පැහැදිළි කිරීමක්

ගෙහාන් ගුණතිලක

ගෙහාන් ගුණතිලක

ශ‍්‍රී ලංකාවේ ‘බලහත්කාරී අතුරුදහන් කැරවීමෙන් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ සම්බන්ධයෙන් මතු වූ මෑත කාලීන විවාදයේදී උදර්පණය පිළිබඳ සංකල්පය බෙහෙවින් කතාබහට ලක්විය. ඉහත කී පනතට විරුද්ධ අයවළුන් කියා සිටින පරිදි, ශ‍්‍රී ලංකාවේ කරන ලද අපරාධයක් සම්බන්ධයෙන් විභාග කිරීමේ අධිකරණ බලයක් නැති විදේශ රටකට ශ‍්‍රී ලාංකික පුරවැසියන් උදර්පණය කිරීමට මේ පනත යටතේ හැකි වන බවයි. මෙය, වැරදි තොරතුරු මත බැස ගත් නිගමනයකි. එහෙත් ඇත්ත වශයෙන්ම එම අයවළුන් තුළ තිබිය හැකි සැබෑ බියක් ඊට හේතු වෙනවා ඇති. එබැවින් මේ නීතිය පිළිබඳ ඔවුන්ට පැහැදිළිව විස්තර කර දිය යුතුව ඇති අතර ඔවුන්ගේ බුද්ධියට ආමන්ත්‍ර​ණය කළ යුතුව තිබේ. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ, උදර්පණය පිළිබඳ සංකල්පය පැහැදිළි කර දීමත්, අදාළ පනත සම්මත කර ගැනුණොත් එම නීතිය කෙසේ ක‍්‍රියාත්මක වනු ඇත් ද යන්න පැහැදිළි කර දීමත් ය.

උදර්පණය නිර්වචනය කිරීම

උදර්පණය යනු, යම් පුද්ගලයෙකුව එක රටකින් තවත් රටකට භාර දීමයි. මෙවැනි භාර දීමක් සිදුවන්නේ, යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ බලයක් ඇති රටක්, එම අපරාධය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හෝ වැරදිකරුව සිටින පුද්ගලයෙකු එම අපරාධය සඳහා නඩු පැවරීම සඳහා හෝ දඬුවම් කිරීම සඳහා තම රටට භාර දෙන්නැයි දෙවැනි රටකින් ඉල්ලා සිටින අවස්ථාවකදී ය. මේ පනතට විරුද්ධ වන්නෝ, උදර්පණය පිළිබඳ නීතියේ සඳහන් වඩාත් වැදගත් අංගය සඳහන් කිරීමට අමතක කරති. එනම්, යම් පුද්ගලයෙකු තමන් වෙත භාර දෙන්නැයි ඉල්ලා සිටින රාජ්‍යයට අදාළ අපරාධය සම්බන්ධයෙන් විභාග කිරීමේ අධිකරණ බලයක් තිබිය යුතු බවයි.

ශ‍්‍රී ලංකාවේ උදර්පණ නීතිය බලාත්මක වන්නේ 1977 ඇති කරගත් උදර්පණ නීතිය යටතේ ය. උදර්පණය පිළිබඳ වගන්ති ඇතුළත්ව ඉන් පසුව සම්මත කර ගත් ඕනෑම නීතියක් කියැවිය යුත්තේ, මේ කියන 1977 උදර්පණ නීතියත් සමග අනුගාමිකව ය. 1977 උදර්පණ නීතියෙන් පසුව ඇති කර ගත්, මේ උදර්පණය පිළිබඳ කාරණය අන්තර්ගත වන එක් පැහැදිළි නිදර්ශනයක් වන්නේ, 1994 දී ඇති කර ගත් ‘වධහිංසා පනතේ’ 7 වැනි වගන්තියයි. ඇත්ත වශයෙන්ම, ‘බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතේ’ 8 වැනි වගන්තිය වූ කලී, ඉහත කී ‘වධහිංසා පනතේ’ 7 (2) වගන්තියේ අනුරුවකි. ඒ පනත් දෙකේ අදාළ වගන්ති දෙකේ වචන පවා එක සමාන ය. ඒ නිසා, ‘බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ මගින්, දැනට ශ‍්‍රී ලංකාවේ පවතින උදර්පණය පිළිබඳ නීතිය මොන ආකාරයකින්වත් වෙනස් කෙරෙන්නේ නැත. එයින් කෙරෙනු ඇත්තේ, මේ කාරණය සම්බන්ධයෙන් ඊට පෙර පැවති නීති, උදාහරණයක් වශයෙන් ‘වධහිංසා පනත’ වැනි නීතියක්, තවත් බලගැන්වීම පමණි. මේ කියන ‘වධහිංසා පනත’ සම්මත කරගෙන ඇත්තේ, මහාචාර්ය ජී. ඇල්. පීරිස් අධිකරණ ඇමති වශයෙන් සිටි ‘ජනතා සන්ධාන’ ආණ්ඩුව යටතේ බවත් සිහිපත් කළ යුතුය.

භාර දෙන්නැයි ඉල්ලා සිටින පුද්ගලයාගේ ජාතිකත්වය

‘බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ තුළ අඩංගු උදර්පණය, ‘වධහිංසා පනත’ තුළ අඩංගු උදර්පණයෙන් වෙනස් බව පෙන්වීමට, අතුරුදහන් කැරවීම් පිළිබඳ පනතට විරුද්ධ පිරිස් උත්සාහ කරති. ‘වධහිංසා පනත’ යටතේ සඳහන් උදර්පණය බලපාන්නේ ශ‍්‍රී ලාංකිකයන් නොවන අයවළුන්ට පමණකැ යි ඔවුහූ කියති. එසේම, ‘බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ තුළ සඳහන් උදර්පණය යටතේ ශ‍්‍රී ලාංකිකයන්වත් භාර දීමට සිදුවෙතැයි ද ඔවුහූ කියති. ‘වධහිංසා පනතේ’ 7 වැනි වගන්තිය දෙස උඩින්පල්ලෙන් බැලුවත්, මේ මතය සාවද්‍ය බව කෙනෙකුට වැටහෙනු ඇත.

එම පනතේ 7 (1) වගන්තිය මෙසේ කියයි: ‘‘මේ පනත යටතේ ගැනෙන වරදකට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක, එම පුද්ගලයාට නඩු පැවරීම සඳහා හෝ එම පුද්ගලයාව උදර්පණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති පියවර හෝ ගැනීමට යෝජිත පියවර ගැන, එම වරද පිළිබඳ අධිකරණ බලය ඇති වෙනත් ඕනෑම රටකින් කරනු ලබන ඉල්ලීමකදී, ලංකාවේ විදේශ ඇමතිවරයා විසින් එවැනි ඕනෑම රටක බලාධිකාරීන්ට දන්වා සිටිය යුත්තේය.’’

එයින් පෙනී යන්නේ, මේ කියන උදර්පණය ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු අරභයා ඉතා පහසුවෙන් භාවිත කළ හැකි බවයි. උදාහරණයක් වශයෙන්, ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු ඉන්දියාවේදී වධහිංසාව නැමැති වරද සිදු කළොත්, එම වරද පිළිබඳ විභාග කිරීමේ අධිකරණ බලය ඉන්දීය රජයට තිබේ. ඒ අනුව, අදාළ පුද්ගලයාව ඉන්දියාවට භාර දෙන්නැයි ඉන්දියාවේ ආණ්ඩුව ඉල්ලීමක් කළොත්, එක්කෝ එම පුද්ගලයාව ඉන්දියාවට භාර දීමට හෝ ඔහුට විරුද්ධව ලංකාවේ නඩු පැවරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව බැඳී සිටී.

වධහිංසාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගනු ලබන විදේශිකයන්ටත් මේ කියන ‘වධහිංසා පනත’ බලපායි. විදේශිකයා අයත් වන රටට, එම විදේශිකයා වෙනත් ඕනෑම රටකදී කරනු ලබන ඕනෑම වරදක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය තිබේ. එය, ‘ජාතිකත්ව අධිකරණ බලය’ යනුවෙන් හැඳින්වෙයි. කෙසේ වෙතත්, එම අධිකරණ බලය ව්‍යුත්පන්න වන්නේ, එම වරද එකී රටේ වරදක් වන්නේ නම් ය. උදාහරණයක් වශයෙන්, වධහිංසාව පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් යම් විදේශිකයෙකු ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුණොත්, එම පුද්ගලයා අයත් රටෙත් වධහිංසාව වරදක් වන්නේ නම්, එම රටට ශ‍්‍රී ලංකාවෙන් එම පුද්ගලයාව තමන් වෙත භාර දෙන්නැයි ඉල්ලා සිටිය හැක. ඇත්ත වශයෙන්ම, ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගනු ලැබෙන එවැනි විදේශිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳවත් ‘වධහිංසා පනතේ’ 6 වැනි වගන්තියේ සඳහන් වෙයි.

‘බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතේ’ සඳහන් උදර්පණ ක‍්‍රමය මොන ලෙසකින්වත් ‘වධහිංසා පනත’ යටතේ ගැනෙන උදර්පණ ක‍්‍රමයෙන් වෙනස් නොවේ. පුද්ගලයෙකු උදර්පණය කරන ලෙස ඉල්ලා සිටිය හැක්කේ, බලහත්කාරී අතුරුදහන් කැරවීමේ ක‍්‍රියාවක් පිළිබඳ අධිකරණ බලයක් ඇති රටකට පමණි. උදර්පණය ක‍්‍රියාත්මක වන්නේ එයාකාරයෙන්ම පමණි. ලෝකයේ කිසි රටකට, එම රටේ අධිකරණ බලයක් නැති වරදක් සම්බන්ධයෙන් කිසිවෙකු උදර්පණය කරන ලෙස ඉල්ලා සිටිය නොහැක.

බලහත්කාරී අතුරුදහන් කැරවීම් පනතට අයත් උදර්පණය විදේශිකයෙකු සම්බන්ධයෙන් මෙන්ම ශ‍්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් ද තත්වානුරූපව බලපවත්වනු ඇත. ‘වධහිංසා පනතේ’ මෙන්ම, මේ පනතේ ද, ශ‍්‍රී ලාංකිකයන් නොවන අයවළුන්ගේ අයිතිවාසිකම් 7 වැනි වගන්තිය යටතේ දක්වා තිබේ. බලහත්කාරී අතුරුදහන් කැරවීම් සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති ඕනෑම රටක ඉල්ලීම මත ශ‍්‍රී ලාංකිකයෙකු උදර්පණය කළ හැක. උදාහරණයක් වශයෙන්, ශ‍්‍රී ලාංකිකයෙකු වෙනත් රටකදී බලහත්කාරයෙන් අතුරුදහන් කැරැුවීම නැමැති අපරාධය සිදු කොට ශ‍්‍රී ලංකාවට පැමිණෙතැයි සිතන්න. එවිට එම රටට මේ පුද්ගලයාව තමන් වෙත භාර දෙන්නැයි ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිය හැක. එවිට එම පුද්ගලයාව එකී රටට භාර දීමට හෝ එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට හෝ ශ‍්‍රී ලංකාව බැඳී සිටී. එකී භාර දීම බලනොපවත්වන්නේ, එම වරද සම්බන්ධයෙන් අධිකරණ බලයක් නොමැති රටක් සම්බන්ධයෙන් පමණි.

මේ පනතට එරෙහි වන්නන් තුළ පවතින බිය

මේ පනතට විරුද්ධ වන්නන් තුළ තිබිය හැකි බිය ගැන නොතකා හැරීම සාධාරණ නැත. ඔවුන් තුළ ඇති සැබෑ බිය යැයි සැක කළ හැක්කේ, ‘විශ්ව අධිකරණ බලය’ යටතේ වෙනත් රටක් විසින් ඉල්ලා සිටින ශ‍්‍රී ලාංකිකයෙකු එම රටට භාර දීමටත් මේ පනත යටතේ හැකි වන්නේය යන්නයි. එවැනි භීතීන් සමනය කිරීම සඳහා පැහැදිළි කිරීම් දෙකක් කළ හැකිය. මුලින්ම, ‘විශ්ව අධිකරණ බලය’ ක‍්‍රියාත්මක කෙරෙන්නේ සමස්ත මානව වර්ගයාට එරෙහිව කෙරෙන දුර්ලභ ඝනයේ අපරාධ සම්බන්ධයෙන් පමණි. ඒවා අතරින් ඉතා බරපතල වරදක් වන්නේ වධහිංසාවයි. ඇමරිකානු අත්අඩංගුවේ සිටි රඳවියන්ට වධහිංසා කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ට එරෙහිව මේ කියන ‘විශ්ව අධිකරණ බලය’ යටතේ නඩු පැවරීමට රාජ්‍ය නොවන පාර්ශ්ව කිහිපයක් විසින් ස්විට්සර්ලන්තයේදී සහ කැනඩාවේදී අසාර්ථක උත්සාහයක් ගනු ලැබුණි. ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට එරෙහිව මේ කියන ‘විශ්ව අධිකරණ බලය’ ක‍්‍රියාත්මක කිරීමේ අවදානමක් ඇතොත්, එම අවදානම අඩු වශයෙන් 1994 ‘වධහිංසා පනත’ සම්මත කර ගත් දවසේ පටන්ම තිබී ඇති බව අප පිළිගත යුතුය. ‘බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ මගින් එම නීතියේ වැඩි වීමක්වත්, අඩු වීමක්වත් සිදු කොට නැත. දෙවැනුව, මේ කියන ‘විශ්ව අධිකරණ බලය’ යටතේ තමන්ගේ පුරවැසියෙකු උදර්පණය කළ කිසි රටක් පිළිබඳ වාර්තාගත සිද්ධියක් සොයා ගැනීමට ඇත්තේත් නැත. උදර්පණය හැම විටකම සිදුවන්නේ, භෞමික හෝ ජාතික අධිකරණමය බලාධිකාරි සන්දර්භය තුළයි. එසේ නොවෙතැයි කීම සාවද්‍ය ය. එය, අප දන්නා ජාත්‍යන්තර නීතියේ සහ දේශපාලනයේ සීමාවන් ඉක්මවා යන්නකි.

සියලු පුරවැසියන්ගේ සදාචාරමය වගකීම

මේ නිසා උදර්පණය පිළිබඳ පවතින කුමන්ත්‍රණ​ න්‍යායන් අප පසෙක ලෑ යුතුය. ඒ වෙනුවට, ඇත්තෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ට අද මුහුණදීමට ඇති වඩාත් වැදගත් අභියෝගයන් ගැන සැලකිල්ල යොමු කළ යුතුය. බලහත්කාරී අතුරුදහන් කැරවීම අපේ සාමූහික උරුමයේ අංගයකි. ඒ තත්ත්වය තුළ පුද්ගලයෙකු හිටිගමන් අතුරුදහන් විය හැකිය. ඉන් පසු කිසි දවසක එම පුද්ගලයාව අපට දැක ගැනීමටවත්, එම පුද්ගලයා පිළිබඳ කිසි තොරතුරක් ලබා ගැනීමටවත් හැකි වන්නේ නැත. ඒ වනාහී, සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සියලු ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත අතීතයේ විනාශ කොට ඇති ප‍්‍රපංචයකි. මෙවැනි මිනිසුන්ට සිදුව තිබුණේ, තමන්ගේ හිතෛෂීන් අතුරුදහන් වීම ගැන කිසිවක් කරකියා ගත නොහැකිව හිත හදාගන්නට ය. ‘සුදු වෑන්’ කී පමණින් තවමත් අපේ හදවත් ගැහෙයි. ඇත්ත වශයෙන්ම, ‘බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ මගින් අපේක්ෂා කරන්නේ එකී අතීතයෙන් නිදහස් වීමයි. එබැවින් එම පනත සම්මත කෙරෙන බවට වගබලා ගැනීම, එයට විරෝධය දක්වන අය ඇතුළු සියලූ ශ‍්‍රී ලාංකීය පුරවැසියන්ගේ වගකීමයි.

*2017 සැප්තැම්බර් 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Extradition: An Explanation” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.