25 April, 2024

Blog

‘මහින්ද නැතිව බෑ’ ද​? ‘මහින්ද සමඟ බෑ’ ද​?

කරූ ජයසූරිය

කරූ ජයසූරිය

කරූ ජයසූරිය

බලය යනු, ඕනෑම මිලකට ලබාගත යුත්තක් බව අද එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙන්නුම් කරමින් සිටියි. දිනෙන් දින වෙනස් කරන සටන් පාඨ තුළින් එය මනාව පැහැදිලි වෙයි. මහින්ද නැතිව බෑ, මහින්ද සමඟ නැගිටිමු කියූ සන්ධානය අනාගතයට සහතිකයක් ඉදිරිපත් කරමින් මහින්ද සමඟ ගිය ගමනට දැන් නැවතීමේ තිත තබා ඇත. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඡායාරූපය පෙරට ගෙන අවසන් මොහොතේ සිය ප්‍රචාරක ව්‍යාපාරය වෙනස් කරමිනුයි. මහින්ද නැතිව බෑ කියූ සටන් පාඨය මහින්ද සමඟ බෑ යනුවෙන් වෙනස් කර ඇති බව මනාව පැහැදිලි වෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිතවත් කණ්ඩායම පක්‍ෂයෙන් පලවා හරින්නටත්, එතුමා පක්‍ෂයෙන් එලවා දමන්නට මධ්‍යම කාරක සභාව රැස් කරවන්නටත් උත්සාහ දැරූ කණ්ඩායම දැන් පිළිගෙන ඇත්තේ අවසන් තුරුම්පුව ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අලෙවි කිරීමයි.

එහෙත් සන්ධාන නායකයින් තේරුම් ගත යුතුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යනු පුද්ගල සාධකයක් නොව, වැඩපිළිවෙලක සංකේතයක් බවයි. යහපාලනය සහ නීතියේ ස්වාධිපත්‍යය, මිනිස් ගුණදම් සුරකින සමාජයක් සඳහා වූ එම බලවේගයේ සැබෑ නියෝජිතයින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ, යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් මිස, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නොවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයින් දූෂණයට, භීෂණයට, මැරකමට, වංචාවට ලක්වූවන් බහුතරයක් නියෝජනය කරයි. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මතවාදය නියෝජනය කරන කණ්ඩායම නොවෙයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පැමිණි පිරිස අද මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පින්තූරයට මුවා වී තම අනාගතය සහතික කර ගැනීමට ඔවුන් ප්‍රමාද වූවා වැඩිය.

Miathriඑක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ ව්‍යාපාරය තුළම උත්සාහ කළේ ජාතිවාදය, ඩයස්පෝරාව, රට බෙදීම, ෆෙඩරල් පාලනය වැනි යල් පැනගිය සටන් පාඨ කරලියට ගෙන ඒමටයි. එය අසාර්ථක වන විට වස කුප්පි, කලගෙඩි සමඟ විනෝද සමයක් නිර්මාණය කිරීමට උත්සහා කරන ලදී.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔවුනගේ තවත් තුරුම්පුවක් විය. එය පොරොන්දු වැස්සක් වීමත් මහින්ද රාජපක්‍ෂ බලයේ සිටිය දී නොකළ දෑ සහ එම කාලයේ ඔහු හිතා මතාම අමතක කළ කරුණු සමඟ ලියන්නට උත්සහා කළ අනාගතයට සහතිකයක් ඔවුනට දැන් පාරාවළල්ලක් බවට පත් වී ඇත. විවාහ වන විට තරුණ පරපුරට ලක්‍ෂ දෙකක් දෙන්න පොරොන්දු වන විට මතක් වන්නේ විවාහ ලියාපදිංචි ගාස්තු රුපියල් 500 සිට 5000 දක්වා මහින්ද රාජපක්‍ෂ විසින් වැඩි කළ ආකාරයයි. එයට පෙර මහින්ද චින්තනයෙන් විවාහ වන විටම දෙන්නට පොරොන්දු වූ ඉඩමක් සහා ගෙයක් පිළිබඳ වූ කඩවුණු පොරොන්දුවයි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන කතා කරන විට මතක් වනුයේ පාලන කාලය තුළ දුන් පොරොන්දු ඉටු නොකිරීමයි. පෞද්ගලික අංශයේ වැටුප් ගැන කතා කරන විට මතක් වන්නේ වැටුප් සඳහා මහමඟ අරගල කළ තරුණයින්ට වෙඩි තබා මරා දැමූ ආකාරයයි. ඒ ගැන සති දෙකකින් ඉදිරිපත් කරනවා යැයි කියු වාර්තාවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අසාර්ථකම ව්‍යාපාරයක් වූයේ එක්සත් ජාතික පක්‍ෂයේ පංචවිධ වැඩපිළිවෙලට එල්ල කළ විවේචනයයි. විටක ජලය විකුණන්නට එතුළින් උත්සහ කරන බව කියන ඔවුන්, සෞඛ්‍ය සේවය අධිකාරියක් බවට පත් කරන්නටත් ඒ තුළින් සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්නටත් උත්සාහ දරණ බව කියයි. අධිකාරියක් පිහිටුවීම යනු රාජ්‍ය දෙපාර්තමේන්තුවක සම්ප්‍රදායික ක්‍රියාකාරීත්වයේ හිර නොවී කඩිනම් සේවාවක් සැලසීමට ගන්නා ක්‍රියාවලියක්. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජාතික නිවාස දෙපාර්තමේන්තුව ජාතික නිවාස අධිකාරියක් බවට පත් කිරීමත්, නගර සංවර්ධනය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය බිහිකිරීම තුළිනුත්, වරාය, වරාය අධිකාරියක් බවට පත් කිරීම තුළිනුත් කඩිනම් මහවැලි ව්‍යාපාරය සඳහා මහවැලි අධිකාරිය බිහිකිරීමෙනුත් සිදු වූයේ ජනතාවට කඩිනම් සහන සැලසීම මිස ඒවා පෞද්ගලීකරණය වීම නොවෙයි. සන්ධානයේ ඊනියා නායකයන් දැන දැනත් ජනතාව මෝඩයන්ට ඇන්ඳවීමට ගන්නා උත්සහය හෙළා දැකිය යුතුයි.

සෞඛ්‍ය සේවය කළමනාකරණය කොට කාලීන සේවාවන් ඉටු කිරීම වේගවත් කිරීම සඳහා ඉදිරිපත් කරන යෝජනාව විකෘති කිරීමට උත්සාහ දරනුයේ ද්වේශ සහගතවයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කළ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව කිසි කලෙක මුදලට විකිණීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් නැති බව අවධාරණය කළ යුතුය. එම සේවාවන් එක්සත් ජාතික පක්‍ෂයේ සදාකාලික අනුස්මරණීය උරුමයන් ය.

මේ රටේ දිළිඳුකම පිටු දකින්නට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කළ ජනසවිය, සමෘද්ධිය බවට පත් කරමින් දුප්පත් ජනතාව දේශපාලන වහලූන් බවට පත් කළ මහින්ද රාජපක්‍ෂ තවදුරටත් ජයග්‍රාහී සාධකයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය තේරුම්ගත යුතුව තිබේ. ජනවාරි 8 වනදා පරාජය කළ මහින්ද රාජපක්‍ෂ අගෝස්තු 17 දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වීමට ඇතුගල්පුර ජනතාව පෙළ ගැසී සිටින බව සන්ධානයේ නායකයන් දැන් තේරුම් ගෙන තිබේ. යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රතිපත්තියට අනුගත වෙමින් ඡන්ද සටන මෙහෙයවීමට ඔවුන් පෙළඹි ඇත්තේ එබැවිනි.

*කරූ ජයසූරිය – රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රිය පාලනය පිළිබද අමාත්‍ය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.